Skip to content

පටුනට යන්න

ජලය ගලා බසින්නේ කොහේටද?

ජලය ගලා බසින්නේ කොහේටද?

ජලය ගලා බසින්නේ කොහේටද?

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසිනි

අපොයි! මගේ නාන කාමරයේ වතුර බහින තැනින් මොකක්දෝ ජරා පාට දියරයක් උඩට එනවා. ඒක දැක්ක ගමන්ම මගේ ඇඟ හිරි වැටුණා. මුළු ගේම මඩ ගොහොරුවක් වෙයිද දන්නේ නැහැ. මම ඉක්මනට ගිහිල්ලා පයිප්ප බාස් කෙනෙකුට අඬගැහුවා. බලන් ඉන්නකොට, මගේ කකුල් දෙකත් වැහෙන තරමටම වතුර මට්ටම ටිකෙන් ටික ඉහළ නැග්ගා.මට හීන් දාඩිය දැම්මා. ඒත් එක්කම, මම කල්පනා කළා ‘මෙච්චර වතුර කොහෙන්ද එන්නේ’ කියලා.

පයිප්ප බාස් ඇවිල්ලා කානුවෙන් හිර වෙලා තිබුණු කුණු ඉවත් කරන ගමන්ම මට මෙහෙම පැහැදිලි කරලා දුන්නා. “සාමාන්‍යයෙන් නගරයේ ජීවත් වන කෙනෙක් දවසකට වතුර ලීටර් 200ක සිට 400ක ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අවුරුද්දකට සෑම මිනිසෙක්ම, කාන්තාවක්ම සහ දරුවෙක්ම ජලය ලීටර් 1,00,000ක් බැගින් බැහැර කරනවා කියන එකයි.” “මොනවා! මම එච්චර වතුර ප්‍රමාණයක් පාවිච්චි කරනවා?” කියලා මම පුදුමයෙන් ඇහුවා. “මම එච්චර බොන්නේ නැහැනේ.” “ඇත්තයි, නමුත් හැමදාම නාන කොට, වැසිකිළිය පාවිච්චි කරන කොට සහ සමහරවිට රෙදි සෝදන යන්ත්‍රයක් නැත්නම් දීසි සෝදන යන්ත්‍රයක් භාවිත කරන කොට වතුර පාවිච්චි වෙනවා. අපේ නවීන ජීවන රටාව හින්දා මේ ක්‍රමවලින් සහ වෙනත් ක්‍රමවලින් අපේ ආච්චිලා සීයලා පාවිච්චි කළාටත් වඩා වතුර දෙගුණයක් වැඩියෙන් පාවිච්චි කරනවා” යන්න ඔහුගේ පිළිතුර වුණා. ඉතින්, මට ඇති වුණු ප්‍රශ්නය මේකයි. ‘ඒ ජලය ගලා බසින්නේ කොහේටද?’

අප දිනපතා බැහැර කරන ජලය අප ජීවත් වන රටට අනුව විවිධ ක්‍රමවලින් ඉවත් කරන බව මට දැනගන්න ලැබුණා. සමහරවිට, එක් එක් නගරයට අනුව භාවිත කරන ක්‍රමද වෙනස්. ඇතැම් රටවල ජලය බැහැර කිරීම ජීවිතය හා මරණය අතර කරන බැරෑරුම් සටනක් වෙලා තියෙනවා. (27වන පිටුවේ කොටු බලන්න.) අපේ නගරයේ තිබෙන අපජල පවිත්‍රාගාරය බලන්න එන්න ආසයිද? ආවොත්, වතුර කොහෙද යන්නේ කියලා දැනගන්න පුළුවන් වෙයි. අනික, ඔබ කොතැනක ජීවත් වුණත් වැසිකිළිය පාවිච්චි කරන කොට රෙදි දීසි ආදිය සෝදන කොට ජලය බැහැර කරන්න ඉස්සෙල්ලා ඒ ගැන සිතා බැලීම ඉතා වැදගත් දෙයක් වන්නේ ඇයි කියලත් ඔබට දැනගන්න පුළුවන් වේවි.

