Skip to content

පටුනට යන්න

නත්තල ගැන ඔබ දත යුතු දේ

නත්තල ගැන ඔබ දත යුතු දේ

බයිබලයේ දෘෂ්ටිකෝණය

නත්තල ගැන ඔබ දත යුතු දේ

දස දෙස වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් 2002 නත්තල් සමයේ ප්‍රීතිය භුක්ති විඳීමට සූදානම් වෙමින් සිටිති. සමහරවිට ඔබත් ඔවුන් අතර සිටින්නෙකු විය හැකියි. එසේ නැතහොත්, ඔබ මෙම ජනප්‍රිය උත්සවයේ ආගමික වතාවත්වලට හවුල් නොවන කෙනෙකු විය හැක. ඒ කෙසේවෙතත්, නත්තලේ බලපෑමෙන් මිදෙන්න ඔබට නොහැකි වීමට ඉඩ තිබේ. ක්‍රිස්තියානි නොවන රටවල පවා වාණිජ ලෝකය හා විනෝදාස්වාදය සපයන මාධ්‍යයන් එහි බලපෑමට හසු වී ඇත.

නත්තල ගැන ඔබ දන්නේ කුමක්ද? ක්‍රිස්තුස්ගේ උපත උත්සව සිරියෙන් සැමරීම බයිබලයෙහි සනාථ කර තිබේද? සෑම දෙසැම්බර් 25වනදාම පවත්වන මෙම ජනප්‍රිය උත්සවය පිටුපස තිබෙන්නේ කුමක්ද?

නත්තලට තහංචි

මෙම විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට ඔබ විනාඩි කීපයක් ගත කරන්නේ නම් එය ආරම්භ වී ඇත්තේ සැබෑ ක්‍රිස්තු ධර්මය තුළින් නොවන බව ඔබ දැනගනු ඇත. විවිධ ආගමික සංවිධානවල සිටින බයිබල් විශාරදයන් බොහෝදෙනෙක් මෙය පිළිගනිති. එලෙස දැනුම ලබා තිබෙන ඔබ එංගලන්තයේ ක්‍රොම්වෙල්ගේ පාර්ලිමේන්තුව මගින් 1647දී නිකුත් කළ නියෝගයෙන් පුදුමයට පත් නොවන බව නිසැකයි. එහිදී පැවසුවේ නත්තල පව් ගැන පසුතැවිලි වීමේ දවසක් විය යුතු බවය. පසුව 1652දී නත්තල සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදි. වර්ෂ 1644 සිට 1656 දක්වා සෑම වසරකම පාර්ලිමේන්තුව දෙසැම්බර් 25වනදාටම රැස් විය. ඉතිහාසඥ පෙනි එල්. රෙස්ටාඩ් පැවසුවේ මෙසේය. “ක්‍රිස්තුස්ගේ උපත ගැන දේශනා කළ දේවසේවකයෝ සිරගත වීමේ අවදානමෙහි සිටියෝය. තම පල්ලි සැරසීම හේතුවෙන් ගිහි නියෝජිතයන්ට දඩ ගෙවීමට සිදු විය. සාමාන්‍ය වැඩ දවසක් මෙන් නත්තල් දිනයේදී කඩ සාප්පු විවෘතව තැබිය යුතුය යන නීතිය පනවා තිබුණි.” එවැනි දරුණු ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ මන්ද? පියුරිටානු ප්‍රතිසංස්කරණ බැතිමතුන්ගේ විශ්වාසය වූයේ, පල්ලිය මගින් ශුද්ධ ලියවිල්ලේ අඩංගු නොවන සම්ප්‍රදායන් බිහි නොකළ යුතු බවය. නත්තල් උත්සවයන් හෙළා දකිමින් ක්‍රියාශීලී ලෙස දේශනා කළ ඔවුහු ඒ පිළිබඳව සඳහන් පොත් පත්ද බෙදාහැරියහ.

