Skip to content

පටුනට යන්න

ඔබ මඟ පෙන්වීම පතා අංක දෙස බැලිය යුතුද?

ඔබ මඟ පෙන්වීම පතා අංක දෙස බැලිය යුතුද?

ඔබ මඟ පෙන්වීම පතා අංක දෙස බැලිය යුතුද?

විද්‍යාව හා තර්කණය හමුවෙහි සංඛ්‍යා ශාස්ත්‍රයට එහි වලංගුභාවය රැකගත හැකිද? අංක අපේ ඉරණම හෙළි කිරීමේ මාධ්‍යයක් ලෙස සැලකිය හැකිද? ඔබේ අනාගතය ඔබ සැලසුම් කළ යුත්තේ සංඛ්‍යා ශාස්ත්‍රය මගින් සොයාගනු ලබන දේවල් හා එමගින් පළ කරනු ලබන අනාවැකි අනුවද?

විවිධ සංස්කෘතීන්වල විවිධ දිනදර්ශන භාවිත කිරීම නිසා හටගන්නා ගැටලුව පැහැදිලි කිරීමට සංඛ්‍යා ශාස්ත්‍රයට නොහැකි වී තිබෙන බවට විරෝධයක් එල්ල වී තිබේ. නිදසුනක් වශයෙන් චීන දිනදර්ශනය භාවිත කරනු ලබන ප්‍රදේශයක ජීවත් වන කෙනෙකු ගැන කුමක් කිව හැකිද? අපේ ආරම්භක ලිපියේ සඳහන් වූ 2001 සැප්තැම්බර් 11වන දිනය සලකා බලන්න. චීන දිනදර්ශනයට අනුව එම දිනය 78වන චක්‍රයේ 18වන අවුරුද්දේ 7වන මාසයේ 24වන දවස විය. ජූලියන් දිනදර්ශනයේ එම දිනය වූයේ 2001 අගෝස්තු 29යි. මුස්ලිම් දිනදර්ශනයට අනුව එම දිනය 1422 ජුමාඩා II 22වනදා වූ අතර එය හෙබ්‍රෙව් දිනදර්ශනයේ 5761 ඉලුල් මාසයේ 23වනදා විය. යම් දිනයක් විවිධාකාරවලින් ප්‍රකාශ කරනු ලබන විට ඊට සංඛ්‍යාත්මක වශයෙන් වැදගත්කමක් තිබිය හැක්කේ කෙසේද? සලකා බැලිය යුතු තවත් කරුණක් මෙන්න. බොහෝ අවස්ථාවලදී විවිධ භාෂාවල නම් ලිවීම සඳහා යොදාගන්නා අක්ෂර වෙනස් වේ. නිදසුනක් වශයෙන් ජෝන් යන ඉංග්‍රීසි නමේ අන්තර්ගත සංඛ්‍යාත්මක අගය 2ක් වූවත් එම නමම ස්පාඤ්ඤ භාෂාවේ අක්ෂර යොදාගනිමින් ලියන්නේ හ්වාන් කියාය. එහි සංඛ්‍යාත්මක අගය 1කි.

කෙසේවෙතත් ගණිතමය සූත්‍ර යොදාගනිමින් විශ්වයේ බොහෝ දේවල් පැහැදිලි කළ හැක. මෙම සූත්‍ර පරීක්ෂණවලට භාජන කරමින් සැබෑ තත්වයන්ට අදාළ කිරීමට පුළුවන. එනමුත් ඔබේ ඉරණම කෙබඳු එකක් වේවිද යන්න තීරණය කිරීමට හැකි වන පරිදි ඔබේ නම ඔබේ උපන් දිනය සමඟ සමානකමක් ඇතිවීම කලින්ම තීරණය වී තිබෙන බවත්, ඔබේ නම හා යම් නිශ්චිත අංක අතර සම්බන්ධයක් තිබෙන බවත් පැවසීම හාත්පසින්ම වෙනස් දෙයක් වේ.

මෙම නිගමනය පැහැදිලිය. එකිනෙකට බෙහෙවින් වෙනස් සාධක අඩංගු භාෂා හා දිනදර්ශන පදනම් කරගත් විට, සංඛ්‍යා ශාස්ත්‍රය මගින් ලබා දෙන අර්ථකථනයන් නිවැරදි බව පැවසීම තර්කානුකූලයයි කොයි අන්දමකින්වත් පැවසිය නොහැක.

