Skip to content

පටුනට යන්න

දිනෙන් දින සංඛ්‍යාවෙන් ඉහළ යන තනි මාපිය පවුල්

දිනෙන් දින සංඛ්‍යාවෙන් ඉහළ යන තනි මාපිය පවුල්

දිනෙන් දින සංඛ්‍යාවෙන් ඉහළ යන තනි මාපිය පවුල්

“බොහෝ රාත්‍රිවල, මම කඳුළු වගුරුවමින් දෙවිට යාච්ඤා කරමින් කියන්නේ, ‘මං හෙට කරන්නේ මොකද්ද කියලා මමම දන්නේ නැහැ’ කියලයි.”—දරුවන් තුන්දෙනෙකුගේ තනි මවක් වූ ග්ලෝරියා.

තනි මාපිය පවුල්, අද දින සමාජයේ බොහෝ තැන්වල ඉතා පහසුවෙන් දැකගත හැකි ස්ථිර වශයෙන් පවතින අංගයක් බවට පත් වෙලා. a සැමියා, බිරිඳ සහ දරුවන්ගෙන් සමන්විත වූ සාම්ප්‍රදායික පවුල් සංස්ථාව, අදදින එක්තරා විදිහකින් වෙනස් මුහුණුවරක් අරන්. එසේ වී ඇත්තේ ඇයිදැයි ජනවිකාශ විශේෂඥයන්ට හා සමාජ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක්.

සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් දෙදෙනෙකු වන සයිමන් ඩන්කන් සහ රොසලින්ඩ් එඩ්වඩ්ස් සටහන් කරන්නේ “පවුල් විධිවිධාන සහ ගැහැනු පිරිමි සම්බන්ධතාවල දිගු කාලීන වෙනස්කම් සිදු වෙමින් පවතින” බවයි. ඒ ඇයි? මෙය ආර්ථිකමය, සංස්කෘතික හා සමාජීය වෙනස්කම් ඇති වන පසුබිමක් තුළ මිනිසුන් තමන් ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් කරන්නාවූ තේරීම්වල ප්‍රතිඵලයක් බව ඇතැම් නිරීක්ෂකයන්ගේ අදහසයි.

මෙම වෙනස්කම් සමහරක් මෙන්ම සිදු කෙරෙමින් තිබෙන තේරීම් ගැන දැන් අපි සලකා බලමු. ජීවිතයේ මුහුණ දෙන දැඩි පීඩන වනාහි මිනිසුන්ගේ ජීවිතවලට බලපාන ප්‍රබල සාධකයක්. මිනිසුන් දවස පුරාම තමන්ට පරිබාහිරව සිදු වන දේවල් මගින් බලපෑම්වලට ලක් වෙනවා. මීට ඉහත කාලවලදී පවුල් එකට එකතු වී දේවල් කරන්නට කාලය මිඩංගු කළා. දැන් අන්තර් ජාලය තරණය කිරීම, රූපවාහිනිය නැරඹීම, දුරකථනයෙන් කතා කිරීම, කාර් එකේ ගමන් බිමන් යෑම මෙන්ම කාර්ය බහුල ජීවිතයක නිමක් නැති වැඩ නිසා කාලය ගෙවී යන්නේ ඒවා සමඟයි.

ආර්ථිකමය පීඩනද තවත් දැරිය නොහැකි පීඩනයක්. නවීන පහසුකම් ලබාගන්නට මුදල් අවශ්‍යයි. ඒ නිසා දෙමාපියන්ට වැඩි වැඩියෙන් රැකියාවලට යෑමට සිදු වෙලා. නිරතුරුවම වෙනස්කම්වලට භාජන වෙන සමාජයක කොටසක්ව සිටින බොහෝ පවුල් සාමාජිකයන් ජීවත් වෙන්නේ තමුන්ට උදව් උපකාර කරන්නට හැකියාවක් ඇති පවුලේ නෑදෑයන්ගෙන් ඈත් වෙලා. සමහරවිට තමන්ගේම කලත්‍රයාගෙන් පවා ඈත් වෙලා. බොහෝ රටවල මෙම ජනප්‍රිය නව ආරේ විලාසිතාව නිසා සිදු වී ඇත්තේ තත්වය තව තවත් දරුණු අතට හැරීමක්. ඒ මගින් විවාහය සහ පවුල වැනි ස්ථාපිත වූ ආයතන මගින් සැපයෙන සුරක්ෂිතබවේ හැඟීම වියැකී ගොස් තිබෙනවා. b

