Skip to content

පටුනට යන්න

සාමයේ බලාපොරොත්තු සුන් වී යයිද?

සාමයේ බලාපොරොත්තු සුන් වී යයිද?

සාමයේ බලාපොරොත්තු සුන් වී යයිද?

“අප අද ජීවත් වන්නේ දරුණු සුළි සුළඟකට මැදි වූ අය මෙන් කියායි අපට හැඟෙන්නේ. පෙර නොවූ විරූ ව්‍යසනයකට අප මුහුණ පා සිටින බව අපට දැනෙයි.”—“ලා රේපුබ්ලිකා” පුවත්පත, රෝමය, ඉතාලිය.

පසුගිය වසරේදී නිව් යෝර්ක් නගරයේ හා වොෂිංටන් ඩී.සී.හි සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු බොහෝදෙනෙක් මනුෂ්‍යවර්ගයාගේ අනාගතය ගැන වෙන කවරදාටත් වඩා ගැඹුරින් කල්පනා කරති. ගිනිගත් නිවුන් කුලුනු කඩා වැටෙන ආකාරය හා දිවි ගලවාගත් අයගේ මුහුණුවලින් දිස් වූ අසරණ වූ හැඟීම් රූපවාහිනි තිරයේ දිස් වූ වාර ගණන කිව නොහැකි තරම්ය. මෙම දර්ශන දුටු ලොව පුරා වෙසෙන ජනයාට දැනුණේ දැඩි වේදනාවක් හා ශෝකයකි. ලෝක ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණු බව ශෝකයෙන් පෙළුණු ජනයාට දැනුණි. ඇත්තෙන්ම ලෝක ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණිද?

වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදායින් පසු යුධ ගිනි ඇවිළිණි. කලින් එකිනෙකාට එදිරිව සිටි ජාතීහු ත්‍රස්තවාදය මර්දනය කිරීමේ සාමූහික වෑයම්වලට සහයෝගය දීමට වහාම අත්වැල් බැඳගත්හ. සිදු වූ මරණ සංඛ්‍යාව හා විනාශය අධික විය. කෙසේවෙතත් එම ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟම ලොව පුරා වෙසෙන බහුතරයකට සුවිශේෂී වෙනසක් දැනුණු බව දක්නට තිබේ. එම වෙනස නම් සුරක්ෂිතබවක් නොමැති බව දැනීමයි. ලෝකයේ කිසිම තැනක් කිසිම කෙනෙකුට සුරක්ෂිත නැතැයි යන හැඟීම බොහෝදෙනෙක් තුළ දැන් දක්නට තිබේ.

තමන්ද මහ මෙරක් බඳු ගැටලුවලට මුහුණ පාමින් සිටින බව ලෝක පාලකයන්ට හැඟෙයි. දිළිඳුකම හා අන්තගාමී අදහස් මගින් ත්‍රස්තවාදය ඇවිළෙන බව පෙනෙන්න තිබෙන නිසා එය ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වීම වැළැක්විය හැක්කේ කෙසේද යන්න ගැන මාධ්‍යවේදීහු හා විචාරකයෝ කල්පනා කරති. මෙම ව්‍යසනකාරී තත්වයට විසඳුම් සෙවිය හැකි කිසිවෙක් නැති බව පෙනෙන්න තිබේ. අද ලෝකය පුරා අයුක්තිය මොනතරම් පැතිරී තිබෙනවාද කියනවා නම් සෑම සිදුවීමකින්ම පාහේ වෛරය හා පළිගැනීම ජනිත කරවයි. සමාජයේ පවතින නපුරුකම් තුරන් කර දැමිය හැකිද කියා සෑම පසුබිමකම පාහේ සිටින ජනයා කල්පනා කරයි. යුද්ධය හා එමගින් ඇති වන දුක්ඛිත තත්වය, මරණය හා විනාශය කවදා හෝ නැති කර දමනු ලැබේද?

මේ ප්‍රශ්නවලට උත්තර අපේක්ෂාවෙන් දසලක්ෂ ගණනක්දෙනා හැරෙන්නේ ප්‍රධාන ආගම් වෙතය. තවත් පිරිසක් සැකයෙන් පසු වෙති. ඔබ ගැන කුමක් කිව හැකිද? එවැනි ප්‍රශ්නවලට උත්තර දීමට ආගමික නායකයන්ට හැකියි කියා ඔබ සිතනවාද? යාච්ඤා කිරීමෙන් සාමය ගෙන ඒමේ කාර්යයට දායක වීමට ඔවුන්ට හැකිද?