Skip to content

පටුනට යන්න

දෙවි සවන් දෙන යාච්ඤා

දෙවි සවන් දෙන යාච්ඤා

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි සවන් දෙන යාච්ඤා

“නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවා සොයන්න. එවිට ඔබට සම්බ වේ. නොකඩවා තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබේ. මන්ද, ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබේ. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වේ. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබේ.”—ලූක් 11:9, 10, NW.

යේසුස් ක්‍රිස්තුස් ඉහත පැවසූ වදන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බොහෝ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ගැටලු හා කනස්සලු වීම් ගැන දෙවිට යාච්ඤාවෙන් කියන්නේ, ඔහු ඔවුන් කෙරෙහි ප්‍රේමයක් හා සැලකිල්ලක් දක්වනවා යන ස්ථිරත්වය නිසයි. නමුත් තමන්ගේ යාච්ඤාවට පිළිතුරු ලැබෙන තුරු බලා සිට කලකිරීමට පත්වන්නන්ද අප අතර සිටියි. ඔබේ යාච්ඤා එතරම් බලපෑමෙන් යුක්ත නැතැයි කියා ඔබට සිතෙනවාද? ඔබ යාච්ඤා කරන විට දෙවි ඔබට සවන් දෙනවාද?

සමහරවිට අපේ යාච්ඤාවලට පිළිතුරු නොලැබීමෙන් ඇඟවෙන්නේ දෙවි ඒවාට සවන් නොදී සිටිනවා යන්න නොවෙයි. බයිබලයේ අපට තහවුරු කරන්නේ “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ” කියායි. (1 පේතෘස් 3:12) ශබ්ද නඟා හෝ සිතින් කීවත් යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි. (යෙරෙමියා 17:10) අප කරන සෑම යාච්ඤාවකදීම අපේ ආකල්පය හා හැඟීම් යෙහෝවා පරීක්ෂා කරන්නේය. නමුත් සමහර අවස්ථාවලදී යාච්ඤා කරන තැනැත්තාටවත් එය සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට හෝ වටහාගැනීමට නොහැකි විය හැකියි.—රෝම 8:26, 27.

අප කරන යාච්ඤා දෙවි විසින් පිළිගැනීමට නම් යම් අවශ්‍යතාවන් එමගින් සැපිරිය යුතුයි. පළමුවෙන්ම, යාච්ඤා කෙළින්ම ඉදිරිපත් කළ යුත්තේ දෙවිට පමණයි. එය යේසුස්ට, “සාන්තුවරයෙකුට” හෝ පිළිමයකට ඉදිරිපත් නොකළ යුතුයි. (නික්මයාම 20:4, 5) තවද යාච්ඤාව ඔප්පු කළ යුත්තේ දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. (යොහන් 14:6) මෙයින් අදහස් වන්නේ යේසුස් පළමුවෙන් අපේ යාච්ඤා අසා ඉන්පසු එය දෙවිට දන්වනවා කියාද? නැත. යේසුස්ගේ නාමයෙන් යෙහෝවාට යාච්ඤා කිරීමෙන් අප පෙන්නුම් කරන්නේ, යේසුස්ගේ ගෝලයන් බවත් අපව යෙහෝවාට ළං කළ හැකි එකම මාධ්‍යය ඔහුගේ මිදීමේ පූජාව බව අප පිළිගන්නා බවත්ය.—හෙබ්‍රෙව් 4:14-16.

යාච්ඤා ඉදිරිපත් කළ යුත්තේ ඇදහිල්ලෙනි. මේ ගැන ශ්‍රාවක පාවුල් පෙන්නුම් කළේ මෙසේය. “ඇදහිල්ල නැතුව ඔහුව [දෙවිව] ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බවත්, ඔහු සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය.” (හෙබ්‍රෙව් 11:6) කෙනෙකුට එයාකාර ඇදහිල්ලක් තිබෙනවාද කියා ඔහු දැනගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට යාකොබ් මෙසේ පිළිතුරු සපයයි. “මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමි.” (යාකොබ් 2:18) ඇත්ත වශයෙන්ම අප අපේ ඇදහිල්ල ක්‍රියාවෙන් ඔප්පු කරන අතර, එම ක්‍රියා මගින් අප දෙවිට ප්‍රේම කරන බවත් ඔහුව සතුටු කිරීමට වෑයම් දරන බවත් සාක්ෂාත් වේ.

දෙවිට නමස්කාර කරන්නන් නොකඩවා යාච්ඤාවේ නියැලෙන්න අවශ්‍යය යන කරුණ සම්බන්ධයෙන් යේසුස් ලූක් 11:9, 10හි මනා ලෙස පැහැදිලි කළේය. කෙනෙක් යම් කාරණයක් ගැන යාච්ඤා කරන්නේ එක් වතාවක් පමණක් නම් එම පුද්ගලයා ඒ සම්බන්ධව දැඩි උනන්දුවක් නොදක්වන බව ඉන් පැහැදිලි වෙනවා නොවේද?

දෙවි පොරොන්දු කරන දේ

අප නිතර නිතර හා ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කළද අප තවමත් ජීවත් වෙන්නේ ‘අන්තරා සහිත කාලවලයි.’ (2 තිමෝති 3:1) යේසුස් ඔහුගේ අනුගාමිකයන් ප්‍රීතිය අද්දකිනවායැයි පැවසුවද ඔවුන් කරදරවලින් තොර කාලයක් භුක්ති විඳින බවට පොරොන්දු කළේ නැත. (මතෙව් 5:3-11) නමුත් තම අනුගාමිකයන් ශෝකය, කුසගින්න, පිපාසය හා පීඩා නොතකා ප්‍රීති වන බව නම් ඔහු තහවුරු කළේය.

