Skip to content

පටුනට යන්න

ඒඩ්ස් පැතිරෙයි අප්‍රිකාවේ

ඒඩ්ස් පැතිරෙයි අප්‍රිකාවේ

ඒඩ්ස් පැතිරෙයි අප්‍රිකාවේ

“අපි දැන් කටයුතු කරමින් සිටින්නේ එක්තරා විදිහක ලෝක විනාශයක් සමඟයි.”

අප්‍රිකාවේ HIV/AIDS මර්දනය සඳහා එක්සත් ජාතීන් විසින් පත් කරන ලද නියෝජිතයා වන ස්ටීවන් ලුයිස් පළ කළ ඒ වචනවලින් ප්‍රතිනාද වෙන්නේ අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි පෙදෙස්වල වසන බොහෝදෙනෙක් ඒඩ්ස් රෝගය පිළිබඳව දක්වන අති මහත් සැලකිල්ලයි.

HIV වයිරසය පැතිරීමට සාධක ගණනාවක් බලපානවා. අනෙක් අතට, ඒඩ්ස් රෝගයෙන් වෙනත් ගැටලු රැසක්ම උග්‍ර තත්වයට පත් කර තිබෙනවා. ඒඩ්ස් ආක්‍රමණය කරමින් තිබෙන අප්‍රිකාවේ සමහරක් රටවල සහ ලෝකයේ වෙනත් රටවල මෙම තත්වයට බොහෝවිට බලපා ඇත්තේ මෙම සාධකයි.

සදාචාරය. මෙම HIV වයිරසය බෝවෙන ප්‍රධානතම ක්‍රමය වන්නේ ලිංගික සම්බන්ධකම්. ඒ වගේම මෙම රෝගය පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ පැහැදිලි සදාචාර ප්‍රමිති ගැන දක්වන මද සැලකිල්ලයි. එනමුත් බොහෝදෙනෙකුට හැඟෙන්නේ අවිවාහක අය අතර ලිංගික සම්බන්ධකම් තහනම් කිරීම හෝ ඒ සඳහා අධෛර්ය කිරීම ප්‍රායෝගික නොවන බවයි. “ලිංගික ක්‍රියාවලින් වැළකී සිටින්නයයි නහඹරයන්ට නිකම්ම අවවාද කිරීම ප්‍රායෝගික දෙයක් නොවෙයි” කියා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පුවත්පතක් වන ද ස්ටාර්හි ෆ්‍රාන්ස්වා ඩූෆුවර් ලියයි. “තමන්ගේ පෙනුම කොයි වගේ විය යුතුද හා තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්න ගැන හැමදාම පාහේ ලිංගිකත්වය හුවා දක්වන රූපවලින් සහ වෙනත් දේවලින් ඔවුන්ට පණිවිඩ එනවා.”

මෙම තත්වය යෞවනයන්ගේ හැසිරීම මගින් තහවුරු වෙන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. නිදසුනක් වශයෙන්, එක් රටක කරන ලද සමීක්ෂණයකින් ඇඟවුණේ, වයස අවුරුදු 12ත් 17ත් අතර යෞවනයන්ගෙන් තුනෙන් එකක්ම ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවයි.

ස්ත්‍රී දූෂණය දකුණු අප්‍රිකාවේ ජාතික අර්බුදයක් බවට පත් වෙලා. ජොහැනස්බර්ග් නුවර සිටිසන් නමැති පුවත්පතේ වාර්තාවක සඳහන් වුණේ එය “කොතරම් පුළුල් ලෙස පැතිර තිබෙනවාද කියතොත්, රටේ ස්ත්‍රීන්ට හා වඩාත් වේගයකින් දරුවන්ටද එල්ල වෙන වෙන මොනම ආකාරයේ සෞඛ්‍ය තර්ජනයකට වඩා, තර්ජනයක් වී ඇති” බවයි. එම ලිපියේ මෙසේද සඳහන් වුණා. “ළමුන්ව දූෂණය කිරීම මෑත කාලවලදී දෙගුණයක් වී තිබෙනවා. . . . මේ වගේ ක්‍රියාවන් සිදු කරන්නේ පෙනෙන හැටියට එක්තරා මිථ්‍යාවක් ඔවුන්ගේ මනසේ ඔඩු දුවන නිසා බව පෙනෙන්නට තිබෙනවා. ඒ තමයි, HIV අසාදිතයෙක් කන්‍යාවක්ව දූෂණය කිරීමෙන් ඔහු සුව වෙනු ඇතිය යන මිථ්‍යා විශ්වාසය.”

