Skip to content

පටුනට යන්න

මගේ තාත්තා හෝ අම්මා මට ආදරය නොකරන්නේ ඇයි?

මගේ තාත්තා හෝ අම්මා මට ආදරය නොකරන්නේ ඇයි?

යෞවන අය අසති . . .

මගේ තාත්තා හෝ අම්මා මට ආදරය නොකරන්නේ ඇයි?

“මගේ තාත්තා අම්මාව දික්කසාද කරන්න ඉස්සෙල්ලා අපි නිතරම මුහුදු වෙරළට ගියා, පිටින් කෑම කන්න ගියා, අපේ කාර් එකෙන් එහේ මෙහේ ගමන් ගියා. ඒත් ඒ හැම දෙයක්ම එක පාරටම නතර වුණා. මගේ තාත්තා වෙනස් වුණා. මට හිතෙන්නේ තාත්තා මාවත් දික්කසාද කළා කියලායි.”—කැරන්.  a

බොහෝ යෞවනයන් මේ හා සමාන හැඟීම්වලින් පීඩා විඳිනවා. කැරන් හා සමානව බොහෝදෙනෙක් සිතන්නේ තමන්ගේ තාත්තා (හෝ අම්මා) ඔවුන්ට ආදරය කරන්නේ නැහැ, එහෙමත් නැත්නම් කවදාවත් ආදරේ කළේ නැහැ කියායි. අපි මෙතැනදී කතා කරන්නේ දෙමව්පියන් දරුවන් අතර ඇති වන සුළු සුළු ගැටුම් ගැනවත් දෙමාපියෙක් දරුවෙකුට දෙන හික්මවීම නිසා සමහරවිට දරුවා තුළ ඇති වන යම් අමනාපකමක් ගැනවත් නොවෙයි. අපි කතා කරමින් සිටින්නේ දරුවන් කෙරෙහි අවධානය නොදීම හා හික්මවීම් නොදීම නිසා ඇත්තෙන්ම වරදකරුවන් බවට පත් වී සිටින දෙමව්පියන් ගැනයි. අනික් අතට, තවත් සමහර දෙමව්පියන් කෲර මෙන්ම දැඩි ලෙස දරුවන්ට බැණවදිමින් අතින් පයින් පහර දෙනවා විය හැකියි.

දෙමාපියෙකු විසින් දරුවෙකුව එපා කිරීම තරම් වේදනා ගෙන දෙන දෙයක් තවත් නැහැ. කැරන් පැවසුවේ මෙසේයි. “මට හැඟුණේ දෙමව්පියන්ට මාව එපා වෙලා, ඔවුන් මාව අත්හැරලා කියලායි.” ඔබත් කවදාහරි එවැනි දුෂ්කර තත්වයක් අද්දැක තිබෙනවා නම් ඒ වගේ තත්වයක් සමඟ කටයුතු කරන ආකාරය ගැන දී තිබෙන යෝජනා සලකා බලන්න පුළුවන්. තාත්තාගෙන් (හෝ අම්මාගෙන්) එතරම්ම සහයෝගයක් නොලැබුණද ඔබට සාර්ථක වෙන්න පුළුවන් බවට නිසැක වන්න.

ඔබේ තාත්තාව (හෝ අම්මාව) තේරුම්ගන්න

ඇත්ත වශයෙන්ම ඔබ දෙමව්පියෙකුගෙන් ආදරය සෙනෙහස බලාපොරොත්තු වීම ස්වභාවිකයි. දරු සෙනෙහස ස්වභාවයෙන්ම ඇති විය යුතු අතර ඒ ගැන දරුවා තුළ පූර්ණ විශ්වාසයක් තිබිය යුතුයි. දරුවන්ට එවැනි ප්‍රේමයක් පෙන්වීම දෙවි දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. (කොලොස්සි 3:21; තීතස් 2:4) නමුත් සමහර දෙමව්පියන් තම දරුවන්ව නොසලකා හරින්නේ, අතරමං කරන්නේ හෝ ඔවුන්ට නපුරු විදියට සලකන්නේ ඇයි?

එසේ වීමට හේතු වන එක සාධකයක් නම් ඔවුන්ගේම පෞද්ගලික අද්දැකීම් විය හැකියි. ඔබගෙන්ම මෙහෙම අහන්න. ‘මගේ දෙමව්පියන් දරුවන් ඇති දැඩි කරන්න ඉගෙනගත්තේ කොහෙන්ද?’ බොහෝ අවස්ථාවලදී ඔවුන්ට ඉගෙනගන්න තිබුණු එකම මාර්ගය නම් ඔවුන් දරුවන්ව සිටින කාලයේදී තම දෙමව්පියන් යටතේ ලද අද්දැකීම් පමණයි. තවද, අද අපි ජීවත් වන්නේ අකරුණාවන්ත ‘ජන්ම ස්නේහය නැති’ මනුෂ්‍යයන්ගෙන් පිරුණු ලෝකයකයි. ඒ නිසා දෙමව්පියන් ලද ඒ පුහුණුවේ බොහෝ අඩු පාඩුකම් තිබෙනවා. (2 තිමෝති 3:1-5) සමහරවිට ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ට සැලකූ ආකාරයටම ඔවුනුත් ඔවුන්ගේ දරුවන්ට අකාරුණික ලෙස සලකන්න පුළුවන්. මෙම ක්‍රමය පරම්පරා දෙක තුනකම අනුගමනය කරනවා විය හැකියි.

තවද, විවිධ හේතූන් මත දෙමව්පියන් බොහෝ දුක් ගැහැට විඳිනවා වෙන්නත් පුළුවන්. මෙවැනි දුක්ඛිත හා කලකිරෙන තත්වයන්ගෙන් මිදීම සඳහා සමහර අය තමන්ගේ මුළු කාලයම කැප කරන්නේ බීමත්කමට, මත්ද්‍රව්‍ය ගැනීමට හෝ රැකියාවටයි. උදාහරණයක් ලෙස විලියම් හා ජෝඇන් හැදී වැඩුණේ බීමත්කමට ඇබ්බැහි වූ පියෙක් යටතේයි. “තාත්තා කවදාවත් අපි ගැන හොඳක් කිව්වේ නැහැ” යැයි ජෝඇන් පැවසුවා. “තාත්තාට බිව්වහම තරහා යන එක තමයි ඉවසන්නම බැරි වැඩේ. මුළු හවස් වරුවේම අම්මාට කෑගහනවා. මම මේ වගේ වේලාවට හිටියේ හරිම බයෙන්.” දෙමව්පියන් රළු පරුෂ නොවුවද, ඔවුන්ගේ හැසිරීම් රටාව නිසා ඔවුන් කොතරම් වෙහෙසට පත් වී සිටිනවාද කිවහොත් දරුවන්ට අවශ්‍ය ආදරය හා අවධානය දීමට තරම්වත් ඔවුන්ට හැකියාවක් නැහැ.

හිටිහැටියේම තාත්තාගේ හැසිරීම වෙනස් වෙන්නට හේතුව විලියම්ට තේරුම්ගන්න පුළුවන්. ඔහු පැවසුවේ මෙසේයි. “මගේ තාත්තා ඇති දැඩි වුණේ ජර්මනියේ බර්ලින් නගරයේ. ඒ කාලය දෙවෙනි ලෝක මහා යුද්ධ සමයයි. ඔහුගේ තරුණ කාලයේදී ඔහු ගොඩාක් භයංකාර සිද්ධීන් අද්දැකලා තිබුණා. ඒ වගේම බොහෝ අය මැරෙනවා දැකලා තිබුණා. හැම දවසකම කෑමට යමක් හොයාගෙන පණ ගැටගහගන්න ඔහුට ලොකු සටනක යෙදෙන්න සිදු වුණා. මං හිතන්නේ මේ වගේ අද්දැකීම් තාත්තාට ගොඩාක් බලපෑවා කියලායි.” දැඩි සේ බලාත්කාරකමට මුහුණ දෙන අය අඥාන ලෙස හැසිරෙන බව බයිබලයේද පිළිගෙන තියෙනවා.—දේශනාකාරයා 7:7.

