Skip to content

පටුනට යන්න

ත්‍රාසය පිරි උද්දාමය සොයා යන්නෝ මරණයට අත වනන්නේ මොකටද?

ත්‍රාසය පිරි උද්දාමය සොයා යන්නෝ මරණයට අත වනන්නේ මොකටද?

ත්‍රාසය පිරි උද්දාමය සොයා යන්නෝ මරණයට අත වනන්නේ මොකටද?

පුරාණ රෝමයේ තිබූ පොර පිටිවල 50,000ක පමණ ජනකායක් දර්ශනය ආරම්භ වන තෙක් බලා සිටියේ නොඉවසිලිමත්වයි. “සිත කුල්මත් කරවන දර්ශන නරඹන්න ලැබෙන අවස්ථාව අතපසු නොකරන්න” කියා පවසමින් පුළුල් ලෙස කළ ප්‍රචාරයන් නිසා ඔවුන්ගේ නොඉවසිලිමත්බව දෙගුණ තෙගුණ වී තිබිණ.

මැජික් දර්ශන, මුද්‍රා නාට්‍යය, විකට නළුවන් හා හාස්‍යජනක නාට්‍යය යනාදියට ජනයාව ආකර්ෂණය කරගැනීමේ බලයක් තිබිණ. කෙසේවෙතත්, රෝමයේ පොර පිටිවල සිදු වූ දේවල් ඒවාට වඩා බෙහෙවින් වෙනස් විය. නරඹන්නන්ගේ ඇස් ඉදිරිපිට සිදු කරනු ලැබූ ලොමු දැහැගන්වන ත්‍රාසජනක දේවල් නිසා කිසිම පහසුබවක් නොදැනෙන ආසනවල අසුන්ගෙන සිටීම නිසා දැනුණු අපහසුව හා එම දවසේ තමන්ගේ සිත්තැවුල් සියල්ලම ජනයාට විගස අමතක වී ගියේය.

මුලින්ම රංග භූමියට පැමිණියේ ගායකයන්ය. ලෝගු ඇඳගත් පූජකයෝ ඔවුන් පසුපසින් පැමිණියහ. ඔවුන්ට පසුව පැමිණි සුවඳ ද්‍රව්‍ය භාජන රැගත් පිරිස සියල්ලන්ටම දැකගත හැකි වන ලෙස දෙවි දේවතාවන්ගේ පිළිම ඉහළට ඔසවාගෙන පෝළිමට ගමන්ගත්හ. මෙසේ කිරීමෙන් දෙවියන්ගේ ආශීර්වාදය රංග භූමියේ පවත්වන රඟ දැක්වීම්වලට ලැබෙන බවට විශ්වාසයක් විය.

සත්ව ඝාතන

නරඹන්නන්ව ප්‍රීති ප්‍රමෝදයට පත් කරවන දර්ශන පටන්ගැනීමට ආසන්නව තිබිණ. මුලින්ම සිදු කළේ නරඹන්නන්ගෙන් බහුතරයක් කවදාවත් දැක නොතිබූ පැස්බරුන්ව හා ජිරාෆයන්ව කොහොමටවත් ගැළවී යා නොහැකි වන අයුරින් රංග භූමියකට මුදාහැරීමයි. දක්ෂ දුනුවායෝ රැසක් මේ අසරණ සතුන්ව ඊතලවලින් විද මරා දැමූහ. ත්‍රාසය සොයා එම ස්ථානයට පැමිණි නරඹන්නෝ අන්තිම සතාව මරන තෙක්ම ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

ප්‍රීති ඝෝෂා පවත්වන නරඹන්නන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඊළඟ අංගය වූයේ විශාල ඇතුන් දෙදෙනෙකු අතර මාරාන්තික සටනක් ඇති කිරීමයි. ඉතා දිග තියුණු උල් සහිත ඇණ මේ ඇතුන්ගේ දළවලට සවි කර තිබිණ. එක් ශක්තිමත් ඇතෙක් අනිත් ඇතාට මාරාන්තික ලෙස තුවාල කළ පසු ඌ ලෙයින් තෙත් වූ පොළොව මතට ඇද වැටෙද්දී ඇසුණු නරඹන්නන්ගේ හඬ කන් බිහිරි කරවන තරම්ය. මේ දර්ශනයෙන් සිදු වූයේ මිනිත්තු කිහිපයකින් අනතුරුව සිදුවීමට නියමිතව තිබූ ප්‍රධානතම අංගය සඳහා දැවෙන ආශාවක් ඔවුන් තුළ ඇති කිරීම පමණයි.