ලිංගිකව බොවෙන රෝග (STD). ලිංගිකව බෝවෙන රෝගවල ඉහළ ප්‍රතිශතයක් අප්‍රිකානු රටවල දකින්නට තිබෙනවා. දකුණු අප්‍රිකානු වෛද්‍ය සඟරාව [සිංහලෙන් නැත] තොරතුරු සැපයුවේ මෙසේයි. “ලිංගිකව බෝවෙන රෝග පවතින නිසා, HIV-1 බෝවීමේ ඉඩ කඩ දෙගුණයක සිට 5 ගුණයක් දක්වා වැඩි වෙනවා.”

දිළිඳුකම. අප්‍රිකාවේ බොහෝ රටවල් දිළිඳුකම සමඟ පොරබදිනවා. මේ නිසා ඒඩ්ස් රෝගය තව තවත් පැතිරීමට සුදුසු තෝතැන්නක් මින් ජනිත වෙනවා. දියුණු රටවල මූලික පහසුකම් යනුවෙන් හැඳින්වෙන දේවල් දියුණු වෙමින් පවතින රටවල් වැඩි ගණනකට ලබාගන්නට බැහැ. විදුලියවත් පිරිසිදු පානීය ජලයවත් ලබාගන්නට විශාල ප්‍රජා සමූහයන්ට හැකි වී නැහැ. ඈත පිටිසර ගම්මානවල පාරවල් අන්තිම අබලන්, නැතහොත් පාරවල් ඇත්තේම නැහැ. බොහෝ වැසියන් මන්දපෝෂණයෙන් පෙළෙන අතර තිබෙන වෛද්‍ය පහසුකම්ද ඉතා සීමිතයි.

ඒඩ්ස් රෝගය ව්‍යාපාර හා කර්මාන්ත කෙරෙහි ඇති කර තිබෙන්නේ ඉතා අසුබවාදී බලපෑමක්. පතල් කර්මාන්ත සම්බන්ධ සමාගම්වල සේවකයන් වැඩි වැඩියෙන් මෙම රෝගයට ගොදුරු වන විට, ඒවායේ නිෂ්පාදනයේ ඵලදායිත්වය අඩුවීමට එය ඉතා තදින් බලපා තිබෙනවා. ඇතැම් අය තමන්ගේ කර්මාන්ත හා ව්‍යාපාරවල විවිධ අංශ සඳහා මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර උපයෝගි කරගැනීමට මං සොයනවා. වර්ෂ 2000දී එක්තරා ප්ලැටිනම් පතලක ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් දෙගුණයක් වූ අතර, සේවක පිරිසෙන් සියයට 26ක් පමණ සේවකයන්ට එය ආසාදනය වී තිබුණා.

ඒඩ්ස් රෝගයේ ඉතා දුක්ඛිත ප්‍රතිඵලයක් වී ඇත්තේ තමන්ගේ දෙමාපියන් මෙම රෝගයට ගොදුරු වීම නිසා අනාථයන් බවට පත්වී ඇති දරුවන්ගේ විශාල සංඛ්‍යාවයි. තම දෙමාපියන් හා මූල්‍යමය ආරක්ෂාව අහිමි වෙනවාට අමතරව, මෙම දරුවන් ඒඩ්ස් සමඟ තම පවුලට ඇති ලජ්ජාසහගත නින්දාව දරාගත යුතුයි. එම පවුල්වල කිට්ටු ඥාතීන් හෝ සමාජයේ වෙනත් අය එවැන්නන්ට පිහිට වීමට බැරි තරම් ඉතා දිළිඳුයි, එසේ නැත්නම් පිහිට වීමට අකමැතියි. අනාථ ළමුන් බොහෝදෙනෙකුව පාසැල්වලින් පහ කෙරෙනවා. මේ නිසා ඇතමුන් ගණිකා වෘත්තියට යොමු වෙන අතර, එහි ප්‍රතිඵලය වන්නේ රෝගය තවත් පැතිරීමයි. රටවල් ගණනාවක් විසින් මෙම අනාථයන්ට අවශ්‍ය උපකාරය ලබා දීම සඳහා රජය මගින් හෝ පෞද්ගලිකව යම් යම් වැඩසටහන් දියත් කර තිබෙනවා.

