Skip to content

පටුනට යන්න

පුරාවිද්‍යාව—ඇදහිල්ල සඳහා අත්‍යවශ්‍යද?

පුරාවිද්‍යාව—ඇදහිල්ල සඳහා අත්‍යවශ්‍යද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

පුරාවිද්‍යාව—ඇදහිල්ල සඳහා අත්‍යවශ්‍යද?

වර්ෂ 1873දී, ඉංග්‍රීසි ජාතික පූජකයෙකු වන සැමුවෙල් මැනිං යෙරුසලම ගැන මෙසේ ලීවේය. “අතිරමණීය ආකර්ෂණය නිසා වශී වූ වන්දනාකරුවෝ පොළොවේ සතර දිග්භාගයෙන්ම යෙරුසලමට එක් රොක් වෙති. අබලන් වූ පවුරු, අපිරිසිදුකමේ අන්තටම ගිය කුණු ගඳ ගසන මාවත් හා දිනෙන් දින දිරාපත් වන නටඹුන් මිලියන ගණන් ජනයා විසින් සලකනු ලබන්නේ ගැඹුරු ගරු භක්තියකිනි. එය මිහිපිට වෙන කිසිම ස්ථානයක් මගින් ජනිත නොකරන අන්දමේ ගරු භක්තියකි.”

ශුද්ධ වූ දේශය කෙරෙහි ආකර්ෂණය රෝම අධිරාජයා වූ කොන්ස්ටන්ටයින්ගේ කාලය තරම් අතීතයේ සිට මිනිසුන්ව මෝහනය කර ඇත. a වසර 1,500ක පමණ කාලයක් පුරා වන්දනාකරුවන් ආගමික භක්තියකින් මෙන්ම පෞද්ගලිකවම ශුද්ධ දේශය දැකබලා ගැනීමේ අටියෙන් එහි ඇවිත් ගොස් තිබේ. එහෙත්, මේ ප්‍රදේශය නැරඹීමට පැමිණි වන්දනාකරුවන් අතරට විශාරදයන් එක්වීමට පටන්ගත්තේ 19වන සියවසේ මුල් භාගයේදී වීම පුදුමයට කරුණකි. ඒ සමඟම, පුරාණ ශුද්ධ නගරයේ විසූ මිනිසුන් ගැන, ඔවුන් අතින් නිර්මාණය වූ දේ ගැන, ඔවුන් ගමන් කළ ස්ථාන හා ඔවුන් කතා කළ භාෂාව වැනි දේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බයිබලීය පුරාවිද්‍යා යුගය ඇරඹිණ.

පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වල ප්‍රතිඵලයක් හැටියට, බයිබල් කාලය හා බැඳි විවිධ දේවල් සම්බන්ධ අවබෝධය වැඩි වී ඇත. එමෙන්ම, පුරාවිද්‍යාත්මක වාර්තා බයිබල් ඉතිහාසය සමඟ බොහෝවිට එකඟ වන බවක් දක්නට තිබේ. එවන් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ක්‍රිස්තියානි ඇදහිල්ල ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍යද? ඊට උත්තර දීමට පෙර, පුරාවිද්‍යා කැණීම් රාශියකට උරුමකම් කියන යෙරුසලම් නගරය හා එහි දේවමාළිගාව වෙත අපි දැන් අපේ අවධානය යොමු කරමු.

‘ගලක් පිට ගලක් ඉතිරි නොවන්නේය’

යුදෙව් දින දර්ශනයේ හැටියට, පො.යු. 33 වසන්ත සමයේ නීසාන් මාසයේ 11වැනිදා යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන් සමූහයක්ද පිරිවරාගෙන යෙරුසලමේ දේවමාළිගාවෙන් අවසන් වරට පිටත් වී ගියේය. ඔවුන් ඔලීව කන්දට නැඟුණු පසු එක් ගෝලයෙක් මෙසේ පැවසීය. “ගුරුතුමෙනි, බලන්න! මොන වගේ ගල්ද මොන වගේ ගොඩනැඟිලිද!”—මාර්ක් 13:1, NW.

මේ ඇදහිලිවන්ත යුදෙව්වන් තුළ දෙවි හා ඔහුගේ දේවමාළිගාව කෙරෙහි දැඩි ලෙන්ගතුකමක් තිබිණ. ඔවුහු සියවස් 15ක ඉතිහාසයක් ඇති මේ තේජාන්විත ගොඩනැඟිලි සංකීර්ණය සහ ඒ හා බැඳි සම්ප්‍රදාය ගැන උද්දාමයට පත්ව සිටියහ. එබැවින්, යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන් උත්තරය ඔවුන්ගේ හිසට වැදුණු පොලු පහරක් මෙන් විය. “ඔබට මේ මහත් ගොඩනැඟිලි පෙනෙනවාද? මෙහි ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි නොවන ලෙස එහි ගල් සියල්ලම බිම හෙළනු ලබන්නේය.”—මාර්ක් 13:2, NW.

