Skip to content

පටුනට යන්න

මට ජංගම දුරකථනයක් අවශ්‍යද?

මට ජංගම දුරකථනයක් අවශ්‍යද?

යෞවන අය අසති . . .

මට ජංගම දුරකථනයක් අවශ්‍යද?

“මං ගාව ජංගම දුරකථනයක් නැත්නම් මට පොඩි බයක් දැනෙනවා. කේන්තිත් යනවා.”—අකිකෝ. a

දැන් රටවල් ගණනාවකම ජංගම දුරකථන එන්න එන්නම ජනප්‍රිය වෙමින් පවතිනවා. ජංගම දුරකථනයක් ළඟ තිබීම හරිම පහසුයි, හරිම ප්‍රයෝජනවත්. ඕනෑම තැනකදී ඕනෑම වේලාවකදී ඔබව අමතන්න ඔබේ මිත්‍රයන්ට හා දෙමව්පියන්ට පුළුවන්. ඔබටත් පුළුවන් ඔවුන්ව අමතන්න. දුරකථන තිරයේ අකුරු දර්ශනය කිරීම මගින් කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන් ජංගම දුරකථන වර්ගත් තිබෙනවා. ලන්ඩනයේ පුවත්පතක් වන ද ටයිම්ස් වාර්තා කරන පරිදි “යෞවනයන්, එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට ඇති තම ආශාව තෘප්තිමත් කරගන්නා අලුත්ම ක්‍රමය ඒකයි.” දැන් අන්තර්ජාල හා ඊ-මේල් පහසුකම් සපයන දුරකථන පවා ලබාගත හැකියි.

සමහරවිට ඔබටත් ජංගම දුරකථනයක් ඇති. එහෙමත් නැත්නම් එකක් ලබාගන්න ඔබ අදහස් කරනවා විය හැකියි. කොහොම වුණත්, ඕනෑම කාසියකට පැති දෙකක් තිබෙන බව සැලකිල්ලට ගැනීම වටිනවා. ජංගම දුරකථනයක් ප්‍රයෝජනවත් විය හැකියි. එහෙත් එහි අහිතකර පැත්ත ගැනත් සිතා බලා ඒ ගැන අවබෝධයක් ලබාගැනීම නුවණට හුරුයි. එවිට දුරකථනයක් මිල දී ගන්න තීරණය කළොත් එය නැණවත් ලෙස භාවිත කරන්න පුළුවන් වේවි.

‘වියදම ගණන් බලන්න’

යම් වැදගත් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ‘වියදම ගණන් බැලිය’ යුතුය යන බුද්ධිමත් ප්‍රතිපත්තිය යේසුස් සඳහන් කළා. (ලූක් 14:28) ජංගම දුරකථන සම්බන්ධයෙනුත් එම ප්‍රතිපත්තිය අදාළ කරගත හැකිද? ඇයි නැත්තේ! දැන් සමහරවිට ජංගම දුරකථනයක් ඉතා අඩු මිලකට හෝ නොමිලේ පවා ලබාගන්න පුළුවන් විය හැකියි. නමුත් 17 හැවිරිදි හෙන්නාගේ අද්දැකීමට අනුව “සමහර වේලාවට ඇමතුම්වලට සෑහෙන ලොකු බිලක් ගෙවන්න සිදු වෙනවා.” අනිත් එක, අමතර සේවාවන් ලබාගන්නත් මිල අධික වර්ගයේ දුරකථනයක් ලබාගන්නත් නිතරම වගේ පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා, “මම අර්ධකාලීන රැකියාවක් කරලා ඒකෙන් ලැබෙන මුදල ඉතිරි කරගන්නවා. එතකොට හැම අවුරුද්දකදීම මට අලුත්ම මාදිලියේ දුරකථනයක් ගන්න පුළුවන්” කියා හිරෝෂි පවසනවා. බොහෝ යෞවනයන් කරන්නෙත් එම දේමයි. b

දෙමව්පියන් දුරකථන බිල ගෙවන්න ඉදිරිපත් වුණත් එයට වැය වන මුදල පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම වැදගත්. ජපානයේ සංචාරක අවේක්ෂකයෙක් පවසන්නේ මෙහෙමයි. “සමහර අම්මලා තමන්ගේ දරුවන්ගේ ජංගම දුරකථන බිල් ගෙවන්න ඕනේ නිසාම අමතර අර්ධකාලීන රැකියාවක් කරනවා. ඇත්තෙන්ම කියනවා නම් සමහර අවස්ථාවලදී දරුවන්ට එවැනි දෙයක් අවශ්‍ය නැහැ.” ඔබේ දෙමව්පියන් මත ඒ තරම් ලොකු බරක් පැටවීමට ඔබ කැමති නැති බව නිසැකයි.