ප්‍රධානතම අංගය

මල්ලව පොරවලට හවුල් වූ කඩුගත් සටන්කරුවන් (ග්ලැඩියේටර්වරුන්) රංග භූමියට පැමිණෙද්දී තූර්ය වාදනවලින් නැඟෙන හඬ මැද ත්‍රාසය සොයා පැමිණි නරඹන්නෝ සිටගනිති. සමහර සටන්කරුවෝ කඩු, පලිහයන් හා යකඩ හිස්වැසුම්වලින් සැරසී සිටියහ. තවත් සමහර ග්ලැඩියේටර්වරුන්ට එතරම් ආයුධ නොතිබූ අතර ඔවුන්ගේ ඇඳුම විළි වසාගැනීමට පමණක් ප්‍රමාණවත් එකකි. ඔවුන් සටන් කරන්නේ මුහුණට මුහුණය. බොහෝ අවස්ථාවලදී මේ සටන්වලින් එක්කෙනෙකු හෝ දෙදෙනාම මිය යද්දී නරඹන්නෝ ඔල්වර හඬ නැඟූහ. වාර්තාවලට අනුව එක වකවානුවකදී දවස් සියයක් ඇතුළත සතුන් 5000ක් පමණ මරා දමන ලදි. තවත් අවස්ථාවකදී සටන්කරුවන් 10,000ක් ඝාතනය කරන ලදි. මෙයින් සෑහීමට පත් නොවූ මහජනයා තවත් ඝාතන සිදු කරන ලෙස ඉල්ලා කෑ ගසන්නට විය.

මේ තරඟ සඳහා හිඟයකින් තොරව අවශ්‍ය තරම් මිනිසුන්ව සොයාගනු ලැබුවේ අපරාධකරුවන් හා යුධ සිරකරුවන් අතරින්ය. කෙසේවෙතත් “ආයුධවලින් සන්නාහ සන්නද්ධව සිටි විශාල මුදල් සම්භාරයක් උපයාගත් මරණ දඬුවම නොලද ග්ලැඩියේටර්වරුන්ට වඩා ඔවුන් වෙනස් පිරිසක් වූ” බව එක් මූලාශ්‍රයක සඳහන් වේ. සමහර නගරවල සිටි ග්ලැඩියේටර්වරු මුහුණට මුහුණ ලා සටන් කිරීමේ කලාව ඉගෙනගැනීම සඳහා විශේෂ පාසැල්වලට ගියහ. මෙම තරඟවලින් ජනිත කළ උද්දාමයට හා මාරාන්තික බවට ඔවුහු දැඩි ඇල්මක් දැක්වූහ. සටන් කරන ඊළඟ දවස පැමිණෙන තුරු ඔවුන්ට ඉවසීමක් නොතිබිණ. “අතිදක්ෂතම ග්ලැඩියේටර්වරයෙකු ලෙස යමෙකුව සලකන ලද්දේ ඔහු විශ්‍රාම ගැනීමට කලින් සටන් පනහකට හවුල් වී තිබුණහොත් පමණයි” කියා එක් මූලාශ්‍රයක සඳහන් වේ.

ගොන් පොර

වත්මන් සමාජය නව සහස්‍රයකට එළඹ තිබේ. එහෙත් මරු කැඳවන අනතුරුදායක ක්‍රීඩාවලට වශී වී සිටින බොහෝදෙනෙකුගේ දැවෙන ආශාවන් තවමත් වියැකී නොමැති බවයි පෙනෙන්න තිබෙන්නේ. නිදසුනක් වශයෙන් සියවස් ගණනාවක් පුරා ගොන් පොර දකුණු අමෙරිකාවේ හා මෙක්සිකෝවේ ජනප්‍රිය තරඟයක් වී තිබේ. අද මෙය ලතින් අමෙරිකානු රටවල් ඇතුළු පෘතුගාලය හා ස්පාඤ්ඤය වැනි දේශවලත් ජයටම කෙරීගෙන යයි.

මෙක්සිකෝවේ පොර පිටි 200ක් පමණද ස්පාඤ්ඤයේ 400කට වඩා වැඩි ගණනක්ද තිබෙන බව වාර්තා වේ. මෙක්සිකෝවේ තිබෙන එක් පොර පිටියක 50,000කට අසුන් ගත හැක. මෙම පොර පිටිවලින් බොහොමයකට අතිවිශාල ජනකායක් රැස්ව සිටියේ කුලප්පු වූ ගොනුන් බිම හෙළා උන්ව අඩපණ කරමින් පුරුෂයන් පෙන්වන නිර්භීතකම දැකබලා ගැනීමටය. ගොනුන් සමඟ සටන් කරන කෙනෙකු යම් බියක් දැක්වුවහොත් නරඹන්නන්ගේ අප්‍රසාදයට මෙන්ම සමච්චලයටද ඔහු ලක් වේ.

