Skip to content

පටුනට යන්න

ඔබේ දිවිය වර්ණවත් කරන්න

ඔබේ දිවිය වර්ණවත් කරන්න

ඔබේ දිවිය වර්ණවත් කරන්න

අලුත් තීන්ත ආලේපයකින් නිවසට කොතරම් දැකුම්කලු පෙනුමක් ගෙන දෙනවාද! දුර්වර්ණ වූ බිත්ති හෝ අඳුරු පෙනුමක් ඇති කාමරයකට එමගින් නව ඔපයක් ලබා දෙන්න පුළුවන්. ඔබත් කැමතිද ඔබේ නිවසේ කාමර කිහිපයකට නව එළියක් දෙන්න? එහෙමනම්, ඔබම ඔබේ නිවසට තීන්ත ආලේප කිරීමට වෑයම් නොකරන්නේ මන්ද? එය ඔබ හිතන තරම් අමාරු වැඩක් නොවෙයි!

ෆර්නැන්ඩෝ, ඔහුගේ බිරිඳ ඩිල්මා සහ අට හැවිරිදි ඔවුන්ගේ දියණිය වනෙසා තමන්ගේ නිවසේ කොටසකට තීන්ත ආලේප කරන හැටි බලමු. එතකොට අපිටත් පුළුවන් හොඳ නිමාවක් ගෙන දෙන විදිහට තීන්ත ආලේප කරගන්න. ඒත් වැඩේට බහින්න කලින් වර්ණ තෝරාගන්නා හැටි ගැන යමක් ඉගෙනගනිමු.

වර්ණ තෝරාගැනීම

ආලේප කරන තීන්තවල වර්ණය තේරීමට කලින් හොඳින් සිතා බැලිය යුතුයි. වර්ණයකින් නිවස අලංකාරවත් කරනවා වගේම අපේ මානසිකත්වයටත් යම් බලපෑමක් කරන්න පුළුවන්. දීප්තිමත්, දිලිහෙන වර්ණ අපේ හැඟීම් පුබුදුවාලන අතර ලා පැහැති, නොදිලිහෙන වර්ණවලින් නිශ්චල හැඟීමක් ඇති කළ හැකියි. සමහර වර්ණ ගොඩනැඟිල්ලක ඇතුල් පැත්තේ ආලේප කළ විට අඳුරු පෙනුමක් ගෙන දෙන අතර පිට පැත්තේදී ඒවා වඩා ලා පැහැයක් ගන්නවා. ෆර්නැන්ඩෝ හා ඩිල්මා ඔවුන්ගේ නිවසට තෝරාගෙන තිබෙන්නේ ලා කහ පැහැය හා (wattle-blossom yellow) අව සුදු පැහැයයි (warm white). තීන්ත ආලේප කරන්නේ කොතැනටද කියා අපි පස්සේ බලමු.

ඉහත පෙනෙන වර්ණ චක්‍රය දෙස බලන්න. චක්‍රයේ මූණට මූණ ලා පිහිටා තිබෙන වර්ණ, අනුපූරක (complementary) වර්ණ වශයෙන් හඳුන්වනවා. ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ණ වන නමුත් එක ළඟ යොදාගන්නා විට අමුතුම දීප්තියක් පිට වන්නේ ඒවායේ තීව්‍රතාව වැඩි වන නිසයි. දීප්තිමත් වර්ණවලට ඒ තරම් රුචිකත්වයක් නැත්නම් එකම වර්ණයේ විවිධ පැහැයන් තෝරාගන්න. මෙය හඳුන්වන්නේ ඒක වර්ණ, වර්ණ පරිපාටිය (monochromatic color scheme) යනුවෙන්.

වැඩ පටන්ගන්න කලින් අපේ මිත්‍රයන්ට අසන්න ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඔවුන් භාවිත කළ යුත්තේ කුමන වර්ගයේ තීන්තද කියා ෆර්නැන්ඩෝට දැනගන්න අවශ්‍යයි. වනෙසාට දැනගන්න අවශ්‍ය වන්නේ තීන්ත නිෂ්පාදනය කරන්නේ කොහොමද කියා. ඉතිං ඔවුන්ගේ ගෙවල් ළඟ තිබෙන තීන්ත කර්මාන්ත ශාලාවට ගිහින් ඒ ගැන තොරතුරු ටිකක් විමසා බලමු.

තීන්ත නිෂ්පාදනය

අපව කර්මාන්ත ශාලාව වටේ ගෙන යන්නේ එහි අයිතිකරු වන ජෙරාර්ඩ්. කර්මාන්ත ශාලාවට ඇතුල් වන ගමන්ම අපි දකින්නේ ලීටර් 800ක ධාරිතාවෙන් යුත් බහාලුමක් සහිත මිශ්‍රණ යන්ත්‍රයක්. ඒ තුළ ඇලෙනසුලු ද්‍රව්‍යයක් මිශ්‍ර වෙනවා. යන්ත්‍රයේ ඝෝෂාව නිසා, ජෙරාර්ඩ් අපිත් එක්ක කතා කරන්නේ හයියෙන් කෑ ගහලයි. “තීන්ත හදන එකත් හරියට කේක් හදනවා වගේ. අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම කිරලා බලලා ඊට පස්සේ ඒවා එකට මිශ්‍ර කරනවා.”

“තීන්ත සාදන ක්‍රමය මොකක්ද” කියා අපිට දැනගන්න අවශ්‍යයි.

“ප්‍රධාන වශයෙන් අවශ්‍ය ද්‍රව්‍ය හතරක් තියෙනවා” කියා ජෙරාර්ඩ් කියනවා. “ඒවා තමයි වර්ණක, සංයෝග (binders), ද්‍රාවණ හා සුළු වශයෙන් එකතු කරන විශේෂ අමතර ද්‍රව්‍ය. දැන් යන්ත්‍රයේ මිශ්‍ර වන තීන්තවල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය වන්නේ ටයිටේනියම් ඩයිඔක්සයිඩ්. මේ සුදු වර්ණකය ලබාගන්නේ පොළොව හාරලායි. දැන් හදන තීන්තවල ඊයම් වෙනුවට යොදාගන්නේ ඒකයි.” මෙම වර්ණකය හරියට පාන් පිටි වගෙයි.

“මේ ද්‍රව්‍යයට කිරාගත් සංයෝගයෙන් ටිකක් එකතු කරගෙන තුනී පාප්පයක් වෙනකම් අනනවා. මේ අනාගත් මිශ්‍රණයට යොදාගෙන තියෙන්නේ ඇක්‍රිලික් මැලියම් සංයෝගයයි. තීන්ත සාදන කෙනා මිශ්‍රණය පදමට අනාගත්තාට පස්සේ මැලියම් සංයෝගයේ ඉතිරි කොටසත් මිශ්‍රණයට එකතු කරගන්නවා. ඉන් පස්සේ වතුර, මිනරල් ස්පිරිට් වැනි ද්‍රාවණ ටිකත් එකතු කරගන්නවා. අන්තිමට තමයි විශේෂ අමතර ද්‍රව්‍ය එකතු කරගන්නේ.”

නිවාස නඩත්තුව සඳහා අවශ්‍ය වන්නේ කොයි වර්ගයේ තීන්තද කියා අපට දැනගන්න අවශ්‍යයි. අපේ මඟ පෙන්වන්නා එය පැහැදිලි කර දෙන්නේ මෙහෙමයි. “නිවසකට ගාන ප්‍රධාන තීන්ත වර්ග දෙකක් තියෙනවා. තෙල් පාදක කොටගත් තීන්තයි ජලය පාදක කොටගත් තීන්තයි. තෙල් පාදක කොටගත් තීන්තවලට සංයෝග හැටියට භාවිත කරන්නේ ලින්සීඩ් තෙල් හෝ අමතර ද්‍රව්‍ය එකතු කරගත් සෝයා තෙල්. ජලය පාදක කොටගත් තීන්තවල වයිනයිල් හෝ ඇක්‍රිලික් සංයෝග භාවිත කරනවා. තෙල් පාදක කොටගත් තීන්ත වේළෙන විට ඝන මතුපිටක් ඇති වෙනවා. ඒ නිසා දොරවල් හා ලී රාමු වගේ නිතර නිතර අල්ලන මතුපිටවල් සඳහා එය සුදුසුයි. නමුත් කාලය ගෙවී යද්දී තෙල් පාදක කොටගත් තීන්ත දුර්වර්ණ වී ගැළවී යනවා. එහෙත් තත්වයෙන් උසස් වයිනයිල් හෝ ඇක්‍රිලික් තීන්තවල වර්ණය දිගු කාලයක් පුරා පවතිනවා. අනික ඒවායෙන් ඒ තරම් සැර සුවඳක් පිට වන්නෙත් නැහැ. සියයට සියයක් ඇක්‍රිලික් සංයෝගවලින් සාදාගත්, පිටත බිත්ති සඳහා යොදාගන්නා තීන්ත ඕස්ට්‍රේලියාවේ ඌෂ්ණාධික ගිම්හානයටත් කැනඩාවේ අධික ශීත ඝෘතුවටත් හොඳින් ඔරොත්තු දෙනවා.”

