Skip to content

පටුනට යන්න

ඒඩ්ස් මාරයාගේ ගමන නවතීද? ඒ කෙසේද?

ඒඩ්ස් මාරයාගේ ගමන නවතීද? ඒ කෙසේද?

ඒඩ්ස් මාරයාගේ ගමන නවතීද? ඒ කෙසේද?

සෑහෙන කාලයක් පුරා, බොහෝ අප්‍රිකානු රටවල ඒඩ්ස් වසංගතය තිබෙන බවට පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය ඇතැම් මිනිසුන් කතා කරන්නට අකමැති විෂයක්. එහෙත්, ඉතා මෑත වසරවලදී මේ සම්බන්ධයෙන් යෞවනයන්ව දැනුවත් කිරීමටත් ඒ ගැන විවෘතව කතා බහ කිරීමටත් දිරිගන්වා තිබෙනවා. මේ ප්‍රයත්නවලට එතරම්ම සාර්ථකත්වයක් ලැබී නැහැ. ජන ජීවිත රටාවන් සහ සිරිත් විරිත් එතරම්ම තදින් ඔවුන්ගේ ජීවිතවලට කාවැදිලා. ඒ නිසා වෙනසක් කිරීම දුෂ්කරයි.

වෛද්‍යමය ප්‍රගතිය

වෛද්‍ය ක්ෂේත්‍රය තුළ විද්‍යාඥයන් HIV ගැන බොහෝ දේ දැනගෙන තිබෙන අතර, ඒ සඳහා ඖෂධ නිපදවා රෝගීන්ගේ ආයු කාලය දිගු කොට තිබෙනවා. ඉතා සක්‍රිය ප්‍රතිප්‍රත්‍ය වයිරස් ප්‍රතිකාරයන්යයි වර්ග කර ඇති අඩුතරමින් ප්‍රතිප්‍රත්‍ය වයිරස් තුනක් සහිත ඖෂධවල සංයුතියක් යොදාගෙන තිබෙන්නේ ඉතා ප්‍රබල ලෙසයි.

මෙයින් නිත්‍ය සුවයක් අත් නොවුණද, විශේෂයෙන් දියුණු රටවල HIV රෝගීන්ගේ මරණ අනුපාතය අඩු කිරීමට මෙම ඖෂධ සාර්ථක වෙලා. බොහෝ අය අවධාරණයෙන් කියා සිටින්නේ දියුණු වෙමින් පවතින රටවලටද මෙම ඖෂධ සැපයීම ඉතා වැදගත් බවයි. කෙසේවෙතත්, මෙම ඖෂධ ඉතා මිල අධිකයි. ඒ වගේම මෙම රටවල වෙසෙන වැඩිදෙනෙකුට මේ සඳහා අධික වියදමක් දැරීම ඉතා අපහසුයි.

මේ නිසා මෙහිදී මතු වන්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්: මිනිස් ජීවිතයට වඩා මූල්‍යමය වාසි වැදගත්ද? බ්‍රසීලයේ HIV/AIDS වැඩසටහන් අධ්‍යක්ෂක වන වෛද්‍ය පාවුලු ටේෂේරා මෙම තත්වය පිළිගෙන තිබෙන්නේ මෙසේයි. “කිසිම හව්හරණයක් නැතිව දහස් ගණනකගේ ජීවිත අයාලේ නැති වෙන්න ඉඩහැරීමට අපට බැහැ. අධික ලාභ ලැබීමේ පරමාර්ථය නිසාම මෙවැනි ජීවිත විනාශ වී යෑමට ඉඩහළ යුතු නැහැ.” ඔහු තවදුරටත් මෙසේ කීවා. “මිනිස් ආචාර ධර්ම හා මානව දයාව පසෙක දමා මුදල් ඉපයීමටම මුල්තැන දීම මම නම් කෙසේවත් අනුමත කරන්නේ නැහැ.”

