Skip to content

පටුනට යන්න

මතභේදයක් පවතින්නේ මන්ද?

මතභේදයක් පවතින්නේ මන්ද?

මතභේදයක් පවතින්නේ මන්ද?

දක්ෂ කුම්භකාරයෙකුගේ හස්තයෙහි ඇති මුදු මොළොක් මැටි ගුළියක් ඕනෑම හැඩයකට ඇඹීම අසීරු කාර්යයක් නොවේ. ජීව විද්‍යා ක්ෂේත්‍රයෙහි නම්, එම මුදු මොළොක් මැටි ගුළියට සම කළ හැකි වන්නේ කලලයකින් ලබාගත් ප්‍රාථමික සෛලයි. මිනිස් සිරුරෙහි තිබෙන වර්ග 200කට වඩා වැඩි සෑම සෛලයක්ම පාහේ නිපදවීමට මෙම ප්‍රාථමික සෛල භාවිත කළ හැකිය. මෙවැනි දෙයක් සිදු කරන්නේ කෙසේද? අලුත සංසේචනය වූ ඩිම්බ සෛලයකට සිදු වන දේ සලකා බලන්න.

ඩිම්බ සෛලයක් සංසේචනය වූ වහාම එය බෙදෙන්නට පටන්ගනී. මිනිසුන් තුළ නම්, මෙම සෛලය දින පහක් පමණ මෙසේ බෙදීමෙන් අනතුරුව බ්ලාස්ට කෝෂ්ඨය නමැති කුඩා සෛල ගුලිය සෑදේ. එය හිස් ගෝලයක් බඳුය. බාහිර සෛල ස්තරය යනුවෙන් හැඳින්වෙන පොත්තකින්ද ඇතුළු සෛල පිඩ යනුවෙන් හැඳින්වෙන සෛල 30කින් පමණ යුත් පොකුරකින්ද එය සමන්විත වේ. මෙම ඇතුළු සෛල පිඩ, ගෝලයේ ඇතුල් බිත්තියට සවි වී ඇත. බාහිර සෛල ස්තරය කලල බන්ධය බවට පත් වන අතර, ඇතුළු සෛල පිඩ මිනිස් කලලය බවට හැරේ.

කෙසේවෙතත්, බ්ලාස්ට කෝෂ්ඨක අවස්ථාව වන විට ඇතුළු සෛල පිඩ ස්නායු, වකුගඩු හෝ පේශී සෛල වැනි සුවිශේෂ සෛල වර්ගවලට විභේදනය වීම අරඹා නැත. ඒවාට ප්‍රාථමික සෛල යන නාමය දී ඇත්තේ එමනිසාය. ඇරත්, සිරුරේ සෑම සෛල වර්ගයක්ම පාහේ එමගින් බිහි වන බැවින්, ඒවා බහුබලැති සෛල ලෙසද හඳුන්වා ඇත. ප්‍රාථමික සෛල සම්බන්ධයෙන් ඉස්මතු වී ඇති උනන්දුවට හා මතභේදයට සුල මුල තේරුම්ගැනීම සඳහා, පර්යේෂකයන් මෙතෙක් කර ඇති දේ හා ඔවුන්ගේ ඉලක්කයන් මොනවාද යන්න සලකා බලමු. මුලින්ම කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල පිළිබඳව සෝදිසි කර බලමු.

කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල

ප්‍රාථමික සෛල හා පුනර්ජනන වෛද්‍ය විද්‍යාවේ අනාගතය නමැති වාර්තාවෙහි මෙසේ පැවසේ. “පසුගිය වසර 3 ඇතුළතදී [මිනිස් කලලයකින් ලබාගත්] ප්‍රාථමික සෛල බ්ලාස්ට කෝෂ්ඨකයෙන් ඉවත් කර විද්‍යාගාරයේ කෘත්‍රිම සෛල රෝපණ මාධ්‍යයක් තුළ තැන්පත් කරමින් ඒවා විභේදනය නොවූ අවස්ථාවෙහිම තබාගැනීමට හැකි වී තිබේ.” a සරලව කියනවා නම්, කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල රෝපණය කොට, එක හා සමාන සෛල පිටපත් අසංඛ්‍යාත ගණනක් නිපදවීමට හැකි වී තිබේ. මීයන්ගේ කලලයකින් ලබාගත් ප්‍රාථමික සෛලවලින් 1981දී මුල් වරට රෝපණය කළ ප්‍රාථමික සෛල මාර්ගයෙන් විද්‍යාගාරයේදී සෛල පිටපත් බිලියන ගණනක් නිපදවීමට හැකි විය.