දැන් ගොන් පොරවලදී ගොනුන් මරා ජයගන්න කාන්තාවන් පවා සිටින අතර එසේ කිරීමෙන් ඔවුන් ඩොලර් මිලියන ගණනක් උපයාගනිති. පොර පිටියේ සිටින කුලප්පු වූ ගොනෙකු සමඟ සටන් කිරීමෙන් ජීවිතය අහිමි විය හැකි වූවත්, තමා අද්දකින එම ත්‍රාසජනක අද්දැකීමෙන් ලබන තෘප්තිය වෙන කිසිම දෙයකින් ලැබිය නොහැකියි කියා ගොන් පොරවලදී ජය ලැබූ එක් කාන්තාවක් රූපවාහිනි සාකච්ඡාවකදී පැවසුවාය.

ගොන් පොරට සූදානම් වීම

“එස්ටාෆේටාහි පැම්ප්ලොනා නම් වීථියේ සික්ස්ටෝ නම් අවන්හල ඉදිරිපිට මහත් ජනකායක් පෙළ ගැසී සිටිති. ඔවුහු නොනැවතී ඝෝෂා කරති” කියා එක් වාර්තාවක සඳහන් විය. “ඉංග්‍රීසි, කැටලැන්, කැස්ටිලියන් හා බාස්ක් යන විවිධ භාෂාවලින් ජනයා කතා කරති.” සෙනඟ කලින්ම රැස්ව සිටින්නේ තරඟය නැරඹීමටය. තරඟ සඳහා සූදානම් වී සිටින ගොනුන් සිටින්නේ පොර පිටියට සැතපුම් භාගයක් පමණ එපිටින් පිහිටි මඩුවකය.

ගොන් පොර තිබෙන දවසේ උදෑසන එම මඩුවල දොරටු විවෘත කරනු ලැබේ. එදින රාත්‍රියේදී සටන් වදින ගොනුන් හයදෙනෙකුව මුදාහරී. මේ හැර රාත්‍රියේ සටන් වැදීමට අතිරේක එකෙකුවද මුදාහරී. වීදිය අයිනේ ගොඩනැඟිලි පිහිටා තිබෙන අතර උන් අතුරු පාරවලට ඇතුල් වීම වැළැක්වීම සඳහා මාර්ග බාධක දමා තිබේ. මෙසේ කර තිබෙන්නේ තරඟ කරන ගොනුන්ට බාධාවකින් තොරව පොර පිටියට ප්‍රවේශ වීම සඳහාය. සෑම දෙයක්ම හොඳින් සිදු වුණා නම් ගොනුන්ට පොර පිටියට පැමිණීමට ගත වන්නේ විනාඩි දෙකක් වැනි කෙටි කාලයකි.

ගොනුන්ට වඩා වේගයෙන් දිවීමට තමන්ට තිබෙන හැකියාව මැන බැලීමට වසර ගණනාවකට කලින් සිටි මිනිස්සු වෑයම් කළහ. මෙය මාරාන්තික දෙයක් විය. අදත් සෑම වසරකම සමහරු මෙය අත්හදා බලති. පසුගිය කාලය පුරා මෙය ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවට පත් වී තිබේ. ගොනුන් විසින් මිනිසුන්ට බරපතළ තුවාල සිදු කර තිබෙන අතර, සමහරුන්ට ඇන මරා දමා තිබේ. “උන්ට වඩා වේගයෙන් දුවන්න පුළුවන් කියා ඔබ සිතනවා නම්, ඔබට ලොකු වැරදීමක් වෙලා තියෙනවා” කියා එක් ධාවකයෙක් පැවසුවේය. ස්පාඤ්ඤයේ රතු කුරුස සංගමය පවසන ආකාරයට පසුගිය වසර 20 ඇතුළත “සෑම දවසකම එක් අයෙකු බැගින් ගොනුන් ඇනීම නිසා බරපතළ තුවාල ලබා තිබේ.” තවත් 20ත් 25ත් අතර පිරිසක් ගොනුන් ඇනීම නිසා සිදු වූ තුවාල සඳහා සෑම දවසකම ප්‍රතිකාර ගත්හ.

