Skip to content

පටුනට යන්න

මම රුව වඩන සැත්කමක් කරගත යුතුද?

මම රුව වඩන සැත්කමක් කරගත යුතුද?

යෞවන අය අසති . . .

මම රුව වඩන සැත්කමක් කරගත යුතුද?

“මගේ නහයේ සැත්කම කරන්න කලින් මිනිස්සු මට හරියට විහිළු කළා. මට විශේෂ නහයක් අවශ්‍ය වුණේ නැහැ. මට ඕනෑ වුණේ මගේ මුහුණට ගැළපෙන නහයක්. මම කරගත්ත සැත්කම ගැන මම සතුටු වෙනවා. ආයෙත් ඒ සැත්කම කරගන්න අවශ්‍යතාවක් ඇති වුණොත් ආයෙත් කරගන්නවා.”—එලනි.  a

“මේක තමයි නියම පෙනුම කියලා සමාජය කියා සිටියත් ඒවා මට මොකටද? සැත්කම් මගින් හදාගත් ශරීරාංග හරියට බොරු සල්ලි වගෙයි. සැබෑ රූපේ නෙමෙයි.”—මාතියාස්.

“මේ වගේ සැත්කමක් කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ තමන්මයි. වෙන කෙනෙකුට බැහැ විනිශ්චය කරන්න.”—මානුවෙලා.

“මට වඩා ලස්සන කෙනෙක් ඉන්නවා නම් කිසිම සැකයක් නැහැ එයා මේක්අප් දාගෙන.” මෙම හාස්‍ය උපදවන කියමන ජර්මනියේ පෙනුමක් නැතැයි කියා කනස්සලු වන අය බොහෝ කලක් තිස්සේ යොදාගෙන තිබෙන්නේ තර්කයක් ලෙසයි. නමුත් සමහර රටවල එම කියමනට දැන් නව මුහුණුවරක් දී තිබෙනවා. එනම් “මට වඩා ලස්සන නම් සැත්කම් කරගෙන ඇති.” එසේ කීමට හේතුව රුව වඩන සැත්කම් අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති නිසයි.

“පොහොසත් අයට විතරයි රුව වඩන සැත්කම් කරගන්න හැකියාවක් තිබෙන්නේ කියන කතාවට දැන් ආයුබෝවන් කියන්න” කියා ස්විට්සර්ලන්තයේ පුවත්පතක (Neue Zürcher Zeitung) සඳහන් වුණා. “මේ හේතුව නිසා නැඹුරුවාවන් දෙකක් ඉස්මතු වී තිබෙනවා. එකක් නම් පුරුෂයන් වැඩි වැඩියෙන් රුව වඩන සැත්කම් කරන වෛද්‍යවරුන්ව සොයාගෙන යෑමත් . . . , ඒ සඳහා පැමිණෙන ගැහැනු පක්ෂය ඉතාමත් බාල වියේ පසුවීමත්” කියා තවදුරටත් එම පුවත්පතෙහි සඳහන් වුණා. ජර්මනියේ අවුරුදු 14ත් 29ත් අතර වයස්වල සිටින යෞවනයන්ව යොදාගෙන කළ සමීක්ෂණයකදී හෙළි වුණේ සියයට 20ක් දැනටමත් එක්කෝ රුව වඩන සැත්කමක් කරගෙන එහෙම නැත්නම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා එහෙමත් නැත්නම් ඒ පිළිබඳව සිතුවිල්ලක් හෝ ඔවුනට පහළ වී තිබෙන බවයි. b සමහරවිට ඔබේ මිතුරන්, පාසැල් මිතුරන් නෑයින් සැත්කම්වලට භාජන වී තිබෙන්නට පුළුවන්.

