Skip to content

පටුනට යන්න

රථ වාහන අනතුරුවලින් ඔබ ආරක්ෂා වී සිටීවිද?

රථ වාහන අනතුරුවලින් ඔබ ආරක්ෂා වී සිටීවිද?

රථ වාහන අනතුරුවලින් ඔබ ආරක්ෂා වී සිටීවිද?

“මම හුඟාක් කල් වාහන එළවලා තියෙනවා. ඒ නිසා රිය අනතුරක් වෙයි කියලා මට ළත වෙන්න ඕනෑ නැහැ.” “ඔය අනතුරු වෙන්නේ තරුණයන්ටයි, අණක් ගුණක් නැති නාහෙට අහන්නේ නැති ඩ්‍රයිවර්ලාටයි.” බොහෝදෙනෙක් සිතන්නේ තමන්ට කවදාවක්වත් රිය අනතුරු වෙන්නේ නැත කියායි. ඔබටත් හැඟෙන්නේ එහෙමද? රිය අනතුරුවලට ඔබ කවදාවක්වත් ගොදුරු නොවී සිටීවිද?

සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන කරුණක් තමයි, ඔබ ජීවත් වන්නේ සංවර්ධිත රටක නම්, අඩු තරමින් ඔබේ ජීවිතයේ එක වතාවකදීවත් ඔබ රිය අනතුරකින් තුවාල වෙන බව. එවන් අනතුරුවලින් බොහෝදෙනෙකුට සිදු වන තුවාල මාරාන්තිකයි. ලොව වටා, සෑම වසරකම මාරාන්තික රිය අනතුරු මිලියන අඩකට වඩා සිදු වෙනවා. සමහරවිට මේ අතුරින් පසුගිය වසරේ මිය ගිය බොහෝදෙනෙක් තමන්ට නම් කවරදාකවත් එහෙම දෙයක් නොවන බවක් සිතා සිටින්නට ඇති. අවදානම අවම කරගන්නට ඔබට කළ හැක්කේ කුමක්ද? හොඳම දෙය නම් එය වළක්වාගැනීමයි. නිදිමත නිසා හෝ වයසට යෑමෙන් ඇති වන බලපෑම් නිසා සිදු වන එවන් රිය අනතුරු වළක්වාගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිදැයි දැන් සලකා බලන්න.

නිදිමත රියැදුරෝ

ඇතැම් විශේෂඥයන් කියන්නේ, නිදිමතින් රිය පැදවීම බීමත්ව රිය පැදවීම තරම්ම අන්තරාදායක විය හැකියි. නිදිමත නිසා සිදු වන අනතුරුවල සංඛ්‍යාව වැඩි වී තිබෙන බව වාර්තාවලින් ඇඟවෙනවා. එක් අවුරුද්දක් ඇතුළත, නෝර්වේ රටේ සිටින සෑම රථ වාහන රියැදුරන් 12දෙනෙකුගෙන් එක්කෙනෙක්ම වාහන පදවන විට නිදි කිරා වැටෙන බව නඩත්තුව පිරිහීම සහ ආරක්ෂාව පිළිබඳ වාර්තාව (සිංහලෙන් නැත) මෑතකදී සඳහන් කළා. දකුණු අප්‍රිකාවේ ජොහැනිස්බර්ග් නුවර ද ස්ටාර් නමැති පුවත්පතේ පළ වූ හැටියට, එම රටේ සිදු වන රිය ගැටුම්වලින් තුනෙන් එකක්ම රියැදුරන්ගේ තෙහෙට්ටු ගතිය නිසා සිදු වූ ඒවා. තවද, තෙහෙට්ටු ගතිය සෑම රටකම රියැදුරන්ට බලපා ඇති බව වෙනත් රටවලින්ද වාර්තා වේ. නිදිමතින් රිය පදවන රියැදුරන් මෙතරම් සංඛ්‍යාවක් සිටින්නේ ඇයි?

