Skip to content

පටුනට යන්න

ජයගත යුතු මුල්ම කඩුල්ල—ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි වාචිකව තර්ක ඉදිරිපත් කිරීම

ජයගත යුතු මුල්ම කඩුල්ල—ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි වාචිකව තර්ක ඉදිරිපත් කිරීම

ජයගත යුතු මුල්ම කඩුල්ල—ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි වාචිකව තර්ක ඉදිරිපත් කිරීම

අග විනිසුරු විලියම් රෙන්ක්විස්ට් හා සහායක විනිසුරුවන් අටදෙනා ඉදිරියෙහි මෙම නඩුව වාචිකව තර්ක කිරීම සඳහා නියම කරන ලද දිනය වූයේ 2002 පෙබරවාරි 26වනදාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කළේ නීතිඥයන් සිව්දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමකි.

සාක්ෂිකරුවන්ගේ පක්ෂයට පෙනී සිටි ප්‍රධාන නීතිඥයා මෙම අවධානය ඇදගන්නා හැඳින්වීම සමඟින් තම තර්කය ආරම්භ කළේය. “අප දැන් සිටින්නේ ස්ට්‍රැටන් ගම්මානයේයයි සිතන්න. දවස සෙනසුරාදා උදෑසනයි. වේලාව 11යි. [අනතුරුව ඔහු කථික පුවරුවට තුන් වරක් තට්ටු කළේය.] ‘සුබ උදෑසනක්. මෑත කාලීන සිදුවීම්වලට අප කාගෙත් අවධානය යොමු වී ඇති නිසා, ඔබේ නිවසට පැමිණෙන්න මා විශේෂ වෑයමක් දැරුවේ ප්‍රොපේත යෙසායා වඩාත් වැදගත් කොට සැලකූ කාරණාවක් ගැන ඔබ සමඟ කතා කරන්නටයි. ඒ තමයි ක්‍රිස්තුස් යේසුස් පතළ කළ ශුභාරංචිය වන දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය.’”

ඔහු තවදුරටත් කතා කරමින් පැවසුවේ මෙසේය. “ස්ට්‍රැටන් ගම්මානයේ ගෙයින් ගෙට ගොස් එම පණිවිඩය ඉදිරිපත් කිරීමට කලියෙන් ගමේ බලධාරීන්ගෙන් අවසර පත්‍රයක් ලබාගෙන නොමැති නම්, එය සලකන්නේ සාපරාධී ක්‍රියාවක් ලෙසයි.”

‘ඔබ මුදල් ඉල්ලන්නේ නැද්ද?’

විනිසුරු ස්ටීවන් ජී. බ්‍රයර් සාක්ෂිකරුවන්ගෙන් යෝග්‍ය ප්‍රශ්න කිහිපයක් ඇසීය. ඔහු මෙසේ විමසුවේය. “ඔබේ සේවාදායකයන් මුදල්, ඒ කියන්නේ සතයක්වත් ඉල්ලන්නේ නැති බවත්, ඔවුන් බයිබල් විකුණන්නේ නැති බවත්, කිසිම දෙයක් විකුණන්නේ නැති බවත් කියන එක ඇත්තද? ඔවුන් පවසන්නේ ‘මා කැමතියි ඔබ සමඟ ආගමික කාරණා ගැන කතා කරන්නට’ කියා විතරද?”

සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පිළිතුරු දුන්නේ මෙසේය. “ගරු විනිශ්චයකාරතුමෙනි, අපට මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන්නට පුළුවනි. ස්ට්‍රැටන් ගම්මානයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුදල් ඉල්ලුවේ නැත. වෙනත් බලප්‍රදේශ සම්බන්ධයෙන්ද ඒ හා සමාන පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ හැකිය. එවැනි ප්‍රදේශවල ඔවුන් ඇතැම් අවස්ථාවලදී කෙනෙකුට තම කැමැත්ත පරිදි ස්වේච්ඡාවෙන් පරිත්‍යාග ඉදිරිපත් කළ හැකි බව ඔවුන් සඳහන් කරයි. . . . මෙහිදී අප කරමින් සිටින්නේ අරමුදල් එකතු කිරීම නොවෙයි. අප උත්සාහ කරමින් සිටින්නේ බයිබලය ගැන ජනයා සමඟ කතා කරන්නට පමණි.”

