Skip to content

පටුනට යන්න

විසඳුමක් තිබේද?

විසඳුමක් තිබේද?

විසඳුමක් තිබේද?

අනවශ්‍ය ද්‍රව්‍යවලට ඔබ මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද? “ඒවා විසි කරලා දානවා!” පෙනෙන විදිහට එය ඉතාම සරල උත්තරයකි. කෙසේවෙතත්, අපද්‍රව්‍ය ඉවතලෑම සෑම විටම පහසු දෙයක් නොවේ. මේ අපද්‍රව්‍ය විසි කරන්නේ කොහේටද? ඉතාලියානු පාරිසරික සමාගමක් කළ තක්සේරුවකට අනුව, මුහුදට විසි කරන වීදුරු බෝතලයක් වියෝජනය වීමට අවුරුදු 1,000ක් ගත වේ. ඊට වෙනස්ව, කඩදාසි ද්‍රව්‍යයක් වියෝජනය වීම සඳහා ගත වන්නේ මාස තුනක් පමණි. සිගරට් කොටයක් අවුරුදු පහක කාලයක්ද, ප්ලාස්ටික් බෑග් අවුරුදු 10 සිට 20ක කාලයක්ද, නයිලෝන් ද්‍රව්‍යයක් අවුරුදු 30 සිට 40ක කාලයක්ද, බෙලෙක් වර්ග අවුරුදු 500ක කාලයක්ද, පොලිස්ටයිරින් වර්ග අවුරුදු 1,000ක කාලයක් පුරාද මුහුද දූෂණයට ලක් කරයි.

එවැනි ඉවතලන ද්‍රව්‍ය එන්ට එන්ටම වැඩි වී තිබේ. අද වෙළඳපොළේ මිල දී ගැනීමට නොහැකි දෙයක් නැත. අපට ඒ සෑම දෙයක්ම ඕනෑ බව ප්‍රචාරණ ලෝකය අපට කාවද්දන්ට තැත් කරයි. ද ගාඩියන් නමැති බ්‍රිතාන්‍ය පුවත්පත සැකෙවින් මෙසේ කියයි. “අපට මින් පෙර කිසිදාක නොතිබුණු අවශ්‍යතා රැසක් ප්‍රචාරණය මගින් අප තුළ ඇති කර තිබෙනවා.” මේ හේතුවෙන්, අලුත් යමක් ගන්ට බැරි වේයැයි යන බිය පෝෂණය කරමින් වෙළඳපොළේ ඇති අලුත්ම දේවල් මිල දී ගැනීමට අප පෙලඹී ඇත. මෙසේ, ප්‍රචාරණ වාග් මාලාවේ “අලුත්” යන වදනින් “වඩා හොඳ සහ ඉස්තරම්” යන්නත්, “පරණ” යන්නෙන් “බාල සහ යල් පැනපු” යන අදහසත් දෙයි.

මේ හේතුව නිසා, පරණ දෙයක් අලුත්වැඩියා කරගන්නවා වෙනුවට, අලුත් දෙයක් මිල දී ගැනීමට බොහෝවිට අපි පෙලඹෙන්නෙමු. පරණ දෙයක් අලුත්වැඩියා කරනවාට වඩා ඒ වෙනුවට අලුත් දෙයක් මිල දී ගැනීම වඩා ප්‍රායෝගික මෙන්ම අරපිරිමැසුම්දායකයි කියා කියැවේ. සමහර අවස්ථාවලදී එය ඇත්තකි. එහෙත්, බොහෝ අවස්ථාවලදී, පරණ දෙයක් ඉවතලා ඒ වෙනුවට අලුත් දෙයක් ගැනීම මිල අධික මෙන්ම අනවශ්‍ය දෙයකි.

අදදින බොහෝ දේවල් නිපදවන්නේ පාවිච්චි කර විසි කර දැමීමටය. ඒවා අලුත්වැඩියා කිරීම දුෂ්කර විය හැක. යමක් මිල දී ගන්නා විට මෙය මතක තබාගැනීම හොඳ දෙයකි. පාරිභෝගිකයන් සඳහා ලියැවෙන ජර්මානු සඟරාවක මෙසේ කියයි. “නිෂ්පාදන භාණ්ඩවල ආයුෂ කාලය එන්ට එන්ටම කෙටි වෙමින් පවතී. ඊයේ වෙළඳපොළට හඳුන්වා දුන් භාණ්ඩයක් අද ‘යල්පිනූ’ එකක් බවට පත් වී කුණු ගොඩට වීසි කරයි. මෙසේ, වටිනා අමුද්‍රව්‍ය දිනපතාම කුණු කසළ බවට පත් වේ!”

කිසිදු පාලනයකින් තොරව මේ දේවල් මිල දී ගැනීමෙන් පාරිභෝගිකයාට ඵලක් තිබේද? යථාර්ථය නම්, ප්‍රයෝජනය ලබන්නේ තම මඩිය තර කරගන්නා ව්‍යාපාරිකයන් වීමයි. ස්විට්සර්ලන්තයේ ඩයි වෙල්ට්වොක නමැති සතිපතා සඟරාව මෙවන් තර්කයක් නඟයි. “සෑම කෙනෙකුම තමන්ගේ ගෘහ භාණ්ඩ සහ තම මෝටර් රථය ජීවිත කාලය පුරාම හෝ දැනට පාවිච්චි කරන කාලය මෙන් දෙගුණයක් පාවිච්චි කරනවා නම් ආර්ථික පරිහානියක් සිදු වනවා නියතයි.” ආර්ථික පරිහානියක් ඇතිවීමට ඉඩහැරීම විරැකියාවට හේතු වන නිසා කුණු කසළ ගැටලුවට විසඳුම එය නොවේ. එසේනම්, මේ කුණු කසළ අතිරික්තය සඳහා තිබෙන විසඳුම කුමක්ද?

ඉවතලෑමද? ප්‍රතිචක්‍රීකරණයද? නැතහොත් පාවිච්චිය අඩු කිරීමද?

කාර්මිකකරණය වූ සමහර රටවල් මෙයින් පහසුම දෙය කරයි. එනම්, ඔවුන්ගේ අපද්‍රව්‍ය දියුණු වෙමින් පවතින රටවල ගොඩ ගැසීමයි. උදාහරණයක් හැටියට, එක් වාර්තාවකට අනුව, “නයිජීරියාවේ ජනයාගේ අප්‍රසාදයට ලක් වූ එක්තරා ප්‍රදේශයක ගොඩගසා තිබූ මලකඩ කා දිරාගිය බැරල් 8,000කින් පස හා භූගත ජලය විෂ කරමින් විෂ රසායනික ද්‍රව්‍ය ටොන් 3,500ක් කාන්දු වී ඇති බව හෙළි විය.” අපද්‍රව්‍ය ඉවතලන එවන් ක්‍රම ප්‍රායෝගික නොවන අතර එමගින් අන්‍යයන්ගේ ශුභසිද්ධිය ගැන තැකීමක් නොකරන බව පැහැදිලි වේ.

නිකම් ඉවතලනවාට වඩා අනවශ්‍ය භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කිරීම ගැන කුමක් කිව හැකිද? මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නම් අපද්‍රව්‍ය වර්ගීකරණය කර ඉවතලිය යුතුයි. මෙය ඇතැම් ප්‍රදේශවල නීතියක් ලෙස ක්‍රියාත්මක වේ. උදාහරණයක් හැටියට, පුවත්පත්, කාඩ් බෝඩ්, ලෝහ, වීදුරු, ඓන්ද්‍රීය අපද්‍රව්‍ය වැනි කාණ්ඩවලට කුණු කසළ වෙන් කිරීමට අධිකාරීන් විසින් ඉල්ලා සිටීමට පුළුවන. වීදුරු වැනි දෙයක් ඒවායේ පාට අනුව වෙන් කිරීමටද සිදු විය හැකිය.

