Skip to content

පටුනට යන්න

ගිනි කන්දක් පුපුරද්දී අපි දිවි ගලවාගත් හැටි!

ගිනි කන්දක් පුපුරද්දී අපි දිවි ගලවාගත් හැටි!

ගිනි කන්දක් පුපුරද්දී අපි දිවි ගලවාගත් හැටි!

කොංගෝ (කින්ෂාසාවල) පිබිදෙව්! ලේඛක විසින්

දවස, 2002 ජනවාරි 15වන අඟහරුවාදාය. එම දවස මධ්‍යම අප්‍රිකාවට උදා වූ තවත් එක් සාමාන්‍ය දවසක්. තවත් සාක්ෂිකරුවෙක් සමඟ මම කීව් ප්‍රදේශයේ ගෝමා නගරයේ කොංගෝවට (කින්ෂාසාවලට) පැමිණියා. අප පැමිණියේ මහා විල් පිහිටි ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන්ව මුණගැසීමේ අභිප්‍රායෙන්.

භය වෙන්න අවශ්‍ය නැද්ද?

මීටර 3,470ක් උස නීරැගොංගෝ ගිනි කන්ද පිහිටා තිබෙන්නේ ගෝමා නගරයේ සිට කිලෝමීටර 19ක් එපිටෙන්. එතරම් දුරකින් පිහිටා තිබුණත් එහි ක්‍රියාකාරිත්වය අපේ අවධානයට ලක් වුණා. a ගිගුරුම් හඬක් ඇසුණු අතර ගිනි කන්දෙන් දුම් දානවාත් අපි දුටුවා. එම ප්‍රදේශයේ සිටි අයට නම් අවුරුද්දේ මේ කාලයට එය සාමාන්‍ය දසුනක්. එයාලා නම් ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ.

දහවල් කාලයේ අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා දෙකක තිබුණ රැස්වීම්වලට ගියා. අපිට දිගටම භූ චලනයක් දැනුණ අතර ගිගුරුම් හඬකුත් ඇසුණා. ඒත් කිසිම කෙනෙකුට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. ප්‍රදේශයේ බලධාරීන් එහි සිටි වැසියන්ට දිගටම කියා සිටියේ බියවීමට කිසිම හේතුවක් නැති බවයි. නමුත් කොංගෝලියානු යමහල් පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයෙක් මාස ගණනාවක සිටම පිපිරීමක් සිදු වෙයි කියා අනාවැකි පළ කර තිබුණා. ඒත් කිසිම කෙනෙක් ඔහු කියූ දේ විශ්වාස කර නැහැ. එක මිතුරෙක් “අද හවසට නම් අහස රතු වෙයි මොකද ගිනි කන්ද ටිකක් ඇවිස්සිලා වගේ” කියලා නිකමට වගේ කිව්වා.

‘අපි වහාම පිට විය යුතුයි’

අපි අපේ නවාතැන් පොළට ආ විගස, “වහාම පිට වන්න” කියා අපට අණ කළා. නගරයේ තත්වය අන්තිම භයානකයි. බලන්න කොච්චර ඉක්මනට දේවල් වෙනස් වෙනවාද කියලා! අපි මුලින් සාකච්ඡා කරමින් හිටියේ ප්‍රධාන සාක්ෂි දැරීමේ මධ්‍යස්ථානයක් හැටියට ගෝමා නගරය යොදාගන්න. ඒත් හවස් වෙනකොට ඒ සේරම සිහිනයක් වුණා. නගරය මුළුමනින්ම විනාශ වෙන තත්වයක තිබුණ නිසා නගරයෙන් පලා යන්න කියා අපට කිව්වා.