නොදැනුවත්කම. HIV වයිරසයට ගොදුරු වූ විශාල සංඛ්‍යාවක් තමන්ට එය වැලඳී තිබෙන බවක් දන්නේ නැහැ. තමන්ට මේ මගින් ඇති වන නින්දාව නිසා බොහෝදෙනෙක් කැමති නැහැ මෙම රෝගය තමන්ට වැලඳී ඇතිදැයි පරීක්ෂා කරගැනීමට. “HIV ආසාදිත වූ හෝ ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන්ට, සෞඛ්‍ය සේවා පහසුකම් දීම ප්‍රතික්ෂේප විය හැකියි. නිවාස හා රැකියා දීම ප්‍රතික්ෂේප විය හැකියි. ඔවුන්ගේ මිතුරන් හා එකට වැඩ කරන අය ඔවුන්ව කොන් කරනවා විය හැකියි. ඔවුන්ට කිසිම රක්ෂණ ආවරණයක් ලබා දීමට අකමැති විය හැකියි. එහෙම නැත්නම් වෙනත් රටකට ඇතුළු වීමට අවසර නොදෙන්නට පුළුවන්” යනුවෙන් HIV/AIDS (UNAIDS) පිළිබඳව එක්සත් ජාතීන්ගේ හවුල් වැඩසටහනේ පුවත්පත් නිවේදනයක කියා තිබුණා. ඒ විතරක් නෙවෙයි, HIV ආසාදිත බවට සොයාගත් ඇතැමුන්ව ඝාතනය කර තිබෙනවා.

සංස්කෘතිය. අප්‍රිකානු සංස්කෘතීන් ගණනාවකටම අයත් ස්ත්‍රීන් ජීවිතයේ යම් යම් පැතිවලින් අසරණයි. නිදසුනක් වශයෙන්, මීට කලින් ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවාද කියා තම සහකරුගෙන් ඇසීමට, ලිංගික වශයෙන් එක්වීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ආරක්ෂාවට ක්‍රම භාවිත කරමින් ලිංගික ක්‍රියාවල නිරතවීම ගැන යෝජනා කිරීමට කිසිම ආකාරයක හැකියාවක් ඇයට නැහැ. එමෙන්ම, ඒඩ්ස් තිබෙන බව නොසලකා හැරීමටත් එය පිළිනොගැනීමටත් හේතු පාදක වී තිබෙන තවත් දෙයක් තමයි, සංස්කෘතික වශයෙන් පවතින විශ්වාසයන් හෝ ඇදහිලි. නිදසුනක් වශයෙන්, මෙම අසනීප තත්වය ඇති වී තිබෙන්නේ හදි හූනියම් නිසා බව විශ්වාස කෙරෙන අතර, පිහිට ලබාගැනීමට යන්නේ කට්ටාඬියන් වෙතටයි.

ප්‍රමාණවත් නොවන වෛද්‍ය පහසුකම්. ඒඩ්ස් රෝගයේ ප්‍රතිඵලයක් වශයෙන් දැනටමත් දී ඇති වෛද්‍ය පහසුකම්වලට පනවා ඇති බදු වැඩි කරලා. මහා රෝහල් දෙකකින් වාර්තා වන්නේ තම රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අඩකට වඩා සිටින්නේ HIV ආසාදිත රෝගීන් බවයි. රෝගීන් සියයකට පහසුකම් ඇති තම වාට්ටුවේ රෝගීන් 140ක් සිටින බව ක්වාසුලු නටාල් ප්‍රාන්තයේ එක් රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවසුවා. ඇතැම් අවස්ථාවල රෝගීන් දෙදෙනෙක් එකම ඇඳේ වැතිර ප්‍රතිකාර ලබන අතර තුන් වෙනි රෝගියා වැතිර සිටින්නේ ඒ ඇඳට යටින් බිමයි.—දකුණු අප්‍රිකානු වෛද්‍ය සඟරාව.

අප්‍රිකාවේ තත්වය එතරම් දුක්ඛිතව තිබෙන අතරේදී, මේ තත්වය තවත් දරුණු විය හැකි බවයි පෙනී යන්නේ. “අපි තවමත් සිටින්නේ මේ වසංගතයේ ළදරු අවස්ථාවේ.” මෙයයි UNIADSහි පීටර් පියෝගේ නිරීක්ෂණය.

