Skip to content

පටුනට යන්න

“මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය”

“මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය”

“මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය”

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

“ඒඩ්ස් රෝගය තරම් විනාශකාරී යුද්ධයකට කවදාවක්වත් ලෝකයා මුහුණ දී නැත.”—එක්සත් ජනපදයේ මහා ලේකම් කොලින් පවල්.

පළමුවෙනි වතාවට ඒඩ්ස් රෝගය (මානව ප්‍රතිශක්ති ඌනතා රෝගය) ගැන නිල වශයෙන් වාර්තා වුණේ 1981 ජූනි මාසයේදීයි. “ඒඩ්ස් රෝගය ගැන හදාරන්නට පටන්ගත් අපගෙන් කිසිම කෙනෙක් හිතුවේ නැහැ මේ තරම් දරුණු මහා පරිමාණයේ වසංගතයක් බවට එය පත් වෙයි කියා.” එසේ පැවසුවේ HIV/AIDS පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමූහ වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක පීටර් පියෝ. මෙය වසර 20ක් ඇතුළත ඉතා දරුණු මහා වසංගතයක් බවට පත්ව ඇති අතර, මින් ඇඟවෙන්නේ එය තවදුරටත් පැතිර යනු ඇති බවයි.

මෙම HIV වයිරසය (මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය) මිලියන 36කට වඩා වැඩි ගණනකට ආසාදනය වී ඇති බවත්, ඒඩ්ස් රෝගයේ බලපෑම් හේතුවෙන් තවත් මිලියන 22ක් පමණ මිය ගොස් සිටින බවත් ගණන් බලා තිබෙනවා. a වසර 2000දී, ලෝකය පුරා ඒඩ්ස්වලින් මිලියන තුනක් මිය ගිය අතර, එය මෙම වසංගතය ආරම්භ වූ දා පටන් වසරකදී මිය ගිය වැඩිම සංඛ්‍යාවයි. විශේෂයෙන්, වඩාත් ධනවත් රටවල ප්‍රතිප්‍රත්‍ය වයිරස් ඖෂධ භාවිත කළද මෙම තත්වය උද්ගත වී තිබෙනවා.

ඒඩ්ස් රෝගය අප්‍රිකාව ආක්‍රමණය කරයි

අප්‍රිකාවේ සහරා කාන්තාරය අසල දකුණින් පිහිටි ප්‍රදේශවල ගණනය කරන ලද මිලියන 25.3කට වැලඳී ඇති අතර, එය මෙම මහා වසංගතයේ මූලය බවට පත්වී තිබෙනවා. වසර 2000දී, මේ ප්‍රදේශවලින් පමණක් ඒඩ්ස් බලපෑමෙන් මිලියන 2.4ක් මිය ගිය අතර, එය සමස්ත ලෝකයේම ඒඩ්ස් රෝගයෙන් මිය ගිය අයගෙන් සියයට 80ක ප්‍රතිශතයක්. මෙම ප්‍රදේශවල මරණවලට ප්‍රධාන හේතුවද ඒඩ්ස් රෝගයයි. b

ලෝකයේ මොනයම් රටකටම වඩා ඒඩ්ස් රෝගය වැලඳුණු ඉහළම සංඛ්‍යාවක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ. එය මිලියන 4.7ක් බව ගණන් බලා තිබෙනවා. මේ රටේ සෑම මසකම HIV වයිරසය ආසාදිතව ළදරුවන් 5,000ක් පමණ මෙලොව එළිය දකිනවා. වර්ෂ 2000 ජූලි මාසයේ ඩර්බන් නුවර පැවති 13වන ජාත්‍යන්තර ඒඩ්ස් සම්මන්ත්‍රණයේදී දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මෙසේ පැවසුවා. “දකුණු අප්‍රිකාවේ තරුණයන් දෙන්නෙකුගෙන් එක්කෙනෙක් එනම් අඩක්ම ඒඩ්ස් රෝගයෙන් මිය යනු ඇති බවට දැනගන්න ලැබීම හද කම්පා කරවන දෙයක්. කම්පිත කරවන කාරණය නම්, සංඛ්‍යා ලේඛන මගින් හෙළි වන හැටියට රෝගය බෝ වෙන සියලු ක්‍රම සහ ඒ සමඟ මුසු වෙන මිනිස් දුක් ගාවිනාවන් වළක්වාගත හැකි බවයි, ඒ වගේම වළක්වාගැනීමට තිබූ බවයි.”

අනිකුත් රටවල් ආක්‍රමණය කරන ඒඩ්ස්

මෙම රෝගය බෝවී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව නැඟෙනහිර යුරෝපය, ආසියාව සහ කැරිබියන් දූපත්වලද ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. වර්ෂ 1999 අවසානයේදී නැඟෙනහිර යුරෝපයේ ඒඩ්ස් වැලඳුණු සංඛ්‍යාව 4,20,000ක් වුණා. වසර 2000 අවසන් වන විට, එම සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් 7,00,000ක් දක්වා ඉහළ නැඟ තිබූ බව ගණනය කෙරුණා.

අමෙරිකාවේ විශාල නගර හයක කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, HIV ආසාදිතයන්ගෙන් සියයට 12.3ක්ම සමලිංගික සේවනයේ යෙදෙන තරුණයන් බවයි. ඒ පමණක් නොවෙයි, තමන්ට HIV වැලඳී ඇති බව දැනගෙන හිටියේ ඔවුන්ගෙන් සියයට 29ක් පමණයි. මෙම සමීක්ෂණය මෙහෙයවූ වසංගතවේදීන් පැවසුවේ මෙසේයි. “තමන් HIV ආසාදිත බවට දැන සිටියේ පුරුෂයන් ඉතා ස්වල්පදෙනෙකු පමණක් වීම ගැන අපි ඉතා දුක් වුණා. මින් අදහස් කරන්නේ අලුතෙන් මෙය වැලඳුණු අය මේ ගැන කිසිම දැනීමක් නැතිව තවත් අයට එය බෝ කරනවා කියන එකයි.”

වර්ෂ 2001 මැයි මාසයේදී ස්විට්සර්ලන්තයේ පැවති ඒඩ්ස් පිළිබඳ විශේෂඥයන්ගේ රැස්වීමකදී, ප්‍රකාශයට පත් වුණේ මෙම රෝගය “මිනිස් ඉතිහාසයේ මහ දරුණුතම වසංගතය” බවයි. කලින් සටහන් වුණ පරිදි, මෙම ඒඩ්ස් වසංගතය දරුණු ලෙස පහර දී තිබෙන්නේ විශේෂයෙන්ම අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි ප්‍රදේශවලටයි. ඊට හේතුව කුමක්ද යන්න ගැන අපගේ ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇති.

[පාදසටහන්වල]

a මෙහි සඳහන් වී ඇති සංඛ්‍යා UNAIDS විසින් ප්‍රකාශිතයි.

b 2001 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ පිටු 14-15 බලන්න.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කම්පිත කරවන කාරණය නම්, . . . රෝගය බෝ වෙන සියලු ක්‍රම සහ . . . මිනිස් දුක් ගාවිනාවන් වළක්වාගත හැකි වූ . . . බවයි, ඒ වගේම වළක්වාගැනීමට තිබූ බවයි.”නෙල්සන් මැන්ඩෙලා

[2, 3වන පිටුවේ පින්තූරය]

අදදින HIV ආසාදනය වී ඇති බොහෝදෙනෙක් ඒ බව දන්නේ නැහැ

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN/DPI Photo 198594C/Greg Kinch