ප්‍රතිචක්‍රීකරණය නිසැකවම ප්‍රයෝජනදායකය. ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් පෘථිවි ග්‍රහයා බේරීමට තව දවස් 5000යි (සිංහලෙන් නැත) නමැති කෘතියේ මෙසේ සඳහන් වේ. “එමගින් විශාල බලශක්ති ප්‍රමාණයක් ඉතිරි වන” අතර, “බෝක්සයිට් කැණීමෙන් සිදු වන පාරිසරික හානිය සෑහෙන දුරට අඩු කරගත හැකිය.” එම පොත තවදුරටත් මෙසේ විග්‍රහ කරයි. උදාහරණයක් හැටියට, “කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී යොදාගැනෙන්නේ එය මුලින්ම නිපදවීමේදී යොදාගත් බලශක්තියෙන් දෙකෙන් පංගුවක් හා ජලයෙන් දහයෙන් පංගුවක් පමණයි. . . . අපද්‍රව්‍ය බොහෝමයක් ප්‍රතිචක්‍රීකරණය කර, නැවත පාවිච්චියට ගත හැකිය. . . . යම් කර්මාන්තවලට අපද්‍රව්‍ය නැවත පාවිච්චි කිරීමට නොහැකි වුවත් සමහරවිට වෙනත් කර්මාන්තවල ප්‍රයෝජනය සඳහා ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. . . . නෙදර්ලන්තයේ එවැනි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ හුවමාරු ජාලයක් 1970 සිට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙයි.”

කුණු කසළ ඉවත් කළ හැකි මාර්ග සොයනවා වෙනුවට, කුණු කසළ ඇතිවීම වළක්වාගැනීම කෙරෙහි වෙනත් අධිකාරීන් වැඩි අවධානයක් යොමු කරයි. “ඉවතලෑමට නැඹුරු වූ ආර්ථික ක්‍රමය අත්හැර . . . නාස්තිය හා සම්පත් පරිභෝජනය අවම කරගන්නා, අරපිරිමැස්මෙන් කටයුතු කරන සමාජයක් බිහි කිරීමට නම්” මිනිසා “කඩිනමින් පියවර ගත යුතුයි” කියා ඉහත සඳහන් කළ කෘතිය අනතුරු අඟවයි.

කෙසේවෙතත්, භාණ්ඩයක් මිල දී ගැනීමේදී එය කොහෙත්ම අලුත්වැඩියා කිරීමට බැරිම අවස්ථාව පැමිණෙන තුරු එම භාණ්ඩය පාවිච්චි කිරීමට ‘ඉවතලෑමට නැඹුරු වූ ආර්ථික ක්‍රමය අත්හැරීමට’ ඕනෑ කරන අය කැමති විය යුතුයි. තමන් තවදුරටත් පාවිච්චි නොකරන එහෙත් පාවිච්චියට ගත හැකි දේවල් පාවිච්චි කළ හැකි අය අතට පත් කළ යුතුයි. “ඉවත නොලා පාවිච්චි කරන්න” යන ප්‍රතිපත්තියට නිරතුරුවම ඇලී සිටින ගෙවැසියන් ඉවතලන්නේ සාමාන්‍ය ගෙවැසියන් විසින් ඉවතලන කුණු කසළ ප්‍රමාණය මෙන් සියයට 75කට වඩා අඩුවෙන්යැයි ජර්මනියේ ඩාම්ස්ටඩ්ට්හි ව්‍යවහාරික පරිසර විද්‍යායතනය මගින් ගණන් බලා තිබේ.