ඇතැම් රටවල මෙම රෝගය මර්දනය කිරීම සඳහා යම් යම් ප්‍රයත්න දරන බව ඇත්තයි. පළමු වතාවට 2001 ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය HIV/AIDS පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. මෙහිලා මිනිසුන් හට යම් සාර්ථකත්වයක් අත් කරගැනීමට හැකි වේවිද? ඒඩ්ස් රෝගයේ මෙම මාරාන්තික ගමන අවසන් වෙන්නේ කවදාද?

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නෙවයිරපින් නමැති ඒඩ්ස් ඖෂධය ගැන දකුණු අප්‍රිකාවේ උභතෝකෝටික ප්‍රශ්නය

නෙවයිරපින් කියන්නේ කුමකටද? නිකෝල් ඉටානෝ නමැති පුවත්පත් කලාවේදිනිය විස්තර කරන හැටියට, එය “ප්‍රතිප්‍රත්‍ය වයිරස් ඖෂධයක්. ඒ මගින් [මවකගේ සිට] දරුවෙකුට ඒඩ්ස් ආසාදනය වීමට තිබෙන ඉඩ කඩ සියයට 50කින් පමණ අවම කරගැනීමට හැකියාවක් තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.” එක්තරා ජර්මානු ඖෂධ සමාගමක් දකුණු අප්‍රිකාවට එම ඖෂධය ඊළඟ අවුරුදු පහට නොමිලේ සැපයීමට ඉදිරිපත් වුණා. එහෙත්, 2001 අගෝස්තු වෙන තෙක්ම, එම රජය එම ඉදිරිපත් කිරීම පිළිගෙන තිබුණේ නැහැ. ගැටලුව මොකක්ද?

ලෝකයේ මොනයම් රටකටත් වඩා දකුණු අප්‍රිකාවේ HIV ආසාදිත සංඛ්‍යාව වැඩියි. එම සංඛ්‍යාව මිලියන 4.7ක් පමණ වෙනවා. වර්ෂ 2002 පෙබරවාරියේදී ලන්ඩනයේ දි ඉකොනමිස්ට් නමැති පුවත්පතෙහි වාර්තා වුණේ, දකුණු අප්‍රිකානු ජනාධිපති ටාබෝ බෙකී, “HIV වයිරසය මගින් ඒඩ්ස් බෝ කරන බවට වූ සම්මත පිළිගැනීම ගැන සැක කරන” බවත්, “ඒඩ්ස් රෝගයට ප්‍රතිකාර කරන ඖෂධවලට යන වියදම හා ඒවායෙන් ලැබෙන ආරක්ෂාව මෙන්ම ප්‍රයෝජන ගැනත් සැක කරන බවයි. ඔහු ඒවා තහනම් කර නැහැ. නමුත් ඒවා භාවිත කිරීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන්ව අධෛර්යය කර තිබෙනවා.” මේ ඖෂධ කෙරෙහි මෙතරම් බියක් ඇයි? මන්දයත් දකුණු අප්‍රිකාවේ සෑම වසරකම HIV ආසාදිත දරුවන් දහස් ගණනක් උපදින අතර ගර්භිණී මව්වරුන්ගෙන් සියයට 25ක්ම වයිරස් වාහකයන් නිසයි.

මේ මත ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන්, මෙම නෙවයිරපින් බෙදා දීමට රජයට බල කිරීමට අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා. දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාදායක අධිකරණය 2002 අප්‍රියෙල් මාසයේදී ඒ ගැන උසාවි ප්‍රකාශයක් නිකුත් කළා. ද වොෂිංටන් පෝස්ට් පුවත්පතේ ලේඛක රවි නෙස්මන් ලිව්වේ, “එම ඖෂධය බෙදාහැරීම සඳහා රජය විසින් ඒවා පහසුකම් ඇති සෞඛ්‍ය ආයතනවලට ලබා දිය යුතු බව අධිකරණය නියෝග කළ බවයි.” දකුණු අප්‍රිකානු රජය විසින් ප්‍රධාන මධ්‍යස්ථාන 18ක මෙම ඖෂධය බෙදාහැර තිබෙන අතරේදී, අලුතෙන් දුන් මේ තීන්දුව නිසා රට පුරා සිටින HIV ආසාදිත සියලු ගැබිණි කතුන්ට යම් බලාපොරොත්තුවක් ඇති වෙලා.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කපටි වයිරසය සෛලය ග්‍රහණය කරගනී

මොහොතකට අපි මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයේ (HIV) ඉතා කුඩා ලෝකය තුළට යමු. එක් විද්‍යාඥයෙක් මෙසේ නිරීක්ෂණය කළා: “වසර ගණනාවක් පුරා, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් මම ඒ ඉතා කුඩා ලෝකය දෙස බලා සිට ඇත්තෙමි. කොතරම් බැලුවත් එහි තිබෙන ඉතා නිරවද්‍ය ඉතා සංකීර්ණ ලෙස නිර්මාණය වූ ඒ කුඩා, ඔව් ඉතා කුඩා ලෝකයේ අරුම පුදුමයන් ගැන මම තවමත් මහත් සේ පුදුම වන්නෙමි.”