මෙම සෛල සියල්ලම විභේදනය නොවූ තත්වයක පවතින නිසා, ප්‍රාථමික සෛලවලට නිසි ජෛව රසායනික උත්තේජනයක් ලබා දීමෙන් පටක ප්‍රතිසම්පාදන චිකිත්සාව සඳහා අවශ්‍ය වන ඕනෑම සෛල වර්ගයක් එමගින් ජනිත කරවීමට හැකි වේයයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති. සරලව කියනවා නම්, ප්‍රාථමික සෛල, අසීමිත ‘අමතර කොටස්’ සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි මූලාශ්‍රයක් ලෙස සැලකේ.

සතුන් යොදාගනිමින් කළ අධ්‍යයන දෙකකදී පර්යේෂකයෝ කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල ඉන්සියුලින් නිපදවන සෛල බවට හරවා, දියවැඩියා රෝගයෙන් පෙළෙන මීයන් තුළට බද්ධ කළෝය. එක් අධ්‍යයනයක් තුළදී දියවැඩියා රෝග ලක්ෂණ ඉවත් කරගත හැකි වුවද, අනික් අධ්‍යයනය තුළදී ඉන්සියුලින් ප්‍රමාණවත් ලෙස නිපදවීමට මෙම නවක සෛලවලට හැකියාවක් ලැබුණේ නැත. මේ හා සමාන අධ්‍යයනයන් කිරීමෙන්, සුෂුම්නාවේ ආබාධ ඇති අයගේ ස්නායු ක්‍රියාකාරිත්වය ප්‍රකෘති තත්වයට ගෙන එමින් හා පාර්කින්සන් රෝග ලක්ෂණ ඉවත් කරමින් තරමක් දුරට සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත. ජාතික විද්‍යා ශාස්ත්‍රාලය පවසන පරිදි, “මෙම අධ්‍යයනවලින් යම් බලාපොරොත්තුවක් ජනිත වුවද, මිනිසුන් සඳහා ඒ හා සමාන ප්‍රතිකාර ක්‍රම කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකි බවට ස්ථිර සාක්ෂි නැත.” එනමුත් මිනිස් කලලයකින් ලබාගත් ප්‍රාථමික සෛල පිළිබඳව පවත්වන පර්යේෂණ මෙතරම් මතභේදයට තුඩු දී ඇත්තේ මන්ද?

ප්‍රශ්න මතු කර ඇත්තේ මන්ද?

කලලයෙන් ප්‍රාථමික සෛල ඉවතට ගැනීමේ ක්‍රියාවලියේදී කලලයක් විනාශ කිරීමට සිදු වන නිසා එය කොයි කාගෙත් අවධානයට යොමු වී ඇත. ජාතික විද්‍යා ශාස්ත්‍රාලය පැහැදිලි කරන පරිදි ප්‍රාථමික සෛල ඉවතට ගතහොත්, “මිනිස් කලලයට පූර්ණ මිනිසෙකු ලෙස වැඩෙන්නට ලැබෙන අවස්ථාව මුළුමනින්ම ඇනහිටිනු ඇත. පිළිසිඳ ගන්නා මොහොතේදීම ජීවයක් ආරම්භ වන බව විශ්වාස කරන අය පවසන දේට අනුව, මෙවැනි ESC [කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල යොදාගනිමින් කෙරෙන] පර්යේෂණ මගින් මිනිස් ජීවිතයක් විනාශ කිරීම තහනම් කරන මූලධර්මය උල්ලංගනය වනවා පමණක් නොව, කොයිතරම් උතුම් පරමාර්ථයක් පෙරදැරි කරගත්තද මිනිස් ජීවිතයක් වෙනයම් පරමාර්ථයක් ඉටු කරගැනීම උදෙසා බිලි දිය යුතු මාධ්‍යයක් සේ සැලකීම තහනම් කරන මූලධර්මයද උල්ලංගනය වේ.”