මේ මාරාන්තික ක්‍රීඩාවට ජනයා ආකර්ෂණය වන්නේ මන්ද? එක් ධාවකයෙකු එයට පිළිතුරු දුන්නේ මෙසේයි. “වේගයෙන් දුවන ගොනුන්ගේ ඇඟේ ගෑවී නොගෑවී දුවද්දී, උන්ගේ කුර ගැටෙන හඬ ඔබට ඇසෙද්දී, උන් අං ඉහළට හා පහළට දමමින් ඔබට අනින්න ඔන්න මෙන්න සිටිද්දී ඔබට දැනෙන හැඟීමයි, ගොනුන් සමඟ දුවන්න ඔබ තුළ ආශාවක් ඇති කරවන්නේ.” නරඹන්නන් නඟන ඔල්වර හඬ ධාවකයන් තුළ උත්තේජනයක් ඇති කරවයි. රාත්තල් 1500ක් පමණ බර කුලප්පු වූ ගොනෙක් ඌ සමඟ දුවන කෙනෙකුට මැරෙන තෙක් අනින්නේ නැත්නම් හෝ ඌගේ ඔළුවෙන් උස්සා ඔහුව විසි කරන්නේ නැත්නම් නරඹන සමහරුන්ගේ බලාපොරොත්තු කඩ වෙයිද? පුරාණ රෝමයේ පොර පිටිවල සිටින නරඹන්නන් ලේ වගුරුවනවා දැකීමට දැක්වූ ලොල්කමම මේ නරඹන්නන් විසිනුත් දක්වයිද?

මරණයට අත වැනීම

තවත් ආකාරවලින් මරණයට අත වනන්නෝද සිටිති. මිනිසුන්ව විස්මයට පත් කරවන මෝටර් සයිකල් පදවන්නෝ එක පෙළට නවතා තිබෙන කාර් 50කට වඩා වැඩි ගණනක් උඩින් හෝ විශාල බස් රථ ගණනාවක් උඩින් හෝ කඳු දෙකක් අතර ඇති ගැඹුරු නිම්නයක් උඩින් ධාවනය කරන්නේ මරණයට සරදම් කරන්නාක් මෙනි. සමහරු බරපතළ ලෙස තුවාල සිදු කරගනිති. එසේ මෝටර් සයිකලයක් මගින් ත්‍රාසජනක දේවල් කරන්නෙක් වැටීම නිසා ඔහුගේ සිරුරේ අස්ථි 37ක් කැඩුණු අතර ඔහු දවස් 30ක් සිහිසුන්ව සිටියේය. පසුව ඔහු මෙසේ පැවසුවේය. “මගේ ඇට කටු, අත් කැඩෙන එක දැන් මට ගානක්වත් නැහැ. . . . මීට කලින් මගේ අස්ථි විවෘත කර බරපතළ සැත්කම් දොළහක් කරලා තියෙනවා. මෙහිදී කෙරෙන්නේ අස්ථි තහඩුවකින් හෝ ඉස්කුරුප්පුවකින් සම්බන්ධ කිරීමයි. මගේ අස්ථි එකිනෙකට සම්බන්ධ කිරීමට ඉස්කුරුප්පු ඇණ තිස් පහක් හතළිහක් පමණ අල්ලා තිබෙනවා. මම නිතරම රෝහලට එනවා යනවා.” එක් අවස්ථාවකදී ඔහු පුහුණු වෙද්දී තුවාල ලැබීම නිසා කාර් ගණනාවක් උඩින් මෝටර් සයිකලය ධාවනය කරවන්න ඔහු අසමත් විය. මෙයින් බලාපොරොත්තු කඩ කරගත් සෙනඟ කෑ කෝ ගසමින් සිය අප්‍රසාදය පළ කරන්න පටන්ගත්තෝය.