රාත්‍රිය ළං වනවාත් සමඟම අහස ගිනි රතට හැරුණේ නිකම් නෙවෙයි! නීරැගොංගෝ කන්දේ ලෝදිය අපි හිටිය නගරය දක්වාම ගලාගෙන ආවා. ලෝදිය දෝර ගලා ආවේ හරියට ගොද ගොද ගගා උතුරන හැළියක් මුණින් අත පෙරළුණා වගේයි. ගිනියම් ලෝදිය ගලා ආ මාර්ගයේ තිබූ සෑම දෙයක්ම විනාශ වුණා. අපි අපේ ගමන් මලු පුළුවන් තරම් ඉක්මනට සුදානම් කළා. ඒ වගේ වේගයකින් කවමදාකවත් අපි අපේ ගමන් මලු අසුරලා නැහැ! ඒ වෙනකොට වේලාව රාත්‍රි හතට කිට්ටු කරලා වගේ තිබුණේ.

පාර දිගේ එක පොදියට දුවනවා

අපි ඉක්මන් කර පාරට බහිනකොට මිනිස්සු එක පොදියට තමන්ගේ දිවි ගලවාගන්න ගෝමා නගරයෙන් පලා යනවා අපි දුටුවා. වැඩි පිරිසක් තමන්ගේ අතට අහු වුණ දේ රැගෙන පා ගමනින් තමයි ගියේ. ඒ යන අයගෙන් හුඟදෙනෙක් තම බඩු මුට්ටු රැගෙන ගියේ තම හිස මත තබාගෙනයි. ටිකදෙනෙක් වාහන තුළ හිර වෙලා ගමන් කළා. හැමෝම ගමන් කළේ රුවන්ඩා මායිමටයි. මනුෂ්‍යයන් මායිම් හැදුවත් ඒ කිසිවකට ගිනි කන්දට බාධා කිරීමට හැකි වුණේ නැහැ. කිසි හමුදාවකට එයට අවහිර කිරීමට බැරි වුණා. සොල්දාදුවන් පවා තම පණ කෙන්ද රැකගැනීමට දුවන සැටි අපේ නෙත ගැටුණා. මේ වගේ වේලාවට වාහනයකට පාරේ යන එක පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ගියේ පයින්මයි. සිත් පිත් නැති මෙම රුදුරු ගිනි කන්දෙන් බේරීමට පොර කකා දුවන ගැහැනුන්, පිරිමින්, දරුවන් සහ අත දරුවන් ඇතුළත් තුන් ලක්ෂයක් පමණ වූ විශාල ජනකායක් අතර අපත් සිටියා. අප පා නැඟූ පොළොවේ ගිගුරුම් දෙන සහ වෙව්ලන ස්වභාවයක් තිබුණා.

හැමෝම පලා ගියේ තමන්ගේ පණ කෙන්ද රැකගන්න. විශාල නගරයකින් පැමිණි ආගන්තුකයන් වූ මමත් මගේ මිතුරාත් අපව බලාගත් සාක්ෂිකරුවන් කිහිපදෙනාත් ඊට ඇතුළත් වුණා. ඔවුන් අප සමඟ සිටීම සහ ඔවුන් අපට දැක්වූ සැලකිල්ල නිසා අපි තුළ සුරක්ෂිතකමක් හැඟුණා. මන්ද මෙය ඉතාමත් පීඩාකාරී සහ වේදනාකාරී තත්වයක්. මිනිස්සු පලා ගියේ ඔවුන්ට රැගෙන යා හැකි දේ එනම් ඇඳුම් පැළඳුම්, හැලි වළං සහ ආහාරපාන ස්වල්පයකුත් රැගෙනයි. මිනිස්සු වැලි වගේ එකිනෙකාව තල්ලු කරමින් පොර කකා දිව්වා. එසේ දුවන සමහරෙක් ඉක්මනට දුවන්න ගොස් කාර්වල වැදී බිම වැටුණා. දුවන ගමන් පැටලිලා බිම වැටුණොත් නම් ඉතිං ඉවරයි තමයි! එහෙම වුණා නම්, රැගෙන යන බඩු බාහිරාදිය විතරක් නෙමෙයි අපිවත් පාගගෙනම තමයි අනිත් අය යන්නේ. කොයිතරම් වේදනාවක්ද! මිනිසුන් මානසික පීඩනයෙන් හෙම්බත් වෙලයි හිටියේ. හැමෝම භයෙන් ගැහෙනවා. අපි ගමන් කරමින් සිටියේ රුවන්ඩාවේ සිට සැතපුම් කිහිපයක් එහායින් තිබුණ ජීසනීවලට. අපි පිටිපස්ස නොබලා පුළුවන් තරම් වේගයෙන් ගමන් කළා.

