Skip to content

පටුනට යන්න

වඩාත් සුරක්ෂිත ගුවන් ගමන් සඳහා දරන ප්‍රයත්නය

වඩාත් සුරක්ෂිත ගුවන් ගමන් සඳහා දරන ප්‍රයත්නය

වඩාත් සුරක්ෂිත ගුවන් ගමන් සඳහා දරන ප්‍රයත්නය

ඇලෙක්ස් එක්තරා සමාගමක මහජන සබඳතා අංශයේ කළමනාකරුවෙකි. ගුවන් ගමන්වලදී තමන්ට දැනෙන බිය සෑහෙන දුරකට නැති කරගෙන සිටින බව 2001 සැප්තැම්බර් 11වනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සති කිහිපයකට කලින් ඔහුට දැනුණි. හතළිස් දෙහැවිරිදි වියේ පසු වූ ඔහු අසුන්ගෙන සිටි මඟී ගුවන් යානය ඇතන්ස් නුවර සිට බොස්ටන් දක්වා පියාසර කිරීම ආරම්භ කරද්දී ඔහුට ටිකක් භයක් දැනෙන්න පටන්ගත්තේය. ඔහුගේ හදවත වේගයෙන් ස්පන්දනය වීමටත් අත්ලට හා නළලට දහඩිය දමන්නත් පටන්ගත්තේය.

නමුත් මෙවන් අවස්ථාවකදී කළ යුතු දේවල් ඔහු දැන සිටියේය. ගුවන් ගමන්වලදී දැනෙන බිය නැති කරගැනීමට ප්‍රතිකාර කළ විශේෂඥයා ඔහුගේ උපකාරය සඳහා යම් යෝජනා කිහිපයක් දුන්නේය. ගැඹුරින් හුස්ම ගැනීමටත් සිත්ගන්නා දර්ශනයක් සිතින් මවාගැනීමටත් විනාඩියකට හතර වතාවක් තමන්ගේ ආසනයේ ඇන්ද තදින් අල්ලා, ඉන්පසු අත්හැරීමටත් කියා එම තැනැත්තා ඔහුට පවසා තිබුණි. ගුවන් යානය වායු කැලඹීමකට හසු වී එයින් බියගන්වනසුලු හඬවල් ඇසෙද්දී ඔහුට බියක් දැනෙන්න පටන්ගත් අතර ඒ බිය ඔහු නැති කරගත්තේ සන්සුන් පරිසරයක් අසල පිහිටි විලක් ළඟ තමන් සිටිනවා කියා සිතින් මවාගැනීමෙනි. “ගුවන් යානයක ගමන් කරද්දී දැනෙන බිය හුඟාක් දුරට නැති කරගන්න මට පුළුවන් වුණා” කියා සිය අතීත අද්දැකීම් මතකයට නඟමින් ඇලෙක්ස් පැවසුවේය.

ගුවන් යානාවලින් ගමන් කරද්දී මිලියන ගණනක් ගුවන් මඟීන්ට බියක් දැනී ඇත. පසුගිය වසරවලදී විශාල පිරිසක් ගුවන් යානාවල ගමන් කරද්දී දැනෙන බිය නැති කරගත හැකි ක්‍රම ගැන උගන්වන පාඨමාලා හදාරා තිබේ. බොහෝ අවස්ථාවලදී මෙම පාඨමාලාවලට යෑමට ඔවුන්ව උනන්දු කරවා තිබෙන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, රැකියා ස්ථානයේ ස්වාමිවරුන් හා ගුවන් සමාගම්ය. මඟීන් බොහෝදෙනෙකුට එම පාඨමාලාවලින් මහත් උපකාරයක් ලැබිණ. මෙම පාඨමාලාවලට සහභාගි වූවන්ගෙන් සියයට 90ක් පමණ සාර්ථක ප්‍රතිඵල ලැබූ බව ඒවා සැලසුම් කළ අය පැවසුවේ මහත් ආඩම්බරයෙනි.

කෙසේවෙතත් සැප්තැම්බර් 11වනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ සියල්ල වෙනස් විය. ඇලෙක්ස් ගුවන් ගමන් යෑමේදී දැනෙන බිය නැති කරගැනීමේ ක්‍රම උගන්වන පන්තියට යෑම විගස නතර කර දැමුවේය. අනාගතයේදී තම සමාගමේ ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවෙකු වීමට ඉඩ තිබූ තැනැත්තෙකුව හමුවීම සඳහා සැලසුම් කර තිබූ ගුවන් ගමනද ඔහු අවලංගු කළේ ඔහුගේ ස්වාමියාගේ බලාපොරොත්තු සුන් කරමිනි. “ගුවන් ගමන් යන්න තියෙන භයට අමතරව ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීම ගැන මට ඇති වුණු භය නැති කරගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේ දෙයකට මුහුණ දෙන්න තියෙන පුහුණු වැඩසටහන් මට ප්‍රයෝජනයක් වුණේ නැහැ” කියා ඇලෙක්ස් පැවසුවේය.

සියුම් ලෙස පරීක්ෂා කෙරෙන ආරක්ෂාව

ගුවන් යානයකට ඇතුල් වීමට නියමිතව සිටින මඟීන්ගෙන් සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්නම සැප්තැම්බර් 11වනදා ගුවන් යානා පැහැරගත් අයගෙන්ද ඇසූ බව ගුවන් යානාවල ගමන් කිරීමට බියක් දක්වන්නෝ පෙන්වා දෙති. අසන ලද ප්‍රශ්න අතර මේවාද විය. “මේ ගුවන් යානයේ ගමන් කරද්දී යම් දෙයක් රැගෙන යන මෙන් නාඳුනන කෙනෙක් ඔබෙන් ඉල්ලා සිටියාද? ඔබ රැගෙන යන දේවල් ඔබේ බෑගයේ දමාගැනීමෙන් පසු යම් අවස්ථාවකදී එය ඔබේ අවධානයෙන් ගිලිහී ගියාද?” එදා ඒ ගුවන් යානා පැහැරගත් අය වෙනත් බොහෝදෙනෙකු මෙන් කිසිම පැකිලීමකින් තොරව දුන් පිළිතුර වූයේද “නැත” යන්නයි! ඔවුන් කිසිවෙකුට අසු වෙන්නේ නැතිව එම ගුවන් යානාවලට ඇතුල් වීමෙන් පැහැදිලි වන්නේ ගුවන් ගමන්වලදී සපයන ආරක්ෂාවේ යම් අඩු පාඩු තිබෙන බවය කියා ආරක්ෂක අංශවල ඇතැම් විශේෂඥයෝ පවා පිළිගනිති. “ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කරන දේවල වෙනසක් කිරීමට මීට කලින් කිසිවෙකුට හෝ කිසිවකට හැකි වූයේ නැත” කියා ගුවන් සේවා ආරක්ෂක සන්ධානයේ කලින් සිටි අධ්‍යක්ෂක ජිම් මකෙනා පැවසුවේය. “ගුවන් යානා හතර පැහැරගෙන ගොස් දහස් ගණනක් මරුමුවට පත් කරමින් ඒවායින් කළ විනාශය, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවල යම් වෙනස්කම් කිරීමට ප්‍රබල හේතුවක් විය හැකියි.”

එම මාරාන්තික ගුවන් අනතුරුවල ප්‍රතිඵලයක් වශයෙන් මුළු ගුවන් තොටුපළේම හා ගුවන් යානයේම ආරක්ෂාව ඉතාමත් සියුම් ලෙස පරීක්ෂණයට ලක් කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් මගින් කළ කරුණු විමසීමකදී එරට ප්‍රවාහණ අංශයේ ප්‍රධාන පරීක්ෂක කෙනත් එම්. මීඩ් මෙසේ සඳහන් කළේය. “නව ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක වුවත් තවමත් බිය දනවනසුලු ආකාරයේ අඩුලුහුඬුකම් පවතී. ආරක්ෂක ක්‍රමවල තිබෙන ඇතැම් දුර්වල හිදැස් වසා දැමීමට පියවර ගැනීම අවශ්‍යයි.” එම හිදැස් වැසීමට කරමින් සිටින්නේ කුමක්ද?

ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දෑ පරීක්ෂා කිරීම

ගුවන් යානාවල ගමන් කිරීමට බියක් දක්වනවාද කියා අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගමක ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරිනියකගෙන් අසන ලද අවස්ථාවේදී ඇය පැවසුවේ කිසිම බියක් ඇයට දැනෙන්නේ නැති බවයි. පරිගණක ආධාරයෙන් මඟීන් පරීක්ෂා කිරීමේ ක්‍රමය තමන් විශ්වාස කරන බව ඇය පැහැදිලි කළාය. මෙම ක්‍රමයට සම්බන්ධ වී සිටින ඕනෑම ගුවන් සමාගමකින් මිල දී ගත් ගුවන් ටිකට්පතක් පිළිබඳ විස්තර පරිගණකවලට ඇතුළත් කෙරේ. මඟියෙකු ගුවන් ටිකට්පතක් මිල දී ගෙන තිබෙන්නේ ගුවන් සමාගමක ටිකට්පත් නිකුත් කරන කාර්යාලයකින්ද, ගුවන් ප්‍රවාහණ නියෝජිතයෙකුගෙන්ද නැත්නම් අන්තර් ජාලය මගින්ද යන්න එම ක්‍රමයෙන් දැනගත හැකියි. ගුවන් මඟියා ගමන් කරන්නේ තනිවමද නැත්නම් පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අය සමඟද, මෙම මඟියා තමන් ගමන් කරන ගුවන් යානය අයත් වන ගුවන් සමාගමට, එහි කාර්ය මණ්ඩලයට හෝ ඊට අයත් දේපොළවලට හානි වන ආකාරයෙන් හැසිරී තිබෙනවාද, කිසියම් අපරාධයකට හවුල් වී තිබෙනවාද යනාදි කරුණු එම පරිගණකවල වාර්තා වේ.

මඟියෙකු තමන්ගේ පැමිණීම ගුවන් තොටුපොළට වාර්තා කර, ඔහුගේ ගමන් මලු බාර දෙන අවස්ථාවේදී එම තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කර ඒවා අලුත් කෙරේ. මෙහිදී මඟීන් පරීක්ෂා කිරීමේ ප්‍රශ්නවලට දුන් පිළිතුරු ඇතුළත් කරයි. එක්රැස් කරගත් දත්ත හා ලබාගත් තොරතුරු සකස් කිරීමට හා ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මඟීන් හඳුනාගැනීමට යොදාගනු ලබන ක්‍රම පිළිබඳ නිශ්චිත විස්තර ගුවන් ප්‍රවාහණ ක්ෂේත්‍රයේ ඉතාමත් රහසිගත තොරතුරු ලෙස පවතී. පරිගණක ආධාරයෙන් මඟීන් පරීක්ෂා කිරීමේ ක්‍රමයට සමාන වෙනත් විවිධ ක්‍රම ලොව පුරා ක්‍රියාත්මක වේ. ඇතැම් අවස්ථාවලදී වෙනත් ආණ්ඩු සමඟ හා ඉන්ටර්පෝල් වැනි ජාත්‍යන්තර පොලිස් සමාගම් සමඟ ඍජු සබඳතා ඇති කරගැනීමේ ක්‍රමද සලසා තිබේ. යුරෝපීය රටවල් බොහොමයක පිහිටි ගුවන් තොටුපොළවල තිබෙන ගුවන් ගමන් බලපත්‍ර මෙහෙයුම් ක්‍රම මගින් මඟියෙකුගේ අතීත ගුවන් ගමන් පිළිබඳ විස්තර හා එක් රටක සිට වෙනත් රටකට කළ ගුවන් ගමන් හා සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමටත් ඒවා නැවත සොයා බැලීමටත් හැකියි.

මෙසේ මඟීන් පිළිබඳ තොරතුරු පරීක්ෂා කෙරෙන්නේ, ගමන් මලු වැනි දේවලට වඩා දුෂ්ට චේතනා තිබෙන පුද්ගලයන් මගින් ආරක්ෂාවට ඇති විය හැකි තර්ජනය වැඩි බවට කරන ලද උපකල්පනය හේතුකොටගෙනය. මේ නිසා ගුවන් තොටුපොළවල ආරක්ෂාව තවදුරටත් තර කිරීම සඳහා, පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට විවිධ ක්‍රම යොදාගැනීම හා පෞද්ගලික දත්ත ඇතුළත් පරිගණක කාඩ්පත් භාවිත කිරීම යනාදිය වර්තමානයේ සැලකිල්ලට භාජන වෙමින් පවතී. ඇතැම් ගුවන් තොටුපොළවල මේවා දැනටමත් ක්‍රියාත්මක වේ.

