Skip to content

පටුනට යන්න

තුල්‍ය පීඩනය ඇත්තටම හිතන තරම් දරුණුද?

තුල්‍ය පීඩනය ඇත්තටම හිතන තරම් දරුණුද?

යෞවන අය අසති . . .

තුල්‍ය පීඩනය ඇත්තටම හිතන තරම් දරුණුද?

“මම හිතන්නේ නැහැ තුල්‍යයන්ගෙන් මට පීඩනයක් තියෙනවා කියලා”—පැමලා, 12 හැවිරිදි සිසුවියක්.

“මම නම් හිතන්නේ නැහැ ඉස්සර තරම්ම තුල්‍ය පීඩනය මට බලපානවා කියලා. මට වැඩියෙන්ම පීඩනයක් ඇති කරන්නේ මමමයි”—රොබී, වැඩිවියට පා තැබූ යෞවනයෙක්.

කවදා හෝ ඔබටත් මෙසේ හැඟී තිබෙනවාද? ඔබට එසේ හැඟුණත් “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” යන බයිබල් උපදෙස නම් ඔබට අලුත් දෙයක් නොවෙයි. එහෙම නේද? (1 කොරින්ති 15:33, NW) එසේ වුවත් ‘මගේ දෙමාපියන් සහ වෙනත් වැඩිහිටියන් හිතන තරම්ම තුල්‍ය පීඩනය, වෙනත් විදිහකින් කියනවා නම් සම වයසේ හෝ සම තත්වයන්වල සිටින අයගෙන් එල්ල වන පීඩනය, විශාල බලපෑමක් ඇති කරනවාද?’ කියා ඔබ තුළ සැකයක් ඇති වෙන්න පුළුවන්.

එවැනි දෙගිඩියාවන් සමඟ ඔබ පොරබඳිනවා නම් එසේ පොරබදින්නේ ඔබ පමණක් නොවෙයි. තුල්‍ය පීඩනය බලපෑම් කරන එක් ආකාරයක් වෙත ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලන්න සතුටුයි. ඔබ සිතනවාට වඩා තුල්‍ය පීඩනයෙහි යම් බලපෑමක් තිබිය හැකිද? ඇත්තෙන්ම තුල්‍ය පීඩනය කොතරම් බලවත්ද කියා තේරුම්ගත් පසු යෞවනයෝ ඒ ගැන පුදුමයට පත් වී තිබෙනවා. යෞවනියක් වන ඇන්ජිගේ උදාහරණයෙන් එය සැබෑවක් බව තහවුරු වෙනවා. ඇය කටයුතු කරන්නේ සමාජයට ඕන විදිහටයි කියා අකමැත්තෙන් වුණත් ඇය පිළිගන්නවා. ඇය මෙසේ ප්‍රකාශ කරනවා. “සමහර අවස්ථාවල සමාජයෙන් එල්ල වන පීඩනය කොතරම් බලවත්ද කිවහොත් එය තුල්‍ය පීඩනය කියලාවත් ඔබ සිතන්නේ නැහැ. ඔබ සිතන්නේ එය ඔබ තුළින්ම එන පීඩනයක් හැටියටයි.”

එය හරියට ලිපිය ආරම්භයේ සඳහන් කළ රොබීට හැඟුණු ආකාරය වගේයි. ඔහු පවසන ආකාරයට ඔහුට වැඩියෙන්ම පීඩනයක් ඇති කරන්නේ ඔහුමයි. ඒ මොනවා කිව්වත් විශාල නගරයක් අසල ජීවත් වීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි කියන එක ඔහු පිළිගන්නවා. එහෙම කියන්නේ ඇයි? ද්‍රව්‍යවාදී වටපිටාවකින් පැමිණෙන තුල්‍ය පීඩනය නිසයි. ඔහු මෙසේ ප්‍රකාශ කරනවා. “අපේ පැත්තේ සල්ලි තමයි වැදගත්ම දෙය.” මෙයින් යම් ඉඟියක් කරනවා. එනම් තුල්‍ය පීඩනය සැහැල්ලුවට තැකිය නොහැකි බවයි. එසේනම් බොහෝ යෞවනයන් තුල්‍ය පීඩනය තමන්ට බලපාන්නේ නැතැයි කියා සිතන්නේ මන්ද?