එහෙත්, එවැනි ප්‍රතිපත්තියක් පිළිපැදීමට කීදෙනෙකු කැමති වේද? වැඩිදෙනෙකු කැමති නැති බවයි පෙනෙන්ට තිබෙන්නේ. කුණු කසළ පිළිබඳ මිනිස්වර්ගයාගේ ගැටලුව වඩා විශාල ප්‍රශ්නයක රෝග ලක්ෂණයක් පමණි. ඉවතලෑමට නැඹුරු වූ වත්මන් සමාජයේ සිටින බොහෝදෙනෙකුව ඉවතලෑමේ මානසිකත්වයකින් පෙළෙන අය ලෙස හැඳින්විය හැකියි. එම ආකල්පය ගැනත් එමගින් ඇති විය හැකි ආදීනව කිහිපයක් ගැනත් අපි විමසුමට ලක් කරමු.

ඉවතලෑමේ මානසිකත්වය හා බැඳි අනතුරු

ඉවතලෑමේ මානසිකත්වය පහසුවෙන්ම සුළු නාස්තියෙන් ඔබ්බට කෙනෙකුව ගෙන යා හැකියි. මිනිසුන්ගේ කෘතඥපූර්වකභාවය නැති කිරීමට හා ඔවුන්ව නොසැලකිලිමත් අය බවට පත් කිරීමට එයට පුළුවන. ප්‍රතිඵලයක් හැටියට, රස ගුණවත් නොබැලූ ආහාර හා වෙනත් දේවල් ඔවුහු ඇඟට පතට නොදැනී විසි කර දමති. නිතරම අලුත්ම විලාසිතා පිටුපස යන, වැදගැම්මකට නැති ආශාවන් පිටුපස හඹා යන, ආත්මාර්ථකාමීව කටයුතු කරන අය කිසිම හානියක් සිදු වී නැති ඇඳුම්, ගෘහ භාණ්ඩ හා වෙනත් බඩුබාහිරාදිය ඉවතලමින් අලුත් ඒවා ගැනීමට පෙලඹෙන්නේ නිතැතින්මය.

කෙසේනමුදු, ඉවතලෑමේ මානසිකත්වය අප්‍රාණික දේවලට පමණක්ම සීමා වී නැත. විසි කරන ගෘහ භාණ්ඩ යළි පාවිච්චි කිරීම වෙනුවෙන් කැප වූ ජර්මානු ව්‍යාපෘතියක් මෙසේ සඳහන් කරයි. “සාලයේ තිබෙන ගෘහ භාණ්ඩ තව අවුරුදු පහකින් අපට ගැළපෙන්නේ නැති නිසා ඉවතලා ඒ වෙනුවට අලුත් ඒවා ගනියි. දැන් අප මිනිසුන්ට සලකන්නේද ඒ ආකාරයටමයි. ප්‍රශ්නය නම්, අපේ සමාජයට එය කොතරම් කාලයක් දරාගත හැකි වේද යන්නයි.” එම වාර්තාව තවදුරටත් විස්තර කරන්නේ, “කෙනෙකුට ඔහුගේ උපරිම කාර්යක්ෂමතාව දිය නොහැකි නම් ඔහු වෙනුවට තව කෙනෙකුව ගනියි. මොකද, සේවයට ගැනීමට ඕනෑ තරම් සෙනඟ සිටිනවානේ!”

එක්සත් ජනපදයේ හිටපු උපජනාධිපති ඇල් ගෝර් තම කෘතියේ (Earth in the Balance) මෙවන් වැදගත් ප්‍රශ්නයක් නැඟීය. “අප පාවිච්චි කරන දේවල් විසි කර දැමිය හැකි දේවල් ලෙස සැලකීමට පුරුදු වී සිටිමු. සෙසු මිනිසුන්වත් ඒ ආකාරයටම තකන තරමටම අප අපේ මනස් වෙනස් කරගෙනද? . . . එහි ප්‍රතිඵලයක් හැටියට, අප එක් එක්කෙනාගේ අද්විතීයභාවය අගය නොකරන තත්වයට අප පත් වෙලාද?”

