Skip to content

පටුනට යන්න

බ්‍රිතාන්‍යයේ බැජර්—වන වදුලේ රජා

බ්‍රිතාන්‍යයේ බැජර්—වන වදුලේ රජා

බ්‍රිතාන්‍යයේ බැජර්—වන වදුලේ රජා

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

වන වදුලේ නිහඬතාව බිඳ දමමින් කලු බිම්සැරියාගේ ගී නාදය පැතිරෙමින් තිබියදී මා සිල්ව බර්ච් කොටයක අසුන්ගත්තේ කෙමෙන් කෙමෙන් හිරු අවරට ඇදී යන නිමේෂයේදීය. ඇද හැළුණු වරුසාවෙන් තෙත් බරිත වූ තුරුලතාවලින් නැවුම් සුවඳක් විහිදී යන්නට විය.

බැජර්ලාව දැකබලා ගැනීමේ අරමුණින් මා එහි ගිය බැවින් මදනල හොඳින් හමන තැනක් සොයා හිඳගතිමි. බැජර්ලාට පුංචි ඇස් තිබෙන අතර උන්ගේ කන්වල සුදු වයිරම් වැටී ඇත. එහෙත් උන්ගේ ඇසීමේ හා ගඳ සුවඳ දැනීමේ තියුණු හැකියාව කිසි සේත් අවතක්සේරු නොකිරීමට වගබලා ගත්තෙමි. ශබ්දයක් ඇසෙන හෝ යමෙකු ළඟපාත සිටින බව දැනෙන සැනින් ඌ යළිත් ගුල තුළට රිංගා මුළු රාත්‍රියේම එහි ගත කරන බව මම දැන සිටියෙමි.

මීටරයක් පමණ දිගැති, සෙන්ටිමීටර් 30ක් පමණ උසැති හා කිලෝග්‍රෑම් 12ක් පමණ බරැති විශාල යුරෝපියානු බැජර් සැංගී වෙසෙන්නෙකි. අළු පැහැති ගොරෝසු රෝම වැස්මකින් ආවරණය වී ඇති උගේ මුහුණ හා උදරය කලු පැහැතිය. ඌට කලු කොට පාද හා බූසියට වැඩුණු අළු පැහැති කොට වලිගයක් තිබේ. සෑම පාදයකම ශක්තිමත් නිය සහිත ඇඟිලි පහක් තිබේ.

හොම්බ සහ කන පසුකර දිවෙන සුදු පළල් ඉරි ඌටම ආවේණික ලස්සනක් ආරූඪ කරනවා පමණක් නොව ඒවා මතභේදයට ලක් වූ විෂයක්ද වේ. ගනඳුරු රැයකදී පවා තම වර්ගයාව හඳුනාගැනීමට එම ඉරි බැජර්ලාට උපකාර වන බව ඇතමුන් පවසනවා වුවත්, උනුන් හඳුනාගන්නේ සුවඳින් බව අපි දනිමු. මේ ඉරිවලට හේතුව කුමක් වුවත් ඒවා නිසා බැජර්ට කඩවසම් පෙනුමක් ලැබේ.

බැජර් නිතර දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයේ ගම්බද පෙදෙස්වලය. පුරුද්දක් වශයෙන් ගුල් හාරන බැජර් තම නිවහන සාදාගැනීමට දරන වෑයම අත් නොහරින්නෙකි. මෙලෙස ඌ උමං මාර්ග හා කාමර සහිත ගුල් හාරාගනියි. ගුලක විෂ්කම්භය මීටර් 30ක් පමණ විය හැකි අතර සංකීර්ණ වූ සැලැස්මකට අනුව සාදන ගුල් මීටර් 300ක් පමණ දිගු විය හැක. නිශාචර සත්වයෙකු වන බැජර් තම නිවහනේ කාමර දහවල් කාලයේදී නිදන කාමර ලෙස භාවිත කරයි. ගෑනු සතා පැටවුන් දැමීම සඳහා වියළි කැකිල්ල කොළ හා තණකොළ ආදිය අතුරා විශේෂයෙන් සකස් කළ ස්ථානයක් භාවිත කරන අතර ඒවා සාදා තිබෙන්නේ නිසි අමුද්‍රව්‍ය යොදාය.

