Skip to content

පටුනට යන්න

ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම

ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම

ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම

පොළොවේ සිට කිලෝ මීටර් 11ක් තරම් ඉහළ අහසේ ගුවන් යානයකින් ගමන් කිරීම සමහර අයට බියජනක අද්දැකීමක් විය හැකියි. මෙය ස්වභාව ධර්මයේ නීති කඩ කිරීමක් ලෙස පෙනෙන්න පුළුවනි. ආරක්ෂාව හා සම්බන්ධ ප්‍රමිතීන් සහ ගුවන් ගමන් පිළිබඳව තබා තිබෙන විශ්වාසය වෙන කවරදාටත් වඩා ඉහළ මට්ටමක තිබෙන නිසා, ගුවන් යානයක් ඊතලයක් මෙන් පොළොවට ඉහළින් වේගයෙන් ගමන් කිරීමේ අනතුර අල්ප වී ඇත. කෙසේවෙතත්, ඉඳ හිට සිදු වී තිබෙන දරුණු අනතුරුවලින් අපට සිහිගන්වන්නේ අනතුරු සිදු විය හැකි බවයි.

බිය සමඟ සාර්ථකව කටයුතු කිරීම

යථාර්ථය එය වුවත් ඈත අතීතයේ සිටම මිනිසා පියාසර කිරීමට ආශාවක් දක්වා ඇත. ක්‍රිස්තුස් මිහිතලයේ විසීමට සියවස් දහයකට කලින් දාවිත් රජ මෙසේ ලීවේය. “අනේ මට කොබෙයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.” (ගීතාවලිය 55:6) දැනටමත් සලකා බලා තිබෙන පරිදි නූතන තාක්ෂණය නිසා ගුවන් ගමන් ඉතා සුරක්ෂිත ප්‍රවාහණ මාධ්‍යයක් බවට පත් වී ඇත. නමුත් එය සම්පූර්ණ නැත. මේ ලෝකයේ කිසිවකින් සම්පූර්ණ ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම කිසිවක් ගැන පූර්ණ පුරෝකථනයක්ද කළ නොහැක.

අප යමෙකුගේ පාලනය යටතේ සිටින විට, පවතින තත්වය හරිහැටි තේරුම්ගෙන කටයුතු කිරීම දුෂ්කර බව අපට පෙනී යයි නම් කලින් සඳහන් කළ දෙය මතක තබාගැනීම වැදගත්. ‘තත්වය පාලනය කරන්න මට වැඩි බලයක් තියෙනවා නම්, පවතින බිය අඩු කරන්න පුළුවන්’ කියා සමහරුන් සිතීමට ඉඩ තිබේ. ඇතැම් අය තුළ පවතින නැඹුරුවාව මෙය නම්, යම්කිසි තත්වයක් පාලනය කිරීමට තමන්ට ලැබෙන අවස්ථා අවම මට්ටමක පවතී නම් හෝ කිසිම ඉඩ කඩක් නැත්නම්, ඒ සමඟ කටයුතු කිරීම ඔවුන්ට දුෂ්කර දෙයක් විය හැකියි. ගුවන් ගමන්වලදී මෙවන් තත්වයන්වලට මුහුණ දීමට සිදු වේ.

ගුවන් යානයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා වෑයම් දැරුවද කිසිම අනතුරක් නොවෙයි කියා සිතා ඒ ගැන සෑහීමට පත්වීමට පදනමක් නැත. ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේවල් හැකි තාක් අවම කරගැනීම සඳහා, ගුවන් ගමනකට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ට සහයෝගයෙන් කටයුතු කළ හැකියි. ඒ කෙසේවෙතත්, අඛණ්ඩව පවතින තර්ජන ගැන බලධාරීහු අනතුරු අඟවති. බයිබලයේ සඳහන් නැණවත් හිතෝපදේශයක මෙසේ සඳහන් වේ. “කල්පනාකාරී තැනැත්තා අනතුර කලින් දැක ආරක්ෂාව සඳහා පියවර ගනී.” (හිතෝපදේශ 22:3, නිව් ලිවිං ට්‍රාන්ස්ලේෂන්) ප්‍රායෝගිකව බලන කල ඕනෑම ක්‍රියාකාරකමක අවදානමක් ඇතිවීමට හේතු විය හැකි දෑ හඳුනාගැනීම නැණවත් දෙයකි. ඔබ වෙනත් තත්වයන්වලදී ඔබේ ආරක්ෂාව සලසාගැනීම සඳහා සාමාන්‍ය බුද්ධිය යොදාගනිමින් ගනු ලබන පූර්වාරක්ෂක පියවරවලට සමාන පියවර ගුවන් ගමන්වලදීද ගැනීම අවශ්‍ය බව මතක තබාගන්න. මෙහිදී ඒ ඒ තත්වයන් සැලකිල්ලට ගනිමින් නිවැරදි දෘෂ්ටියකින් දේවල් දෙස බැලීම වැදගත් වේ.

නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන්නන්ට මෙවන් දුෂ්කර අවස්ථාවලදී වෙනත් අයට වඩා හොඳින් තම ආරක්ෂාව සලසාගත හැක. මෙයට හේතුව සාමාන්‍යයෙන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන්නන් ගුවන් තොටුපොළවල් හා ගුවන් යානා පිළිබඳව වෙනත් මඟීන්ට වඩා හොඳින් දැන සිටීමයි. මේ ලිපි මාලාවේ තිබෙන කොටුවල විස්තර කර තිබෙන සරල පියවර ගැනීමෙන් ඔවුන් හා සමානව ඔබටත් ගුවන් ගමන් පිළිබඳ හොඳ දැනුමක් මෙන්ම ගමනේදී සන්සුන්බවක් ඇතුව සිටිය හැකියි.

සිත්තැවුල්වලින් තොර ගමනක්

ගුවන් තොටුපොළවල පිහිටි ආරක්ෂක ස්ථාන මගින් ප්‍රයෝජනවත් සේවයක් සපයනු ලැබුවත් ඇතැම් මඟීන්, විශේෂයෙන්ම හදිසිතාවකින් පසු වන මඟීන් එවන් ස්ථාන මහත් හිරිහැරයක් කියා සිතන්නට ඉඩ තිබේ. ගුවන් තොටුපොළවල් බොහොමයක ආරක්ෂාව තර කර තිබෙන බව මතක තබාගෙන මතු දැක්වෙන යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ආරක්ෂක ස්ථාන හරහා අපහසුතාවකින් තොරව යෑමට ඔබට පුළුවනි.

◼ වේලාසනින් පැමිණෙන්න. ගුවන් තොටුපොළේ ගත කිරීම සඳහා අමතර වේලාවක් වෙන් කරගැනීමට සැලසුම් කිරීමෙන් දේවල් සන්සුන්ව කරගැනීමට ඔබට හැකියි. බලාපොරොත්තු නොවූ දේවල් සිදුවීම හෝ යම් අපහසුතාවන් නිසා ඇති වන මානසික පීඩනයද එමගින් වළක්වාගත හැකියි.

◼ ගුවන් යානයක් තෝරාගැනීමේදී ව්‍යාපාරික මඟීන් ගමන් ගන්නා යානයක් තෝරාගන්න. මෙවැනි අය එහි අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට හොඳින් පුරුදු වී සිටින අතර ඒ තරම් බඩු ප්‍රමාණයක්ද ගෙන යන්නේ නැත. එමෙන්ම හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු නිම කිරීමටද ඔවුහු වෑයම් කරති.

◼ ලෝහවලින් සාදා තිබෙන දේවල් හඳුනාගන්න උපකරණයට හසු වෙයි කියා ඔබ සිතන දේවල් එම ස්ථානය පසු කර යෑමට කලින් ඉවත් කරගන්න. මීට යතුරු, කාසි, ආභරණ හා සෙලියුලර් දුරකථන ඇතුළත් වේ. එම ස්ථානය පසු කර යෑමට කලින් එම ද්‍රව්‍ය ගුවන් තොටුපොළේ සේවකයෙකුට බාර දෙන්න.

◼ මඟීන්ගේ ගමන් මලු ගෙන යන යාන්ත්‍රික බෙල්ට් පටියේ ඔබේ මලු එක උඩ එක නොතබන්න. ඒවා පැතලි අතට තබන්න. එසේ නොකළහොත් එක්ස් රේ අධීක්ෂණ උපකරණය පිටුපස සිටින තැනැත්තා යම් අවුල්සහගත දෙයක් දුටුවොත්, ඔබේ මලුවල තිබෙන දෑ ඉවත් කිරීමට හෝ නැවත ඒවා බෙල්ට් පටිය මත තැබීමට ඔබෙන් ඉල්ලා සිටිය හැකියි.