තාත්තාගේ මෙම අද්දැකීම් නිසා ඔහු තමන්ට සළකපු ආකාරය සාධාරණයි කියා විලියම් හා ජොඇන් සිතනවාද? “නැහැ” යැයි විලියම් පවසයි. “ඔහුගේ පවුල් පසුබිම නිසා බීමත්කමට ඇබ්බැහි වීම හා නොහොබිනා ලෙස හැසිරීම සාධාරණයි කියලා කියන්න බැහැ. කොහොම වුණත් ඒ විස්තර දැනගත්තහම තාත්තාගේ හැසිරීමට හේතුව හොඳින් තේරුම්ගන්න මට පුළුවන් වුණා.”

ඔබේ දෙමව්පියන් අසම්පූර්ණ අය බව පිළිගන්න ඕනේ. ඔවුන්ගේ පවුල් පසුබිම ටිකක් දැනගත්තාම ඔවුන්ව වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට හැකි වෙයි. හිතෝපදේශ 19:11හි පවසන්නේ “සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි” කියායි.

ඔබේ හැඟීම් සමඟ කටයුතු කිරීම

ගෙදර පවතින කළකිරෙන තත්වයන් නිසා ඔබ තුළ වෙනත් ආකාරයේ නිෂේධාත්මක හැඟීම් ඇති විය හැකියි. උදාහරණයකට පැට්‍රීෂියාට දෙමව්පියන් දෙන්නාගේම අවධානය ලැබුණේ නැති නිසා ඇයට හැඟුණේ තමන් “කිසිම වැඩකට නැති මෙන්ම ආදරේ ලබන්න නොවටිනා කෙනෙක්” බවයි. අවුරුදු අටේදී ලානීෂාව ඇගේ පියා අත්හැර ගියාට පසු ඇයට පිරිමින්ව විශ්වාස කිරීමත් අපහසු වුණා. ශේලාගේ මව “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කෙනෙක්” නිසා ඇයට හමු වුණ ඕනෑම කෙනෙකුගේ අවධානය ලබාගනිමින් මවගේ අඩුව පුරවාගැනීමට ඇය උත්සාහ කළා.

කෝපය හා ඊර්ෂ්‍යාව නිසාද ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. කැරන්ගේ පියා නැවත විවාහ වූ පසු ඇය බලාපොරොත්තු වූ ආදරය ඇයට ලැබුණේ නැහැ. පියා ඔහුගේ අලුත් පවුලේ සාමාජිකයන්ට ආදරයෙන් සලකනවා දැක්කහම කැරන්ට “එක් කාලයකදී ගොඩාක් ඊර්ෂ්‍යා හිතුණා.” යම් යම් අවස්ථාවලදී ලෙලානී ඇගේ දෙමව්පියන්ට වෛර කළා. “මම නිතරම ඔවුන් එක්ක රණ්ඩු කළා” යැයි ඇය පැවසුවා.

ඔව්, ඔවුන්ගේ විවිධ තත්වයන් සලකා බලද්දී එවැනි හැඟීම් ඇතිවීමට හේතුව තේරුම්ගන්න පුළුවන්. නමුත් එවැනි නිෂේධාත්මක හැඟීම් එක්ක ඔබ සාර්ථකව කටයුතු කරන්නේ කොහොමද? පහත සඳහන් යෝජනා සලකා බලන්න.

යෙහෝවා දෙවිට ළං වන්න. (යාකොබ් 4:8) ඔබට එය කළ හැක්කේ පෞද්ගලිකව බයිබලය කියවීමෙන් හා නිතිපතා ඔහුගේ සෙනඟ සමඟ ආශ්‍රය කිරීමෙන්. යෙහෝවා දෙවි අන් අය සමඟ කටයුතු කරන ආකාරය ගැන ඔබ ඉගෙනගන්නා විට දෙවි පක්ෂපාත බව ඔබට දැනගැනීමට හැකි වෙයි. ඔබට දෙවිව විශ්වාස කළ හැකියි. යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඇසුවේ “ස්ත්‍රියක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්ට ඈට පුළුවන්ද?” ඔහු පොරොන්දු වන්නේ “එසේය, මොවුන්ට මතක නැති වෙන්ට පුළුවන. එහෙත් මම නම් මතක නැති නොකරන්නෙමි” කියායි. (යෙසායා 49:15) ඒ නිසා නොකඩවා දෙවිට යාච්ඤා කරන්න. ඔබ පාවිච්චි කරන වචන ගැන අනවශ්‍ය ලෙස කරදර වෙන්න එපා. ඔහු ඔබව තේරුම්ගන්නවාට කිසිම සැකයක් නැහැ. (රෝම 8:26) වෙන කිසි කෙනෙක් ඔබට ආදරේ නැහැයි කියා ඔබට හැඟුණත් යෙහෝවා දෙවි ඔබට ආදරේ බව මතක තබාගන්න.—ගීතාවලිය 27:10.

විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කතා කරන්න. ආත්මිකව මේරූ අය සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න. විවෘතව ඔබේ හැඟීම් හා අදහස් ඔවුන්ට කියන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ ඔබට ආත්මික පියවරු හා මව්වරු සොයාගන්න පුළුවන්. (මාර්ක් 10:29, 30) ඔබේ අවංක හැඟීම් අන් අයට කියන්න ඔබ මූලික පියවර ගන්න අවශ්‍යයි. ඔබට හැඟෙන්නේ කොහොමද කියා ඔබ කියන්නේ නැත්නම් අනිත් අයට එය දැනගන්න බැහැ. ඔබේ හිතේ බර අන් අයත් සමඟ බෙදාගැනීමෙන් ඇත්තටම ඔබට ලොකු සහනයක් දැනේවි.—1 සාමුවෙල් 1:12-18.

අන්‍යයන් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න. අනවශ්‍ය ආත්ම අනුකම්පාවෙන් වැළකිය හැකි හොඳම මාර්ගය නම් නිතරම තමන් මුහුණ දෙන දුක්ඛිත තත්වයන් ගැනම නොසීතිමයි. ඒ වෙනුවට තමන් භුක්ති විඳින යහපත් දේවල් අගය කරන්න ඉගෙනගන්න. “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න” යන බයිබල් උපදේශය අදාළ කරගැනීමෙන් අලුත් ප්‍රස්තාවන් රැසක් ඔබට විවෘත විය හැකියි. (පිලිප්පි 2:4) ආත්මික ඉලක්ක තබා, ශුභවාදි ආකල්පයක් ඇතුව ඒවා අත් කරගැනීමට වෑයම් කරන්න. ක්‍රිස්තියානි දේවසේවයේදී අන් අය වෙනුවෙන් අපි වැඩි කාලයක් ගත කරනවා නම් අපි ගැනම සිත සිතා ඉන්නවා වෙනුවට අනිත් අය වෙත අපේ අවධානය යොමු කරන්න පුළුවන්.

ඔබගේ දෙමව්පියන්ට දිගටම ගෞරවය දක්වන්න. සෑමවිටම බයිබල් ප්‍රමිතිවලට හා ප්‍රතිපත්තිවලට ඇලී සිටින්න. දෙමව්පියන්ට ගෞරවය පෙන්වීම එයට අදාළ වේ. (එපීස 6:1, 3) පළි නොගැනීම ගෞරවය දැක්වීමට ඇතුළත්. දෙමව්පියන් විසින් වැරදි කරන නිසාම ඔබත් වැරදි කරනවා නම් එය සාධාරණ දෙයක් නොවෙයි. ඒ නිසා සෑම කාරණයක්ම යෙහෝවාට භාර දෙන්න. (රෝම 12:17-21) ඔහු “යුක්තියට ප්‍රේම කරන” දෙවි කෙනෙක් වන අතර තම දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි බලවත් හැඟීම් ඇති දෙවි කෙනෙක්. (ගීතාවලිය 37:28, NW; නික්මයාම 22:22-24) ඔබ දෙමව්පියන්ට දිගටම නිසි ගෞරවය දක්වන අතරේදී ප්‍රේමය ඇතුළු ශුද්ධාත්මයේ ඵල වර්ධනය කිරීමට උත්සාහ කරන්න.—ගලාති 5:22, 23.

