ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත එකක් කරගන්න
ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත එකක් කරගන්න
මෙක්සිකෝවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
සෑම වසරකම මිලියන භාගයකට වැඩි මව්වරු සංඛ්‍යාවක් ගැබ්ගැනීමෙන් අනතුරුව මිය යන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නමැති සංවිධානය වාර්තා කරනවා. තවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මගින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව සෑම වසරකම මිලියන 60ක් පමණ කාන්තාවන් ගැබිනි සමයේදී ඉතා දරුණු රෝගවලට භාජන වන අතර, ඉන් තුනෙන් එකක්ම ජීවිතාන්තය දක්වාම පවතින රෝග හෝ ආසාදනවලට ලක් වෙනවා. දියුණු වෙමින් පවතින රටවල බොහෝ කාන්තාවන් ගැබ්ගැනීම්, දරු ප්‍රසූති මෙන්ම තමන් ගැන නොසැලකිලිමත් වීම හේතුවෙන් අසනීපවලට හා දුර්වලතාවලට දිගින් දිගටම ගොදුරු වෙනවා. ඔව්, ඇත්තෙන්ම ගැබිනිභාවය අනතුරුදායක මෙන්ම භයානක විය හැකියි. ඇත්තටම මව්වරුන්ට තමන්ගේ ගැබිනිභාවය වඩාත් සුරක්ෂිත එකක් කරගන්න පුළුවන්ද?
පූර්ව ගැබිනි අවස්ථාවේ ඔබේ සෞඛ්‍යය රැකගනිමින්
සැලසුම් කිරීම. පුරුෂයාට හා භාර්යාවට තමන් දරුවන් කීදෙනෙක් හදනවාද කියා සාකච්ඡා කළ හැකියි. දියුණු වෙමින් පවතින රටවල්වල සුලභව දකින්නට ලැබෙන දර්ශනයක් නම් දරුවන් ඉන්න අම්මලා අත දරුවෙක්ද ඇතිව ගැබිනිව සිටීමයි. පරිස්සමින් සැලසුම් කිරීමෙන් හා සැලකිලිමත් වීමෙන් ලැබෙන වාසි නම් දරුවන් දෙදෙනෙක් අතර කාල පරතරයක් ඇති කරගැනීමට හැකිවීම සහ මවට සහනයක් මෙන්ම ඇගේ වැය වූ ශක්තිය යළි ගොඩනඟා ගැනීමට කාලයක් ලැබීමයි.
පෝෂණය. සාර්ථක ගැබ්ගැනීමක් සඳහා උපදෙස් දෙන සංවිධානයකට අනුව, ගැබ්ගැනීමට පළමුව අඩුම තරමින් මාස හතරකට කලින් සිටවත් ඒ සඳහා සූදානම් වීමක් වශයෙන් බෙහෙත් හේත් හෝ වෙනත් අහිතකර බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම මිදී හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනීම අවශ්‍ය වෙනවා. උදාහරණයකට ගැබිනි මව යහමින් ෆෝලික් අම්ලය අඩංගු ආහාර ලබාගෙන තිබෙනවා නම් ස්නායු නළය වැසී යෑම නිසා කලල අවධියේ ඇති වන ආබාධයක් වන ස්පයිනා බයිෆීඩා (spina bifida) බොහෝදුරට මඟ හරවාගත හැකියි. පිළිසිඳ ගැනීමෙන් පසු, දින 24ත් 28ත් අතර කාලය තුළ කලලයේ ස්නායු නළය වැසේ. මේ කාලයේදී සාමාන්‍යයෙන් බොහෝ මව්වරු තමන් ගැබ්ගෙන සිටින බවවත් දන්නේ නැති තරම්. ඒ හේතුවෙන් ගැබ්ගැනීම සැලසුම් කරන සමහර කාන්තාවන් ෆෝලික් අම්ලය කල් තියාම ලබාගන්නවා.
