Skip to content

පටුනට යන්න

ඉවතලෑමට නැඹුරු වූ සමාජයකින් ගොඩ ආ හැකි අයුරු

ඉවතලෑමට නැඹුරු වූ සමාජයකින් ගොඩ ආ හැකි අයුරු

ඉවතලෑමට නැඹුරු වූ සමාජයකින් ගොඩ ආ හැකි අයුරු

“ස්වභාවධර්මය තුළ . . . නාස්තිය කියා දෙයක් නැත.” ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ගෞරවාදරයට පත් විශාරදයෙකු ටයිම් සඟරාවට තම අදහස් පළ කළේ එසේය. ඔහු යොමු දක්වමින් සිටියේ පරිසර පද්ධතියේ එක් පැත්තකින් දිරා යන හෝ ඉවතලන දේවල් පරිසරයේ වෙනත් පැත්තකින් ප්‍රයෝජනයට ගැනීම ගැනයි. එම විශාරදයාම සිතන්නේ, “ස්වභාවධර්මය තුළ පවතින මෙම කුණු කසළවලින් මිදුණු ස්වභාවය මිනිසාට අනුකරණය කළ හැකි වුවත්, ඒ සඳහා ඔහුට නිර්මාණශීලී තාක්ෂණයකුත් ආකල්පවල විශාල වෙනසකුත් අවශ්‍ය කෙරෙන” බවය.

නිර්මාණශීලි අලුත් තාක්ෂණයක් ඇති කිරීමට අපෙන් බොහෝදෙනෙකුට හැකියාවක් නැත. එහෙත්, අපට කළ හැකි දෙයක් නම්, අපේ ආකල්පය පාලනය කරගැනීමයි! ඉවතලෑමට නැඹුරු වූ සමාජයකින් එල්ල විය හැකි ගැටලුවලින් ජයගැනීම සඳහා යහපත් හැසිරීම පිළිබඳ යම් මූලික ප්‍රතිපත්ති කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි ආකල්පයක් ඇතුව සිටීමත් අපට උපකාරවත් වේ.

නාස්තිකාර වීමෙන් වැළකීම

ලෝක ජනගහනයෙන් සියයට විස්සක් සෑම රාත්‍රියකම නින්දට යන්නේ බඩගින්නේය. ආහාර පානවල ඇති වටිනාකම අගය කිරීමටත් නාස්තිය වළක්වාගැනීමටත් මේ දැනුම අපව පෙලඹවිය යුතුය. අවුරුදු 28ක් පුරා අප්‍රිකාවේ මිෂනාරි සේවයේ යෙදී සිට නැවත යුරෝපයට ගිය යුවළක් නැවත වරක් තමන්ගේ මව්බිමේ ජීවත් වීමට යෑමේදී මුහුණ දීමට සිදු වූ විශාලම අභියෝගය ලෙස සඳහන් කළේ, “මිනිස්සු කෑම බීම විසි කරමින් කරන නාස්තියයි.”

ඥානවන්ත දෙමාපියන් තම දරුවන්ට උගන්වන්නේ ඔවුන්ට කෑමට පුළුවන් ප්‍රමාණය පමණක් පිඟානට බෙදාගන්නා ලෙසයි. එසේ කිරීමෙන් ඉවතලන කුණු කසළ ප්‍රමාණයත් නාස්තියත් අවම කරගත හැකිය. මුල් වතාවේදී කෑම පොඩ්ඩක් පමණක් බෙදාගන්න. දෙමාපියන් මේ සම්බන්ධයෙන් ආදර්ශයක් තැබිය යුතු බව නොකිවමනාය. යෙහෝවා ශාරීරිකවත් ආත්මිකවත් සපයා ඇති දේවල් කෙරෙහි අව්‍යාජ අගය කිරීමක් පෙන්වීමෙන් යේසුස් අප සියලුදෙනාටම ආදර්ශයක් තබන්නේය. ආශ්චර්යවත් ආකාරයකින් බහුල ලෙස ආහාර සපයා දුන්නා වුවත්, යේසුස් ආහාර නාස්තිය වැළැක්වීමට වගබලා ගත් ආකාරය පිළිබඳව බයිබලය අපට පෙන්වා දෙයි.—යොහන් 6:11-13.