මේ නිසා මහා පරිමාණයේ ලාභ ලබන ඖෂධ සමාගම්වලින් ඖෂධ මිල දී නොගෙන, වඩාත් අවම මිලකට ශ්‍රේණි ගත කරන ලද ඖෂධ නිපදවීමට හෝ ආනයනය කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා. a එක් අධ්‍යයනයකට අනුව, “[ලේබලයක් හෝ වෙළඳ නාමයක් රහිත ඖෂධවල] මිල එක්සත් ජනපදයේ සාමාන්‍ය ඖෂධ මිලට වඩා සියයට 82කින් අඩු” යයි දකුණු අප්‍රිකානු වෛද්‍ය සඟරාව [සිංහලෙන් නැහැ] වාර්තා කරනවා.

ප්‍රතිකාරවලට බාධා

කල් යත්ම, විශාල ඖෂධ සමාගම් ඒඩ්ස් රෝගය මැඩලීම සඳහා නිපදවන ඖෂධ දියුණු වෙමින් පවතින රටවලට ඉතා අඩු මිලකට විකිණීමට ඉදිරිපත් වුණා. මේ අයුරින් බලාපොරොත්තු වුණේ තව තවත් බොහෝදෙනෙකුට මෙම ඖෂධවලින් ප්‍රයෝජන ලබන්නට හැකි වනු ඇති බවයි. කෙසේවෙතත්, එවන් ඖෂධ දියුණු වෙමින් පවතින රටවල පහසුවෙන් මිලට ගැනීමට තරම් සුලබ කිරීමට මූලික බාධාවන් තිබෙනවා. එක් දෙයක් තමයි, ඒ සඳහා යන වියදම. එහි මිල සෑහෙන ප්‍රමාණයකින් අඩු කර තිබුණත්, අවශ්‍යතාව ඇති බහුතරයකට ඒවා මිල දී ගැනීම තවමත් අසීරුයි. වියදම දරන්නට බැහැ.

තවත් ගැටලුවක් වන්නේ, මෙම ඖෂධ පහසුවෙන් නියම මාත්‍රාවලින් බෙදා දීමට නොහැකි වීමයි. බොහෝ පෙති වර්ග ගත යුත්තේ දෛනිකව, නියමිත වේලාවන්හිදීයි. මේවා නිසි ලෙස ගත්තේ නැත්නම් හෝ ගන්නාවූ ඒ කාලසටහන වෙනස් වුණොත්, සිදු වන්නේ ඖෂධවලට ඔරොත්තු දෙන විදිහේ HIV වයිරස රෝගියාගේ සිරුර තුළ වර්ධනය වීමයි. ආහාර, පිරිසිදු පානීය ජලය හා ඉතා අවම සෞඛ්‍ය පහසුකම් ඇති අප්‍රිකානු රටවල නිවැරදි ලෙස එම ඖෂධ මාත්‍රාවන් ගන්නවායයි විශ්වාස කිරීම උගහටය.

එපමණක්ද නොවේ. එම ඖෂධ භාවිත කරන අයවද අධීක්ෂණය කළ යුතුයි. වයිරසය තුළ යම් ඔරොත්තු දීමේ ශක්තියක් ඇති වුවහොත් ඖෂධවල සංයුතිය වෙනස් කළ යුතුයි. මේ සඳහා අද්දැකීම් ලත් වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් අවශ්‍යයි. එමෙන්ම, මේ පරීක්ෂණ සඳහා වැය වෙන මිල ඉතා අධිකයි. මෙම ඖෂධ නිසා අතුරු ආබාධ ඇති වන අතර, වයිරසය තුළ මෙම ඖෂධවලට ඔරොත්තු දීමේ ස්වභාවයක් වැඩි වර්ධනය වෙයි.