සැත්කමක් මාර්ගයෙන් ඔබේ පෙනුම ඔප්නංවා ගැනීම ගැන ඔබත් සිහින මැව්වාද? ඔබේ කන ඉස්සිලා වැඩියි. ඔබේ පියයුරු විශාලයි එසේ නැතහොත් කුඩා වැඩියි. ඔබේ උදරය හෝ කළවා නෙරා වැටිලා නැතහොත් ඔබේ නහය අවලස්සනයි කියා ඔබට හැඟෙනවාද? පිළිතුර ඔව් නම්, එවන් හැඟීම්වලින් පීඩා විඳින්නේ ඔබ විතරක් නෙවෙයි. වයස අවුරුදු 15ත් 18ත් අතර වයස්වල සිටින සිසුවියන් කණ්ඩායමක් ජර්මනියේ පුවත්පතකට එවූ ලිපියකින් ඒ බව සනාථ වෙයි. “අපේ වයසේ ගැහැනු ළමයෙක් යම් කාලයකට හෝ තමන්ගේ ශරීරය ගැන ළත වී තිබෙනවා. එසේ නොහැඟුණු කෙනෙක් නැහැ.” සිත්ගන්නාසුලු කෙනෙකු වෙන්න කවුරුත් කැමතියි. නමුත් මෙයට එකම විසඳුම සැත්කමද?

ඔබේ ගැටලුවට විසඳුම රුව වඩන සැත්කමද?

ඔබ දන්න යෞවන අය ගැන මොහොතකට කල්පනා කරන්න. කිසි අඩු පාඩුවක් නොපෙනෙන හොඳ පෙනුමක් තිබෙනවා කියා ඔබට සිතෙන අය තමන්ගේ පෙනුම ගැන සතුටු වෙන්නේ නැහැයි කියා කිව්වොත් ඔබ සමහරවිට පුදුම වෙයි. නමුත් සැබෑව එයයි. ඒ හැම කෙනෙක්ම සැත්කමකට යා යුතුයි කියා ඔබ සිතනවාද? එසේ නැතහොත් තමන්ගේ පෙනුම ගැන ශුභවාදීව ඔවුන් සිතුවොත් බොහෝ විට දේවල් යහපත් වෙයි කියා ඔබ සිතනවාද? මෙම ප්‍රතිපත්තියම ඔබ සම්බන්ධයෙනුත් අදාළ වෙනවාද?

එලනි පැවසූ දේ ගැන සලකා බලන විට සමහර අවස්ථාවන්වලදී, මුහුණ දීමට සිදු වන අපහාසයන් සහ හිරිහැර කිරීම් රුව වඩන සැත්කම් මගින් අඩු කරගත හැකි බව පෙනී යනවා. නමුත් සෑම දෙයකටම විසඳුම එය නොවෙයි. ඒ වගේම කෙනෙකුට හොඳ පෙනුමක් ලබා දෙන උසස් සුවදායක ජීවන රටාවකට එය ආදේශකයක් හැටියට සලකන්න බැහැ. ශල්‍ය වෛද්‍යවරයෙකුට ඔබේ පෙනුම වෙනස් කළ හැකියි. නමුත් ඔහුට ඔබේ පෞද්ගලිකත්වය වෙනස් කිරීමටවත් කාන්සාවන් ඉවත් කිරීමටවත් ඔබේ ආත්ම ගරුත්වය වැඩි කිරීමටවත් බැහැ.

ඒ වගේම සමහර සායන හෝ වෛද්‍යවරුන් තමන්ට ඉටු කළ නොහැකි පොරොන්දු දෙනවා. ඔබ බලාපොරොත්තු වන සතුට ළඟා කර දීමට හැකි බව ඔවුන් අඟවන්න පුළුවන්. නමුත් ඇත්තම කියනවා නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ මුදල් මිසක් ඔබේ සතුට නොවෙයි. කියන්නත් කනගාටුයි සමහර කපටි ශල්‍ය වෛද්‍යවරු අනවශ්‍ය, අවදානම් සහිත සහ සාර්ථකත්වයක් ලබන්න බැරි සැත්කම්වලට අත පොවනවා. කවුරු හරි බිල ගෙවනවා නම් ඔවුන්ට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ.

