Skip to content

පටුනට යන්න

සූදුව නමැති මලපතෙන් වැළකෙන්න

සූදුව නමැති මලපතෙන් වැළකෙන්න

සූදුව නමැති මලපතෙන් වැළකෙන්න

“සූදුව මගේ ශාරීරික සෞඛ්‍යයට බලපෑවේ නැහැ. ඒ වගේම සූදුවේ නියැලීම සඳහා මා යොදවන මුදල මම නිතරම පාලනය කළා. නමුත් මම ලොතරැයි සෙල්ලම්වල නිරත වුණු මොනයම් වේලාවකදී හෝ මා නිතරම තෝරාගත්තේ වාසනාව ගෙනේවියයි මා සිතූ ඉලක්කම්.”—ලින්ඩා.

සූදුවේ නියැලෙන බොහෝදෙනෙක් වාසනා අංක හෝ වාසනාව උරගෑ හැකි යම් අද්භූත වස්තූන් හෝ ක්‍රියාවන් කෙරෙහි විශ්වාස කරනවා. තමන් මෙම මිථ්‍යා දෘෂ්ටික විශ්වාසයන් එතරම් බැරෑරුම් ලෙස සලකන බවක් ඔවුන් නොසිතනවා වන්නට පුළුවන්. ඒ කෙසේවෙතත් ඔවුන් ඒවා පසුපස දුවනවා වන්නට පුළුවන්.

තමන් කැමති සූදු ක්‍රීඩාවෙන් ජයගැනීම සඳහා උපකාර පතා සූදුවේ නියැලෙන ඇතමුන් දෙවියන්ට යාච්ඤා පවා කරනවා. එහෙත්, දෙවිට නමස්කාර කරනවා කියමින්, “වාසනාවේ දේවතාවිට මේසයක් පිළියෙළ කරන්නාවූ” අයව බයිබලයේ හෙළා දැක තිබෙනවා. (යෙසායා 65:11) ඔව්, වාසනාව හා සම්බන්ධ මිථ්‍යා විශ්වාසවලට උල්පන්දම් දෙන පුරුදු දෙවිගේ පිළිකුලට ලක් වෙනවා. සූදුවේ ස්වභාවය දෙස බලද්දී ඉන් සිදු වන්නේ වාසනාවේ දේවතාවිය හෙවත් ශ්‍රියා කාන්තාවයයි කියැවෙන යමක් කෙරෙහි අන්ධ විශ්වාසයක් ඇති කරවීම බව පැහැදිලියි.

සූදුවෙන් කෙරෙන තවත් දෙයක් තමයි, කිසිම ලජ්ජා භයක් නැතිව මුදල් කෙරෙහි කෑදරකමක් ඇති කරවීම. අදදින එන්ට එන්ටම ලෞකිකත්වයට බර වූ මේ සමාජයේ මුදල් දෙවියෙකු බවට පත් වෙලා. ඒ නිසා සූදුව මේ මුදල් නමැති දෙවියාට නමස්කාර කරන එක්තරා ක්‍රමයක් ලෙස හඳුන්වන්නට පිළිවන්. මහා මන්දිර බඳු කැසිනෝවල් සූදුවේ නියැලෙන්නන්ගේ වන්දනා ස්ථාන බවට පත් වෙලා. ඒ වගේම වන්දනාව කේන්ද්‍රගත වී ඇති ප්‍රමිතිය තමයි ගිජුකම. මේ ගැන පර්යේෂණ කළ අය සොයාගෙන තිබෙන එක් දෙයක් නම්, කැසිනෝ හෙවත් සූදු තිප්පළවල් කරා ඇදී යන බොහෝදෙනෙක් කියා සිටින්නේ තමන් ඒවාට යන්නේ හුදු විනෝදාස්වාදයක් ලැබීමටවත් එහි තිබෙන වාතාවරණයට කැමති නිසාවත් නොව හුදෙක්ම “සල්ලි කන්දරාවක්” දිනාගැනීමට බවයි. කෙසේවෙතත්, බයිබලය අනතුරු අඟවන්නේ මෙසේයි. “වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලය වී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:10.

පළමුවෙනි කොරින්ති 6:9, 10හි බයිබලයේ පැහැදිලිව කියා සිටින්නේ, “නොරැවටෙන්න. . . . රූපවඳින්නෝවත්, . . . ලෝභයෝවත්, . . . දෙවිගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය” කියායි. ලෝභකම හෙවත් ගිජුකම යනු මිනිසුන් අතර තිබෙන සාමාන්‍ය දුර්වල ගති ලක්ෂණයක් පමණක් නොවේ. එය මාරාන්තික ආත්මික අසනීපයක්ද වෙයි. නමුත් ඒ අසනීපයට සුවයක්ද තිබෙනවා.

