Skip to content

පටුනට යන්න

තුල්‍ය පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද?

තුල්‍ය පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

තුල්‍ය පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද?

“තුල්‍ය පීඩනය නැති තැනක් නැහැ.”—16 හැවිරිදි ජෙසි.

“මම වැඩිවියට පත් වෙනකොට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මගේ පාසැලේ තුල්‍යයන්ගෙන් එල්ල වුණු පීඩනය.”—21 හැවිරිදි ජොනතන්.

තුල්‍ය පීඩනය, එනම් සම වයසේ මිතුරන් හෝ සම තත්වයන්වල සිටින අයගෙන් එල්ල වන බලපෑම, සැහැල්ලුවට ගත යුතු යමක් නොවෙයි. නමුත් අධෛර්යයට පත් වෙන්න එපා. එයට මුහුණ දිය හැකි බවට නිසැකකමක් ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි එයින් ඔබට ප්‍රයෝජනද අත් කරගත හැකියි. ඒත් එය කරන්නේ කොහොමද?

මෙම ලිපි මාලාවේ මුල් ලිපියේ අපි වැදගත් මූලික පියවරක් සාකච්ඡා කළා. ඒ තමයි තුල්‍ය පීඩනයට තිබෙන බලය සහ එහි බලපෑමට පහසුවෙන් ගොදුරු විය හැකි ඔබේ දුර්වලකම් හඳුනාගැනීම. a වෙන කවර ප්‍රයෝජනවත් පියවරයන් ඔබට ගත හැකිද? ඔබට අවශ්‍ය උපකාරය තියෙන්නේ දේවවචනයේයි. “දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩි කරගනියි” කියා හිතෝපදේශ 24:5හි කියනවා. තුල්‍ය පීඩනයට එරෙහිව කටයුතු කිරීමට ඔබව ශක්තිමත් කරන්නේ කුමන දැනුමද? අප එයට පිළිතුරු දීමට මත්තෙන් තුල්‍ය පීඩනයේ බලපෑමට ඔබ හසු විය හැකි හේතුවක් ගැන මුලින්ම සාකච්ඡා කරමු.

විශ්වාසය නැතිකම—එය භයානකයි

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරන යෞවනයන්ට සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන පීඩනය විශේෂ ගැටලුවක් වෙයි. මන්දයත් තමන්ගේ ඇදහිල්ල ගැන අන් අයට කීම ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වන නිසයි. (මතෙව් 28:19, 20) ඔබට මුණගැසෙන වෙනත් යෞවනයන්ට ඔබේ ඇදහිල්ල ගැන කීම ඔබට අපහසුයි කියා යම් අවස්ථාවලදී හැඟී තිබෙනවාද? එය ඔබට පමණක් හැඟෙන දෙයක් නොවෙයි. “මම සාක්ෂිකාරයෙක් කියලා මගේ යහළුවන්ට කියන එක හිතුවාට වඩා දුෂ්කර දෙයක් වුණා.” එසේ පැවසුවේ 18 හැවිරිදි මෙලනි. “මම කොහොම හරි ධෛර්යයක් උපදවාගෙන මම සාක්ෂිකාරියක් කියලා කියන්න හදනකොට ආයෙත් හිතට බයක් දැනුණා” කියා ඇය තවදුරටත් කියා සිටියා. අහිතකර ආකාරයෙන් එන තුල්‍ය පීඩනය ඇයට බලපෑ නිසා ඇගේ විශ්වාසයන් අන් අයට කීමට තරම් ආත්ම විශ්වාසයක් ඇයට තිබුණේ නැහැ.