ඒ වගේම අවුරුදු ගණනාවකට පසුව සිදු වන දේ ගැනත් සැලකිලිමත් විය යුතුයි. උදාහරණයකට, ඔබට අවුරුදු 16දී අවලස්සන ලෙස පෙනුණ දෙයක් ඔබට අවුරුදු 21ක් වෙන කොට වෙනස් විදිහට පෙනෙන්න පුළුවන්. “හරි නම් නහඹර වියේ පසු වන අයට රුව වඩන සැත්කම් කරන්න හොඳ නැහැ. මොකද නහඹරයෙකුගේ ශරීරයේ හැඩය සහ ශරීරය පිළිබඳව මෙම වයසේ ඔහුට හෝ ඇයට තිබෙන අවබෝධය වෙනස් වෙනවා.” එසේ පැවසුවේ රුව වඩන සැත්කම් වෛද්‍ය උර්ස් බොෂ්. ඊට අමතරව යෞවනයන් රුව වඩන සැත්කම් කළාට පසුව තවත් අමතර සැත්කම්වලට භාජනය වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. තවත් දෙයක් තමයි ඔබේ ශරීරය වැඩෙත්ම සැත්කමේ කැළලත් වර්ධනය වීම.

වියදම ගණන් බලන්න

යම් වැදගත් දෙයකට අත තබන්න පෙර වියදම ගණන් බලන්න කියා බයිබලයේ අපට අවවාද කරනවා. (ලූක් 14:28) විශාල මුදලක් ඒ සඳහා වැය වන නිසා යෞවනයන්ගෙන් වැඩිදෙනෙකුට රුව වඩන සැත්කම් ගැන හිතාගන්නවත් බැහැ. එයත් සැත්කමෙන් පසුව කෙරෙන පරීක්ෂණ හෝ සුළු සුළු සකස් කිරීම්වලට යන වියදම නැතුවයි ගණන් බලා තිබෙන්නේ.

මනුෂ්‍යයන් වැඩි පිරිසක් සැත්කම් සඳහා මුදල් පමණක් නොව ඔවුන්ගේ සෞඛ්‍යය පවා කැප කර තිබෙනවා. අමෙරිකාවේ රුව වඩන ප්ලාස්ටික් සැත්කම් සංගමය පවසන ආකාරයට, තාවකාලිකව පවතින ඉදිමුම, සුව කළ නොහැකි කැළැල්, සංවේදීතාව මෙන්ම මව්කිරි දීමේ හැකියාව සහ සමහරවිට විශාල රුධිර ප්‍රමාණයක් අහිමි වීම වැනි අවදානම් පවතියි. උදාහරණයකට මේදය ඉවත් කිරීම සඳහා කරන (liposuction) සැත්කම කිරීමට ගොස් අනූනවයෙන් දිවි ගළවාගත් ඇනා මෙසේ අඳෝනා දෙනවා. “දැන් මගේ උදරයේ අවලස්සන කැළැල් වගේම ඇතුළට නෙරීමක් තියෙනවා.” ලිපොසක්ෂන් සැත්කම පිළිබඳව ජර්මනියේ පුවත්පතක මෙසේ සඳහන් වුණා. “එය නොයෙකුත් දරුණු ආබාධයන්ට සහ මරණයට පවා හේතු වන බව පවසන වාර්තා ඉහළ යමින් තිබෙනවා.” “සැත්කම සැත්කමම තමයි. ඒකේ ලොකුයි පොඩියි කියලා වෙනසක් නැහැ. ඕනෑම සැත්කමකදී අවදානමක් තියෙනවා.” එහෙම පවසා තිබෙන්නේ සෞඛ්‍ය පිළිබඳ එක් ලිපියකයි (Apotheken Umschau). එම උපදෙස අමතක කරන්න එපා. ඕනෑම සැත්කමක් කරගැනීමට පෙර එයින් ඇති වන අවදානම් ගැන සලකා බලන්න. විශේෂයෙන්ම වෛද්‍ය හේතූන් මත නොකරන සැත්කම් ගැන කල්පනාකාරි වන්න.

