Skip to content

පටුනට යන්න

ඉවතලෑමට නැඹුරු වූ සමාජයක ජීවත් වීම

ඉවතලෑමට නැඹුරු වූ සමාජයක ජීවත් වීම

ඉවතලෑමට නැඹුරු වූ සමාජයක ජීවත් වීම

සංවර්ධිත රටවල වෙසෙන ජනයා කුණු කසළ ඉවතලන්නේ විශාල වශයෙනි. උදාහරණයක් හැටියට, එක්සත් ජනපදයේ වාර්ෂිකව ඉවත් කරන කුණු කසළ ප්‍රමාණය සලකා බලන්න. “එම කුණු කසළවල බරට සමාන වතුරවලින් ඔලිම්පික් පිහිනුම් තටාක 68,000ක් පිරවිය හැකි” බව කියැවේ. නිව් යෝක් නගරයේ විශාලම උද්‍යානය වන සෙන්ට්‍රල් පාක් මීටර් හතරක් උසට පිරවීමට ප්‍රමාණවත් කුණු කසළ ප්‍රමාණයක් එම නගරයේ වැසියන් වසරක් තුළ ඉවතලන බව මීට අවුරුදු ගණනාවකට පෙර තක්සේරු කර තිබුණි. a

එබැවින්, “පරිභෝජනය කර ඉවතලෑමට නැඹුරු වූ සමාජයක්” සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපදය “සෙසු ලෝකයට අනතුරු ඇඟවීමක්” ලෙස හැඳින්වීම පුදුමයක් නොවේ. එහෙත්, අනිත් රටවල්ද ඊට දෙවැනි නොවේ. ජර්මනියේ සිටින ජනයා වාර්ෂිකව ඉවතලන කුණු කසළවලින් එහි අගනුවර වන බර්ලිනයේ සිට අප්‍රිකාවේ වෙරළබඩ තීරය දක්වා කිලෝ මීටර 1,800ක් පමණ දිග බඩු පටවාගෙන යන දුම්රියක් පහසුවෙන්ම පිරවිය හැකි බව ගණන් බලා ඇත. එමෙන්ම, බ්‍රිතාන්‍යයේ කළ ඇස්තමේන්තුවකින් කියැවුණේ එරටේ සතරදෙනෙකු සිටින පවුලක් වර්ෂයකදී ගස් හයකින් සාදාගත හැකි කඩදාසි ප්‍රමාණයක් ඉවතලන බවය.

දියුණු වෙමින් පවතින රටවල්ද කුණු ගොඩවල් බවට පත්වීමෙන් බේරී නැත. පිළිගත් ප්‍රවෘත්ති සඟරාවක් වාර්තා කළේ මෙසේය. “නරකම ආරංචිය නම්, පෘථිවියේ සිටින බිලියන හයක් වූ ජනයාගෙන් වැඩිදෙනෙකු කුණු කසළවලින් පිරි එක්සත් ජනපදයේ සහ ලෝකයේ දියුණු වූ රටවල අඩි පාරේ ගමන් කිරීමට පටන්ගැනීමයි.” එසේය, පිළිගන්ට අප කැමති වුණත් නැතත්, අපෙන් බොහෝදෙනෙකු ඉවතලෑමට නැඹුරු වූ සමාජයක පංගුකාරයන් වී ඇත.

ඇත්තෙන්ම, ඉතිහාසයේ සෑම කාලයකදීම මිනිසුන් ද්‍රව්‍ය ඉවතලා තිබේ. ටින් කෑම මෙන්ම පොලිතීන් හා කඩදාසිවලින් ඇසුරූ ද්‍රව්‍ය වෙන කිසිදාකට වඩා දැන් දැන් සෑම තැනකදීම පාහේ ලබාගත හැකිය. ප්‍රතිඵලයක් හැටියට එවන් අසුරන විසි කරනු ලැබේ. පත්තර, සඟරා, දැන්වීම් පත්‍රිකා සහ වෙනෙකුත් මුද්‍රිත කඩදාසිවල ප්‍රමාණයද ඉහළ නැඟ ඇත.

