Skip to content

පටුනට යන්න

කල්පවතින සාමය ගෙනෙනු ඇත්තේ කවුද?

කල්පවතින සාමය ගෙනෙනු ඇත්තේ කවුද?

කල්පවතින සාමය ගෙනෙනු ඇත්තේ කවුද?

ලෝකයේ විවිධ ආගම්වල නායකයන් විසින් සාමය පතා කළ යාච්ඤාවලට දෙවි පිළිතුරු දී නැත්තේ මන්ද? බයිබලය මේ ප්‍රශ්නයට සිත්ගන්නාසුලු උත්තරයක් සපයයි. සාමය ඇති කිරීම ගැන දෙවි සැලකිලිමත් වන්නේ නැතැයි කියා පැවසිය නොහැක. සාමය ගැන යාච්ඤා කරන පූජකයන්ට වඩා සාමය ඇති කිරීමට ඔහුට තිබෙන්නේ දැඩි ආශාවකි. ඇත්තෙන්ම ලෝකයේ සාමය ඇති කිරීමට දෙවි දැනටමත් නිශ්චිත සැලසුම් සකස් කර හමාරයි. මෙම ඉලක්කය සපුරාගැනීම සඳහා ඔහු දැනටමත් අතිවැදගත් පියවර කිහිපයක් රැගෙන ඇත. ඔහුගේ අරමුණු ගැන ඔහු දැනටමත් මනුෂ්‍යවර්ගයාට දන්වා තිබේ. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ දෙවි පවසා තිබෙන දේවල් ලෝකයේ ආගම් විසින් නොසලකාහැර තිබීමයි.

බොහෝ කලකට ඉහතදී දෙවි ‘වංශයක්’ නොහොත් පාලකයෙකු ගැන පොරොන්දුවක් දුන්නේය. මෙම පාලකයා කවුරුන්ද යන්න ගැන වැඩිමනත් තොරතුරු ක්‍රමානුකූලව බයිබලයේ විස්තර කරයි. (උත්පත්ති 3:15; 22:18; 49:10) පුරෝකථනය කර තිබෙන එම පාලකයා මුළු පොළොවේම ‘සමාදානයේ කුමාරයා’ වන බවත් ඔහුගේ පාලන කාලයේදී ‘සමාදානයට කෙළවරක් නොතිබෙන’ බවත් අනාගතවක්තෘ යෙසායා ලීවේය. ඔහු මෙසියානු රාජ්‍යය හා සම්බන්ධ සුවිශේෂ අනාවැකි පැවසීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. (යෙසායා 9:6, 7) ස්වර්ගයේ සිට පොළොව පාලනය කරන මෙම පාලකයා දුෂ්ටකම නැති කර දමා පොළොව පාරාදීසයක් බවට පත් කරනු ඇත. ඒ කාලයේදී අයුක්තිය, අසනීප, දුප්පත්කම හා මරණය නොතිබේ. සාමය රජයනු ඇත. මිනිසුන් සදාකල් ජීවත් වනු ඇත. (ගීතාවලිය 72:3, 7, 16; යෙසායා 33:24; 35:5, 6; දානියෙල් 2:44, 45; එළිදරව් 21:4) මෙය සිදු වන්නේ කවදාද?

ලෝක සාමය අත ළඟයි

මේ දුෂ්ට ක්‍රමයේ අවසානයට හා නව මිනිස් සමාජයේ ආරම්භයට කලින් ලෝකය කම්පාවට පත් කරවන සුවිශේෂ වූ සිද්ධීන් මාලාවක් එකම යුගයක සිදු වන බව යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවේය. (මතෙව් 24:3, 7-13) යුද්ධ, ආහාර හිඟයන්, භූමිකම්පා ඇතුළු එම සිද්ධීන්වලට අයත් දේවලින් බොහොමයක් කලින් කලට සෑම යුගයකම පාහේ සිදු වී තිබේ. කෙසේවෙතත්, අපේ යුගයේදී මෙන් එම සිද්ධීන්වලට අයත් සෑම දෙයක්ම ලෝක ව්‍යාප්තව එක විට මිනිස්වර්ගයා මත කඩා වැටී තිබෙන වෙනත් යුගයක් මින් පෙර කිසිදා තිබී නැත. අධික ජනගහනය නිසා එම විපත්වල බලපෑම වෙන කවරදාටත් වඩා විනාශකාරී වී තිබේ.