තවත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වන්නේ යකඩයි. කාන්තාවකගේ යකඩවල අවශ්‍යතාවය ගැබිනි සමයේදී දෙගුණ වෙනවා. ඇයගේ ශරීරයේ තැන්පත් වී ඇති යකඩ ප්‍රමාණය අඩු නම් යකඩ ඌනතාවය නිසා නීරක්තිය ඇති විය හැකියි. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවල බොහෝදුරට දැකිය හැකියි. කෙටි කාල පරතරයක් තුළ නැවත නැවත ගැබ්ගැනීම නිසා මවට අවශ්‍ය යකඩ ශරීරයට ලබාගැනීමට තරම් ප්‍රමාණවත් a
කාලයක් නොතිබීමෙන් මෙම තත්වය දරුණු වෙන්න පුළුවන්.වයස. වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන්ගේ ගැබ්ගැනීම්වලදී, වයස අවුරුදු 20දී ගැබ්ගන්නා කාන්තාවන්ට වඩා සීයට 60ක අවදානම් තත්වයක් තිබෙනවා. අනිත් අතට අවුරුදු 35කට වැඩි කාන්තාවන් ගැබ් ගත් විට, දරුවන්ට උපතින්ම විකෘතිතා හා ඩවුන්ස් සහලක්ෂණ (Down’s syndrome) වැනි ආබාධ ඇති වෙනවා. වයසින් අඩු මව්වරුන්ට මෙන්ම වයසින් වැඩි මව්වරුන්ටද බොහෝවිට පූර්ව එක්ලැම්සියාව (preeclampsia) ඇතිවීමේ අවදානම වැඩියි. මෙම රෝගී තත්වය, ගැබ්ගෙන සති 20කින් විතර අධික රුධිර පීඩනය සමඟ ඉදිමුම හා මුත්‍රාවල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිවීම වැනි ලක්ෂණ මගින් දැකගත හැකියි. මෙම තත්වය යටතේ මවගේ හා දරුවාගේ ජීවිතවලට අනතුරක් වීමේ අවදානම වැඩියි.
ආසාදන. මුත්‍රා, යෝනි මාර්ගයේ ගැබ් ගෙලෙහි හා ආන්ත්‍රික පද්ධතිය ආශ්‍රිත ආසාදන ගර්භණී සමයේ තවත් වැඩි විය හැකි අතර, මෙය පූර්ව එක්ලැම්සියාව වැලඳීමේ සහ නොමේරූ දරු උපත් සිදුවීමේ ප්‍රවණතාව වැඩි කරයි. කළ හැකි හොඳම දේ නම් ගර්භණී වීමට පෙර මෙම ආසාදන සුව කරගැනීමයි.
ගර්භණී සමයේදී සෞඛ්‍යය රැකගනිමින්
දරු ප්‍රසූතියට පෙර සැලකිලිමත් වීම. ගර්භණී සමයේදී නිතිපතා වෛද්‍යවරයා මුණගැසීමට යෑම, මවගේ ජීවිතයට හානියක් සිදුවීමේ අවදානම බොහෝදුරට අඩු කරයි. තවද වෛද්‍ය සායන හා රෝහල් පහසුකම් සීමා වී ඇති සමහර රටවල පවා හොඳින් පුහුණුව ලබා ඇති සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවය ලබාගත හැකියි.
දරු ප්‍රසූතියට පෙර සූදානම් වීමෙන්, විශේෂ අවධානයක් දීමට අවශ්‍ය විය හැකි අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව හා වකුගඩු රෝග මෙන්ම බහු කලල ගැබ්ගැනීම් වැනි සංකුලතාවන් ගැන විශේෂ අවධානයක් දීමට පුහුණු වූ නිලධාරීන්ට හැකියි. සමහර රටවල ගැබිනි මව්වරු පිටගැස්ම එන්නත ලබාගන්නවා. එසේ කරන්නේ තම [මසකට අඩු] බිලිඳාට පිටගැස්ම වැලඳීම වළක්වාගැනීම සඳහායි. ඊට අමතරව ගැබ්ගෙන සති 26ත් 28ත් අතර කාලයේදී, ඇයට ස්ට්‍රෙප්ටොකොකස් බී වර්ගයේ බැක්ටීරියාව ඇද්දැයි පරීක්ෂා කළ හැකියි. මෙම බැක්ටීරියාව මහ අන්ත්‍රයේ සිටියොත් දරු ප්‍රසූතියේදී දරුවාට විෂ බීජ ඇතුල් වෙන්න පුළුවන්.