මෙම ප්‍රශ්න ඔබෙන්ම අසන්න. ‘මම අන් අයට මං ගැන දෙන්නේ මොන වගේ අදහසක්ද? ශාරීරික පෙනුම තමයි මගේ එකම ඉලක්කය යන පණිවිඩයද මම ලබා දෙන්නේ? මගේ තෝරාගැනීම් මගේ මිතුරන්ට හෝ බාල සහෝදර සහෝදරියන්ට බලපාන්නේ කොහොමද?’ c

ඔබේ ආකල්ප

ඔබේ ආකල්පයන්ද සලකා බැලිය යුතු කරුණකි. නමුත් එය තේරුම්ගැනීම එතරම් පහසු නැහැ. ඔබෙන්ම මෙසේ අසන්න. ‘නිරතුරුවම මගේ ශරීරාංගයක් උපහාසයට ලක්වීමෙන් වළක්වාගැනීමට මට අවශ්‍යද? නැත්නම් අනවශ්‍ය ලෙස මම මගේ පෙනුම ගැන ළත වෙනවාද? මගේ පෙනුම මට වෙනස් කරගැනීමට අවශ්‍ය වන්නේ මිතුරන්ගෙන් එන පීඩනය හා ආකර්ෂණය කරන ප්‍රචාරණය නිසාද, නැතිනම් වේදිකා තරුවක් නිසාද? එසේ නැතහොත් සුන්දරත්වයේ නියම ප්‍රතිරූපය මෙයයි කියා ජනමාධ්‍ය තුළින් නිරූපණය කරන දේ මම අත් කරගන්න උත්සාහ ගන්න නිසාද?’

ශාරීරික පෙනුම ඔප්නැංවීමෙන් විවාහ සහකරුවෙකු හෝ හොඳ රැකියාවක් සොයාගැනීමේ ප්‍රස්තාවන් වැඩි කරනවා යන්න සමහරෙකුගේ අදහසයි. අවංකව කල්පනා කර බලන්න. ඔබ දන්නා හඳුනන විවාහක අය හැමදෙනාම ශාරීරිකව මනබඳින අයද? ඒ වගේම රැකියාවල නියුතු අයද? නැහැ නේද? එවන් දේ ලබාගැනීමට පෞද්ගලික පෙනුම පමණක් බලපාන්නේ නැහැ. ඇත්තෙන්ම ඇතුළාන්ත ගුණාංගවලට වඩා ඔබේ පෙනුමට මුල් තැනක් දෙන සහකරුවෙකු හෝ සේවාදායකයෙකු නිසා මුදල් වැය කිරීමත් අවදානම් සහිත සැත්කමකට මුහුණ දීමත් ඇත්තෙන්ම වටිනවාද?

ඔබ ඔබේ ආකල්ප ප්‍රවේසමෙන් තේරුම්ගත් පසු ඔබේ හැඟීම් ගැන ඔබේ දෙමාපියන් සමඟ හෝ මේරූ මිතුරියක් හෝ මිතුරෙකු සමඟ සාකච්ඡා කරන්න. ඔබේ ශරීරයේ එක් කොටසක යම් අඩු පාඩුවක් තිබෙනවා නම් ඒ ගැන ඔවුන්ගේ අවංක අදහස් විමසන්න. කැඩපත විශ්වාස කරන්න එපා. අප අපේ අඩු පාඩුකම් දකින ආකාරය ගැන නානා මෙසේ පවසනවා. “අනිත් අය ඔබේ අඩු පාඩුකම් දකිනවාට වඩා වැඩියෙන් ඔබ දකිනවා. ඔබ ඔබ දෙස බලන්නේ වෙනත් විදිහට.” ජර්මනියේ ලැන්ඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් එය පැහැදිලි කළේ මෙසේයි. බොහෝ විට රුව වඩන සැත්කම් කරන්නේ “ශරීරයේ යම් කොටසක් විකෘති නිසා නෙමෙයි. එම පුද්ගලයාට එය විකෘති ලෙස පෙනෙන නිසයි.”