◼ එක්ස් රේ පරීක්ෂණ යන්ත්‍රයෙන් සංඥාවක් නිකුත් කිරීමට හේතු විය හැකි යම් අසාමාන්‍ය උපකරණයක් තිබෙනවා නම්, ඒ බව එම යන්ත්‍රය හසුරුවන තැනැත්තාට පවසන්න. සමහරවිට ඔබේ ආච්චි ඔබට දුන් පෞරාණික භාණ්ඩයක් එම අසාමාන්‍ය උපකරණවලට ඇතුළත් විය හැකියි. එක්ස් රේ යන්ත්‍රයට හසු වන එවන් භාණ්ඩ ගැන පිළිගත හැකි පැහැදිලි කිරීමක් කළ විට එම යන්ත්‍රය හසුරුවන නිලධාරියා ඒ ගැන සෑහීමට පත් විය හැකි අතර, එය පරීක්ෂා කළ යුතුයි කියා තරයේ ඉල්ලා නොසිටිය හැකියි. ඔබට හදිසි නම් අදාළ භාණ්ඩ කල් වේලා ඇතුව ගමන් මල්ලෙන් එළියට ගෙන අත්වලින් පරීක්ෂා කර බලන්න කියා ඉල්ලා සිටින්න.

◼ අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වුණොත් නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. විගස පැහැදිලි කිරීමක් සපයන්න. අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වූයේ හඳුනාගැනීමට දුෂ්කර යම් භාණ්ඩයක් තිබූ නිසා කියා එම යන්ත්‍රය හසුරුවන තැනැත්තා තීරණය කළහොත් දේවල් ස්කෑන් කර බලන යෂ්ටියක් තිබෙන තවත් සේවකයෙකුගේ සහය ලබාගනු ඇත. තමන් වෙතට එන්න කියා ඔහු ඔබට අතින් සංඥා කරාවි.

◼ ගුවන් යානා පැහැරගන්නන් ගැන හෝ බෝම්බයක් ගැන විහිළුවට යමක් පැවසුවොත් ඔබේ ගුවන් යානයේ ඔබට ගමන් කිරීමට නොහැකි වනවාට සැකයක් නැත. මීට අමතරව ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔබව දැඩි සෝදිසි කිරීමකට ලක් කරනු ඇති අතර අපරාධයක් කළ බව සලකමින් ඔබව වරදකරුවෙකු කිරීමටද ඉඩ තිබේ.

ඔබට සුරක්ෂිත ගුවන් ගමනක්!

සුරක්ෂිත ගුවන් යානයක් තෝරාගත හැකිද? ඔව්. ඔබ තෝරාගන්න ගුවන් යානය කුමක් වුණත් අනතුරකින් තොරව ඔබට ගමනාන්තය දක්වා පැමිණීමට තිබෙන ඉඩ කඩ වැඩියි. යම් සැකයක් තිබේ නම් ඔබ ගමන් කිරීමට සැලසුම් කරන ගුවන් සමාගමේ අතීත ආරක්ෂක වාර්තාව සොයා බලන්න. ගුවන් අනතුරු සිදු විය හැකි වුවත් ගුවනින් ගමන් කිරීම තවමත් සුරක්ෂිතම ප්‍රවාහණ මාධ්‍යය බව මතක තබාගන්න.

නුදුරු අනාගතයේදී මේ පොළොව දෙවි විසින් පාලනය කරන අතර, ඒ කාලයේදී සුරක්ෂිතබව හා විශ්වාසය සෑම තැනම පැතිරී තිබෙනු ඇත. අප සියලුදෙනාටම මහත් ආශාවෙන් බලා සිටිය හැකි දේවබියැති සාමකාමී මිනිස් පවුලක් මිහිතලයේ වෙසෙන ඒ කාලයේදී මිනිස් ජීවිතවලට තර්ජනය කරන කිසිවෙක් නොසිටිනු ඇත. එවිට, ජනයා “විපතට භය නොවී, නිශ්චලව [සුරක්ෂිතව] සිටින්නේය.”—හිතෝපදේශ 1:33. a

[පාදසටහන]

a මෙම විෂය ගැන පළ වූ වෙනත් ලිපි සඳහා, 2000 සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ පළ වූ “ගුවනේදී රැකවරණය ඔබ අතමය” යන ලිපිය හා මතු දැක්වෙන කලාප බලන්න. “Making Air Travel Safer,” Awake!, September 22, 2000; “What Does It Take to Keep Them Flying?” Awake!, September 8, 1999; “How Safe Are Planes?” Awake!, March 8, 1999; “Fear of Flying—Does It Keep You Grounded?” Awake! September 22, 1988.

[10, 11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ආරක්ෂාව සඳහා උපදෙස් කිහිපයක්

කෙළින්ම ගමනාන්තය දක්වා පියාසර කරන ගුවන් යානාවල ගමන් කරන්න. බොහෝ ගුවන් අනතුරු සිදු වන්නේ ධාවන පථයේ ගමන් කරමින් ඉහළට ඔසවද්දී හා ගොඩ බෑමට යෑමේදීය. අතර මඟ නතර කරන්නේ නැති ගුවන් යානයක ගමන් කිරීමෙන් එවන් අනතුරුවලට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ අවම කරගත හැක.

විශාල ගුවන් යානයක් තෝරාගන්න. මඟී ආසන 30කට වැඩි ගණනක් තිබෙන ගුවන් යානයක් සාමාන්‍යයෙන් කුඩා ගුවන් යානයකට වඩා දැඩි රෙගුලාසිවලින් යුත් ප්‍රමිතිවලට අනුව නිර්මාණය කර තිබේ. එමෙන්ම දරුණු අනතුරකදී විශාල ගුවන් යානයක ගමන් කරන මඟීන්ට ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට තිබෙන අවස්ථා කුඩා ගුවන් යානයක ගමන් කරන මඟීන්ට වඩා වැඩිය.

ගුවන්ගත වීමට පෙර දෙනු ලබන උපදෙස්වලට හොඳින් සවන් දෙන්න. මේ උපදෙස් ඔබ කලින් බොහෝ වාර ගණනක් අසා තිබෙන්න පුළුවනි. නමුත් හදිසි අවස්ථාවකදී පිට වෙන දොරටු තිබෙන ස්ථාන ගුවන් යානය අනුව හා ඔබේ ආසනය තිබෙන තැන අනුව වෙනස් විය හැකියි.

ඔබේ ආසනයට ඉහළින් තිබෙන කුටියේ බර දේවල් තබන්න එපා. ගුවන් යානය වායු කැලඹීමකට හසු වූ අවස්ථාවකදී මඟීන්ගේ හිසට ඉහළින් තිබෙන ගබඩා කුටිවලට අධික බරින් යුත් භාණ්ඩ දරාගත නොහැකියි. එනිසා එම කුටියට දැරිය නොහැකි තරම් බර දෙයක් ඔබ සතුව ඇත්නම්, එය පොදු ගබඩා කුටියක දැමීම සඳහා කලින්ම භාර දෙන්න.

අසුන්ගෙන සිටින විට ආරක්ෂක පටිය පැළඳ සිටින්න. මෙම ආරක්ෂක පටිය පැළඳ සිටීමෙන් ගුවන් යානය අනපේක්ෂිත ලෙස වායු කැලඹීමකට හසු වූ අවස්ථාවකදී ඔබට අමතර ආරක්ෂාවක් ලබා දෙයි.

ගුවන් යානයේ සේවකයන් පවසන දේවලට සවන් දෙන්න. ගුවන් යානයක සේවකයන් සිටීමට ප්‍රධානතම හේතුව මඟීන්ට ආරක්ෂාව සැපයීමයි. එනිසා ඔවුන්ගෙන් කෙනෙකු යමක් කරන්න කියා ඔබෙන් ඉල්ලා සිටියහොත් එය කරන්න. ප්‍රශ්න අසන්න අවශ්‍ය නම් එය පසුව අසන්න.

අනතුරුදායක කිසිවක් ගුවන් යානය ඇතුලට රැගෙන නොයන්න. ගුවන් යානයක ගෙන යෑමට අවසර නොමැති අනතුරුදායක දේවල දිගු ලැයිස්තුවක් තිබෙන නමුත් ඔබ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා නම් අවසර නැතුව පෙට්රල්, මලකඩ කන ද්‍රව්‍ය, විෂ ගෑස් හා වෙනත් හානිකර ද්‍රව්‍ය ගෙන නොයනු ඇත. ඒ සඳහා අවසරයක් ලැබී ඇති විටක හා සුදුසු ඇසුරුමක ගබඩා කර ඇතොත් මිසක එම හානිකර ද්‍රව්‍ය ප්‍රවාහණය කරනු නොලැබේ.

අධික ලෙස මත්පැන් පානය නොකරන්න. මුහුදු මට්ටමේ සිටිනවාට වඩා ගුවනේ සිටින විට ඔබ පානය කරන ඕනෑම මත්පැන් වර්ගයක බලපෑම ප්‍රබලයි. ඕනෑම උස් මට්ටම සිටියදී සීමාව ඉක්මවා මත්පැන් පානය කිරීම නැණවත් දෙයක් නොවේ.

සුපරීක්ෂාවෙන් සිටින්න. ආරක්ෂාව සඳහා විගස ගුවන් යානයෙන් පිට වී යෑම වැනි බලාපොරොත්තු නොවූ විරූ හදිසි තත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් ඔබ කළ යුත්තේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීමයි. හැකි විගස ගුවන් යානයෙන් පිට වන්න.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: AirSafe.com

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ පවුලේ අයගේ බිය සැක දුරු කිරීම

ඔබ නිතරම දුර ගමන් යනවා නම් ඔබේ පවුලේ අයට දැනෙන බිය පාලනය කිරීම සඳහා ඔබට කළ හැකි දෑ මතු දැක්වේ. United Behavorial Health නමැති වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදි

ඔබේ පවුලේ අය සමඟ කතා කරන්න. ඔබ නිවසින් පිටත්ව යෑමට පෙර ඔබේ මෙන්ම ඔබ ප්‍රේම කරන අයගේ ආරක්ෂාව ගැන ඔවුන් සමඟ කතා කිරීමට කාලය ගන්න. ආරක්ෂාව තර කිරීම සඳහා ගෙන තිබෙන නව ක්‍රම ගැනත් ඔබ ගමන් කරන අතරතුරේදී ඒවායින් ඔබට සැලසෙන ආරක්ෂාව ගැනත් ඔවුන්ට පැහැදිලි කර දෙන්න.

ඔවුන්ට හැඟෙන දේවල් ගැන පැවසීමට ඉඩ දෙන්න. පවුලේ අයට දැනෙන බිය හා කාංසාව ගැන කතා කිරීමට ඉඩහරින්න. ඔබට ආදරේ කරන ඔවුන්ගේ ආශාව වන්නේ ඔබ සුරක්ෂිතව ආපසු නිවසට පැමිණෙනවා දැකීමයි. පරෙස්සමින් ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ට දැනෙන බිය හා සිත් තැවුල් සෑම එකක්ම බැරෑරුම් ලෙස සලකමින් පිළිගන්න.

අවංක ලෙස බිය සැක දුරු කරන්න. ඉදිරියේදී ඇති විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීම සඳහා විවිධ ආයතන වෑයම් කරන ආකාරය ගැන ඔවුන් සමඟ කතා කරන්න. ගුවන් තොටුපොළවල මෙන්ම ගුවන් යානය ඇතුළේද ආරක්ෂාව තර කිරීමට ගනු ලබන වෑයම් ඊට ඇතුළත් වේ. ඔබ ගුවන් යානයක ගමන් කරන අතරතුර යම් අනතුරක් සිදුවීමට තිබෙන ඉඩ කඩ අල්පයි.

සම්බන්ධය පවත්වාගන්න. ඔබේ ගමනාන්තයට පැමිණීමෙන් පසු පවුලේ අයට දුරකථනයෙන් කතා කරන බවට පොරොන්දු වන්න. ඔබ නිවසින් පිටත සිටින කාලය අතරතුර නිතර දුරකථනයෙන් කතා කරන්න. හදිසි අවස්ථාවකදී ඔබව ඇමතිය හැකි ආකාරය ගැන ඔබේ පවුලේ අය දැනගැනීමද වැදගත්ය.

[හිමිකම් විස්තර]

Taken from the United Behavioral Health Web site

[10වන පිටුවේ පින්තූර]

ආරක්ෂාව සඳහා දේවල් සෝදිසි කර බලන ස්ථානවලදී සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින්න