නගරවල තිබෙන අහස් කුස තෙක් නැඟුණු ගොඩනැඟිලිවල බිත්ති දිගේ කිසිම ආරක්ෂිත උපකරණයක් නොමැතිව බඩගෑම, මීටර් 6000ක් තරම් උස හිමෙන් වැසුණු කඳුවල බෑවුම දිගේ ලිස්සා යෑම, ඇදෙනසුලු ලණුවක් පමණක් වළලු කරේ බැඳගෙන උස කුලුනු හෝ පාලම් උඩ සිට පැනීම, තවත් කෙනෙකු සමඟ පටියකින් සම්බන්ධ වී පියාසර කරන ගුවන් යානයක සිට පැරෂූටයකින් පැනීම, කුඩා ගල් කටු කිහිපයක් පමණක් අතේ තියාගෙන දැඩි බෑවුමක් සහිත අයිස් කඳු නැඟීම වැනි විස්මයජනක මාරාන්තික ක්‍රීඩාවල නිරත වෙමින් ත්‍රාසය සොයා යන පිරිස අතිවිශාලය. “එක අවුරුද්දකදී මගේ මිතුරන් තුන් හතරදෙනෙක්ම මට නැති වෙයි කියලා මම දන්නවා” කියා එක් කඳු නඟින්නෙක් ශෝකයෙන් පැවසුවේය. මෙහි සඳහන් වුණේ අද ක්‍රීඩා ලෝකයේ ජනප්‍රිය වී තිබෙන මරු කැඳවන විස්මිත ක්‍රියාවලින් සමහරක් පමණයි. “මාරාන්තික ක්‍රීඩාවලදී දරුණු විනාශයක් විගස ඇති විය හැකි නිසයි ජනයා ඒවාට ආකර්ෂණය වන්නේ” කියා එක් ලේඛකයෙක් පැවසුවේය.

“දරුණුතම මාරාන්තික ක්‍රීඩා පවා අද වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී” කියා එක් සඟරාවක (U.S. News & World Report) සඳහන් විය. “මීටර් 4000ක් පමණ ඉහළින් පියාසර කරන ගුවන් යානයකින් පැන, ගුවනේ පාවීමට ආධාර වන ලෑල්ලක් දෙපාවල හෝ සිරුරේ බැඳගෙන, ඒ මේ අත පාවෙමින් පොළොවට ආසන්න වෙද්දී පැරෂූටයකින් බිමට පතිත වීම 1990 වන තෙක්ම පැවති දෙයක් නොවේ. නමුත් දැන් දහස්ගණනක් දෙනා මේ ගැන මහත් උනන්දුවක් දක්වති. වර්ෂ 1980දී බේස් ජම්පිං (BASE jumping; මෙම වචනය සාදා තිබෙන්නේ Buildings, Antennas, Spans and Earth යන වචන හතරේ මුලකුරු එකතු කරගෙනයි) කියා හඳුන්වනු ලබන ක්‍රීඩාවකට සිය ගණන් දෙනා ඇදී ගොස් තිබේ. මෙහිදී කෙරෙන්නේ ගුවන් විදුලි කුලුනක හෝ පාලමක සිට පැරෂූටයක් ආධාරයෙන් බිමට පැනීමයි. බොහෝ අවස්ථාවලදී නීති විරෝධී ක්‍රියාවක් වන මෙය කරනු ලබන්නේ රාත්‍රි කාලයේදීය.” මේ ක්‍රීඩාව නිසා බොහෝදෙනෙක් මරුමුවට පත් වී තිබේ. “බේස් ජම්පිං ක්‍රීඩාවේදී එතරම් තුවාල සිදු වන්නේ නැහැ. එක්කෝ ඔබ ජීවත් වෙනවා. නැත්නම් මැරෙනවා” කියා මේ ක්‍රීඩාවේ පළපුරුදු කෙනෙක් පැවසුවේය.

අතේ හා පාදයේ ඇඟිලි රඳවාගත හැකි ආවරණයක් පමණක් ඇතුව උස් කඳුවල බෑවුම දිගේ නැඟීම දහස් ගණනකගේ සිත් ඇදගැනීමට සමත් වී තිබේ. වාහන ගැන හෝ හිසරදයට තිබෙන ප්‍රතිකාර ගැන හෝ වෙනත් විවිධ දේවල් ගැන රූපවාහිනියේ හා සඟරාවල පළ කෙරෙන වෙළෙඳ දැන්වීම්වල පවා කඳු නඟින්නෝ තුනී ලණුවක ආධාරයෙන් අඩි සිය ගණනක් ප්‍රපාතාකාර බෑවුමක එල්ලී සිටින ආකාරය දැකගන්න පුළුවනි. වර්ෂ 1989දී අමෙරිකා එක්සත් ජනපදයේ 50,000දෙනෙක් පමණ කිසිම බියක් නැතිව මේ ක්‍රීඩාවේ හවුල් වූ බව වාර්තා වේ. ඉතාමත් මෑතකදී මේ ආකර්ෂණීය මාරාන්තික ක්‍රීඩාවට දශලක්ෂ පහක පමණ පිරිසක් හවුල් වූ බවද වාර්තා වේ. ලොව පුරා මේ ගණන වැඩි වෙමින් පවතී.