ජෙරාර්ඩ් අපිට ඉගැන්වූ දේවල් මතකයේ තබාගන්න වෑයම් කරමු. පොඩ්ඩක් ඔහොම ඉන්න! ඔහුට තවත් යමක් කියන්න තිබෙනවා. “මේ තීන්ත වර්ග දෙකටම ග්ලොස්, සැටින්, ලෝ ෂීන් හා මැට් (flat) යනුවෙන් ප්‍රධාන දිස්න මට්ටම් හතරක් තියෙනවා. නිතර නිතරම අල්ලන මතුපිටවල් සඳහා ග්ලොස් ෆිනිෂ් හොඳයි. වැසිකිළි, නාන කාමර හා ආලින්දය වැනි තැන්වලට හොඳ සැටින් ෆිනිෂ්. ලෝ ෂීන් සුදුසු වන්නේ සාලය හා නිදන කාමර වගේ තැන්වලටයි. මැට් ෆිනිෂ් ගොඩක්ම හොඳ සීලිමටයි.” අපිව දැනුවත් කළාට ජෙරාර්ඩ්ට ස්තුති කරමින් අපි නැවත ගෙදර බලා පිටත් වෙනවා. ගෙදර ගිය ගමන් කරන්න අමාරු වැඩක් තිබෙනවා. ඒ තමයි තීන්ත ගෑමට පෙර මතුපිටවල් සකස් කිරීමේ වැඩේ.

නැතුවම බැරි පෙර සූදානම

දැකුම්කලු හා කල්පවතින ආකාරයට තීන්ත ආලේප කිරීම බොහෝ දුරට රඳා පවතින්නේ පෙර සකස් කිරීම කොයිතරම් හොඳට කරනවාද යන්න මතයි. ඒ නිසා දැන් අපි අමාරු වැඩ ටිකක් කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒ අතරතුර අපේ වැඩේ සාර්ථකව කරගෙන යෑමට තවත් හොඳ යෝජනා ටිකක් ලැබෙන්න පුළුවන්. ෆර්නැන්ඩෝට තීන්ත ආලේප කරන්න අවශ්‍ය වන්නේ කෑම කන කාමරයටයි, නිවස ඉදිරියේ තිබෙන ලෑලි වැටටයි. මුලින්ම නිවස ඇතුලේ තිබෙන වැඩේ පටන්ගනිමු.

කාමරයේ තිබෙන ගෘහ භාණ්ඩ සියල්ලම අයින් කළ පසු අපි පරණ ඇඳ ඇතිරිලි කිහිපයක් බිම එළනවා. මුලින්ම සීලිමේ, දොර ජනේල රාමුවල හා වෙනත් ලී පටිවල තිබෙන පරණ තීන්ත සූරා අයින් කරගන්න අවශ්‍යයි. ෆර්නැන්ඩෝට ඒ වැඩේ කරන්න අපිත් උදව් වෙමු. ඔහු ඉනිමඟ තබන්නේ පොළොවේ සමතලා තැනකයි කියා ඔබට පේනවාද? ඒ වගේම ඉනිමඟේ හිණිපෙත්ත මත අඩිය තැබුවොත් බිම වැටීමේ අවදානම වැඩි නිසා ඔහු එසේ නොකරන්න වගබලා ගන්නවා. කපරාරු කළ බිත්තිවල ඒ තරම් කඩතොලු නැති වුණත් තීන්ත ආලේප කරන්න කලින් එය ජලය සමඟ මිශ්‍ර කරගත් පිරිසිදුකාරක ද්‍රව්‍යයකින් සෝදන්න අවශ්‍යයි.

