Skip to content

පටුනට යන්න

මාරාන්තික මෙහෙයුමක සිට සාමය ලුහුබැඳීම දක්වා ආ ගමන

මාරාන්තික මෙහෙයුමක සිට සාමය ලුහුබැඳීම දක්වා ආ ගමන

මාරාන්තික මෙහෙයුමක සිට සාමය ලුහුබැඳීම දක්වා ආ ගමන

පැවසුවේ ටෝෂිආකි නීවා

දෙවන ලෝක සංග්‍රාමයේදී අමෙරිකානු යුධ නෞකාවකට කැමිකාසී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ජපන් ගුවන් නියමුවෙක් එම මාරාන්තික මෙහෙයුමට සූදානම් වන විටදී තමාට හැඟුණ ආකාරය විස්තර කරයි.

වර්ෂ 1942 ජූනිවලදී, ජපානය මිඩ්වේ සටනේදී අන්ත පරාජයකට පත් වුණා. එම සිද්ධියත් සමඟම පැසිෆික් සාගරය තුළ එහි දේශ සීමා පුළුල් කරගැනීමේදී ජපානය අත් කරගෙන තිබූ සාර්ථකත්වයට නැවතීමේ ලකුණ වැටුණා. ඉන්පසුව, එක්සත් ජනපදය හා මිත්‍ර පාක්ෂිකයන් ජපානය සමඟ කළ සෑම සටනකින්ම ජය අත් කරගනිමින් ජපානය එතෙක් යටත් කරගෙන තිබූ දේශයන් සියල්ලම ආපසු අත් පත් කරගත්තා.

හමුදා සේවයෙන් එතෙක් නිදහස් කර තිබූ විශ්වවිද්‍යාල සිසුන්වත් අනිවාර්ය සේවයට බඳවාගන්නා බව 1943 සැප්තැම්බර් මාසයේදී ජපන් ආණ්ඩුව නිවේදනය කළා. මම දෙසැම්බර් මාසයේදී විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී නාවික හමුදාවට බැඳුණා. එතකොට මට අවුරුදු 20යි. මාසයක් ගෙවුණු පසු මම නාවික හමුදාවේ ගුවන් අංශයේ පුහුණු වීමට පටන්ගත්තා. ඉන්පසු, 1944 දෙසැම්බර් මාසයේදී සීරෝ නමින් හැඳින්වූ සටන් යානා වර්ගයක් පියාසර කරවීමට මාව පුහුණු කළා.

කැමිකාසී විශේෂ ප්‍රහාරක බලකාය

ජපානය අන්ත පරාජයකට පත් වන බවට ලක්ෂණ පෙනෙන්න තිබුණා. වර්ෂ 1945 පෙබරවාරි මාසය වන විට බෝම්බ හෙළන B-29 වර්ගයේ ප්‍රහාරක යානාවලින් ජපානයට එක දිගටම පහර දුන්නා. ඒ අතරතුරේදී, එ.ජ. නාවික කාර්යසාධක බලකායන්ද ජපානය වෙතට ළඟා වුණා. ඔවුන් ගුවන් යානා ගෙන යන ධාවන පථයක් සහිත නෞකාවලින් පිටත් කර යැවූ බෝම්බ හෙළන ප්‍රහාරක යානාවලින් ජපානයට පහර දුන්නා.

ඉන් මාස කිහිපයකට පෙර, ජපන් හමුදා නිලධාරීන් තීරණය කර තිබුණේ මරාගෙන මැරෙන උපක්‍රම යොදාගෙන අවසන් සටනක යෙදෙන්නයි. එසේ තීරණය කළේ ජපානයට යුද්ධයෙන් ජය හිමි නොවන බවට පැහැදිලි සාක්ෂි තිබියදීයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුද්ධය අනවශ්‍ය ලෙස දික්ගැස්සුණ අතර තවත් දහස් ගණනකගේ ජීවිත නිරපරාදේ විනාශ වුණා.