අන් අයව අගය නොකරන හා ඔවුන් කෙරෙහි ගෞරවයක් නොදක්වන අයට, තමන්ගේ මිතුරන්ව හා විවාහ කලත්‍රයන්ව කුණු කූඩයට දැමීම එතරම්ම දුෂ්කර නොවන බවත් එහි වැරදිසහගත බවක් වැඩිය නොදැනෙන බවත් පෙනෙන්ට තිබේ. මෙවන් සිතුවිලි රටාවක් ගැන අදහස් දක්වමින් ජර්මානු පුවත්පතක් (Süddeutsche Zeitung) මෙසේ ප්‍රශ්න කරයි. “අවුරුද්දට දෙසැරයක් අපි අලුත් ඇඳුම් මිල දී ගන්නවා. අවුරුදු හතරකට වරක් අලුත් කාර් එකකුත් අවුරුදු දහයකට සැරයක් සාලයට අලුත් ගෘහ භාණ්ඩත් මිල දී ගන්නා අපි, හැම අවුරුද්දකම අලුත් නිවාඩු නිකේතනයක් සොයාගන්නවා. නිවාස, රැකියා හා ව්‍යාපාරත් වෙනස් කරගන්නවා. එහෙම නම්, අපේ විවාහ කලත්‍රයාව වෙනස් කිරීමේ ඇති වරද මොකක්ද?”

අද සිටින සමහරදෙනෙකු යමක් තමන්ට කරදරයක් වූ වහාම එය ඉවතලෑමට කැමතිය. උදාහරණයක් හැටියට යුරෝපීය රටක වර්ෂ 1999දී පමණක් බළලුන් 1,00,000කුත් බල්ලන් 96,000කුත් උන්ගේ අයිතිකරුවන් විසින් අත්හැර දමා ඇත. එම රටේ සත්ව හිංසාවට එරෙහිව කටයුතු කරන්නියක් කියා සිටින්නේ ඇගේ රටවැසියන් “දිගුකාලීන බැඳීමකින් යුතුව සතුන්ව බලාගන්නේ නැති” බවයි. “ඔවුන් මේ සැප්තැම්බර් මාසයේදී බලු පැටවෙක් මිල දී ගෙන [අවුරුද්දකින් පසු නිවාඩු ගත කරන්ට යන්ට පෙර] ලබන අගෝස්තු මාසයේදී ඌව අතහැර දමයි.” දරුණුම දෙය නම්, මිනිස් ජීවිත පවා මෙසේ නොසලකාහැරීමට තරම් මේ ඉවතලෑමේ මානසිකත්වය දුරදිග ගොස් තිබීමයි.

ජීවිතයට ගරු කිරීමේ ඌනතාවක්

තමන්ගේ ජීවිතයටත් එතරම් වටිනාකමක් නැතැයි අද සිටින බොහෝදෙනා සිතති. ඒ කෙසේද? උදාහරණයක් හැටියට, මෑත කාලයේදී යෞවනයන් තමන්ගේ ජීවිත අවදානමේ හෙළීමට ඉතාම කැමැත්තෙන් සිටින බව යුරෝපීය සඟරාවක් මෑතකදී නිරීක්ෂණය කළේය. අනතුරුදායක ක්‍රීඩාවල යෙදීමට දැන් දැන් දක්වන කැමැත්තෙන්ම මෙය දැකගත හැකියි. මොහොතක උද්වේගය උදෙසා තම ජීවිත වුණත් අනතුරේ හෙළන්ට ඔවුන් සූදානම්! මඩි තර කරගැනීමට කෑදරකමින් සිටින ව්‍යාපාරිකයෝ මේ නැඹුරුවාවෙන් කූට ප්‍රයෝජන ගැනීමට මාන බලාගෙන සිටිති. එක්තරා ජර්මානු දේශපාලකයෙක් කියා සිටියේ අනතුරුදායක ක්‍රීඩාවලට අනුබල දෙන්නෝ “මිනිස් ජීවිතය හා සෞඛ්‍යයට වඩා බොහෝවිට මුදල වැදගත් ලෙස සලකති” කියාය.

