ගින්නේ මුහුණුවර දෙකක්
ගින්නේ මුහුණුවර දෙකක්
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්
ගින්න මිතුරෙකු හෝ සතුරෙකු විය හැකියි. නව භූ දර්ශනයක් මැවීමට හෝ සම්පූර්ණ විනාශයක් සිදු කිරීමට ගින්නකට හැකියාවක් තිබේ. පාලනය කිරීමට බෙහෙවින් අසීරු අතිශයින් විනාශකාරි ශක්තීන් බිහි කිරීමට විශාල ගින්නකට පුළුවනි.
ගින්නෙන් ජනිත කළ අතිදරුණු විනාශයකට එක් උදාහරණයකි 1997දී ඉන්දුනීසියාවේ හටගත් ගින්න. එම වසරේදී එහි භූමියට, ජනයාගේ සෞඛ්‍යයට හා ආර්ථිකයට සෑහෙන හානියක් කරමින් ලැව්ගිනි මුළු රටම විනාශ කර දැමීය. මේඝ වලාවන් මෙන් ඉහළට නැඟි දුමාරය අසල්වැසි රටවල් අටකට පැතිර ගියේ මිලියන 75ක පමණ ජනතාවකට හානි පමුණුවමිනි. අනතුරුව මේ නිසා ඇති වූ ඇදුම, පෙනහලු රෝගය සහ හෘදවාහිනි රෝග මෙන්ම ඇසේ හා සමේ රෝගවලට ගොදුරු වූ මිලියන 20කට ප්‍රතිකාර කිරීමට සිදු වූ බව වාර්තාවල දැක්වේ.
සිංගප්පූරුවේ දූෂණය භයානක මට්ටමකට ඉහළ නැඟිණ. මුළු නගරයම කළු දුමාරයෙන් වැසී ගියේය. “අපි අපේ ගෙවල්වල හිරකාරයන් වෙලා” කියා එක් නිවැසියෙක් දුක්මුසුව පැවසුවේ වායු-සමීකරණය කළ ඇගේ නිවසෙන් පිටවීම අවදානම් සහිත නිසාය. ඝන දුමාර පටලයකින් දසත වැසී ගිය දිනයන්වලදී ජනයාට ඉරද නොපෙනී ගියේය.
ඊළඟ වසරේ, එනම් 1998දී දරුණු ගින්න ශීඝ්‍රයෙන් තමන් කරා ආ බැවින් කැනඩාවේ, බ්‍රිතාන්‍ය කොළම්බියාවේ වැසියන් 8,000කට තමන්ගේ නිවෙස් අත්හැර දමා යෑමට සිදු විය. එම වසරේ කැනඩාවෙහි දරුණු ලෙස පැතිර ගිය දහසකුත් ගිනිවලින් එකකි එම ගින්න. ඉන් 115ක්ම එක්තරා අවස්ථාවක සාර්ථක ලෙස නිවා දැමීමට නොහැකි වූ බව පැවසේ. කැනඩාවේ උතුරු ඇල්බර්ටාහි එක ගින්නකින් අක්කර 90,000ක වනයක් විනාශ වී ගියේය. වැසියෙක් මෙසේ පැවසීය. “හරියට න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණා වගෙයි. මේ විශාල කලු වලාකුළෙන් මිනිසුන්ව වැහිලා ගියා.”
ගින්නේ හානිදායක පැත්ත
ගින්දර සොබාදහමේ ප්‍රබල බලවේගයන්ගෙන් එකකි. දරුණු ලෙස පැතිර යන ලැව්ගින්නකට භූමියක් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට, පැළ විශේෂයන්ගේ සමබරතාව නැති කිරීමට සහ වන ජීවින්ගේ සමාජය වෙනස් කිරීමටත්, ජීවිතයට හා දේපොළවලට තර්ජනය කිරීමටත් හැකියි.
දරුණු ගින්නකට සෝදාපාළුව වැඩි කළ හැකියි. බොහෝවිට අධි ග්රීෂ්මයකින් පසුව ඇද හැළෙන ධාරාණිපාත වැස්ස නිසා භූමිය මතුපිට පස සේදී යයි. පැළ විශේෂයන්ට එය බලපායි. සියුමැළි පැළෑටිවලින් සමහරක් මැළ වී මියයයි. එහෙත් අනිකුත් ඒවා පරිසරයට හොඳින් සකස් වෙයි. අභාග්‍යයකට මෙන්, ප්‍රදේශයට ආවේණික ශාක විනාශ කර දමමින් සාමාන්‍යයෙන් සඵලව වැඩෙන්නේ වල් පැළෑටීන්ය.
