Skip to content

පටුනට යන්න

තනි වූ නමුත් තනිකම නොදැනෙන මාපියෝ

තනි වූ නමුත් තනිකම නොදැනෙන මාපියෝ

තනි වූ නමුත් තනිකම නොදැනෙන මාපියෝ

“මගේ දරුවන් ගෙදර ඇවිත් මාව බදාගෙන ‘අපි අම්මිට ආදරෙයි’ කියනකොට, ඒක තමයි අම්මා කෙනෙකුට ලබන්නට පුළුවන් උපරිම සතුට.”—දරුවන් දෙදෙනෙකුගේ තනි මවක් වන ඩොරිස්.

“දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි. ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි” යන බයිබල් ප්‍රකාශය තුළින් තනි මාපියෙකුට මහත් අස්වැසිල්ලක් ලබාගන්නට පුළුවනි. (ගීතාවලිය 127:3, නව අනුවාදය) තනි මාපිය පවුලක ඇති දැඩි වුණ පමණින්, දෙවිගේ ඇස් හමුවේ දරුවන්ගේ වටිනාකම කිසිම විදිහකින් අඩු වෙන්නේ නැහැ. අපගේ මැවුම්කරු ආශා වන්නේ තනි මාපිය පවුල් සාර්ථක වෙනවා දැකීමටයි. බයිබලය අපට ඔහු ගැන කියන්නේ මෙහෙමයි. “පියා නැත්තා හා වැන්දඹුවට ඔහු උපකාර කරන්නේය.” (ගීතාවලිය 146:9) දෙවි ඔවුන්ට උපකාර කිරීමට සූදානම්ව සිටින බවට තනි දෙමාපියන්ට සහතික විය හැකියි.

සෑම දරුවෙකුටම ප්‍රේමණීය, ආරක්ෂා සහිත හා සුරක්ෂිත පරිසරයක් මැද ශාරීරිකව, චිත්තවේගී හැඟීම් අතින් හා අධ්‍යාත්මික ගුණ වගාව ඇතුව හැදී වැඩීමට අයිතියක් තිබෙනවා. මේ ආකාරයෙන් තම දරුවාව පුහුණු කිරීමට සෑම මාපියෙකුටම දෙවිගෙන් ලැබී ඇත්තේ වගකීමක් වගේම වරප්‍රසාදයක්.

මෙහිලා සාර්ථක වීමට නම්, ඕනෑකමින් කරන යාච්ඤාව, නිරතුරුවම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම සහ යෙහෝවා කෙරෙහි මුළුමනින්ම රඳා සිටීම අවශ්‍ය කරන බව බොහෝ තනි මාපියන් සොයාගෙන තිබෙනවා. මෙය ගීතාවලිය 55:22හි සඳහන් අවවාදයට එකඟයි. ‘ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය.’

කලින් කලට යම් පරීක්ෂාකාරී හා අපහසු තත්වයන් තනි මාපිය පවුල් තුළ උද්ගත වන්නට පුළුවනි. මෙවන් අවස්ථාවලදී ඔවුන්ට සහය වීම සඳහා ආච්චිලාට සීයලාට, සභාවේ වැඩිමහල්ලන්ට සහ ක්‍රිස්තියානි සභාවේ අද්දැකීම් ලත් දෙමාපියන්ට ඉදිරිපත් විය හැකියි. පවුලේ නෑදෑයන්ට හා සභාවේ සහෝදර සහෝදරියන්ට මෙම තනි මාපියන්ගේ උත්සාහයන්ට උදව් උපකාර කිරීමට පුළුවන් බව ඇත්තයි. නමුත් දෙවි දී ඇති වගකීමට අවසන් වශයෙන් උර දිය යුත්තේ දරුවාගේ මාපියනුයි. a

බොහෝ තනි මාපියන් තමන්ගේ තත්වයන් තුළ උද්ගත වූ විශේෂ අභියෝගයන්ට මුහුණ දී ඒවා ජයගෙන, වගකීමෙන් යුතුව හොඳින් හැසිරෙන දේවභයැති දරුවන්ව ඇති දැඩි කර තිබීම සතුටට කරුණක්. පිබිදෙව්! ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සමඟ කතා කළා. එවන් දෙමාපියන් පොදුවේ පැවසූ දේවල් සමහරක් මෙන්න.