වයිරසයක් බැක්ටීරියාවකට වඩා කුඩයි. අනෙක් අතට බැක්ටීරියාවක් මිනිස් සෛලයකට වඩා බොහෝ සෙයින් කුඩයි. එක්තරා විශ්වාස කටයුතු තොරතුරු මුලාශ්‍රයකට අනුව, HIV කොතරම් කුඩාද යත්, “ඒවා [HIV කොටස්] මිලියන 230ක් මේ වාක්‍යය අවසානයේ තිබෙන නැවතීමේ ලකුණ තුළට දැමිය හැකියි.” වයිරසයකට තනිවම තමන්ගේ වර්ගයා බෝ කිරීමට බැහැ. එසේ කළ හැක්කේ ආගන්තුක සෛලයක් තුළට කඩා වැද එහි තිබෙන අන්තර්ගතය පාලනය කිරීමෙන් පමණයි.

HIV වයිරසයක් මිනිස් සිරුර ආක්‍රමණය කරන විට, මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ තිබෙන ප්‍රබල බලවේගයන් සමඟ සටන් කිරීමට එම HIV වයිරසයට සිදු වෙනවා. a සුදු රුධිරාණු තුළ තිබෙන එම ආරක්ෂක සංඝටක නිපදවෙන්නේ ඇට මිදුළු තුළයි. මෙම සුදු රුධිරාණුවල ප්‍රධාන ලිම්ෆොසයිට ප්‍රභේද දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ T සෛල සහ B සෛල ලෙසයි. වෙනත් සමහරක් සුදු රුධිරාණු හඳුන්වන්නේ, වසා සෛට හෙවත් “භක්ෂ සෛට” වශයෙන්.

T සෛලවල විවිධ ප්‍රභේදයන්ට විවිධ කාර්යයන් පැවරිලා තිබෙනවා. මෙහි සහයක T සෛල වශයෙන් හඳුන්වනු ලබන සෛල ආක්‍රමණකාරී සතුරු බලවේගවලට එරෙහිව කරන සටනේදී වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. සතුරු බලවේග හඳුනාගැනීමේදී මෙම සහයක T සෛල මහෝපකාරී වන අතර, සතුරාට පහර දී විනාශ කිරීමට ඉවහල් වන සෛල නිපදවන මෙන්ද ඒවා පණිවුඩ නිකුත් කරනවා. විශේෂයෙන්ම HIV ඉලක්ක කරන්නේ මෙම සහයක T සෛලවලට පහර දෙන්නටයි. ප්‍රහාරාත්මක T සෛල ක්‍රියාත්මක වන්නේ සිරුර ආක්‍රමණය කරන ලද සෛල විනාශ කිරීමටයි. B සෛල මගින් කෙරෙන්නේ රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් සමඟ සටන් කිරීමට ප්‍රතිදේහ නිපදවීමයි.

ඉතා සටකපට උපක්‍රමයක්

HIV වයිරසයද ප්‍රත්‍ය වයිරසයක් ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. HIVහි ප්‍රවේණි පිඹුරු පත පවතින්නේ RNA (රයිබොනියුක්ලෙයික් අම්ල) ලෙස මිසක DNA (ඩිඔක්සිරියබොනියුක්ලෙයික් අම්ල) ලෙස නොවේ. HIV සෛල, ගුප්ත වයිරස් ලෙස හඳුන්වනු ලබන ප්‍රත්‍ය වයිරසයේ එක්තරා සුවිශේෂී උපකණ්ඩයකට අයත් වෙනවා. මන්දයත් රෝගයේ ලක්ෂණ මතුවීමට පෙරාතුව දීර්ඝ කාලයක් එය සැඟවී තිබීමට හැකි නිසා.