ආණ්ඩුවේ අවසර අවශ්‍යද?

විනිසුරු ඇනටොනින් ස්කලියා මෙම කාවදිනසුලු ප්‍රශ්නයද ඇසීය. “ඉතින්, යම් සිත්ගන්නාසුලු දෙයක් ගැන අසල්වැසියෙකුට කතා කරන්න පෙර නගරාධිපති වෙත ගොස් ඒ සඳහා අවසර ලබාගන්න අවශ්‍ය නැහැයි කියන එක නේද ඔබේ ස්ථාවරය?” සාක්ෂිකරුවන්ගේ නීතිඥයා පිළිතුරු දුන්නේ මෙලෙසය. “එක් පුරවැසියෙකු වෙනත් පුරවැසියෙකු සමඟ එම පුරවැසියාගේ නිවසේදී කතා කිරීමට පෙර අවසර පත්‍රයක් ලබාගත යුතු බවට පවසන ආණ්ඩු රෙගුලාසියක් මෙම අධිකරණය විසින් අනුමත කළ යුතු බව අප විශ්වාස කරන්නේ නැහැ.”

තර්ක වෙන මඟකට හැරේ, උණුසුම වැඩි වේ

ඊළඟට මෙම නඩුවේ තමන්ට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට ගම්වැසියන්ට අවස්ථාව ලැබිණ. ස්ට්‍රැටන් ගම්මානය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන නීතිඥවරයා ස්ට්‍රැටන් ගම්මානයේ ආඥා පනත පහදා දුන්නේ මෙසේය. “ස්ට්‍රැටන් ගම්මානය එහි වැසියන්ගේ පෞද්ගලික නිදහස රැකගැනීමට උත්සාහ දරන විටත්, අපරාධ මර්දනය කිරීමට උත්සාහ දරන විටත් ඔවුන් කරමින් සිටින්නේ පොලිසියට පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීමයි. පෞද්ගලික දේපොළකට ගොස් ආධාර එකතු කිරීම හෝ වෙනයම් අනුග්‍රහයක් ලබාගැනීමට උත්සාහ දැරීම තහනම් කරන මෙම ආඥා පනතෙන් සරලව ඉල්ලා සිටින්නේ යම් ගෙයින් ගෙට ගොස් කරන කටයුත්තක් ඇරඹීමට පෙරාතුව එය ලියාපදිංචි කළ යුතු බවත්, ඒ අතරතුරේදී බලපත්‍රයක් රැගෙන යා යුතු බවත්ය.”

විනිසුරු ස්කලියා එක් ක්ෂණයකින්ම මෙම ගැටලුවේ මුලටම බැස්සේ මෙම ප්‍රශ්නය ඇසීමත් සමඟය. “කලින් පැවති අපගේ (ශ්‍රේෂ්ඨාධිකරණයේ) යම් නඩු විභාගයකදී මෙතරම් පුළුල් ආඥා පනතක් සම්බන්ධයෙන් තීන්දුවක් දී ඇති බවට ඔබතුමන්ලා අසා තිබෙනවාද? ඒ කියන්නේ ආධාර පතා ක්‍රියා කිරීම, මුදල් ඉල්ලීම, භාණ්ඩ අලෙවි කිරීම පමණක් නොව, ‘යේසුස් ක්‍රිස්තුස් ගැන ඔබත් සමඟ කතා කරන්න මම කැමතියි’ නැතහොත් ‘පරිසරය සුරැකීම ගැන ඔබත් සමඟ කතා කරන්න මට අවශ්‍යයි’ වැනි දෙයක් පැවසීම පවා තහනම් කරන ආඥා පනතක් ගැන? අපි එවැනි නඩුවක් හසුරුවා තිබෙනවාද?”

