Skip to content

පටුනට යන්න

වෛද්‍ය විද්‍යාවේ අරුමයක්, සදාචාරමය බිම් බෝම්බයක්

වෛද්‍ය විද්‍යාවේ අරුමයක්, සදාචාරමය බිම් බෝම්බයක්

වෛද්‍ය විද්‍යාවේ අරුමයක්, සදාචාරමය බිම් බෝම්බයක්

“ප්‍රාථමික සෛල සොයාගැනීම නිසා පැනනැඟී ඇති මතභේදය හේතුවෙන් බැරෑරුම් ප්‍රශ්න කිහිපයක් විද්‍යාඥයන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ දැඩි අවධානයට යොමු වී ඇත. ඉන් එකකි, අප කවුද හා අප මිනිසුන් බවට පත් වන්නේ කවර හේතු නිසාද යන්න.”—ජාතික විද්‍යා ශාස්ත්‍රාලය, අ.එ.ජ.

කැරන් අංක 1 වර්ගයේ දියවැඩියා රෝගයෙන් පෙළෙයි. ඇගේ අග්න්‍යාශය හානියට ලක් වී ඇති නිසා, එයට ඉන්සියුලින් නිපදවිය නොහැකිය. වෛද්‍යවරයෙකු වෙතට ගොස් ඇගේ සිරුරේ හානියට ලක් වූ අග්න්‍යාශයික සෛල වෙනුවට විද්‍යාගාරයක කෘත්‍රිම ලෙස රෝපණය කළ අලුත් සෛල බද්ධ කිරීමට කැරන්ට හැකි නම්, ඇයට කොතරම් යහපතක් වේවිද කියා සිතා බලන්න. මෙම අලුත් සෛල ක්‍රියාකාරී වීමට පටන්ගන්නා විට, කැරන් ලබන ඉන්සියුලින් ප්‍රතිකාරය ක්‍රමානුකූලව නතර කිරීමට හැකි වන අතර ඇගේ සෞඛ්‍යය යථා තත්වයට පත් වනු ඇත.

එවන් ආකාරයකින් සුවයක් ලබා දිය හැකි ක්‍රම මෑතක් වන තුරු විද්‍යා ප්‍රබන්ධ කථාවල පමණක් අසන්නට ලැබූ පුවත් වැන්න. එනමුත් දැන් ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන්නේ එවැනි දේවල් ඇත්තටම සිදු කළ හැකි බවය. ඒ මන්ද? විද්‍යාඥයන් 1998දී මානව ප්‍රාථමික සෛල (human stem cells) යනුවෙන් හැදින්වූ එක්තරා සෛල වර්ගයක් විශාල ප්‍රමාණයක් කෘත්‍රිම ලෙස රෝපණය කිරීමේ ක්‍රමයක් සොයාගත් නිසාවෙනි. මෙම ප්‍රාථමික සෛලවලට මිනිස් සිරුරේ තිබෙන සෛල වර්ග දෙසියයකට අධික සංඛ්‍යාවකින් ඕනෑම එකක් දක්වා වර්ධනය වීමට හැකියාව තිබේ. ඉන් එක් වර්ගයකි අග්න්‍යාශයික සෛල. a

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය මගින් පිළියෙළ කරන ලද වාර්තාවකට අනුව, “ඉතා විනාශකාරී වූ රෝග බොහොමයක් නිසා අහිමි වන සෛල ප්‍රතිසම්පාදනය කිරීමට ප්‍රාථමික සෛල ප්‍රධාන හේතුකාරකයක් විය හැක.” ඉන් ස්වල්පයක් සඳහන් කරනවා නම්, “පාර්කින්සන් රෝගය, දියවැඩියාව, නිදන්ගත හෘදයාබාධ, වකුගඩු රෝගයේ අවසාන අවස්ථාව, අක්මා අකරණිය සහ පිළිකාව” යනාදියයි. ප්‍රාථමික සෛල මගින් රුධිරය නිපදවිය හැකි නිසා, රුධිර බැංකු වසා දැමීමට පවා මෙම සොයාගැනීම මඟ පෑදිය හැකි බවට අදහසක් පළ වී ඇත. ඇත්තෙන්ම, ඇතැම් රුධිර අක්‍රමිකතාවලට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් වසර ගණනාවක් තිස්සේ ප්‍රාථමික සෛල භාවිත කර ඇත. රුධිරය නිපදවන ප්‍රාථමික සෛලවලින් ගහන ඇටමිදුළු බද්ධ කිරීම මෙවැනි ප්‍රතිකාරවලදී අනුගමනය කර තිබේ. එනමුත්, දැන් වෛද්‍යවරුන් වැඩි මනාපයක් දක්වන්නේ සංසරණය වන රුධිරයෙන් ලබාගත් ප්‍රාථමික සෛල භාවිත කිරීමටය. ප්‍රාථමික සෛල ප්‍රතිකාරවලින් නිරෝගී නැවුම් පටක යළිත් ජනනය කිරීමේ බලාපොරොත්තුව පුබුදුවා ඇති නිසා, එම ප්‍රතිකාර සාමාන්‍යයෙන් වර්ග කර තිබෙන්නේ “පුනර්ජනන වෛද්‍ය විද්‍යාව” නමැති ක්ෂේත්‍රය යටතේය.

කෙසේවෙතත්, විද්‍යාවේ මෙම නවක ක්ෂේත්‍රයේ ඇතැම් පැති ඉමහත් මතභේදයකට තුඩු දී ඇත. විද්‍යාඥයන් කිහිපදෙනෙකු ඇතුළු බොහෝ ජනකායකට හැඟෙන්නේ මෙලෙස මානව ප්‍රාථමික සෛල භාවිත කිරීම විශේෂයෙන් කලල හෝ භෲණවලින් ලබාගත් ඒවා භාවිත කිරීම මිනිස් ජීවිතයේ වටිනාකම සුළු කොට තැකීමක් බවය. මින් කොතරම් සැර විවාදයක් ඉස්මතු වී ඇද්දැයි කිවහොත්, එය ‘සදාචාරමය හා දේශපාලනමය බිම් බෝම්බයකට’ සම කර තිබේ.

රෝගී තත්වයන් රැසකට අරුම පුදුම සුවයක් ලබා දිය හැකි බව ප්‍රාථමික සෛලවලට පක්ෂව කතා කරන අය පුරෝකථනය කරන නිසා, ඊළඟ ලිපිවල ප්‍රාථමික සෛල වර්ග ගැන තවත් සවිස්තර තොරතුරු අනාවරණය කරනු ලැබේ. තවද ඒවා ලබාගන්නේ කෙසේද හා මෙම විෂය මෙතරම් මතභේදයකට තුඩු දී ඇත්තේ මන්දැයි පරීක්ෂා කෙරේ.

[පාදසටහන]

a එක්සත් ජනපදයේ වෙනම විද්‍යාගාර දෙකක ප්‍රාථමික සෛල වර්ග දෙකක් නිපදවන ලදි. එනම්, මිනිස් කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල සහ මිනිස් කලලයෙන් ලබාගත් ජන්මාණු සෛල යන්නය.