මඟීන්ගේ තොරතුරු වාර්තා කිරීමට අමතරව, ගුවන් තොටුපොළවල ආරක්ෂාව හා සම්බන්ධ සැලකිල්ල යොමු කළ යුතු තවත් වැදගත් දෙයක් වන්නේ, අනතුරක් සිදු කළ හැකි දේවල් ගුවන් යානයක් තුළට ගෙන යෑම වැළැක්වීමයි. එක්ස් රේ යන්ත්‍ර යොදාගෙන කෙරෙන පරීක්ෂා කිරීම් මගින් ලබාගත හැකි ප්‍රතිඵල සීමිතයි. එක්ස් රේ යන්ත්‍ර හරහා තමන් ඇස් ඉදිරිපිටින් යන ගමන් මලුවල අපැහැදිලි පින්තූරු දෙස බලා සිටීම වෙහෙසකර කාර්යයක් නිසා, දිගු වේලාවක් මෙම කාර්යයේ නියැලී සිටීම දුෂ්කර බව ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ සේවයේ නිරත වන අය පවසති. මේ අතර චුම්බක ඇතුළත් ඇතැම් පරීක්ෂණ උපකරණ මගින් නිතරම ව්‍යාජ අනතුරු ඇඟවීම් කෙරේ. මීට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ නිවෙස්වල යතුරු, කාසි හා පටිවල ගාංචු ආදියයි.

දැඩි නීති පැනවීම

එවන් අඩුලුහුඬුකම් මඟහරවා ගැනීම සඳහා ආණ්ඩු විසින් ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කරන දැඩි නීති හඳුන්වා දී තිබේ. ගමන් මලුවල අයිතිකරු ගුවන් යානයට ඇතුල් වන තෙක් ඒවා නොපැටවීම, මඟීන් ඔවුන්ගේ ගමන් මලු තබන කුටි සම්පූර්ණයෙන් පරීක්ෂා කර බැලීම හා පුපුරන ද්‍රව්‍ය තිබේද කියා සොයා බැලීම සඳහා පරීක්ෂා කරන ලද ගමන් මලු නැවත සෝදිසි කර බැලීම යනාදි නීති 2002 වසර අවසානයේ සිට අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වෙමින් පවතී. නියමු කුටියේ දොරවල් ශක්තිමත් කිරීමටත් ඒවා විවෘත කළ නොහැකි ලෙස තදින් වසා තැබීමටත් පියවර ගනිමින් පවතී. යම් අර්බුදකාරී තත්වයක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණ දීම සඳහා ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට අමතර පුහුණුවක් සපයන ලදි. මඟී ගුවන් යානා ගුවනේදී පැහැරගැනීම වැළැක්වීම සඳහා සන්නද්ධ නිලධාරීන්ව යොදවා තිබේ.

සැප්තැම්බර් 11වනදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු ගෙවී ගිය සතිවලදී හා මාසවලදී ලොව පුරා ගුවන් තොටුපොළවල් රැසක මඟීන් ළඟ ආයුධ තිබෙනවාද කියා සෝදිසි කරන ලදි. අත් දමා ගමන් මලු පරීක්ෂා කරනු ලැබූ අතර, මඟීන්ව හා ඔවුන් ගෙන යන භාණ්ඩ අත් දමා දෙවන වතාවටත් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාද තිබුණි. මේ ආකාරයේ පූර්ව ආරක්ෂක පියවර ගැනීම යුරෝපීය සංචාරකයන්ට නම් නුහුරු දෙයක් නොවේ. ගුවන් යානා පැහැරගැනීම බහුලව සිදු වූ 1970 ගණන්වලදී එවන් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වූ ආකාරය ඔවුන්ට දැකගත හැකි විය. මුවහත් උපකරණ කිසිවක් ගෙන යෑමට මඟීන්ට දැන් අවසර නැත. මඟීන් පරීක්ෂා කෙරෙන ස්ථාන පසු කර යෑමට අවසර දෙනු ලබන්නේ සැකයකින් තොරව පිළිගත හැකි ටිකට්පතක් ළඟ තිබෙන අයට පමණි. මඟීන් පරීක්ෂා කෙරෙන ස්ථානවල තිබෙන දිගු පෝලිම්වල සිටීමට සිදුවීම හා ගුවන් තොටුපොළවල හමුදා භටයන් සිටීම බොහෝදෙනෙකුට දැන් නුහුරු දෙයක් නොවේ.