විනිසුරු ස්කලියා තවදුරටත් මෙසේ පැවසුවේය. “පසුගිය සියවස් දෙක පුරා මෙවැනි ආකාරයේ නඩුවක් තිබුණු බව මා අසා නැහැ.” ඊට උත්තර බඳිමින් අගවිනිසුරු රෙන්ක්විස්ට් තරමක හාස්‍යජනක ස්වරයකින් මෙසේ පැවසීය. “ඔබ තුමා එතරම් කලක් ජීවත් වී නැහැනේ.” නඩු ශාලාව පුරා සිනහ රැල්ලක් පැතිර ගියේය. කෙසේවෙතත්, විනිසුරු ස්කලියා තම තර්කය යළිත් තහවුරු කළේය. “මෙතරම් පුළුල්ව අදාළ වන ආඥා පනතක් මට නම් අලුත්ම අලුත් දෙයක්.”

යුතු දෙයක්ද?

ඊළඟට විනිසුරු ඇන්තනි එම්. කෙනඩි ඍජු ප්‍රශ්නයක් ඇසීය. “අපි හිතමු මා අවට ජීවත් වන අයව වැඩිය හඳුනන්නේ නැති වීථියක් දිගේ ගොස් එහි සිටින උදවියට මගේ අවධානයට ලක් වී තිබෙන ප්‍රශ්න කිහිපයක්, එනම් කුණු කසළ ඉවත් කිරීම ගැන මෙන්ම අපගේ කොන්ග්‍රෙස් සභිකයාගේ ක්‍රියාකලාපය ගැන ඔබ සමඟ කතා කරන්න මම කැමතියි කියා කීමට අදහස් කරනවා කියා. එසේ කීමට පෙර, ආණ්ඩුවෙන් අවසර ගැනීම යුතු දෙයක් කියාද ඔබ සිතන්නේ? මෙවැනි දෙයකට පවා ආණ්ඩුවෙන් අවසර ගන්න අවශ්‍යද?” ඔහු තවදුරටත් පැවසුවේ “ඒක නම් පුදුම කතාවක්.”

අනතුරුව විනිසුරු සැන්ඩ්‍රා ඩේ ඔකොනර් තර්කයට අවතීර්ණ වෙමින් මෙසේ ඇසුවාය. “එතකොට හැලොවින් උත්සවයේදී ගෙයින් ගෙට යන අය ගැන මොනවාද කියන්න පුළුවන්? ඔවුනුත් අවසර පත්‍රයක් ගත යුතුද?” ඔකොනර් සහ ස්කලියා යන විනිසුරුවන් දෙදෙනා මෙම තර්කය ඔස්සේ අදහස් ඉදිරිපත් කළෝය. ඉන්පසුව විනිසුරු ඔකොනර් තවත් තර්කයක් හඳුන්වා දුන්නාය. “ඔබේ අසල්වැසියාගෙන් සීනි ටිකක් ඉල්ලාගැනීම ගැන මොනවාද කියන්න තිබෙන්නේ? මගේ අසල්වැසියාගෙන් සීනි ටිකක් ඉල්ලාගැනීමට පෙරාතුව අවසර පත්‍රයක් ගන්නට මට සිදු වෙනවාද?”

සාක්ෂිකරුවන් ආධාර ඉල්ලමින් යනවාද?