ඔබට සාර්ථක විය හැකියි

දෙමව්පියන්ගේ ප්‍රේමය නොලැබීම දුක්ඛිත තත්වයක් බව ඇත්තයි. නමුත් දෙමව්පියන්ගේ අතින් යම් යම් වැරදි සිදු වුවත් ඔබේ පෞද්ගලිකත්වයට බලපෑම් කිරීමට ඒවාට ඉඩ නොදිය යුතුයි. ඔබ ඉහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට අදාළ කරගන්නවා නම් ඔබට ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි.

කලින් සඳහන් කළ විලියම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක පූර්ණ කාලීන සේවයේ නිරත වෙමින් සිටිනවා. ඔහු පවසන්නේ “අපි මුහුණ පාන්නාවූ මෙම දරුණු තත්වයන් සමඟ කටයුතු කිරීමට යෙහෝවා අපිට බොහෝ උපකාර සපයා දී තිබෙනවා. අප ගැන සලකන එවැනි ප්‍රේමණීය ස්වර්ගික පියෙක් සිටීම කොතරම් යහපත්ද!” විලියම්ගේ නංගි ජෝඇන් දේවසේවකයන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක පූර්ණ කාලීන සේවය කරනවා. ඇය පැවසුවේ මෙසේයි. “අපි කුඩා කාලයේ සිටම ‘දෙවිට සේවය කරන්නා සහ ඔහුට සේවය නොකරන්නා අතරේ’ ඇති කැපීපෙනෙන වෙනස දැක්කා.” (මලාකී 3:18) “අපි ජීවිතයේ ලැබූ අද්දැකීම් සත්‍යය තුළ ස්ථිරව සිටීම සඳහා දැඩි උත්සාහයක් දරන්නත් එය අපේම වස්තුවක් බවට පත් කරගන්නත් උපකාරවත් වුණා” කියා ඇය තවදුරටත් පැවසුවා.

මෙය ඔබටද අද්දකින්න පුළුවන් වේවි. බයිබලයේ පවසන්නේ “කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය” කියායි. (ගීතාවලිය 126:5) මේ පදය අදාළ වෙන්නේ කොහොමද? ඔබ අසීරු තත්වයන් යටතේ නිවැරදි ප්‍රතිපත්ති අදාළ කරගැනීමට නොසෑහෙන උත්සාහයක් දරනවා නම් ඔබේ එම දුක් කඳුළු ඉවත් කර ඒ වෙනුවට දෙවිගේ ආශීර්වාද මැද සතුටු කඳුළු අද්දකින්න පුළුවන්.

ඒ නිසා යෙහෝවා දෙවිට ළං වී සේවය කිරීමට නිතරම වෑයම් කරන්න. (හෙබ්‍රෙව් 6:10; 11:6) ඔබ කාලාන්තරයක් තිස්සේ කනස්සල්ල, කලකිරීම හා වරදසහිතභාවයෙන් පීඩා විඳ තිබෙනවා නම් මෙම හැඟීම් කෙමෙන් කෙමෙන් ඉවත් වී ඒ වෙනුවට “කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය” ලැබෙනවා ඇති.—පිලිප්පි 4:6, 7.

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර තිබේ.

[14වන පිටුවේ කොටුව]

ඔබට හැඟෙන්නේ . . .

• ඔබව අඩුවෙන් තක්සේරු කර ඇති බවද?

• අන්‍යයන්ව විශ්වාස කිරීම අනාරක්ෂිත හෝ අඥාන දෙයක් ලෙසටද?

• යම් කෙනෙක් නිතරම ඔබව දිරිගැන්විය යුතු බව හෝ සැනසිය යුතු බවද?

• ඔබේ කෝපය හා ඊර්ෂ්‍යාව පාලනය කරගත නොහැකි බවද?

ඉහත සඳහන් ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්නේ ඔව් කියා නම් ඔබ හැකි විගස විශ්වාසවන්ත දෙමාපියෙක්, වැඩිහිටියෙක් හෝ ආත්මිකව මේරූ මිත්‍රයෙක් සමඟ කතා කළ යුතුයි.

[15වන පිටුවේ පින්තූර]

ඔබේ හැඟීම් සමඟ කටයුතු කිරීමට ශුභවාදි පියවර ගන්න