වෙනස් වීමට අවශ්‍ය ශක්තිය ඔවුන් සොයාගත්තා

“මම හුඟක් වතාවල උත්සාහ කළා සූදුව නවත්වන්න” කියා ආරම්භක ලිපියේ සඳහන් වූ කසුෂිගේ සිහි කරනවා. “මට තේරුණා රේස් පිටියේ ඉඳන් මගේ මිතුරන් සමඟ කළ සූදුව මගේ පවුල විනාශ කරමින් තිබූ බව. මම දිනපු මුදල් හැම වෙලේම මට නැති වුණා. මගේ බිරිඳ අපේ දෙවෙනි පුතාව හම්බ වෙන්න ඉන්නකොට ඉතුරු කරගෙන තිබූ සල්ලිවලිනුත් මම සූදුවේ නියැලුණා. ඒ විතරක් නෙමෙයි අන්තිමේදී මම මගේ සමාගමේ සල්ලිවලිනුත් ඔට්ටු ඇල්ලීමට පටන්ගත්තා. මෙහි ප්‍රතිඵලය වුණේ මට මුළුමනින්ම ආත්ම ගෞරවය නැති වුණු එකයි. බොහෝවිට මගේ බිරිඳ හඬා වැලපී සූදුව නතර කරන මෙන් මා ඉදිරියේ හැපුණා. නමුත් මට ඒක කරන්න බැරි වුණා.”

අනතුරුව කසුෂිගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. ඔහු මෙසේ කියනවා. “මං බයිබලය කියවන්න කියවන්න, දෙවි කෙනෙක් සිටින බවත් ඔහුට සවන් දීමෙන් මට හුඟක් ප්‍රයෝජන ලැබෙන බවත් මට තේරුණා. දෙවි සපයන බලයෙන් මට සූදුව නතර කරන්න පුළුවන් බව මට පැහැදිලි වුණා. මම දැන් සූදුව නතර කරලා දාලා විතරක් නොවෙයි, ඒ කෙරෙහි පිළිකුලක්ද ඇති කරගෙන තියෙන එක ගැන මටම පුදුමයි. සූදුවේ නියැලීම නිසා මගේ පවුලේ අයට ඇති වුණු පීඩනය ගැන මම හිතනකොට මගේ හදවත කකියනවා. මගේ මේ සූදුවට ඇබ්බැහි වීම නතර කිරීමට යෙහෝවා දෙවි මට උපකාර කිරීම ගැනත් අර්ථාන්විත ජීවිතයක් ගත කිරීමට ඔහු මට දැන් උපකාර කරමින් සිටීම ගැනත් මම ඔහුට කොතරම් ස්තුතිවන්ත වෙනවාද!”—හෙබ්‍රෙව් 4:12.

ආරම්භක ලිපියේ සඳහන් වූ ජෝන්ද ඒ වගේම බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තා. ඔහු සිහි කරන්නේ මෙහෙමයි. “මං බයිබලය පාඩම් කරපු හින්දා මගේම තත්වයන් ගැන නැවත සෝදිසි කර බලන්නට මට පුළුවන් වුණා. සූදුවේ නියැලීමෙන් මටත් මගේ පවුලේ අයටත් සිදු වූ හානිය ගැන ඇත්තටම මගේ ඇස් ඇරුණේ එතකොට තමයි. ඇරත් මා දැනගත්තා සූදුව මිනිසුන් තුළ ආත්මාර්ථකාමී, ගිජු ආකල්පයන් ඇති කරන බව. එවැනි ආකල්පයන්වලට යෙහෝවා ද්වේෂ කරනවා. දිගටම පාඩම කරද්දී, යෙහෝවා කෙරෙහි තිබෙන මගේ ප්‍රේමය සූදුවෙන් මිදීමට මට ලොකු ශක්තියක් වුණා. මම සූදුව පටන්ගත්තේ වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමට සිහින මැවූ හින්දයි. මම දැන් සූදුව අත්හැරලා දාලා. මම යෙහෝවාට සන්තෝෂයෙන් සේවය කරනවා. ඉතින් මගේ ඒ සිහිනය දැන් සැබෑ වෙලා.”

ජෝන්ගේ භාර්යාව වන ලින්ඩාද සූදුවේ නියැලීමෙන් වැළකෙන්නට තීරණය කළා. “එය එතරම්ම පහසු දෙයක් වුණේ නැති” බව ඇය පවසනවා. “නමුත් මගේ සැමියාත් මමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තායින් පස්සේ, ජීවිතයේ වඩාත් වැදගත් දේවල් ගැන මම සිතන්නට පටන්ගත්තා. දෙවි ප්‍රේම කරන දෙයට ප්‍රේම කරන්නට වගේම ගිජුකම හා සම්බන්ධ සියලු ආකාර දේවල් ඇතුළු ඔහු වෛර කරන දේට වෛර කරන්නටත් මම ඉගෙනගත්තා. අරමුණක් සහිත ජීවිතයක් ගත කරනවාට අමතරව දැන් මගේ පර්ස් එකේ වැඩිපුර සල්ලිත් තියෙනවා.”—ගීතාවලිය 97:10.