ප්‍රාථමික සෛල ලබාගැනීම සඳහා විද්‍යාගාරවලට කලල සැපයෙන්නේ කොතැනින්ද? සාමාන්‍යයෙන් නළදරුවන් බිහි කරන සායනවලිනි. මෙහිදී, නළදරුවන් බිහි කිරීමට කාන්තාවන් විසින් ඩිම්බ සෛල සපයා ඇත. කලල අතිරික්තය සාමාන්‍යයෙන් අයිස්වලින් මුදනු ලැබේ. එසේ නැතහොත් ඉවත දමනු ලැබේ. ඉන්දියාවේ එක් සායනයක් වසරකට මිනිස් කලල 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉවත දමයි.

කලලවලින් ලබාගත් ප්‍රාථමික සෛල පිළිබඳව දිගටම පර්යේෂණ පවත්වන අතරතුරේදී, එතරම් මතභේදයට තුඩු දී නැති ප්‍රාථමික සෛල වර්ගයකට ඇතැම් පර්යේෂකයෝ තම අවධානය යොමු කරමින් සිටිති. එය නම් පරිණත ප්‍රාථමික සෛල නමැති වර්ගයයි.

පරිණත ප්‍රාථමික සෛල

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන මෙසේ පවසයි. “පරිණත ප්‍රාථමික සෛලයක් යනු වෙන වෙන වර්ගයන්වලට විභේදනය වූ (විශේෂණය වූ) පටකවල සොයාගත හැකි විභේදනය නොවූ (විශේෂණය නොවූ) සෛල විශේෂයකි.” විභේදනය වූ පටකවලට නිදසුන් ලෙස, ඇටමිදුළු, රුධිරය සහ රුධිර වාහිනී, සම නොහොත් චර්මය, සුෂුම්නාව, අක්මාව, ආමාශයාන්ත්‍රික මාර්ගය සහ අග්න්‍යාශය සඳහන් කරන්නට පුළුවන. මේ සම්බන්ධයෙන් පැවැත්වූ පර්යේෂණවලින් මුලදී හෙළි වූයේ කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛලවලට වඩා පරිණත ප්‍රාථමික සෛලවලින් ගත හැකි ප්‍රයෝජන වඩාත් සීමිත බවය. කෙසේවෙතත්, සමහර පරිණත ප්‍රාථමික සෛල ප්‍රභේදවලට, ඒවා ලබාගත් පටක වර්ගයට වඩා වෙනස් පටක වර්ග දක්වා විභේදනය වීමට හැකියාව ඇති බව සතුන් භාවිත කරමින් කරන ලද ඇතැම් අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත.

ප්‍රාථමික රුධිරාණු සෛල (HSC) යන නමින් හැඳින්වෙන රුධිරය සහ ඇටමිදුළුවලින් වෙන් කරගත් පරිණත ප්‍රාථමික සෛලවලට “ඇටමිදුළු තුළ නොකඩවාම අලුත්වැඩියා වීමට හැකියාව ඇති අතර, රුධිරයේ අඩංගු සියලුම රුධිර සෛල වර්ග දක්වා විභේදනය වීමටද ඒවා සමත්ය.” එසේ පවසනු ලැබුවේ ජාතික විද්‍යා ශාස්ත්‍රාලය විසිනි. එමනිසා මෙම වර්ගයේ ප්‍රාථමික සෛල ලිව්කීමියාව සහ රුධිරය හා සම්බන්ධ වෙනත් අක්‍රමිකතාවලට ප්‍රතිකාර වශයෙන් දැනටමත් භාවිත කර ඇත. b දැන් තවත් විද්‍යාඥයන් කියා සිටින්නේ HSC සෛලවලින් අක්මා සෛල හා නියුරෝනවලට සමානකම් ඇති සෛල මෙන්ම මොළයේ තිබෙන වෙනත් සෛල වර්ගද බිහි වන බවය.