‘කාලය කා දමන දෙයක්’

බොහෝදෙනෙක් මුලදී දුරකථන භාවිතය සීමා කළත් සිතුවාට වඩා වැඩි කාලයක් තමන් ඒ සඳහා මිඩංගු කරන බව පසුව ඔවුන්ට පෙනී යන්න පුළුවන්. ඒ නිසා වඩා වැදගත් දේවල් සඳහා කාලය වෙන් කරගන්න ඔවුන්ට බැරි වෙනවා. මිකා, කලින් කෑම මේසයේදී තම පවුලේ අය සමඟ කතා බහ කරමින් වැඩි කාලයක් ගත කළා. නමුත් “දැන් එක් එක්කෙනා කාපු ගමන්ම තම තමන්ගේ ජංගම දුරකථනය අතට අරං කාමරවලට යනවා” කියා ඇය පවසනවා.

“වයස අවුරුදු 16 සිට 20 දක්වාවූ යෞවනයන්ගෙන් තුනෙන් පංගුවක්ම ලිඛිතව අදහස් හුවමාරු කරගන්න වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ ජංගම දුරකථනය මාර්ගයෙන්” බව ලන්ඩනයේ පුවත්පතක් වන ද ගාඩියන් සඳහන් කළා. මෙසේ පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා වැය වන වියදම, වාචිකව පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා වැය වන වියදමට වඩා අඩු වුණත් එම පණිවිඩ ටයිප් කිරීම සඳහා ගත වෙන කාලය නම් ඊට වඩා වැඩියි. මියැකෝ මෙසේ පිළිගන්නවා. “කවුරු හරි මට ‘ගුඩ් නයිට්’ කියලා පණිවිඩයක් එව්වොත් මාත් ‘ගුඩ් නයිට්’ කියලා යවනවා. ඊට පස්සේ ඉතිං පැයක් හමාරක් දිගට හරහට පණිවිඩ හුවමාරු කරගන්නවා. ඇත්තෙන්ම අපි එක් එක්කෙනාට යවන්නේ කිසිම වැදගැම්මකට නැති පණිවිඩ.”

මාසයක් ඇතුළත තමන් දුරකථනය භාවිත කරන කාලය ගණනය කර බැලුවොත් ජංගම දුරකථන භාවිත කරන බොහෝදෙනෙක් පුදුමයට පත් වේවි. ටේජා නම් වූ 19 හැවිරිදි ගැහැනු ළමයෙක් මෙසේ පිළිගන්නවා. “ජංගම දුරකථන කාලය ඉතිරි කරනවා වෙනුවට බොහෝදෙනෙකුගේ කාලය කා දමනවා.” ඔබේ තත්වය අනුව ඔබට ජංගම දුරකථනයක් තිබීම සාධාරණ විය හැකි නමුත් එය භාවිත කරන විට ඒ සඳහා වැය කරන කාලය ගැන සැලකිලිමත් වීම වටී.

යෞවන ක්‍රිස්තියානිවරියක් වන මර්යා පවසන්නේ මෙහෙමයි. “ක්‍රිස්තියානි එක්රැස්වීම්වලදී බොහෝ යෞවනයන් අනවශ්‍ය පණිවිඩ හුවමාරු කරගන්නවා. හැමෝම වගේ එහෙම කරනවා!” ක්‍රිස්තියානි දේවසේවයේ යෙදෙන විටත් යෞවනයන් එවැනි පණිවිඩ හුවමාරු කරගන්නා බව නිරීක්ෂණය කර තිබෙනවා. බයිබලයේ අවවාද කර තිබෙන්නේ මොනයම් පරිත්‍යාගයක් හෝ කරමින් ආත්මික ක්‍රියාකාරකම් සඳහා කාලය සොයාගන්න කියා. (එපීස 5:16, NW) එම වටිනා කාලය දුරකථන ඇමතුම් සඳහා යෙදවීම මොනතරම් නාස්තියක්ද!

