Skip to content

පටුනට යන්න

ගුවන් ගමන් තවමත් සුරක්ෂිතද?

ගුවන් ගමන් තවමත් සුරක්ෂිතද?

ගුවන් ගමන් තවමත් සුරක්ෂිතද?

විශාල මඟී ගුවන් යානා හතරක් පැහැරගනී. එම ගුවන් යානා හතරම විනාශ වී යයි. ලොව සුපතළ ගොඩනැඟිලි දෙකක් සුනු විසුනු වී යන්නේ නොසිතූ විරූ ලෙසයි. බොයිං 767 වර්ගයේ විශාල ගුවන් යානය නිවුන් කුලුනුවලින් එකක් විනාශ කර දමමින් ඒ හා ගැටුණු දර්ශනය රූපවාහිනිය ඔස්සේ පෙන්වූ වාර ගණන අපමණය.

වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා එල්ල වූ ප්‍රහාරයන් රුදුරු ත්‍රස්තවාදයේ බිය හාත්පස පැතුරුණු නව යුගයකට අපව ගෙනැවිත් ඇත. ගුවන් යානා මිනිසුන්ව ඝාතනය කිරීමේ අවියක් ලෙසත් යම් ස්ථානයකට ගිනි තැබීමේ ක්‍රමයක් ලෙසත් යොදාගැනීමට පටන්ගෙන තිබේ.

මෙම තත්වය ගුවන් මඟීන් තුළ නව ආකාරයක බියක් ඇතිවීමට මූලික හේතුව වී තිබේ. ගුවන් යානාවල ගමන් කිරීම සුරක්ෂිතයි කියා සිතූ අය තුළ දැන් දැන් බියක් ඇතිවීමට පටන්ගෙන ඇත. මෙයට හේතුව ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමට තිබෙන ඉඩ කඩයි. එපමණක්ද නොවෙයි, සැප්තැම්බර් 11වනදායින් පසුව ත්‍රස්තවාදී ප්‍රහාර පමණක් නොව වෙනත් හේතු නිසාත් මාරාන්තික ගුවන් අනතුරු කිහිපයක්ම සිදු වූ නිසාද බොහෝදෙනෙකුගේ බිය තව තවත් වැඩි වී තිබේ.

ලොව පුරා සිටින බොහෝදෙනෙකුට ගුවන් යානාවලින් ගමන් කිරීමට තරම් වත්කමක් නැත. කෙසේවෙතත්, සමහරුන්ට ගුවන් යානාවලින් ගමන් කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට බොහෝ අවස්ථාවලදී ගමන් කිරීමට සිදු වන්නේ ගුවන් යානාවලිනි. තමන් පැවරුම් ලබා තිබෙන රටට යෑම සඳහා ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ට හා දේවසේවකයන්ට දිගු ගුවන් ගමන්වල නිරත වීමට සිදු වේ. දිළිඳු අයට පවා හදිසි අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තිබෙන එකම සුදුසු ප්‍රවාහණ මාධ්‍යය විය හැක්කේ ගුවන් යානයකි. එමෙන්ම ගුවන් නියමුවන් ලෙස හා ගුවන් යානයක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සේවය කිරීම තමන්ගේ ජීවනෝපාය කරගන්න දහස් ගණනක්ද සිටිති.

ගුවන් යානාවලින් ගමන් කරන මේ අයගෙන් බොහෝදෙනෙකුට බියක් දැනිය හැකියි. එමෙන්ම නිවසින් පිට වී යෑමට පෙර, බියෙන් පසු වන තම විවාහක කලත්‍රයාගේ හා දරුවන්ගේ බිය දුරු කිරීමටද ඔවුන්ට සිදු වේ. ගුවන් තොටුපළවලින් පිට වී ගුවන්ගත වීම කලින් සාමාන්‍ය දෙයක්ව පැවතියද, දැන් එය අසීරු දෙයක් බවට පත් වී තිබෙන නිසා ගුවනින් ගමන් කිරීමට තමන් තුළ තවමත් මනාපයක් තිබෙනවාද කියා ගුවන් මඟීහු කල්පනා කරති.

මේ ප්‍රශ්න ගැන අවධානය යොමු කිරීමේ අරමුණින් පිබිදෙව්! සඟරාවේ නියෝජිතයෙක්, ආරක්ෂක අංශවල සේවය කරන ප්‍රවීණයන්, ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල, ගුවන් සමාගම් හා ගුවන් යානා නඩත්තු කරන සේවකයන් සමඟ සාකච්ඡා කළේය. මෙහිදී ඔවුන් සෑම කෙනෙකුම එකඟ වූ කාරණයක් වූයේ ගුවන් යානා තවමත් වඩාත් ආරක්ෂාකාරී ප්‍රවාහණ මාධ්‍යවලින් එකක් බවයි. කෙසේවෙතත්, නව තර්ජන එල්ල වී තිබෙන නිසා ගුවන් මඟීන්ගේ ආරක්ෂාව තර කිරීම සඳහා නව උපක්‍රම සෙවිය යුතුය යන කාරණයද ඔවුන්ගේ අදහස්වලට ඇතුළත් විය.

මේ කාරණය හා සම්බන්ධ අභියෝග ගැනත් ඔබ ගුවන් යානයක ගමන් කරද්දී ඔබේ ආරක්ෂාව මෙන්ම සුවපහසුව වැඩි කරගැනීමට ඔබට පෞද්ගලිකව කළ හැකි දේවල් ගැනත් ඊළඟ ලිපිවල සාකච්ඡා කෙරේ.