පොරොන්දු වූ මෙසියස් පැමිණි විට, දෙවි තමන්ගේම දේවමාළිගාව විනාශ කරන්ට ඉඩහරින්නේ කෙසේද? නමුත්, ගෝලයන් යේසුස් අදහස් කළ දෙය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගනු ඇත්තේ ක්‍රමානුකූලව ශුද්ධාත්මයේ ආධාරයෙනි. එහෙත්, යේසුස් කී දෙයත් බයිබලීය පුරාවිද්‍යාවත් අතර ඇති සම්බන්ධය කුමක්ද?

අලුත් ‘නුවරක්’

පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, යුදෙව් ජාතිය දෙවි ඉදිරියේ ඔවුන්ට තිබූ අනුග්‍රහය ලත් තත්වය අහිමි කරගත්හ. (මතෙව් 21:43) සියලු මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද ගෙනෙන වඩා උසස් වූ යමකට එනම්, ස්වර්ගීය ආණ්ඩුවකට මෙමගින් මඟ විවර විණ. (මතෙව් 10:7) යේසුස්ගේ අනාවැකිය සැබෑ කරවමින් යෙරුසලම එහි දේවමාළිගාව සමඟ පො.යු. 70දී විනාශයට පත් විය. එවැනි සිදුවීමක් පිළිබඳව වූ බයිබල් වාර්තාවට පුරාවිද්‍යාත්මක අනුබලයද දැන් ලැබී ඇත. එහෙත්, ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ ඇදහිල්ල පදනම් වී තිබෙන්නේ, ඒ පුරාණ දේවමාළිගාවේ නටඹුන් හමු වුණාද නැද්ද යන්න මත නොව, ඒ වෙනුවට වෙනත් යෙරුසලමක් මතය. එය වෙනස් ආකාරයේ නුවරකි.

යෙරුසලමේ හා එහි දේවමාළිගාවේ විනාශය ගැන යේසුස් අනාවැකි ප්‍රකාශ කළ විට එතැන සිටි, එමෙන්ම එහි ඉටුවීම සියැසින් දුටු ප්‍රේරිත යොහන්ට පො.යු. 96දී, පහත දැක්වෙන දර්ශනය දෙනු ලැබීය. “ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවි වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.” එවිට සිංහාසනයෙන් මෙවන් හඬක් නික්මිණ. “ඔහු [මනුෂ්‍යවර්ගයා] සමඟ වාසය කරන්නේය, ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.”—එළිදරව් 21:2-4.

රජවරුන් හැටියට ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට සේවය කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගෙන් මෙම “නුවර” සෑදී ඇත. ඔවුන් එකතුව ස්වර්ගීය ආණ්ඩුව නැතහොත් දෙවිගේ රාජ්‍යය සෑදෙන අතර, එය පොළොව පාලනය කරමින් මිනිස්වර්ගයාව එම සහස්‍රය තුළදී පරිපූර්ණත්වයට ගෙනෙනු ඇත. (මතෙව් 6:10; 2 පේතෘස් 3:13) ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කිරීමේ වරප්‍රසාදය සමඟ සසඳන කල, එදා යුදෙව් ක්‍රමය තුළ තිබූ කිසිවක් එතරම් වටින්නේ නැති බව එම කණ්ඩායමට අයත් වූ මුල් සියවසේ සිටි යුදෙව් ක්‍රිස්තියානීහු වටහාගෙන සිටියහ.

පෙර කාලයේදී යුදෙව් ධර්මය තුළ තමන්ට තිබූ ගරුතර තත්වය ගැන සඳහන් කරමින් ප්‍රේරිත පාවුල් අනිත් අයගේ ආකල්පයද කැටි කොට දක්වමින් මෙසේ පැවසීය. “මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. එසේය, මාගේ ස්වාමි වූ ක්‍රිස්තුස් යේසුස් ඇඳිනගැනීමේ උතුම්කම [සියල්ල අබිබවා යන වටිනාකම, NW] නිසා සියල්ල අලාභයයි සලකමි.”—පිලිප්පි 3:7, 8.