රැකවරණය ලබමින් ගත කළ රැයක්

අපි තානායමකට ගියා. ඒත් එහි අපට ඉඩ තිබුණේ නැහැ. පැය තුනහාමාරක වෙහෙසකර ගමනකට පසු අපිට ඉන්න ලැබුණේ මිදුලේ තිබුණ මේසේ වටේ ඉඳගෙනයි. අපිට කිසිම අනතුරක් නොවුණ එක ගැනත් අපිත් සමඟ ගමන් ගත් ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ ඉන්න ලැබුණ එක ගැනත් අපිට හරි සතුටුයි. සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට කිසි අනතුරක් සිදු නොවුණ එකත් ලොකු සතුටක්.

අපි රාත්‍රිය ගත කළේ එළිමහනේ. මෙම ආරක්ෂිත ස්ථානයේ සිට ගෝමා නගරයේ ඉහළින් තිබෙන ගිනියම් රතු අහස් කුස අපට හොඳින් පෙනුණා. ඒ දසුන හරිම චමත්කාරජනකයි! හිරු කෙමෙන් කෙමෙන් උදා වුණා. ගිගුරුම් හඬත් රාත්‍රිය පුරාම පැවතුණා. පෙරදා මුහුණ පෑමට සිදු වූ දුෂ්කර තත්වයන් නිසා පවුල් දහස් ගණනක් ඔවුන්ගේ කුඩා දරුවන් සමඟ පලා ගිය හැටි මතක් වෙද්දී ලොකු දුකක් ඇති වුණා.

ඉක්මනින්ම උපකාර ලැබ

ජනවාරි 18වන දින සිකුරාදා මධ්‍යාහ්නය වන විට රුවන්ඩාහි අගනුවර වන කීගාලිහි සිටි සාක්ෂිකරුවන් අප හමුවීමට පැමිණියා. ගෝමා සහ ජීසනීවල සිටි සහෝදරයන්ගෙන් සැකසුණ සහනාධාර කමිටුවක් උපකාර කිරීමට යුහුසුලු වුණා. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ අනාථ වූ සාක්ෂිකරුවන්ව ඒ අවට රාජ්‍ය ශාලා හයෙහි නවාතැන් ගැනීමට සැලැස්වීමයි. මෙම කටයුත්ත එම දිනය ඇතුළත සිදු කිරීමට ඔවුන් සමත් වුණා. අනාථයන්ට උපකාරය සහ මඟ පෙන්වීම ලබාගැනීමට ප්‍රදේශයේ තිබූ රාජ්‍ය ශාලාවලට යන මාර්ගය අයිනේ ප්‍රංශ සහ ස්වාහීලි භාෂාවෙන් සලකුණු යොදා තිබුණා. සාක්ෂිකරුවන් නවාතැන් ගෙන සිටි රාජ්‍ය ශාලාවලට, මූලිකව අවශ්‍ය වන ද්‍රව්‍ය ටොන් තුනක් එදිනම එවනු ලැබුවා. පසුදා, එනම් සෙනසුරාදා කීගාලි සිට ආහාර, බ්ලැන්කට්, ප්ලාස්ටික් ෂීට්, සබන් සහ බෙහෙත් ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථයක් පැමිණියා.

