Skip to content

පටුනට යන්න

සාමය සොයා අසිසිහි රැස් වූ ආගමික නායකයෝ

සාමය සොයා අසිසිහි රැස් වූ ආගමික නායකයෝ

සාමය සොයා අසිසිහි රැස් වූ ආගමික නායකයෝ

“නැවත කවදාවත් අපරාධ සිදු වන්නේ නැත! මින් ඉදිරියට යුද්ධ නැත! නැවත කවදාවත් ත්‍රස්තවාදය ගැන අසන්න ලැබෙන්නේ නැත! දෙවියන්ගේ නාමයෙන් සෑම ආගමක්ම මිහිතලය මත යුක්තිය, සාමය, සමාව දීම හා ප්‍රේමය ඇති කිරීමටත් ජීවිතය රැක දීමටත් දායක වේවා!”—IIවන ජුවාම් පාවුලු පාප්.

ලෝකයේ ප්‍රධාන ආගම්වල නියෝජිතයන් 2002 ජනවාරි 24වනදා ඉතාලියේ අසිසි නගරයට එක්රැස් වූයේ ත්‍රස්තවාදය නිසා තර්ජනයට ලක් වී තිබෙන සාමය උදෙසා මෙන්ම ජනයා අතර පවතින නුරුස්සනබව හා අයුක්තිය උදෙසාද යාච්ඤා කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. පාප් විසින් මෙම රැස්වීම ගැන නිවේදනය කරනු ලැබුවේ නිව් යෝර්ක් නගරයේ පිහිටි නිවුන් කුලුනු කඩා වැටීමෙන් මාස දෙකකට පමණ පසුවයි. වතිකානුවෙන් ලැබුණු මෙම ඇරයුම ආගමික නායකයන් බොහෝදෙනෙකු පිළිගත්තේ මහත් උනන්දුවෙනි.

මීට පෙර අවස්ථා දෙකකදී, එනම් 1986දී හා 1993දී යාච්ඤා කිරීම සඳහා නිශ්චිත දවස් නියම කරගෙන ඒ සඳහා ඉතාලියේ අසිසි නගරයට එක්රැස්වීමට ආගම්වල නියෝජිතයන්ට පාප් ආරාධනා කළේය. a වසර 2002දී පැවැත්වූ රැස්වීම නිරීක්ෂණය කිරීම සඳහා ලොව නන් දෙසින් ජනමාධ්‍යවේදීන් දහසකට වැඩි පිරිසක් පැමිණ සිටියහ. සාමය උදෙසා යාච්ඤා කිරීමට ආගම් රැසක නියෝජිතයෝ රැස් වූහ. මෙම ආගම් අතර ක්‍රිස්තියානි, (කතෝලික, ලුතරන්, ඇන්ග්ලිකන්, ඕතඩොක්ස්, මෙතෝදිස්ත, බැප්ටිස්ට්, පෙන්තකොස්ත, මෙනනයිට්, ක්වේකර් හා වෙනත් ක්‍රිස්තියානි ආගම්) ඉස්ලාම්, හින්දු, කොන්ෆිසියානු, සීක්, ජෛන, ටෙන්රිකියෝ, බෞද්ධ, යුදෙව්, පුරාණයේ සිට පැවතෙන සම්ප්‍රදායික අප්‍රිකානු ආගම්, ෂින්ටෝ සහ ශරතුස්ත්‍රවාදය වැනි ආගම්වල නියෝජිතයෝද සිටියහ. වෙනත් ආගම්වල නියෝජිතයන් මෙන්ම ලෝක ක්‍රිස්තියානි සභා සංගමයේ නියෝජිතයෝද පැමිණ සිටි අය අතර වූහ.

සාමයට පක්ෂව කළ ප්‍රකාශයන්

කුඩා වතිකානු දුම්රිය පොළෙන් “සාම දුම්රිය” පෙරවරු 8:40ට පිටත් වීමත් සමඟ සාමය උදෙසා යාච්ඤා කිරීමේ දවසේ වැඩකටයුතු ආරම්භ විය. සියලු පහසුකම් සහිත පෙට්ටි හතක් සම්බන්ධ කර සාදා තිබූ එම දුම්රියට හෙලිකොප්ටර් දෙකකින් ආරක්ෂාව සපයන ලදි. එම දුම්රියෙන් පාප් ඇතුළු සෙසු ආගමික නායකයන්ට අසිසි නගරයට පැමිණීමට ගත වූයේ පැය දෙකක් වැනි කාලයකි. දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර, ඕනෑම තත්වයකට මුහුණ දීමට සැරසී සිටි දහසකින් පමණ සමන්විත පොලිස් බලඇණියක්ද තිබිණ.