අපජල පවිත්‍රාගාරයට යමු

අපජල පවිත්‍රාගාරයක්? අපොයි. ඒක බලන්න යන එක එතරම් රසවත් අද්දැකීමක් වේවිද? ඔබටත් ඒ වගේ අදහසක් පහළ වුණාද? මටත් එවැනි හැඟීමක් පහළ වුණා. එනමුත්, එවැනි පවිත්‍රාගාරයක් තිබුණේ නැත්නම් අපේ නගරය කැළි කසළවලින් යට වී යයි. අනික, මෙම පවිත්‍රාගාරවලින් හොඳ සේවයක් බලාපොරොත්තු වෙන්න නම් අපෙනුත් යම්කිසි දායකත්වයක් අවශ්‍යයි. අපි දැන් යන්නේ ප්‍රසිද්ධ සිඩ්නි වරායට දකුණෙන් පිහිටි මැලබාර්හි අපජල පවිත්‍රාගාරයටයි. මගේ නාන කාමරයේ වතුර කොහොමද ඒ පවිත්‍රාගාරයට යන්නේ?

වැසිකිළියට වතුර ගසන කොට, බේසමේ (සින්ක් එකේ) වතුර අරිනකොට, නැත්නම් නානකොට, ඒ වතුර සියල්ල යන්නේ අපජල පවිත්‍රාගාරයටයි. ඒ ගමන කිලෝමීටර් 50ක දිගු ගමනක්. ඒ වතුර ගලා ඇවිත් එකතු වන්නේ, දිනකට ලීටර් මිලියන 480ක් එකතු වන පවිත්‍රාගාරයේ ප්‍රධාන පිවිසුම් පයිප්පයටයි. ඒ කියන්නේ මෙම පවිත්‍රාගාරයට හැම විනාඩියකදීම එකතු වන ජලයෙන් ඔලිම්පික් තරඟ පැවැත්විය හැකි පිහිනුම් තටාක දෙකක් පුරවන්න පුළුවන්.

මෙම පවිත්‍රාගාරය අප්‍රසන්න පෙනුමක් නොගන්නා අතර, දුගඳකුත් හමන්නේ නැහැ. ඊට හේතුව පැහැදිලි කරමින් එහි මහජන සබඳතා නිලධාරියා වන රොස් මට මෙහෙම කිව්වා. “මෙම පවිත්‍රාගාරයෙන් වැඩි හරියක් තියෙන්නේ පොළොව යටයි. ඒ නිසා දුගඳ හමන වායු පොළොව යටම එක තැනකට එකතු කර වායු ශෝධකයන් (සිලින්ඩාකාර යෝධ චිමිනි පේළියක්) වෙතට යොමු කරනවා. එමගින් දුගඳ සම්පූර්ණයෙන්ම නැති කරනවා. මෙසේ පිරිසිදු කළ වාතය වායුගෝලයට මුදාහරිනු ලබනවා. මෙම පවිත්‍රාගාරය වටේටම ගෙවල් දහස් ගණනක් තිබුණත්, දුගඳක් හමනවා කියලා චෝදනා කරන දුරකථන ඇමතුම් මට ලැබෙන්නේ අවුරුද්දකට දහයක් විතර ප්‍රමාණයක් පමණයි.” ඉතින්, රොස් අපිව ඊළඟට ගෙනියන්නේ ‘දුගඳට’ හේතු වන අපජලය එකතු වන තැනටයි.

මොකක්ද මේ අපජලය කියන්නේ?

දැන් අපි පහළට බහින්න පටන්ගන්නවා. අපට මඟ පෙන්වන්නා මෙසේ පවසනවා. “අපජලයෙන් සියයට 99.9ක්ම ජලයයි. ඉතිරියට මිනිසුන්ගේ කැළි කසළ, රසායනික ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය ඇතුළත්. හෙක්ටෙයාර 55,000ක් ආවරණය කරන ප්‍රදේශයක තිබෙන නිවාස සහ කර්මාන්ත ශාලාවලින් එකතු වන අපජලය කිලෝමීටර් 20,000ක් දිග පයිප්ප පද්ධතියක් දිගේ ගලා එනවා. ඊට පස්සේ එය පවිත්‍රාගාරයට ඇතුල් වන්නේ මුහුදු මට්ටමෙන් මීටර් දෙකක් පහළින් පිහිටි ප්‍රවේශ මාර්ගයකින්. මෙතැන් සිට කසළ ජලය පෙරහන් කිහිපයක් තුළින් ගමන් කරනවා. ප්‍රතිඵලයක් ලෙස, රෙදි කෑලි, ගල්, කඩදාසි සහ ප්ලාස්ටික් ඉවත් කරගන්නට පුළුවන්. ඉන්පසුව, ජලය රළු වැලි කුටීර තුළට යවනවා. එතැනදී ඓන්ද්‍රීය ද්‍රව්‍ය වායු බුබුළුවලින් පාවීමට සලස්වනවා. බරින් වැඩි වැලි කැට අඩියට බහිනවා. ඓන්ද්‍රීය නොවන මේ ද්‍රව්‍ය ඔක්කොම ටික එකතු කරලා වගුරු ඉඩම් ගොඩ කිරීමට භාවිත කරනවා. ඉතිරි වූ අපජලය මීටර් 15ක් ඉහළට පොම්ප කරන්නේ අවසාදිත ටැංකිවලටයි.

මෙම ටැංකි, ප්‍රමාණයෙන් පාපන්දු පිට්ටනියකින් භාගයක් විතර වෙනවා. ඇත්තෙන්ම වාතය පවිත්‍ර කිරීමේ ක්‍රමය සාර්ථක වුණේ නැත්නම්, අසල්වාසීන්ගෙන් කොච්චර චෝදනා එයිද කියලා තේරෙන්නේ මෙතනට ආවාමයි. ජලය ටැංකි තුළට ටිකෙන් ටික ගලා එද්දී තෙල් සහ ග්‍රීස් වැනි ද්‍රව්‍ය මතුපිට පාවෙන්න පටන්ගන්නා අතර ඒවා ඉවතට ගන්නවා. රොන් මඩ ලෙස හැඳින්විය හැකි ඉතා සිහින් ඝන ද්‍රව්‍ය අඩියේ තැන්පත් වෙනවා. ඉන්පසුව එසේ තැන්පත් වූ ඒ මඩ තට්ටුව විශාල යාන්ත්‍රික තල මගින් හූරා තවදුරටත් පවිත්‍ර කිරීම සඳහා වෙනත් ස්ථානයකට පොම්ප කරනු ලබනවා.

පිරිපහදු කළ අපජලය කිලෝමීටර් තුනක් පමණ ඈතට පොළොව යට විහිදෙන බිංගෙයක් දිගේ යවමින් මුහුදු පතුලටත් යටින් පිහිටි ස්ථානයකින් මුදාහැරෙනවා. එතැනින් එම ජලය මුහුදු පතුලේ මතුපිටට පැමිණේ. ඒ කියන්නේ මුහුදේ රළ පෙළ නඟින මතුපිටේ සිට මීටර් 60ක්, 80ක් පමණ පහළින්. ඉන්පසුව එම අපජලය මුහුදු ජලය සමඟ මිශ්‍ර වෙනවා. වෙරළබඩ තීරයේ දක්නට ලැබෙන ප්‍රබල සාගර දිය පහරවල් මගින් අපජලය විසුරුවා හැරීමක් සිදු වෙනවා. එසේ විසිර යද්දී ලවණ ජලයේ ස්වාභාවිකව තිබෙන විෂබීජ නාශක ගුණය මගින් පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය නිමාවකට පත් කරනවා. පවිත්‍රාගාරයේ තවමත් ඉතිරිව තිබෙන රොන් මඩ නිර්වායු ජීරක ලෙස හැඳින්වෙන විශාල ටැංකි තුළට පොම්ප කරනු ලබයි. එහිදී ක්ෂුද්‍ර ජීවීන් මගින් ඓන්ද්‍රීය ද්‍රව්‍ය මීතේන් වායුවටත්, වඩාත් හිතකර රොන් මඩ වර්ගයකටත් වෙන් කරයි.

රොන් මඩ පස බවට

සැනසුම් සුසුමක් හෙළමින් මම රොස් සමඟ එළිමහනට ආයේ එනවා. ඊළඟට අපි වායුරෝධක රොන් මඩ ටැංකියක් උඩටම නඟිනවා. රොස් දිගටම කතා කරනවා. “ක්ෂුද්‍ර ජීවීන් මගින් නිපදවෙන මීතේන් විදුලි ජනක ක්‍රියාත්මක කිරීමට බලය සපයනවා වගේම පවිත්‍රාගාරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය බලශක්තියෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් සපයනවා. හිතකර තත්වයක තිබෙන රොන් මඩවල විෂබීජ නසනු ලබන අතර, ඊට හුණු එකතු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඝන ජීව කොටස් ලෙස හැඳින්වෙන ප්‍රයෝජනදායක ද්‍රව්‍යයක් ලබාගත හැකියි. මෙම ද්‍රව්‍ය ශාකවලට හිතකර පෝෂ්‍යදායී ද්‍රව්‍යවලින් පිරී පවතී. මැලබාර් කසළ පවිත්‍රාගාරය වසරකට ඝන ජීව කොටස් ටොන් 40,000ක් නිෂ්පාදනය කරනවා. අවුරුදු දහයකට ඉස්සෙල්ලා පවිත්‍ර නොකළ රොන් මඩ පුච්චලා දානවා. නැත්නම් මුහුදට දානවා. නමුත් දැන් මෙය සම්පතක් හැටියට සලකා එයින් හොඳ ප්‍රයෝජන ලබාගන්නවා.”