ගැළවී යන පරණ තීන්ත සූරා ඉවත් කළ පසු කඩතොලුවලට ෆිලර් යොදනවා. ජනේල වටේ රාමුව හා බිත්තිය පහළින් වටේට යන ලී පටියේ (skirting) තිබෙන කඩතොලු වැසීමට යොදාගන්නේ ඇක්‍රිලික් ගැප් සීලර්. මේ සීලර් වර්ගය නම්‍යසුලු නිසා ලී හා කපරාරුව අතර ඇති වන හිඩැස් හෝ පැලුම් වැසීමට එයට හැකියි. පසුව වනෙසා, සීලර් ගෑමට යොදාගත් ආයුධ ටික සෝදන අතරතුරේදී අපි ලී මතුපිටවල් හා බිත්ති (මීඩියම් ග්‍රේඩ්) වැලි කඩදාසියකින් මදිනවා. මෙය මතුපිට මට්ටම් කිරීමටත් එයට වඩා රළු ස්වභාවයක් ලබා දීමටත් දායක වෙන නිසා තීන්ත වඩාත් ඉක්මනට උරාගන්නා අතර බිත්තියට තදින් ඇලෙයි.

ඇයි අපි මේ අමුතු විදිහට මුහුණ වසාගෙන ඉන්නේ? එය තීන්ත, හුණු, දූවිල්ල ආදිය අපේ උගුරට නොයෑම සඳහා ගන්නා ආරක්ෂිත පියවරක්. අපි පැළඳගෙන සිටින ආරක්ෂිත කණ්ණාඩි ඒ තරම් ආකර්ෂණීය නොවුණත් ඒවා උඩින් වැටෙන පරණ තීන්ත කැබලි හා දූවිල්ලෙන් අපේ ඇස් ආරක්ෂා කරනවා. ඊයම් පාදක කොටගත් තීන්ත සූරා ඉවත් කරන විට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. (මෙම පිටුවේ “ඊයම් අවදානම” නමැති කොටුව බලන්න.)

අන්තිමට මුළු ප්‍රදේශයම මෘදු කෙඳි ඇති බුරුසුවකින් පිස දමනවා. තීන්ත ආලේප කර නැති ලී මතුපිටවල් හා බිත්තියේ කඩතොලු මත ප්‍රයිමර් (undercoat) ආලේප කළාට පසුවයි තීන්ත ආලේප කරන්නේ. මෙසේ කරන්නේ වැලි කඩදාසියෙන් මට්ටම් කළ කොටස් හෝ පරණ තීන්ත තිබෙන ලී කොටස් මත මුල්ම වරට තීන්ත ආලේප කරද්දී තීන්ත උරාගෙන පැල්ලම් හිටින්න පුළුවන් නිසයි. නමුත් ප්‍රයිමර් ආලේප කිරීමෙන් සුමුදු මතුපිටක් ගෙන දෙනවා. මෙම සකසාගැනීම් කළ පසු කාමරයේ තීන්ත ආලේප කරන්න පුළුවන්.

දැන් අපි ලෑලි වැට දෙස බලමු. ඒ මත කලින් තීන්ත ආලේප කරලා නැහැ. මුලින්ම වැට හොඳින් පිරිසිදු කරගන්න වෙයි. ඊට පස්සේ ඇණවලට මෙට්ල් ප්‍රයිමර් ආලේප කරන්න අවශ්‍යයි. මෙසේ කරන්නේ තීන්ත ගැළවී මලකඩ මතුපිටට ඒම වළක්වාලීමටයි. වැට හිරු රශ්මියට හා වැස්සට නිරාවරණය වන නිසා ඒවාට හොඳින් ඔරොත්තු දීමට නම් දෙතුන් වරක්ම ඇක්‍රිලික් සංයෝගයන්ගෙන් යුත් තීන්ත වර්ගයක් ආලේප කරන්න අවශ්‍යයි.

අද දවසට වැඩ කළා ඇති. හැම දෙයක්ම සකසා ගෙන තිබෙන නිසා හෙට දවසේ තීන්ත ආලේප කරන්න පටන්ගන්න පුළුවන්.

