Skip to content

පටුනට යන්න

අනාගතය සඳහා විශ්වාසදායක මඟ පෙන්වීම්

අනාගතය සඳහා විශ්වාසදායක මඟ පෙන්වීම්

අනාගතය සඳහා විශ්වාසදායක මඟ පෙන්වීම්

සංඛ්‍යා ශාස්ත්‍රය සහ පේන කීම හා සම්බන්ධ වෙනත් ක්‍රම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි වීමෙන් අදහස් කරන්නේ අපේ අනාගතය ගැන දැනගැනීමට අපට කිසිම ක්‍රමයක් නැති බවද? කොහෙත්ම නැත!

මිනිසාගේ අනාගතය ගැන පැවසීමට නියම රූපයක් නොමැති දෙයක් වන අංකවලට නොහැක. නමුත් “අන්තිමය මුල පටන්” ප්‍රකාශ කරන “ජීවමාන දෙවි” එසේ කර තිබේ. ඔහු මෙය කරන්නේ ඔහුගේ ලිඛිත වචනය වන බයිබලය මගිනි. (යෙසායා 46:10; 1 තිමෝති 4:10) ‘සිතෙහි සිතුවිලි හා අදහස් විමසිය’ හැක්කේද සංඛ්‍යා ශාස්ත්‍රඥයන්ට නොව ජීවමාන දෙවිගේ වචනයටයි. එමෙන්ම ඔබව යම් දේවලට පොලඹවන්නේ කුමක්ද යන්න ගැනත් සැබෑ සාර්ථකත්වය ඔබට ගෙන දෙන්නේ කුමක්ද යන්න ගැනත් තේරුම්ගැනීම සඳහා ඔබට උපකාර කිරීමට එයට හැක.—හෙබ්‍රෙව් 4:12.

අනාගතයේ සිදු වන දේවල් නිවැරදිව කලින් පැවසිය හැක්කේ බයිබලයේ කර්තෘ වන අපේ මැවුම්කරුට පමණි. මෙයට හේතුව දෙවි සර්ව බලධාරී වීම මෙන්ම සැමවිටම ඔහු සිය වචනය ඉටු කිරීමයි. “මම කියා තිබෙන්නාක් මෙන්ම . . . ඒක කරන්නෙමි” කියා යෙහෝවා දෙවි පවසා ඇත. (යෙසායා 46:11) ඉශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට රැගෙන ගිය පසු නිසැකකමින් යුතුව මෙසේ පැවසීමට යෝෂුවාට හැකි විය. “යෙහෝවා ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදු වුණේය.”—යෝෂුවා 21:45; 23:14.

ඉදිරියේදී ඉටුවීමට නියමිත අනාවැකි රැසක් බයිබලයේ සඳහන් වේ. දුෂ්ටකම මේ පොළොවෙන් තුරන් කර දමා පොළොව පාරාදීසයක් බවට පත් කරන කාලයක් ගැන පවසා තිබෙන අනාවැකිය ඉන් එකකි. (ගීතාවලිය 37:10, 11; හිතෝපදේශ 2:21, 22) එම අනාවැකියට ඔබේ සිත ඇදී යන්නේ නැද්ද? මේ පොළොවේ දේවල් නිසි තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රඥාව සහ බලය අපේ මැවුම්කරුට තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එසේනම් පොළොවේ අනාගතය ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔබ කැමති වනු ඇත. a

අංක යොදාගනිමින් කියන දේවලින් ඔබේ අනාගතය දැනගැනීමට උත්සාහ නොකර, බයිබලය සහ එහි අනාවැකි නිවැරදිව තේරුම්ගැනීමට වෑයම් කරමින් දැන් ඔබේ කාලය නැණවත් ලෙස පාවිච්චි කරන්න. දෙවිගේ වචනය වන බයිබලයේ හෙළි කර තිබෙන අනාගතය ගැන තවත් බොහෝ දේවල් දැනගැනීම සඳහා ඔබට උපකාර කරන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කැමැත්තෙන් සිටිති.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 1, 10 සහ 19 යන පරිච්ඡේද බලන්න.