‘කාලය හා හදිසි කාරණා’

සමහරුන් සංඛ්‍යා ශාස්ත්‍රය ගැන උනන්දුවක් දක්වන්නේ තමන්ගේ ජීවිත ගමන කල්තියාම නිශ්චය කරගැනීමට ඔවුන් ආශාවක් දක්වන නිසාය. කෙසේවෙතත් බයිබලය සරලව පවසන්නේ මිනිසාගේ ජීවිතය හා සම්බන්ධ විස්තර කලින් දැනගත නොහැකි බවයි. එහි අපට මෙසේ කියවීමට තිබේ. “දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධ [වේ].” (දේශනාකාරයා 9:11, අකුරු ඇල කළේ අපය.) ඇත්තෙන්ම, බොහෝ දේවල් සිදු වන්නේ බලාපොරොත්තු නොවූ ලෙසයි. මෙවන් අනපේක්ෂිත අහඹු සිදුවීම් නිසා, උපන් දිනය හෝ නමක තිබෙන සංඛ්‍යාත්මක අගය පදනම් කරගෙන නිවැරදිව අනාගතයේ සිදු වන දේවල් දැනගැනීමට දරන වෑයම් නිෂ්ඵල වේ.

මෙම උදාහරණයද සලකා බලන්න. ත්‍යාගශීලී වීමට දිරිගන්වමින් බයිබලයේ මෙසේ සඳහන් වේ. “නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක් හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බ වෙයි. සත්දෙනෙකුට වුණත් අටදෙනෙකුට වුණත් කොටසක් දෙන්න. මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධ වේද කියා නුඹ නොදන්නෙහිය.” (දේශනාකාරයා 11:1, 2, අකුරු ඇල කළේ අපය.) විපත්ති කියන්නේ මිනිසුන්ට බොහෝදුරට කලින් කිව නොහැකි දේවල්ය. මේ නිසා ගණිතය පිළිබඳ මහාචාර්ය අන්ඩර්වුඩ් ඩඩ්ලි සංඛ්‍යා ශාස්ත්‍රඥයන් ගැන මෙසේ සඳහන් කරයි. “ඔවුහු අහම්බෙන් සිදු වන දේවලට තැනක් දීමට අසමත් වෙති. පුදුමසහගත දේවල් වුවත් අහඹු ලෙස සිදු විය හැක.”

සංඛ්‍යා ශාස්ත්‍රඥයන් කියන ඇතැම් අනාවැකි සත්‍යය වන බව සැබෑවකි. මේ ගැන කුමක් කිව හැකිද? සමහර අවස්ථාවලදී එවැන්නක් සිදු වන්නේ අහම්බෙනි. එපමණක්ද නොව, ඇතැම්විට සංඛ්‍යා ශාස්ත්‍රඥයන් යොදාගන්නා භාෂාව මොනතරම් ව්‍යාකූලද කියනවා නම්, එය ප්‍රතිඵල කිහිපයකට අදාළ කළ හැක. නමුත් මෙහිදී ඉතා බරපතළ ලෙස සලකා බැලිය යුතු දෙයක්ද තිබේ.

පේන කීමක්ද?

සංඛ්‍යා ශාස්ත්‍රය යන වදන බයිබලයේ සඳහන් නොවේ. එනමුත් පො.යු.පෙ. පස්වන සියවසේදී පර්සියාවේ විසූ අමලෙක්වරයෙකු වූ හාමාන් ගැන එහි සඳහන් වේ. ඔහු යුදෙව්වන්ව සමූලඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේය. මේ ගැන බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වේ. “තමන්ගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුම දවස හා මාසය සොයාගැනීම සඳහා පස ඇට දැමීමට (එකල මෙය හැඳින්වූයේ ‘පූරිම්’ කියාය.) හාමාන් නියෝග කළේය. මේ අනුව, අදාර් නම් දොළොස්වන මාසයේ දහතුන්වන දිනය තෝරාගන්නා ලදි.”—එස්තර් 3:7, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.