නූපන් මිනිස් ජීවිත නොතැකීම ගැන කුමක් කිව හැකිද? ලෝක සෞඛ්‍ය සංවිධානය කළ තක්සේරුවකට අනුව, “වර්ෂයකට ලෝකය පුරා සිදු වන පිළිසිඳගැනීම් මිලියන 75ක් පමණ කැමැත්තකින් සිදු වූ ඒවා නොවේය. බොහෝ ස්ත්‍රීන්ට ඇති එකම විසඳුම ගබ්සාවයි.” දරුවෙකු බිහි වූ පසුත් එම බිළිඳා සිටින්නේ අනතුරේය. එක්තරා බ්‍රසීලියානු පුවත්පතකට (O Estado de S. Paulo) අනුව, “පාරේ දමා යන බිලිඳුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.” ඔබේ ප්‍රදේශයේ තත්වයත් එයමද?

අප අවට ලෝකය පුරාම මිනිස් ජීවිත බොහෝවිට නොසලකා හැර තිබෙන්නේ, කිසිම වටිනාකමක් නැති කමකට නැති දෙයක් ලෙසය. මේ නැඹුරුවාව ජනප්‍රිය විනෝදාස්වාදය තුළ ඇති ප්‍රචණ්ඩත්වයෙන් අපට පෙනේ. චිත්‍රපටයක හෝ රූපවාහිනි වැඩසටහනක “වීරයා” එහි “දුෂ්ටයන්” තොග පිටින් මරා දමන හැටි පෙන්වයි. එහි බලපෑම ලොව පුරා පැතිර ඇති සැහැසික අපරාධ මගින් දැකගත හැකියි. සොරු සුළු මුදලක් සොරාගැනීම සඳහා හෝ කිසිම හේතුවක් නොමැතිව හෝ තමන්ට ගොදුරු වන්නන්ව මරා දමති. ත්‍රස්තවාදී ක්‍රියා, වාර්ගික ශුද්ධීකරණය සහ සමූලඝාතන ඇතුළත් කනස්සල්ල ඇති කරවන ප්‍රවෘත්ති වාර්තා මගින්ද අපි මෙය දකින්නෙමු. මේ සෑම දෙයකම හිතක් පපුවක් නැතුව බුරුතු පිටින් මිනිසුන් මරා දැමීම්ද සුලභව දක්නට ලැබේ. වටිනා ජීවිත කුණු කසළ මෙන් ඉවතලා ඇත.

ඉවතලෑමට නැඹුරු වූ සමාජයකින් වෙන් වී ජීවත් වීමට අපට නොහැකි බව ඇත්තකි. නමුත්, ඉවතලෑමේ මානසිකත්වයක් ඇති කරගැනීමෙන් වැළකී සිටීමට අපට පුළුවන. අදදින තිබෙන ඉවතලෑමට නැඹුරු වූ සමාජය හා ඒ සමඟ පැමිණෙන අහිතකර ආකල්ප සමඟ කටයුතු කළ හැකි ආකාරය ගැන මීළඟ ලිපිය විමසීමකට ලක් කරනු ඇත.

[6වන පිටුවේ පින්තූරය]

බොහෝ ප්‍රදේශවල ප්‍රතිචක්‍රීකරණය කිරීම අනිවාර්ය යමකි

[7වන පිටුවේ පින්තූරය]

හොඳ ඇඳුම් ඉවතලා අලුත් ඒවා මිල දී ගැනීමට වෙනස් වන විලාසිතා ඔබව පොලඹවයිද?

[8වන පිටුවේ පින්තූරය]

නූපන් බිලිඳුන්ව ආදරයෙන් රැකබලා ගත යුතු අතර ඉවත නොලෑ යුතුය

[හිමිකම් විස්තර]

Index Stock Photography Inc./BSIP Agency

[8වන පිටුවේ පින්තූරය]

මොහොතක සතුට වෙනුවෙන් අවදානමේ හෙළීමට තරම් ජීවිතය හෑල්ලු කළ යුත්තක් නොවේ