විනිසුරු සූටර් මෙසේ විමසීය. “මෙය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අදාළ වන්නේ ඇයි? ඒ අය ආධාර ඉල්ලමින් යනවාද? (canvassing) ඔවුන් වෙනයම් අනුග්‍රහයක් ලැබීමට උත්සහ දරන අයද? තොරොම්බල්කාරයෝද? ගෙයින් ගෙට ගොස් බඩු විකුණන්නෝද? සංචාරක වෙළෙන්දෝද? නැතහොත් කෙටි කලකට යම් භාණ්ඩ හෝ සේවා විකුණන අයද? ඔවුන් මේ එකම ගණයකටවත් වැටෙන්නේ නැහැ නේද?” ගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, ආඥා පනතෙන් සෑහෙන තොරතුරු උපුටා දැක්වූ අතර පහළ උසාවිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වර්ග කළේ ආධාර ඉල්ලමින් යන අය ලෙස බවද ඔහු පැවසීය. මීට පිළිතුරු දුන් විනිසුරු සූටර් පැවසුවේ මෙසේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඒ ගණයෙහිලා සලකනවා නම්, ආධාර ඉල්ලමින් යනනවා යන අදහසට ඔබ දී ඇත්තේ ඉතාමත් පුළුල් අර්ථයක්.”

ආධාර ඉල්ලමින් යනවා යන අර්ථය දක්වන වචනයෙහි (canvasser) තේරුම සාක්ෂිකරුවන්ට අදාළ නොවන බව පෙන්නුම් කිරීමට විනිසුරු බ්‍රයර් ශබ්දකෝෂයකින් උපුටා දැක්වීය. “මුදල් ගැන උනන්දු නොවන, යමක් විකුණන්නට උනන්දුවක් නොදක්වන, ඡන්ද ලබාගැනීම ගැන පවා උනන්දු නොවන මෙම ජනතාවට [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට] නගර සභාවට ගොස් ලියාපදිංචි විය යුත්තේ ඇයි කියා කීමට කිසිදු හේතුවක් ඔබේ නඩු ගොනුවේ මා කියවා නැහැ. නගර සභාව එසේ ඉල්ලා සිටීමේ අරමුණ කුමක්ද?”

අදහස් හුවමාරු කරගැනීමේ “වරප්‍රසාදය”

අනතුරුව ගමේ නීතිඥ පිරිස තර්ක කරමින් කියා සිටියේ “එම ගම්මානයේ අරමුණ වන්නේ දේපොළ අයිතිකරුවන්ව කුපිත කිරීම වැළැක්වීම” බවය. එසේ කිරීමෙන් නිවැසියන්ව වංචාවලින් හා අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගත හැකි බව ඔහු තවදුරටත් පැවසීය. “ලබාගැනීමට තැත් කරන වරප්‍රසාදයේ ස්වභාවය නිවැරදිව විස්තර කිරීම” සඳහා ලියාපදිංචිකරු ගැනත් ඔහුගේ අරමුණ ගැනත් අමතර තොරතුරු ඉල්ලා සිටීමට නගරාධිපතිට හැකි බව පෙන්නුම් කිරීමට විනිසුරු ස්කලියා ආඥා පනතෙන් තවත් කොටස් උපුටා දැක්වීය. අනතුරුව ඔහු ඍජුව පැවසුවේ “ඔබේ සෙසු පුරවැසියන් ළඟට ගොස් ඔවුන්ට යම් කාරණයක් ඒත්තුගැන්වීම මෙහි විස්තර කර ඇත්තේ වරප්‍රසාදයක් හැටියටයි! මට නම් තේරෙන්නේ නැහැ ඊට වරප්‍රසාදයක් කියන්නේ කොහොමද කියා” යන්නය.

විනිසුරු ස්කලියා නැවතත් තරයේ අදහස් දක්වමින් “ඉතින් නිවසක දොරේ සීනුව නාද කරන සෑම කෙනෙකුම එසේ කරන්නට පෙර නගර සභාවට ගොස් තම ඇඟිලි සටහන් තැබිය යුතු බව ඔබ අපේක්ෂා කළ යුතුද? අපරාධයක් සිදුවීමට යම් සුළු අවදානමක් තිබෙන පළියට, නිවසක දොරේ සීනුව නාද කරන සෑම කෙනෙකුම නගර සභාවට ගොස් ලියාපදිංචි විය යුතුද? එවැනි අදහසක් කොහෙත්ම පිළිගන්න බැහැ.”

නිවැසියන් ආරක්ෂා වෙනවාද?

තමාට නියමිත වූ විනාඩි 20ක කාල සීමාව ඉකුත් වූවායින් පසු ගම්මානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔහයෝ ජනපදයේ සොලිසිටර-ජනරාල්ට භාර දුන්නේය. ඔහු තර්ක කරමින් කියා සිටියේ ආධාර පතා සිදු කරන වැඩ කටයුතු තහනම් කෙරෙන ආඥා පනත නිවැසියෙකුට ආරක්ෂාවක් වූයේ අමුත්තෙකුගේ සහ “නිසැකවම අවසරයක් නොමැතිව [කෙනෙකුගේ] දේපොළට පය තබා ඇති පුද්ගලයෙකුගේ” පැමිණීමක් එමගින් තහනම් කළ නිසාය. “තවද ‘එවැනි ආකාරයේ පැමිණීම්වලට අප කැමැත්තක් දක්වන්නේ නැහැයි’ කියා පැවසීමට ගමට අයිතියක් තිබෙන බව මගේ විශ්වාසයයි.”

විනිසුරු ස්කලියා ඊළඟට මෙසේ අදහස් පළ කළේය. “එතකොට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සාදරයෙන් පිළිගන්නා අය ඒ කියන්නේ මහත් පාළුවකින් සිටින, එක්තැන් වී සිටින, ඕනෑම දෙයක් ගැන කවුරු හරි කෙනෙකු සමඟ කතා කිරීමට මහත් ආශාවකින් සිටින අය ගැන මොනවාද කියන්න පුළුවන්? ඒ අයගේ නිවෙස්වලට ගොස් සීනුව නාද කිරීමේ වරප්‍රසාදය අත් විඳීමට පෙර මෙම පිරිසට [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට] තවමත් නගරාධිපති ඉදිරියෙහි ලියාපදිංචි විය යුතුයි කියාද ගමේ උදවිය කියන්නේ?”

“ඉතා සාධාරණ තහංචියක්”

මෙම විභාග කිරීමේදී විනිසුරු ස්කලියා ඉතා ප්‍රබල තර්කයක් ඉදිරිපත් කළේ මෙසේ පවසමිනි. “අප සැමට පිළිගත හැකි දෙයක් නම් ලෝකයේ වඩාත්ම සුරක්ෂිත සමාජයන් පවතින්නේ ඒකාධිපති ආඥාදායක පාලන ක්‍රමයක් යටතේ බවයි. එවැනි පාලන ක්‍රමයකදී අපරාධ අවම තත්වයකයි තිබෙන්නේ. එය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයක්. අනික, නිදහස භුක්ති විඳීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවීමේ අවදානම යම් දුරකට වැඩි වෙනවා. එමනිසා මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රශ්නය වන්නේ කෙනෙකුගේ නිවසේ සීනුව නාද කිරීමේ වරප්‍රසාදය භුක්ති විඳීමට අවසර ගැනීමේදී ඇති වන අපහසුතාව යුක්තිසහගත කළ හැකිද යන්නයි. එනම් මෙම ආඥා පනත පැනවීමෙන් නීති විරෝධී ක්‍රියාවල සැලකිය යුතු අඩුවක් සිදු වෙයිද යන්නයි.” සොලිසිටර-ජනරාල්ගේ ප්‍රතිචාරය වූයේ එය “ඉතා සාධාරණ තහංචියක්” බවය. විනිසුරු ස්කලියා ඊට පිළිතුරු දුන්නේ එය ‘සාධාරණයි’ කියා පවසනවා නම්, “එවැනි අන්දමේ ආඥා පනතක් පැනවූ එක නගර සභාවක් පිළිබඳව එක නඩුවක්වත් අපගේ වාර්තාවල අපට සොයාගත නොහැක්කේ ඇයි” යන්නයි. “මා සිතන්නේ නැහැ එය සාධාරණ එකක් කියා.”