වත්මන් තනි මව්වරු

මීට පෙර සමාජ සුභසාධන ක්‍රමවලින් යැපුණු අවිවාහක නහඹර වියේ පසු වන මව්වරුන්ගේ ගණයට දැන් සිටින තනි මව්වරුන් අනිවාර්යයෙන්ම වැටෙන්නේ නැහැ. අවිවාහක මව්වරුන් දැන් ලෝකයාගේ අපහාසවලට එතරම්ම හසු නොවෙන අතර, තවත් අය විසින් අනුකරණය කළ හැකි ආකෘති ලෙසද ඔවුන්ව උසස් කර තිබෙනවා. මීට බෙහෙවින් හේතු වී තිබෙන්නේ ප්‍රසිද්ධ නළු නිළියන් වැනි අයගේ ජීවන රටාවයි. ඊට අමතරව, බොහෝ කාන්තාවන් හොඳ අධ්‍යාපනයක් ලැබ තිබෙන අතර, තමන්වම නඩත්තු කරගන්නටත් ඔවුන්ට පුළුවන්. එමනිසා, විවාහය යන්න මාතෘත්වයට අනිවාර්ය අවශ්‍යතාවක් හැටියට තවදුරටත් ගණන් නොගැනෙන තත්වයකුයි උදා වී ඇත්තේ.

ඇතැම් තනි මව්වරුන්, විශේෂයෙන්ම දික්කසාද වූ දෙමාපියන්ගේ වැඩිහිටි දරුවන් විවාහ නොවී තනිව ජීවත් වෙනවා. එයට හේතුව වන්නේ දෙමාපියෙකු විසින් අත්හැර යෑමේ දුක තම දරුවනුත් විඳිනවා දැකීමට ඔවුන් අකමැති නිසයි. තවත් කාන්තාවන් තනි මව්වරුන් බවට පත් වෙන්නේ, තමාගේම වරදින් නොව අත්හැර දමා යෑම නිසයි. “තනිවම දරුවෙක් හදාගැනීම සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමී දෙයක් නොවන අතර, එය කැමැත්තෙන්ම කරන තේරීමක්ද නොවෙයි. තනි දෙමාපියෙකු සිටින පවුල්වල ළමුන් නොසලකා හරිනු ලබන්නේවත් හික්මවීම දෙනු නොලබන්නේවත් නැහැ” යයි බ්‍රිතාන්‍යයේ ජෝසෆ් රවුන්ට්‍රී පදනම සඳහන් කරනවා.

එහෙත්, තනි මාපිය පවුල් ඇතිවීම සැලකිල්ලට ගත යුතු කාරණයක්. මන්ද, තනි මාපියන් සහ ඔවුන්ගේ දරුවන් මහත් චිත්තවේගීය පීඩනයකට, ආර්ථික අපහසුතාවන්ට සහ සමාජීය වශයෙන් නොයෙක් අවාසිදායක තත්වයන්ට ගොදුරු වෙනවා. තනි මාපියෙකුට තමන්ගේ දරුවන්ව සාර්ථක ලෙස හදා වඩා ගන්නට පුළුවන්දැයි ඇතමුන් කල්පනා කරනවා. තනි මාපිය පවුලක් මුහුණ දෙන විශේෂ අභියෝගයන් සමහරක් මොනවාද? තනි මාපියෙකු වශයෙන් දරුවන් හදා වඩා ගැනීමේදී ඇති වන යම් යම් අභියෝගවලට ක්‍රිස්තියානියෙකු මුහුණ දෙන්නේ කොහොමද?

[පාදසටහන්වල]

a සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, තනි මව්වරුන්ගේ සංඛ්‍යාව ‘තනි පියවරුන්ගේ සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩියි.’ මේ නිසා, මෙම ලිපිවල මූලික වශයෙන් සාකච්ඡා කර ඇත්තේ තනි මව්වරුන් ගැනයි. එහෙත්, මෙහි සාකච්ඡා කර ඇති ප්‍රතිපත්ති එක හා සමානව තනි පියවරුන්ටත් අදාළයි.

b මාතෘත්වයේ සාමාන්‍ය අභියෝග ගැන කෙරෙන විස්තරාත්මක සාකච්ඡාවක් සඳහා 2002 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ පිටු 13-21 දක්වා පළ වූ ලිපි මාලාව බලන්න.

[4වන පිටුවේ කොටුව]

ඇතැම් නිර්වචන

දරුවන්ව තනිවම හදා වඩා ගන්නාවූ මව්වරුන්ව විස්තර කිරීම සඳහා ලොව වටා නොයෙක් යෙදුම් පාවිච්චි කරනවා. ඇතැම් රටවල, “තනි මව” යන යෙදුම පාවිච්චි කරන්නේ කිසිවිටෙකත් විවාහ නොවූ මවකටයි. මේ අතර, තවත් රටවල, “තනි වූ මව” යන යෙදුම, පිරිමි කලත්‍රයෙකුගේ ආධාර උපකාර නොමැතිව තමන්ගේ දරුවන්ව හදා වඩා ගන්නාවූ, පුළුල් පරාසයකට අයත් වන මව්වරුන්ට අදාළ කරනවා. මෙවන් මව්වරුන් දික්කසාද වූ අය විය හැකියි. එසේ නැතහොත්, වෙන් වූ හෝ වැන්දඹුවන් බවට පත් වූ හෝ කිසිවිටෙකත් විවාහ නොවූ අය විය හැකියි.