අමෙරිකා එක්සත් ජනපදයේ “අමුතු ආකාරයේ අනතුරුදායක ක්‍රීඩාවල හවුල් වීම නිසා මිය යන හෝ ආබාධිතයන් බවට පත් වන ගැහැනු හා පිරිමි ළමයි ගණනේ සාමාන්‍යය වැඩි වෙමින් පවතී” කියා එක් සඟරාවක (Family Circle) සඳහන් විය. වේගයෙන් ධාවනය වන මෝටර් රථයක ජනේලයෙන් එහි වහලය මතට ගොඩ වී එහි සිටගෙන සිටීම (“Car surfing”) හා විදුලි සෝපානයක මුදුනේ සිටගෙන සිටීම හෝ ශීඝ්‍රගාමී දුම්රියක වහලේ සිටගෙන සිටීම නිසා තරුණයන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

එවරස්ට් කඳු මුදුනට නැඟීම වෙන කවරදාටත් වඩා වැඩි වී තිබේ. ප්‍රමාණවත් පුහුණුවක් නොලැබූ කඳු නඟින්නන් කඳු මුදුනට හා නැවත බිමට තමාව ගෙන යෑම සඳහා මඟ පෙන්වන්නන්ට අමෙරිකානු ඩොලර් 65,000ක තරම් මුදලක් ගෙවනු ලැබේ. වර්ෂ 1953 සිට මේ දක්වා එවරස්ට් කන්දේ මුදුනට නැඟ තිබෙන පිරිස 700කට අධිකයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ආපසු බිමට බැස නැත. බිමට බැසීමට නොහැකිව මිය ගිය අයගේ සිරුරු කඳු මුදුනේ තවමත් තිබේ. “කඳු නඟින්නන් දැන් තරඟ කරන්නේ එවරස්ට් කඳු මුදුනට පා තැබූ ළාබාලතම හෝ වයසකම හෝ වේගවත්ම තැනැත්තා ලෙස වාර්තා තැබීමටයි” කියා එක් ජනමාධ්‍යවේදියෙක් පැවසුවේය. “වෙනත් ක්‍රීඩා වගේ නොවෙයි, කඳු නැඟීමේදී මැරෙන්න වුණත් ලෑස්ති වෙන්න ඕනෑ” කියා තවත් මාධ්‍යවේදියෙක් ලීවේය. කෙනෙක් තමන්ගේ නිර්භීතකම ඔප්පු කිරීමට නම් අනතුරට අභියෝග කළ යුතුයි. නමුත් අද්දැකීම් බහුල කඳු නඟින්නෙක් අනතුරු ඇඟෙව්වේ “නිර්භීතකම කියන්නේ මෝඩ දේවල් කිරීම නොවෙයි. ප්‍රවීණ කඳු නඟින්නන් එවරස්ට් කඳු මුදුනට පය තැබීමට කරන ‘වීර චාරිකා’ මෝඩ ක්‍රියාවලට ඇතුළත්” කියා පවසමිනි.

ත්‍රාසජනක දේවල් කිරීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතී. ලොව පුරා සාමාන්‍ය දේවල් බවට පත් වී ඇති ත්‍රාසජනක ක්‍රියාවන් හා ඒවායේ ස්වරූපයන් අසීමිතයි. ජීවිතය මොහොතකට අනතුරේ හෙළමින් කරන ත්‍රාසජනක ක්‍රීඩා “21වන සියවසේ විශාල පිරිසක් නරඹන හා සහභාගි වන ක්‍රීඩා” බවට පත් වනු ඇතැයි කියා මනෝ විද්‍යාඥයෙක් අනාවැකි පළ කරයි.

ඔවුන් එසේ කරන්නේ ඇයි?

අතිභයානක ක්‍රීඩාවල නිරත වන බොහෝදෙනෙක් තමන් එවැනි මරු කැඳවන ත්‍රාසජනක දේවල් කරන්නේ තමන් ගත කරන වෙහෙසකාරි නිරස ජීවිතයෙන් මිදීමට බව පවසමින් තමුන් එම ක්‍රීඩාවල නිරත වීම සාධාරණීකරණය කරති. සමහරු තමන් නිරත වී සිටින ඒකාකාරී රැකියාව නිරස වීම නිසා එය අත්හැර දමා අතිභයානක ක්‍රීඩා ලෝකයේ නව වෘත්තියක් කිරීමට පටන්ගනිති. “මට බන්ජි ක්‍රමයට පනින එක (ආරක්ෂාව සඳහා ඇදෙනසුලු ලණුවක් වළලු කරේ බැඳගෙන ඉතා උස තැනකින් පැනීම) හරියට මත්ද්‍රව්‍ය ගන්නවා වගේ වැඩක්. මම ඒකට පුරුදු වුණේ මගේ ගැටලු ඔක්කොම අමතක කරලා දාන්න. පැන්නට පස්සේ මගේ ප්‍රශ්න කොහේ ගියාද දන්නේ නෑ” කියා එක් පුද්ගලයෙක් පැවසුවේය. “මොහු 456 වතාවක් බන්ජි ක්‍රමයට පැන තිබෙන පළපුරුදු පනින්නෙක්. ඔහු යොෂි මයිට් එල් කපිටාන් කඳුරු නිම්නයෙන්ද, සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි මුහුදු බොක්ක හරහා තිබෙන උස පාලමෙන්ද, ප්‍රංශයේ පිහිටි ලෝකයේ උසම කේබලය දිගේ ගමන් කරන ට්‍රෑම්ප් රථයකින්ද පැන තිබේ” කියා ඔහු ගැන එක් සඟරාවක සඳහන් විය.