ප්‍රදේශයට ආවේණික විශේෂ ශාක මත යැපෙන සත්වයන්ද එවිට තර්ජනයකට ලක් වේ. ඕස්ට්‍රේලියාවට ආවේණික කෝලා සහ පොසම් කාණ්ඩයට අයත් බ්‍රෂ් ටේල්ඩ් පොසම් වැනි සතුන් විගස අනතුරට ලක් වන විශේෂයන් බැවින්, උන්ගේ වාසස්ථානය ගින්නෙන් දැවී ගියහොත් උන් පහසුවෙන්ම වඳ වී යා හැකියි. ගෙවී ගිය වසර 200 තුළදී, ඕස්ට්‍රේලියානු මහද්වීපයේ වැසි වනාන්තර සියයට 75ක්, ස්වාභාවික වනාන්තර සියයට 66ක්, ක්ෂිරපායී විශේෂයන් 19ක් සහ දේශයට ආවේණික පැළ විශේෂයන් 68ක් විනාශ වී ගොස් ඇත. මෙම සත්ව හා පැළ විශේෂයන් බොහෝමයක් ලෝකයේ වෙනත් තැනකින් සොයාගත නොහැකියි.
වනපෙත්වලට නුදුරින් නගර පිහිටුවීම වැඩි වී තිබෙන හෙයින් ලැව්ගිනි මගින් ඇති කරන හානියට මිනිසුන් ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතී. වර්ෂ 1997 දෙසැම්බර්වලදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අවට ප්‍රදේශවල සහ බ්ලූ කඳු වටා පිහිටි කුඩා නගර කීපයක ඇවිළී ගිය සියයකුත් ගිනි හේතුවෙන් අක්කර
6,00,000කට වඩා විනාශ වී ගියේය. ඒ ගිනිවලින් අඩක්ම නිවා දැමිය නොහැකි විය. ගිනි නිවන හමුදාවේ කොමසාරිස්වරයා පැවසුවේ වසර 30ක් තුළ තමා දැක ඇති දරුණුම ගිනි ඒවා කියාය. සියගණනකට තමන්ගේ නිවාස අත්හැර පලා යන්න සිදු වූ අතර සමහරුන්ගේ නිවාස දාලා අළු වී ගියේය. දෙදෙනෙකුගේ ජීවිතද මරුට බිලි විය. වර්ෂ 2001 දෙසැම්බර් අගභාගයේදී ගිනිලන්නන් විසින් සිදු කරනු ලැබුවායයි සිතන ලැව් ගිනි නිසා වනපෙත් අක්කර මිලියන 1.9ක් විනාශ වී ගියේය.ගින්න තර්ජනයක් වන විට
පාලනය කළ නොහැකි ගිනිවලට හේතු සාධක කීපයක්ම තිබිය හැකියි. එක ස්වාභාවික සාධකයක් නම් එල් නිනෝ සම්බන්ධ කාලගුණික රටාවයි. එය කලින් කලට ලොව පුරා උණුසුම්, වියළි කාලගුණික තත්වයන් හටගන්වන දේශගුණික සංසිද්ධියකි. එල් නිනෝ හේතුවෙන් නොනිසි කල හටගන්න වියළි කාලගුණයට නතු වන ඕනෑම භූමියක් තුළ ගින්නක් හටගැනීම සඳහා යෝග්‍ය වාතාවරණයක් පවතී.
ගිනි පැතිර යෑම සඳහා බොහෝවිට දොස් පැවරිය යුත්තේ මිනිසුන්ගේ අනුවණ ක්රියාවලටය. භූමිය විනාශ කරමින් හිතාමතාම ගිනිලෑම බොහෝ රටවල සලකන්නේ මරණීය දණ්ඩනය ලැබිය යුතු වරදක් හැටියටයි. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් රජයට අයත් වනාන්තරවලින් අඩකට වඩා ගිනිගෙන ඇත්තේ ගිනිලෑම හෝ අහම්බෙන් ගිනි ගැනීම හේතුවෙන් බවට තක්සේරු කර තිබේ.
දරුණු ගිනි ඇතිවීමට මඟ පෑදිය හැකි තවත් සාධකයකි, වගකීමකින් තොරව පරිසරය හැසිරවීම. වනබිම් එළි පෙහෙළි කිරීම හා කොටන් කැපීම මගින් වනාන්තර වහා ඇවිළෙනසුලු තත්වයකට පත් විය හැක. ගස් කැපීමෙන් බොහෝවිට ගින්නට දායක වන ද්‍රව්‍ය වැඩි වන අතර තුරුලතා වියන කැඩී බිඳී යන බැවින් එම ද්‍රව්‍ය වියළීම පහසු කරවමින් හිරුඑළිය එමත පතිත වේ. මෙම ඇවිළෙනසුලු සංයෝගය තුළින් ගිනිපුපුරක් හටගත් විට ඇති වන ගින්න පාලනය කළ නොහැකි තත්වයකට පහසුවෙන්ම පත්වීමට ඉඩ තිබේ.
ආර්ථිකය ගැන සැලකිලිමත් වීමේදීද විශාල ගිනි ඇතිවීමේ ගැටලුව උග්‍ර විය හැකියි. සියවස් ගණනාවක් පුරා ඉන්දුනීසියාවේ වනබිම්වල දැව කපා ගොවිතැන සඳහා සකස් කර තිබෙන්නේ සොබාදහමේ සමබරතාවට සිදු වන හානිය ගැන කිසිදු තැකීමක් නොකරය. ගොවීන් පරෙස්සමින් හා පාලිත ක්‍රමයකට ගින්දර භාවිත කළත් එයින් ඇති වන බලපෑම ස්වාභාවික ගින්නකින් පරිසරයට ඇති වන බලපෑමට සමානයි. කෙසේවෙතත්, ගොවිතැන සඳහා දැව කැපීමේ සම්ප්රදාය මෑත කාලයේදී කාර්මිකකරණය දක්වාම ප්‍රවර්ධනය වී ඇත. පාම් තෙල් වැනි නිෂ්පාදනයන් සඳහා ලොව පුරා පවතින ඉල්ලුම වැඩිවීමත් සමඟම වනබිම්වල තුරුවදුලු විනාශ කොට, මුදල් ඉපැයීමේ අටියෙන් ශීඝ්‍රයෙන්
වැඩෙන පැළ රෝපණය කර තිබේ. වනපෙත් එළි පෙහෙළි කොට බිම සකස් කිරීමට පහසුම ක්‍රමය ස්වාභාවික වෘක්ෂලතාදිය පුලුස්සා දැමීමයි. මෙබැවින්, වනබිම් පෙදෙස් බහුලව තිබීමේ දිගු කාලීන ප්‍රයෝජන සම්බන්ධයෙන් බිඳකුදු නොතකන ජනයා අක්කර දහස් ගණන් දවා දමති.ගින්නේ යහපත් පැත්ත
සුනු විසුණු කරමින් සියල්ල විනාශ කර දැමීමට ගින්නට හැකියාවක් තිබෙතත්, ශාක හා සත්ව විශේෂයන් බොහෝමයකට විශාල වාසියක් කිරීමටද එයට හැකියාවක් ඇත. ඇත්ත වශයෙන්ම, සොබාදහමේ සමබරතාව පවත්වාගැනීමට අත්‍යවශ්‍ය කාර්යභාරයක් පවා ඉටු කිරීමට එයට හැකියි. ඒ කෙසේද?
ගින්දර මිනිසාගේ පැරණිතම මිතුරෙකි. ඔහුව උණුසුම්ව තබා, ආලෝකය දී, ආහාරද පිස දුන්නේ එයයි. ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයන් සියවස් ගණනාවක් පුරා තම දෛනික කටයුතුවලදී එය භාවිත කොට ඇත. යාන්යූවා දේශීය වැසියන්ට ගින්දර මොනතරම් වැදගත්ද කිවහොත් විවිධාකාර ගිනි වර්ග හා ඒවායින් ඇති වන බලපෑම් විස්තර කිරීමට ඔවුහු නොයෙක් වචන යොදාගනිති. උදාහරණයක් වශයෙන්, ලැව්ගින්නක් ගැන කතා කරන විට ඔවුන් ගම්බාම්බාරා යන වචනය යොදාගැනීමට ඉඩ තිබේ. විශාල දැවීමකට භාජන වූ, දඩයම් කිරීමට සුදුසු තත්වයක තිබෙන බිම් පෙදෙසක් විස්තර කිරීමට වෝර්මාන් යන වචනය භාවිත කෙරේ. වලාකුළක් සාදමින් බුර බුරා ඉහළට නැඟෙන දුමාරයක් හඳුන්වන්නේ රූමාරි කියාය.
මෙම ස්වදේශික වැසියෝ ගොවිතැන්බත් කිරීම සඳහා තමන් වෙසෙන භූමිය සකසාගන්නේ භුමියේ කොටසකට ගිනිලෑම මගිනි. ලැව්ගිනිවලට ප්‍රධාන ඉන්ධනය වන වියළී ගිය ලී පතුරු හා දර කෝටු අඩු කිරීමට ඔවුහු කුඩා ගිනිගොඩවල් ගසති. මෙලෙස ගිනි පාලනය කිරීමෙන් තුරුලතා සහ සත්ව ජීවීන් රැකගනිමින් තමන්ගේ ජීවිතද රැකගැනීමට ඇබොරිජන්වරුන්ට හැකි වී තිබේ. එමගින් අනතුරුදායක ලැව්ගිනිවලට හසුවීමේ අවදානමද අඩු වී ඇත.
පාලිත ක්‍රමයකට දැවීමේ වටිනාකම
වසර 200ක තරම් මෑත කාලයකදී යුරෝපීයයන් ඕස්ට්‍රේලියාවට පැමිණි විට මිනිසා, සොබාදහම හා ගින්න අතර වූ මෙම සියුම් සමබරතාව කැඩීම ඇරඹිණ. යුරෝපීයයන්ගේ දෘෂ්ටියෙන් බලන කල, පාලනය කර තබාගත යුතු දෙයකි ගින්න. මේ හේතුවෙන් ලැව්ගිනි නිතර හටගැනීම අඩු වුවත් ගොඩගැසෙන ලී පතුරු හා දර කෝටු හේතුවෙන් හටගන්නා ගින්නවල් උත්සන්න මෙන්ම පාලනය කිරීමට අසීරු ඒවා බවට පත් විය. කෙසේවුවද, මෑත කාලයේදී, දේශීය ඕස්ට්‍රේලියානු වැසියන්ගේ ක්‍රියාකලාපයෙන් යමක් ඉගෙනගත් රජයන් විසින් පාලිත දැවීම යනුවෙන් හැඳින්වෙන දක්ෂ ක්‍රමයක් ඇති කරනු ලැබීය. මෙම ක්‍රමයෙන් ඉතා විනාශකාරි මහා ගිනිගැනීම් පැතිර යෑම වළක්වාලීමට මඟ සැලසේ. කුඩා ගිනි ගොඩවල් ගසන්නේ ලැව්ගිනි හට නොගන්නා කාලයේදීය. සුළුවෙන් ඇවිළෙන ගින්නේ ගිනි දළු එතරම් ඉහළ නොනඟින බැවින් ඉන් විහිදී යන ගිනි අළුවලින් ගස්කොළන්වලට හානියක් සිදු නොකරමින් දැවෙනසුලු ද්‍රව්‍ය ඉවත් වේ. සාමාන්‍යයෙන් සවස් යාමයේ ඇති වන පිනිවලින් ඒවා නිවීයයි.
පාලිත දැවීමේ ක්‍රමය යොදාගනිමින් ලැව්ගිනි පාලනය කිරීමේදී ඉලක්කය වී තිබෙන්නේ ස්වාභාවික ශාක සහ සත්ව විවිධත්වය පවත්වාගනිමින්ම ජීවිතය හා දේපොළ රැකගැනීමය. එමෙන්ම පාලිත දැවීමේ ක්‍රමය මගින් ආවේණික නොවූ වල්පැළෑටි ශීඝ්‍රයෙන් පැතිර යෑම අඩු කරයි. දේශීය සත්වයන්ගේ සංරක්ෂණය සඳහා අවශ්‍ය කරන වාසභූමිවල විවිධත්වය පවත්වාගැනීමටද එය උපකාර කරයි.
ඇතැම් ශාක විශේෂයන් තම බීජ පැළවීමට උපකාර පතා ගින්න මත රඳා සිටින බවක් පෙනෙන්න තිබේ. සමහර බීජවල ලෙල්ල කොතරම් ඝනකමද කියනවා නම් එය පිපිරීමට ගින්නකට නිරාවරණය විය යුතුයි. එවිට විවරය තුළින් තෙතමනය ඇතුළට උරාගනී. ගින්නකින් විහිදෙන දුමාරයද බීජ පැළවීමට දායක වන බව පර්යේෂකයෝ පවසති. බීජ පැළවීමට සලස්වන සංයෝග 70ක් පමණ එම දුමාරයේ පවතින බවට සැලකේ. ඒවා අතුරින් නයිට්රජන් ඩයොක්සයිඩ් ඉතා වැදගත් තැනක් ගනී.