හදිසි වී තීරණ ගන්න එපා. සෑම තොරතුරක්ම හොඳින් විමසා බලන්න. ඕනෑම සැත්කමකින් අත් වන ප්‍රතිඵල ආපස්සට හැරවිය නොහැකි බව සැලකිල්ලට ගන්න. ඒ වගේම ඕනෑම සැත්කමක් කළ පසු ඇති වන ප්‍රතිඵලවලට කාලයක් යන තුරු මුහුණ දිය යුතුයි.

ඔබ සතු වැදගත්ම සුන්දරත්වය

සතුට ලැබෙන්නේ ඔබේ පෙනුම නිසා නොවෙයි. යම් විටක ඔබේ පෙනුම ආත්ම ගෞරවය වැඩි කිරීමට හෝ අඩු කිරීමට හේතු විය හැකියි. එහෙත් වැදගත්ම දේ වන්නේ පෞද්ගලිකත්වය සහ ආකල්පයයි. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණ ඇනා මෙම නිගමනයට පැමිණියා. “ලස්සන කියන්නේ පිටත පෙනුම නෙමෙයි.”

බයිබලයෙහි ශාරීරික පෙනුම පැසසුමට ලක් කරන අතරතුර ආත්මික අලංකාරය සමඟ සසඳන කල එයට හිමි වන්නේ දෙවන ස්ථානය බව එහි පවසනවා. “රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ යෙහෝවා කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.” (හිතෝපදේශ 31:30; 1 සාමුවෙල් 16:7) මෙම ආකල්පය වර්ධනය කරගැනීමෙන් ඔබ අකමැති ශරීරාංගයක් තිබුණත් ඇතුළාන්ත සාමයක් ඔබට සොයාගත හැකියි.

ඔබ කුමන තීරණයකට පැමිණියත් එක් දෙයක් මතක තබාගන්න. පරිපූර්ණ පෙනුමත් නියම සතුටත් අද කාලයේ ලබාගත නොහැකි දෙයක්. හැමෝටම මොනවා හරි අසම්පූර්ණකමක් තියෙනවා. (රෝම 3:23) එය ඔබට වෙනස් කරන්න බැහැ. ඔබට වෙනස් කරන්න පුළුවන් එකම දෙය ඔබේ ඇතුළාන්ත පුද්ගලයාවයි. බයිබලයෙහි එය හඳුන්වන්නේ, “සිතේ ඇතුල් මනුෂ්‍යයා” ලෙසයි. (1 පේතෘස් 3:3, 4) දෙවිගේ ඇස් ඉදිරියෙහි අලංකාර ගුණාංග වර්ධනය කරගැනීමෙන් ඔබගේ ප්‍රතිරූපයට නව ජීවයක් දෙන්න. එහි කිසි අවදානමක් නැහැ. කිසි වියදමක් නැහැ. නමුත් ලැබෙන්නේ මැනිය නොහැකි ප්‍රතිලාභ!

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b රුව වඩන සැත්කම් කරනු ලබන්නේ ශරීරයේ නිරෝගී කොටස්වල පෙනුම තවත් වැඩි කිරීමටයි. නමුත් පිළිසකර කිරීමේ සැත්කම් සිදු කරන්නේ යම් අනතුරක් නිසා ශරීරයේ ඇති වූ විරූපීභාවයක් හෝ රෝගයක් නිසා හෝ උත්පත්තියෙන්ම උරුම වූ ආබාධයන් නැවත ප්‍රකෘතිමත් කිරීමටයි. මෙම සැත්කම් වර්ග දෙකම ප්ලාස්ටික් සැත්කම් ඝනයට වැටේ.

c යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන ප්‍රකාශනයේ “පෙනුම කෙතරම් වැදගත්ද?” යන පරිච්ඡේදය බලන්න.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබට “ගැටලුවක්” වී තිබෙන ශරීරාංගය ඇත්තටම ගැටලුවක්ද නැතිනම් ඔබ ගැන ඔබ බලන ආකාරය වෙනස් කරගත යුතුව තිබෙනවාද?