කැපීපෙනෙන ඇදහිල්ලක් තිබුණ ස්ත්‍රීන් සහ පුරුෂයන් පවා දෙවි ගැන මනුෂ්‍යයන්ට කීමට පසුබට වී තිබෙන බව පවසමින් බයිබලයේ අපට යම් දිරිගැන්වීමක් ලබා දෙයි. නිදසුනකට, තරුණ යෙරෙමියා දැනගෙන සිටියා දෙවි ඔහුට දුන් අණට කීකරු වුණොත් අන් අයගේ සමච්චලයටත් පීඩාවටත් ඔහු ලක් වන බව. ඒ වගේම ඔහුට තමන් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. එයට හේතුව කුමක්ද කියා ඔහු දෙවිට පැවසූ දෙයින් සොයාගත හැකියි. “මම කතා කරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්.” අඩු වයසක සිටි නිසා අන් අයට කතා කිරීමට තමා නුසුදුසුයි යන යෙරෙමියාගේ අදහසට දෙවි එකඟ වුණාද? නැහැ. ‘බාලයෙක්මියි නොකියන්න’ යයි කියමින් යෙහෝවා ප්‍රොපේතවරයාගේ බිය සැක දුරු කළා. යෙහෝවා තමන් අරමුණු කළ ආකාරයටම, පසුබට වූ මෙම තරුණයාට වැදගත් පැවරුමක් භාර දුන්නා.—යෙරෙමියා 1:6, 7.

අප තුළ විශ්වාසයක් නැතිකොටත් අපිට අපිවම ස්ථිර නැතිකොටත් තුල්‍ය පීඩනයට එරෙහි වීම දුෂ්කර විය හැකියි. පැවැත්වූ පර්යේෂණයන් මෙය සනාථ කර තිබෙනවා. නිදසුනකට, 1937දී මුසෙෆර් ෂෙරිෆ් කොයි කවුරුත් දන්න පර්යේෂණයක් පැවැත්වුවා. ඔහු පුද්ගලයන්ව කළුවර කාමරයකට දමා ඔවුන්ට කුඩා අලෝකයක් පෙන්නුවා. ඉන්පසු එම ආලෝකය කොතරම් දුරකට ගමන් කළාද කියා ඔහු ඇසුවා.

ඇත්තටම ආලෝකය කොහෙටවත් ගමන් කර තිබුණේ නැහැ. එය නිකම්ම දෘෂ්ටි මායාවක් පමණයි. තනි තනි පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ විට යම් දුරක් ගමන් කළායයි පෙනෙන්න තිබූ එම ආලෝකය පිළිබඳව ඔවුන් තමන්ගේම තීරණ අනුව පිළිතුරු දුන්නා. ඒත් කණ්ඩායම්වලට බෙදා ඔවුන්ගේ පිළිතුරු හැමෝටම ඇසෙන සේ පවසන්නයයි කියූ විට සිදු වුණේ මොකද්ද දන්නවාද? තමන්ගේ අවබෝධාත්මක හැකියාව කෙරෙහි හොඳ විශ්වාසයක් තිබුණේ නැති නිසා අනිත් අයගේ බලපෑමට ඔවුන් හසු වුණා. පර්යේෂණ කිහිපයක් කළ පසු ඔවුන්ගේ පිළිතුරු බොහෝදුරට එක සමාන වූ අතර අවසානයේදී “කණ්ඩායම් සම්මතයක්” ඇති කරගත්තා. කණ්ඩායමේ බලපෑමට කොතරම් හසු වී සිටියාද කිව්වොත් පසුව තනි තනි පුද්ගලයන් වශයෙන් නැවතත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට තම කණ්ඩායම විසින් ඉදිරිපත් කළ මතයේම ඔවුන් එල්බගෙන සිටියා.

එම පර්යේෂණයෙන් වැදගත් කාරණයක් නිදර්ශනය කරනවා. එනම් පුද්ගලයන් තුළ ඇති ස්ථිරකම හෝ විශ්වාසය හීන වන විට තුල්‍යයන්ගේ පීඩනයට හසුවීමට ඔවුන්ට තිබෙන ඉඩ කඩ වැඩි වන බවයි. ඇත්තෙන්ම මෙය කල්පනාකාරී විය යුතු දෙයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද? විවාහයට පෙර ලිංගික සම්බන්ධකම්, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ ඔවුන්ගේ අනාගතික ඉලක්ක වැනි ඉතා බැරෑරුම් කාරණා දෙස පුද්ගලයන් බලන ආකාරයට තුල්‍ය පීඩනය බලපෑ හැකි නිසා මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඉහත කී කාරණා සම්බන්ධයෙන් අපි “කණ්ඩායමේ සම්මතයට” අනුව හැඩගැසෙන්න ගියොත් එය අපේ විනාශයට හේතු විය හැකියි. (නික්මයාම 23:2) මෙයට ඇති විසඳුම කුමක්ද?