අදදින පවතින කඩිමුඩියේ ගෙවී යන ජීවන රටාවද මෙම ගැටලුවට දායක වෙනවා. අමෙරිකානුවන් “විසිවන සියවස ආරම්භයේදීට වඩා දැන් පැය එකහමාරක් පමණ අඩුවෙන් දිනපතා නිදාගන්නා අතර, මෙම ගැටලුව තව තවත් දරුණු අතට හැරෙමින් තිබෙන” බව නිව්ස්වීක් සඟරාවේ මෑතකදී වාර්තා වුණා. ඒ ඇයි? මෙම සඟරාව ටෙරි යං නමැති විශේෂඥයාගේ වදන් උපුටා දක්වමින් කියා සිටියේ මෙසේයි. “මිනිස්සු හිතන්නේ නිදා නොගෙන සිටීම තමන්ට බොහොම පහසුවෙන් කළ හැකි දෙයක් බවයි. ටිකක් නිදාගෙන වැඩි වෙලාවක් නිදා නොගෙන සිටිනවා නම් වැඩියෙන් වැඩ කර තමන්ට සාර්ථක වෙන්න පුළුවන් බව ඔවුන් සිතනවා.”

සාමාන්‍ය පුද්ගලයෙකුට රාත්‍රියේදී පැය හයාමාරක සිට පැය නවයක් දක්වා නින්දක් අවශ්‍යයි. ඒ නින්ද නැතුව ගිය විට, “නිදි ණය” යනුවෙන් හඳුන්වනු ලබන රෝගය ඔවුන් තුළ ඇති වෙනවා. අමෙරිකානු රථ වාහන සංගමයේ (AAA) වාහන ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති පදනමෙන් නිකුත් වූ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “සාමාන්‍ය වැඩ කරන සතියක, සෑම රාත්‍රියකදීම අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා විනාඩි 30ක් හෝ 40ක් අඩුවෙන් නිදාගන්නවා නම්, සති අන්තයේදී පැය 3ක හෝ 4ක නිදි ණයක් තිබෙනු ඇති අතර, දහවල් කාලයේ නිදිමත හැදීමට තිබෙන සම්භාවිතා මට්ටම ඉතා කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකියි.”

ඇතැම් අවස්ථාවලදී, ඔබට හොඳ රාත්‍රි නින්දක් අහිමි වන්නට පුළුවන්. දීර්ඝ කලක් තිස්සේ රෑට නින්ද නොයෑම, අසනීප වූ දරුවෙකුව බලාගැනීම හෝ ඔබට පාලනය කළ නොහැකි වෙනත් හේතුසාධක නිසා ඔබ නිදි වරා තිබෙනවා විය හැකියි. ඊළඟ දවසේ ඔබ වාහනයක් පදවන විට, ඔබ නිදි කිරා වැටෙන්නට පුළුවනි. මෙය සිදු වනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

කැෆේන් අඩංගු කෝපි වැනි දෙයක් පානය කිරීම, වාහනයේ ජනේලය විවෘත කරගෙන ගමන් කිරීම, චුවිංගම් හැපීම හෝ දැවිල්ල ඇති යම් වෙනත් දෙයක් හප හපා යෑම නිසාම ඔබේ නිදිමත නැති වෙන්නේ නැහැ. මේ එකදු පිළියමකින්වත් නියම ගැටලුවට බෙහෙත නොලැබෙයි. ඔබට අවශ්‍ය දෙය මෙයයි. එනම් නින්දයි. එහෙමනම් ඇයි කෙටි නින්දක් ගන්නේ නැත්තේ? ද නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ යෝජනා කරනවා. “යළි ප්‍රබෝධයක් ලබාගැනීම සඳහා ගන්නා නින්ද විනාඩි 30කට වඩා වැඩි නොවිය යුතුයි. ඊට වඩා වැඩි වුණොත් ශරීරය බර නින්දකට පිවිසිය හැකියි. එවිට නැවත අවදි වීම හිතන තරම් පහසු දෙයක් නොවෙයි.” ටිකක් නිදාගෙන යෑම පිණිස ගමන මඳකට ප්‍රමාද කළත් එය ඔබේ ජීවිතය දිගු කිරීමට දායක විය හැකියි.

ඔබ ජීවත් වන රටාවද, ඔබව නිදි කිරා වැටෙන රියැදුරෙක් බවට පත් කරන්නට පුළුවන්. දිගු වේලාවක් ඔබ අන්තර් ජාලයේ රැඳී සිටිනවාද? නැත්නම් රෑ ජාමේ වන තෙක් රූපවාහිනිය නරඹනවාද? පාන්දර එළි වෙන තෙක් සාදවලට යනවාද? එවැනි ක්‍රියාවලින් ඔබේ නින්දට බාධා ඇති කරගන්න එපා. එක අවස්ථාවකදී ප්‍රඥාවන්ත සාලමොන් රජ, ‘ටිකක් විවේක ගැනීමේ’ ඇති වටිනාකම අවධාරණය කළා.—දේශනාකාරයා 4:6, NW.