වර්ෂ 2001 ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒඩ්ස් රෝගය ගැන පැවැත්වූ විශේෂ රැස්වීමකදී, දියුණු වෙමින් පවතින රටවලට ආධාර කිරීමට සමස්ත ලෝක සෞඛ්‍ය අරමුදලක් ඇති කිරීමට යෝජනා කරනු ලැබුවා. මේ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 7 සිට 10 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වේවියයි ගණන් බැලුණා. නමුත් මේ සඳහා ඉලක්ක කරන ලද මුළු මුදල සම්පූර්ණ කිරීමට තව විශාල මුදලක් අවශ්‍යයි.

මේ සඳහා එන්නතක් සොයාගැනීමේ බලාපොරොත්තුවෙනුයි තවමත් විද්‍යාඥයන් පසු වෙන්නේ. ඒ වගේම විවිධ රටවල මේ සඳහා නොයෙක් ආකාරයේ පර්යේෂණ කෙරෙමින් තිබෙනවා. ගන්නාවූ මේ ප්‍රයත්නයන් සාර්ථක වුවත්, එසේ යම් එන්නතක් සොයාගෙන, වැඩිදියුණු කරගෙන, පරීක්ෂා කර රෝගීන් සඳහා භාවිත කිරීමට සුදුසු ආරක්ෂාකාරී එන්නතක්ය යන ස්ථිර නිගමනයට එළඹීමට තවත් අවුරුදු ගණනාවක් ගත වේවි.

උගන්ඩාව, තායිවානය සහ බ්‍රසීලය වැනි රටවල් ප්‍රතිකාර ක්‍රමවලින් යම් සාර්ථකත්වයක් ලබා තිබෙනවා. දේශීය මට්ටමින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ යොදාගනිමින් ඒඩ්ස් සම්බන්ධිත මරණ අනුපාතය අඩු කරගැනීමට බ්‍රසීලයට හැකි වෙලා තිබෙනවා. මූල්‍යමය වත්කම් ඇති කුඩා රටක් වන බොට්ස්වානාහි අවශ්‍යතා ඇති සියල්ලන්ට ප්‍රතිප්‍රත්‍ය වයිරස් ඖෂධ ලබා දීමට ප්‍රයත්න දරන අතර, අත්‍යවශ්‍ය වූ සෞඛ්‍ය පහසුකම් ලබා දීමටද උත්සාහ කරමිනුයි සිටින්නේ.

ඒඩ්ස් මාරයා පරාජය කිරීම

ඒඩ්ස් රෝගය සමහරක් වෙනත් වසංගතවලට වඩා එක්තරා වැදගත් පැත්තකින් වෙනස් රෝගයක්. එම පැත්ත තමයි, එය වළක්වාගත හැකිවීම. පුද්ගලයන් මූලික බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටීමට කැමති නම්, සම්පූර්ණයෙන්ම නැත්නම් යටත් පිරිසෙයින් බොහෝ අවස්ථාවලදී ඔවුන්ට රෝගය වැළඳීමෙන් වළකින්නට හැකියි.

බයිබලයේ සදාචාර ප්‍රමිති ඉතා පැහැදිලියි. විවාහ වී නැති අය ලිංගික සම්බන්ධකම්වලින් වැළකී සිටිය යුතුයි. (1 කොරින්ති 6:18) විවාහකයන් තමන්ගේ කලත්‍රයන්ට විශ්වාසවන්තව සිටිය යුතු අතර, පරදාර සේවනය නොකළ යුතුයි. (හෙබ්‍රෙව් 13:4) රුධිරයෙන් වැළකී සිටින ලෙසට දී ඇති බයිබල් නියෝගයට කීකරු වීමද කෙනෙකුව ආරක්ෂා කරයි.—ක්‍රියා 15:28, 29.