කැමිකාසී විශේෂ ප්‍රහාරක බලකාය බිහි වුණේ ඒ ආකාරයටයි. ජනවහරවලට අනුව කැමිකාසී, නැන්නම් දිව්‍යමය සුළං ලෙස හැඳින්වූ සුළි සුළඟක් 13වන සියවසේ මොන්ගෝලියානු ආක්‍රමණිකයන්ගේ යාත්‍රා ගසාගෙන යෑමට සැලැස්සුවා. ඉහත සඳහන් බලකායට කැමිකාසී යන නම ඈඳාගත්තේ එම කතාව පදනම් කරගෙනයි. පළමුවෙනි කැමිකාසී ප්‍රහාරය සඳහා සැලසුම් කර තිබුණේ කිලෝග්‍රෑම් 250ක් බරැති බෝම්බවලින් සන්නද්ධ සීරෝ වර්ගයේ සටන් යානා පහක් යොදාගෙන සතුරු නෞකාවකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමටයි.

විශේෂ ගුවන් යානා සමූහයක් භාවිත කළ මරාගෙන මැරෙන භට කණ්ඩායමක් සංවිධානය කිරීමට යටාබේ නාවික ගුවන් සේනාංකයට අණ දුන්නා. මමත් එම සේනාංකයේ සාමාජිකයෙක් වුණා. මරාගෙන මැරෙන ප්‍රහාරක බලකායට බැඳීම සම්බන්ධයෙන් අපේ කැමැත්ත අකමැත්ත පළ කිරීම සඳහා අප සියලුදෙනාටම පෝරමයක් දුන්නා.

මම හිතුවා මගේ රට වෙනුවෙන් මම දිවි පිදිය යුතුයි කියා. ඒත් ගැටලුවක් තිබුණා. මරාගෙන මැරෙන ගුවන් මෙහෙයුමක් සඳහා මම දිවි පිදීමට ඉදිරිපත් වුණත් ඉලක්ක කළ දිශාවට ගමන් කරන අතරතුරේදී පවා සතුරු ප්‍රහාරයකින් මිය යෑමේ අවදානම තිබුණා. එහෙම වුණා නම් නිරපරාදේ මගේ ජීවිතය අහිමි වෙනවා. අනිත් එක, පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මගේ වගකීම් ඉටු නොකර මා මිය ගියොත් අම්මා මොනවා හිතාවිද යන ප්‍රශ්නයත් මගේ ඔළුවේ වැඩ කළා. මරාගෙන මැරෙන මෙහෙයුමකට ඉදිරිපත් වීම මට ගත හැකි හොඳම තීරණයද කියන එක ගැන මට ලොකු සැකයක් තිබුණා. නමුත් අවසානයේදී මම ඒ සඳහා ඉදිරිපත් වුණා.

වර්ෂ 1945 මාර්තු මාසයේදී, යටාබේ විශේෂ ප්‍රහාරක බලකාය සංවිධානය කෙරුණා. ඒ බලකායට මගේ මිතුරන් 29දෙනෙකුව තෝරගෙන තිබුණත් මාව ඒකට තේරුණේ නැහැ. ඔවුන් විශේෂ පුහුණුවක් ලැබූ පසු, අප්‍රියෙල් මාසයේ කගොෂීමා ජනපදයෙහි කැනෝයා කඳවුරේ සිට මාරාන්තික මෙහෙයුමක් සඳහා පිටත් වීමට නියමිතව තිබුණා. මගේ මිතුරන්ව කැනෝයා කඳවුරට මාරු කරන්න කලින් මම ඔවුන්ව හමුවීමට ගියා. මරාගෙන මැරෙන මෙහෙයුමට මුහුණ දෙන්න ඔන්න මෙන්න තිබියදී ඔවුන් තුළ මොන වගේ හැඟීම් තිබුණාද කියා දැනගන්න මට වුවමනා වුණා.

“අපි ඔක්කොමලා මැරේවි. හැබැයි ඔයා මැරෙන්න ඉක්මන් වෙන්න එපා. අපි ටිකදෙනා අතරින් එක්කෙනෙක් හරි බේරුණොත් සාමය කොයිතරම් වටිනා දෙයක්ද කියා ඔහු අනිත් මිනිසුන්ට කියා දෙන්න ඕනේ. ඔහු සාමය වෙනුවෙන් වෑයමක්ද දරන්න ඕනේ” කියා එක් මිතුරෙක් ඉතා සන්සුන්ව පැවසුවා.