මෙහෙම හිතන්න. ඔබ සහතික වශයෙන්ම එම ආලෝකය එහෙ මෙහෙ ගමන් කරන්නේ නැහැ කියා දැනගෙන සිටියා නම් එම ඉහත සඳහන් පර්යේෂණයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? ඔබ කණ්ඩායමේ අයගේ බලපෑමට හසු නොවන බව ස්ථිරයි. මෙයින් පෙන්වන්නේ අපට විශ්වාසය අවශ්‍ය බවයි. එහෙත් අපට අවශ්‍ය වන්නේ කුමනාකාරයේ විශ්වාසයක්ද? ඒ වගේම එය ඇති කරගන්නේ කෙසේද?

යෙහෝවාව ඔබේ විශ්වාසය කරගන්න

ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්නා ආකාරය ගැන ඔබ නොයෙකුත් කතා අසා ඇති. නමුත් එය ගොඩනඟා ගන්නේ කොහොමද, ඔබට එය අවශ්‍ය වන්නේ කොතරම් ප්‍රමාණයකටද යන කාරණාවලදී එකිනෙකට විරුද්ධ අදහස් දකින්න ලැබෙනවා. නමුත් බයිබලයේ ඇත්තේ මෙවන් සමබර අවවාදයකි. “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම් කොට නොසිතා, දෙවි එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණ දැන [සිහි කල්පනාවෙන්, NW] සිතන හැටියට, . . . එකිනෙකාට කියමි.” (රෝම 12:3) මෙම පදය තවත් පරිවර්තනයක (Charles B. Williams) තිබෙන්නේ මෙහෙමයි. “තමාගේ නියම වටිනාකමට වඩා ඉහළින් තමා ගැන තක්සේරු නොකර තමා ගැන සමබර තක්සේරුවක් කරන මෙන් මම ඔබ එකිනෙකාට කියමි.”

ඔබේ “නියම වටිනාකම” ගැන “සමබර තක්සේරුවක් කරන” විට පුහු අහංකාරකමෙන් සහ උඩඟුකමෙන් වැළකී සිටීමට ඔබට හැකි වෙනවා. ඒ වගේම සිතීමට, යම් දේවල් විමර්ශනය කිරීමට සහ බුද්ධිමත් තීරණ ගැනීමට ඔබ සතු හැකියාව ගැන ඔබ තුළ විශ්වාසයක් තිබීම එවන් සමබර ආකල්පයකට ඇතුළත් වෙනවා. ඔබේ මැවුම්කරු ඔබට “සිතීමේ හැකියාව” දී තිබෙනවා. එය වටිනා තෑග්ගක්. (රෝම 12:1, NW) මෙය මතකයේ තබාගැනීමෙන් ඔබට හැකියි තීරණ ගන්නා විට ඔබ වටා සිටින අය එයට බලපෑම් කරන්න තැත් කරද්දී එය වළක්වාගැනීමට. නමුත් මීටත් වඩා ඔබට ආරක්ෂාවක් ලබා දෙන විශේෂාකාරයේ විශ්වාසයක් තිබෙනවා.

“ස්වාමි වූ යෙහෝවා, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.” මෙය ලිවීමට ආනුභාවය ලැබුවේ දාවිත් රජයි. (ගීතාවලිය 71:5) දාවිත් තම යෞවන කාලයේ පටන් තම ස්වර්ගික පියා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබුවා. පිලිස්තීය යෝධයා ඊශ්‍රායෙල් හමුදාවේ එක් පුරුෂයෙකුට තමන් සමඟ මුහුණට මුහුණලා සටනට එන මෙන් අභියෝග කළ විට දාවිත් ‘කොලු ගැටයෙක්.’ ඔහු සමහරවිට නහඹර වියේ පසු වන්න ඇති. ඒත් හමුදා භටයෝ භය වුණා. (1 සාමුවෙල් 17:11, 33, නව අනුවාදය) ඔවුන් එසේ භය වෙන්න ඇත්තේ ඔවුන් සමඟ සිටි තුල්‍යයන් අතරේ තිබූ අධෛර්යය කරවනසුලු අදහස් නිසා විය හැකියි. ඒ වගේම ගොලියත්ගේ ශරීරයේ ප්‍රමාණය සහ ශක්තිය ගැන සිතා බලනකොට ඔහුත් එක්ක හැප්පෙන්න යන්නේ ඔළුවේ අමාරුවක් තිබෙන කෙනෙක් පමණයි කියා ඔවුන් තරයේ ප්‍රකාශ කරන්න ඇති. දාවිත් එවන් පීඩනයකට මැදි වූවා නම් ඔහුට එය බලපෑවේ නැති බව ස්ථිරයි. ඇයි ඒ?