ගේ දොර මැනවින් කළමනාකරණය කිරීම. සාර්ථක තනි මාපියන් කටයුතු හොඳින් සංවිධානය කර යම් දේවල් පිළිවෙළකට හා කාලසටහනකට අනුව කිරීමට මහන්සි ගන්නවා. නිසි ලෙස සැලසුම් කිරීම හා මනා සංවිධානය අත්‍යවශ්‍යයි. බයිබලය මෙසේ කියනවා. “හිතා මතා, ක්‍රියාශීලීව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියතය.”—හිතෝපදේශ 21:5, න. අ.

බැඳීම. මෙය, සාර්ථක තනි මාපියන් තමන්ගේ පවුල් ජීවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තබනවා. මේ නිසා ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ තමන්ට වඩා තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා පිරිමැසීම කෙරෙහියි.—1 තිමෝති 5:8.

සමබර එළඹීමක්. සාර්ථක තනි මාපියන් ගැටලු සැහැල්ලුවට ගන්නේවත් ඕනෑවට වඩා ඒ ගැන සිතන්න යන්නේවත් නැහැ. ඔවුන් විසඳුම් සොයනවා. එම දුෂ්කරතාවලට මුහුණ දීමට සූදානම් ඔවුන්, ඒවාට පිළියම් සොයන්නට උත්සාහ කරන්නේ පසුබට වීමක් හෝ තමා ගැන තික්තකමේ හැඟීමක් නැතුවයි.

හොඳ අදහස් හුවමාරුව. සාර්ථක තනි මාපියන් තමන්ගේ සිතිවිලි හා හැඟීම් ගැන නිදහසේ පැහැදිලිව කතා කරන ලෙස පවුලේ අයට දිරිගන්වනවා. තම දරුවන් ගැන එක් තනි පියෙක් කියන්නේ මෙහෙමයි. “සෑම වෙලේම වගේ මම ඔවුන් එක්ක කතා කරනවා. අප එකට එකතු වී රෑ කෑම පිළියෙළ කරද්දී ඉතා කුලුපග මිතුරන් වගේ කාලය ගත කරනවා. අන්න ඒ වෙලාවට තමයි, ඔවුන් මට හුඟක් පුද්ගලික දේවල් කියන්නේ.”

තමා ගැනම සැලකිල්ල දැක්වීම. තමන් කොතරම් කාර්ය බහුල වුණත්, තම ආත්මික, චිත්තවේගීය හා ශාරීරික අවශ්‍යතා ගැන සැලකිල්ල දැක්වීම අවශ්‍ය බව සාර්ථක තනි මාපියන් වටහාගන්නවා. දරුවන් දෙදෙනෙකුගේ තනි මවක් වන එතල් පවසන්නේ මෙහෙමයි. “මම මා වෙනුවෙන් කාලයක් වෙන් කරගැනීමට උත්සාහ කරනවා. උදාහරණයකට, මගේ මිතුරියක් දරුවන්ට සංගීතය උගන්වන කොට, මට පැයක විතර කාලයක් තිබෙනවා මගේම දෙයක් කරගන්න. මම ඒ වෙලාවට රූපවාහිනිය දමන්නේ නැතුව නිකම් වාඩි වෙලා කාලය ගෙවනවා.”