නිවහනට ප්‍රවේශ වීමට පොළොව මතුපිට තැන් කීපයක්ම තිබෙන අතර බොහෝවිට ඔල්ඩ ගස්වලට නුදුරෙන් හා හෝතෝන් සහ බ්‍රැම්බල් පඳුරු අතරද ගුල්වල දොරටු දක්නට ඇත. එංගලන්තයේ තිබෙන දොරටු 50කට වඩා වැඩියෙන් ඇති ඇතැම් ගුල් වසර 150කට වඩා පැරණි ඒවාය. එකම පවුලේ පරම්පරා කීපයකටම එහි නවාතැන් ගත හැකිය. සාමාන්‍ය ආයු කාලය වසර දෙකේ සිට තුන දක්වා වුවත්, ඇතැම් බැජර්ලා වසර 15ක කාලයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වීමට ඉඩ තිබේ.

පස්, වැලි හා ගල් ඉවත් කර සාදන ලද දොරටු අසල විශාල පස් කණ්ඩි දක්නට ලැබෙන හෙයින් බැජර් නිවහනක් හඳුනාගැනීම අපහසු නොවේ. නිවහනෙන් පිටතට දමා තිබෙන දේ දකින ඔබට සත්වයාගේ තරම වටහාගත හැකි වේ.

සත්වයා නිවහනේ සිටීදැයි ඔබ දැනගන්නේ කෙසේද? පළමුවෙන්ම බැජර්ගේ නිවහන අවට වර්චස් කුටි තිබේදැයි විමසිලිමත් වන්න. ඒවා තිරස් අතට සෙන්ටිමීටර් 15 සිට 23 දක්වාවූද, සිරස් අතට සෙන්ටිමීටර් 23ක්වූද නොගැඹුරු වළවල් සේ දක්නට ලැබේ. උන්ගේ අසූචි, විශේෂයෙන්ම ඒවා අමු නම් උන් නිවහන තුළ සිටින බවට එය ඉඟියකි. නිවහන කරා දිවෙන අඩි පාරවල් තිබේදැයි සෝදිසි කරන්න. ගිම්හානය පවතින මාසවලදී තුරුලතා පාගා දමා තිබේදැයි බලන්න. මඩ සහිත ප්‍රදේශයක නම් බැජර්ගේ පාසටහන් තිබේද නැතහොත් නිවහන ළඟපාත තිබෙන ගස්වල මඩ සලකුණු තිබේද නැතහොත් පූසෙකු මෙන් දිග ඇදී උන්ගේ ශක්තිමත් නියවලින් ගස් පහුරු ගා තිබේද කියා බලන්න. නිවහන විශාල නම් නිරීක්ෂණය කිරීම එතරම් පහසු දෙයක් නොවේ. මන්ද වෙනත් දොරටුවකින් බැජර් පිටව යා හැකි බැවිනි. එබැවින් උදේ වරුවක ගොස් සෑම විවරයකටම ඉන්නක් ගසන්න. ඉණි පැත්තකට තල්ලු කර උන් පිටව ගොස් තිබෙන්නේ කුමන දොරටුවලින්දැයි පසුදා උදෑසන ඔබ දකිනු ඇත.

ඌ ආහාර සොයා රාත්‍රි කාලයේදී බොහෝ ඈතකට ගමන් කරන්නේ ඕක් හෝ බීච් මාස්ට් ගෙඩි සොයමිනි. එසේ නැතහොත් ඌ ඉව අල්ලා හා පැටවුන් හෝ දෙබරුන්ගේ කැදලිවල සිටින පිලව් කා දැමිය හැක. උගේ ප්‍රධාන ආහාරය කුමක්ද? ගැඩවිලන්!එපමණක් නොව, කැලෑ පලතුරු, බ්ලූබෙල් පැළෑටිවල අල, හතු වර්ග හා කුරුමිණි වර්ග යනාදි ඕනෑම දෙයක් ඌ ආහාරයට ගනියි. ජූලි මාසයේ එක් වැසිබර දිනයකදී බැජර්ලා එන තෙක් මා බලා සිටියා මට මතකයි. එදා උන් තම කැදැල්ලෙන් වැඩි ඈතකට නොගියේ උස් තණ බිම් මත පතිත වූ වර්ෂාව නිසා රසවත් ආහාරයක් වන කලු හම්බෙල්ලන් රාශියක් තම නිවහන අසලටම ආ බැවිනි.