මෙම ලිපි මාලාව තුළ, අප විසින් “තනි මාපියා” සහ “තනි මව” යන යෙදුම භාවිත කරන්නේ කලත්‍රයෙකුගේ කිසිම ආධාර උපකාරයක් නොමැතිව දරුවන් හදාවඩා ගන්නාවූ මාපියන්ටයි.

[4, 5වන පිටුවේ කොටුව⁄සිතියම]

බොහෝ රටවල තනි මාපියභාවය ඉහළ යෑමේ ප්‍රවණතාවක්

එක්සත් ජනපදය: “වර්ෂ 1970 සිට 2000 දක්වා, තනි මව්වරුන්ගේ සංඛ්‍යාව මිලියන 3 සිට මිලියන 10 දක්වා ඉහළ නැග්ගා. එම කාලය අතරතුරේදීම, තනි පියවරුන්ගේ ගණනද 3,93,000 සිට මිලියන 2 දක්වා ඉහළ නැග්ගා.”—එ.ජ. සංගණන ඒකකය.

මෙක්සිකෝව: ලා හෝර්නාඩා පුවත්පතේ කියන විදිහට, එම රටේ ගැබිනි මව්වරුන්ගෙන් සියයට 27ක්ම නහඹර වියේ සිටින අය.

අයර්ලන්තය: වර්ෂ 1981දී සියයට 5.7ක පැවති තනි මාපිය පවුල්වල අනුපාතය 1991දී සියයට 7.9 දක්වා වැඩි වුණා. “විවාහ කඩාකප්පල් වීම තනි මාපියන් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.”—ජාත්‍යන්තර රාමුවක් තුළ තනි මව්වරු 1997 (සිංහලෙන් නැත).

බ්‍රිතාන්‍යය: “තනි මාපියෙකු විසින් මූලිකත්වය දරන පවුල්වල අනුපාතය ප්‍රථම වරට සියයට 25කින් ඉහළ ගොස් ඇති අතර, කිසිවිටෙකත් විවාහ නොවූ මව්වරුන් සංඛ්‍යාවේ මහා වර්ධනයක් ඒ මගින් පිළිබිඹු කරයි. තවද පසුගිය වසර 30 තුළ දික්කසාද අනුපාතයද ඉතා ඉහළ මට්ටමකින් වැඩි වී තිබෙනවා.”—2002 මාර්තු 2දා ලන්ඩන්හි ද ටයිම්ස් පුවත්පත.

ප්‍රංශය: “එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල අගභාගයේදී, තනි මාපිය පවුල්වල අනුපාතය සියයට 50කට වඩා වැඩි වුණා.”—ජාත්‍යන්තර රාමුවක් තුළ තනි මව්වරු, 1997.

ජර්මනිය: “තනි මාපියන්ගේ සංඛ්‍යාව පසුගිය දශක දෙක තුළ දෙගුණයක් වී තිබෙනවා. තනි මාපිය පවුල් සෑම එකකම පාහේ . . . මූලිකත්වය දරන්නේ මව්වරුනුයි.”— ජාත්‍යන්තර රාමුවක් තුළ තනි මව්වරු, 1997.

ජපානය: ‘එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල පටන් තනි මාපිය පවුල් ගණන වැඩි වෙමින් තිබෙනවා.’ වර්ෂ 1997දී, සියලු පවුල්වලින් සියයට 17කම මූලිකත්වය දරන ලද්දේ තනි මව්වරුන් විසින්.—ජාත්‍යන්තර රාමුවක් තුළ තනි මව්වරු, 1997; ජගත් ස්ත්‍රී ප්‍රජාව: ප්‍රවණතා හා සංඛ්‍යා ලේඛන.

ග්‍රීසිය: “වර්ෂ 1980 පටන් [ග්‍රීසියේ] විවාහ නොවූ සංඛ්‍යාව සියයට 29.8කින් ඉහළ නැග්ගා. යුරෝපා සංගමයෙන් සපයනු ලැබූ දත්තවලට අනුව, 1997දී විවාහයකින් තොරව ඉපදුණු දරුවන්ගේ අනුපාතය සියයට 3.3ක් වූ අතර, 1980දී එම අනුපාතය වූයේ සියයට 1.1ක් පමණයි.”—1998 සැප්තැම්බර් 4දා ඇතන්ස්හි පළ වූ ටා නියා පුවත්පත.

ඕස්ට්‍රේලියාව: දරුවන් 4දෙනෙකුගෙන් එක්කෙනෙක් තමන්ගේ නියම දෙමාපියන්ගෙන් එක්කෙනෙකු සමඟයි ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් මෙය දෙමාපියන්ගේ විවාහය හා ඔවුන් අතර ඇති සම්බන්ධතාව බිඳ වැටීමේ ප්‍රතිඵලයක්. තව වසර 25ක කාලයක් ඇතුළත තනි මාපිය පවුල් සියයට 30 සිට සියයට 66 දක්වා වර්ධනය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.—ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය.