Skip to content

පටුනට යන්න

සංකීර්ණ ලොවක ජීවත් වීමට අවශ්‍ය ප්‍රඥාව

සංකීර්ණ ලොවක ජීවත් වීමට අවශ්‍ය ප්‍රඥාව

සංකීර්ණ ලොවක ජීවත් වීමට අවශ්‍ය ප්‍රඥාව

“දෙවි තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැනීමත් ප්‍රීතියත් දෙන්නේය.”—දේශනාකාරයා 2:26.

දිනෙන් දින වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය හා තාක්ෂණය සංකීර්ණ වන ලොවක ප්‍රඥාවන්තව, ආචාර විද්‍යාවට හා හරි වැරැද්ද පිළිබඳ සංකල්පයට ඔබින නිවැරදි තීරණ ගැනීම සුළු පටු කාර්යයක් නම් නොවේ. මෑතකදී මතභේදයට තුඩු දුන් සිදුවීම් සමහරක් සලකා බලන්න. දැන් ස්ත්‍රීන්ට අනවශ්‍ය ලෙස සිදු වූ ගැබ්ගැනීම නැති කර දැමීමට කළ යුතු වන්නේ “කුඩා පෙත්තක්” ගැනීම පමණි. ජාන හා සම්බන්ධව තිබුණු අභියෝග ජයගෙන ඇති විද්‍යාඥයෝ දැන් ජාන “ඉන්ජිනේරු තාක්ෂණය” යොදාගනිමින් ශාක සහ සත්වයන් බිහි කරති. අගනා සම්පතක් සේ සලකන ප්‍රාථමික සෛල ලබාගැනීම සඳහා මිනිස් භෲණ සතු කරගැනීමට විද්‍යාගාරවල වැඩ කරන පර්යේෂකයෝ පොර කති. බොහෝදෙනා අපේක්ෂා කරන්නේ මෙම ප්‍රාථමික සෛලවලින් වෛද්‍ය විද්‍යාවේ විප්ලවයක් සිදු කළ හැකි බවය.

ස්වභාවධර්මයා මෙලෙස පාලනය කිරීමට තැත් කිරීමේදී ඇතැම් අය තුළ චකිතයක් හා බියක් ජනිත වන අතරම, මෙහිදී, ආචාර විද්‍යාව, සදාචාරය හෝ හරි වැරැද්ද හා සම්බන්ධ පැති පිළිබඳව ඔවුන්ට දැනෙන වියවුලද නොසලකා හැරිය නොහැක. මෙම බලපෑම් සම්බන්ධයෙන් සලකා බලන විට අපට මතක් වන්නේ බයිබලයෙහි සඳහන් මෙම වදන්ය. ‘මනුෂ්‍යයාගේ ගමන තමාට අයිති නැත. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.’ (යෙරෙමියා 10:23) මින් පැහැදිලි වන්නේ දරුවන්ට තම දෙමාපියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍ය වන්නා සේම, ඥානවන්තව තම ගමන නියම කිරීමට සියලු මනුෂ්‍යයන්ට සිය ස්වර්ගික පියාණන්ගේ උපකාරය අවශ්‍ය වන බවය.—හිතෝපදේශ 1:33.

දෙවිට ඇහුම්කන් දීමෙන් ලද ප්‍රඥාව

අප දෙවිට ඇහුම්කන් දෙන්නේ ඔහුගේ ලිඛිත වචනය කියවා අදාළ කරගැනීමෙනි. අදදින අප හමුවේ තිබෙන සියලුම සංකීර්ණ වෛද්‍ය ප්‍රශ්න හා විද්‍යාත්මක ප්‍රශ්න ගැන බයිබලයෙහි ඍජුවම සාකච්ඡා කර නැති බව සැබෑය. එනමුත් සදාකාලයටම පවතින එහි ප්‍රතිපත්ති නිවැරදි නිගමනවලට එළඹීම සඳහා අපට මහෝපකාරී විය හැක.—1 පේතෘස් 1:25.