දැනටමත් ඒඩ්ස් වයිරසය ආසාදනය වී සිටින අයට මහත් ප්‍රීතියක් හා සැනසීමක් ලබාගත හැකියි. ඒ, දෙවි විසින් පොරොන්දු කර තිබෙන ඉතා නුදුරු අනාගතයේදී පැමිණීමට නියමිත රෝගවලින් තොර ලෝකයක් ගැන ඉගෙනගැනීමෙන් හා දෙවිගේ අවශ්‍යතාවලට අනුකූල වීමෙනුයි.

බයිබලය අපට යමක් සහතිකවම කියා සිටිනවා. ඒ තමයි, රෝග ඇතුළු මිනිස් සංහතියේ සියලුම දුක් පීඩා ඉතා ළඟදීම නිමාවට පත් වෙනවාය යන කාරණය. මෙම පොරොන්දුව අපට දී තිබෙන්නේ එළිදරව් පොතෙයි. “මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය. ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 21:3, 4.

මෙම සහතිකය දී ඇත්තේ මිල අධික ඖෂධ මිල දී ගත හැකි අයට පමණක් නොවේ. එළිදරව් 21වෙනි පරිච්ඡේදයේ සඳහන් මෙම අනාවැකිමය පොරොන්දුව යෙසායා 33:24හි සනාථ කර තිබෙනවා. එහි කියන්නේ “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” යනුවෙනුයි. එවිට පොළොව මත ජීවත් වෙන සියලුම දෙනා දෙවිගේ නීති අනුව ජීවත් වී පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳිනවා ඇති. මෙසේ, ඒඩ්ස් මාරයාගේ දරුණු ගමන මෙන්ම වෙනත් රෝගවල ගමනද සදහටම නතර කරනු ලැබේවි.

[පාදසටහන]

a වර්ගීය එනම් වෙළඳ නාමයක් හෝ ලේබලයක් නැති ඖෂධ යනු වෙනත් ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය සඳහා ස්වාධිකාරය නැතහොත් අයිතිය ලබාගෙන තිබෙන ඖෂධ වර්ගයි. ඖෂධ සම්බන්ධයෙන් යම් සමාගම් විසින් දරන ස්වාධිකාරය හදිසි තත්වයන්වලදී ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල්, මගින් නොසලකා හැරෙන්නට පුළුවන්.

[9, 10වන පිටුවේ කොටුව⁄පින්තූර]

මම සොයමින් සිටි සැබෑ සුවය මෙයයි

මම ජීවත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ. මගේ වයස අවුරුදු 23යි. මට HIV වයිරසය ආසාදනය වෙලා කියලා සොයාගත්තු දවස මට අද වගේ මතකයි.

මමත් මගේ අම්මත් දොස්තරගේ කාමරයේ ඉන්න කොටයි දොස්තර මට මේ ආරංචිය ගෙනාවේ. ඒ තමයි මගේ ජීවිතයේ මම අහපු ඉතා දුක්බරම ආරංචිය. මම අන්දුන් කුන්දුන් වුණා. මට ඒක අදහන්නත් බැරිව ගියා. මම හිතුවේ රසායනාගාරයේ සිටින අය අතින් මොකක් හරි වරදක් වෙලා ඇති කියලායි. මොනවා කියන්නද කරන්නද මම දැනගෙන හිටියේ නැහැ. මට ඇඬෙන්න ආවා. ඒත් මට කඳුළු තිබුණේ නැහැ. දොස්තර මහතා මගේ අම්මත් එක්ක ප්‍රතිප්‍රත්‍ය වයිරස් ඖෂධ සහ වෙනත් දේවල් ගැන කතා බහ කළා. නමුත් කිසිම දෙයක් මගේ ශරීරයට ඇතුල් කරගන්නට මම හිටියේ හරිම භයකින්.