කාංසාව වැඩිව

එම කාලය සැලකිලිමත්ව කටයුතු කළ යුතු කාලයක් වුණා. ඒ වෙනකොට අපේ මනසේ ප්‍රශ්න කිහිපයකුත් තිබුණා. ඒ තමයි, මේ මිනිසුන් හැමදෙනාගේම අවශ්‍යතා ඉටු කරන්නේ කොහොමද? ගිනිකන්ද තවමත් තිබෙන්නේ අනතුරුදායක තත්වයකද? ලෝදිය ගැලීම නතර වන්නේ කවදාද? ගෝමා නගරයට කොයිතරම් විනාශයක් සිදු වෙලාද? වැනි ප්‍රශ්න. ලැබුණ ආරංචි හා දිගින් දිගටම සිදු වූ භූ චලන නිසා සුබවාදී ආකල්පයක් තබාගන්න බැරි වුණා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් ඉතා ඉහළ අගයක තිබූ නිසා වායුගෝලය දූෂණය වෙයි කියා විශේෂඥයන් තුළ සැකයක් තිබුණා. සිදු වූ රසායනික විපර්යාසයන් නිසා කීව් විලෙහි ජලය දූෂණය වෙයිද කියලාත් ඔවුන් සැක කළා.

පිපිරීම සිදු වී, ගත වූ පැය 48ක් පුරා සිත් සසල කරවන වාර්තා අසන්න ලැබුණා. තමන් සිටි ප්‍රදේශය අවට ප්‍රදේශය, ලෝදියවලින් යට වී ඇති නිසා කුඩා දරුවෙක් සහ සාක්ෂිකරුවන් අට දෙනෙකු සමඟින් පුද්ගලයන් 10,000කට එළියට ඒමට නොහැකිව හිර වී සිටිනවා කියා සෙනසුරාදා හවස්භාගය වන විට අපට ආරංචි වුණා. සමහර ප්‍රදේශවල ලෝදිය මට්ටම අඩි හයක් පමණ උසට නැඟ තිබූ අතර සුළඟ විෂ වායුවලින් පිරී තිබුණා. අපි භය වුණා ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් වෙයි කියලා. කිසිම බලාපොරොත්තුවක් තබාගන්න බැහැ. කිසි අනුකම්පාවක් නොමැතිව ගලාගෙන යන ලෝදිය නිසා ගෝමාවල ආසන දෙව්මැදුරත් මුළුමනින්ම පාහේ විනාශ වී තිබුණා. ගෝමාවලට සිදු වූ විනාශය දැක්කාම කවුරුවත් හිතුවේ නැහැ නගරය ආයෙත් ඔලුව උස්සයි කියලා.

සැනසුම්දායක ආරංචියක්

ඉරිදා උදේ 9ට ලෝදියෙන් වට වෙලා හිටිය සහෝදරයෙකුගෙන් අපට දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු කිව්වා තත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව. වැස්ස නිසා ලෝදියෙහි උණුසුම අඩු වෙමින් තිබූ අතර වාතාශ්‍රය පිරිසිදු වෙමින් පැවතුණා. ඒත් තවම ලෝදිය උණුසුම්. ඒ නිසා ටිකක් භයානකයි. මිනිස්සු ගලා යන ලෝදිය හරහා ගොස් ආරක්ෂිත ස්ථානයක් සොයාගැනීමට පටන් අරන්. නගරය මුළුමනින්ම විනාශ වෙලා නැහැ.

ඒක තමයි මේ සිද්ධිය වුණාට පස්සේ අහන්න ලැබුණ පළවෙනි ශුභාරංචිය. ගිනි කන්ද ටිකක් නිහඬ වෙලා තිබුණා වගේයි. නමුත් ඒ අවට සිටින විශේෂඥයන් විවිධ මත ඉදිරිපත් කළා. අපි කොහොමහරි කීව් විලේ අනෙක් කෙළවරේ පිහිටි අසල්වැසි නගරයක් වූ බූකාවූ සමඟ පණිවුඩ හුවමාරු කළා. එහිදී අපට දැනගන්න ලැබුණා සාක්ෂිකාර පවුල් පහක් සහ දරුවන් තුන්දෙනෙක් තම දෙමාපියන් නොමැතිව බෝට්ටුවලින් බූකාවූ නගරයට පැමිණ තිබෙනවා කියලා. එම නගරයේ සිටින සාක්ෂිකරුවන් ඔවුන්ව රැකබලා ගැනීමට අවශ්‍ය පියවර අරගෙන තිබුණා.

අපිට ආපසු යන්න පුළුවන්!

ජනවාරි 21වන සඳුදා ජීසනීවල විපතට පත් වූ අයව දිරිගන්වන්නත් සනසන්නත් අපට හැකි වුණා. ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද කියා සොයා බලන්නත් හැකි වුණා. රාජ්‍ය ශාලා හයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි සහෝදරයන් දැන් හොඳින් සංවිධානය වෙමින් සිටිනවායි කියා අපට දැනගන්න ලැබුණා. පලා ආ අයගේ සංඛ්‍යාව දරුවන්ද ඇතුළුව 1,800දෙනෙක් බව ගණනය කරගැනීමට හැකි වුණා.

අනාගතයේ මොනවා සිදු වෙයිද? අනාථවූවන්ට ඉක්මනින්ම කඳවුරු තනා දීමට ප්‍රාදේශීය බලධාරීන් සැලසුම් කළා. ඒත් 1994 සිදු වූ සමූල ඝාතනයෙන් බේරී අනාථ කඳවුරුවල සිටීමෙන් ලද අමිහිරි අද්දැකීම තවමත් සමහර අයගේ මතකයේ රැඳී තිබෙනවා. අපි ගෝමා නගරයට යන්න තීරණය කළා. දහවල් වන විට එහි යෑමට අපිට හැකි වුණා. නගරය සියයට 25ක් පමණ විනාශ වෙලා තිබුණා. නගරය හරහා ගලා ගිය ලෝදිය ඝන වෙමින් පැවතුණා. අපිට ඒ මත පය තබා යන්න පුළුවන් වුණා. ඒත් එය ඒ වන විටත් රස්නෙයි. එයින් මුදාහැරිය වායුන් වායුගෝලයට එකතු වෙමින් පැවතුණා. මිනිසුන් හුඟදෙනෙක් ආපසු නගරයට පැමිණීමට තීරණය කළා.

අපි දහවල් 1ට පමණ මධ්‍යම ගෝමා සභාවේ ක්‍රිස්තියානී වැඩිමහල්ලන් 33දෙනෙකු සමඟ රැස් වුණා. සියලුදෙනාම එක තීරණයකට එළඹුණා. එනම් “අපි ගෝමාවලට යමු ඒක තමයි අපේ ගම.” ඊළඟ ප්‍රශ්නය තමයි නැවතත් ගිනි කන්ද පිපිරෙයිද? “ඒක අපිට සාමාන්‍ය දෙයක්.” ඊට ලැබුණු පිළිතුරයි ඒ. ඔවුන් ඉක්මනින් ගමට නොගියා නම් මිනිස්සු ඔවුන්ගේ දේපළ කොල්ලකයි කියා ඔවුන් බිය වුණා. ඊළඟ දවසේ පලා ගිය සියලුම සාක්ෂිකාර පවුල් ගෝමා නගරයට ආපසු පැමිණියා. මායිම පසු කර ගිය 3,00,000ක් පමණ ජනකායෙන් විශාල සංඛ්‍යාවක් විපතට හසු වූ නගරයට නැවතත් පැමිණියා.

සතියකට පසු

නැවතත් නගරය තුළ සුපුරුදු ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතිනවා. පෙනෙන විදිහට නගරය අභාවයට යන එකක් නැහැ. ලෝදිය නිසා බෙදී තිබූ නගරය නැවත එක්කාසු කිරීම සඳහා ලෝදිය සූරා දමා මට්ටම් කිරීමට ඉක්මනින්ම කටයුතු කළා. ලෝදිය ගලා ගිය මාර්ගයේ තිබූ සෑම දෙයක්ම විනාශ වෙලා. නගරයේ තිබූ වෙළඳ මධ්‍යස්ථානය සහ පාලක අංශය විනාශ වී තිබුණා. ගුවන් ගමන් පථයේ තුනෙන් එකක් විනාශ වී ඇති බව ගණන් බලා තිබුණා.

සෑම දෙයක්ම නැති වී අන්ත අසරණ තත්වයට පත් වූ අය අතර සාක්ෂිකාර පවුල් 180ක් සිටින බව නිවැරදි වාර්තාවලින් පැහැදිලි වුණා. අනාථව සිටි ස්ත්‍රීන්, පුරුෂයන්, සහ දරුවන් 5000කට දිනපතා අවශ්‍ය කරන ආහාර පාන ලබා දීමට සහනාධාර කමිටුව කටයුතු සූදානම් කළා. බෙල්ජියම, ප්‍රංශය සහ ස්විට්සර්ලන්තයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් අවතැන් වූ අයට තාවකාලික නිවාස තනාගැනීමටත් විනාශයට පත් වූ රාජ්‍ය ශාලා වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම සඳහා තාවකාලික කූඩාරම් තැනීමටත් අවශ්‍ය කැන්වස් රෙදි තොගයක් නැවෙන් ගොඩබානු ලැබුවා. සමහර සාක්ෂිකාර පවුල්වල අයගේ ගෙවල් එතරම් විනාශ වී තිබුණේ නැහැ. ඒ නිසා අවතැන් වූ අයට ඔවුන් ඉඩ පහසුකම් ලබා දුන්නා. අනෙක් අයට තාවකාලික නිවාසවල නවාතැන් ගැනීමට සිදු වුණා.

ජනවාරි 25වන සිකුරාදා. එදිනට බිහිසුණු රාත්‍රිය හමාර වෙලා හරියටම සතියක් ගත වෙලා. එදින ගෝමා පාසැල් භූමියේදී ශුද්ධ ලියවිලි යොදාගෙන දුන් දිරිගන්වනසුලු කතාව ඇසීමට 1,846දෙනෙකු පැමිණ සිටියා. යෙහෝවා සිය සංවිධානය මාර්ගයෙන් දුන් සහනය සහ සහයෝගය අගය කරමින් සහෝදරයන් එවනු ලැබූ ප්‍රකාශයන් රාශියක් එම අවස්ථාවේදී ඉදිරිපත් කළා. මොන දුෂ්කර තත්වයක් තිබුණත් සහෝදරයන් ළඟ තිබූ ධෛර්යය සහ ශක්තිමත් ඇදහිල්ල ආගන්තුක අපගේ සිතට කාවැදුණා. විපත්ති මැද වුණත් සහෝදර කැලක් මෙන් සදාකාලික සැනසිල්ල ලබා දෙන සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීමෙහි එක්සත් වීමට ලැබීම මොනතරම් ප්‍රසන්න දෙයක්ද!—ගීතාවලිය 133, 1, NW; 2 කොරින්ති 1:3-7.

[පාදසටහන]

a ස්වාහීලි භාෂාවෙන් එම කන්ද හඳුන්වන්නේ “ගිනි කන්ද” යන අරුත් ඇති මූලිමා යා මෝටෝ යන වදනෙන්.

[22, 23වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ඊතලවලින් සංකේතවත් කරන්නේ ලෝදිය ගලා ගිය ආකාරය

කොංගෝ (කින්ෂාසා)

නීරැගොංගෝ කන්ද

↓ ↓ ↓

ගෝමා ගුවන් තොටුපොළ ↓ ↓

↓ ගෝමා

↓ ↓

කීව්විල

රුවන්ඩා

[23වන පිටුවේ පින්තූර]

ගෝමා නගරයේ සිටි දස දහස් ගණනකට උන්හිටි තැන් හැර දමා යෑමට සැලැස්වූයේ මේ ලෝදිය දහරයි

[හිමිකම් විස්තර]

AP Photo/Sayyid Azim

[24, 25වන පිටුවේ පින්තූර]

සතියක් ඇතුළත සාක්ෂිකරුවන් තම ක්‍රිස්තියානි රැස්වීම් නැවතත් සංවිධානය කළා