පළපුරුදු නමුත් වයසක රියැදුරෝ

පාරේ පළපුරුදුම රියැදුරන් තමයි, වයසින් වැඩි අය. එපමණක්ද නොවේ, වැඩි අවදානම් තත්වයන්ට තමන්වම නතු කර නොගන්නා මෙම රියැදුරන් තමන්ගේ සීමාවන් දන්නවා. කෙසේවෙතත්, රිය ගැටුම් නිසා ඇති වන අනතුරුවලට මේ අය ගොදුරු වෙන්නේ නැහැමයි කියා කියන්නටත් බැහැ. ඇත්තෙන්ම, වයසට යත්ම මේ අය සමහරවිට එවැනි අනතුරුවලට වඩාත් ගොදුරු වෙන්නට පුළුවනි. එක්සත් ජනපදයේ මෝටර් රථ හා ගමනාගමනය (සිංහලෙන් නැත) නම් සඟරාවේ මෙසේ වාර්තා වුණා. “වයස අවුරුදු 70ට වඩා වැඩි අය සිටින්නේ ජනගහනයෙන් සියයට 9ක් පමණයි. නමුත්, රථ වාහන අනතුරුවලින් සියයට 13කටම ගොදුරු වන්නේ එවන් පුද්ගලයන්ය.” අනතුරුවලට ගොදුරු වන වයස්ගත රියැදුරන්ගේ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩිවීම කනගාටුවට කරුණක්.

වයස අවුරුදු 80ක් වූ මර්ට්ල් කරන නිරීක්ෂණය ගැන සලකා බලන්න. aඇය වාහන පදවන්නට පටන්ගත්තේ වසර 60කට පමණ කලින්. එහෙත් කවදාවක්වත් රිය අනතුරකට ඇය මුහුණ දී නැහැ. එහෙත්, වෙනත් බොහෝදෙනා මෙන්, වයස්ගත වීම ඇයටත් බලපානවා. මේ නිසා වෙන අයට මෙන්ම ඇයටත් අනතුරක් වීමේ අවදානම එන්ට එන්ටම වැඩියි. මෑතකදී ඇය පිබිදෙව්! සඟරාවට මෙසේ ප්‍රකාශ කළා. “වයසට යනකොට, ජීවිතයේ හැම දෙයක්ම [රිය පැදවීම ඇතුළු] අභියෝගයක් වෙනවා.”

රිය අනතුරක් ඇතිවීමේ අවදානම වැළැක්වීමට ඇය කුමක් කර තිබෙනවාද? “අවුරුදු ගණනාවක් පුරා මගේ වයසට සරිලන ලෙස වැඩ කරන්න මම උත්සාහ කළා” යයි මර්ට්ල් පවසනවා. උදාහරණයක් වශයෙන්, ඇය විශේෂයෙන් රාත්‍රි කාලයේ වාහන පදවන එක අඩු කර තිබෙනවා. මේ සුළු වෙනස කිරීම නිසා මුළුමනින්ම වාහන පැදවීමෙන් ඉවත් නොවී ආරක්ෂා සහිතව රිය පැදවීමට ඇය සමත් වී සිටිනවා.

පිළිගැනීම කොතරම් දුෂ්කර කාර්යයක් වුණත්, වයසට යෑම සෑම කෙනෙකුටම බලපානවා. (දේශනාකාරයා 12:1-7) විවිධ සෞඛ්‍ය ගැටලු පැනනඟින නිසා අප මඳක් සෙමෙන් ප්‍රතිචාර දක්වන්නට පුළුවනි. අපේ ඇස් පෙනීම දුර්වල වෙන්නට හැකියි. මේ සියලු හේතු නිසා වාහන පැදවීම දුෂ්කර යමක් වෙන්නට පුළුවනි. කෙසේවෙතත්, වයස්ගත වීම නිසාම කෙනෙක් වාහනයක් පැදවීමට නුසුදුස්සෙකු වෙන්නේ නැහැ. වඩාත් වැදගත්ම සාධකය වනුයේ වාහන පදවද්දී රියැදුරා කොතරම් හොඳින් ක්‍රියාත්මක වෙනවාද යන්නයි. අපේ කායික හැකියාවන්හි වෙනස පිළිගැනීමෙන් සහ අපේ ජීවිත රටාවේ යෝග්‍ය වෙනස්කම් කිරීමෙන් වාහන පැදවීමට අපට ඇති කාර්යක්ෂමතාව දියුණු කරගන්නට පුළුවනි.