දාවිත් ගොලියත්ට පැවසූ දේ මොහොතකට සිතා බලන්න. “නුඹ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි නුඹ නින්දා කළ ඊශ්‍රායෙල් සමුදාවල දෙවි වූ සේනාවල යෙහෝවාගේ නාමයෙන් නුඹ ළඟට එමි.” (1 සාමුවෙල් 17:45) ගොලියත්ගේ ශරීරයේ ප්‍රමාණය, ශක්තිය හෝ ආයුධ ගැන දාවිත් නොදැන සිටියා නොවෙයි. නමුත් ඔහුට එක් දෙයක් ගැන ඉර හඳ වගේ විශ්වාසයක් තිබුණා. ඒ තමයි යෙහෝවා දෙවි සමඟ සසඳන විට ගොලියත් පුස්සක් මෙන් වන වග. යෙහෝවා දාවිත්ගේ පැත්තේ නම් ඔහු ගොලියත්ට භය වෙන්නේ මොකටද? දෙවි කෙරෙහි තිබූ එම විශ්වාසය නිසා දාවිත්ට නිසැකකමක් දැනුණා. තුල්‍යයන්ගෙන් කොතරම් පීඩනයක් ආවත් ඔහුව චංචල කරවීමට ඒවාට හැකි වූයේ නැහැ.

ඔබටත් යෙහෝවා කෙරෙහි ඒ හා සමාන විශ්වාසයක් තිබෙනවාද? දාවිත්ගේ කාලයේ සිට අද දක්වා ඔහු වෙනස් වී නැහැ. (මලාකී 3:6; යාකොබ් 1:17) ඔබ ඔහු ගැන ඉගෙනගන්න ඉගෙනගන්න ඔහු තම වචනය තුළින් ඔබට පවසන සෑම දෙයක් කෙරෙහිම නිසැකකමක් ඔබ තුළ ඇති වෙයි. (යොහන් 17:18අ) එම වචනයෙහි තිබෙන ස්ථිර විශ්වාසදායක ප්‍රමිතීන් ඔබේ ජීවිතයට මඟ පෙන්වන බවත් තුල්‍යයන්ගෙන් එල්ල වන පීඩනය වළක්වාගැනීමට උපකාරවත් වන බවත් ඔබට අද්දැකීමට හැකි වේවි. යෙහෝවා ඔබේ විශ්වාසය කරගන්නවාට අමතරව තවත් දෙයක් ඔබට කිරීමට තිබෙනවා.

හොඳ උපදේශකයන්ව තෝරාගන්න

හොඳ මඟ පෙන්වීමක් ලැබීමේ අවශ්‍යතාව දේවවචනයේ කාවද්දයි. “නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබාගන්නේය” කියා හිතෝපදේශ 1:6හි පවසනවා. ඔබේ යහපත ගැන හුඟාක් සැලකිලිමත් වන ඔබේ දෙමාපියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගන්න ඔබට පුළුවන්. යෞවනියක් වන ඉන්දිරා මෙය හොඳින් වටහාගෙන ඇති අතර ඇය මෙසේ අදහස් දක්වනවා. “මගේ දෙමාපියන් නිතරම බයිබල් පද යොදාගෙන කාරණා පහදා දුන් නිසාත් යෙහෝවාව මගේ ජීවිතයේ සැබෑ පුද්ගලයෙකු ලෙස දැකීමට මට ඉගැන්නුව නිසාත් තමයි මම තවමත් සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නේ.” බොහෝ යෞවන යෞවනියන්ට මේ හා සමානව හැඟී ගොස් තිබෙනවා.

