Skip to content

පටුනට යන්න

ඇස පිළිබඳ විශිෂ්ට සොයාගැනීමක්

ඇස පිළිබඳ විශිෂ්ට සොයාගැනීමක්

ඇස පිළිබඳ විශිෂ්ට සොයාගැනීමක්

ආලෝකයට ප්‍රතිචාරය දැක්වීමට සහ ඒ අනුව ජෛව ඔරලෝසුවේ (Biological clock) කටුව සැකසීමට ක්ෂීරපායි සතුන්ගේ ඇස්වල තිබෙන නියුරෝන උපකාරවත් වන බවයි කාලයක් පුරා විද්‍යාඥයන් දැනගෙන සිටියේ. මෙම ආලෝකය ග්‍රහණය කරගැනීමේ කාර්යය සඳහා ඒ වන විට සොයාගෙන තිබූ දෘෂ්ටි සෛල හෙවත් යෂ්ටි හා කේතු දායක වන බව ඔවුන් උපකල්පනය කර තිබුණා. නමුත් පර්යේෂකයන් “යෂ්ටි සහ කේතු සෛල නොමැති (දෘෂ්ටි ක්‍රියාකාරිත්වයක් නොමැති) විකෘති මීයන් යොදාගෙන කළ පර්යේෂණයකදී උන් ආලෝකයට ප්‍රතිචාරයක් දැක්වුවා” කියා 1999 සයන්ස් සඟරාව වාර්තා කළා. ලැබුණ මෙම හෝඩුවාව නිසාවෙන් පර්යේෂකයන් නිගමනයකට එළඹුණා. එනම් “ඇසේ වෙනත් සෛල විශේෂයක් මගින් ආලෝකය ග්‍රහණය කරගැනීමේ ක්‍රියාවලිය සිදු වන” බවයි.

සොයාගැනීමට නොහැකිව තිබූ මෙම ආලෝක සංවේදකයන් දැන් සොයාගෙන හමාරය. ප්‍රතිබිම්බ ඇතිවීමට සලස්වන යෂ්ටි හා කේතු සමඟ එකට මිශ්‍රව තිබුණත් එම සංවේදකයන් “වෙනම දෘෂ්ටි පරිපථයක් සකසමින් ප්‍රතිබිම්බ ඇති කරන දෘෂ්ටි ක්‍රමයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා” කියා සයන්ස් සඟරාව පැහැදිලි කළා. කණිනිකාවේ ප්‍රමාණය අඩු වැඩි වීමට, මෙලටෝනින් ස්‍රාවය වීමට, ආලෝකය සහ අන්ධකාරය නමැති චක්‍රයට අනුව ජෛව ඔරලෝසුවේ කටුව සැකසීමට සහ වෙනත් කාර්යයන් රැසක් සිදු කිරීමට මෙම සොයාගනු ලැබූ නවතම පරිපථයේ ක්‍රියාකාරිත්වය දායක වෙනවා. චිත්ත ස්වභාවය පාලනය කිරීමටත් මෙහි යම් දායකත්වයක් තිබෙනවා.

මෙම ආලෝක සංවේදකයේ තිබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එය ක්ෂණික ආලෝකයකට ප්‍රතිචාරය නොදැක්වීමයි. එසේ ප්‍රතිචාරය දක්වන්න ගියොත් ජෛව ඔරලෝසුව අන්ද මන්ද වනු ඇත. මෙය ප්‍රතිචාරය දක්වන්නේ යම් දීර්ඝ කාල සීමාවක් තුළ ආලෝකයේ සිදු වන වෙනස් වීම්වලටය. එක් විද්‍යාඥයෙක් මෙය හැඳින්වූයේ “විශිෂ්ට සොයාගැනීමක්” ලෙසයි. තවදුරටත් ඔහු පැවසුවේ “මෙය ක්ෂීරපායි සතුන්ගේ ප්‍රකාශ ප්‍රතිග්‍රාහකය පිළිබඳව පැනනැඟී තිබූ ගැටලුවෙහි සුවිශේෂ කඩ ඉමක්” කියායි.

අපි ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ගැන තව තවත් ගැඹුරට ඉගෙනගන්න විට එය සියුම් සහ බුද්ධියෙන් අතිඋසස් නිර්මාණයක් කියා කීමට පෙර නොදුටු සාක්ෂි අපගේ නෙත ගැටෙනවා. එසේ දැනුම ලබන විට මැවුම්කරුට ප්‍රශංසාවක් වශයෙන් ලියා තිබෙන බයිබලයේ මෙම වදන්, එනම් “මම ඔබට ස්තුති කරන්නෙමි. මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යවත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි” යන්න ප්‍රතිනාද කිරීමට බොහෝදෙනෙකු පෙලඹී තිබෙනවා.—ගීතාවලිය 139:14.