ඔබේ පෙනුම වෙනස් වෙමින් තිබෙන බව ඔබට නොතේරෙනවා වෙන්නට පුළුවන්. ඔබ වයස්ගත වෙනවාත් සමඟම, ඔබගේ දෘෂ්ටිය කෙමෙන් කෙමෙන් පටු වන නිසා ඇසේ දෘෂ්ටි විතානයට වඩාත් ආලෝකය ලැබීම අවශ්‍ය වෙනවා. වයසක හා ඥානවන්ත රියැදුරා (සිංහලෙන් නැත) නම් පොත් පිංචයේ මෙසේ සඳහන් වෙනවා. “වයස අවුරුදු 60ක් වූ රියැදුරෙකුට, නහඹරයෙකු මෙන් දකින්නට තුන් ගුණයකින් වැඩි ආලෝකයක් අවශ්‍ය වෙයි. තවද සාපේක්ෂව බලන කල, ආලෝකයේ සිට අන්ධකාරයට සකස් වෙන්නට ඔවුන්ට ගත වෙන කාලය දෙගුණයකි.” මෙවැනි වෙනස්කම් අපගේ ඇස්වල සිදු වෙන නිසා, රාත්‍රි කාලයේ රිය පැදවීම දුෂ්කර කාර්යයක් විය හැකියි.

හැත්තෑ දෙහැවිරිදි හෙන්රිට තිබෙන්නේ ආරක්ෂා සහිතව රිය පැදවීමේ අවුරුදු 50ක පළපුරුද්දක්. අවුරුදු කිහිපයක් ගතවීමත් සමඟම, ඔහු තේරුම්ගත් දෙයක් නම්, රාත්‍රි කාලයේ වාහන පදවන විට, ඉදිරියෙන් දැල්වෙන වාහන ලාම්පුවල දැඩි ආලෝකය තමන්ට දරන්නට බැරි බවයි. ඇස් පරීක්ෂාවකින් පසුව, ඔහුට තේරුණා රාත්‍රි කාලයේ දැඩි ආලෝකයෙන් ආරක්ෂා වීම පිණිස නව උපැස් යුවළක් පැළඳීමට අවශ්‍ය බව. මේ නිසා “රාත්‍රියේ රිය පැදවීම තවදුරටත් දුෂ්කර කටයුත්තක් නොවේ” යයි හෙන්රි පවසනවා. මේ සුළු සකස් කිරීම කළ නිසා ඔහුගේ රිය පැදවීම තුළ ලොකු වෙනසක් ඇති වුණා. මර්ට්ල් වැනි වෙනත් අය සඳහා, හොඳම දේ වන්නේ රාත්‍රි කාලයේ වාහන පැදවීම මුළුමනින්ම නවතා දැමීමයි.

වයස්ගත වීම නිසා සිදු වන තවත් දෙයක් තමයි, යමකට ප්‍රතික්‍රියා කිරීමේ කාලයේ වෙනස් වීම. වයසින් මුහුකුරා ගිය මනස් තරුණ අයගේ මනස්වලට වඩාත් ඥානවන්ත හා විමසිලිමත් විය හැකියි. කෙසේවෙතත්, පුද්ගලයෙක් වයසට යන විට, තොරතුරු උකහාගෙන ප්‍රතික්‍රියා කිරීමට වැඩි කාලයක් ගන්නවා. මේ නිසා වයසක අය රිය පැදවීමේදී මෙය තවත් අභියෝගයක්. මන්ද පාරේ යන වාහන හා පාරේ තත්වය නිතරම වෙනස් වෙන නිසා. නියමිත වේලාවේදී සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නට නම්, සිදු වෙන වෙනස්කම් මොනවාද කියා වහාම නිශ්චය කළ යුතුයි.

මෝටර් රථ හා ගමනාගමනය (සිංහලෙන් නැත) සඟරාවේ වාර්තා කරන්නේ මෙසේයි. “වයසක රියැදුරන් අතර සිදු වන මාරාන්තික රිය අනතුරුවලට බොහෝ විට හේතු වන්නේ, ඔවුන් වාහන පාලක සංඥා නොසලකා හැරීමයි.” ඒ ඇයි? එම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “මෙහිදී ගැටලුව ලෙස පෙනෙන්නට ඇත්තේ, . . . වයසක රියැදුරෙක් මංසන්ධියකට පැමිණි විට, තමන්ගේ වාහනය මංසන්ධියෙන් ඉදිරියට පදවන්නට පෙර වම් පැත්තෙන් හා දකුණු පැත්තෙන් යන එන වාහන අනුව වහාම සකස් වෙන්නට අපොහොසත් වීමයි.”

හෙමිහිට ප්‍රතිචාර දක්වන රියැදුරන්ට අනුව හැඩගැසීමට ඔබට හැක්කේ කොහොමද? මංසන්ධිවලට පැමිණෙන විට වඩාත් විමසිලිමත් වන්න. ඔබේ වාහනය ඉදිරියට පදවන්නට පෙරාතුව, දෙපැත්තෙන්ම වාහන එනවාදැයි දෙවරක්ම බලන්න. විශේෂයෙන්ම ඔබේ වාහනය හරවන විට සැලකිලිමත් වන්න. මංසන්ධිවලින් හැරවීමේදී අනතුරු සිදුවීමට ඇති හැකියාව වැඩියි. විශේෂයෙන්ම ඉදිරියෙන් එන වාහන ගමන් කරන මාවත හරහා යන්නට ඔබට සිදු වන විට පරෙස්සම් වන්න.

පාරේ දකුණු පැත්තේ වාහන ධාවනය කරන එක්සත් ජනපදයේ, මංසන්ධිවල සිදු වන මාරාන්තික රිය අනතුරුවලින් සියයට 40කටම ගොදුරු වන්නේ වයස අවුරුදු 75කට වඩා වැඩි රියැදුරන් වන අතර, මෙසේ සිදු වී ඇත්තේ වම් පැත්තට හරවන්නට යෑමේදීයි. එම රටේ රථ වාහන සංගමයේ (AAA) වාහන ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති පදනම යෝජනා කරන්නේ මෙසේයි. “වම් පැත්තට හැරවීමෙන් වළකින පිණිස ඔබට දකුණු පැත්තට තුන් වරක් හැරවීමට පුළුවන්.” එම ප්‍රතිපත්තිය ඔබ ජීවත් වන තත්වයන්ට අනුව සකස් කරගැනීමට ඔබට හැකි වේවි (ශ්‍රී ලංකාවේ නම්, දකුණට හරවන්නේ නැතුව, තුන් වතාවක්ම වමට හැරවීමෙන්). කලින්ම මඳක් සැලසුම් කරගැනීමෙන්, භයානක හා අභියෝගාත්මක මංසන්ධිවලදී ඇති වන අනතුරුවලින් බේරීමට ඔබට හැකි වේවි.

සලකා බැලිය යුතු තීරණයක්

ඔබේ රිය පැදවීමේ හැකියාව යළි තක්සේරු කර බැලීමට ඔබට කුමක් උපකාරවත් වේද? ඔබේ රියැදුරු දක්ෂතා ගැන සෝදිසි කර බලන්නට සමහරවිට ඔබට යම් දැනුම් තේරුම් ඇති ඔබගේ මිතුරෙකුගෙන් හෝ පවුලේ කෙනෙකුගෙන් ඉල්ලා සිටින්නට පුළුවන්. අනතුරුව, ඔවුන්ට තිබිය හැකි මොනයම් හෝ යෝජනාවකට ඉතා හොඳින් සවන් දෙන්න. ඒ වගේම ආරක්ෂා සහිතව රිය පැදවීමේ පාඨමාලාවක් හදාරන්නටත් ඔබට හැකියි. රියැදුරු පාසැල් බොහොමයක වයසක රියැදුරන් සඳහා සැලසුම් කරන ලද පාඨමාලාවල් හැදෑරීමට තිබෙනවා. අනූනවයෙන් අනතුරකින් බේරුණු අවස්ථාවකට හෝ දෙකකට මුහුණ දීමට සිදු වේ නම්, එයින් පෙනෙන්නේ පෙර තරම් ඔබේ රියැදුරු හැකියාවන් දැන් එතරම්ම යහපත් තත්වයක නොතිබෙන බවයි.