මගේ මිතුරන් 1945 අප්‍රියෙල් 14වනදා පිටත් වුණා. පැය කිහිපයකට පසු, මෙහෙයුමේ ප්‍රතිඵල ගුවන්විදුලිය ඔස්සේ නිවේදනය කරද්දී අපි සියලුදෙනාම සවන් දුන්නා. “කිකයිගා ෂිමා දූපතට නැඟෙනහිරට වෙන්න මුහුදේ පිහිටි සතුරු කාර්යසාධක බලකායක් වෙතට කැමිකාසී විශේෂ ප්‍රහාරක බලකායේ පළමුවෙනි ෂෝවා ඒකකය කඩා වැදුණා. ඒකකයේ සියලුදෙනාම මිය ගියා.”

ඕහ්කා—මිනිස් බෝම්බයක්

මාස දෙකකට පසු, මාව කොනොයිකේ නාවික ගුවන් සේනාංකයට මාරු කළා. මාව එහෙට මාරු කළේ එහි ජින්රායි විශේෂ ප්‍රහාරක ගුවන් යානා සමූහයේ ගුවන් නියමුවෙක් වශයෙන්. ජින්රායි කියන වචනයේ තේරුම “දිව්‍ය ගිගිරුම” කියන එකයි. එම ගුවන් යානා සමූහයට අයත් වූයේ, (ප්‍රහාරකයන් වශයෙන් හැඳින්වූ) ගොඩබිමේ සිට මෙහෙයවනු ලැබූ ගුවන් යානා, ඒවා කැටුව ගිය සටන් යානා හා ගුවන් යානා ගෙන යන නෞකාවල සිට පියාසර කළ බෝම්බ ප්‍රහාරක යානායි.

සෑම “මව්” යානාවකම ඕහ්කා එකක් එල්ලා තිබුණා. ඕහ්කා කියන්නේ “චෙරි පියුමටයි.” එයින් සංකේතවත් කළේ දිවි පිදීමට සූදානමින් සිටි තරුණ ගුවන් නියමුවන්වයි. ඕහ්කා කියන්නේ එක් ආසනයකින් යුත් ග්ලයිඩර් යානයක් (සැහැල්ලු ගුවන් යානයක්). පියාපත් කොන් දෙක අතර පරතරය මීටර් 5ක් වූ, කිලෝග්‍රෑම් 440ක් බරැති එම යානයේ නාසිකයේ පුපුරන ද්‍රව්‍ය ටොන් එකක් විතර ගබඩා කර තිබුණා.

මව් යානය ඉලක්කය කරා ළඟා වූ විට නියමුවෙක් ඕහ්කා යානයට ඇතුල් වුණා. ඉන්පසු එය මව් යානාවෙන් වෙන් කරනු ලැබුවා. එය ඉතා සුළු කාලයක්, එනම් තත්පර දහයක් වැනි කාලයක් අතරතුර රොකට් තුනක ආධාරයෙන් කෙටි දුරක් පාවී ගොස් එක පාරටම ඉලක්කය වෙතට කඩා වැදුණා. ආපසු හැරීමක් කළ නොහැකි වූ එය මිනිස් බෝම්බයක් කියා හඳුන්වන්න පුළුවන්!

පුහුණු අභ්‍යාසවලදී ඕහ්කා නියමුවෙක් සීරෝ සටන් යානයකට ගොඩ වී, මීටර් 6,000ක් ඉහළට පියාසර කරමින් එක පාරටම ඉලක්කය වෙතට කඩා වැදුණා. මෙම පුහුණු අභ්‍යාසවලදී නියමුවන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.

ඒ භට කණ්ඩායමට මාව පත් කිරීමට කලින්, පළමුවෙනි අහස් යානා සමූහය පිටත් කර යවා තිබුණා. ඕහ්කා යානාවලින් සන්නද්ධ වූ ප්‍රහාරක යානා 18ක්ද ඒවා කැටුව ගිය සටන් යානා 19ක්ද එම කණ්ඩායමට අයත් වුණා. ප්‍රහාරක යානා සෑහෙන බරයි. ඒ වගේම ඒවා ගමන් කළේ අඩු වේගයකින්. ඉන් එක යානයකටවත් එහි ඉලක්කය කරා යෑමට නොහැකි වුණා. එක්සත් ජනපදයේ සටන් යානා විසින් වෙඩි පහර එල්ල කර ප්‍රහාරක යානා හා ඒවා කැටුව ගිය යානා සියල්ලක්ම විනාශ කරනු ලැබුවා.