අවසානයේදී, පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙසට එක් විනිසුරුවෙකු බලපෑම් කළ නිසා සොලිසිටර-ජනරාල්ට මෙසේ පිළිගැනීමට සිදු විය. “දොරක සීනුව නාද කිරීම හෝ දොරට තට්ටු කිරීම සම්බන්ධයෙන් පූර්ණ තහනමක් තිබිය හැකියි කියා කීමට මට පුළුවන්කමක් නැහැ.” එම අදහස සමඟින් ඔහු ඉදිරිපත් කළ තර්කය නිම විය.

එම තර්කය බිඳහෙළීමට ලැබූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ නීතිඥයා පෙන්වා දුන්නේ යමෙකු විසින් පවසන ලද දේ සනාථ කිරීමට ක්‍රියාදාමයක් එම ආඥා පනතට ඇතුළත් කර නොතිබූ බවය. සිය තර්කය පැහැදිලි කරමින් ඔහු පැවසුවේ “මට නගර සභාවට ගොස් ‘මම [අහවලා]’ කියා පවසා ගෙයින් ගෙට යෑම සඳහා අවසර පත්‍රයක් ලබාගත හැකි” බවයි. අනික් අතට, තමා යම් සංවිධානයක සාමාජිකයෙකු නොවන බව පවසන පුද්ගලයෙකුට අවසර පත්‍රයක් නොදීමට නගරාධිපතිට බලතල තිබෙන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. “මෙය පැහැදිලිව තම අභිමතය පරිදි ගත හැකි තීරණයක් බව අපගේ විශ්වාසයයි” කියා පවසමින් හෙතෙම මෙසේ කීවේය. “මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නේ අප [යෙහෝවාගේ සාක්ෂිකරුවන්] කරන වැඩය පළමු සංශෝධනයේ මූලික හරයට එකඟයි කියායි.”

මෙම ප්‍රකාශය කිරීමෙන් කෙටි වේලාවකට පසු අග විනිසුරු රෙන්ක්විස්ට් වාචිකව තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිමාවට පත් කරමින් මෙසේ පැවසීය. “මෙම නඩුව දැන් [ශ්‍රේෂ්ඨාධිකරණයට] ඉදිරිපත් කර හමාරයි.” මෙම නඩුව ඇසීමට පැයකට වැඩි කාලයක් ගත වී තිබිණ. එම පැයේදී තර්ක කළ දේවල් කොතරම් වැදගත් වූවාද යන්න දැනගත හැකි වූයේ ජූනි මාසයේදී නිවේදනය කළ ලිඛිත තීන්දු ප්‍රකාශයේදීය.

[6වන පිටුවේ පින්තූර]

අගවිනිසුරු රෙන්ක්විස්ට්

විනිසුරු බ්‍රයර්

විනිසුරු ස්කලියා

[හිමිකම් විස්තර]

රෙන්ක්විස්ට්: Collection, The Supreme Court Historical Society/Dane Penland; බ්‍රයර්: Collection, The Supreme Court Historical Society/Richard Strauss; ස්කලියා: Collection, The Supreme Court Historical Society/Joseph Lavenburg

[7වන පිටුවේ පින්තූර]

විනිසුරු කෙනඩි

විනිසුරු ඔකොනර්

විනිසුරු සූටර්

[හිමිකම් විස්තර]

Kennedy: Collection, The Supreme Court Historical Society/Robin Reid; O’Connor: Collection, The Supreme Court Historical Society/Richard Strauss; Souter: Collection, The Supreme Court Historical Society/Joseph Bailey

[8වන පිටුවේ පින්තූරය]

අධිකරණ ශාලාවේ ඇතුලත

[හිමිකම් විස්තර]

Photograph by Franz Jantzen, Collection of the Supreme Court of the United States