මීයන්ගේ ඇටමිදුළුවලින් ගත් වෙනත් ආකාරයේ ප්‍රාථමික සෛලයක් යොදාගනිමින්, එක්සත් ජනපදයෙහි පර්යේෂකයන් තවත් වැදගත් පියවරක් ඉදිරියට ගෙන ඇති බවක් පෙනේ. නිව් යෝක් ටයිම්ස්හි වාර්තා වී ඇති පරිද්දෙන් නේචර් නමැති සඟරාවෙහි පළ වූ ඔවුන්ගේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම සෛලවලට “කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛලවලට තිබෙන සුනම්‍යභාවයම” ඇති බවයි. මෙම පරිණත ප්‍රාථමික සෛලවල ක්‍රියාකාරිත්වය ගත් කල, “කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛලවලින් ඉටු වනු ඇතැයි බලාපොරොත්තු වන කාර්යයම” අපේක්ෂා කළ හැකිය යන්න එහි තවදුරටත් සඳහන් විය. කෙසේවෙතත්, පරිණත ප්‍රාථමික සෛල පිළිබඳව පර්යේෂණ පවත්වන පර්යේෂකයෝ තවමත් ප්‍රබල අභියෝගවලට මුහුණ දෙමින් සිටිති. මෙම සෛල ඉතා දුර්ලභය, හඳුනාගැනීමත් අපහසුය. අනික් අතට, එයින් යම් වෛද්‍යමය ප්‍රයෝජන නෙළාගත හැකි වුවහොත් මිනිස් කලල විනාශ නොවනු ඇත.

සෞඛ්‍ය අවදානම් සහ පුනර්ජනන වෛද්‍ය විද්‍යාව

ප්‍රාථමික සෛල කවර ස්වරූපයකින් භාවිත කළද, එමගින් ලබා දෙන ප්‍රතිකාරවල බරපතළ අවාසි තිබෙනු ඇත. බද්ධ කිරීම සඳහා අවශ්‍ය පටක ලබාගැනීමට මං විවෘත කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්‍යාඥයන් නිපුණත්වයක් ලැබුවද එම අවාසි තවදුරටත් පවතී. එක් ප්‍රධාන බාධකයක් වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ එනම් එය ලබන්නාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් විදේශීය පටක ප්‍රතික්ෂේප කිරීමය. ඒ සඳහා දැනට විසඳුමක් ලෙස අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මර්දනය කිරීමට ප්‍රබල ඖෂධ ශරීරගත කිරීමය. එනමුත් ඖෂධවලින් ඇති වන අතුරු ආබාධ බරපතළය. ජාන ඉන්ජිනේරු විද්‍යාව මාර්ගයෙන් ප්‍රාථමික සෛලවල සැකැස්ම වෙනස් කොට, එමගින් බිහි කරන පටක, එම පටකය ලබන තැනැත්තාට විදේශීය යමක් සේ නොදැනෙන ලෙස සකස් කළ හැකි නම්, ගැටලුව මඟහරවා ගත හැකි වේ.

කළ හැකි තවත් දෙයක් නම්, රෝගියාගේම පටකවලින් ඉවත් කරගත් ප්‍රාථමික සෛල භාවිත කිරීමය. සායනවල කර ඇති ප්‍රාථමික පර්යේෂණවලදී ලියුපසය (Lupus) නමැති රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රාථමික රුධිරාණු සෛල දැනටමත් භාවිත කර ඇත. දියවැඩියා රෝගය සම්බන්ධයෙන්ද මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක විය හැකිය. කෙසේවෙතත්, එය සාර්ථක වන්නේ අලුතින් හඳුන්වා දෙන පටකවලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රහාරයක් එල්ල නොවනවා නම් පමණි. මන්දයත් දියවැඩියා රෝගය මුලින්ම හටගන්නේ ශරීරයේ සෛලවලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එල්ල වූ ප්‍රහාරයක බලපෑම නිසාය. ඇතැම් හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ටද ප්‍රාථමික සෛල ප්‍රතිකාරවලින් ප්‍රයෝජන තිබිය හැක. කර ඇති එක් යෝජනාවක් වන්නේ හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමෙන් පෙළෙන රෝගීන් තම ප්‍රාථමික සෛල කලින්ම ප්‍රදානය කර, ඒවා විද්‍යාගාරයක කෘත්‍රිම ලෙස රෝපණය කිරීමට ඉඩහැරීමය. එවිට හානියට ලක් වූ කන්තුක පටක ප්‍රතිසම්පාදනය කිරීමට ඒවා පසු අවස්ථාවක භාවිත කළ හැකි වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම පටක ප්‍රතික්ෂේප කරන්නේ මන්ද යන ප්‍රශ්නය සමඟ පොරබදින ඇතැම් විද්‍යාඥයන් යෝජනා කරන්නේ රෝගීන්ව ක්ලෝන කිරීමය. කෙසේවෙතත්, ඔවුන්ගේ මතයට අනුව මෙම ක්ලෝන, බ්ලාස්ට කෝෂ්ඨක අවස්ථාව තෙක් පමණක් වර්ධනය වීමට ඉඩ දිය යුතු වේ. එම අවස්ථාවේදී කලලයෙන් ප්‍රාථමික සෛල ලබාගැනීමට පුළුවන. (“ක්ලෝනයක් සෑදිය හැකි අන්දම” යන කොටුව බලන්න.) මෙම ප්‍රාථමික සෛලවලින් රෝපණය කරන පටක එම සෛල ප්‍රදානය කර, පසුව ඒවා ලබන තැනැත්තාගේ ජාන සැකැස්මට සමාන වනු ඇත. එමනිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් යම් විරෝධයක් එල්ල නොවනු ඇත. එනමුත්, ඇතැම් පුද්ගලයන් එය සදාචාරමය වශයෙන් ඉතා පිළිකුල්සහගත දෙයක් ලෙස සලකනවාට අමතරව, ආවේණික රෝගයක් සුව කිරීමට සිදු වන අවස්ථාවලදී එවැනි ක්ලෝන සෑදීම නිෂ්ඵල කාර්යයක් බවද පෙන්වා දෙයි. ප්‍රතිශක්තිය හා සම්බන්ධ ගැටලුව කැටි කොට දක්වමින් ජාතික විද්‍යා ශාස්ත්‍රාලය මෙසේ පවසයි. “පුනර්ජනන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේදී බද්ධ කරනු ලබන සෛල ප්‍රයෝජනවත් වීමට නම්, ඒවා ප්‍රතික්ෂේප කිරීම මඟහරවා ගත හැකි අන්දම අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වන අතර, එය මෙම ක්ෂේත්‍රයෙහි තිබෙන විශාලතම අභියෝගවලින් එකක් වේ.

කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල බද්ධ කිරීමෙන් අර්බුද හෝ ටියුමරයක් නැතහොත් ගෙඩියක් හටගැනීමේ අවදානමද ඇති විය හැක. විශේෂයෙන්ම ටෙරටෝමා නමැති අර්බුදය හටගැනීම මෙහිදී සඳහන් කරන්නට පුළුවන. එහි තේරුම “යෝධ අර්බුදය” යන්නයි. මෙම අර්බුදයේදී චර්මය, කෙස්, පේශී, කාටිලේජ සහ අස්ථි වැනි නානාවිධ පටකවලින් සමන්විත අසාමාන්‍ය වර්ධනයක් සිරුරේ ඇති විය හැක. සාමාන්‍ය සෛලයක් වර්ධනය වෙද්දී, සෛල බෙදී යෑම සහ වෙන වෙන වර්ගයන්වලට සෛල විශේෂණය වීම සිදු වන්නේ ඉතා ඍජු ජාන වැඩපිළිවෙළකට අනුවය. එනමුත් ප්‍රාථමික සෛල, බ්ලාස්ට කෝෂ්ඨකවලින් ඉවත් කර විද්‍යාගාරවල කෘත්‍රිම ලෙස රෝපණය කර ජීවියෙකු තුළට විදිනු ලබන විට මෙම ක්‍රියාවලියන් වැරදිය හැක. සෛල බෙදී යෑමේ හා විවිධ වර්ගවලට විභේදනය වීමේ ඉතා සංකීර්ණ වූ ක්‍රියාවලීන් පිළිබඳව නිපුණත්වයක් ලබාගැනීම පර්යේෂකයන් ඉදිරියෙහි තිබෙන අභියෝග අතුරින් තවත් එකක් පමණි.