මව් යානා කැටුව ගිය එක සටන් යානාවක්වත් ඉතිරි නොවූ නිසා ජින්රායි කණ්ඩායමේ ඊළඟ මෙහෙයුම් සඳහා ඒවා නොමැතිව පියාසර කරන්න සිදු වුණා. එම මෙහෙයුම්වලට සහභාගී වූ නියමුවන් ආපසු පැමිණියේ නැහැ. ඔවුන් සියලුදෙනාම ඔකිනාවා සටන් භූමියේදී මිය ගියා.

යුද්ධයේ අවසාන අදියර

වර්ෂ 1945 අගෝස්තු මාසයේදී මාව ඔට්සු නාවික ගුවන් සේනාංකයට මාරු කළා. මාව යැව්වේ කයෝටෝ නගරය අසල තිබෙන හියා-සාන් කඳුකරයේ පාමුල පිහිටි කඳවුර වෙතටයි. එක්සත් ජනපදයේ හමුදාව ජපානයට පා තබයි යන අපේක්ෂාවෙන් සිටි නිසා කඳු මුදුනේ සිට ඕහ්කා යානා පිටත් කර යවා එ.ජ. යුද නෞකාවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළා. යානා පිටත් කර යැවීම සඳහා කඳු මුදුනේ පීලි සවි කර තිබුණා.

පිටත් වන මෙන් අණ දෙන තෙක් අපි බලා සිටියා. එහෙත් අපට එම අණ ලැබුණේ නැහැ. අගෝස්තු 6 හා 9වන දිනවලදී පරමාණු බෝම්බ ප්‍රහාරවලින් හිරෝෂිමා සහ නාගසාකි නගරවල සිදු වූ ව්‍යසනයෙන් පසු ජපානය අගෝස්තු 15වනදා එක්සත් ජනපදයට හා මිත්‍ර පාක්ෂිකයන්ට සම්පූර්ණයෙන්ම යටත් වුණා. යුද්ධය නිම වුණා. මගේ ජීවිතය බේරුණේ අනූනවයෙන්.

අගෝස්තු මාසය අවසානයේදී මම මගේ ගම වන යොකොහාමාවලට ගියා. ඒත්, බෝම්බ හෙළන B-29 වර්ගයේ ප්‍රහාරක යානාවලින් එල්ල වූ ප්‍රහාරවලින් මගේ නිවසත් අළු ගොඩක් බවට පත් වී තිබුණා. මගේ පවුලේ අය අන්ත අසරණ තත්වයකයි සිටියේ. මගේ අක්කායි ඇගේ පුතයි එම ප්‍රහාරයේදී මිය ගොස් තිබුණා. ඒත් එක් දෙයකින් අපි අස්වැසිල්ලක් ලැබුවා. යුද්ධයට ගොස් සිටි මගේ මල්ලි කරදරයක් නැතුව ආපසු ගෙදර පැමිණියා.

සෑම දෙයක්ම විනාශ වී තිබුණා විතරක් නෙවෙයි, දරුණු කෑම හිඟයකුත් තිබුණා. මේ තත්වයන් මධ්‍යයේ තමයි මගේ අධ්‍යාපනය නිම කිරීම සඳහා මා ආපසු විශ්වවිද්‍යාලයට ගියේ. අවුරුද්දකට පසු මම විශ්වවිද්‍යාලයෙන් සමත් වී රැකියාවක් සොයාගත්තා. මම 1953දී මිචිකෝ සමඟ විවාහ වුණා. කාලය ගෙවී යද්දී අපිට පුත්තු දෙන්නෙකුත් ලැබුණා.

සාමය ලුහුබැඳීම

මිචිකෝ 1974දී යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. රැස්වීම් යෑමටත් දේශනා සේවයේ හවුල් වීමටත් ඇය ඉක්මනින් පියවර ගත්තා. ඇය නිතරම එම ක්‍රියාකාරකම්වල යෙදීම ගැන මම මගේ විරෝධය පළ කළා. එතකොට ඇය මට පැහැදිලි කළේ ක්‍රිස්තියානි දේවසේවය සැබෑ සාමයටත් සන්තෝෂයටත් දායක වන බවයි. එහෙම නම් ඉතිං ඇයට බාධා කරන එක සුදුසු නැහැ. ඒ වෙනුවට මම ඇයට සහයෝගය දිය යුතුයි කියා තීරණය කළා.