ඔබ ක්‍රිස්තියානි සභාවේ සමාජිකයෙක් නම් උපකාරය ලබාගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. මන්ද එහි පත් කරන ලද අවේක්ෂකයන් නැතහොත් වැඩිමහල්ලන් ඒ වගේම වෙනත් මේරූ ක්‍රිස්තියානීන්ද සිටිනවා. ඒ සම්බන්ධව නාඩියා මෙසේ තම අදහස් ඉදිරිපත් කරනවා. “ඇත්තටම මම මගේ සභාවේ වැඩිමහල්ලන්ට ගරු කරනවා විතරක් නෙමෙයි ඒ අයව අගය කරනවා. මට මතකයි එක දවසක් මුලසුන භාර අවේක්ෂක කතාවක් දුන්නා. ඒක විශේෂයෙන්ම යෞවනයන් සඳහාමයි දුන්නේ. රැස්වීමෙන් පස්සේ මටයි මගේ මිතුරියටයි හරි පුදුමයි. මොකද ඔහු කියූ දේවල් ඇත්තටම අපි අද්දකිමිනුයි හිටියේ.”

අහිතකර ආකාරයෙන් එන තුල්‍ය පීඩනයට එරෙහි වීමට තවත් ප්‍රබල ආයුධයක් වන්නේ හිතකර තුල්‍ය පීඩනයයි. ඔබ ඥානවන්ත ලෙස ඔබේ මිතුරන්ව තෝරාගන්නවා නම් ඔවුන්ට පුළුවන් හොඳ ඉලක්ක සහ නිවැරදි ප්‍රමිතීන්වලට ඇලී සිටීමට ඔබට උපකාර කරන්න. අපි හොඳ මිතුරන් තෝරාගන්නේ කොහොමද? මෙම උපදේශය මතකයේ තබාගන්න. “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.” (හිතෝපදේශ 13:20) පාසැලේදී ඥානවන්ත මිතුරන් තෝරාගැනීමට නාඩියා වගබලා ගත්තා. ඇයට තිබුණා හා සමාන සදාචාර ප්‍රමිති තිබූ සෙසු ඇදහිලිවන්තයන්ව ඇය මිතුරන් ලෙස තෝරාගත්තා. “පාසැලේ පිරිමි ළමයි අපිත් එක්ක ‘අනවශ්‍ය කතා බහකට’ ආවාම අපි එක් එක්කෙනාට උදව් කරගත්තා.” හොඳ මිතුරන්ට පුළුවන් අපේ හොඳ ගුණාංග එළියට ගන්න. ඒ නිසා එවන් මිතුරන් සෙවීමට ගන්නා වෑයම කිසිසේත් අපතේ යන්නේ නැහැ.

යෙහෝවා කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය ගොඩනඟා ගන්නවා නම්, මේරූ ක්‍රිස්තියානීන්ගේ උපදෙස් ලබාගන්නවා නම් සහ ඥානවන්ත ලෙස මිතුරන් තෝරාගන්නවා නම් තුල්‍යයන්ගෙන් එල්ල වන පීඩනය ජයගත හැකි බවට නිසැක විය හැකියි. ඇත්තටම ඔබටත් පුළුවන් ඔබගේ මිතුරන් අතරේ හිතකර තුල්‍ය පීඩනයක් ඇති කරමින් ජීවනයට යන මාර්ගයේ ඔබත් සමඟ ගමන් කිරීමට ඔවුන්ට අත හිත දෙන්න.

[පාදසටහන]

a 2002 දෙසැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “තුල්‍ය පීඩනය ඇත්තටම හිතන තරම් දරුණුද?” යන ලිපිය බලන්න.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබ මෙන් දෙවිට ප්‍රේම කරන සහ ඔහුගේ ප්‍රමිතීන්ට ඇල්මක් දක්වන මිතුරන්ව සොයාගන්න

[26වන පිටුවේ පින්තූර]

“නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වන්නේය.”—1 කොරින්ති 15:33

“ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්ත වන්නේය.”—හිතෝපදේශ 13:20