රොස් මට විවරණිකාවකුත් දෙනවා. ඒකෙ මෙහෙම පැහැදිලි කර තිබෙනවා. “[නිව් සවුත් වේල්ස්හි] වනාන්තරවලට ඝන ජීව කොටස් දැමුවායින් පසු, ගස්වල සියයට 20ක සිට 35ක වර්ධනයේ දියුණුවක් දක්නට ලැබේ.” ඒකේ මෙහෙමත් කියනවා. ‘ඝන ජීව කොටස් මිශ්‍ර කළ පසෙහි තිරිඟු වගා කිරීමෙන් අනතුරුව අස්වැන්න සියයට 70කින් පමණ වර්ධනය වී ඇත.’ දැන් ඝන ජීව කොටස් මිශ්‍ර කළ පොහොර වර්ග මගේ වත්තේ මල්වලට පොහොර වශයෙන් දාන්න පුළුවන් කියලාත් ඒවායින් මට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලාත් මම දැනගත්තා.

ළඟ ඉන්න කල් විතරද කාගෙත් සැලකිල්ල?

අපේ සවාරිය අවසන් වෙද්දී අපට මඟ පෙන්වූ රොස් මට මතක් කරලා දෙනවා තීන්ත, පළිබෝධ නාශක, බෙහෙත් නැත්නම් තෙල්, කානුවට දැම්මොත් පවිත්‍රාගාරයේ ක්ෂුද්‍ර ජීවීන් ටික මැරෙන්න පුළුවන් කියලා. එතකොට ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට බාධා පැමිණෙන්න පුළුවන්. ‘මේද සහ තෙල්’ අපේ ශරීරයේ නහරවලට අහිතකර වෙනවා වගේම පයිප්ප පද්ධතිය ටිකෙන් ටික අවහිර කිරීමටත් පුළුවන් බව ඔහු අවධාරණයෙන් කියා සිටිනවා. අනික් අතට, ළදරුවන්ගේ කෘත්‍රිම නැපි, රෙදි සහ ප්ලාස්ටික් දිරා යන්නේ නැති නිසා ඇත්තටම ඒවායින් වෙන්නේ පයිප්ප හිර වෙන එක විතරයි.’ ඉතින්, අපට කසළ, කානුවට දාලා ඒ ගැන අමතක කරලා දාන්න පුළුවන්. ඒත්, කානුව හිරවෙලා වතුර හැමතැනම ගලන්න පටන්ගන්න කොට, ඒවා අමතක කර දැමීමෙන් බේරෙන්න බැහැ කියලා තේරෙනවා. ඉතින්, ඊළඟ වතාවේ නාන කොට, වැසිකිළියට වතුර ගසන කොට, වතුර බේසමේ වතුර අරින කොට, ඒ වතුර ටික යන්නේ කොහේද කියන එක ගැන සිතා බලමු.

[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අපජලයේ සිට පානීය ජලය දක්වා

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඔරෙන්ජ් ප්‍රාන්තය ඉතා අඩු වර්ෂාපතනයක් ලබන ප්‍රදේශයක්. එහි මිලියන සංඛ්‍යාත ජනකායක් වෙසෙන අතර, අපජල ප්‍රශ්නයට සොයාගෙන ඇති ඉතා දියුණු විසඳුමකින් ප්‍රයෝජන ලබනවා. ඔවුන් අපජලය ලීටර් මිලියන ගණනක් දිනපතා සාගරය තුළට පොම්ප කරනවා වෙනුවට, ඉන් බහුතරයක් භාවිතය සඳහා නැවතත් ජල සැපයුමට එක් කරගන්නවා. මෙම කාර්යය වර්ෂ ගණනාවක් පුරා සිදු කර ඇත්තේ අපජල පවිත්‍රාගාරයක් මගිනුයි. මෙම පවිත්‍රාගාරයේ පවිත්‍ර කිරීමේ ක්‍රමයට අවස්ථා තුනක් තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන් පවිත්‍ර කරන ලද ජලය සාමාන්‍යයෙන් භාවිත කරන පානීය ජලය තරම්ම පවිත්‍ර තත්වයකට ගෙනෙනු ලබනවා. ඉන්පසුව මෙය ගැඹුරු ළිංවල ජලය සමඟ මිශ්‍ර කරන අතර, එය ජලය එකතු වන ස්ථානවලට පිවිසෙනවා. මෙසේ, භූගත ජල සැපයුම නැවත පිරෙන අතර, එයට ලුණු වතුර මිශ්‍ර වී එය අපවිත්‍ර වීමේ අවදානමද මඟහරවා ගත හැකියි. මෙම භූගත ජල සැපයුමෙන් නගරයේ ජල අවශ්‍යතාවෙන් සියයට 75ක් පමණ පිරිමැසේ.