නිදසුනකට, මිනිස් කලලයෙන් ලබාගත් ප්‍රාථමික සෛල පිළිබඳව පැනනැඟී ඇති විවාදය සලකා බලන්න. අප සාකච්ඡා කළ පරිදි, ඒවා ලබාගන්නේ ජීවමාන භෲණයක් විනාශ කරමිනි. මේ පිළිබඳව ආචාර විද්‍යාව හා හරි වැරැද්ද පිළිබඳව මතු වන ඝට්ටනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික මිනිස් ජිනෝම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ෆ්‍රැන්සිස් කොලින්ස් පැවසුවේ මෙසේය. “ඉතා වැදගත් වූ ප්‍රතිපත්ති දෙකක ඝට්ටනයට මෙය කැපීපෙනෙන නිදසුනකි. ඉන් එකක්, මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය හා සම්බන්ධය. අනික, මිනිසුන් ලෙස දුක් කම්කටොලු ඉවත් කිරීමට හා භයානක රෝගවලට ප්‍රතිකාර සෙවීමට අප සතු බලගතු වගකීමේ හැඟීම හා සම්බන්ධය . . . මිනිස් භෲණයෙන් ගත් සෛල සමඟ පර්යේෂණ පවත්වන මෙම ක්ෂේත්‍රයේදී මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය හා බැඳි සංකල්පය සුළුවට සලකනු ලබන බව බොහෝදෙනෙකු සිතන්නේ හොඳ හේතු ඇතුව බව මගේ අදහසයි.”

මෙම සංකීර්ණ ප්‍රශ්නයට උත්තරයක් සෙවීමට බයිබලය අපට උපකාර කරන්නේ නූපන් දරුවන් සම්බන්ධව දෙවිගේ දෘෂ්ටිය අපට හෙළි කිරීමෙනි. පුරාණ ඊශ්‍රායෙල්හි ගර්භිණී ස්ත්‍රියක වෙනත් පුද්ගලයෙකු අතින් යම් අනතුරකට ලක් වී, ප්‍රතිඵලයක් ලෙස ඇය හෝ ඇගේ නූපන් දරුවා මිය ගියා නම්, දෙවි එම අකරතැබ්බය සිදු කළ තැනැත්තාව මිනිස් ඝාතකයෙකු හැටියට සැලකූ අතර ඔහු ඊට වගකිව යුතු විය. ‘ප්‍රාණයට ප්‍රාණයක්’ දීමට එම තැනැත්තාට සිදු වනු ඇත. a (නික්මයාම 21:22-24) මේ අනුව, නූපන් දරුවන් ඇතුළුව සියලුම මිනිස් ජීවිත මැවුම්කරු පරිශුද්ධ ලෙස සලකන බව අපට නිගමනය කළ හැකිය. ඇත්තෙන්ම දෙවි අප කෙරෙහි සැලකිල්ල පෙන්වීමට පටන්ගන්නේ අප මව්ගේ ගර්භාශයෙහි සිටින විටදීය. ගීතිකාකරු අනාවරණය කරන පරිදි, “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව [කලලය, NW] පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය.”—ගීතාවලිය 139:16.

මිනිසුන් තාක්ෂණය පැත්තෙන් සුවිශේෂී ප්‍රගතියක් ලැබුවද, මිනිසුන් සහ ඔවුන්ගේ සමර්ථකම් සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් දැරීමට බයිබලය අපට උපකාර කරයි. එහි පවසන්නේ “රජ කුමරුන් කෙරෙහිවත්, පිහිට විය නොහැකි කිසිම මිනිසෙකු කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. මිනිසා අන්තිම හුස්ම හෙළයි. පසට ආපසු හැරෙයි. එදිනම ඔහුගේ යෝජනා සුන් වී යයි.” (ගීතාවලිය 146:3, 4, නව අනුවාදය) සමහරුන්ට මෙම අදහස් ඉතාමත් නිෂේධාත්මක ඒවා සේ දිස් වන්නට පුළුවන. එනමුත් එය සැබෑවක්ද? එය ඇත්තටම සැබෑ තත්වය පිළිබඳව කරන ලද ඍජු මෙන්ම අවංක ප්‍රකාශයක් නොවේද? ඇත්තෙන්ම! දක්ෂම මිනිසාට පවා මහලු වීමෙන්, අසනීප වීමෙන් සහ අවසානයේදී මිය යෑමෙන් තමන්වම බේරාගැනීමට හැකියාවක් නැත. එසේනම් අන් අයට එම ප්‍රස්තාව උදා කර දීමට ඔහුට හැක්කේ කෙලෙසද?