ශුභවාදී ආකල්පයක්. සාර්ථක තනි දෙමාපියන් පොදුවේ දෙමාපියභාවය සහ ජීවිතය ගැන පවත්වාගන්නේ ශුභවාදී ආකල්පයක්. පීඩාකාරී තත්වයන් මැද වුණත් ‘සෑම කලු වලාවකම රිදී රේඛාවක් දකින්නට’ ඔවුන්ට හැකියි. එක් තනි මවක් මෙසේ කීවා. “තනි මාපියෙකු වීම ජීවිතයෙන් පරාජය වීමක්ය කියලා මම සිතන්නේ නැහැ.”

සාර්ථක වූ තනි මාපියෝ

මෙම ප්‍රතිපත්ති ඵලදායීද? ඔව්, සාර්ථක වූ තනි මාපියන්ගේ විවිධ ජීවිත අද්දැකීම්වලින් අපට එය දැකිය හැකියි. පළමු ලිපියේ සඳහන් එංගලන්තයේ රැකියාවක නියැලී සිටින දික්කසාද වූ තනි මවක් වන ග්ලෝරියා, පුතුන් දෙදෙනෙකු සහ දියණියක ඇති දැඩි කළා. මේ දරුවන් තිදෙනාම පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේවසේවකයන් ලෙස හැදී වැඩුණේ බයිබල් අධ්‍යාපනය අන් අයට ලබා දීමට තම ජීවිත කැප කරමින්. සාර්ථක වූයේ කෙසේදැයි ග්ලෝරියාගෙන් අසනු ලැබූ විට, ඇය කියා සිටියේ මෙයයි. “මුල්ම අභියෝගය වුණේ දරුවන්ට ආසා හිතෙන විදිහට නිතිපතා පවුලේ බයිබල් පාඩමක් පැවැත්වීමයි. දරුවන් සතුටින් සිටිනවා දැකීමටත්, මනසේ සාමය ඇතිව සිටීමත්, තෘප්තියෙන් සිටීමත් ඒ වගේම බොරු වළවල්වලින් ආරක්ෂා වී සිටීමත් මට වුවමනා වුණා. මම රාත්‍රියේ වැඩ කළ හැකි රැකියාවක් සොයාගත්තා. මගේ ඉලක්කය වුණේ මට හැකි සෑම වේලාවකදීම මගේ දරුවන්ව මා ළඟ තබාගැනීමයි. මම රැකියාවට යන්නට ඉස්සර වෙලා, දරුවන් සමඟ යාච්ඤාවක් කියලා ඔවුන්ව නිදි කරවනවා. මම රැකියාවට ගිය වෙලාවට ළමයින්ව බලාගත්තේ මගේ පුංචි අම්මායි.”

ජීවිතයේ ප්‍රමුඛතා නිසි ලෙස තබන්නට ග්ලෝරියා ඇගේ දරුවන්ට උදව් කළේ කොහොමද? ඇය දිගටම මෙසේ කියයි. “මගේ ලොකුම ඉලක්කය වුණේ ආත්මික දේවල් පළමු තැනට තැබීමයි. අපිට හුඟක් සල්ලි තිබුණේ නැහැ. මම මේ කාරණය කෙළින්ම දරුවන්ට කිව්වා. ඔවුන් ලවා කරවන්නට පුළුවන්කම තිබූ දේවල් පවා මමම කළා. එතකොට සේරමදෙනා මට සහයෝගය දුන්නා.” පවුලේ අයව එකිනෙකාට කිට්ටුවෙන් තබාගත්තේ කොහොමදැයි අසන විට ග්ලෝරියා කිව්වේ මෙයයි. “ඒකට රහස වුණේ දේවල් එකට කිරීමයි. කිසිම දරුවෙක් හැම වෙලේම එයාගේ කාමරයටම වෙලා හිටියේ නැහැ. අපි එකට ඉවුම් පිහුම් කළා, ගේ සුද්ද කළා, ගේ සැරසුවා. සේරම දේවල් කළේ සමබරව. ඒ වගේම ඊට විනෝදයකුත් එක් කරන්නට මම අමතක කළේ නැහැ.”