මට තේරුණා මම ඉගෙනගන්න සරසවියේ කාගෙන් හරි මට ඒක බෝ වෙන්න ඇති කියලා. මගේ තත්වය තේරුම්ගන්න පුළුවන් කවුරු හරි කෙනෙක් එක්ක මට කතා කරන්න හුඟක් ඕනෑකමක් තිබුණත් එහෙම කෙනෙකුව හොයාගන්න මට බැරි වුණා. මං හිටියේ අසරණබවේ හැඟීම්වලින් මිරිකිලා. මගේ පවුලේ අය මට උදව් කළත් මට හැඟුණේ ඉතාමත් අන්ත අසරණ තත්වයකට මං පත් වුණා කියලායි. මට හරි භයක් හිතුණා. අනික් තරුණ තරුණියන්ට වගේම මටත් හුඟක් ප්‍රාර්ථනාවල් තිබුණා. මගේ විද්‍යා උපාධිය අවසන් කරන්න මට තව තිබුණේ අවුරුදු දෙකයි. නමුත් දැන් ඒ සේරම බලාපොරොත්තු සුනුවිසුනු වෙලා.

මට නියම කරපු ප්‍රතිප්‍රත්‍ය වයිරස් ඖෂධ ගන්න පටන්ගත් මම ඒඩ්ස් රෝගය පිළිබඳ උපදේශකයන් වෙතට ගියා. එත් මම හිටියේ හරිම මානසික පීඩනයකින්. මම දෙවිට යාච්ඤා කළා. යාච්ඤා කරලා කිව්වේ මං මැරෙන්න ඉස්සර වෙලා මට සැබෑ ක්‍රිස්තියානි ධර්මය පෙන්වන්න කියලා. මම පෙන්තකොස්ත සභාවේ සාමාජිකයෙකු වෙලයි හිටියේ. නමුත් ඒ සභාවේ කිසිම කෙනෙක් මාව බලන්න නිකමටවත් ආවේ නැහැ. මං මැරුණායින් පස්සේ මම කොහේද යන්නේ කියලා සත්‍යය දැනගන්න මට ඕනෑ වුණා.

වර්ෂ 1999 අගෝස්තු මාසයේ එක් උදෑසනක, යෙහෝවාගේ සාක්ෂිකාරියන් දෙදෙනෙක් මගේ දොරට තට්ටු කළා. මං එදා හොඳටම අසනීප වෙලයි හිටියේ. නමුත් මට සාලයේ ඉඳගෙන කතා කරන්නට පුළුවන්කම තිබුණා. ඒ කාන්තාවන් දෙදෙනා තමන්ව මට හඳුන්වලා දීලා බයිබලය පාඩම් කරන්න මට උදව් කරන්න පුළුවනි කියලා කිව්වා. මගේ යාච්ඤාවලට අන්තිමේදී ඒ විදියට උත්තර ලැබුණ එක කොච්චර සහනයක්ද! නමුත්, ඒ වෙනකොට, මම කොච්චර දුර්වලව හිටයද කියනවා නම්, මට කියවන්නවත් කිසිම දෙයක් කෙරෙහි වැඩි වේලාවක් මනස යොමු කර තබාගන්නවත් පුළුවන් වුණේ නැහැ.

කොහොම වුණත්, මම ඔවුන්ට කිව්වා මට බයිබලය පාඩම් කරන්න ඕනෑ කියලා. ඉතින් ඔවුන් මාව හම්බවෙන්න වෙලාවක් නියම කරගත්තා. අභාග්‍යකට වගේ, නියමිත කාලය එන්න ඉස්සරවෙලා, මගේ මානසික පීඩන තත්වය නිසා මාව මානසික රෝහලකට එක්කගෙන ගියා. සති තුනකට පස්සේ මම රෝහලෙන් පිට වුණත්, සාක්ෂිකරුවන් මාව අමතක කරලා නැති එක ගැන මට සහනයක් දැණුනා. මට මතකයි, ඔවුන්ගෙන් එක් කාන්තාවක් මට කොහොමද කියලා දැනගන්න මාව හමු වෙන්න ආවා. මම ශාරීරික වශයෙන් තරමක් සුවය ලැබුවා. අවුරුද්ද අන්තිමේ වෙනකොට මම බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තා. ඒත්, ඒක මට එච්චර ලෙහෙසි වුණේ නැහැ. මොකද මගේ තත්වය එතරම් ස්ථිර නැති නිසා. නමුත් මං එක්ක පාඩම් කරපු කාන්තාව මා එක්ක කටයුතු කළේ අවබෝධයකින් හා ඉවසිල්ලෙන්.

