Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද?

ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද?

ගොස් තමා සන්තක සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්නැයි යේසුස් දිනක් ධනවත් තරුණ පාලකයෙකුට පැවසීය. වාර්තාවේ සඳහන් පරිදි, එම තැනැත්තාට “බොහෝ සම්පත් තිබුණු බැවින්” යේසුස් පැවසූ දෙයින් දුකට පත් වූ ඔහු ශෝකයෙන් යන්න ගියේය. එවිට යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසීය. “ධනවන්තයන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම කොපමණ අමාරුද!” යේසුස් මෙසේද කීවේය. “ධනවන්තයෙක් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුය.”—මාර්ක් 10:21-23; මතෙව් 19:24.

යේසුස් අදහස් කළේ කුමක්ද? ධනය හා සැබෑ නමස්කාරය පරස්පර විරෝධීව දිව යන්නක්ද? තමන් ළඟ මුදල් තිබේ නම් ක්‍රිස්තියානීන්ට වරදකාරිබවක් හැඟිය යුතුද? දෙවිට ඕනෑ කරන්නේ ඔවුන් ද්‍රව්‍යමය අතින් හිඟව වෙසෙනවා දැකීමටද?

දෙවි ‘සියලු මනුෂ්‍යයන්ව’ සාදරයෙන් පිළිගනියි

පුරාණයේදී, අනිවාර්යයෙන්ම දිලිඳු දිවි පෙවෙතක් ගෙවිය යුතුයි කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ නැත. මෙය සලකා බලන්න: තමන්ට වෙන් කර දුන් දේශයෙහි පදිංචි වූ ජනයා, තමන්ගේ හා තම ප්‍රේමණීයයන්ගේ එදිනෙදා අවශ්‍යතා සපයාගැනීම සඳහා කෘෂිකාර්මික කටයුතුවල හා ව්‍යාපාරවල නිරත වූහ. ආර්ථික තත්වයන්, දේශගුණය හා සෞඛ්‍යය හෝ ව්‍යාපාරික දක්ෂතාවන් වැනි සාධක ඔවුන්ගේ වෑයමේ සාර්ථකත්වයට බලපෑමට ඉඩ තිබිණ. යම් කෙනෙකු ආර්ථික වශයෙන් පහත වැටී දිලිඳු වී සිටී නම්, ඔහුට දයානුකම්පාව පෙන්වන්න කියා මෝසෙස්ගේ නීතිය මගින් ඊශ්‍රායෙල්වරුන්ට පවසනු ලැබීය. (ලෙවී කථාව 25:35-40) අනෙක් අතට ඇතැම් අය ධනවත්තු වූහ. යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන්මිත්තෙකු වූ ඇදහිලිවන්ත මෙන්ම පක්ෂපාත පුද්ගලයෙකු වූ බෝවස්ව විස්තර කර තිබෙන්නේ ‘මහත් වස්තුකාරයෙකු’ වශයෙනි.—රූත් 2:1.

යේසුස්ගේ ජීවිත කාලයේදීද එම තත්වයම පැවතිණ. මුලින් සඳහන් කළ ධනවත් මිනිසාට යේසුස් කතා කළේ තපස් දිවියක් ගත කිරීමට උනන්දු කිරීමේ අරමුණින් නොවේ. ඇත්තෙන්ම ඔහු වැදගත් පාඩමක් උගන්වමින් සිටියේය. ධනවතුන්ට නිහතමානිකම විදහාපෑමට සහ දෙවිගේ ගැලවීමේ මාධ්‍යය පිළිගැනීමට අසීරු බවක් මිනිසුන්ට හැඟිය හැක. එහෙත් යේසුස් මෙසේ පැවසීය. “ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන. නුමුත් දෙවිට සියල්ලම පුළුවන.”—මතෙව් 19:26.

පළමුවන සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාවට “සියලු ආකාර මිනිසුන්ව” සාදරයෙන් පිළිගනු ලැබීය. (1 තිමෝති 2:4, NW) ධනවත්ව සිටි අය, තරමක් දුරට සැප පහසු දිවියක් ගෙවමින් සිටි වෙනත් අය හා දිලිඳු අය වැනි විවිධාකර ආර්ථික තත්වයන් ඇති බොහෝදෙනෙකු ඊට ඇතුළත් විය. ඇතමුන් ක්‍රිස්තියානීන් වීමට පෙර ධනය රැස් කරගෙන සිටියා විය හැක. තවත් සමහරෙකු ක්‍රිස්තියානීන් වූවාට පසු යොග්‍ය තත්වයන් උදාවීම හා නැණවත් ව්‍යාපාරික තීරණ ගැනීම මගින් ධනවතුන් වූවා විය හැක.

එලෙසම, අද දිනද විවිධ ආර්ථික තත්වයන්වල සිටින ජනයා ක්‍රිස්තියානි සහෝදරත්වයට ඇතුළත් වේ. ද්‍රව්‍යවාදයට ඕනෑම කෙනෙකු හසු විය හැකි බැවින් ඔවුහු සියලුදෙනම මුදල්මය කාරණා සම්බන්ධව බයිබලයේ මඟ පෙන්වීම අනුව යෑමට වෙර දරති. ධනවත් තරුණ පාලකයාව ඇතුළත් කරගනිමින් යේසුස් ඉගැන්වූ පාඩමෙන් පුද්ගලයෙකු කෙරෙහි ප්‍රබල බලපෑමක් කිරීමට මුදල් හා වස්තුවට හැකි බව සෑම ක්‍රිස්තියානියෙකුටම අවධාරණය කෙරේ.—මාක් 4:19.

ධනවතුන්ට අනතුරු ඇඟවීමක්

බයිබලයේ වස්තුව හෙළා දැක නැතත් මුදලට ඇලුම් කිරීම හෙළා දැක තිබේ. බයිබල් ලේඛක පාවුල් මෙසේ පැවසීය. “මුදල් තණ්හාව සැම නපුරට මුලය.” ධනවත් වීමේ ආශාව නිසා ආත්මික ක්‍රියාකාරකම් පසෙකලා ‘සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ටම බොහෝ දරුණු ලෙස තුවාල කරගත්’ බවද ඔහු පැවසීය.—1 තිමෝති 6:10, නව අනුවාදය.

පාවුල් ධනවතුන්ට නිශ්චිත උපදෙස් දීම උනන්දුව දනවන කාරණයකි. ඔහු මෙසේ පැවසීය. “උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, අපේ භුක්ති විඳීම සඳහා බහුල ලෙස සියල්ල අපට ලබා දෙන දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන ලෙස, දැන් පවතින ක්‍රමයේදී ධනවත්ව සිටින අයට අණ කරන්න.” (1 තිමෝති 6:17, NW) ධනවතුන් උඩඟු වීමට හා අන් අයට වඩා තමන් උසස්යයි හැඟීමක් ඇති කරගැනීමට ඉඩ කඩ තිබෙන බව පැහැදිලියි. එමෙන්ම, දෙවිට පමණක් දිය හැකි දෙයක් වන සැබෑ සුරක්ෂිතභාවය දීමට ධනසම්පත්වලට පුළුවනියයි සිතන්නත් ඔවුන් පෙලඹිය හැක.

‘උතුම් ක්‍රියාවලින් ධනවත් වීමෙන්’ එම අනතුරුවලින් වැළකීමට ධනසම්පත් බහුල ක්‍රිස්තියානීන්ට හැක. මෙම ක්‍රියාවලට ඇතුළත් වන්නේ, අවශ්‍යතා ඇති අයට නොමසුරුව සහයෝගය දෙමින් “ත්‍යාගිවන්තව, බෙදා දීමට ලැදිව” සිටීමය. (1 තිමෝති 6:18) අද දින සැබෑ ක්‍රිස්තියානීන්ගේ ප්‍රධාන වැඩය වන දේවරාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීමට තම සම්පත්වලින් කොටසක් භාවිත කරන්න ධනවත් මෙන්ම දිලිඳු ක්‍රිස්තියානීන්ටත් හැකියි. මෙම ත්‍යාගශීලී ස්වභාවයෙන් හෙළි වන්නේ ද්‍රව්‍යමය දේ කෙරෙහි සුදුසු ආකල්පයක් තිබෙන බවය. එමෙන්ම සතුටු සිතින්දෙන්නන්ට ප්‍රේම කරන යෙහෝවා දෙවිට හා යේසුස් ක්‍රිස්තුස්ට එවැනි කෙනෙකු දක්වන ඇලුම්භාවයද ඉන් හෙළි වේ.—මතෙව් 24:14; ලූක් 16:9; 2 කොරින්ති 9:7.

වඩා වැදගත් දේවල්

එසේනම්, ක්‍රිස්තියානීන් දිලිඳුන් විය යුතු නැති බව පැහැදිලියි. ඔවුන් ‘ධනවත් වීමටද ආශා’ නොකළ යුතුය. (1 තිමෝති 6:9) ඔවුන් හුදෙක් වෙහෙසෙන්නේ දිවි පෙවෙත ගෙන යෑමට සරිලන සාධාරණ වත්කමක් උපයාගැනීමටය. ඔවුන් දරන වෑයම්වලට අනුව ඔවුන්ගේ සාර්ථකත්වයේ විවිධ මට්ටම්වල ඔවුන් සිටිනු ඇත්තේ ඔවුන්ගේ ආර්ථික තත්වයන් මෙන්ම වෙනත් විවිධ හේතූන් නිසාය.—දේශනාකාරයා 11:6.

මූල්‍යමය තත්වය කුමක් වුවත් ක්‍රිස්තියානීන් ‘වඩා වැදගත් දේවල් ස්ථිර කරගැනීමට’ වෑයමක් දැරිය යුතුය. (පිලිප්පි 1:10, NW) ආත්මික සාරධර්මවලට මුල් තැන දෙන ඔවුහු “සැබවින් ජීවනය වූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගනිති.”—1 තිමෝති 6:19.