පිළියමක් ළඟපාතක නැති වග

ප්‍රාථමික සෛල හා පුනර්ජනන වෛද්‍ය විද්‍යාවේ අනාගතය නමැති වාර්තාවෙහි මෙසේ පැවසේ. “මෙම ක්ෂේත්‍රය පිළිබඳව මෙතෙක් ලබාගෙන ඇති දැනුම් මට්ටම ගැන වැරදි අදහසක් ලැබීම හේතුවෙන්, මෙම අලුත් ප්‍රතිකාර ක්‍රම වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල්ව භාවිත කරන කාලය අත ළඟ බවට කෙනෙකු සිතිය හැක. එනමුත් ඊට පදනමක් නැත. ඇත්තෙන්ම කියනවා නම්, ප්‍රාථමික සෛල ආශ්‍රිත පර්යේෂණ තවමත් පවතින්නේ ප්‍රාථමික අවදියේය. එමෙන්ම, පරිණත සෛල හෝ කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල පදනම් කරගනු ලැබූ අලුත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම් මට්ටමේ අඩු තැන් තවමත් පුරවා නැත.” මින් පැහැදිලිව පෙනී යන්නේ විසඳුම්වලට වඩා ගැටලු ඇති බවය. නිව් යෝක් ටයිම්ස්හි පළ වූ වාර්තාවක සඳහන් වන පරිදි, “යෝජිත ප්‍රතිකාර ක්‍රම මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මහජනයාගෙන් එල්ල විය හැකි විරෝධය භාරගැනීමට” පවා ඇතැම් විද්‍යාඥයෝ සූදානමින් සිටිති.

ප්‍රාථමික සෛල නමැති ක්ෂේත්‍රයට අමතරව මෑත දශකවලදී නොයෙකුත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාව සැලකිය යුතු දියුණුවක් ලබා ඇත. කෙසේවෙතත්, අප දැක ඇති පරිදි දියුණුව ලබා ඇති පැති කිහිපයක් සම්බන්ධයෙන් ආචාර විද්‍යාව, සදාචාරමය හා හරි වැරැද්ද හා බැඳි සංකීර්ණ ප්‍රශ්න ඉස්මතු වී තිබේ. මෙවැනි කාරණා සම්බන්ධයෙන් නිසි මඟ පෙන්වීමක් ලබාගත හැක්කේ කාගෙන්ද? මීට අමතරව, පර්යේෂණ සඳහා යොදාගැනෙන දියුණු තාක්ෂණය මිල අධික වන විට, ප්‍රතිඵලයක් වශයෙන් අපේක්ෂා කළ හැකි ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ මිල අධික වේ. දැනටමත් ප්‍රාථමික සෛල ප්‍රතිකාර සඳහා රෝගියෙකුට ඩොලර් ලක්ෂ ගණනක් වැය විය හැකි බව ඇතැම් පර්යේෂකයන් ගණන් බලා ඇත. වර්තමානයෙහි පවා දිනෙන් දින වැඩි වන වෛද්‍ය වියදම් සහ රක්ෂණ වාරික ගෙවීමම මිලියන ගණන් ජනකායකට ඉතා අසීරු කාර්යයක් වී තිබේ. එසේනම්, ප්‍රාථමික සෛල ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන්නට පටන්ගන්නා විට, එයින් ඇත්තටම ප්‍රයෝජන ලබාගනු ඇත්තේ කවුද? එම ප්‍රශ්නයට උත්තර ලබාගැනීම සඳහා අප කාලයාට ඉඩ දිය යුතුය.

කෙසේවෙතත් අපට එක දෙයක් ගැන ස්ථිර විය හැක. එනම්, මිනිසා සොයාගන්නා කිසිදු ප්‍රතිකාර ක්‍රමයකින් අසනීප සහ මරණය නැති කර දැමිය නොහැකි බවය. (ගීතාවලිය 146:3, 4) එවන් දෙයක් කිරීමට බලය තිබෙන්නේ අපගේ මැවුම්කරුට පමණි. එනමුත් එවැන්නක් කිරීම ඔහුගේ අරමුණ හා සම්බන්ධද? බයිබලය එම ප්‍රශ්නයට සපයන උත්තරය ඊළඟ ලිපියෙහි සඳහන්ය. එමෙන්ම, වෛද්‍යමය ප්‍රශ්න ඇතුළුව දිනෙන් දින ඉස්මතු වෙමින් සංකීර්ණ වන සදාචාරමය, ආචාර විද්‍යා මෙන්ම හරි වැරැද්ද පිළිබඳ ප්‍රශ්න කන්දරාව හමුවේ අපට මඟ පෙන්වීමක් දීමට බයිබලයට හැකි අයුරුද එහි සාකච්ඡා කෙරේ.

[පාදසටහන්වල]

a මෙම වාර්තාව පිළියෙළ කරනු ලැබුවේ එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ශාස්ත්‍රාලය නියෝජනය කරන විවිධ කමිටු සහ මණ්ඩල මගිනි.

b ඇටමිදුළු බද්ධ කිරීම හා සම්බන්ධ ශුද්ධ ලියවිලිමය හා වෙනත් ප්‍රතිපත්ති පිළිබඳව කෙරුණු සාකච්ඡාවක් සඳහා 1986 අප්‍රියෙල් 1 මුරටැඹෙහි 32වන පිටුව බලන්න.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ප්‍රාථමික සෛල ලබාගත හැකි තවත් ක්‍රමයක්

පරිණත හා කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛලවලට අමතරව, කලලයෙන් ලබාගත් ජන්මාණු සෛල වෙන් කරගැනීමටද විද්‍යාඥයන් සමත් වී ඇත. කලල ජන්මාණු සෛල, කලලයක හෝ භෲණයක ප්‍රජනනේන්ද්‍රිය හටගන්නා ප්‍රදේශයෙහි සෛලවලින් ලබාගත හැක. (මෙම ප්‍රජනනේන්ද්‍රිය ස්තරය ඩිම්බ කෝෂ හෝ වෘෂණ බවට පත් වේ.) කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛලවලට වඩා කලල ජන්මාණු සෛල ආකාර කිහිපයකින්ම වෙනස් වුවද, දෙවර්ගයම බහුබලැති සෛල වේ. එනම්, සෑම සෛල වර්ගයක්ම පාහේ රෝපණය කිරීමේ හැකියාවකින් ඒවා සමන්විතය. බහුබලැති සෛලවලට තිබෙන මෙම හැකියාව, පෙර නොවූ විරූ ආකාරයකින් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කිරීමට ඉතා යෝග්‍ය අඩිතාලමක් ලෙස සැලකේ. කෙසේවෙතත්, මෙලෙස හඳුන්වා දිය හැකි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව යම් උනන්දුවක් ජනිත වුවද එම සෛල ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන ඇත. ඒවා ලබාගන්නේ ගබ්සා කළ භෲණවලින් හෝ කලලවලිනි. මේ අනුව බලන කල, මෙම සෛල ලබාගැනීමට නම් භෲණ හෝ කලල විනාශ කළ යුතු වේ.

[28, 29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ක්ලෝනයක් සෑදිය හැකි අන්දම

මෑත වසරවලදී විද්‍යාඥයන් සත්වයන් වර්ග කිහිපයක්ම ක්ලෝන කර ඇත. වර්ෂ 2001දී එක්සත් ජනපදයේ විද්‍යාගාරයක මිනිසෙකුව පවා ක්ලෝන කිරීමට තැත් කරන ලදි. කෙසේවෙතත්, එම උත්සාහය අසාර්ථක විය. විද්‍යාඥයන් ක්ලෝන සිදු කරන එක් ක්‍රමයක් වන්නේ න්‍යෂ්ටි හුවමාරුව යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාවලිය මගිනි.

මුලින්ම, සංසේචනය නොවූ ඩිම්බ සෛලයක් ගැහැනු සතෙකුගෙන් ඉවත් කොටගෙන එහි (1) DNA පිහිටා ඇති සෛල න්‍යෂ්ටිය ඉවත් කරනු ලැබේ. (2) ක්ලෝන කිරීමට බලාපොරොත්තු වන සත්වයාගේ දේහයෙන් චර්ම සෛලයක් වැනි උචිත සෛලයක් ලබාගනී. (3) මෙම සෛලයේ න්‍යෂ්ටියේ අයිතිකරුගේ ප්‍රවේණි සැලැස්මේ පිඹුරු පත අඩංගුය. ඊළඟට මෙම සෛලය (හෝ එහි න්‍යෂ්ටිය පමණක්) සෛල න්‍යෂ්ටිය ඉවත් කළ ඩිම්බ සෛලයට ඇතුල් කර එතුළින් විදුලි දහරාවක් යවයි. (4) ප්‍රතිඵලයක් ලෙස මෙම සෛලය ඩිම්බ සෛල ප්ලාස්මය සමඟ සංයෝජනය වේ. (5) මෙම අලුත් න්‍යෂ්ටියෙන් සකස් වී ඇති ඩිම්බ සෛලය සංසේචනය වූ සෛලයක් සේ විභාජනය වී වර්ධනය වේ. (6) මෙසේ, දේහ සෛලය ගත් සත්වයාගේ ක්ලෝනයක් වර්ධනය වෙන්නට පටන්ගනී. c