නඩත්තුව ගැන විශේෂ සැලකිල්ලක්

අද්දැකීමට කැමති නැති වුවත් නිතර අද්දැකීමට සිදු වන මෙම තත්වය සිතින් මවාගන්න. ගුවන් තොටුපොළේ තිබෙන පරීක්ෂා කිරීමේ ස්ථාන කිහිපයක් බොහොම අමාරුවෙන් පසු කර අවසානයේදී ගුවන් මඟියා පැමිණෙන්නේ ගුවන් යානයට ඇතුල් වීම සඳහා අදාළ ගුවන් සමාගමේ නියෝජිතයා නිවේදනයක් නිකුත් කරන තෙක් මඟීන් බලා සිටින ස්ථානයටයි. “ඔයාට ඇහුණාද? කාර්මික දෝෂයක් නිසා පිටත් වීම ප්‍රමාද වෙනවාලු” කියා ව්‍යාපාරික ගමනකට සුදුසු ඇඳුමකින් සැරසී සිටින මඟියෙක් තමා ළඟ සිටින මඟියාට පවසයි. කලකිරුණු ලීලාවෙන් ඔහු මෙසේ පවසයි. “එන්ජිමක් නැතුව මේ ගුවන් යානයේ අපිට යන්න වෙයිද දන්නේ නැහැ!”

ඉතාමත් පරෙස්සමින් අකුරටම දේවල් සෝදිසි කර බැලීමේ ක්‍රම ගුවන් සමාගම් මගින් ක්‍රියාත්මක කරන බව මඟීන් බොහෝදෙනෙකු නොදන්න දෙයකි. ගුවන් යානයේ යාන්ත්‍රික ලොග් පොතේ සටහන් වී ඇති දත්ත පදනම් කරගෙන කළ යුතු අලුත්වැඩියා කිරීම් මොනවාදැයි සොයා බලයි. ගුවන් යානා සහ ඒවායේ එන්ජිම් තිතටම පරීක්ෂා කර බැලීමේ විධිමත් සැලැස්මක් ගුවන් සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම පරීක්ෂාව සාමාන්‍යයෙන් රථ වාහනවලට වඩා ගුවන් යානාවල නිතර නිතර සිදු කෙරේ. ගුවන් යානයේ කිසිම දෝෂයක් නැති බවට වාර්තා වුවත් එම පරීක්ෂාව සිදු කරනු ලබයි.

ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සිටින කාර්මික නිලධාරියෙක් ඔහුගේ පෞද්ගලික අද්දැකීම ගැන මෙසේ පවසයි. “මම මේ වෘත්තියේ අවුරුදු 15කට ආසන්න කාලයක් නියැලී සිටිනවා. ගුවන් යානා නඩත්තු කිරීමේ අංශයේ සේවය කරන අය අතර, ආරක්ෂාව සැහැල්ලුවට ගන්න කිසිම කෙනෙක් මම දැක නැහැ. එවැනි කෙනෙක් සමඟ කතා කරලාවත් නැහැ. ගුවන් යානයේ සේවය කරන අයගේ මිතුරන්, පවුලේ අය හා ඥාතීන්ද එහි ගමන් කරන නිසා ඔවුන් නොසැලකිලිමත් ලෙස අවදානමක් ඇතිවීමට කොහෙත්ම ඉඩ තබයි කියා හිතන්න බැහැ.”

ගුවන් යානයේ කාර්මික ශිල්පීන් හා නඩත්තු සේවකයන්ට දැනෙන්නේ තමන්ගේ හිස් මත විශාල වගකීමක් පැටවී තිබෙන බවයි. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ සිහිපත් කරයි. “[එක්සත් ජනපදයේ] අයෝවාහි සූ සිටීහි සිදු වූ DC-10 ගුවන් අනතුර සිදු වූ රාත්‍රිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කාලයේ මම වැඩ කළේ ගුවන් යානා කාර්මික ශිල්පියෙකු හැටියටයි. මට පැවරී තිබුණු කාර්යය වුණේ ඒ වර්ගයේම ගුවන් යානයක පිටුපස කොටස පරීක්ෂා කරමින් එහි සුළු සුළු අලුත්වැඩියා කිරීම් සිදු කිරීමයි. විනාශ වූ එම ගුවන් යානයට ඇත්තටම මොකද වුණේ කියන කාරණය ගැන ඒ අවස්ථාවේදී අපට හරි හැටි තොරතුරු ලැබී තිබුණේ නැහැ. ‘ඒ ගුවන් යානයට මොකද වුණේ? දැන් මට මේ ගුවන් යානයේ සොයාගන්න පුළුවන් දෝෂයක් එදා වෙනත් කෙනෙකු අතින් අතපසු වුණාද? නැවතත් ඒ වගේ ඛේදවාචකයක් සිදුවීම වළක්වන්න මට පුළුවන්ද? මම කළ යුතු සෑම දෙයක්ම ඒ විදිහටම කරනවාද?’ කියා එදා මම හුඟ වේලාවක් යන තුරු කල්පනා කළ හැටි මට තාම මතකයි. එදා රාත්‍රියේ මම ඒ ගුවන් යානයේ පිටුපස කොටස පරීක්ෂා කරන අතරතුරේ ඒ ගැන සෑහෙන වේලාවක් කල්පනා කළා.”

ගුවන් යානා කාර්මික ශිල්පීන්ට ඔවුන්ගේ කාර්යයට සම්බන්ධ සියලුම දේවල් ගැන පුහුණුවක් නිතරම දෙනු ලැබේ. සුපුරුදු පරිදි කරන කාර්යයන් ඇතුළුව සියුම් ලෙස දේවල් පරීක්ෂා කරමින් දෝෂ හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමද එම පුහුණුවට අයත් වේ. ගුවන් යානා කාර්මික ශිල්පීන්ව පුහුණු කිරීමේ පාඨමාලාවලට වාර්ෂිකව අලුත් තොරතුරු ඇතුළත් කරනු ලැබේ. මෙසේ කරන්නේ සාමාන්‍ය හෝ වේවා අසාමාන්‍ය හෝ වේවා පැනනැඟිය හැකි ඕනෑම තත්වයකට පිළියම් සොයාගැනීම සඳහාය.

යම් ගුවන් අනතුරකින් පසු සොයාගත් තොරතුරු විශ්ලේෂණය කර සිමියුලේටරයක (ගුවන් අනතුර සිදු වූ ආකාරය යළි දැකගැනීම සඳහා පරිගණක ආකෘතියක් තැනීම) ඇතුළත් කරනු ලැබේ. ගුවන් යානා පරීක්ෂා කිරීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා තිබෙන ගුවන් නියමුවෝ හා ගුවන් යානා ඉන්ජිනේරුවරු සිමියුලේටරය යොදාගනිමින්, සිදු වූ අනතුර හා සමාන ගැටලු අනාගතයේදී හැසිරවීමට කාර්මික ශිල්පීන්ට අවශ්‍ය උපකාර සැපයීම සඳහා විවිධ විසඳුම් සොයා බලති. අනතුරුව මෙවැනි තත්වයන් සමඟ කටයුතු කරන ආකාරය ගැන කාර්මික ශිල්පීන්ට විශේෂ කරුණු කියා දීම සඳහා පුහුණු වැඩසටහනක් පිළියෙළ කරනු ලැබේ. මෙයාකාරයෙන් කෙරෙන පරීක්ෂා කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් යානා හා ඒවායේ කොටස් නිර්මාණය කිරීමේදී යම් වෙනස්කම් සිදු කෙරේ. මෙසේ කරන්නේ අනතුරුවලට හේතු වූ දෝෂ මගින් ප්‍රයෝජනවත් තොරතුරු සොයාගෙන, ඒවා අවම කරගත හැකි බව අපේක්ෂා කරන නිසාය.

ගුවන් යානා නඩත්තු කරන සේවකයෙක් මෙවැනි නිගමනයකට පැමිණියේය. “අප සියලුදෙනාටම පවසා තිබෙන්නේ ‘ආරක්ෂාව අහම්බෙන් ඇති වන දෙයක් නොව, එය සැලසුම් කළ යුතු දෙයක්’ බවයි.”

ආපසු ගුවනට

ගුවන් ගමන්වල යෙදෙන්නේ නැහැයි කියා තීරණය කිරීමෙන් මාස හතරක් ගත වූවායින් පසු ගුවන් යානාවල ගමන් කිරීමට තමන්ට තිබෙන දැඩි බියට මුහුණ දෙන්න කාලය පැමිණ තිබෙන බව ඇලෙක්ස් සිතන්නට විය. පොලිස් නිලධාරීන් හා ජාතික ආරක්ෂක භටයන් බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිටීම ඔහුට ගැටලුවක් වූයේ නැත. ගුවන් තොටුපොළේ පරීක්ෂණ කුටි ඉදිරිපිට තිබෙන දිගු පෝලිම්වල සිටීම හා ඔහුගේ ගමන් මලු අත් දමා සෝදිසි කර බැලීම ගැන ඔහු අපහසුතාවකට පත් වූයේද නැත.

මේ සියල්ලම, වඩාත් සුරක්ෂිත ගුවන් ගමනක දැඩි අවශ්‍යතාව දුටු ඇලෙක්ස්ගේ බිය සැක දුරු කිරීමට ඉවහල් විය. ඔහු ගුවන් යානයක ගමන් කරද්දී තවමත් ටිකක් දහඩිය දමයි. ඔහුගේ හදවත ටිකක් ගැහෙයි. කෙසේවෙතත්, අත් දමා පරීක්ෂා කරන ලද ඔහුගේ බෑගය ඔහු අසුන්ගන්නා ආසනයට ඉහළින් තිබෙන කුටියේ තබමින් ඔහු මෙසේ පවසයි. “ඉස්සර වගේ දැන් මට ඒ තරම් භයක් දැනෙන්නේ නැහැ.”

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ගුවනේදී දැනෙන බිය පිළිබඳ සත්‍යය

ගණන් බැලීම්වලට අනුව ගුවන් යානාවල ගමන් කිරීමට බියක් දක්වන්නේ ගුවන් මඟීන් පස්දෙනෙකුගෙන් එක් අයෙකි. කෙසේවෙතත් මේ සෑම කෙනෙකුම ගුවන් ගමන් අනතුරුදායකයි කියා සිතන්නේ නැත. බොහෝ අවස්ථාවලදී ඔවුන් තුළ බියක් ඇතිවීමට හේතුව වන්නේ උස් ස්ථානයක සිටීමට හෝ සෙනඟ පිරී සිටින ස්ථානවල සිටීමට දක්වන බිය වැනි වෙනත් භීතිකාවන්ය.

[8වන පිටුවේ වගුව]

මාරාන්තික අනතුරක් සිදුවීමට තිබෙන ඉඩ කඩ

වසරකට එක් ජීවිත කාලයට එක්

අයෙකුට තිබෙන ඉඩ කඩ: අයෙකුට තිබෙන ඉඩ කඩ:

රථවාහන 6,212 81

මිනිස් ඝාතන 15,104 197

යන්ත්‍ර සුත්‍ර 265,000 3,500

ගුවන් අනතුරු 390,000 5,100

දිය නාන ටැංකියේ ගිලීම 802,000 10,500

විෂ සතුන් හා පැළෑටි දශලක්ෂ 4.2 55,900

විදුලි කෙටීම් දශලක්ෂ 4.3 56,000

[හිමිකම් විස්තර]

Source: National Safety Council

[6වන පිටුවේ පින්තූරය]

ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කර ඇත

[හිමිකම් විස්තර]

AP Photo/Joel Page

[7වන පිටුවේ පින්තූරය]

ගුවන් මඟීන්ගේ තොරතුරු වාර්තා කිරීම හා ඔවුන්ව පරීක්ෂා කිරීම

[7වන පිටුවේ පින්තූරය]

නඩත්තු කිරීම් දියුණු කර ඇත

[8වන පිටුවේ පින්තූරය]

ගුවන් නියමුවන්ට විශේෂ පුහුණුවක් ලැබී තිබේ