යෙහෝවා සමඟ සම්බන්ධයක් ඇති කරගැනීම තුළින්, සූදුවේ මලපතින් වැළකෙන්නට අවශ්‍ය ශක්තිය හා ප්‍රඥාව ඔබටත් සොයාගන්නට පුළුවනි. එසේ කිරීමෙන් ඔබේ මූල්‍යමය තත්වය, චිත්තවේගී ස්වභාවය හා අධ්‍යාත්මය දියුණු කරගත හැකි වේවි. එවිට හිතෝපදේශ 10:22හි වාර්තා කර ඇති වචනවල සත්‍යතාව ඔබටම අද්දකින්නට පුළුවනි. එහි පවසන්නේ මෙයයි. “යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය. ඔහු ඊට දුක එකතු නොකරන්නේය.”

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ගිජුකම යනු මිනිසුන් අතර තිබෙන සාමාන්‍ය දුර්වල ගති ලක්ෂණයක් පමණක් නොවේ. එය මාරාන්තික ආත්මික අසනීපයක්ද වෙයි

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

සූදුව සහ අද්භූත දේවල් අතර ඇති සම්බන්ධය

සූදුවේ ඇති බලපෑම පිළිබඳව අධ්‍යයනය කරන ජාතික කොමිසමේ වාර්තාවක් පවසන දෙයට අනුව, ඩියුක් සරසවියේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සූදුව පිළිබඳව ප්‍රචාරය කරන ක්‍රම හා අද්භූත දේවල් පිළිබඳ විශ්වාසය අතර යම් සම්බන්ධකමක් ඇති බවයි. වාර්තාවේ තවදුරටත් මෙසේ ප්‍රකාශ වුණා. “බොහෝ [ලොතරැයි] ප්‍රචාරක ක්‍රමවලින් ඉතා පටු, ආත්මාර්ථකාමී මෙන්ම ද්‍රව්‍යවාදී ආකල්පයන් මිනිසුන් තුළ ඇති කරවයි. . . . වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් හා බලවත් උත්සාහයක් දැරීමෙන් සාර්ථකත්වය ලබාගත හැකියියයි පෙන්වා දෙනවා වෙනුවට මෙම ප්‍රචාරයන්ගෙන් කෙරෙන්නේ අද්භූත දේවල්, මැජික් හා මිථ්‍යා දේවලට සම්බන්ධ වී අහසේ මාළිගා තැනීමට රුකුල් දීමයි. තම වාසනාව උරගා බැලීමට, ජ්‍යෝතිශය හා සම්බන්ධ ලිත්වල තිබෙන දේවල් විශ්වාස කිරීමට, සාස්තර කෙරෙහි සහ වාසනාවන්ත නම්, දිනයන් හා සිහින ගැන කියන ඉලක්කම් සඳහන් කර ඇති ‘සිහින පොත්’ කෙරෙහි විශ්වාස කිරීමට තමන්ගේ පාරිභෝගිකයන් නැඹුරු වී සිටින බව ලොතරැයි ව්‍යාපාර මෙහෙයවන සෑම පුද්ගලයෙකුම දන්නා කාරණයක්. ඇත්තෙන්ම සියලුම ඉලක්කම් තේරීමට තිබෙන සම්භාවිතාව එක සමානය. එමනිසා, තමාට වාසනාව ගෙනෙනු ඇතැයි සිතෙන ඉලක්කම සෑමවිටම තේරීමෙන් කෙනෙකුට සල්ලි මල්ල දිනාගන්නට තිබෙන අවස්ථාව අඩු වී යයි. කෙසේවෙතත්, මෙය දැන දැනත්, ලොතරැයි ඒජන්සිවලින් කෙරෙන්නේ, පුද්ගලයන්ට තමාට පෞද්ගලිකව වාසනාවන්තයයි හැඟෙන ඉලක්කම් තෝරා (ඒවාට ඇලී) සිටීමට දිරිගැන්වීමයි.”

[26වන පිටුවේ පින්තූර]

“යෙහෝවා කෙරෙහි තිබෙන මගේ ප්‍රේමය සූදුවෙන් මිදීමට මට ලොකු ශක්තියක් වුණා.”—ජෝන්

“අරමුණක් සහිත ජීවිතයක් ගත කරනවාට අමතරව දැන් මගේ පර්ස් එකේ වැඩිපුර සල්ලිත් තියෙනවා.”—ලින්ඩා

[26වන පිටුවේ පින්තූර]

“මම දැන් සූදුව නතර කරලා දාලා විතරක් නොවෙයි, ඒ කෙරෙහි පිළිකුලක්ද ඇති කරගෙන තියෙන එක ගැන මටම පුදුමයි.”—කසුෂිගේ