භූමියක් දැවීගිය අලුත එහි පස නයිට්රජන් හා ෆොස්ෆරස් වැනි පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූණ වේ. ඊට හේතුව ගිනිබත් වූ කොළවලින් පෝෂ්‍ය පදාර්ථ මුදාහැරෙන නිසා මෙන්ම හිරුඑළිය හොඳින් භූමියට පතිත වීමටද ඉඩ කඩ සැලසෙන නිසාත්ය. මෙය නව පැළෑටි රෝපණයට කදිම තෝතැන්නකි. උදාහරණයකට, ගින්නකින් පසුව යළිත් ඇකේශියා පැළ හටගන්නා අතර ගින්නෙන් බිහි කළ තත්වයන් නිසා ඒවා ඉතා සරුවට වැඩේ.
ගින්නකින් පසුව ඇති වන තත්වයන්ගෙන්, විශේෂයෙන්ම අලුතෙන් වැඩෙන මුදු මොළොක්, යුෂ සහිත තුරුලතාවලින් බොහෝ සත්වයන්ද ප්‍රයෝජන ලබන බවක් පෙනෙන්න තිබේ. ඇතැම් කැන්ගරු වර්ගයන් නිතර දැවීමකට ලක් වූ වනලැහැබවලට කැමැත්තක් දක්වන අතර උන්ගේ දිවි පෙවෙත ගෙන යෑමට ගින්න අවශ්‍ය බවද පැවසේ. මීට හේතුව උන් ආහාරයට ගන්නා සහ ලැගුම් ගන්නා තුරුවැල් නව ජීවයක් ලැබීමට හා ප්‍රාණවත්ව සිටීමට ගින්න මත යැපීමයි.
ඉගෙනීමට තවත් බොහෝ දේ
දැන් ගින්නේ මුහුණුවර දෙක පිළිබඳව වඩා හොඳ අවබෝධයක් තිබුණද ගින්න පරිසරය හා බැඳි අන්තර් සම්බන්ධය සංකීර්ණ එකක් වන නිසා ඉගෙනගැනීමට තවත් බොහෝ දේ තිබේ. විශේෂ ශාක වර්ග හා සත්ව වර්ගවලට ගින්දර බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතුය. ගින්න අපේ පරිසරය සමඟ මහා පරිමාණයෙන් අන්තර් සම්බන්ධතාවක් දක්වන්නේ හා එය පරිසරයට බලපාන්නේ කෙසේද කියා බැලීමට තව බොහෝ පර්යේෂණයන් කළ යුතු වේ. මෙවන් ප්‍රශ්නවලට උත්තර සොයාගත යුතුයි. හරිතාගාර ආචරණයට ගින්න දායක වේද? ගිනිවලින් පිට කරන දුමාරය කාලගුණ රටාවන්ට ඇති කරන බලපෑම කුමක්ද? විශේෂ තත්වයන්වලදී ගින්න කෙසේ ක්‍රියා කරයිද?
ගින්නේ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කිරීමට නිර්මාණය කළ ආකෘති ඇතුළත් පරිගණක වැඩසටහන් දැන් තිබේ. ඒවා ඉන්ධන මෙන්ම උෂ්ණත්වය, සුළං හමන වේගය හා වෙනත් කාලගුණික තත්වයන් පෙන්වා දේ. අභාග්‍යකට මෙන්, දැනට තිබෙන ආකෘති සැමවිටම නිවැරදි තොරතුරු ලබා නොදෙන අතර ගිනි ඇතිවීම් හෝ හදිසි ගිනි තිව්රවීම් වැනි අසාමාන්‍ය සංසිද්ධීන් කලින් දැක්වීමට ඒවාට නොහැකියි. වර්ෂ 1997දී සිඩ්නිවල හටගත් ගිනිවලදී පළපුරුදු ගිනි නිවන්නන් දෙදෙනෙකුගේ ජීවිත බිලි වූයේ මෙවැනි ගින්නක ප්‍රතිඵලයක් වශයෙනි. “මරු කැඳවන ගිනි දළු” වශයෙන් ඒවා හැඳින්වීම යෝග්‍යය.