පුරාණ කාලවලදී පස ඇට දැමීම සැලකුවේ මතභේද නිරාකරණය කරගැනීමේ නීත්‍යනුකූල ක්‍රියා මාර්ගයක් ලෙසය. a (හිතෝපදේශ 18:18) නමුත් හාමාන් පස ඇට දැමුවේ බයිබලය හෙළා දකින දෙයක් වන පේන කීම සඳහාය. ‘පේන කියන, නිමිති බලන, ශාස්ත්‍ර කියන, මායාකාර දේවල් කරන, මතුරන, ආත්ම බන්ධන ක්‍රියා කරන’ අයව දෙවි සලකන ආකාරය ගැන ද්විතීය කථාව 18:10-12හි මෙසේ සඳහන් වේ. “මේ දේ කරන කවරෙක් නුමුත් යෙහෝවාට පිළිකුලක්ය.”

පේන කීම හා ගුප්ත බලය බයිබලය සම්බන්ධ කර දක්වන්නේ භූතවාදය සමඟයි. තමන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා කූට උපායන් යෙදවීමට දුෂ්ට ආත්මවලට පුළුවන. ඇතැම් සිද්ධීන්වලදී සැබවින්ම සිදු වන්නේ මෙවන් දෙයක් වුවත් නැතත් එක දෙයක් නම් ස්ථිරයි. එනම් දෙවි භූතවාදය හා බැඳි ක්‍රියා හෙළා දකින අතර මෙවැනි දේවලට සම්බන්ධ අය දුෂ්ට ආත්මවල පාලනයට නතු විය හැක.—1 සාමුවෙල් 15:23; එපීස 6:12.

සංඛ්‍යා ශාස්ත්‍රයට විද්‍යාත්මක පදනමක් නොමැත. එමෙන්ම තර්කානුකූල ලෙස පරීක්ෂා කරන කල එය බොහෝ දෝෂවලින් යුක්ත බව සනාථ වේ. වඩාත් වැදගත් දෙය වන්නේ සංඛ්‍යා ශාස්ත්‍රය පේන කීම හා සම්බන්ධ වන නිසා එය බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි වීමයි. මෙම කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, ඔබේ ජීවිතයට මඟ පෙන්වීම ලබාගැනීමේදී හෝ ඔබේ අනාගතය සැලසුම් කිරීමේදී සංඛ්‍යා ශාස්ත්‍රය වැඩදායක මාධ්‍යයක් නොවන බවයි.

[පාදසටහන]

a ගල් කැට හෝ කුඩා ලී කැබලි වැනි දෑ යොදාගනිමින් පස ඇට දමද්දී කළේ ඇඳුමක් පැසක් මෙන් සකස් කරගෙන එයට හෝ බඳුනකට ඒවා දැමීමයි. ඉන්පසු ඒවා සොලවා බිමට දැම්මේය. පස ඇටය වැටුණු කෙනාව තෝරාගන්නා ලදි.

[18වන පිටුවේ කොටුව]

විවිධාකාර දිනදර්ශන සංඛ්‍යා ශාස්ත්‍රයට බරපතළ බාධකයක් වේ

ග්‍රෙගෝරියන් 2001 සැප්තැම්බර් 11

චීන 78වන චක්‍රයේ 18වන අවුරුද්දේ 7වන මාසයේ 24වන දින

ජූලියන් 2001 අගෝස්තු 29

මුස්ලිම් 1422 ජුමාඩා II 22වන දින

හෙබ්‍රෙව් 5761 ඉලුල් 23වන දින

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

කේන්දර විශ්වාස කළ හැකිද?

“සමහර අවස්ථාවලදී ඔබ මිත්‍රශීලී ලෙස අන් අය සමඟ කතා බහ කළත් ඔබ නිහඬව සිටින අවස්ථාද තිබෙන්න පුළුවනි. අමුත්තන්ට ඔබ ගැන බොහෝ විස්තර පැවසීම අනුවණකමක් කියා ඔබ දනී. ඔබ ස්වාධීන ලෙස සිතන පුද්ගලයෙකි. ඔබ දේවල් විශ්වාස කරන්නේ ඒ සඳහා සාක්ෂි තිබෙනවා නම් පමණි. ඔබ විවිධත්වයට කැමතිය. නීතිවලට කොටු වී සිටින්ට සිදු වුවහොත්, ඔබ සිටින්නේ අසන්තෝෂයෙනි. ඔබට හොඳ කුසලතා තිබුණත් ඔබ තවමත් ඒවායින් මුළුමනින්ම ප්‍රයෝජන ගෙන නැත. ඔබ අත් කරගනු ලබන දේවල් හා ඔබේ හැකියාවන් දෙස විවේචනාත්මක ඇසින් බලන්ට ඔබ නැඹුරු වී සිටියි.”