නාස්තිය වළක්වාගැනීම පිළිබඳ ප්‍රතිපත්තිය ඇඳුම් පැළඳුම්, ගෘහ භාණ්ඩ සහ යන්ත්‍රෝපකරණ ආදියටත් අදාළ වේ. දේවල් හොඳින් නඩත්තු කරමින්, ඒවා පාවිච්චි කළ හැකි තාක් කල් පාවිච්චියට ගැනීමෙන් අපට ඇති දේවල් අගය කරන බව පෙන්වීමට අපට හැකිය. ප්‍රචාරණ ලෝකයේ ගොදුරු බවට පත්වීමට අපට අවශ්‍යතාවක් නැත. ඔවුන් උත්සාහ කරන්නේ අප ළඟ තිබෙන දේ කෙරෙහි අතෘප්තිමත්භාවයක් ඇති කර වඩා විශාල, වඩා හොඳ, වඩා වේගවත් සහ වඩා ශක්තිමත් යමක් අපට ඉදිරිපත් කරන්නයි. තවදුරටත් පාවිච්චි කළ හැකි දෙයක් වෙනුවට වෙන එකක් ගැනීමට පූර්ණ අයිතිය අපට තිබෙන බව නොකිවමනාය. එහෙත්, එසේ කිරීමට පෙර අපගේ ආකල්ප හා චේතනා තක්සේරු කර බැලීම සුදුසු විය හැකිය.

ගිජුකමෙන් වළකින්න

කාන්තාරය හරහා පොරොන්දු දේශයට යන ගමනේදී ඉශ්‍රායෙල්වරුන්ට ආහාර පිණිස යෙහෝවා මන්නා සැපයීය. බයිබල් වාර්තාවට අනුව, මන්නා දුන්නේ ප්‍රමාණවත් ආකාරයටයි. කෙසේවෙතත්, ගිජු නොවන ලෙස ඉශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවා තිබුණි. ඔවුන්ට ඒ මොහොතේදී අවශ්‍ය වූ ප්‍රමාණය පමණක් ගැනීමට ඔවුන්ට නියම වුණි. ගිජුකමෙන් ඵලක් නොවූ බව අකීකරු වූ අය වටහාගත්හ. ඉතිරි වූ මන්නාවලට පණුවන් ගසා ගඳ ගසන්ට පටන්ගැනුණි. (නික්මයාම 16:16-20) පැහැදිලිවම, බයිබලය ප්‍රබල ලෙස සහ නැවත නැවතත් ගිජුකම හෙළා දකියි.—එපීස 5:3, NW.

මේ කාරණය ගැන කතා කරන්නේ බයිබලයේ පමණක් නොවේ. උදාහරණයක් හැටියට, මුල් සියවසේ රෝම දාර්ශනික හා නාට්‍ය රචක සෙනෙකා තේරුම්ගත්තේ, ගිජු පුද්ගලයෙක් කිසිදාක තෘප්තිමත් නොවන බවයි. ඔහු නිරීක්ෂණය කළේ, “ස්වභාව ධර්මය සතු සියලුම දේ අත් කරගත්තද ගිජුකම සන්සිඳවිය නොහැකියි” කියාය. විසිවන සියවසේ විසූ දාර්ශනිකයෙකු වන එරික් ෆ්‍රොම් ඒ හා සමාන නිගමනයකට පැමිණියේය. “ගිජුකම වනාහි පතුලක් නැති වළක් මෙනි. එම වළේ පතුල සොයාගැනීමට යමෙකු කොතරම් මහන්සි ගත්තද එය ඔහුට සොයාගැනීමට නොලැබේ. ඒ හා සමානව ගිජු පුද්ගලයා නිමක් නැතිව කොතරම් මහන්සි ගත්තද තමා බලාපොරොත්තු වන එම අවසාන තෘප්තිය ඔහුට නොලැබෙනු ඇත.” ගිජුකම හා නාස්තිය වළක්වාගන්නවාට අමතරව, යම් යම් ධනාත්මක පියවර කිහිපයක් ගැනීමටද බොහෝ අය තෝරාගෙන තිබේ.

බෙදාගැනීමට ඉගෙනගන්න

හොඳ තත්වයේ තිබෙන දේවල් ඉවතලෑමට පෙර, ඒවායේ අවශ්‍යතාවක් ඇති අය ඇත්දැයි සිතා බලන්න. උදාහරණයක් හැටියට, කුඩා දරුවන් ලොකු වන විට ඔවුන්ගේ ඇඳිය නොහැකි ඇඳුම් වෙනත් දරුවෙකුට දිය හැකිද? වටිනාකමක් ඇති එහෙත් ඔබ පෙර මෙන් පාවිච්චි නොකරන ඔබ සතු අනෙකුත් දේවල් සම්බන්ධයෙන්ද එයම කළ නොහැකිද? යමක් පාවිච්චි කිරීමෙන් ඔබ විඳි සතුට භුක්ති විඳීමට සලස්වමින් එය තව කෙනෙකුට දෙන්න. අමෙරිකානු ජාතික ලේඛකයෙක් හා හාස්‍යකරුවෙකු වූ මාර්ක් ට්වේන් වරක් මෙසේ ලීවේය. “ප්‍රීතිය මුළුමනින්ම භුක්ති විඳීමට නම් එය බෙදාගැනීමට කෙනෙකු සිටිය යුතුයි.” බෙදාගැනීම මගින්, ලබන ප්‍රීතිය දෙගුණ වන බව ඔබ සමහරවිට අද්දැක ඇති. ඊට අමතරව, මේ ආකාරයට බෙදාගැනීම ඉවතලෑමේ මානසිකත්වයේ අනිටු ඵලවිපාකවලට එරෙහිව සිටීමට ඔබට උපකාරවත් වනු ඇත.

අනිත් අය සමඟ දේවල් බෙදාගැනීම බයිබලය ඉතා ඉහළින් නිර්දේශ කරන යහපත් ගුණාංගයකි. (ලූක් 3:11; රෝම 12:13; 2 කොරින්ති 8:14, 15; 1 තිමෝති 6:18) හැමෝම බෙදාගැනීමට කැමැත්තෙන් සිටිනවා නම් මේ ලෝකය මොනතරම් හොඳ තැනක් වේවිද!

මූලික අවශ්‍යතා ගැන තෘප්තිමත් වන්න

තෘප්තිමත් කෙනෙක් සන්තෝෂවත් අයෙකි. එය කිසිදා බොරු නොවන ඇත්තකි. ග්‍රීක් ආප්තෝපදේශයක් කියන්නේ, “සුළු දෙයකින් තෘප්තිමත් නොවන කෙනෙක් කිසිම දෙයකින් තෘප්තිමත් නොවන්නෙකි” කියායි. “තෘප්තියේ හැඟීමක් නැත්තා දුප්පතෙකි” යැයි ජපන් ජාතිකයෝ පවසති. තෘප්තිමත්භාවය ගැන බයිබලයද කතා කරයි. එහි කියවීමට තිබෙන්නේ මෙසේයි. “ලත් පමණින් සතුටු වීම [ඇති දෙයින් සතුටු වීම, NW] සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය. මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් අපට කිසිවක් ගෙන යන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වන්නෙමුව.”—1 තිමෝති 6:6-8; පිලිප්පි 4:11.

ඇත්තෙන්ම, ඇති දෙයින් සතුටු වීමට නම් අපේ “ආකල්පවල විශාල වෙනසක්” කරගැනීමට අපට සිදු විය හැකිය. සුසෑන් නමැති තරුණ කාන්තාව එවැනි වෙනසක් කරගත යුතුයි කියා මෑතකදී තේරුම්ගත්තාය. ඇය මෙසේ කීවාය. “මම කැමති හැම දෙයක්ම ලබාගන්න මට බැරි නිසා, මට තියෙන දේවල්වලින් සතුටු වෙන්න මම ඉගෙනගන්න ඕනෙ කියලා මම අදිටන් කරගත්තා. දැන් මම ඉන්නේ තෘප්තියෙන් වගේම සතුටෙන්.”

තෘප්තිමත්භාවය සැබවින්ම සන්තෝෂයට මඟ පාදයි. වයසට යෑම පිළිබඳ විෂය ගැන විශාරදයෙක් වන බල්ගේරියානු ජාතික මහාචාර්ය ආගීර් හාඩ්ජික්රිස්ටෙෆ් මෙසේ කියයි. “මූලිකම වරද නම් කෙනෙක් තමන්ට ඇති ටිකෙන් තෘප්තිමත් නොවීමයි.” තෘප්තිමත්භාවය ශරීර සෞඛ්‍යයට ඇති කරන හිතකර බලපෑම් පිළිබඳව කතා කරමින් ඔහු තවදුරටත් මෙසේ පවසයි. “තම අසල්වැසියාට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට උත්සාහ නොකරන, සෑමවිටම වැඩි වැඩියෙන් ලබාගැනීමට වෑයම් නොකරන තැනැත්තා තරඟකාරිත්වයෙන් තොරව සිටී. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු අධිමානසික පීඩනයකින් මිදෙයි. එය ඔහුගේ ස්නායු පද්ධතියටත් හිතකරයි.”

ඉවතලෑමට නැඹුරු වූ සමාජයක් කිසිදාක සැබෑ සන්තෝෂය ගෙනෙන්නේ නැති බව සැබෑවකි. ඉවතලෑමේ මානසිකත්වය ඊටත් වඩා නරකය! දැන් දැන් බොහෝදෙනාට මේ කාරණය වැටහෙන බවක් පෙනෙන්ට තිබේ. ඔබටත් එසේමද?

[9වන පිටුවේ පින්තූරය]

කෑම නාස්ති කිරීමෙන් වැළකීමට දරුවන් ඉගෙනගත යුතුය

[9වන පිටුවේ පින්තූරය]

නාස්තිය වළක්වාගැනීම පිළිබඳ හොඳ ආදර්ශයක් යේසුස් තැබීය

[10වන පිටුවේ පින්තූරය]

ඔබ පාවිච්චි නොකරන දෙයක් ඉවත නොලා වෙන කෙනෙකුට නොදෙන්නේ මන්ද?