බැජර්ලා සාමාන්‍යයෙන් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියට සක්‍රීය වන්නේ ජූලි මාසයේදීය. පෙබරවාරි වන විට උන් පැටවුන් දමන අතර වරකට පැටවුන් හතරක් හෝ පහක් දමයි. මාස තුන වන විට ගුලෙන් පිටතට පැමිණෙන පැටව් ගුලේ දොරටුව අසල සෙල්ලම් කරති. පැටවුන් දුව පැන ඇවිදීමට පටන්ගත් විට පියා සහ මව යන දෙදෙනාම එකතු වී අතුරා ඇති තණකොළ ආදිය ඉවත් කොට අලුත් ඒවා දමති. පිළිවෙළකට පිරිසිදුව සිටින බැජර් තම නිවහනද පිරිසිදුව තබාගැනීමට සෑහෙන වෙහෙසක් දරයි. නිදාගැනීමට භාවිත කරන වියළි කැකිල්ල කොළ හා තණකොළ ආදියට අවශ්‍ය වාතාශ්‍රය ලබා දීමට සරත් හා වසන්ත සමය සුදුසු කාලවල් වන නමුත් වසරේ ඕනෑම කාලයකදී උන් විසින් එම කාර්යය කිරීමට ඉඩ තිබේ. දෙමාපියෝ එක්වී පරණ වියළි තණකොළ හා කැකිල්ල කොළ අයින් කර අලුත් ඒවා දමති. එක රැයකදී මේවායින් මිටි 30ක් වැනි සංඛ්‍යාවක් එකතු කරගැනේ. උන් මේවා නිකට හා ඉදිරි පාදවල නියපොතු අතර රඳවාගෙන පස්සෙන් පස්සට ඇදෙමින් තම නිවහන තුළට ගෙනයයි.

බැජර්ලා සිය වලිගයට පහළින් තිබෙන ග්‍රන්ථියකින් පිට කරන සැර ස්‍රාවයක් තණකොළ, ගල් හෝ පැළ ඉණි මත පතිත කරන්නේ තමන්ගේ ප්‍රදේශය සලකුණු කිරීමටයි. එකිනෙකාව හඳුනාගැනීමේ පහසුව තකාද උන් එකිනෙකා මත එම ස්‍රාවය පතිත කරයි. පස්සෙන් පස්සට ඇදෙන බැජර්ට මෙම සැර ගන්ධ සලකුණු මගින් තම නිවහනේ දොරටුව පහසුවෙන්ම සොයාගත හැකි වේ.

බිම්සැරියාගේ ගී නදද මැකී ගොස් ඇති බැවින් අඳුර වෙළාගත් වන වදුල දසත පැතිර ඇත්තේ එකම නිහැඬියාවකි. කිසි හැලහොල්මනක් නැතුව එක එල්ලේ බලා සිටියදී කලු හා සුදු ඔළුවක් එළියට එන සැටි ඇස් කොනින් දුටුවෙමි. ටික වේලාවක් නිවහනේ දොරටුව අසල රැඳී සිටින බැජර් ළඟපාත අනතුරක් තිබේදැයි සෝදිසි කරයි. මමයි රජා වගේ දැන් ඌ සැරසෙන්නේ තමන්ට උරුම වී ඇති වැයික්කියේ සවාරියක් යන්නයි.

[20, 21වන පිටුවේ පින්තූරය]

බැජර් අම්මාගේ තිඹිරි ගෙය

නිදන කාමරය

අතුරන ද්‍රව්‍ය

[21වන පිටුවේ පින්තූරය]

බැජර් පැටව්

[21වන පිටුවේ පින්තූරය]

බැජර්ගේ ආහාර වේලට ඕක් ගෙඩි, හතු හා ගැඩවිලන් ඇතුළත්ය

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

බැජර්ගේ පින්තූරු: © Steve Jackson, www.badger.org.uk