මුළාකරවන තරම් ප්‍රබලයි

තුල්‍ය පීඩනය මුළාකරවනසුලු විය හැකියි. ඇත්තෙන්ම සමහරවිට එය අපට දැනෙන්නේවත් නැහැ. මෙම නිදර්ශනයෙන් එය පැහැදිලි වෙනවා. අප මුහුදු මට්ටමේ ජීවත් වෙනවා නම් අපට ඉහළින් දසත පැතිර තිබෙන වාතය අප මතට නිරතුරුවම එල්ල කරන පීඩනය වර්ග සෙන්ටි මීටරයකට කිලෝග්‍රෑම් එකයි. a සෑම දිනකම ඔබ එවන් පීඩනයක් යටතේ ජීවත් වුණත් ඔබට එය දැනෙන්නේ නැහැ. එයට හේතුව, ඔබ එයට හුරු වෙලා.

වායු ගෝලයේ පීඩනය අපිට හානිදායක නොවන බව පිළිගත යුතුයි. නමුත් මනුෂ්‍යයන් අපට සුළු පීඩනයක් ඇති කළත් කාලයත් සමඟම අපව වෙනස් කිරීමට එයට හැකියි. ප්‍රේරිත පාවුල් තුල්‍ය පීඩනයේ තිබෙන බලපෑම හොඳින් හඳුනාගත් කෙනෙක්. ඔහු රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වේ “ලෝකයට ඔබව එහි අච්චුවට දමා අඹන්න ඉඩ නොදෙන්න” කියායි. (රෝම 12:2, The New Testament in Modern English) මෙය සිදු වන්නේ කොහොමද?

තුල්‍ය පීඩනය ක්‍රියාත්මක වන ආකාරය

අන් අයගේ අනුමැතිය සහ පිළිගැන්ම ලැබීමට ඔබ ආශා කරනවාද? අප අතරින් හුඟදෙනෙකු ඔව් කියා පිළිතුරු දෙන බව නිසැකයි. ඒත් අන් අයගේ පිළිගැන්ම ලැබීමට තිබෙන එම ස්වාභාවික ආශාව දෙපැත්ත කැපෙන කඩුවක් වීමට පුළුවන්. ඇත්තෙන්ම මෙම පිළිගැන්ම අත් පත් කරගැනීම සඳහා දරන වෑයමේදී අප නැවතීමේ ලකුණ තබන්නේ කොතැනදීද? සුදුසු දේ නුසුදුසු දේ තෝරාගැනීමට අපට හැකියාව තිබුණත් අප අවට සිටින අය ගැන කුමක් කිව හැකිද? ඒ අය තුල්‍ය පීඩනය මඟහැරීමට වෑයම් කරන අයද නැතිනම් එයට යටත් වන අයද?

උදාහරණයකට මේ දෙය සලකා බලන්න. සදාචාරය සම්බන්ධව බයිබලයේ දී ඇති ප්‍රමිතීන් අද කාලේට ගැළපෙනවා කියා පිළිගන්නේ කීයෙන් කීදෙනාද? බොහෝදෙනෙකු සිතන්නේ දෙවිගේ වචනයේ පවසන විදිහට ඔහුට නමස්කාර කිරීමට අවශ්‍ය නැති බවයි. (යොහන් 4:24) ඔවුන්ට එසේ හැඟෙන්නේ මන්ද? එයට හේතුව තුල්‍ය පීඩනය විය හැකියි. එපීස 2:2හි පවසන්නේ පාවුල් ලෝකයේ පවතින ක්‍රමය තුළ “ආත්මයක්” නොහොත් බලපවත්වන ආකල්පයක් ඇති බවයි. එම ආත්මය යෙහෝවාව නාඳුනන ලෝකය සිතන ආකාරයට සිතීමට මනුෂ්‍යයන්ව පොලඹවයි. අපට මෙයින් ඇති විය හැකි බලපෑම කුමක්ද?