තවත් යථාර්ථවාදි තත්වයක් නම්, යම් දවසක ඔබට සම්පූර්ණයෙන්ම රිය පැදවීම නවතා දමන්නට සිදුවීමයි. එහෙත් එය ගත යුතු තරමක් අමාරු තීරණයක් වන්නට පුළුවනි. ඉහත සඳහන් වූ මර්ට්ල් දන්නා දෙයක් නම් තමාට යම් දවසක රිය පැදවීමට ආයුබෝවන් කීමට සිදු වන බවය. එම දවස ළං වන බැවින්, ඇය දැනටමත් වැඩි වැඩියෙන් වෙනත් අයගේ වාහනවල නැඟ ගමන් බිමන් යමින් සිටිනවා. වෙනත් කෙනෙකුට රිය පැදවීම භාර දීම ගැන ඇයට හැඟෙන්නේ කොහොමද? “රිය පැදවීමේ පීඩනයක් නැතුව වාහනයක ගමන් කිරීම හොඳයි” කියා ඇය පවසනවා.

මේ කාරණය ගැන පරෙස්සමින් සලකා බැලීමෙන් පසුව, ඔබටත් එලෙසම හැඟෙන්නට පුළුවන්. එසේ කිරීමෙන් වෙනත් මිතුරෙකු සමඟ සාප්පු යෑම, හන්දියට හෝ වෙළඳ පොළට හෝ වෙනත් කටයුත්තකට ළඟපාතකට යෑම, වෙනත් අයව හමුවීමට හෝ යම් රැස්වීමකට යෑම හොඳින් භුක්ති විඳිය හැකි අද්දැකීමක් බවට පත් විය හැකියි. සමහරවිට ඔබේ මිතුරෙකුට ඔබේ වාහනය පදවාගෙන ඔබත් සමඟ යන්නට පුළුවනි. තනිවම යනවාට වඩා එසේ තව කෙනෙකු සමඟ යෑම වඩාත් ආරක්ෂාකාරි මෙන්ම වඩාත් සතුට ගෙන දෙන යමක් විය හැකියි. හැකි අවස්ථාවලදී බස් රියේ හෝ දුම්රියේ ගමන් කිරීමත් ප්‍රායෝගික වෙනත් විකල්පයක් විය හැකියි. ඔබේ වටිනාකම රඳා පවතින්නේ රිය පැදවීමට තිබෙන ඔබේ හැකියාව මත නොවන බව මතක තබාගන්න. ඔබේ පවුලේ අයටත්, ඔබේ මිතුරන්ටත්, විශේෂයෙන්ම දෙවිටත් ඔබව සැබවින්ම වටින්නේ ඔබේ යහපත් ගුණාංග නිසා බව මතක තබාගන්න.—හිතෝපදේශ 12:2; රෝම 14:18.

බාල හෝ මහලු වේවා, අද්දැකීම් ලත් රියැදුරෙක් හෝ නවකයෙකු හෝ වේවා, වාහන අනතුරුවලට ඔබ ගොදුරු වෙන්නේම නැතැයි සිතන්න එපා. රිය පැදවීම සමඟ ඔබේ කර මතට එන බරපතළ වගකීම වටහාගන්න. වාහන ගැටුමක් ඇතිවීමේ සම්භාවිතාවන් අඩු කරගැනීම සඳහා ආරක්ෂිත පියවරවල් අනුගමනය කරන්න. එසේ කිරීමෙන්, ඉදිරියට යෑමට තිබෙන බොහෝ ගමන්වලින් ඔබවත් වෙනත් අයවත් ඔබ ආරක්ෂා කරගන්නවා ඇත.

[පාදසටහන]

a මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

[12වන පිටුවේ පින්තූරය]

රාත්‍රියේ හොඳින් නිදාගැනීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය “ඉන්ධන” තිබෙන බවට වගබලා ගන්න

[13වන පිටුවේ පින්තූරය]

කෙටි නින්දක් ගැනීමෙන් මඳක් පමා විය හැකියි, නමුත් එය ජීවිත ගළවයි

[13වන පිටුවේ පින්තූරය]

වයසක රියැදුරන්ට වඩාත් අද්දැකීම් තිබුණද ඔවුන්ට විශේෂ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වේ

[14වන පිටුවේ පින්තූරය]

වෙනත් කෙනෙක් සමඟ ගමන් කිරීමේ වාසි තිබේ