යෙහෝවා ගැනත් ඔහුගේ ගුණාංග ගැනත් බයිබලයෙන් ඉගෙනගෙන, ඔහු දෙසත් සදාකාල ජීවනය දෙසත් බැලීම යන්නෙන් අදහස් කරන දෙය මගේ හිතට තදින්ම කාවැදුණා. ජීවිතයේ පළමු වතාවට, මම තේරුම්ගත්තා ඇයි මිනිස්සු දුක් විඳින්නේ කියලා. ඒ වගේම දෙවිගේ රාජ්‍යය ළඟදීම සියලු මිනිස් ආණ්ඩු ඉවත් කරන බවත්, ඒ වෙනුවට පාලනය කරන බවත් දැනගැනීම මට ඉමහත් ප්‍රීතියක් වුණා. ඒ නිසා මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරගන්නට එය මට මහත් පෙලඹීමක් වුණා.

මේ තමයි මම සොයමින් සිටි නියම සුවය. යෙහෝවා තවමත් මට ප්‍රේම කරන බවත් මා ගැන සලකන බවත් දැනගන්න ලැබීම මොනතරම් සහනයක්ද! මීට කලින්, මම හිතුවේ දෙවි මට වෛර කරනවා, ඒ නිසයි මට මේ වගේ රෝගයක් වැලඳුණේ කියලා. නමුත් යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව නිසා පාපවලට සමාව ලැබීමට යෙහෝවා ප්‍රේමණීය ලෙස සැපයුමක් කර තිබෙනවා කියා මම ඉගෙනගත්තා. ‘ඔහු ඔබ ගැන සලකන බැවින් ඔබේ හැම කරදර ඔහු පිට තබන්න’ කියා 1 පේතෘස් 5:7හි කියනවා වගේ, මම දැනගත්තා දෙවි මා කෙරෙහි සැලකිල්ලක් දක්වන බව.

හැම දිනකම බයිබලය පාඩම් කිරීමෙන් සහ රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යෑමෙන්, මට පුළුවන් තරමින් යෙහෝවාට ළං වෙන්න මම මගේ උපරිමය කරමින් සිටිනවා. ඒක එතරම්ම ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් මම මගේ කනස්සලුභාවයන් ගැන යෙහෝවාට යාච්ඤාවෙන් කියලා ශක්තිය හා සැනසිල්ල පතා මම යෙහෝවාගෙන් අයදිනවා. ඒ වගේම සභාවේ සාමාජිකයනුත් මට නිතරම උදව් කරනවා. ඉතින් දැන් මම ඉන්නේ සන්තෝෂයෙන්.

සභාවේ අය සමඟ මම නිතරම එවැන්ජලිස්ත සේවයේ සහභාගි වෙනවා. මම කැමතියි අනික් අයටත් ආත්මිකව උදව් කරන්න. විශේෂයෙන්ම මං ඉන්න තත්වයට සමාන තත්වයන්වල ඉන්න අයට උදව් කරන්න. මම වර්ෂ 2001 දෙසැම්බර් මාසයේදී බව්තීස්ම වුණා.

[පින්තූරය]

දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගැනීමට ලැබීම මට මහත් ප්‍රීතියක්

[8වන පිටුවේ පින්තූරය]

බොට්ස්වානාහි ඒඩ්ස් උපදේශක කණ්ඩායම

[10වන පිටුවේ පින්තූරය]

පාරාදීස පොළොවේ සියල්ලන්ම පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳිනවා ඇති