අපගේ එදිනෙදා ජීවිතයේදී එනම් පාසැලේදී, පාඩම් කරන විටදී, පවුල් වගකීම් ඉටු කරන විටදී සහ රැකියා ස්ථානයේදී අපගේ ක්‍රිස්තියානී ප්‍රතිපත්ති අගය නොකරන අයත් සමඟ කටයුතු කිරීමට අපට සිදු වෙනවා. උදාහරණයකට, හුඟදෙනෙකු පාසැලේ ජනප්‍රිය වීමට ඕනෑම දෙයක් පුද දෙයි. එනම් දුරාචාරමය ලිංගික ක්‍රියාකාරකම්වල හෝ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයේ නිරත වීමට පවා ඔවුන් පසුබට වෙන්නේ නැහැ. එවැනි ක්‍රියාවල නිරත වන හෝ එවැනි ක්‍රියා සැහැල්ලුවට තකන අයව අපේ සමීපතම මිතුරන් කරගත් විට කුමක් සිදු වේවිද? මුලදී සුළුවෙන් පටන් අරගෙන සමහරවිට පසුව අපත් එම ආකල්පම දැරීමට පුළුවන්. ලෝකයේ “ආත්මය” නැතහොත් “වාතය” අපව එහි අච්චුවට දමමින් අප මත පීඩනයක් එල්ල කරාවි.

නවීන දින සමාජ විද්‍යාඥයන් මෙම බයිබල් ප්‍රතිපත්ති සනාථ කරන පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඈෂ්ගේ පරීක්ෂණයට අපි අවධානය යොමු කරමු. එකට වාඩි වී සිටින මිනිසුන් කණ්ඩායමකට සම්බන්ධ වන ලෙස එක් පුද්ගලයෙකුට ආරාධනා කළා. ඉන්පසු වෛද්‍ය ඈෂ් සිරස් රේඛාවක් අඳින ලද විශාල කාඩ් එකක් පෙන්වා, විවිධ ප්‍රමාණයෙන් යුත් සිරස් රේඛා තුනක් සහිත තවත් කාඩ් එකක් අනතුරුව පෙන්නුවා. ඊළඟට මුලින් පෙන්නූ කාඩ් එකේ තිබූ සිරස් රේඛාවට ගැළපෙන්නේ දෙවෙනියට පෙන්නූ කාඩ් පතේ තිබූ රේඛා තුනෙන් කුමන රේඛාවද කියා කණ්ඩායමේ සිටි අයගෙන් ඔහු ප්‍රශ්න කළා. එයට උත්තර දීම ඉතාමත් පහසුයි. පළමු වතා කිහිපයේදී හැමෝම එකම උත්තරය දුන්නා. නමුත් තුන්වෙනි වතාවේදී වෙනසක් ඇති වුණා.

පෙර කී ලෙස කුමන රේඛාවද ගැළපෙන්නේ කියා කීම ඉතාමත් පහසුයි. නමුත් පරීක්ෂා කරනු ලබන පුද්ගලයාට නොදැනෙන්න කණ්ඩායමේ සිටි අනිත් මිනිසුන්ට යම් ගෙවීමක් කර වැරදි උත්තරයක් දෙන ලෙස ඔවුන්ට පැවසුවා. ගෙවීමක් කිරීමෙන් පසු පුද්ගලයන් සියලුදෙනාම දුන්නේ එකම වැරදි උත්තරයයි. ප්‍රතිඵලය, තමන් නිවැරදියයි දැන සිටි පිළිතුරට ඇලී සිටියේ පරීක්ෂා කරනු ලැබූ පුද්ගයන්ගෙන් සියයට 25ක් පමණයි. අනෙක් සියලුදෙනාම නිවැරදි දේ ඇසින් දුටුවත් එක් වතාවක් හෝ කණ්ඩායම දුන් වැරදි උත්තරයට එකඟ වුණා.