සුළි සුළං, වලාකුළු හා අකුණුගැසීම් ඇතුළත් තමන්ටම ආවේණික කාලගුණයක් ජනිත කිරීමට විශාල ගිනිවලට හැකි නිසා ඒවා පිළිබඳව යමක් කලින් පැවසීම අසීරුය. ගින්න හඹා යන අත සම්පූර්ණයෙන්ම පාහේ වෙනතකට හැරවීමට හෝ හදිසියෙන් වේගය වැඩි කිරීමට ඒවායෙහි සුළඟට හැකියි. මෙම සාධක, බිම් පෙදෙසේ වර්ගය හා බෑවුම මෙන්ම ගිනි අවුළවන ද්‍රව්‍යවල විහිදී යෑම වැනි වෙනත් තොරතුරුද ඇතුළත් කර වත්මන් ආකෘති වැඩිදියුණු කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.
මෙම අරමුණ ඉටු කරගැනීමට එක්සත් ජනපදයේ කොළරාඩෝහි වායුගෝලීය පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCAR) මගින් ව්‍යපෘතියක් දියත් කරනු ලැබීය. ඉතා දියුණු විද්‍යාත්මක උපකරණ සහිත C-130 ප්‍රවාහණ ගුවන්යානයක් NCAR මගින් නිපදවා ඇති අතර ගුවන්යානය තුළ පිහිටුවා තිබෙන පරිගණක සේවා ස්ථාන හතක් මගින් ඒ හා සම්බන්ධ සේවාවන් සැපයේ. මේ සියල්ල දැඩි පරිවරණයකින් ආරක්ෂා කර තිබේ. ගුවන්යානය නිර්මාණය කර තිබෙන්නේ බුර බුරා නැඟෙන ගින්නකට ඉහළින් යමින් එහි තටු මත සවි කර තිබෙන සංවේදමානයන්ගෙන් දත්ත සාම්පල ගත හැකි අයුරිනි. ඉන්පසු, සැකසුම සඳහා මෙම දත්ත පරිගණක වෙත යවනු ලැබේ. ගින්නේ සෑම පැත්තකම තිව්‍රතාවය දැක්විය හැකි ත’මකැම් නමැති අධෝරක්ත කැමරාවක් ගුවන්යානයෙහි සවි කර ඇත. මේ ආකාරයෙන් NCAR විද්‍යාඥයෝ ගින්නේ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරන වත්මන් ආකෘති වැඩිදියුණු කිරීමට අධ්‍යයනය කරමින් සිටිති.
දියුණු කර ඇති මෙම ආකෘති මගින් වඩාත් ආරක්ෂිතව ගිනි පාලනය කිරීමට ප්‍රවීණයන්ට හැකි වේයැයි බලාපොරොත්තු වේ. ගින්නකින් සිදු විය හැකි දේ නිවැරදිව පුරෝකථනය කිරීමට ඇති හැකියාව නිසා ප්‍රජාව බේරාගැනීමට යෑමේදී ගිනි නිවන භටයන් මුහුණ දෙන අවදානම අඩු වී යයි.
ඇත්තෙන්ම, පාලනය කළ නොහැකි විට ගින්න විපත්ති ගෙනෙන විනාශකාරි සතුරෙක් විය හැකි නමුත් එය යහපත් මිතුරෙක් වීමටද ඉඩ ඇත. පොළොවට නව ජීවයක් දීමටත්, එහි ශාක හා සත්ව ජීවි විවිධත්වයෙහි සමබරතාවක් පවත්වාගැනීමටත් හැකි කරවන සේ මැවුම්කරු විසින් පිහිටුවන ලද සොබාදහමේ චක්රයන් තුළ එය අත්‍යවශ්‍ය මෙහෙවරක් ඉටු කරයි.
[29වන පිටුවේ පින්තූරය]
විමතියට පත් ගෝන්නු මොන්ටානාහි බිටරූට් රිව නිම්නය සිසාරා පැතිර යන ගින්නක් මඟහරිමින්
[හිමිකම් විස්තර]
John McColgan, BLM, Alaska Fire Service
[30වන පිටුවේ පින්තූරය]
ඕස්ට්‍රේලියාවේ පාලිත ක්රමයේ ගින්නක්
[හිමිකම් විස්තර]
ඡායාරූපය Queensland Rural Fire Service අනුග්රහයෙනි