Skip to content

පටුනට යන්න

තනි මාපියන්ට අභියෝග රැසක්

තනි මාපියන්ට අභියෝග රැසක්

තනි මාපියන්ට අභියෝග රැසක්

“මම හුඟාක් චිත්තවේගී හැඟීම් එක්ක පොරබදනවා. මා රැය ගත කරන්නේ නාන කාමරයට වෙලා අඬමිනුයි. එය නම් දරාගන්න හරිම අමාරුයි.”—දරුවන් තිදෙනෙකුගේ තනි මවක් වන ජැනට්.

තනි මාපියභාවයට තුඩු දෙන හේතු බොහෝයි. යුද්ධය, ස්වාභාවික විපත් හෝ ලෙඩ රෝග නිසා ඇතැම් පවුල්වල දරුවන් හැදී වැඩෙන්නේ තනි දෙමාපියෙකු යටතේයි.

ඇතැම් දරුවන්ගේ දෙමාපියන් කිසිවිටෙකත් විවාහ නොවීමට තීරණය කරනවා. නිදසුනක් වශයෙන්, ස්වීඩනයේ වෙසෙන දරුවන්ගෙන් හරි අඩක්ම පාහේ උපත ලබා ඇත්තේ විවාහයෙන් පිටතයි. දික්කසාදය නිසාද තනි මාපිය පවුල් ඇති වෙලා. අමෙරිකානු ළමුන්ගෙන් සියයට 50ක්ම, ඔවුන්ගේ ළමා කාලය අතරතුර යම් කාලපරිච්ඡේදයකදී තනි මාපියෙකු සමඟ ජීවත් වන බව පර්යේෂකයන් කියා සිටිනවා.

අභියෝග තේරුම්ගැනීම

මෑතකදී වැන්දඹුවන් බවට පත් වූ මව්වරුන්ට උසුලාගෙන යෑමට තිබෙන බරද අතිවිශේෂ වූවක්. ඔවුන් තම දරුවන්ගේ වගකීම්වලට උර දෙන්නේ මිය ගිය තම දයාබර සැමියන් ගැන ශෝක වෙන අතරතුරේදීයි. ඒ වගේම මේ නව තත්වයට හැඩගැසීමට ඔවුන්ට මාස ගණන් සමහරක් විට අවුරුදු ගණනාවක් පවා ගත වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මුහුණ දීමට සිදු වන ආර්ථිකමය අභියෝග සහ තම දරුවන්ව සනසාලීමේ වගකීමත් ඔවුන්ට තිබෙනවා. වැන්දඹු මවකට මේ අමතර වගකීම් ඉසිලීම ඉතා දුෂ්කර දෙයක් වෙන්නට පුළුවන්. මේ නිසා දරුවාට මෙවැනි තත්වයන්හිදී අනිවාර්යයෙන්ම ලැබිය යුතු මාපිය සෙනෙහස, අවධානය හා මඟ පෙන්වීම නැතිව යා හැකියි.

තම දරුවන්ගේ පියා සමඟ විවාහ වී නොසිටින තනි මව්වරුන් බොහෝ විට ඉතා ළාබාල, අද්දැකීම් අඩු අයයි. සමහරවිට ඔවුන්ට තමන්ගේ මූලික අධ්‍යාපනයවත් සම්පූර්ණ කිරීමට ප්‍රස්තාවක් නොතිබුණා වෙන්නට පුළුවනි. ප්‍රමාණවත් වෘත්තීය හැකියාවන් නැතිව සිටින මොවුන් බොහෝවිට දිළිඳුයි. වැඩ කරන්නේ අඩු වැටුපකටයි. දෙමාපියන්ගෙන්වත් නෑදෑ හිතවතුන්ගෙන්වත් කිසි හව්හරණක් නැතිව සිටින මේ අයට දිවා කාලයේදී දරුවාට අවශ්‍ය රැකවරණය හා පහසුකම් ලබා දීමේ අමතර වගකීම දැරීමටද සිදු වෙලා. විවාහ නොවූ මව්වරුන්ට, ලජ්ජාවේ හා තනිකමේ හැඟීම් සමඟ පොරබැදීමට සිදු විය හැකියි. දරුවෙක් සිටින නිසා තමන්ට සුදුසු කලත්‍රයෙක් සොයාගැනීමට බැරි වේය කියාත් ඇතමුන්ට බියක් තියෙනවා. එවන් පවුල්වල දරුවන් හැදී වැඩී ලොකු මහත් වන විට, තමන් ඉපදුණේ කෙසේද තමන්ගේ පියා කවුද යන උභතෝකෝටික ප්‍රශ්නවලට එම දරුවන් මුහුණ දෙනවා පමණක් නොව අහිමි වී ගිය මාපියාගේ උණුසුමද ඔහුට හෝ ඇයට ලැබෙන්නේ නැහැ.

ඒ හා සමානව, දික්කසාදයට මුහුණ දී ඇති මාපියන්ද සිටින්නේ අතිමහත් පීඩනයක් යටතේයි. දික්කසාදයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් මාපියන් පසු වෙන්නේ තදබල කෝපයකින්. තමා ගැනම අඩුවෙන් තක්සේරු කර සිතීම නිසාත් තමාව එපා කර තිබෙනවාය යන හැඟීමෙන් මිරිකී සිටින නිසාත් ඇතැම් දෙමාපියන්ට, තම දරුවාට චිත්තවේගීය වශයෙන් දැක්විය යුතු සැලකිල්ල දෙන්නට හැකියාවක් නැහැ. ජීවිතයේ පළමු වරට රැකියාවක් කරන්නට සිදු වන මවකට, ගෙදර දොරේ වැඩ කටයුතු පාලනය කිරීමේ වගකීමට උර දීමේදී අසීරුතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි. එමෙන්ම තම දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසුව සිදු වන හදිසි වෙනස්කම්වලට මුහුණ දීමට දරුවන්ටද සිදු වෙනවා. එවන් අවස්ථාවලදී තම දරුවන්ට සාර්ථකව කටයුතු කිරීම සඳහා උපකාර කිරීමට අවශ්‍ය කාලය හා ශක්තිය තමන්ට නැති බව මෙවැනි තනි මව්වරුන්ට හැඟෙන්නට පුළුවනි.

දික්කසාද වූ මාපියන්ගේ අතිවිශේෂ වූ අභියෝග

තනි මාපියන් වටහාගන්නා දෙයක් තමයි, තම දරුවන්ගේ අවශ්‍යතා නිතර නිතර වෙනස් වන බව. අනික එක එක දරුවාගේ අවශ්‍යතාද එකිනෙකට වෙනස්. දික්කසාද වූ තනි දෙමාපියන්ට නම් තම දරුවන්ට ආත්මික මඟ පෙන්වීම ලබා දීමට ප්‍රමාණවත් ප්‍රස්තා සොයාගැනීම අතිවිශේෂ අභියෝගයක් විය හැකියි.

නිදසුනක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන ඇතැම් දික්කසාද වූ දෙමාපියන්ට තම දරුවන්ගේ භාරකාරත්වය නොලැබී තිබෙන්ට පුළුවන්. ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන වේලාවන් ඇතුළත් වන පරිද්දෙන් තම දරුවන් බැලීමට අවසර ලැබී ඇති කාලය සකස් කරගැනීමට ඔවුන් උත්සාහ කර තිබෙනවා. මෙසේ දරුවා බැලිය හැකි කාලය අතරතුර ක්‍රිස්තියානි සභාව සමඟ නිතරම ඇසුරු කිරීමට ප්‍රස්තාව උදා කර දීම මගින් දික්කසාද වී ඇති පවුල්වල දරුවන්ට ලැබී ඇති ප්‍රයෝජන ඉමහත්.

තමන්ගේ දරුවන්ව හමුවීමට හෝ බැලීමට ඉතා අල්ප ප්‍රස්තා ඇති දික්කසාද වූ මාපියන් තම දරුවන් සඳහා වූ තම ප්‍රේමය හා සෙනෙහස සහතික කිරීමට මං සෙවිය යුතුයි. මෙහිලා සාර්ථක වීමට අවශ්‍ය කරන තවත් දෙයක් තමයි, දරුවෙකුගේ වෙනස් වන චිත්තවේගීය අවශ්‍යතා ගැන සංවේදීව සිටීම. දරුවා වැඩිවියට පත් වන හා සමාජ ඇසුර මෙන්ම මිතුරු මිතුරියන් කෙරෙහි දක්වන ඇල්ම වැඩි වෙන කාලයේදී මෙය විශේෂයෙන්ම සැබෑවක් වෙයි.

සාර්ථක දෙමාපියෙක් දරුවෙකුගේ හැකියාවන්, පෞද්ගලිකත්වය හා සිතන විදිහත් තේරුම්ගන්නවා. (උත්පත්ති 33:13) එවන් මාපියෙක් සහ දරුවෙක් ඉතා කිට්ටු, හිතවත් හා උණුසුම් ඇසුරක් භුක්ති විඳිනවා. ඒ වගේම අදහස් හුවමාරුව විවෘතව තබාගන්නවා. දරුවා මාපියාගේ ජීවිතයේම කොටසක්. එලෙසම මාපියාත් දරුවාගේ ජීවිතයේ කොටසක්.

සාධාරණ වීමේ අවශ්‍යතාව

දික්කසාදයෙන් පසුව, දරුවන් දෙමාපියන් දෙදෙනාවම නිතර නිතර හමුවීමෙන් ලබන්නේ ඉමහත් ප්‍රයෝජනයක්. දෙමාපියන් දෙදෙනා ආගමික විශ්වාසයන් දෙකක් දරනවා නම්, එනම්, එක්කෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තා එසේ නොවේ නම්, නිතර නිතර විවෘතව අදහස් හුවමාරු කරගන්නා විට අනවශ්‍ය ගැටුම් ඇතිවීම වැළකෙනවා. “ඔබ සාධාරණ පුද්ගලයෙකු බවට කීර්ති නාමයක් ඇතිව සිටින්න” කියා ප්‍රේරිත පාවුල් ලීවා. (පිලිප්පි 4:5, ෆිලිප්ස්) ආගමික සිරිත්වල නියැලීමට දෙමාපියන් දෙදෙනාටම ඇති අයිතියට ගෞරව කිරීමට දරුවන්ට ඉගැන්විය යුතුයි.

සාක්ෂිකරුවෙකු නොවන දෙමාපියා ඔහු යන ආගමික සිද්ධස්ථානයක මෙහෙයන්ට යන ලෙස දරුවාට බල කර සිටින්නට පුළුවන. යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන මාපියෙකුට කළ හැක්කේ කුමක්ද? ඇයටත් ඇගේ ආගමික විශ්වාසයන් දරුවා සමඟ බෙදාගන්නට පුළුවනි. කල් යත්ම, දරුවාට ආගම සම්බන්ධව තමාගේම තීරණයක් ගත හැකියි. තිමෝතිගේ ආදර්ශය සැලකිල්ලට ගන්න. පෙනෙන විදිහට මව හා ආච්චි විසින් බයිබල් ප්‍රතිපත්ති ගැන උගන්වනු ලැබූ යෞවන තිමෝතිට මෙන් ඔබේ දරුවාටත් ශුද්ධ ලියවිලි පහදා දීමෙන් ‘විශ්වාස කිරීම සඳහා ඒත්තුගැන්විය’ හැකියි. (2 තිමෝති 3:14, 15, NW) වෙනත් ආගමික මෙහෙයන්වලට යෑම ගැන දරුවාට යම් අපහසුතාවක් දැනේ නම්, බයිබල් චරිතයක් වන නාමන් ගැන සලකා බැලිය හැකියි. මොහු සැබෑ නමස්කාරකයෙකු වූවායින් පසුව, රිම්මොන්ගේ ගෘහයේ නමස්කාර කළ රජුව එහි කැටුව ගියේ හුදෙක් තම රාජකාරියේ කොටසක් හැටියටයි. මේ අනුව එම දරුවා ලවා නුහුරු නුපුරුදු ආගමික චාරිත්‍ර ඉටු කරවීමට අනෙක් දෙමාපියා බලෙන්ම වාගේ එම දරුවාව තමා සමඟ කැටුව ගියද, යෙහෝවා ඔහුට ප්‍රේම කරන බවත් ඔහු ගැන අවබෝධයෙන් සිටින බවත් දරුවාට මෙම වාර්තාව ඔස්සේ පැහැදිලි කර දිය හැකියි.—2 රාජාවලිය 5:17-19.

සාර්ථක දෙමාපියෙක් තම දරුවාගේ හෝ දරුවන්ගේ සිතිවිලි සකස් කිරීමට සමත් වන අතරම ඔවුන්ගේ හැඟීම්ද තේරුම්ගැනීමට සමත් වෙයි. (ද්විතීය කථාව 6:7) කිසිවිටෙකත් විවාහ නොවූ තනි දෙමාපියන්ට තමන්ගේ අතීත ජීවිතය ගැන මහත් ලජ්ජාවක් දැනෙනවා විය හැකි බව නම් ඇත්තයි. කෙසේවෙතත්, දරුවෙකුට මවක මෙන්ම පියෙකුද සිටින බව එවන් දෙමාපියන් අමතක නොකළ යුතුයි. දරුවන්ට මේ දෙමාපියන් දෙදෙනා ගැනම දැනගැනීමට අවශ්‍යයි. තමන්ව වුවමනා බව ඔවුන්ට දැනෙන්නට අවශ්‍යයි. තමා හදිසි සිදුවීම් වැලක ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ අනවශ්‍ය දරුවෙකු බව හැඟෙන්නට දරුවාට ඉඩ නොතැබිය යුතුයි. දරුවා ළඟ නැති ඒ මාපියා ගැන ගෞරවසම්පන්නව කතා කිරීමෙන් සහ දරුවාගේ වයසට සරිලන පරිද්දෙන් ඔහු විසින් දැනගත යුතු ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් තනි මාපියෙකුට හැකියි, තම දරුවාට අවශ්‍ය ප්‍රේමණීය සහනය ලබා දෙන්නට.

මාපියන් මතක තබාගත යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි, ප්‍රේමය, අධිකාරය සහ බලය ගැන දරුවාට ඇති වන මුල් හැඟීම්, දරුවා සහ මාපියා අතර ඇති සබඳතාව මගින් සකස් වෙන බව. එමනිසා මාපියා තම බලය හා අධිකාරය මෙහෙයවිය යුත්තේ ප්‍රේමණීය ආකාරයකින්. එසේ කිරීමෙන්, යෙහෝවා සමඟ ප්‍රේමාන්විත සම්බන්ධතාවක් ඇති කරගන්නටත් සභාවේ විධිවිධානවලට ගෞරව කරන්නටත් දරුවාව සූදානම් කරන්නට ක්‍රිස්තියානි දෙමාපියාට බොහෝ දේ කළ හැකියි.—උත්පත්ති 18:19.

දරුවන්ගේ සහයෝගයද අත්‍යවශ්‍යයි

සාර්ථක පවුලක් ඇතිවීමට, තමන්ගේ පැත්තෙන්ද සහයෝගය දැක්වීම අත්‍යවශ්‍යය යන කාරණය තනි දෙමාපියෙකු ඇතිව සිටින දරුවන්ද වටහාගත යුතු දෙයක්. (එපීස 6:1-3) මාපියාගේ අධිකාරිත්වයට ඔවුන් විසින් කීකරුකම දැක්වීමෙන් පෙනී යන්නේ, ඔවුන් තම මාපියාට ප්‍රේම කරන බව හා සතුටෙන් පිරි සුරක්ෂිත නිවහනක් ගොඩනංවන්නට මේ මාපියා ගන්නා අමතර උත්සාහය ඔවුන් අගය කරන බවයි. අදහස් හුවමාරුව යනු එක විට කෙරෙන ගැනීමක් සහ දීමක්. පවුලක හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට මාපියන් දරන උත්සාහයන්ට සහයෝගය දැක්වීමට තමන් කැමැත්තෙන් සිටිය යුතුය යන කාරණයද තනි මාපියෙකු සිටිනා පවුලක දරුවන් මතක තබාගත යුතු දෙයක් වෙනවා.—හිතෝපදේශ 1:8; 4:1-4.

දෙමාපියන් දෙදෙනාම සිටින පවුල්වල දරුවන්ට වඩා, ඉක්මනින් වගකීම් ඉසිලීම තනි මාපිය දරුවන්ගෙන් බොහෝවිට අවශ්‍ය කෙරෙන්නක්. තනි මාපියාගේ ප්‍රේමණීය උපදෙස් සමඟින් දරු දැරියන් බාල වියේදීම යම් යම් කුසලතා ප්‍රගුණ කරද්දී ඔවුන් තුළ ආත්ම විශ්වාසයක් සහ ආත්ම ගරුත්වයක් ගොඩනැඟෙනවා. ඒ වගේම, ගෙදර දොරේ වැඩ කටයුතු පිළිවෙළකට බලාකියා ගැනීම සඳහා සහය දීම පිණිස ඇතැම් වැඩ දරුවන්ට පවරන්නටත් පුළුවනි.

මින් අදහස් කරන්නේ තනි මාපියන් තම දරුවන්ව සියල්ල කරගත හැකි කුඩා වැඩිහිටියන් හැටියට සලකා, ඔවුන්ට අවශ්‍ය කරන මාපිය මඟ පෙන්වීම අහිමි කර දැමීම නම් නොවෙයි. කුඩා දරුවෙකුට කිසිම මඟ පෙන්වීමක් නොදී ඔහුව අධීක්ෂණය නොකර සිටීමත් ඉතා අඥානයි.

තනි දෙමාපියන් බොහෝවිට කරන වරදක් තිබෙනවා. ඒ තමයි, දරුවා තමාගේ අඹ යහළුවෙකු විය යුතුය යන අදහස දැරීම. දරුවා සමඟ කිට්ටු සම්බන්ධයක් තිබීම අවශ්‍ය වුවත්, තම දරුවන්ට මාපියෙකු අවශ්‍ය බවත්, එම දරුවා මාපියාගේ සියලු රහසිගත තොරතුරු පැවසිය හැකි සම වයසේ තුල්‍යයෙකු නොවන බවත්, එසේ වීමට තරම් හැඟීම් අතින් දරුවා පරිණත වී නැති බවත් මාපියා වටහාගත යුතුයි. ඔබේ දරුවන්ට අවශ්‍ය වන්නේ ඔබ දෙමාපියෙකු ලෙස කටයුතු කරනවා දැකීමටයි.

තනි මාපියන් සහ දරුවන් සහයෝගයෙන් එකට වැඩ කරන විට, ප්‍රේමණීය සබඳතාවක් ඇති වන අතර එය පවුලේ සාර්ථකත්වයට දායක වෙනවා. තනි මාපිය පවුල් තුළ හැදී වැඩෙන දරුවන්ගේ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි වන විට, තනි මාපියන් සහ ඔවුන්ගේ දරුවන් විශේෂයෙන්ම මුහුණපාන අභියෝග ගැන සෑම කෙනෙක්ම දැනුවත්ව සිටිය යුතු අතර, ඔවුන්ට අවශ්‍ය ප්‍රේමණීය උපකාරය සහ දිරිගැන්වීම දීමට කැමැත්තෙන් සිටිය යුතුයි.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දරුවන් මත ඇති වන බලපෑම

දෙමාපියන් දෙදෙනෙකුගෙන් ලැබෙන කාලයට වඩා තනි මාපියෙකු විසින් දරුවෙකුට සාමාන්‍යයෙන් දෙන කාලය අඩු වෙන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල, තනි මාපියෙකු තමන්ගේ කලත්‍රයා නොවන කෙනෙකු සමඟ ජීවත් වෙනවා විය හැකියි. කෙසේවෙතත්, එකට ජීවත් වීමේ සම්බන්ධතා විවාහය තරම් ශක්තිමත් නැහැ. එවැනි පවුල්වල ජීවත් වන දරුවන් බොහෝ විට හැදී වැඩෙන්නේ තමන්ගේ ජීවිත වටා සිටින වැඩිහිටියන් නිතරම වෙනස් වන පරිසරයක් තුළයි.

ඇතැම් අධ්‍යයනවලින් හෙළි වන පරිදි, “තනි මාපිය පවුල්වල සිටින දරුවන්ගේ ජීවිත, ශක්තිමත් පවුල්වල සිටින දරුවන්ගේ ගති ලක්ෂණවලට වඩා සදාචාරමය හා සාරධර්ම අතින් පිරිහී තිබෙනවා.” කෙසේවෙතත්, මෙවන් අධ්‍යයන දෙස සමීප බැල්මක් හෙළන කල පෙනී යන දෙයක් නම්, “විවිධාකාර පවුල්වල දරුවන් අතර ඇති වෙනස්කම්වලට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ” අඩු ආදායම බවයි. ඇත්තෙන්ම, මින් අදහස් කරන්නේ, තනි මාපිය පවුල්වල දරුවන් අසාර්ථක වන බවක් ඇඟවීම නම් නොවේ. නිසි මඟ පෙන්වීම සහ පුහුණුව ලැබීම තුළින් ඔවුන්ට නිෂේධාත්මක බලපෑම්වලින් ජයගත හැකියි.