ආගමික නායකයෝ රැස් වූයේ ඉතාලියේ පිහිටි පැරණි මහජන චතුරශ්‍රයකය. මෙය තාවකාලිකව ඉදි කළ අතිවිශාල කූඩාරමකින් ආවරණය කර තිබිණ. මෙහි ඇතුළත ආගමික නායකයන්ට අසුන්ගැනීම සඳහා V අකුරේ හැඩයට වේදිකාවක් තනා තිබූ අතර, එහි මැද තිබුණේ පාප්ගේ ආසනයයි. වේදිකාවේ එක් පැත්තක සාමයේ සංකේතයක් වන ඔලීව ගසක් තබා තිබිණ. මෙම වේදිකාව ඉදිරිපිට 2,000කට වැඩි සම්භාවනීය අමුත්තන් පිරිසක් අසුන්ගෙන සිටියහ. ඉදිරි පේළියේ අසුන්ගෙන සිටියේ ඉතාලියේ උසස් නිලධාරීන් පිරිසකි. එක් එක් කතාවෙන් පසු ගීතිකා කණ්ඩායම් විසින් ගායනා කරන ලද ස්තෝත්‍ර ගීතිකා කාගෙත් සිත්ගත්තේය. නගරයේ වෙනත් ස්ථානවල රැස් වූ යෞවනයන් බහුතරයකින් යුත් දහස් ගණනක් ජනයා යුධ විරෝධී පාඨ භාෂා ගණනාවකින් ලියා තිබූ පුවරු ප්‍රදර්ශනය කරමින් සාමය පිළිබඳ ගී ගායනා කළහ. ඔවුන් බොහෝදෙනෙකුගේ අත්වල ඔලීව අතු තිබිණ.

පාප් වේදිකාවේ ඔහුට වෙන් කර තිබූ අසුනට පැමිණීමෙන් අනතුරුව, විවිධ ආගම් ගණනාවක් නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජිතයන්ව සාදරයෙන් පිළිගත්තේය. “ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේ [නැති]” කාලයක් ගැන පුරෝකථනය කරන යෙසායා 2:4 මත පදනම් වූ ස්තුති ගීතිකාවක් ලතින් භාෂාවෙන් ගායනා කිරීමෙන් පසු සිය ආගම්වලට ආවේණික වූ ඇඳුමින් සැරසුණු ආගමික නායකයන් කිහිපදෙනෙක් සාමයට පක්ෂව ප්‍රකාශයන් ඉදිරිපත් කළහ. මතු දැක්වෙන්නේ එම ප්‍රකාශයන්ගෙන් කිහිපයකි.

“මේ ඓතිහාසික අවස්ථාවේදී මහජනයාට අවශ්‍ය වන්නේ සාමය උදා වන බවට ප්‍රසිද්ධ ඉඟියක් දැකගැනීමට හා බලාපොරොත්තු තබාගත හැකි වදන් ඇසීමටයි.”—කාදිනල් ෆ්‍රන්ස්වා සාවියේ නවියෙන් වාන් ටුආන්.

දෙවියන් “යුද්ධ හා සටන්වල දෙවි කෙනෙකු නොව සාමයේ දෙවි කෙනෙකි.”—සමස්ත ලෝක ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානියා වන Iවන බාර්තොලොමෙයුස්.

“වෙනත් ආගමක් ඇදහීම නිසා අන් අයව නොසලකාහැරීමට හා ඔවුන්ට වෛර කිරීමට ආගමික වෙනස්කම්වලට ඉඩ නොහැරිය යුතුයි.”—ආචාර්ය සෙට්රි නියෝමි, රෙපරමාදු සභාවල ලෝක සන්ධානය.

“යුක්තිය හා සහෝදර ප්‍රේමය ජනයා අතර සැබෑ සාමයක් පැවතීමට අත්‍යවශ්‍යම ආධාරක දෙකකි.”—නායක ආමාඩූ ගාසෙටො, අප්‍රිකාවේ සම්ප්‍රදායික ආගම්වල නියෝජිත.

“ශුද්ධ වන්නේ සාමය පමණි. යුද්ධය කෙදිනකවත් ශුද්ධ දෙයක් නොවේ.”—ආන්ඩ්‍රේයා රිකාඩි, කතෝලික සභාව.