ජෝසෆ් නමැති පිරිමි දරුවෙකුගේ තනි මව වන කැරොලින්, ඔහු හැදී වැඩෙන ආකාරය ගැන ඉන්නේ සතුටින්. ඇගේ රහස? “අපි නිදාගන්න ඉස්සර වෙලා එකට බයිබලය කියවනවා. ඉන් පස්සේ කියවපු කොටසින් මම ඔහුගෙන් ප්‍රශ්න අහනවා. ඒ විතරක් නෙමේ, බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් තෝරාගත් ඡේද කිහිපයක් බලලා ඒවා අදාළ කරගන්නා විදිහ ගැන අපි කතා කරනවා. ඉස්කෝලේ එයාගේ පංතියේ ළමයි එයාට කරදර කරලා විහිළු කරනකොට ඒවාට මුහුණ දෙන විදිහයි අනිකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහයි ජෝසෆ් දැනගත්තේ මේ වගේ පාඩම්වලින්.” තමාගේ ජීවිතය එතරම් පහසු එකක් නොවන බව පිළිගන්නා කැරොලින්ට තමා තනිව ඇති බවක් නම් දැනෙන්නේ නැහැ. ඇය මෙහෙමත් කියනවා. “ඒක ඉතිං ඉවරයක් වෙන ගැටලුවක් නෙමේ. නමුත් මං හිතනවා යෙහෝවා මට ඇත්තටම පිහිට වෙලා තියෙනවා කියලා. ඒ එක්කම ක්‍රිස්තියානි සභාවෙනුත් මට ලැබෙන දිරිගැන්වීම අමතක කරන්නට බැහැ.”

ග්ලෝරියා සහ කැරොලින් වැනි තනි මාපියන් දහසකුත්දෙනාගේ ජීවිතවල සාර්ථකබවින් සනාථ වන දෙයක් තිබෙනවා. ඒ තමයි, පරම්පරා ගණනාවක් තිස්සේ අදාළ කරගෙන ඇති බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කිරීමෙන්, කදිම හා ආත්මිකව ශක්තිමත් දරුවන් හදාවඩා ගන්නට පුළුවන් බව. (හිතෝපදේශ 22:6) ඔව්, සාර්ථකත්වය ස්ථිරයි! තනි මාපියභාවයේ නොයෙක් අභියෝග තිබෙන බව ඇත්තයි. නමුත් එමගින් හැකියාවන් දියුණු කරගන්නටත්, දරුවන්ට එම හැකියාවන් උගන්වන්නටත් පුළුවන්. දෙවි මත රඳා සිටීම හා ඔහු නියත වශයෙන්ම පිහිට වෙනවා කියා තදින්ම විශ්වාස කිරීම, තනි මාපියභාවයේ අභියෝගවලට මුහුණ දීමට තිබෙන හොඳම මාර්ගයයි.—ගීතාවලිය 121:1-3.

[පාදසටහන]

a තනි මාපියන්ට සාර්ථක විය හැකි අන්දම ගැන අමතර තොරතුරු දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කර ඇති පවුල් සන්තෝෂයට රහස යන පොතේ 9වන පරිච්ඡේදය බලන්න.

[11වන පිටුවේ පින්තූර]

ග්ලෝරියාගේ දරුවන් තිදෙනාට පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේවසේවකයන් බවට පත්වීමට උපකාර කර තිබෙන්නේ පවුලේ බයිබල් පාඩමයි. දැනට මිෂනාරිවරයෙකු ලෙස සේවය කරන පවුලේ වැඩිමහල් පුතාගෙන් ලැබුණු ලිපියක් හා ඔහුගේ ඡායාරූපයක් බලමිනුයි ඔවුන් මෙම පින්තූරයේ සිටින්නේ

[12වන පිටුවේ පින්තූර]

කැරොලින් සහ ඇගේ පුතා, ජෝසෆ්