රහස් සබඳතා

තවත් අන්තරාවක් ගැන මරී අදහස් දක්වනවා. “දුරකථන ඇමතුම ගෙදරට යන්නේ නැතුව කෙළින්ම පුද්ගලයා වෙතටයි යන්නේ. ඒ හින්දා දරුවන් කාත් එක්කද කතා කරන්නේ කියන එක දෙමව්පියන් නොදන්නවා වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී දරුවන් දුරකථනයෙන් කතා කරනවාද නැද්ද කියාවත් ඔවුන් දන්නේ නැහැ.” ඒ නිසා, සමහර යෞවනයන් විරුද්ධ ලිංගයේ අය සමඟ රහස් සබඳතා පවත්වන්න ජංගම දුරකථන භාවිත කර තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් වෙනත් අය සමඟ අදහස් හුවමාරු කරද්දී හොඳ පුරුදු රැකීම ගැන සුපරීක්ෂාකාරී වුණත් මෙවැනි සබඳතාවලදී ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඒ කොහොමද?

“ජංගම දුරකථනය මාර්ගයෙන් ලිඛිත පණිවිඩ හුවමාරු කරද්දී [යෞවනයන්] කරන්නේ මොනවාද කියා සොයා බැලීමට කිසිවෙකුට නොහැකියි” කියා ලන්ඩනයේ ද ඩේලි ටෙලිග්‍රාෆ් නම් පුවත්පත සඳහන් කරනවා. අදහස් හුවමාරු කරගන්නා පුද්ගලයාගේ කටහඬ නොඇසීමෙන් හා ඔහුව හෝ ඇයව නොදැකීමෙනුත් යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ටිමෝ මෙසේ පවසනවා. “සමහර අය හිතන්නේ ජංගම දුරකථනය මාර්ගයෙන් ලිඛිත පණිවිඩ හුවමාරු කරගැනීමෙන් ඒ තරම් බැඳීමක් ඇති වන්නේ නැහැයි කියා. ඒ නිසා මුහුණට මුහුණ ලා කතා කරද්දී කියන්න ලැජ්ජා දේවල් ඒ වගේ පණිවිඩ හුවමාරු කරද්දී කියන්න ඔවුන් පෙලඹෙන්න පුළුවන්.”

ක්‍රිස්තියානි යෞවනියක් වන 17 හැවිරිදි කෙයිකෝ ජංගම දුරකථනයක් පාවිච්චි කරන්න පටන්ගත් අලුත, මිත්‍රයන් බොහෝදෙනෙකුට ඇගේ දුරකථන අංකය දුන්නා. ටික දවසක් ගෙවුණු පසු ඇගේ සභාවේ පිරිමි ළමයෙක් සමඟ ඇය ලිඛිත පණිවිඩ හුවමාරු කරගන්න පටන්ගත්තා. කෙයිකෝ ඒ පිළිබඳව මෙසේ පවසනවා. “මුලදී අපි කතා කළේ නිකම් දවසේ වෙච්ච සාමාන්‍ය දේවල් ගැනයි. හැබැයි ඊට පස්සේ අපි දෙන්නා අපේ දුක් කරදර බෙදාගත්තා. ජංගම දුරකථනයෙන් අපි අපිටම වෙන් වුණ පුංචි ලෝකයක් මවාගත්තා.”