ජනයා අතර ඇති නුරුස්සන ස්වභාවයට හා යුද්ධයට ආගම් සැලකිය යුතු ආකාරයකින් වගකිව යුතු බව ඇතැම් නියෝජිතයෝ පිළිගත්හ. “ආගමික මූලධර්මවාදය මගින් අවුළවන වෛරය නිසා හටගන්න කෲරත්වය [ලෝකය] කම්පා කර” තිබෙන බව ලුතරන් ලෝක සංගමයේ නියෝජිතයා සඳහන් කළේය. යුදෙව් ආගමේ නියෝජිතයා පැවසුවේ මෙසේය. “ඉතාමත් දරුණු ලේ පිපාසිත යුද්ධ ඇති කිරීමට ආගම් දායක වී තිබේ.” හින්දු ආගමේ නියෝජිතයෙක් මෙසේ අදහස් පළ කළේය. “ආගම රැකගන්නන් කියා පවසන අය ජනයාව පාලනය කිරීමටත් ජනයා අතර භේද ඇති කිරීමටත් ආගම් යොදාගෙන තිබෙන බවට ඕනෑ තරම් සාක්ෂි ඉතිහාසයෙන් සොයාගත හැකියි.”

නියෝජිතයෝ සියලුදෙනාම එක්ව ත්‍රස්තවාදය හා යුද්ධය හෙළා දැකීමේ විධිමත් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව, ඔවුන් එකිනෙකාට වෙන් කර තිබූ ස්ථානයට ගොස් සාමය පතා තම තමුන්ගේ දෙවිවරුන්ට යාච්ඤා කළහ.

සාමය උදෙසා කළ යාච්ඤා

ක්‍රිස්තියානි ආගම්වල නියෝජිතයෝ එක්ව යාච්ඤා කළේ සාන්ත ෆ්‍රැන්සිස්ට කැප කළ පහළ බැසිලිකාවේ සිටය. මෙම බැසිලිකාව පිහිටා තිබෙන්නේ ඔහුගේ සොහොන් ගෙය අසලය. ක්‍රිස්තියානි ආගම්වල යාච්ඤා කිරීමේ කාර්යයන් ඇරඹුණේ පාප් සහ තවත් නියෝජිතයන් තිදෙනෙක් විසින් “ත්‍රිත්ව දෙවියන්ට අයැදීමෙනි.” යාච්ඤාවන් අතරතුර ස්තෝත්‍ර ගීතිකා ගායනා කළ අතර සාමයට මුල් තැන දෙමින් යැදීම්ද කළහ. එපමණක්ද නොව, සාමය නමැති මාතෘකාවට අදාළව බයිබලයෙන් තෝරාගත් කොටස්ද කියවන ලදි. එක් යාච්ඤාවකදී “නොබෙදුණු ඇදහිල්ලක්” පිහිටුවන මෙන් ඉල්ලා සිටින ලදි. මෙම උත්සවය අවසන් කරමින් ඊට සහභාගි වූ අය මතෙව් 6වන පරිච්ඡේදයේ 9 සිට 13 දක්වා තිබෙන වගන්ති මත පදනම් වූ පරමණ්ඩල යාච්ඤාව ලතින් භාෂාවෙන් ගීතිකාවක් මෙන් ගායනා කළහ.

මේ අතරතුර සෙසු ආගමික කණ්ඩායම්වල නියෝජිතයෝ වෙනත් තැන්වල සිට යාච්ඤා කළහ. මක්කම පිහිටි දිශාවට මුහුණ ලා පිහිටා තිබෙන ශාලාවක සිට මුස්ලිම් නියෝජිතයෝ පලසක් මත දණ ගසාගෙන අල්ලා දෙවියන්ට යාච්ඤා කළහ. ජෛන හා කොන්ෆියුසියානු ආගම්වල නියෝජිතයන් අසල සිට යාච්ඤා කළ ශරතුස්ත්‍රවාදී ආගමේ නියෝජිතයෝ පරිශුද්ධ ලෙස සලකන ගින්නක් දැල්වූහ. පුරාණයේ සිට පැවතෙන සම්ප්‍රදායික අප්‍රිකානු ආගම්වල නියෝජිතයෝ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ ආත්මවලට යාච්ඤා කළහ. හින්දුවරු ඔවුන්ගේ දෙවිවරුන්ගෙන් සාමය අයැද සිටියහ. සෑම කෙනෙක්ම ඔවුනොවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව තම තමුන්ගේ දෙවිවරුන්ට කන්නලව් කළහ.

සාමය සඳහා පොදු ප්‍රතිඥාවක්

මෙම උත්සවය අවසන් කිරීම සඳහා නියෝජිතයෝ නැවතත් ප්‍රධාන වේදිකාවට රැස් වූහ. සාමයේ අපේක්ෂා සංකේතවත් කරන ඇවිළෙන පහන් පැවිදි පිරිසක් විසින් නියෝජිතයන්ගේ අතට ගරු ගම්භීරව දෙන ලදි. මෙම දර්ශනය කාගෙත් සිත්ගත්තේය. නියෝජිතයන් අතර සිටි විවිධ ආගම්වල සාමාජිකයෝ සාමය සඳහා පොදු ප්‍රතිඥාවක් කියවූහ. මෙහිදී එක් එක්කෙනා වෙනස් ප්‍රකාශයන් කළේය.

“සාමය ඇති කිරීමට නම් තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කිරීම අවශ්‍යයි.”—එක්සත් ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධානියා, බාර්තොලොමෙයුස්.

“සැහැසියාව හා ත්‍රස්තවාදය ආගමේ සැබෑ අරුතට සම්පූර්ණයෙන්ම පටහැනිය.”—ආචාර්ය කොන්රාට් රයිසර්, ලෝක ක්‍රිස්තියානි සභා සංගමයේ නියෝජිත.

“එකිනෙකාට ගෞරව කිරීමට හා එකිනෙකාව උසස් කොට සැලකීමට ජනයාව දැනුවත් කිරීම සඳහා අපි කැපවීමෙන් ක්‍රියා කරන්නෙමු.”—බායි සායිබ්ජි මොහින්දර් සිං, සික් ආගමේ නියෝජිත.

“යුක්තියෙන් තොර සාමය සැබෑ සාමයක් නොවේ.”—ඕතඩොක්ස් බිෂොප් වැසිල්යොස්.

අවසානයේදී පාප් මෙම ලිපිය ආරම්භයේ සඳහන් වූ වදන් කියෙව්වේය. එකිනෙකට වෙනස් ඇදහිලි ක්‍රම එක් කළ මෙම රැස්වීම අවසානයේදී, නියෝජිතයෝ සාමයේ සංකේතයක් ලෙස එකිනෙකාව වැලඳගත්හ. හොඳින් සූදානම් කර තිබූ මෙම උත්සව අවස්ථාවේදී කාගෙත් සිත්ගත් වදන් සවනට වැකුණා සේම, එය මහත් උත්සවශ්‍රීයෙන් හා විසිතුරුබවින් සංවිධානය කර තිබුණි. එනමුත් මෙම සුවිශේෂී අවස්ථාව ගැන ඇතැමුන් පැවසුවේ මොනවාද?

‘වචන ක්‍රියාවට නඟනවා නම්’

පාප්ගේ යෝජනාවකට අනුව පවත්වන ලද මෙම උත්සවය පුවත්පත්වල හා රූපවාහිනියේ පැසසුමට ලක් කරන ලදි. සමහරුන් පාප්ව හැඳින්වූයේ “සියලුම ක්‍රිස්තියානි ආගම්වල නියෝජිතයා” ලෙසය. අසිසිහි පවත්වන ලද එම උත්සවය “සාමය පවතින සමාජයක් ගොඩනැඟීමට යන ගමනේ විශේෂ සන්ධිස්ථානයක්” ලෙස වතිකානුවේ පළ වන ලොසෙර්වාටෝරේ රොමානෝ පුවත්පතේ හඳුන්වා තිබිණ. “අසිසිහිදී සාමයේ පහන දැල්වෙයි” යනුවෙන් කොරියේරා ඩෙල් උම්බ්‍රියා නමැති පුවත්පතේ සිරස්තලයේ සඳහන් විය.

මේ උත්සවය ගැන සෑම නිරීක්ෂකයෙකුම උනන්දුවක් දැක්වූ බව කිව නොහැක. සමහරුන් තම සැකය පළ කළේ මීට පෙර අවස්ථාවලදී එනම් 1986දී හා 1993දී සාමය සඳහා යාච්ඤා කළද මානව සංහතියට මහත් ව්‍යසනයක් ඇති කළ යුද්ධ ආගමේ නාමයෙන් දිගටම සිදු කළ නිසාවෙනි. උගන්ඩාවේ, කලින් පැවති යුගෝස්ලාවියාවේ, ඉන්දුනීසියාවේ, පකිස්ථානයේ, මැද පෙරදිග හා උතුරු අයර්ලන්තයේ මහ පොළොව ලෙයින් තෙත් කළ ජන සංහාරයන් ලැව් ගින්නක් මෙන් පැතිරී ගියේ ආගමික වෛරය නිසාය.

ඇතැම් විවේචකයන් මෙම හමුව “හුදු ප්‍රදර්ශනයක්” ලෙස සලකමින් ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකළ බව ඉතාලියේ පළ වන ලා රිපුබ්ලිකා නමැති පුවත්පතේ සඳහන් විය. සාමය ඇති කිරීම සඳහා ආගමට ලැදි අය “සුවිශේෂය ක්‍රියාවට නැඟිය” යුතුය. මින් අදහස් කරන්නේ “සතුරාට ප්‍රේම කරන්න. අනිත් කම්මුලද හරවන්න” කියන වදන් පිළිපැදීමයි කියා යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් පැවසුවේය. ඔහුගේ මතයට අනුව මෙය “කිසිම කෙනෙක් කරන්නේ නැත.”

“මේ අවස්ථාවේදී සිදු වන දෙය ගැන සතුටු විය හැක්කේ දැන් පවසන දේවල් ක්‍රියාවට නැඟීමෙන් සැබෑ වෙනසක් සිදු වන්නේ නම් පමණි” කියා ඉතාලියේ වෙසෙන යුදෙව් ප්‍රජාවේ සභාපති පැවසුවේය. මේ හා සමානව අදහස් දක්වමින් ඉතාලියේ වෙසෙන බෞද්ධයන්ගේ නියෝජිතයා පැවසුවේ “සාමය සඳහා කරන අයැදීම් හුදෙක් යහපත් චේතනාවලට පමණක් සීමා නොවන බවට සහතික විය යුතුයි” කියාය. ඉතාලියේ පළ වන ලෙස්ප්‍රෙසෝ නමැති සඟරාවේ ලේඛකයෙකුද වන මාධ්‍යවේදියෙකුගේ අදහසට අනුව අසිසිහි පවත්වන ලද රැස්වීමෙන් ඉටු වූයේ ඊට සහභාගි වූ ක්‍රිස්තියානි ආගම්වල ප්‍රකාශිත අරමුණට වඩා වෙනස් එකකි. ඔහු මෙම රැස්වීම හැඳින්වූයේ “ආගමික භේද, නොහික්මුණුකම හා අවිශ්වාසය යනාදියට එරෙහිව නැඟී සිටීම සඳහා වූ සන්ධානයක්” ලෙසය. එමෙන්ම යුරෝපයේ “ක්‍රිස්තියානි ඉතිහාසයක්” තිබුණද එයට හානි කරන “ලෞකීකකරණය නමැති ප්‍රබල ක්‍රියාවලියට” එරෙහිව සටන් කිරීමට දැරූ ප්‍රයත්නයක් ලෙසද ඔහු එම රැස්වීම හැඳින්වීය.

මෙම රැස්වීම දැඩි ලෙස විවේචනය කරන්නන් අතර කතෝලික සභාවේ සම්ප්‍රදායික මත දරන්නෝද සිටියහ. ඔවුන්ගේ සභාවේ මූලධර්ම එමගින් දුර්වල වෙයි කියන බිය ඔවුන්ට තිබිණ. අසිසිහි පවත්වන ලද රැස්වීම මගින් ආගම් අතර පවතින වෙනස අඳුරු කර දැමීමේ අනතුර තිබෙන බව ප්‍රසිද්ධ කතෝලික ලේඛකයෙකු වන විට්ටෝරියෝ මෙසෝරි රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය. ආගම් අතර මිශ්‍රවීමක් පවතින බවට වූ හැඟීමක් ජනයා තුළ ඇතිවීම වැළැක්වීම සඳහා ආගමික බලධාරීන් ආරක්ෂක පියවර ගෙන තිබිණ. මෙවන් රැස්වීමක් මගින් ආගම් අතර මිශ්‍රණයක් ඇති වන බවට වූ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පාප් ප්‍රකාශයක් කළේය. කෙසේවෙතත්, විවිධ ආගම් මගින් හුදෙක් නියෝජනය වන්නේ එක උසස් බලයක් වෙත ළඟාවීමේ එකිනෙකට වෙනස් මාර්ග බව එම රැස්වීමෙන් ඇඟවූ බවක් බොහෝදෙනෙකුට පෙනෙන්න තිබිණ.