අතිභයානක ක්‍රීඩාවල නිරත වන තවත් කෙනෙක් මෙසේ පැවසුවේය. “ඔබට දැනෙන්නේ හරියට කාලය නැවතිලා වගේ. අවට ලෝකයේ වෙන දේවල් ගැන ඔබට කිසිම තැකීමක් නැහැ.” තවත් කෙනෙක් පැවසුවේ මෙසේයි. “අපි විනෝදයට කරන දේවල් [බොහෝවිට ඒවාට ත්‍යාග වශයෙන් මුදල් ලැබේ] හුඟදෙනෙක් ඔවුන්ගේ හිසට තුවක්කුවක් තියා කරන්න කිව්වත් කරන්නේ නැහැ.” නියූස්වීක් සඟරාවේ මෙසේ පවසා තිබිණ. “මේ හැම කෙනෙකුගේම අධිෂ්ඨානය අසාමාන්‍ය වින්දනයක් ලැබීමයි.”

ඇතැම් මනෝවිද්‍යාඥයන් ත්‍රාසජනක ක්‍රීඩාවල නියැලෙන අය ගැන පුළුල් පර්යේෂණ පවත්වා තිබේ. එක් මනෝවිද්‍යාඥයෙක් ත්‍රාසය සොයා යන මෙවැනි අයව වර්ග කළේ T වර්ගයට අයත් පෞද්ගලිකත්වයකින් යුත් අය ලෙසයි. ‘T අකුරෙන් “ත්‍රාසය” (thrills) නියෝජනය කරයි. මොවුහු අනතුරුදායක විස්මිත දේවල් කිරීමෙන් මහත් වින්දනයක් ලබති.’ “සමහරු තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන යම් නීති හා සම්ප්‍රදායන්වලට තදින් ඇලී සිටිති. නමුත් ත්‍රාසය සොයා යන වර්ගයට අයත් අය ඒ සියල්ලම අත්හැර දමති. ඔවුන් ජීවත් වන්නේ ඔවුන් විසින්ම මවාගත් වෙනමම ලෝකයකයි” කියා ඔහු තවදුරටත් පවසයි. ත්‍රාසය සොයා යන්නන් අද්දකින මහා මාර්ග අනතුරු ගණන අනිත් අය අද්දකින ප්‍රමාණයට වඩා දෙගුණයක් බව අධ්‍යයනවලින් හෙළි වී තිබේයයි ඔහු සඳහන් කරයි. “තරුණයන් තමන්ගේ ත්‍රාසය සන්සිඳුවා ගැනීමට අනතුරුදායක තත්වයන් කැමැත්තෙන්ම ඇති කරගන්න නිසා ඔවුන් අතර සිදු වන මරණවලට ප්‍රධානම හේතුව වන්නේ මාර්ග අනතුරුයි.”

අතිදරුණු මාරාන්තික අනතුරු සිදු වන ක්‍රීඩාවලට යමෙක් ලොල්වීම අසාමාන්‍ය දෙයක් බව විද්‍යාඥයෝ මෙන්ම මානසික විශේෂඥයෝද පිළිගනිති. මෙවැනි අය තමන්ගේ ජීවිතවලට අනතුරු වන තරමටම බරපතළ තුවාල ලැබීම නිසා රෝහලක හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක දිගු කාලයක් සිටීමෙන් පසුව පවා නැවතත් මාරාන්තික ක්‍රීඩාවල නිරත වෙති. මෙයින් පෙනෙන්නේ ඔවුන්ගේ කල්පනා ශක්තියේ යම් දෝෂයක් තිබෙන බවයි. එහෙත් හොඳ බුද්ධියක් තිබෙන අයද බොහෝ අවස්ථාවලදී එවැනි මාරාන්තික දේවල් කරති.