දේවල් දුරදිග යන්න කලින් ඇය ඇගේ දෙමව්පියන්ගේ හා ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපකාරය ලැබීම සතුටට කරුණක්. ඇය දැන් මෙසේ පිළිගන්නවා. “මට දුරකථනය දෙන්නත් කලින් අම්මලා මට ගොඩක් අනතුරු අඟවලා තිබුණා පිරිමි ළමයින් එක්ක පණිවිඩ හුවමාරු කරගන්න එක ගැන. හැබැයි මම එයාත් එක්ක දිනපතාම අදහස් හුවමාරු කරගත්තා. මම දුරකථනය පාවිච්චි කළේ පාවිච්චි කරන්න ඕන විදිහට නෙවෙයි.” c

බයිබලයේ අපට අවවාද කරන්නේ “යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න” කියායි. (1 පේතෘස් 3:16) මෙයින් අදහස් කරන්නේ ඔබ ජංගම දුරකථනයෙන් යවන පණිවිඩ කාට හරි දැකගන්න හෝ අහන්න ලැබුණොත් “ඔබව ලැජ්ජාවට පත් නොවන” බවට ඔබ සහතික විය යුතු බවයි. එසේ අදහස් දැක්වූයේ කොයිචි. අපේ ස්වර්ගික පියාට රහසින් කිසිවක් කළ නොහැකි බව නිතරම මතකයේ තබාගන්න. බයිබලය පැහැදිලි කරන්නේ මෙසේයි. “[දෙවි] ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. ඔහුගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන් ගන්නේ ඔහුය.” (හෙබ්‍රෙව් 4:13) එහෙමනම්, රහස් සබඳතාවක් පවත්වාගැනීමට වෑයම් කරන්නේ මන්ද?

සීමා තහංචි පනවන්න

ඔබ ජංගම දුරකථනයක් ගන්න කල්පනා කරනවා නම් ඔබේ තත්වය හොඳින් සලකා බලා එය ඇත්තෙන්ම අවශ්‍යද නැද්ද කියා සිතා නොබලන්නේ මන්ද? ඔබේ දෙමව්පියන් සමඟත් ඒ ගැන සාකච්ඡා කරන්න. සමහර අයට හැඟෙන්නේ යෙන්නා නම් තරුණියට හැඟුණු ආකාරයටයි. ඇය පවසන්නේ “ජංගම දුරකථනයක් තිබීම බොහෝ යෞවනයන්ට උසුලන්න බැරි වගකීමක්” කියායි.

ඔබට එවැනි දුරකථනයක් අවශ්‍යයි කියා ඔබ තීරණය කළත් එය පාලනයකින් යුතුව භාවිත කිරීම වැදගත් දෙයක්. එය කරන්නේ කොහොමද? සාධාරණ සීමා තහංචි පනවාගන්න. උදාහරණයකට, දුරකථනය මගින් ලබාගත හැකි සේවාවන් රැසක් තිබිය හැකි නමුත් ඔබ භාවිත කරන සේවාවන් ප්‍රමාණය සීමා කරගන්න. එහෙමත් නැත්නම් ඔබ දුරකථනයේ රැඳී සිටින කාලය හා ඒ වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය සීමා කරගන්න. බොහෝ දුරකථන සමාගම් දුරකථනය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් සපයනවා. කලින් කලට එම වාර්තාව සෝදිසි කර බලා දෙමව්පියන් සමඟ ඔබේ බිල පිළිබඳව සාකච්ඡා කරන්න ඔබට හැකියි. දුරකථන සමාගමට යම් මුදලක් කලින් ගෙවා එම මුදල් ප්‍රමාණයට තම ඇමතුම් සීමා කරගන්න පුළුවන් ආකාරයේ ජංගම දුරකථනයක් භාවිත කිරීම වාසිදායක බව ඇතමෙකුට පෙනී ගොස් තිබෙනවා.

ඔබ ඇමතුම්වලට හා පණිවිඩවලට ප්‍රතිචාරය දක්වන්නේ කොහේ සිටද හා කොයි ආකාරයෙන්ද යන කාරණයටත් කිට්ටු අවධානයක් දෙන්න. ඔබට මඟ පෙන්වීම සඳහා ඔබටම සාධාරණ නීති පනවාගන්න. ෂින්ජි පැහැදිලි කරන්නේ මෙසේයි. “පණිවිඩ ඇවිත් තියෙනවාද නැද්ද කියලා මං බලන්නේ දවසකට එක වතාවයි. මම පණිවිඩයකට උත්තර යවන්නේ ඒක ඇත්තටම වැදගත් එකක් නම් විතරයි. ඒ හින්දා යාළුවෝ දැන් අනවශ්‍ය පණිවිඩ එවන්නේ නැහැ. අනික හදිසිතාවක් තියෙනවා නම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කෙළින්ම මට කෝල් කරනවා.” මෙහිදී වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අදහස් හුවමාරු කරගන්නා අයව තෝරා බේරාගැනීම. ඔබේ දුරකථන අංකය කාටද දෙන්නේ යන්න ගැන සැලකිලිමත් වෙන්න. යහපත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ඔබ නිතරම අදාළ කරගන්නා ප්‍රතිපත්තිය මෙහිදීත් අදාළ කරගන්න.—1 කොරින්ති 15:33.

‘සෑම දේටම . . . කාලයක් ඇත. නිශ්ශබ්දව සිටින්න කාලයක් සහ කතා කරන්න කාලයක්’ තිබෙනවා කියා බයිබලයේ පවසනවා. (දේශනාකාරයා 3:1, 7) ඔව්, ජංගම දුරකථන ‘නිශ්ශබ්දව’ තබාගන්නත් කාලයක් තිබෙන බව පැහැදිලියි. අපි ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන හා දේවසේවයේ සහභාගි වන අවස්ථා දෙවිට නමස්කාර කිරීමට ‘කාලයක්’ මිසක දුරකථනය භාවිත කිරීමට කාලයක් නොවෙයි. ආපන ශාලා හා රඟහල් කළමනාකරුවන් බොහෝවිට ඉල්ලා සිටින්නේ එහි පැමිණ සිටින්නන්ට තම ජංගම දුරකථන විසන්ධි කර තබන්න කියායි. අපි එම ඉල්ලීම්වලට ගරු කරනවා. විශ්වයේ පරමාධිපති අපෙන් ඊට වඩා වැඩි ගෞරවයක් ලබන්න වටින්නේ නැද්ද?

අත්‍යවශ්‍යම ඇමතුමක් අපේක්ෂා කරන විටදී මිසක තමන් වැදගත් කාර්යයක යෙදී සිටින අතරතුර දුරකථනය විසන්ධි කර තැබීමට හෝ නාද නොවන සේ තබාගැනීමට (silent mode) බොහෝදෙනෙක් තීරණය කර තිබෙනවා. සමහර අය ඔවුන්ගේ ජංගම දුරකථනය පහසුවෙන් අතට ගත නොහැකි තැනක තබාගන්නවා. බොහෝ පණිවිඩවලට පසු වේලාවකදී ප්‍රතිචාරය දැක්විය හැකි බව ඇත්තක් නොවේද?

ජංගම දුරකථනයක් ගැනීමට ඔබ තීරණය කරනවා නම් ඔබව පාලනය කිරීමට එයට ඉඩ නොදී එය පාලනයකින් යුතුව භාවිත කරන්න. වඩා වැදගත් දේවලට බාධා නොවන විදිහට දුරකථනය භාවිත කරන්න වගබලා ගන්න. “ඥානවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්ට” කියා බයිබලය අපට උනන්දු කරනවා. (එපීස 5:15) ඉතිං ඔබ ජංගම දුරකථනයක් මිල දී ගන්න තීරණය කරනවා නම් එය ඥානවන්තව භාවිත කිරීමට අදිටන් කරගන්න.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b පාසැල් වේලාවෙන් පසුව කරන රැකියා පිළිබඳව කියවීම සඳහා පිබිදෙව්! 1997 ඔක්තෝබර් 8 කලාපයේ “යෞවන අය අසති—මුදල් ඉපයීමේ ඇති වරද කුමක්ද?” යන ලිපිය බලන්න.

c විරුද්ධ ලිංගයේ කෙනෙක් සමඟ දුරකථනය මාර්ගයෙන් නිතරම කතා කිරීම හෝ පණිවිඩ හුවමාරු කරගැනීම පෙම් සම්බන්ධතාවක් පවත්වනවා හා සමානයි. පිබිදෙව්! 1992 අගෝස්තු 22 (සිංහලෙන් නොමැත) “යෞවන අය අසති—එකිනෙකා සමඟ කතා බහ කිරීමේ ඇති වරද කුමක්ද?” යන ලිපිය බලන්න.

[30වන පිටුවේ පින්තූර]

සමහර යෞවනයන් ජංගම දුරකථනය මාර්ගයෙන් රහස් සබඳතා පවත්වනවා