එහෙත් මැවුම්කරුට නම් මෙවැනි සීමා නැත. එපමණක්ද නොව, මිනිසාට ‘පිහිට වීමට’ ඔහුට බලය ඇත. තවද එසේ කිරීමට ඔහුට ආශාවක්ද තිබේ. යේසුස් මෙසේ පැවසීය. “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාදයත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) අපහට ‘ඇදහිල්ල පෙන්වීමට’ පදනමක් සැපයීම සඳහා යේසුස් මිහිපිට සිටියදී තමා වෙතට පැමිණි රෝගාතුරයන් සහ ආබාධිතයන් සියලුදෙනාවම සුව කළේය. ඔහු මළවුන් පවා නැඟිටුවීය!—ලූක් 7:21, 22.

යේසුස් කළ දෙයින් දෙවි ඉදිරියේදී දියත් කරන මහත් සුව කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපට පෙර දැක්මක් ලබා දෙයි. එම ව්‍යාපෘතිය පටන්ගන්නේ පොළොවෙහි පාලනය සම්පූර්ණයෙන්ම ඔහුගේ රාජ්‍යය යටතට පත් වන අවස්ථාවේ සිටය. පරමණ්ඩලයේ යාච්ඤාව ලෙස පොදුවේ ජනයා හඳුන්වන යාච්ඤාව කියද්දී, ඔවුන් ඉල්ලා සිටින්නේ එම රාජ්‍යය පැමිණෙන ලෙසටය. ඇත්තෙන්ම, මිහිපිට දේවකැමැත්ත ඉටු වනු ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්ගේ භාරයේ ක්‍රියාත්මක වන දෙවිගේ ස්වර්ගික ආණ්ඩුව වන දේවරාජ්‍යය මාර්ගයෙන් පමණි.—දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10.

බයිබලයෙහි සඳහන් මෙම පොරොන්දු ඔබ තුළ බලාපොරොත්තුවක් ජනිත කරවනවාද? එමෙන්ම අප හමුවට පැමිණෙන දුෂ්කර වූ ප්‍රශ්න කන්දරාව සමඟ දෙවිගේ මනස ඇතුව කටයුතු කිරීමෙන් දැන් සිටම ඔහුව සතුටු කිරීමට ඔබට ඕනෑකමක් තිබෙනවාද? තිබෙනවා නම්, දේවවචනයට ඇහුම්කන් දී ඊට අවනත වන්නට කියා ඔබව දිරිගන්වන්නට කැමැත්තෙමු. ඇත්තෙන්ම එහි ජීවනය සඳහා, ඔව් නිමක් නොමැති ජීවනයක් සඳහා මඟ පෙන්වන ප්‍රඥාව අන්තර්ගතය.—යොහන් 17:3; 2 තිමෝති 3:16.

[පාදසටහන]

a මෙම නීතිය අදාළ වන්නේ මවට හානියක් සිදු වූවා නම් පමණක් කියමින් සමහරුන් තර්ක කර ඇත. කෙසේවෙතත්, මුල් හෙබ්‍රෙව් පාඨය හොඳින් සෝදිසි කර බලන විට එම තර්කයට පදනමක් නැති බව පෙනේ. හෙබ්‍රෙව් පාඨයෙහි භාවිත කර ඇති වචන පිළිබඳව සී. එෆ්. කයිල් සහ එෆ්. ඩෙලිට්ෂ් පවසන්නේ මෙසේය. “වචන ගළපා ඇති අන්දම ගත් කල, සිදු වන අනතුර ස්ත්‍රියට පමණක් අදාළ වන එකක් ලෙස පැවසීමට කිසිදු පදනමක් නැත.”—වර්ෂ 1977 අගෝස්තු 1 මුරටැඹ (සිංහලෙන් නැත) 478 පිටුව බලන්න.

[30වන පිටුවේ පින්තූර]

බයිබලය අදදිනට මඟ පෙන්වීම් සපයන අතර, අනාගතයේදී පිරිපුන් සෞඛ්‍යයක් ලබාගැනීම පිළිබඳ ස්ථිර අපේක්ෂාවද සපයයි