තීන්ත බුරුසු එළියට ගමු

ඊයේ මහන්සි වී කළ සකසාගැනීම්වලින් අද අපිට ප්‍රයෝජන නෙළාගන්න පුළුවන්. මුලින්ම තීන්ත හොඳින් කලවම් කරගන්න අවශ්‍යයි. බිත්ති සඳහා යොදාගන්නා මෙම ඇක්‍රිලික් තීන්තවලට අපි වතුර සියයට 5ක් පමණ මිශ්‍ර කර දියාරු කරලයි තියෙන්නේ. මෙය තීන්ත වඩා මටසිලිටු ලෙස ආලේප කිරීම පහසු කරවයි. ඕනෑවට වඩා වතුර මිශ්‍ර නොකළ යුතුයි. වතුර වැඩි වුණොත් තීන්ත පමණට වඩා තුනී වන නිසා ආලේප කළ පසුවත් පරණ තීන්ත විනිවිද පෙනේවි. බිත්ති හා සීලිමේ කොන් සඳහා අපි පළල් බුරුසුවක් පාවිච්චි කරනවා. විශාල ප්‍රදේශවලට තීන්ත ආලේප කරන්නේ රෝලර්වලින්. එතකොට අපිට වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. a

බුරුසුවේ රැඳී තිබෙන වැඩිපුර තීන්ත පිස දැමීමට තීන්ත ඇසුරුමේ එක් පැත්තක් පමණක් භාවිත කරන්න අමතක නොකරන්න. එතකොට ඇසුරුමේ පිරිසිදු පැත්ත මත හැඬලය තැබිය හැකි අතර අපේ අත් පුරා තීන්ත ගෑවෙන්නෙත් නැහැ. අවසානයේදී, “ඉහළ සිට පහළ දක්වා තීන්ත ආලේප කරන්න” යන නීතිය අප අනුගමනය කළ යුතුයි. ඒ කියන්නේ අපි සීලිමේ තීන්ත ආලේප කරලා ඉවර වුණාට පසුවයි බිත්තිය මත තීන්ත ආලේප කරන්නේ. ඊළඟට කරන්න තියෙන්නේ, ලී කොටස් මත තීන්ත බිඳු ඉහිරී ඇත්නම් ඒවා තෙත රෙදි කැබැල්ලකින් පිස දමා, පසුව තෙල් පාදක කොටගත් ග්ලොස් තීන්තවලින් ඒවා ආලේප කරන එකයි. දැන් ඉතිං වැඩේ ඉවරයි. කොච්චර ලස්සනද බලන්න! බිත්ති මත ආලේප කර ඇති ලා කහ පැහැය හා ලී කොටස්වලට ආලේප කර ඇති අව සුදු පැහැය මුළු කාමරයටම අමුතුම දීප්තියක් ගෙන දෙනවා.

දැන් ගේ ඉස්සරහ තිබෙන ලෑලි වැටේ වැඩ ආරම්භ කරමු. මේ වැඩේට අපි පාවිච්චි කරන්නේ ජලය පාදක කොටගත් තීන්තයි. එය ආලේප කරන්නේ පළල් බුරුසුවකින්. තුන් වරක් තීන්ත ගෑවාම හොඳටම ඇති. සෑම ආලේපයකින්ම පසු පැයක් දෙකක් අතර කාලයක් තීන්ත වේළෙන්න ඉඩහරින්න අවශ්‍යයි. ඒ නිසා කළුවර වැටෙන්න ඉස්සෙල්ලා වැඩේ ඉවර කරගැනීමට දැන්මම වැඩේ පටන්ගන්න ඕනේ.

මුලින්ම බුරුසුවේ කෙඳි වතුරේ පොඟවා ගසාගන්නවා. තීන්ත හොඳින් උරාගන්නත්, බුරුසුව මත තීන්ත වේළෙන්නේ නැති වෙන්නත් මෙය උපකාරවත් වෙනවා. බුරුසුව තීන්තවල හොඳින් පොඟවා විශාල ප්‍රදේශයක් ආවරණය වන සේ අත දිග හැරලා ආලේප කරන්නයි අපි වෑයම් කරන්නේ. තීන්ත ලීයට හොඳින් උරාගන්නා සේ අපි මෘදු ලෙස ආලේප කරනවා වෙනුවට බුරුසුව හොඳින් “තද කර” ආලේප කරනවා.