මවක් වෙන්න සිටින කාන්තාවක් ඇයගේ සියලුම තොරතුරු, එනම් ඇගේ සෞඛ්‍ය ඉතිහාසය නොවළහා වෛද්‍ය නිලධාරීන්ට පැවසීමට සූදානම් වී සිටිය යුතුයි. ඒ වගේම නොපැකිලී නිදහසේ ප්‍රශ්න ඇසිය යුතුයි. යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදු වනවා නම්, හදිස්සියේම මුහුණ ඉදිමෙනවා නම්, තද හෝ දිගටම හිසේ කැක්කුමක් හෝ ඇඟිලිවල කැක්කුමක් ඇති වෙනවා නම්, හිටි හැටියේම ඇස් නිලංකාර වෙනවා නම් හෝ පෙනීම අපැහැදිලි නම්, බඩේ තද කැක්කුමක් ඇති වෙනවා නම්, දිගටම වමනය පවතී නම්, ඇඟ සීතල වීම හෝ උණ තියෙනවා නම්, කලලය චලනය වන වාර ගණනේ වෙනසක් වේ නම් හෝ එහි තියුණු බවක් දැනේ නම්, වතුර බෑගයෙන් වතුර ටික ටික යනවා දැනෙනවා නම්, මුත්‍රා කරන විට කැක්කුමක් ඇති වනවා නම් හෝ අසාමාන්‍ය ලෙස මුත්‍රා පිටවීම අඩු වේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපකාරය ලබාගත යුතුයි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය. මවක් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය (දුම් කොළද ඇතුළත්) ගැනීම මගින් ඇගේ දරුවා මන්දබුද්ධික වීමේ, ශාරීරික විකෘතිතා ඇතිවීමේ සහ හැසිරීම් රටාවේ අක්‍රමිකතාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි කරවනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මව්වරුන් බිහි කරන බිලිඳුන් පවා කලින් මත්ද්‍රව්‍ය භාවිතා කර නැවැත්වූ කෙනෙක් අද්දකින මුල් රෝග ලක්ෂණ අද්දකියි. සමහර අය හිතන්න පුළුවන් ඉඳ හිට වයින් වීදුරුවක් ගැනීම එතරම්ම හානිකර නැහැයි කියා. නමුත් ප්‍රවීණයන් උපදෙස් දෙන්නේ ගර්භණී කාලයේදී මධ්‍යසාරවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි. ඒ වගේම ගර්භණී මව්වරුන් අන් අය දුම්පානය කරන විට ඒවා ආශ්වාස කිරීමෙන් වැළකීමටද වගබලා ගත යුතුයි.
බෙහෙත්. කිසිම බෙහෙතක් වෛද්‍ය උපදෙස් නැතුව ගන්න එපා. ඒ වගේම ගර්භණීභාවය ගැන දැනුමක් ඇති, බෙහෙත්වල ඇති බලපෑම් කිරා මැන බලා ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ලබාගන්න. සමහර විටමින් වර්ගත් හානිකර විය හැකියි. උදාහරණයකට, විටමින් A බහුලව ගැනීම නිසා කලලයේ යම් විකෘතිතා ඇති විය හැකියි.
බර. ගර්භණී මවක් අසාමාන්‍ය ලෙස බර වැඩි කරගැනීමෙන් මෙන්ම අඩු කරගැනීමෙන්ද වැළකිය යුතුයි. සාමාන්‍ය බරකින් යුත් අලුත උපන් බිලිඳුන්ට වඩා බර අඩුවෙන් උපදින බිලිඳුන්ගේ මරණ සංඛ්‍යාව සීයට 40කින් වැඩි බව එක් මූලාශ්‍රයක (Krause’s Food, Nutrition and Diet Therapy) කියැවෙනවා. අනික් අතට, දෙදෙනෙකුට කෑම කෑමෙන් සිදු වන්නේ අනවශ්‍ය ස්ථූලතාවයක් ඇතිවීම පමණයි. ගර්භණී මවක් අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයෙන් ආහාර ගන්නවාද නැද්ද කියා දැනගත හැකි වන්නේ ඇගේ බර වැඩි වන ප්‍රමාණය අනුවයි. මාස හතරේ සිට මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි වෙනවා. b
සෞඛ්‍යය හා වෙනත් සැලකිය යුතු දෑ. නෑම සාමාන්‍ය විදියටම කළ හැකියි. නමුත් යෝනි මාර්ග සෝදනය කිරීම සඳහා නොයෙක් ද්‍රව්‍ය භාවිත කිරීම නුසුදුසුයි. ගැබිනි මවක් ජර්මන් සරම්ප නොහොත් රුබෙල්ලා වැනි වයිරස් ආසාදන ඇති අයගෙන් ඈත් විය යුතුයි. තවදුරටත් ටොක්සෝප්ලාස්මෝසියාව (toxoplasmosis) රෝගය වැලඳීම වැළැක්වීම සඳහා, ප්‍රමාණවත් ලෙස තැම්බී නැති මස් කෑමෙන් සහ පූසන්ගේ අසූචිවලින් ආරක්ෂා විය යුතුයි. ඊට අමතරව සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්නාවූ සෞඛ්‍ය පුරුදු එනම් අත් සේදීම, අමුවෙන් කෑමට ගන්නා ආහාර හොඳින් සේදීම වැනි දෑ කළ යුතුයි. ලිංගික ඇසුර පැවැත්වීම එතරම් අන්තරායක් වන්නේ නැහැ. නමුත් ගැබිනි සමයේ අවසාන කාලයේදී, ලේ ගැලීමක්, කෙණ්ඩා පෙරළීමක් සිදු වන විටදී හෝ කලින් ගබ්සා වීමක් සිදු වී තිබෙනවා නම් පරිස්සම් විය යුතුයි.
සාර්ථක දරු ප්‍රසූතියක්
ගැබිනි සමයේදී නිසි ලෙස ආරක්ෂා වන මවක් ප්‍රසූතියේදී අනවශ්‍ය සංකුලතාවලට මුහුණ පානවා අඩුයි. ඇය කලින්ම සූදානම් වන නිසා දරු ප්‍රසූතිය සිදු කරන්නේ ගෙදරදීද නැත්නම් රෝහලකද කියා ඇය කලින්ම තීරණය කරයි. ඒ වගේම ඇය ප්‍රසූති අවස්ථාවේදී බලාපොරොත්තු විය යුතු දේවල් දැනගෙන සිටින අතර, දක්ෂ සෞඛ්‍ය නිලධාරිනියට හෝ වෛද්‍යවරයාට සහයෝගය දක්වන ආකාරයත් දනී. කලින්ම ඇය නිලධාරීන්ට ඇගේ ප්‍රසූතිය සිදු කළ යුතු ආකාරය ගැන දැනුම් දෙයි. ඒ නිසා, ප්‍රසූතිය සිදු කරන්නේ කුමන ඉරියව්වෙන්ද, එය සිදු කරන්නේ යෝනි මාර්ගය කුඩා සැත්කමකින් පළල් කිරීමකින්ද (episiotomy), අඬු භාවිතයෙන්ද, වේදනා නාශක ඖෂධ භාවිත කිරීමෙන්ද වැනි දේවල් ගැනත්, ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයක් (electronic fetal monitoring) මගින් කළලය පරීක්ෂා කරනවාද නැද්ද යන්න ගැන මෙම නිලධාරියා දැන සිටිනවා. ඒ වගේම අනිත් කාරණා සම්බන්ධවද එකඟත්වයකට එළඹී තිබෙන්න අවශ්‍යයි. ගෙදරදී ප්‍රසූතිය සිදු කරන වේලාවේ යම් හදිසිතාවයක් ඇති වුවහොත් ගෙන යන්නේ කොයි රෝහලටද නැත්නම් කොයි සායනයටද? අධික ලෙස රුධිරය වහනය වෙනවා නම් මොන වගේ පියවරද ගන්නේ? අධික රුධිර වහනය නිසා මව ජීවිතක්ෂයට පත් විය හැකියි. එම නිසා රුධිරය ගන්නේ නැති රෝගීන් සඳහා රුධිරය වෙනුවෙන් භාවිතා කළ හැකි වෙනත් විකල්ප බෙහෙත් ද්‍රව්‍ය සූදානම් කර තිබිය යුතුයි. හදිසි අවස්ථාවක් යටතේදී සීසේරියානු සැත්කමක් කරන්න අවශ්‍ය වූවහොත් ගත යුතු පියවර සම්බන්ධවද කලින්ම සැලසුම් කිරීම යෝග්‍යයි.
බයිබලය පවසන්නේ දරුවන් දෙවිගෙන් ලැබෙන “උරුමයක්” කියායි. (ගීතාවලිය 127:3) මවක් ඇගේ ගැබිනි තත්වය ගැන දැනගන්න තරමට ඇගේ ගැබිනි සමය හා ප්‍රසූතිය වඩා සාර්ථක එකක් වන බව නිසැකයි. ගැබිනි සමයට පෙර හා ඒ කාලය අතරතුර සැලකිලිමත් වීම මගින් හා දරු ප්‍රසූතිය සම්බන්ධ කාරණා ගැන කලින්ම සිතා බැලීම මගින් මවකට ගැබිනි සමය වඩාත් සුරක්ෂිත එකක් වේයැයි බලාපොරොත්තු විය හැකියි.
[පාදසටහන්වල]
a පීකුදු, මුං ඇට, කව්පි වැනි රනිල බෝග, තද කොළ පැහැති එළවළු, කජු වැනි ඇට වර්ග සහ විටමින් හා ඛනිජ ලවණ යොදා සකසන ලද වියළි ධාන්‍යවල (cereals) ෆෝලික් අම්ලය හා යකඩ අඩංගුයි. යකඩ බහුල ලෙස අඩංගු ආහාර ගැනීමේදී ඒවා ශරීරයට හොඳින් උරාගැනීම සඳහා අලුත් පලතුරු වැනි විටමින් සී අඩංගු ආහාර ගැනීම ඉතා යෝග්‍යයි.
b සාමාන්‍යයෙන් හොඳ ශරීර සෞඛ්‍යයකින් යුත් මවක් අනුමත කළ බර ප්‍රමාණයකින් ඇගේ ගැබිනිභාවය ආරම්භ කරනවා නම්, ගැබිනි සමයේ අවසානයේදී ඇයගේ බරට තව එකතු විය යුත්තේ කිලෝග්‍රෑම් 9ත් 12ත් අතර ප්‍රමාණයක් පමණයි. කෙසේවෙතත්, යෞවන හෝ කුපෝෂණයෙන් පෙළෙන කාන්තාවන්ගේ බර කිලෝග්‍රෑම් 12ත් 15ත් අතර ප්‍රමාණයකින් වැඩි විය යුතුයි. නමුත් කෙනෙකුගේ බර වැඩි නම් ඇයගේ බර වැඩි විය යුත්තේ කිලෝග්‍රෑම් 7ත් 9ත් අතර ප්‍රමාණයකින් පමණයි.
[14වන පිටුවේ කොටුව]
ගැබිනි මව්වරුන්ට අත්වැලක්
● සාමාන්‍යයෙන් ගැබිනි මව්වරුන්ගේ දිනපතා ආහාර වේලට පලතුරු, එළවළු (විශේෂයෙන්ම තද කොළ පාට, තැඹිලි සහ රතු), රනිල කුලයේ ආහාර (බෝංචි, සෝයා බෝංචි, පරිප්පු, කඩල), ධාන්‍ය වර්ග (තිරිඟු, බඩ ඉරිඟු, ඕට්ස් සහ බාර්ලි [ධාන්‍ය වශයෙන් හෝ සකස් කරන ලද වියළි ධාන්‍ය (cereals)]) සහ සත්ව ආහාර (මාළු, කුකුල් මස්, හරක් මස්, බිත්තර, චීස් සහ කිරි [යොදය රහිත කිරි වඩාත් හිතකරයි]) එකතු කළ යුතුයි. මේදය, පිරිපහදු කරන ලද සීනි සහ ලුණු වැඩියෙන් පාවිච්චි කිරීම අහිතකරයි. වැඩියෙන් වතුර බොන්න. කැෆේන් අඩංගු ආහාරවලින් වැළකී සිටිය යුතු අතර කල් තබාගන්නා ද්‍රව්‍ය හා රස කාරක (කෑම වර්ග වර්ණවත් කිරීමට හෝ සුවඳවත් කිරීමට යොදන ද්‍රව්‍ය) යොදා තිබෙන කෑම ගැනීමෙන් වළකින්න. රෙදි සේදීමට ගන්නා කැඳ, මැටි හා එවැනි සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා දේ කෑමෙන් මන්දපෝෂණය ඇති විය හැකි අතර එය විෂවීමටද පුළුවන්.
● සිදු විය හැකි හානිකර පාරිසරික වෙනස්කම් ගැනද අවධානයෙන් සිටින්න. උදාහරණයකට හානිකර රසායනික ද්‍රව්‍යවලට හා එක්ස් කිරණවලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමෙන් වළකින්න. ගෙදර දොරේ භාවිත කරන සුවඳ ද්‍රව්‍ය හා වෙනත් දෑ සීමා කරන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා ව්‍යායාම් කිරීමෙන් හෝ අධික රස්නය ඇති තැන්වල ගැවසීමෙන් ශරීර උෂ්ණත්වය වැඩි කරගන්න එපා. දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් හා අධික ලෙස වෙහෙස වීමෙන් වළකින්න. වාහනයක ගමන් කරන විට ආසන පටි පළඳින්න.