ප්‍රේරිත පාවුල්ට දෙවිගේ නීතිය හා දේවමාළිගා විධිවිධානය කෙරෙහි මහත් ගෞරවයක් තිබූ නිසා, මේ දිව්‍ය විධිවිධානය සුළු කොට තැකිය යුතුය යන අදහසක් ඔහුගේ වචනවලින් කොහෙත්ම ඇඟවෙන්නේ නැත. b (ක්‍රියා 21:20-24) ඒ වෙනුවට, පාවුල් මෙහිදී පෙන්වා දුන්නේ ක්‍රිස්තියානි විධිවිධානය යුදෙව් ක්‍රමයට වඩා උසස් බවයි.

පාවුල් ඇතුළු මුල් සියවසේ සිටි අනිකුත් යුදෙව් ක්‍රිස්තියානීන්ට යුදෙව් ක්‍රමය තුළ තිබූ සිත්ගන්නා තොරතුරු බොහොමයක් ගැන නිශ්චිත දැනුමක් තිබෙන්ට ඇති. තවදුරටත්, පුරාවිද්‍යාව මගින් ඉතිහාසය දෙස බැලීමට කවුළු විවර කර දෙන බැවින් එම තොරතුරු දැන් සිටින ක්‍රිස්තියානීන්ද බොහෝ සෙයින් අගය කරනු ඇති බව නියතය. එනමුදු, තමන්ගේ මූලික අවධානය යොමු කළ යුතු දෙය ගැන පාවුල් තරුණ තිමෝතිට කී දෙය සැලකිල්ලට ගන්න. “ඔබේ දියුණුව සියල්ලන්ට දැකිය හැකි වන පිණිස, ඒ දේවල් [ක්‍රිස්තියානි සභාවට අදාළ කටයුතු] ගැන මෙනෙහි කරන්න. ඒවායෙහි නිමග්නව සිටින්න.”—1 තිමෝති 4:15, NW.

බයිබලීය පුරාවිද්‍යාව බයිබලයේ පසුබිම පිළිබඳ අපේ අවබෝධය පුළුල් කර තිබේ. එය ප්‍රශංසනීය දෙයකි. එහෙත්, තමන්ගේ ඇදහිල්ල පදනම් වන්නේ දෙවිගේ වචනය වන බයිබලය මත මිස, මිනිසා ගොඩගන්නා සාක්ෂි මත නොවන බව ක්‍රිස්තියානීහු අවබෝධ කරගනිති.—1 තෙසලෝනික 2:13; 2 තිමෝති 3:16.

[පාදසටහන්වල]

a යෙරුසලමේ ශුද්ධ ස්ථාන තිබූ තැන් හඳුනාගැනීමට කොන්ස්ටන්ටයින් මෙන්ම ඔහුගේ මවු වූ හෙලෙනාද රුචියක් දැක්වූහ. ඇය පෞද්ගලිකවම යෙරුසලම දැකබලා ගැනීමට පැමිණියාය. ඇගෙන් පසුව, ගෙවුණු සියවස් ගණනාව පුරා තව බොහෝදෙනෙක් ඇගේ අඩි පාරේ ගමන් කළහ.

b යම් කාලපරිච්ඡේදයක් පුරා, මුල් සියවසේ යෙරුසලමේ සිටි යුදෙව් ක්‍රිස්තියානීහු මෝසෙස්ට දුන් නීතිය තුළ තිබූ විවිධ අංග පැවැත්වූහ. පෙනෙන විදිහට ඊට හේතුව වූයේ, නීතිය යෙහෝවාගෙන් පැමිණීමයි. (රෝම 7:12, 14) එය යුදෙව් මිනිසුන් අතර චාරිත්‍රයක් හැටියට ප්‍රචලිත වී තිබිණ. (ක්‍රියා 21:20) නිල වශයෙන් ආණ්ඩුවේ ක්‍රියාත්මක වූ නීතිය එය වූ නිසා ඊට විරුද්ධව කටයුතු කෙරුණේද, එවිට ක්‍රිස්තියානි පණිවිඩයට අනවශ්‍ය විරෝධතා එල්ල වීමට ඉඩ තිබිණ.

[18වන පිටුවේ පින්තූර]

ඉහළ: 1920දී, යෙරුසලම; පො.යු. 43දී, යුදෙව්වන්ගේ පාවිච්චිය සඳහා නිකුත් කළ රෝම කාසියක්; ඇතැම්විට, පො.යු.පෙ. අටවන සියවසේ සාලමොන්ගේ දේවමාළිගාවෙන් සොයාගත් ඇත් දළෙන් නිමැවූ දෙළුම් පොහොට්ටුව.

[හිමිකම් විස්තර]

පිටු 2 සහ 18: කාසිය: Photograph © Israel Museum, Jerusalem; Israel Antiquities Authority අනුග්‍රහයෙනි; දෙළුම් පොහොට්ටුව: Israel Museum, Jerusalem අනුග්‍රහයෙනි