ආගම හා සාමය

සාමය ගෙන ඒම සඳහා ප්‍රධාන ආගම්වලට කළ හැක්කේ කුමක්ද? ආගම් යුද්ධ වළක්වනවා වෙනුවට යුද්ධ ඇති කරන බව පෙනෙන්න තිබෙන නිසා එවන් ප්‍රශ්නයක් නැඟීම විහිළුවක් කියා සමහරු සිතති. ලෝකයේ බලවතුන් යුද්ධ ඇවිළවීම සඳහා ආගම යොදාගෙන තිබෙන ආකාරය ගැන ඉතිහාසඥයන් ලියා තිබේ. කෙසේවෙතත් තමන්ව මෙසේ යොදාගැනීමට ආගම් ඉඩහැර තිබෙන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ.

යුද්ධවලට සම්බන්ධ වීමේ වරදට හසු නොවී සිටීම සඳහා උපකාරවත් විය හැකි එක පරිශුද්ධ ප්‍රතිපත්තියක් ක්‍රිස්තියානි ආගම්වලට අඩුම තරමින් තිබේ. තම අනුගාමිකයන් ‘ලෝකයේ කොටසක් නොවන’ බව යේසුස් සඳහන් කළේය. (යොහන් 15:19; 17:16; NW) ක්‍රිස්තියානි ආගම් එම වදන්වලට එකඟව ක්‍රියා කර තිබුණා නම් එම ආගම් හමුදාවලට ආශීර්වාද කරමින් හා යුද්ධ අනුමත කරමින් දේශපාලනික බලයන් සමඟ අත්වැල් බැඳගැනීම සිදු නොවීමට තිබිණ.

අසිසිහි පවසන ලද කදිම වදන්වලට එකඟව කටයුතු කිරීම සඳහා ආගමික නායකයෝ දේශපාලනික බලවතුන්ගෙන් ඈත්වීම අවශ්‍යයි. එපමණක්ද නොව තමන්ගේ ආගමේ සාමාජිකයන්ට සාමයේ මාවත්වල යෑමට ඔවුන් ඉගැන්විය යුතුය. කෙසේවෙතත් ලෝකයේ සාහසිකකම් සිදු කරන ජනයාගෙන් බහුතරය දෙවියන්ව විශ්වාස කරන අය හෝ එසේ විශ්වාස කරනවායයි කියා වචනයෙන් හෝ පවසන අය බව ඉතිහාසඥයෝ පවසති. මෑතකදී පළ වූ පුවත්පත් කතුවැකියක මෙසේ සඳහන් විය. “සැප්තැම්බර් 11වෙනිදායින් පසු වැඩි දවසක් යන්න කලින් යම් කෙනෙක් වොෂිංටන් ඩී.සී.හි පිහිටි තාප්පයක සෑම කෙනෙකුටම කල්පනා කර බැලීමට පොලඹවන මෙම වදන් ලියා තිබිණ. ‘ආදරණීය දෙවියනි, ඔබව විශ්වාස කරන අයගෙන් අපව ගැලවුව මැනව.’”

අසිසිහි උත්කර්ෂවත් ලෙස පවත්වන ලද උත්සවය මගින් පිළිතුරු දීමට දුෂ්කර ප්‍රශ්න කිහිපයක් ඉතුරු කර තිබේ. මෙම ප්‍රශ්න අතර ආගමට ලැදි බොහෝදෙනෙකුට වඩාත් වැදගත් වන්නෙත් ඔවුන්ට මහත් චිත්ත පීඩාවක් ඇති කරන්නෙත් මෙම ප්‍රශ්නයයි. ලෝකයේ ආගම් විසින් සාමය සඳහා කර තිබෙන යාච්ඤාවලට මේ වන තෙක් දෙවි පිළිතුරු දීම පෙනෙන විදිහට ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මන්ද?

[පාදසටහන]

a වර්ෂ 1986දී පැවති සාමය උදෙසා යාච්ඤා කිරීමේ දවස පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා 1989 ජූනි 8 පිබිදෙව්! සඟරාව බලන්න.

[17වන පිටුවේ පින්තූරය]

සාමයේ අපේක්ෂා සංකේතවත් කරන දැල්වෙන පහන් අතැතිව සිටින නියෝජිතයෝ

[හිමිකම් විස්තර]

AP Photo/Pier Paolo Cito

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Pier Paolo Cito