Skip to content

පටුනට යන්න

පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩු දෙන විට . . .

පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩු දෙන විට . . .

පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩු දෙන විට . . .

වර්ෂ 1988 ජූලි 6වනදා අත්ලන්තික් සාගරයෙහි උතුරු මුහුදේ පයිප ඇල්ෆා නමැති තෙල් ළිං කැණීම් අට්ටාලයේ වැඩ කළ සේවකයෝ ගෑස් පොම්පයක් අලුත්වැඩියා කිරීමට පටන්ගත්හ. අලුත්වැඩියා කිරීමේ කාර්යය සම්පූර්ණ කිරීමට ඔවුන්ට නොහැකි විය. අතරමඟ පණිවිඩ හුවමාරුවේ සිදු වූ ඇනහිටීමක් නිසා ඊළඟ වැඩ මුරය සඳහා පැමිණි සේවකයෝ පොම්පය විවෘත කළෝය. විගස ගින්නක් ඇති විය. සේවකයෝ සිර වී සිටියේ මුහුදු මට්ටමෙන් මදක් ඉහළට වෙන්න සකසා තිබුණ අට්ටාලයේ නිසා දිවි ගලවාගැනීමට කිසිදු මඟක් නොතිබුණ අතර එහි සිටි 167දෙනාම ජීවිතක්ෂයට පත් විය.

ඉන් වසර 12කට පසු 2000 ජූලි 25වන දින අධිවේගී ජෙට් යානයක් ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළේ ධාවන පථයේ සිට වේගයෙන් ඉහළට පියාසර කිරීමට සුදානම් වනවාත් සමඟම ධාවන පථයේ තිබූ ලෝහ කැබැල්ලක් හේතුවෙන් එහි ටයරය පිපිරී ගියේය. ඉන්පසු යානයේ පියාපතට සවි කර තිබූ ඉන්ධන ටැංකිය පුපුරා ගිය අතර වම් එන්ජිම තිබෙන ස්ථානයට ඉන්ධන ගලා ගිය නිසාවෙන් බලය ඇනහිටියේය. එහි ප්‍රතිඵලය, මීටර 60ක් පමණ දුරට විහිදුණ ගින්නක් ඇතිවීමය. විනාඩි දෙකකට පසුව ගුවන්යානය හෝටලයක් මතට කඩා වැටුණේ යානයේ සිටි සියලුදෙනාවත් හෝටලයේ සිටි කිහිපදෙනෙකුවත් මරුමුවට පත් කරවමිනුයි.

ජේම්ස් චිල්ස් විසින් රචිත ග්‍රන්ථයක (Inviting Disaster—Lessons From the Edge of Technology) මෙම අනතුරු ගැන විශ්ලේෂණය කර තිබුණේ මෙලෙසයි. “නවීන ලෝකය තුළ අප වට වී සිටින්නේ නොයෙකුත් යන්ත්‍රෝපකරණවලින්. ඉන් සෑම එකක්ම අපේ අණසක යටතේ තබාගන්න බැහැ. ඒ නිසා පුංචි අත්වැරැද්දකින් වුණත් අතිවිශාල පාඩුවක් සිදු විය හැකි බව අප තේරුම්ගත යුතුයි.” චිල්ස්ගේ ග්‍රන්ථය පිළිබඳව සයන්ස් සඟරාව මෙසේ අදහස් දක්වා තිබුණි. “පසුගිය අවුරුදු සිය ගණන පුරා පුදුමසහගත ලෙස විද්‍යාව සහ තාක්ෂණය දියුණුවක් ලබා තිබෙනවා. එය ඇත්තෙන්ම විස්මිතයි. එමනිසා සීමාවකින් තොරව අවට ලෝකයේ සිදු වන සෑම දෙයක්ම තේරුම්ගැනීමටත් සොයා බැලීමටත් හැකියි කියා අපට සිතෙන්න පුළුවන්. එම හේතුව නිසාම පෙරට වඩා වර්තමානයේ දේවල් වැරදීමට තිබෙන ඉඩ කඩ අඩුයි කියා නම් සිතීම මෝඩකමක්.”

වඩා අනතුරුදායක තාක්ෂණ ක්ෂේත්‍රයන් ගැන අදහස් දක්වමින් සයන්ස් සඟරාව පළ කරන්නේ මෙවන් අදහසකි. “පුංචි වැරදීමක් නිසාවෙන් මහත් විනාශයක් ඇති විය හැකි තාක්ෂණ ක්ෂේත්‍රයන්වල එවැනි අත්වැරදීම් සිදු නොවීමට වගබලා ගත යුතුයි. ඒ කියන්නේ එවැනි ක්ෂේත්‍රයන්වලදී අප පරිපූර්ණත්වය අපේක්ෂා කළ යුතුයි.” ඒත් මනුෂ්‍යයාගේ අතීත වාර්තා දෙස බැලූ විට එවන් දෙයක් අත් කරගත හැකියි කියා සිතිය හැකිද? කොහෙත්ම නැත. එමනිසා අත්වැරදීම් නිසාවෙන් එවන් විනාශයන් දිගින් දිගටම සිදු වෙයි කියා අපේක්ෂා කළ හැකියි.

එවන් අතපසු වීම් සදහටම සිදු නොවනු ඇත. ජීවිතය කෙටි කිරීමට හේතු වන මිනිස් අසමත්කම් හෝ සීමිත හැකියාවන්ගෙන් තොර අනාගතයක් දේවභයැති මනුෂ්‍යයන්ට බලාපොරොත්තු විය හැකියි. එයට හේතුව, දෙවි තම ස්වර්ගික රාජ ආණ්ඩුව මගින් මරණය, දුක සහ වේදනාවට මඟපාදන සෑම දෙයක්ම තුරන් කිරීමට යන හෙයිනි.—මතෙව් 6:9, 10; එළිදරව් 21:3, 4.

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Toshihiko Sato