මේ විස්තරය ඔබට ගැළපෙනවාද? එසේනම් මේ විස්තරයෙහි සාමාන්‍යයට වඩා වැඩි වැදගත්කමක් තිබෙන බව ඔබ සිතනවා ඇති. මන්ද ඉහත කළ ප්‍රකාශයන්ගෙන් බොහොමයක් බොහෝදෙනෙකු සම්බන්ධයෙන් සැබෑ වේ. මේ නිසා මෙය කියවන අය මේ ප්‍රකාශයන්ගෙන් නිවැරදියි කියා පෙනෙන්න තිබෙන ඒවා පිළිගැනීමටත් එසේ නොවන ඒවා ප්‍රතික්ෂේප කිරීමටත් නැඹුරු වනු ඇත. එක් පොතක (Why Do Buses Come in Threes—The Hidden Mathematics of Everyday Life) සඳහන් වන ආකාරයට “කේන්දරයේ තිබෙන තමන්ගේ ලග්නයේ සලකුණ ඉවත් කළහොත් තම ලග්නයට අදාළ වන්නේ කුමන ඡේදයද කියා මිනිසුන්ට හඳුනාගත නොහැක. නමුත් ලග්නයේ සලකුණ යොදාගත්තොත් තමන්ට අදාළ වන්නේ කුමන කරුණුද කියා ඉතාමත් නිවැරදිව තමන්ගේ ලග්නය මගින් පෙන්නුම් කරයි කියා ඔවුන් විශ්වාස කරන බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.”

[20වන පිටුවේ කොටුව]

බයිබලයේ සඳහන් සංකේතමය අංක

බයිබලයේ සඳහන් ඇතැම් අංකවලට සංකේතමය අර්ථයක් තිබේ. එනමුත් එම අර්ථය තීරණය වන්නේ ශුද්ධ ලියවිල්ලෙහි එම අංක සඳහන් පාඨය අවට පාඨවලට සම්බන්ධ වන ආකාරය අනුව පමණයි. නිදසුනක් වශයෙන් පූර්ණකම හෝ සමස්ත බව ඇඟවීමට අංක හතර යොදාගෙන ඇත. ‘පොළොවේ සතර කොන’ හා “අහසේ සතර හුළං” වැනි ප්‍රකාශවල එම අදහස ගැබ්ව තිබේ. (යෙසායා 11:12; දානියෙල් 8:8) ඇතැම් අවස්ථාවලදී අංක හයෙන් නියෝජනය කරන්නේ අසම්පූර්ණකමයි. මෙහිදී සිත්ගන්නාසුලු කරුණක් නම් එළිදරව් පොතෙහි පොළොවේ තිබෙන සාතන්ගේ දේශපාලනික සංවිධානය සඳහා දී තිබෙන අංකය ‘මිනිසෙකුගේ ගණනක්,’ එනම් 666 වීමයි. (එළිදරව් 13:18) මෘග ගතිලක්ෂණ ඇති එම සංවිධානයේ අසම්පූර්ණකම කොතරම්ද කියා අවධාරණය කිරීම සඳහා හය එකවර තුන් වතාවක් ලියා තිබේ. සංකේතමය අරුතකින් යුතුව අංක හත යොදාගනු ලබන විට එයින් නියෝජනය කරන්නේ සම්පූර්ණත්වයයි. (ලෙවී කථාව 4:6; හෙබ්‍රෙව් 9:24-26) මෙම අංක ඇතුළුව බයිබලයේ සඳහන් සංකේතමය අරුතක් තිබෙන වෙනත් අංකවලින් නියෝජනය කරන දෙයෙහි අර්ථය ලබාගන්නේ එම අංක සඳහන් පාඨවල අනාවැකිමය සම්බන්ධය අනුවයි.

ශුද්ධ ලියවිල්ලෙහි ඇතැම් අංකවලට යම් ප්‍රමාණයක වැදගත්කමක් දුන්නත්, සැඟවුණු සත්‍යයන් හෙළි කරගැනීමේ අරමුණින් යම් වචනවල අක්ෂර, අංක සමඟ සම්බන්ධ කර දැක්වීමට බයිබලය අපව දිරිමත් කරන්නේ නැත.

[20වන පිටුවේ පින්තූර]

සමූලඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක් තෝරාගැනීමට හාමාන් පේන කීම යොදාගත්තේය