යේසුස් සඳහන් කළ ප්‍රීතිය රඳා පවතින්නේ අප අද්දකින යහපත් තත්වය මත නොවෙයි. ඊට හාත්පසින්ම වෙනස්ව ප්‍රීතිය යනු අප දෙවිට සේවය කිරීම නිසා ඇතුළාන්තයෙන් අද්දකින තෘප්තිමත් හැඟීමකි. ඒ හේතුවෙන්, කරදරකාරි තත්වයක් යටතේ වූවද යම් තාක් දුරකට ප්‍රීතිය පවත්වාගැනීමට අපට හැකියි.—2 කොරින්ති 12:7-10.

පෞද්ගලික ප්‍රශ්න සමඟ කටයුතු කිරීම

එසේනම් සුදුසු විවාහ කලත්‍රයෙක් තෝරාගැනීම, පවුලේ කාරණා, සෞඛ්‍යය හෝ රැකියාව වැනි අපේ එදිනෙදා ප්‍රශ්න ගැන දෙවිට යාච්ඤා කිරීම නිෂ්ඵල දෙයක්ද? කිසිසේත් නැත. දෙවි අපේ ප්‍රශ්නවලට ආශ්චර්යවත් ආකාරයෙන් පිළිතුරු සපයන්නේ නැති වූවත් එම කාරණය සමඟ හොඳින් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙයි. අප මුහුණ පාන අභියෝග සම්බන්ධයෙන් යාකොබ් පැවසුවේ මෙසේයි. “නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවිගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ.” (යාකොබ් 1:5) යෙහෝවා ඔහුගේ ශුද්ධාත්ම බලයෙන් අපට මඟ පෙන්වයි. මෙය, අපේ ජීවිතයේ තීරණ ගැනීමේදී බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගැනීමටත් ඒවා අදාළ කිරීමටත් උපකාරවත් වේ.

එනමුත් දෙවිගේ ශුද්ධාත්මය අප වෙනුවෙන් තීරණ ගන්නේ නැත. අපි ඒ සඳහා පෞද්ගලිකව යම් උත්සාහයක් දැරිය යුත්තෙමු. අපට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අප ඒ ගැන ගවේෂණය කර, තොරතුරු රැස් කර, එම තත්වය සමඟ කටයුතු කරන ආකාරය සොයා බැලිය යුතුයි. මෙවැනි ක්‍රියාවකින් අප පෙන්නුම් කරන්නේ දෙවි කෙරෙහි ඇදහිල්ලක් ඇති බවයි. (යාකොබ් 2:18) අපේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට දැඩි උත්සාහයක යෙදෙන අතරම අප දෙවිගේ උපකාරයත් නිරන්තරව පතනවාද? (මතෙව් 7:7, 8) අප මෙම තත්වයට අදාළ බයිබල් ප්‍රතිපත්ති පරිස්සමින් පරීක්ෂා කර තිබෙනවාද? දේවවචනයට අපව ‘සම්පූර්ණ වශයෙන් පුහුණු කිරීමටත් ඕනෑම යහපත් සේවයකට සූදානම් කිරීමටත්’ හැකියි.—2 තිමෝති 3:16, 17, නව අනුවාදය.

මනුෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වී ඒවා නිරාකරණය කිරීමේ හැකියාව දෙවිට තිබුණද, අපේ නිදහස් කැමැත්ත පාවිච්චි කිරීමට ඔහු ඉඩහැර තිබේ. අභාග්‍යයකට මෙන් බොහෝදෙනා තමන්ගේ නිදහස් කැමැත්ත පාවිච්චි කර තිබෙන්නේ අන් අයට හානිකර විදිහටයි. එමනිසා, අප සමහර ප්‍රශ්න ගැන යාච්ඤා කළත් දෙවිගේ නව පිළිවෙළ එන තුරුම ඒවා පැවතිය හැකියි. (ක්‍රියා 17:30, 31) එය, අප ජීවත් වන ප්‍රදේශයේ පවතින තත්වයක් එනම් සැහැසියාව, යුද්ධය හෝ විරුද්ධවාදීන් විසින් ගෙනෙන්නාවූ අසීරුතා විය හැකියි. (1 පේතෘස් 4:4) අප විසින් පිළිගත යුතු සත්‍යය නම් මේ අදේවවාදී ලෝකයේ සමහර තත්වයන් යහපත් අතට හැරෙන්නේ නැති බවයි.

කෙසේනමුත් දෙවි ඔහුගේ ඇදහිලිවන්තයන්ට ප්‍රේම කරන අතර ඔවුන්ට උදව් කිරීමට කැමැත්තෙන් සිටියි. දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරන සමයේදී මෙහි තිබෙන සෑම ප්‍රශ්නයකටම දෙවි පිළිතුරු සපයනවා ඇති. (එළිදරව් 21:3, 4) එතෙක් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීම සඳහා දෙවිගේ මඟ පෙන්වීම නොකඩවා ඉල්ලා සිටීමට අපට හැක. අප එසේ කරනවා නම් යෙහෝවා දෙවි යෙසායා 41:10හි පොරොන්දු කර තිබෙන දේ ඉෂ්ට කරන බව ස්ථිරයි. “භය නොවන්න. මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. තැති නොගන්න. මක්නිසාද මම නුඹේ [දෙවිය]. මම නුඹ ශක්තිමත් කොට, නුඹට උපකාර කරන්නෙමි. එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.”