මේ බලන්න! ඉර බහින්න කලිනුත් අපේ වැඩේ ඉවරයි. ලෑලි වැට අලුත්ම අලුත් පාටයි. අපි අපේ වැඩ ටික හොඳින් නිරීක්ෂණය කරනවා. පහුගිය දවස් දෙකේම දැරූ මහන්සිය ගැන දැන් සෑහීමකට පත් වෙන්න පුළුවන්. තීන්ත ටිකකින් කොච්චර ලොකු වෙනසක්ද! නිවහනට නව පෙනුමක් දීමෙන් අපේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා.

[පාදසටහන]

a බොහෝදෙනෙක් දොර ජනෙල් රාමුවල හා වෙනත් කෙළවරවල් මත තීන්ත ආලේප කරන විට මාස්කිං ටේප් භාවිත කරනවා. එසේ කරන්නේ කෙළින් ඉරක් සකස් කරගන්නයි.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සාමාන්‍යයෙන් පැනනඟින ගැටලු කිහිපයකට පිළියම්

◼ පුස්: වතුර කොටස් හතරකට බ්ලීච් කොටසක් එකතු කර බ්ලීචිං මිශ්‍රණයක් සාදාගෙන, අත්වැසුම් හා ආරක්ෂිත කණ්ණාඩි පැළඳගෙන බිත්ති මතුපිට සෝදන්න. හැකි නම් දිලීර නාශකයක් සේ ක්‍රියා කරන අමතර ද්‍රව්‍යයක් භාවිත කරන්න. තෙල් පාදක කොටගත් තීන්ත මත වඩා පහසුවෙන් පුස් වැඩෙන නිසා ඇක්‍රිලික් තීන්තවලින් නැවත ආලේප කරන්න.

◼ වතුර හා වෙනත් පැල්ලම්: කාන්දු වන තැන් අලුත්වැඩියා කරන්න. එහෙමත් නැත්නම් පැල්ලම ඇතිවීමට හේතුව සොයා එයට පිළියමක් යොදන්න. පිරිසිදුකාරක ද්‍රව්‍යයක් යොදා ජලයෙන් සෝදන්න. පැල්ලම් වළක්වන ප්‍රයිමර් හෝ ෂෙලැක් ආලේප කරන්න. යටි ආලේපය කළ යුත්තේ ඉන්පසුවයි.

◼ කුඩු සහිත මතුපිටවල්: කුඩු පිස දමා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. සෙමින් වේළෙන සීලර් වර්ගයක් ආලේප කරන්න. වතුර පාදක කොටගත් සීලර්වලට වඩා තෙල් පාදක කොටගත් ඒවා හොඳයි. මන්ද ඒවාට ඇලෙනසුලු ස්වභාවයක් තිබෙන නිසා කුඩු වඩාත් හොඳින් අල්ලාගන්නවා.

[27වන පිටුවේ කොටුව]

ඊයම් අවදානම

ඕස්ට්‍රේලියාවේ පරිසරය සංරක්ෂණ ආයතනය නිකුත් කළ පොත් පිංචයක (Lead Alert—Painting Your Home?) මෙසේ පළ කර තිබුණා.

◼ කුඩා දරුවෙකුගේ රුධිරයට ඉතා සුළු වශයෙන් හෝ ඊයම් එකතු වුණොත් එමගින් ඔහුගේ බුද්ධි වර්ධනයට හා හැසිරීමට විශාල බලපෑමක් ඇති කළ හැකියි.

◼ වයස අවුරුදු පහෙන් පහළ දරුවන්ගේ ස්නායු පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන් සිටින්නේ වැඩි අවදානමකයි. කුඩා දරුවන්ගේ ශරීරගත වන ඊයම්වලින් සියයට 50ක්ම ඔවුන් අවශෝෂණය කරගන්නා අතර වැඩිහිටියන් අවශෝෂණය කරන්නේ සියයට 10ක් පමණයි.

◼ දරුවෙක් මාපටැඟිල්ලේ නියපොත්ත තරම් ඊයම් අඩංගු කුඩා තීන්ත පතුරක් කෑවොත් සති ගානක් තිස්සේ ඔහුගේ ශරීරයේ ඊයම් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතියි.

[25වන පිටුවේ පින්තූරය]

වර්ණ චක්‍රය

[25වන පිටුවේ පින්තූරය]

තීන්ත සාදන්නෙකුගේ “මුළුතැන්ගෙය”

[26වන පිටුවේ පින්තූරය]

ආරක්ෂා සහිත ලෙස ඇඳ පැළඳ සිටින්න