HIV වයිරසයක් ආගන්තුක සෛලයක් තුළට ඇතුල් වූ විට තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට සෛලයේ යන්ත්‍රණය යොදාගැනීමට HIV වයිරසයට පුළුවන්. මෙහිදී සිදු වන්නේ සෛලයේ DNA “යළි ක්‍රමාංකණය” කර HIV වයිරසයේ තවත් බොහෝ පිටපත් සෑදීමයි. නමුත් එසේ කරන්නට පෙර, HIV වයිරසය වෙනස් “භාෂාවක්” භාවිත කළ යුතුයි. එය එහි RNA DNA බවට හැරවිය යුතුයි. එවිට එයට ආගන්තුක සෛලයේ යන්ත්‍රණය මගින් HIV වයිරසයේ DNA කියවා තේරුම්ගත හැකියි. මෙය ඉටු කරගැනීම පිණිස, HIV වයිරසය සුවිශේෂ වයිරස් එන්සයිමයක් (reverse transcriptase) භාවිත කරයි. එමගින් වයිරසයේ තනි RNA රෑනක් ගෙන සෛලයට කියවා තේරුම්ගත හැකි DNA රෑන් දෙකක් නිපදවයි. කල් යත්ම, අලුත් HIV කොටස් දහස් ගණනක් නිපදවූවායින් පසුව සෛලය මිය යයි. මෙසේ අලුතෙන් නිපදවූ කොටස් වෙනත් සෛලද ආසාදනය කරන්නට පටන්ගනී.

මෙසේ සහයක T සෛල ගණනාවක්ම ඉතා වේගයෙන් සංඛ්‍යාවෙන් අඩු වෙත්ම මෙම විෂකුරු බලවේගයන් කිසිම සතුරු බියක් නොමැතිවයි සිරුරු ආක්‍රමණය කරන්නේ. සිරුර සියලු ආකාර රෝගවලටත් ආසාදනවලටත් මේ මගින් ගොදුරු වෙනවා. මෙසේ ආසාදිත වූ පුද්ගලයන් ඒඩ්ස් රෝගයේ පූර්ණ අවස්ථාවටයි පැමිණ සිටින්නේ. මේ අන්දමින් HIV වයිරසය මුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියම සාර්ථක ලෙස අඩපණ කරනවා.

මෙය සරල පැහැදිලි කිරීමක්. මෙහිදී යම් කරුණක් මනසේ තබාගත යුතුව තිබෙනවා. ඒ තමයි, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන සහ HIV වයිරසය හැසිරෙන හෝ ක්‍රියාත්මක වන ආකාරය ගැන පර්යේෂකයන් තවත් බොහෝ දේ දැනගත යුතු බව.

පසුගිය දශක දෙක පුරා වැඩි හරියකම, මෙම කුඩා වයිරසය නිසා ලෝකයේ ඉහළ ගණයේ ගවේෂකයන්ගේ හා පර්යේෂකයන්ගේ මානසික හා භෞතික සම්පත් බොහෝ සෙයින් වැය වී තිබෙනවා. එමෙන්ම විශාල මූල්‍යමය වියදමක්ද මීට ඇතුළත්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, HIV ගැන ඉගෙනගෙන ඇති දේද බොහෝයි. ශල්‍ය වෛද්‍යවරයෙකු වන දොස්තර ෂර්වින් බී. නුලාන්ඩ් මහතා, මීට වසර කිහිපයකට පෙර මෙසේ පැවසුවා. “මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය ගැන මෙතෙක් එකතු කරගෙන ඇති තොරතුරු හා දත්තයන් දෙසත්, එහි ප්‍රහාරාත්මක බවට එරෙහිව ගත යුතු ආරක්ෂක පියවරවල් ගැන සොයා බැලීමෙහිලා අත් කරගත් ප්‍රගතිය ගැනත් සලකා බැලූ කල, ඒ ගැන අපි පුදුමයට පත් වෙමු.”

කෙසේවෙතත්, AIDS රෝගයේ මාරාන්තික ගමන ඉතා භයානක වේගයෙන් දිගටම ඉදිරියට ඇදෙනවා.

[පාදසටහන]

[පින්තූරය]

HIV වයිරසය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ලිම්ෆොසයිට ආක්‍රමණය කර, HIV යළි නිපදවීමට ඒවා ක්‍රමාංකණය කරයි

[හිමිකම් විස්තර]

CDC, Atlanta, Ga.

[7වන පිටුවේ පින්තූරය]

දහස් ගණනක් තරුණයන් ඇත්තටම බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටිනවා