Skip to content

පටුනට යන්න

මාර්මොටයන්සමීපයෙහි රැඳුණු මොහොතක්

මාර්මොටයන්සමීපයෙහි රැඳුණු මොහොතක්

මාර්මොටයන්සමීපයෙහි රැඳුණු මොහොතක්

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

මේ පුංචි සතා හරි ලැජ්ජාශීලීයි. උන් දිහා බලා ඉන්න එක හාස්‍යජනක මෙන්ම සිත්ගන්නාසුලු අද්දැකීමක්. ඔබ ආස නැද්ද ඒ පුංචි සතාව හඳුනාගන්න? එහෙමනම් මාර්මොට් ලෙස හඳුන්වන මවිල් පිරුණු මේ පුංචි සතුන් රංචුව ගැන තොරතුරු ටිකක් මමයි මගේ භාර්යාවයි ඔබට කියන්නම්.

අපි ඉන්නේ ඉතාලියේ උතුරු දෙසට වූ ඩොලමයිට් කඳුකරයේ. අප ඉදිරියෙන් දිස් වන්නේ සද්දන්ත ලාට්මාර් කන්ද සහ කැටිනාකෝ කන්දයි. කැටිනාකෝ කඳු මුදුනේ සිට පහතට දිවෙන බෑවුම් මාර්ගයට අපි පිවිසුණා. තැනින් තැන නොයෙක් නොයෙක් මල්. ටර්ක්ස් කැප් ලිලී මල හරිම ලස්සනයි. අපි ටිකක් එතැන නතර වුණා ඒ මලේ සුන්දරත්වය විඳගන්න. ඊළඟට අපේ නෙත් සොරාගත්තේ බ්ලැක් වැනිලා ඕකිඩ් මල. එය වැනිලා සුවඳින් නැහැවුණු කුඩා මලක්. එක මලක් හැදිලා තියෙන්නේ පුංචි පුංචි මල් රාශියක් එකතු වෙලා. කෙමෙන් කෙමෙන් මෝදු වූ උදෑසන හිරු රැස් තැනින් තැන තිබෙන ඇරොල්ලා, ස්ප්රූස් ෆර්, ලාච් වැනි විවිධ පයින් ගස්වල කඳන්වල පතිත වෙද්දී ඒවායේ ඇති අරටුවලින් මන්මත් කරවන සුගන්ධයක් වාතයට මුසු වෙනවා.

දැන් අපි ඉන්නේ ගස් නැති මිටියාවතක. අපේ දකුණු පැත්තෙන් දිස් වෙන්නේ තණකොළවලින් වැසුණු බෑවුමක්. වම් පැත්ත සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ විශාල පර්වතවලින්. හදිසියේම මොකෙක්ද දිව්වා වගේ දැක්ක නිසා ඉබේටම මම ඒ පැත්තට හැරුණා. ඒත් හැම දෙයක්ම නිසොල්මනේ. ටිකක් විමසිල්ලෙන් බැලුවාම මම දැක්කා ගලක් උඩ මාර්මොටයෙක් ඉන්නවා. සමහරවිට ගල් දෙකක් අතර මාර්මොට් රංචුවක් නවාතැන් ගෙන ඇති.

ලේන් පවුලේ විශාලතම සාමාජිකයා මාර්මොට්. උතුරු අමෙරිකාවේ වෙසෙන පිරිපුන් දේහයකින් හෙබි වුඩ්චක් මෙම ලෑටිගාන සතුන් අතරින් සුප්‍රසිද්ධයි. යුරෝපා කඳුකරයේ දකින්න ලැබෙන්නේ ඇල්පයින් මාර්මොටයන්වයි. උන් ජීවත් වන්නේ සමූහයන් වශයෙන් එකට එකතු වෙලා.

මාර්මොට්ව ළඟටම බලාගන්න ඕන නිසා අපි මාර්ගයෙන් ටිකක් ඈත් වුණා. අනේ ඌ ගිහිල්ලා. ආයෙත් ලැජ්ජාශීලී ඒ සතා එළියට ඒවිය යන බලාපොරොත්තුවෙන් තමයි අපි ඉන්නේ. ටික මොහොතකින් මගේ භාර්යාව බොහොම සන්තෝෂයෙන් මට ඉඟියක් කළා. එකෙක් ගල පිටිපස්සට වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා! උගේ අළු දුඹුරු පැහැයට හුරු මවිල් නිසා ගලයි ඌවයි වෙන් වෙන්ව අඳුරගන්නත් බැහැ. හොඳින් බලනකොට මම දැක්කා මාර්මොට් පැටියෙකුත් අපි දිහා බලාගෙන ඉන්නවා. ටිකක් එහායින් තව මාර්මොට් කෙනෙක්. ඌ තාත්තා වෙන්නැති. අපිට හිතෙන්නේ අපි මාර්මොට් පවුලක් දිහායි බලාගෙන ඉන්නේ කියලා. ඒත් උන් එකම පවුලේ අය නොවෙන්නත් පුළුවන්.