අපේ අධිකාර්මික හා විද්‍යාත්මක ලෝකයද විවිධ වර්ගයේ අලුත් කුණු කසළ නිපදවා ඇත. ඩයි වෙල්ට් නමැති ජර්මානු පුවත්පත ප්‍රකාශ කරන්නේ, “යුරෝපීය සංගමයේ පමණක් මෝටර් රථ මිලියන නවයක් වාර්ෂිකව ඉවතලන” බවය. ඒවා ඉවතලීම සුළු පටු කාර්යයක් නොවේ. න්‍යෂ්ටික හෝ රසායනික අපද්‍රව්‍ය සුරක්ෂිතව ඉවතලන්නේ කෙසේද යන්න ඊටත් වඩා විශාල ප්‍රශ්නයක් වී ඇත. වර්ෂ 1991දී, එක්සත් ජනපදය තුළ “විකිරණශීලී අපද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක් තිබූ අතර, ඒවා ගබඩා කිරීමට ස්ථිර ස්ථානයක් තිබුණේ නැත.” එමෙන්ම, “නිසි ලෙස භාවිත නොකිරීම නිසා [ඕනෑම මොහොතක] අමතක වී යා හැකි, සොරකම් කළ හැකි සහ පරිසරයට හානි පැමිණවිය හැකි” මාරාන්තික ද්‍රව්‍ය අඩංගු බැරල් මිලියනයක් තාවකාලික ගබඩාවල රඳවා ඇති බවද කියැවේ. වර්ෂ 1999දී පමණක්, එක්සත් ජනපදයේ ආයතන 20,000ක පමණ හානිකර අපද්‍රව්‍ය ටොන් මිලියන 40ක් නිපදවා ඇත.

පසුගිය සියවසේදී, වේගයෙන් වර්ධනය වූ ලෝක ජනගහනය තවත් හේතුවකි. සෙනඟ වැඩි වෙන තරමටම කුණු කසළද වැඩි වේ! ජනගහනයෙන් බහුතරයක් පාරිභෝගික ජීවන රටාවකට කැමැත්තක් දක්වති. මේ සම්බන්ධයෙන් වර්ල්ඩ්වොච් ආයතනය මෑතකදී මෙවන් නිගමනයකට එළඹීය. “මිනිස් ඉතිහාසයේ වෙන කිසිමදාකට වඩා 1950 සිට භාණ්ඩ හා සේවා පරිභෝජනය වැඩි වී ඇත.”

සංවර්ධිත රටවල වෙසෙන වැඩිදෙනා සියලුම “භාණ්ඩ හා සේවා” ඉවත් කිරීමට කැමැත්තෙන් නොසිටින බව ඇත්තයි. උදාහරණයක් හැටියට, සාප්පුවකට ගොස් අසුරා ඇති භාණ්ඩ මිල දී ගෙන පොලිතීන් හෝ කඩදාසි ඇසුරුම්වල දමා ඒවා ගෙදර ගෙන ඒම කොතරම් පහසුදැයි සිතා බලන්න. එවැනි ඇසුරුමක් නොලැබුණහොත්, ජනයා කොතරම් එවැනි ඇසුරුම් මත රඳා සිටිනවාද යන්න දැනගත හැකියි. තවද එවැනි ඇසුරුම් භාවිතය සනීපාරක්ෂාවට දායක වන නිසා යම් ආකාරයකින් යහපත් ශරීර සෞඛ්‍යයකටද හිතකරයැයි පැවසිය හැකියි.

අදදින අප හැම පැත්තකින්ම ප්‍රගතියක් ලබා තිබුණද, වත්මන් සමාජය විසින් කුණු කසළ ඉවතලීම පමණ ඉක්මවා ගොස් තිබෙනවා නොවේද? පෙනෙන ආකාරයට, කුණු කසළ අතිරික්තය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් වශයෙන් විවිධ සැලසුම් සලසා තිබුණත්, මිනිසුන් ඉවතලන විශාල අපද්‍රව්‍ය ප්‍රමාණය සොලවන්ට ඒ කිසිවකට හැකි වී නැත. දරුණුම දෙය නම්, අද ජීවත් වන ඉවතලෑමට නැඹුරු වූ සමාජය පොලඹවන්නාවූ ආකල්ප මේ සියලුදේටම වඩා භයානක වීමයි.

[පාදසටහන]

a උද්‍යානය අක්කර 843ක වටප්‍රමාණයක් පුරා විහිදී ඇත.

[4වන පිටුවේ පින්තූරය]

හානිකර අපද්‍රව්‍ය සුරක්ෂිතව ඉවතලෑම බරපතළ ගැටලුවක්ව පවතී