[27වන පිටුවේ කොටුව]

නැණවත්ව ජලය භාවිත කිරීමට ක්‍රම පහක්

◼ පයිප්පවල වොෂරවලින් ජලය කාන්දු වෙනවා නම් ඒවා අලුත්වැඩියා කරන්න. පයිප්පයකින් ජලය කාන්දු වුණොත් වසරකට ලීටර් 7,000ක් පමණ අපතේ යා හැකියි.

◼ ඔබේ වැසිකිළියේ ජලය කාන්දු වෙනවාදැයි පරීක්ෂා කර බලන්න. එසේ වනවා නම්, වසරකට ලීටර් 16,000ක් අපතේ යා හැකියි.

◼ නෑමට වතුර මලක් සවි කරද්දී, වතුර අපතේ යන්නේ නැති එකක් සවි කරන්න. සාමාන්‍ය වතුර මලකින් විනාඩියකට ලීටර් 18ක් පමණ පිට වෙනවා. වතුර අඩුවෙන් ගලන වතුර මලකින් පිට වන්නේ විනාඩියකට ලීටර් 9ක් පමණයි. මෙමගින් සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් පවුලකට හැකියි වසරකට ලීටර් 80,000ක් පමණ ඉතිරි කරගන්න.

◼ ඔබේ වැසිකිළිය සෝදා හරින උපකරණයේ වතුර ගසන ප්‍රමාණය දෙවිදිහකට පාලනය කළ හැකි නම්, හැකි අවස්ථාවන්හිදී අඩු ප්‍රමාණය භාවිත කරන්න. සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් පවුලකට හැකියි වසරකට ලීටර් 36,000ක් පමණ ඉතිරි කරගන්න.

◼ ඔබ භාවිත කරන කරාමවල වායු කැවීමේ උපකරණයක් (aerator) සවි කරන්න. ඒවා සාමාන්‍යයෙන් එතරම් මිල අධික නොවන අතර, ගලන ජල ප්‍රවාහය සියයට 50කින් පමණ අඩු වුවත්, කිසිදු අපහසුතාවක් නොදැනේ.

[27වන පිටුවේ කොටුව]

ලොව පුරා අපජල අර්බුදයක්

“දැනට ලෝකයේ ජනගහනයෙන් බිලියන 1.2කට පිරිසිදු පානීය ජලය නැහැ. තවද බිලියන 2.9ක් කැළි කසළ ඉවත් කිරීමට නිසි පහසුකම් භුක්ති විඳින්නේ නැහැ. ප්‍රතිඵලයක් ලෙස, ජලයෙන් බෝවන රෝග හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව මිලියන පහක් පමණ වෙනවා. මෙහිදී වැඩියෙන් ගොදුරු වන්නේ දරුවන්.”—නෙදර්ලන්තයේ හේග් නගරයෙහි පැවැත්වූ දෙවන ලෝක යුද්ධ සම්මේලනය.

[26වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

මැලබාර්හි අනුගමනය කරන අපජල පවිත්‍ර කිරීමේ ක්‍රියා පටිපාටිය (සරල දැක්මක්)

1. අපජලය පවිත්‍රාගාරයට පිවිසෙයි

2. පෙරහන්

3. රළු වැලි කුටීර ⇨ ⇨ 4. ගොඩ කළ යුතු ඉඩමක් වෙතට

5. අවසාදිත ටැංකි ⇨ ⇨ 6. සාගරය වෙතට

7. නිර්වායු ජීරක ⇨ ⇨ 8. විදුලි ජනක

9. ඝන ජීව කොටස් බහාලන ටැංකි

[පින්තූර]

නිර්වායු ජීරණයක් සිදු වන ටැංකිවල රොන් මඩ ප්‍රයෝජනදායක පොහොර සහ මීතේන් වායුව බවට පරිවර්තනය කරයි

මීතේන් වායුව දහනය කරන්නේ විදුලි බලය ජනනය කිරීම සඳහාය