බයිබලයේ පුරෝකථනය කර තිබෙන තවත් සිද්ධියක් වන්නේ මිනිසා විසින් පරිසරය නොනවත්වා විනාශ කිරීමයි. (එළිදරව් 11:18) එපමණක්ද නොව පුරෝකථනය කර තිබෙන අවසානයට කලින් අනතුරු ඇඟවීමේ වැඩක්ද ලෝක ව්‍යාප්තව සිදු වේ. ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීම එම වැඩයට අයත් වේ. අද යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ලොව පුරා එම වැඩය කරගෙන යති.—මතෙව් 24:14.

කලින් සඳහන් කළ අනාවැකිවල ඉටුවීම ඇදහිලිවන්ත ජනයාට ශුභාරංචියකි. පුරෝකථනය කර තිබෙන පරිපූර්ණ සාමය පිරි නව ලෝකය අත ළඟයි! වෛරයේ හා ත්‍රස්තවාදයේ අවසන් අංශු මාත්‍රයත් සම්පූර්ණයෙන්ම පහ වී යනු ඇත. මේ ගැන බයිබලයේ මෙසේ පැහැදිලි කරයි. “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 11:9.

දෙවි සවන් දෙන යාච්ඤා

දෙවිට යාච්ඤා කිරීම කිසිවිටකත් නිෂ්ඵල ක්‍රියාවක් නොවේ. දෙවිට යාච්ඤා කිරීම සඳහා කිසිම තේරුමක් නැති උත්සව අවශ්‍ය නැත. බයිබලයේ යෙහෝවාව හඳුන්වා තිබෙන්නේ “යාච්ඤා අසන තැනැත්තා” ලෙසය. (ගීතාවලිය 65:2) මේ නිසා ඔහු පොළොවේ සිටින අවංක ජනයා පවසන අසංඛ්‍යාත යාච්ඤාවලට ඕනෑම වේලාවක සවන් දෙයි. කෙසේවෙතත් දෙවිට කරන යාච්ඤාවලට ඔහු විසින් සවන් දෙනු ලැබීමට නම් සපුරාලිය යුතු අවශ්‍යතා තිබේද? දෙවි පිළිබඳව බයිබලයේ සඳහන් සත්‍යය ඉගෙනගන්නා අවංක හදවත් ඇති ජනයා “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” ඔහුට නමස්කාර කරන ‘සැබෑ නමස්කාර කරන්නන්’ බවට පත් වෙමින් එම අවශ්‍යතා ඉටු කිරීම අවශ්‍යයි කියා බයිබලයේ පෙන්වා තිබේ. (යොහන් 4:23) ඔහුගේ කැමැත්තට ගරු නොකරන අයගේ යාච්ඤාවලට ඔහු සවන් නොදෙයි. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ. “[දෙවිගේ] ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤා පවා පිළිකුලක්ය.”—හිතෝපදේශ 28:9.

අද සිටින ආගමික නායකයන් බොහෝදෙනෙකු සාමය ගෙන ඒම සඳහා වූ දෙවිගේ අරමුණ ගැන ජනයාට උගන්වන්නේවත් ඒ ගැන යාච්ඤා කරන්නේවත් නැතිවීම කනගාටුවට කරුණකි. “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත” කියා දේවවචනයේ සරලව සඳහන්ව තිබියදී, ඔවුන් කරන්නේ ගැටලු විසඳීමට හැකි වන ලෙස මිනිස් ආණ්ඩු වෙනුවෙන් යාච්ඤා කිරීමයි.—යෙරෙමියා 10:23.

“මතු දවස්වලදී” එනම් අපේ කාලයේදී සාමයට ඇලුම් කරන්නන් සැබෑ නමස්කාරය සංකේතවත් කරන “යෙහෝවාගේ ගෘහයේ කන්ද” වෙතට පැමිණෙන බවට පුරෝකථනය කර තිබේ. මේ අය ඔවුන්ගේ ජීවිතවල ප්‍රබල වෙනස්කම් කරගනිති. “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”—යෙසායා 2:2-4.

ඉහත සඳහන් වදන්වලට එකඟව ජීවත් වීමට වෑයම් කරන යම් ආගමික කණ්ඩායමක් අදදින සිටීද? නැත්නම් සෑම ආගමක්ම කරන්නේ සාමය ගැන කතා කරන අතරේදී යුද්ධයට අනුබල දීමද? ඊළඟ වතාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන විට සාමය නමැති විෂය ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන්න. සෑම කෙනෙකු සමඟම සාමයෙන් විසීමට ජනයාට උගන්වන්නේ කුමන ආගමද කියා එවිට ඔබට දැනගත හැකියි.