මෙයින් එක් දෙයක් පැහැදිලියි. එනම් තමන් අවට සිටින අයගේ තත්වයට සරිලන ආකාරයෙන් හැඩගැසීමට මනුෂ්‍යයන්ට අවශ්‍යයි. එය කොතරම්ද කිවහොත් සමහරුන් සත්‍යය ඉදිරියේ පවා දෑස් පියාගන්නවා. යෞවනයන් වැඩිදෙනෙක් පෞද්ගලිකව මෙම පීඩනය අද්දැක තිබෙනවා. එය පිළිගන්නා එක් අයෙකි 16වන වියේ පසු වන ඩැනියෙල්. “තුල්‍ය පීඩනයට පුළුවන් ඔබව වෙනස් පුද්ගලයෙක් කරන්න. ඒ වගේම පුද්ගලයන් වැඩිදෙනෙක් ඉන්නකොට පීඩනය තව තවත් වැඩි වෙනවා. සමහරවිට ඔබ ඔවුන් කරන දේ හරියි කියා සිතීමට පවා පටන්ගන්න පුළුවන්.”

මුලින් සඳහන් කළ ඇන්ජී තමා පාසැලේදී අද්දුටු එවැනි පීඩනයක් ගැන හෙළි කරන්නේ මෙලෙසයි. “පාසැලේ සාමාන්‍ය පෙළට කලින් පංතිවල ඉන්නකොට මොන වගේ ඇඳුම්ද අඳින්නේ කියන එක හරි වැදගත්. ඇඳුමට වඩා වටින්නේ වෙළඳ නාමය. කමිසයකට රුපියල් 5000ක් වියදම් කරන්න කවුරුත් කැමති නැහැ. ඒත් ඇයි එසේ වියදම් කරන්නේ?” තුල්‍ය පීඩනයේ බලපෑමට හසු වන විට එම පීඩනය හඳුනාගැනීමට පවා නොහැකි බවයි ඇන්ජීගේ අදහස. නමුත් මීට වඩා වැදගත් කාරණාවලදී තුල්‍ය පීඩනය අපට බලපෑම් කරනවාද?

තුල්‍ය පීඩනය අනතුරුදායක වන්නේ මන්ද?

ඔබ මුහුදේ පීනමින් සිටිනවා කියා සිතන්න. ඔබ රැල්ලත් සමඟ ඉහළ පහළ යමින් පීනමින් සිටින විට ඔබටත් නොදැනීම වෙනත් බලයන්වල බලපෑමටද ඔබ හසු විය හැකියි. එනම්, රැල්ල ඔබව වෙරළට තල්ලු කළත් ඔබව ක්‍රමක්‍රමයෙන් වෙනත් පැත්තකට ඇඳගන්නා යටි සැඩ පහරකුත් මේ අතර තිබෙන්න පුළුවන්. ඔබ අන්තිමේදී වෙරළ දෙස බලන විට ඔබේ පවුලේ අයව හෝ මිතුරන්ව ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. යටින් තිබූ සැඩ පහර ඔබව කොතරම් දුරකට තල්ලු කළාද කියා ඔබට තේරුණේ නැහැ! එයාකාරයටම අපත් එදිනෙදා කාර්යයන්වල නිරත වන විට නිසැකවම අපගේ සිතුවිලි සහ හැඟීම්වලට බලපෑම් ඇති වෙනවා. අප එය වටහාගැනීමටත් පෙර මෙම බලපෑම නිසා අපි සැමදා රැකීමට සිතූ ප්‍රතිපත්ති කැඩීමට අප පෙලඹෙන්න පුළුවන්.

නිර්භීත මනුෂ්‍යයෙක් වූ ප්‍රේරිත පේතෘස් ගැන මොහොතකට සලකා බලන්න. යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි රාත්‍රියේදී සතුරන් ඉදිරිපිට ඔහු නිර්භීත ලෙස කඩුව එළියට ඇද්දා. (මාර්ක් 14:43-47; යොහන් 18:10) ඒත් අවුරුදු කිහිපයක් ගිය පසු තුල්‍ය පීඩනය නිසා ඔහු පක්ෂවාදීකම දැක්වීමට පෙලඹුණා. යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ව අපවිත්‍ර අය හැටියට නොසලකන ලෙස ක්‍රිස්තුස් ඔහුට දර්ශනයකින් කලින්ම මඟ පෙන්වීම ලබා දී තිබුණත් ඔහු යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ව මඟහැරියා. (ක්‍රියා 10:10-15, 28, 29) කඩුවට මුහුණ දෙනවාට වඩා අන් මනුෂ්‍යයන්ගේ අපහාසයන්ට මුහුණ දෙන එක අපහසු දෙයක් බව පේතෘස්ට සමහරවිට හැඟෙන්න ඇති! (ගලාති 2:11, 12) ඇත්තෙන්ම, තුල්‍ය පීඩනය අනතුරුදායක වීමට ඉඩ තිබෙනවා.

තුල්‍ය පීඩනයෙහි තිබෙන බලපෑම හඳුනාගැනීම අත්‍යවශ්‍යයි

පේතෘස්ගේ ආදර්ශයෙන් අපට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එනම් යම් අවස්ථාවල අප ස්ථිරව කටයුතු කළ පමණින් සෑමවිටම අප ස්ථිරව කටයුතු කරයි කියා අදහස් කරන්නේ නැහැ. අප සෑම කෙනෙකුටම මෙන් පේතෘස්ටද දුර්වල ගුණාංග තිබුණා. අපි කවුරු වුණත් අප පහසුවෙන් ගොදුරු විය හැකි පැති ගැන සැලකිලිමත් විය යුතුයි. අපි අපෙන් අවංකව මෙසේ ආසාගත යුතුයි. ‘මම පහසුවෙන් ගොදුරු වන පැති මොනවද? මම වත් පොහොසත් ජීවිතයකට හුඟාක් ආශා කරනවාද? පෙනුම සහ සමර්ථකම් ගැන අනවශ්‍ය ලෙස උඩඟු වෙනවාද? ගෞරවය, තත්වය සහ ජනප්‍රියත්වය ලබාගැනීමට මා කොතරම් කැපවීම් කරන්න සූදානම්ද?

සමහරවිට මත්ද්‍රව්‍ය භාවිතකරන්නන්ව හෝ ලිංගික දුරාචාරයේ යෙදෙන්නන්ව ආශ්‍රයට තෝරාගනිමින් අපි සිතා මතාම ගින්දර ළයට නොගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපේ සියුම් දුර්වලකම් ගැන කුමක් කිව හැකිද? අපේ දුර්වලකමට තවත් පොහොර දමන කෙනෙකුව අප ආශ්‍රයට තෝරාගත් විට අප තුල්‍ය පීඩනයේ බලපෑමට ඉබේම නතු වෙනවා. සමහරවිට එය අපේ අවසානය විය හැකියි.

අධෛර්යයට පත් වෙන්න එපා. මොකද හැම තුල්‍ය පීඩනයක්ම නරක නැහැ. අපේ යහපතට දායක වන ආකාරයෙන් තුල්‍ය පීඩනය පාලනය කරගත හැකිද? අනතුරුදායක තුල්‍ය පීඩනයන් මඟහරවා ගන්නේ කොහොමද? එම ප්‍රශ්නවලට පිළිතුරු “යෞවන අය අසති . . .” ලිපි මාලාවේ මතුවට පළ කෙරේ.

[පාදසටහන]

a ඉතාමත් සරල පරීක්ෂණයකින් වාතයේ පීඩනය පෙන්විය හැකියි. ඔබ හිස් ප්ලාස්ටික් බෝතලයක් කන්දක් මුදුනට රැගෙන ගොස් එම බෝතලය තුළට වාතය පිරෙන්න සලස්වා, පසුව එහි කට හොඳින් වසා කන්දෙන් පහළට ගෙනා ආ විට බෝතලයට කුමක් සිදු වේවිද? එය හැකිලෙයි. එයට හේතුව පිටත වාතයේ ඝනත්වය බෝතලය ඇතුළේ ඇති වාතයට වඩා ඉතා ඉහළ අගයක් ගෙන තිබීමයි.

[14, 15වන පිටුවේ පින්තූර]

ද්‍රව්‍යවාදී වටපිටාවකින් දරුණු තුල්‍ය පීඩනයක් ඇති විය හැකියි