උතුරු අමෙරිකාවේද එවැනිම ආකල්ප තිබුණ බව පැහැදිලි විය. වර්ෂ 1659 සහ 1681 අතර කාලපරිච්ඡේදයේදී මැසචුසෙට්ස් බේ ජනපදයෙහි නත්තල තහනම් කර තිබුණි. a එවකට පනවා තිබූ නීතියට අනුව, කිසිම ආකාරයකින් නත්තල නොපැවැත්විය යුතුව තිබුණි. නීතිය කඩ කරන්නන්ට දඩ ගෙවීමට සිදු විය. නව එංගලන්ත පියුරිටානුවන් පමණක් නොව මධ්‍යම ජනපදවල ඇතැම් කණ්ඩායම්ද නත්තල් උත්සවයන් පැවැත්වීමට අකමැත්ත පළ කළහ. පෙන්සිල්වේනියාහි ක්වේකවරුන්ද මෙම උත්සවය පිළිබඳව පියුරිටානුවන් දැරූ දැඩි මතයමයි දැරුවේ. “අමෙරිකානුවන් නිදහස ලබා ස්වල්ප කලකට පසුව, ක්වේකවරියක් වූ එලිසබෙත් ඩ්‍රින්කර් විසින් ෆිලඩෙල්පියන්වරුන්ව කණ්ඩායම් තුනකට වෙන් කරනු ලැබුවාය. එම කණ්ඩායම් තුන නම් ක්වේකවරුන් වැනි ‘[නත්තල] වෙනත් දවසකට වඩා විශේෂ දවසක් නොවන බව සලකන අය,’ එය භක්ත්‍යාදරයෙන් පිළිගන්නා අය හා ‘එය නොහික්මුණු ඝෝෂාකාර උත්සවයක් ලෙස පවත්වන අයයි.’”

ප්‍රසිද්ධ අමෙරිකානු දේශකයෙකු වූ හෙන්රි වෝඩ් බීච හැදී වැඩී ඇත්තේ ඕතඩොක්ස් කැල්විනියානු නිවසකය. මේ හේතුවෙන් වයස අවුරුදු 30 වන තුරු ඔහු නත්තල ගැන දැන සිටියේ ස්වල්ප වශයෙනි. “නත්තල මට නුහුරු දෙයක්” කියා 1874දී බීච ලිවීය.

මුල් බැප්ටිස්ට් හා කොන්ග්‍රිගේෂනලිස්ට් සභාවලටද ක්‍රිස්තුස්ගේ උපත උත්සවාකාරයෙන් පැවැත්වීමට ශුද්ධ ලියවිලිමය පදනමක් ලැබී තිබුණේ නැත. එක් පොතක සඳහන් වන්නේ, නිව්පෝට්හි [රෝඩ් දිවයින] බැප්ටිස්ට් සභාව පළමු වතාවට නත්තල පැවැත්වූයේ 1772 දෙසැම්බර් 25වනදා කියාය. එනම් නව එංගලන්තයේ මුල් බැප්ටිස්ට් සභාව පිහිටුවා වසර 130කට ආසන්න කාලයකට පසුවය.

නත්තලේ මූලාරම්භය

නිව් කැතලික් එන්සයික්ලොපීඩියා දරන්නේ මෙවැනි අදහසකි. “ක්‍රිස්තුස් උපන්නේ කවදාදැයි හරියටම දන්නේ නැත. ශුභාරංචිවල දිනයවත් මාසයවත් සඳහන් වී නැත. . . . එච්. යූස්න විසින් ඉදිරිපත් කරන ලද කල්පිතයකට අනුව . . . හා අදදින විශාරදයන් වැඩිදෙනෙකුගේ පිළිගැනීමට අනුව, ක්‍රිස්තුස්ගේ උපත යොදා තිබෙන්නේ ශීත සූර්ය නිවෘත්තියේදීය (ජූලියන් කැලැන්ඩරයෙහි දෙසැම්බර් 25වනදා සහ ඊජිප්තියානු කැලැන්ඩරයෙහි ජනවාරි 6වනදා).මීට හේතුව, සූර්යයා යළිත් උත්තරධෘවයට පතිත වීමට පටන්ගන්නා එම දිනයේදී මිත්‍රා නම් දෙවියාට වන්දනාමාන කළ මිථ්‍යා භක්තිකයන් ඩයිස් නැටලිස් සෝලිස් ඉන්වික්ට් (අපරාජිත හිරුගේ උපන්දිනය) යන උත්සවය පැවැත්වීමයි. අධිරාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂකයා හිරු දෙවි බව පොදු යුගයේ 274 දෙසැම්බර් 25වනදා ඔරෙලියන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර කැම්පස් මාටියස්හි ඔහු වෙනුවෙන් දේවස්ථානයක්ද කැප කළේය. නත්තල බිහි වූයේ රෝමයෙහි හිරු නිකාය බලවත්ව තිබූ අවදියකය.”