ඒ කාලයේදීම තමයි මගේ සමාගමේ රාත්‍රි කාලයේ මුර සේවයේ යෙදීම සඳහා මම තරුණ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුව සේවයට ගත්තා. එම තරුණ සාක්ෂිකරුවන් වැඩට ආ විට ඔවුන්ගේ සංවිධානය ගැනත් දේවසේවය ගැනත් මම විමසුවා. ඔවුන්ගේ වයසේ සිටින අනිත් තරුණයන්ට වඩා ඔවුන් වෙනස් බව මට වැටහී ගියා. ඇත්තෙන්ම මට ඔවුන් ගැන පුදුම හිතුණා. ඔවුන්ගේ ජීවිතයට නියම අරමුණක් තිබුණා. ඒ වගේම ඔවුන් හරිම පරිත්‍යාගශීලී අය. මේ ගුණාංග ඔවුන් ඉගෙනගෙන තිබුණේ බයිබලයෙන්. ලෝ වටා සිටින සාක්ෂිකරුවන් අතරේ ජාති භේද නැහැයි කියාත් දෙවිටත් ඔවුන්ගේ අසල්වැසියන්ටත් ප්‍රේම කරන්න යන බයිබල් ආඥාවට තදින් ඇලී සිටිනවා කියාත් ඔවුන් මට පැහැදිලි කළා. (මතෙව් 22:36-40) එක් එක් රටවල් දේශ සීමාවලින් වෙන් කර තිබුණත් ඔවුන් තම සංවිධානයේ සියලුදෙනාවම සැලකුවේ සහෝදර සහෝදරියන් වශයෙන්.—යොහන් 13:35; 1 පේතෘස් 2:17.

‘මේක නිකං සිතින් මවාගත් සංකල්පයක් විතරයි’ කියා මට හිතුණා. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් එකිනෙකාට විරුද්ධව කටයුතු කරමින් සිටි නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ට වඩා වෙනස් කියා මට පිළිගන්න බැරි වුණා.

මා තුළ තිබූ සැකයන් මම ඔවුන්ට පැවසුවා. හිට්ලර්ගේ පාලන සමයේදී මධ්‍යස්ථභාවය රැකීම හේතුවෙන් ජර්මනියේ සාක්ෂිකරුවන්ව සිරගත කර තිබුණා විතරක් නොව ඔවුන්ව මරණයට පවා පත් කර තිබුණා කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත භාවිත කරමින් ඒ තරුණ සාක්ෂිකරුවන් මට පැහැදිලි කිරීම් කළා. ඊට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සැබෑ ක්‍රිස්තියානීන් බවට මා තුළ විශ්වාසයක් ඇති වුණා.

ඒ අතරතුරේදී මගේ බිරිඳ දෙවිට කැප වී බව්තීස්ම වුණා. එය සිදු වුණේ 1975, දෙසැම්බර් මාසයේදී. ඒ අවස්ථාවේදී බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා සහෝදරයන් මගෙන් ඇසුවත් මම එය ප්‍රතික්ෂේප කළා. මම එසේ කළේ මගේ පුතාලාගේ අධ්‍යාපනය හා අපේ නිවසේ උකස් වාරික ගෙවා දැමීම වැනි පවුල් වගකීම් තිබුණ නිසයි. සභාවේ විවාහක පුරුෂයන් කිහිපදෙනෙක් ආත්මික කාරණාවලට වැඩි කාලයක් සොයාගත හැකිවීම සඳහා රැකියාවට යොදවන කාලය අවම කරගැනීමට පියවර ගනිමින් සිටියා. මම හිතුවේ මටත් එහෙම කරන්න වේවි කියා. එහෙත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් හා රැකියාව සමබරව කරගෙන යන ආකාරය මට පෙන්වා දුන් පසු මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න එකඟ වුණා.

සමාදානයේ දෙවිට සේවය කිරීමට ගත් තීරණය

අවුරුදු දෙකක් බයිබලය පාඩම් කිරීමෙන් අනතුරුව, දෙවිට මගේ ජීවිතය කැප කිරීම ගැන මා කල්පනා කර තිබුණාද කියා මාත් සමඟ පාඩම කරපු සහෝදරයා මගෙන් ඇහුවා. එහෙත් මම ඒ පියවර ගත්තේ නැහැ. ඒක මගේ හිතට හරියට වද දුන්නා.

එක දවසක්, මගේ වැඩපොළේදී ඉක්මනින් ඉක්මනින් පඩි පෙළ දිගේ පහළට දුවගෙන යද්දී මම පෙරළිලා වැටුණා. මගේ ඔලුව පිටිපස්සට වැදුණ පහර නිසා මට සිහිය නැති වුණා. මට ආපහු සිහිය එද්දී මට දරුණු හිසරදයක් තිබුණා. මාව ගිලන් රථයකට දාලා රෝහලට ගෙන ගියා. මගේ ඔළුව පිටිපස්සේ හොඳටම ඉදිමී තිබුණත් ඔළු කට්ට බිඳී තිබුණේවත් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වුණේවත් නැහැ.

යෙහෝවා මට දුන් ජීවිතය ගැන මට ඒ මොහොතේදී ලොකු කෘතඥතාවේ හැඟීමක් ඇති වුණා. එදා පටන් මම අදිටන් කරගත්තා යෙහෝවාගේ කැමැත්ත කිරීම සඳහා ඔහුට මගේ ජීවිතය කැප කරනවා කියා. මම 1977 ජූලි මාසයේදී, වයස අවුරුදු 53ක්ව සිටියදී බව්තීස්ම වුණා. මගේ ලොකු පුතා යසුයූකිත් බයිබලය පාඩම් කරන්න පටන්ගෙන අවුරුදු දෙකකට පසුව බව්තීස්ම වුණා.

මම බව්තීස්ම වී අවුරුදු 10ක් ගත වුණාට පසුව විශ්‍රාම ගත්තා. රැකියාව කරන අතරතුරේදී මම ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් රැකියාවත් සමඟ සමබරව කරගෙන ගියා. දැන් යොකොහාමා ප්‍රදේශයේ වැඩිමහල්ලෙක් හැටියට සේවය කිරීමේ වරප්‍රසාදය මම භුක්ති විඳිනවා. මම දේශනා සේවය වෙනුවෙන් සෑහෙන කාලයක් වැය කරනවා. ලොකු පුතා ළඟපාත සභාවක වැඩිමහල්ලෙක් හැටියටද පූර්ණ කාලීන දේවසේවකයෙක් හැටියටද සේවය කරනවා.

විශේෂ ප්‍රහාරක බලකාය විසින් දියත් කිරීමට නියමිත වූ මාරාන්තික මෙහෙයුමට නොයෑමෙන් මගේ ජීවිතය බේරීම ගැන මට දැනෙන්නේ ලොකු අගයක්. ඒ වගේම, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කරන්න ලැබීම මම සලකන්නේ ලොකු ගෞරවයක් හැටියටයි. (මතෙව් 24:14) ජීවනයේ හොඳම මාර්ගය වන්නේ දෙවිගේ ජනයා සමඟ ගමන් කිරීමයි කියා මට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 144:15) මතු පැමිණෙන නව ලොවේදී “ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් යුද්ධ ඉගෙනගන්නේවත් [නැති]” නිසා මනුෂ්‍යයන් ආපසු කෙදිනකවත් යුද්ධයෙන් පීඩා විඳින්නේ නැහැ.—යෙසායා 2:4.

එය දෙවිගේ කැමැත්ත වේ නම්, මගේ අපේක්ෂාව වන්නේ යුද්ධයේදී ජීවිතක්ෂයට පත් වූ මගේ මිතුරන්ව නැවත නැඟිටීමේදී යළි හමු වෙන්නයි. දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ ධර්මිෂ්ඨ පාලනය යටතේ පාරාදීස පොළොවක සාමකාමී ජීවිතයක් ගත කරන්න ඔවුන්ට පුළුවන් බව පැහැදිලි කර දීම කොයිතරම් ප්‍රීතිමත් අද්දැකීමක් වේවිද!—මතෙව් 6:9, 10; ක්‍රියා 24:15; 1 තිමෝති 6:19.

[19වන පිටුවේ පින්තූරය]

මා නාවික හමුදාවේ ගුවන් අංශයේ සේවය කරද්දී

[18, 19වන පිටුවේ පින්තූරය]

“ඕහ්කා”—මිනිස් බෝම්බයක්

[හිමිකම් විස්තර]

© CORBIS

[20වන පිටුවේ පින්තූරය]

මගේ මිතුරන් සමඟ, ඔවුන් මාරාන්තික මෙහෙයුමට යන්න කලින්. වම්පසේ සිට දෙවැන්නා මම. බේරුණේ මම විතරයි

[21වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ මිචිකෝ හා ලොකු පුතා යසුයූකි සමඟ

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. National Archives photo