මෙසේ වර්ධනය වන භෲණය ආදේශක මව් සත්වයෙකුගේ ගර්භාශය තුළ තැන්පත් කරන්නට පුළුවන. (7) කිසිදු ගැටලුවක් පැන නොනඟින අවස්ථාවන්හිදී පරිණත අවස්ථාව දක්වා එය වැඩෙයි. නමුත් මෙවැනි අවස්ථා ඉතා දුර්ලභය. මීට විකල්පයක් ලෙස, ඇතුළු සෛල පිඩෙන් කෘත්‍රිම ලෙස රෝපණය කරගත හැකි කලලීය පියවි සෛල ලබාගත හැකි අවස්ථාව එළඹෙන තෙක් භෲණය කල් තබාගත හැකිය. මෙම මූලික ක්‍රියාවලිය මිනිසුන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුතු බව විද්‍යාඥයන්ගේ මතය වේ. ඇත්තෙන්ම, මිනිසෙකු ක්ලෝන කිරීමට ඉහත සඳහන් උත්සාහය ගන්නා ලද්දේ කලල පියවි සෛල ලබාගැනීමේ අදහසිනි. මෙම අදහසින් ක්ලෝන කිරීම හඳුන්වනු ලබන්නේ ප්‍රතිකාරාත්මක ක්ලෝනීකරණය ලෙසය.

[පාදසටහන්වල]

c ඩොලි නමැති බැටළුවා පරිණත පටක ස්තරයකින් ලබාගත් ප්‍රාථමික සෛලයකින් ක්ලෝන කර බිහි කළ මුල්ම ක්ෂීරපායි සත්වයා විය. පරිණත බැටළුවෙකුගේ ස්තන ග්‍රන්ථියෙන් ඉවත් කරගත් සෛලයක න්‍යෂ්ටිය, විද්‍යාඥයන් විසින් සෛල න්‍යෂ්ටිය ඉවත් කළ ඩිම්බ සෛලයක් තුළ තැන්පත් කරන ලදි.

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

3

1 → 2 → 4 → 5 → 6 → 7

[27වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල(සරල දැක්මක්)

සංසේචනය වූ ඩිම්බ සෛලයක් (1වන දවස)

සෛල සතරක් (3වන දවස)

ඇතුළු සෛල පිඩකින් යුත් බ්ලාස්ට කෝෂ්ඨය(5වන දවස)

කෘත්‍රිමව රෝපණය කළ ප්‍රාථමික සෛල

මිනිස් සිරුරේ 200 ඉක්මවා යන සෛල වර්ග

→ තයිරොයිඩ සෛල

→ අග්න්‍යාශයික සෛලයක්(දියවැඩියාව සුව කිරීමට ඉවහල් විය හැක)

→ වර්ණක සෛල

→ රතු රුධිරාණු සෛල

→ වකුගඩු සෛල

→ අස්ථි පේශීමය සෛල

→ කන්තුක පේශීමය සෛල(හානියට ලක් වූ හෘදය වස්තුවක් අලුත්වැඩියා කිරීම සඳහා යොදාගත හැක)

→ පෙණහැල්ලක සෛලයක්

→ ස්නායු සෛලයක්(ඇල්ෂයිමර් සහ පාර්කින්සන්

රෝගවලට ප්‍රතිකාර කිරීමටද සුෂුම්නාවට

සිදු වූ හානි අලුත්වැඩියා කිරීමටද යොදාගත හැක)

→ චර්මයේ සෛල

[හිමිකම් විස්තර]

බ්ලාස්ට කෝෂ්ඨය සහ කෘත්‍රිමව රෝපණය කළ ප්‍රාථමික සෛල: University of Wisconsin Communications; අන් සියලු රූප සටහන්: © 2001 Terese Winslow, assisted by Lydia Kibiuk and Caitlin Duckwall

[28වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

පරිණත ප්‍රාථමික සෛල (සරල දැක්මක්)

ඇටමිදුළුවල සොයාගත හැකි ප්‍රාථමික රුධිරාණු සෛලයක්

→ ලිම්ෆොසයිට

→ ඉයොසිනොෆිල්

→ රතු රුධිරාණු සෛල

→ පට්ටිකා

→ මොනෝසයිට

→ බැසොෆිල

→ බිහි කළ හැකි වෙනත් බොහෝ සෛල වර්ග

→ ස්නායු සෛලයක්

[හිමිකම් විස්තර]

© 2001 Terese Winslow, assisted by Lydia Kibiuk and Caitlin Duckwall