මැක්ලින්ටොක් හා ස්ට්‍රෝංගේ විශ්වකෝෂය මෙසේ පවසයි. “නත්තල පැවැත්වීම දිව්‍යමය නියමයක්වත්, නව තෙස්තමේන්තුව පදනම් කරගෙන ආරම්භ වූ දෙයක්වත් නොවේ. ක්‍රිස්තුස්ගේ උපන් දිනය නව තෙස්තමේන්තුව තුළින්වත්, ඇත්තෙන්ම, වෙන කිසිම මූලාශ්‍රයකින්වත් සොයාගත නොහැක.”

“හිස් රැවටිල්ලක්”

ඉහත සඳහන සලකා බලන කල, අව්‍යාජ ක්‍රිස්තියානීන් නත්තලට අදාළ සම්ප්‍රදායන්වල නියැලිය යුතුද? දෙවිට නමස්කාර නොකරන්නන්ගේ ආගමික විශ්වාසයන් හා වතාවත් සමඟ දෙවිට දෙන නමස්කාරය මිශ්‍ර කිරීම දෙවිගේ සතුටට කාරණයක් වේද? ප්‍රේරිත පාවුල් කොලොස්සි 2:8හි [NW] මෙසේ අනතුරු අඟවා තිබේ. “ක්‍රිස්තුස්ට එකඟ නොවූ, මිනිස් සම්ප්‍රදායටද ලෝකයේ ප්‍රාථමික දේවල්වලටද එකඟ වූ දර්ශනවාද සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙක් ඔබව කොල්ලයක් කර නොගන්නා ලෙස ප්‍රවේසම් වන්න.”

එම ප්‍රේරිතවරයා මෙසේද ලීවේය. “නොඇදහිලිකරුවන් සමඟ නුසුදුසු ලෙස සම්බන්ධකම් නොපවත්වන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ නීති විරෝධී ක්‍රියා අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද? තවද, ක්‍රිස්තුස් සහ බෙලියල් [සාතන්] අතර ඇති එකමුතුකම කුමක්ද? නැත්නම්, ඇදහිලිවන්තයෙකුට නොඅදහන්නෙකු සමඟ ඇති කොටස කුමක්ද?”—2 කොරින්ති 6:14, 15, NW.

පහසුවෙන් ලබාගත හැකි මෙවැනි සාක්ෂි සලකා බලන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නත්තල් උත්සවවලට හවුල් වීමෙන් වැළකී සිටිති. ශුද්ධ ලියවිලිවලට එකඟව, ඔවුන් වෑයම් කරන්නේ ‘ලෝකයෙන් කිලුටු නොවී දෙවි ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලුටු වූ නමස්කාරයක්’ පිරිනැමීමටය.—යාකොබ් 1:27.

[පාදසටහන]

a ඉංග්‍රීසි පියුරිටානුවන් විසින් 1628දී පිහිටුවනු ලැබූ මැසචුසෙට්ස් බේ ජනපදය නව එංගලන්තයේ පිහිටෙවූ විශාලතම හා ඉතාම සාර්ථක ජනපදයයි.

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එංගලන්තයේ පාර්ලිමේන්තුව 1652දී නත්තල තහනම් කළේය

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘නත්තල මට නුහුරු දෙයක් වුණා’—අමෙරිකානු පූජකයෙකු වූ හෙන්රි වෝඩ් බීච

[17වන පිටුවේ පින්තූරය]

මිත්‍රා හා හිරු දෙවිගේ මිථ්‍යා භක්තිකයෝ (ඇඹුම් රුවේ පෙන්වා ඇති) දෙසැම්බර් 25වනදා උත්සවයක් පැවැත්වූහ

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris