ජංගම දුරකථන ‘පිස්සුවක් වෙලා’
ජංගම දුරකථන ‘පිස්සුවක් වෙලා’
ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්
“ජංගම දුරකථනවලට තිබෙන ආශාව දැන් පිස්සුවක් බවට පත් වෙලා!” ජපානයේ එක්තරා පුවත්පතක (The Daily Yomiuri) ශීර්ෂ පාඨයක පළ වූයේ එසේයි. එය ඇත්තෙන්ම පිස්සුවක් කියා විස්තර කළ හැකිද? එම පුවත්පත මෙසේ පැහැදිලි කරනවා. “දැන් තරුණ තරුණියන් තමන්ගේ ජංගම දුරකථන සලකන්නේ හරියට ඔවුන්ගේ ශරීරයේ අවයව හැටියටයි. ඒ විතරක් නොවෙයි, ජංගම දුරකථනය ළඟ නොමැති විට ඔවුන් ඉන්නේ හරියට පිස්සු හැදිලා වගේ.” අනිත් අයගෙන් වෙන් වෙයි යන බියට, සමහරුන් ජංගම දුරකථනය තමන් යන යන තැන රැගෙන යමින් එය කිසි විටෙකවත් විසන්ධි නොකර තබාගැනීමට වගබලා ගන්නවා. ඔවුන්ගේ “ජංගම දුරකථනවලට පණිවිඩ ලැබුණේ නැති විට ඔවුන් දැඩි කනස්සල්ලට පත් වෙනවා. ඔවුන්ට කේන්තිත් යනවා. ඊට පස්සේ, ඔවුන්ට හැඟෙන්නේ කිසිවෙකු ඔවුන් ගැන තකන්නේ නැහැ කියායි.” මෙසේ කනස්සල්ලට පත් වී සිටින ඔවුන් දුරකථනයට පැමිණෙන සෑම ලිඛිත පණිවිඩයකටම විගස ප්‍රතිචාරය දැක්වීමට පෙලඹෙන නමුත් බොහෝවිට එසේ කිරීම අනවශ්‍ය දෙයක්.
ජංගම දුරකථන ප්‍රයෝජනවත් විය හැකි බව ඇත්තයි. ඇත්තෙන්ම, බොහෝ හදිසි අවස්ථාවලදී ඒවා ඉතා ප්‍රයෝජනවත් වන බව ඔප්පු වී තිබෙනවා. ඒ වගේම, එදිනෙදා ජීවිතයේදී ජංගම දුරකථන සමබරව භාවිත කිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් අදහස් හුවමාරු කිරීමට අප සතු සහජ හැකියාවට ජංගම දුරකථන “පිස්සුව” හානියක් එල්ල කළ හැකි බව ඇතැම් විශේෂඥයන් පවසනවා. ජංගම දුරකථන නිසා “අන් අයගේ මුහුණේ ඉරියව්, හැසිරීම සහ කටහඬේ ස්වරය තේරුම්ගැනීමට ඇති හැකියාව දරුවන්ට ටිකෙන් ටික නැතුව යනවා. එහි ප්‍රතිඵලය වන්නේ දරුවන් එන්න එන්නම කලහකාරී ස්වභාවයක් විදහාපෙන්වීමයි. අන් අයගේ හැඟීම් මුළුමනින්ම නොසලකා හැරීමයි.” ඔසාකාහි සිටින වයස අවුරුදු 13ත් 16ත් අතර ළමුන්ට උගන්වන ගුරුවරියක් එසේ බිය සැක පළ කර තිබූ බව ඉහත සඳහන් පුවත්පතේ වාර්තා කර තිබුණා.
ලිපිය අවසන් වුණේ මෙසේයි. “අනාගතයේදී දරු දැරියන් අතර ජංගම දුරකථන භාවිතය තව තවත් වැඩිවීම නතර කළ නොහැකියි. මෙම ප්‍රවණතාවේ නිෂේධාත්මක ප්‍රතිවිපාක අවම කරගත හැකි එකම මඟ වන්නේ ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් වැඩිහිටියන් දරුවන්ට හොඳ ආදර්ශයක් තැබීමයි.”