ජීවිතය අනතුරේ හෙළමින් අතිභයානක දේවල් කිරීමට ත්‍රාසය සොයා යන්නන්ව පොලඹවන්නේ කුමක්ද කියා විශේෂඥයන්ට ස්ථිරවම පැවසිය නොහැක. ඔවුන් දෙන උත්තරවලින් පැහැදිලි වන්නේ එය මොළය හා සම්බන්ධ දෙයක් බවයි. “ත්‍රාසය සොයා යන්නන්ව නතර කරන්න ඔබට නොහැකියි. එනමුත් මාරාන්තික අනතුරු සිදු කිරීමෙන් ඔවුන්ව වැළැක්වීම සඳහා යම් වෑයමක් දරන්න ඔබට හැකියි. මෙසේ කිරීමෙන් ඔබට පුළුවන් අඩුම තරමින් අනිත් අයගේ ජීවිතවලට සිදු වන අනතුරු වළක්වන්න” කියා ඔවුහු පවසති.

ක්‍රිස්තියානි දෘෂ්ටිය

ක්‍රිස්තියානීන් ජීවිතය සලකන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන අනර්ඝ ත්‍යාගයක් ලෙසයි. යමෙක් තමන්ගේ ශක්තිය හා නිර්භීතකම හෝ පිරිමිකම පෙන්වීමේ අරමුණින් හෝ ත්‍රාසජනක දෙයක් කිරීමෙන් බලා සිටින්නන්ව කුල්මත් කිරීමේ හෝ එයින් ක්ෂණික සතුටක් ලැබීමේ අරමුණින් තමන්ගේ ජීවිතය අනවශ්‍ය ලෙස අනතුරේ හෙළනවා නම්, ඔහු එයින් පෙන්වන්නේ දෙවි ඔහුට දී තිබෙන අපූර්ව ත්‍යාගය ඔහු හෙළා දකින බවයි. යේසුස් ඔහුගේ ජීවිතයට ගැඹුරු ගෞරවයක් පෙන්වූ නිසා අනවශ්‍ය ලෙස එය අනතුරේ හෙළන දේවල් කළේ නැත. දෙවිව පරීක්ෂා කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.—මතෙව් 4:5-7.

යේසුස් මෙන් ජීවිතය සඳහා ගෞරවයක් පෙන්වීම තමන්ගේද වගකීම බව ක්‍රිස්තියානීහු වටහාගෙන සිටිති. “දවසක් මම තද බෑවුමක් තිබෙන ප්‍රපාතාකාර කන්දක් නැග්ගා. ඒ කන්දේ මඟක් නඟිනකොට මට උඩටවත් පහළටවත් අඩියක් තියාගන්න බැරුව ගියා” කියා එක් ක්‍රිස්තියානියෙක් පැවසුවේය. “ඒක මතක් වෙද්දී දැනුත් මගේ ඇඟ කිලිපොළා යනවා. ඒ වේලාවේ මගේ ජීවිතය නැති වුණා නම්, ඒක මොනතරම් මෝඩ ක්‍රියාවක ප්‍රතිඵලයක්ද!” කියා ඔහු තවදුරටත් පැවසුවේය.

“අපි ජීවත් වෙන ප්‍රදේශයේ ළමයි මේ වගේ ත්‍රාසජනක ක්‍රීඩා බොහොමයක නිරත වෙනවා. ඒ අය හැම වේලාවේම උත්සාහ කරන්නේ මාවත් ඒවාට සහභාගි කරවාගන්නයි. ඒ ළමයි මාත් එක්ක විස්තර කරන, විනෝදයක් ලැබෙන බව කියන ක්‍රීඩාවල හවුල් වීමෙන් බරපතළ ලෙස තුවාල ලබන හෝ මියයන අය ගැන වාර්තා මම විවිධ පුවත්වලින් දකිනවා. කෙටි වේලාවකට පවතින වින්දනයක් ලැබීම සඳහා යෙහෝවා දෙවි මට දීලා තියෙන ජීවිතය අනතුරේ හෙළන එක මෝඩකමක් කියලායි මම හිතන්නේ” කියා ක්‍රිස්තියානි යෞවනයෙක් ලීවේය. එලෙස බුද්ධිමත් ලෙස සිතමින් හොඳ විනිශ්චයක් කිරීමේ හැකියාව ඔබටත් ලැබේවා!

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Reuters NewMedia Inc./CORBIS

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Steve Vidler/SuperStock