අපි “තාත්තා” කියලා හිතපු මාර්මොට් අඟල් 18ක් උසයි. ඌ පසු කකුල් දෙකින් කෙළින් ඉඳගෙන වට පිටාව ගැන සෝදිසියෙනුයි ඉන්නේ. අනිත් මාර්මොටයන් දෙන්නා රෝඩඩෙන්ඩ්‍රන් (මා රත් මල්) පඳුරු අස්සේ එහෙට මෙහෙට දුවනවා. සාමාන්‍යයෙන් මාර්මොටයන් ආහාර සොයාගැනීම සඳහා තම ශක්තිමත් නිය සහිත පෙර පාදවලින් පොළොව හාරනවා. උන් ආස කරන මුලක් ලැබුණ විට කෙළින් ඉඳගෙන පෙර පාදවලින් එය කටට ළං කරගෙන කනවා. මාර්මොටයන් ආහාර බුදින්නේ හිමිදිරි පාන්දර සහ හවස් වරුවෙයි. ඒ අතරතුර කාලයේ ටිකක් නිදාගන්නවා. ගස් කොළන් ආදිය කනවාට අමතරව උන් තණකොළ පෙත්තන්, කුරුමිණියන්, පණුවන් සහ කුරුල්ලන්ගේ බිත්තර ආදිය ආහාරයට ගන්නවා. ඒත් උන් ගුල්වල ආහාර ගබඩා කරන්නේ නැහැ.

මාර්මොට් පවුලේ කෙළි සෙල්ලම් දකිනකොට හිනා යනවා. ඒත් මම පිංතූරයක් ගන්න ටිකක් ළඟට යද්දී උන් තුන්දෙනාම ගල්ගැහිලා වගේ බලාගෙන හිටියා. මම තව ටිකක් ළඟට ගියාම මාර්මොට් “තාත්තා” දෙසැරයක් විසිල් කළා. ඒ ශබ්දයට මිටියාවතේ නිහැඬියාව බිඳිලා ගියා. එතකොටම විදුලි වේගයෙන් මාර්මොට් “අම්මායි” “පැටියායි” පටු තීරු දෙකක් දිගේ ගිහිල්ලා ගල් අතර සැඟවුණා. මාර්මොට් “තාත්තා” මා දිහා මොහොතක් බලාගෙන හිටියා. ඉන්පස්සේ දෙවතාවක් විසිල් කරලා දඩි බිඩි ගාලා දිව්වා උගේ පවුල ළඟට.

මිටියාවතේ තව ටිකක් දුරට වෙන්න ගලක් තිබුණා. මම හිතනවා ඒක තමයි නියම තැන නිරීක්ෂණය කරන්න. මම ඒ ගල උඩ දිගා වෙලා බලං ඉන්නකොට මාර්මොටයන් දෙදෙනෙක් කිසි බයක් සැකක් නැතුව එළියට ආවා. එකෙක් බඩ ගාගෙන ලොකු ගල උඩට නැග්ගා. දැන් ඌ මුණින් අතට දිගා වෙලා ඉන්නවා. අනිත් එකා අනෙක් පැත්තෙන් ඒ ගල උඩටම නැග්ගා. දෙන්නට දෙන්නා මුණගැසුණට පස්සේ එකිනෙකාව සිපගත්තා.

මම දිගටම මාර්මොටයන් දිහා බලාගෙන හිටියා. උන් කඩි මුඩියේ එහෙට මෙහෙට යන අතරතුරේ නැවතී දිගු විරාමයක් ගත්තා. හදිසියේ මම පොඩ්ඩක් හරි සෙලවුණොත් උන් ගල්ගැහිලා වගේ ඔළුව උස්සලා බලනවා මොනවාද වෙන්නේ කියලා. පස්සේ උන් මාව ගණනකටවත් ගන්නේ නැතුව පොඩි නින්දක් දානවා.

මගේ ඉදිරියේ තියෙන තණ ඇතිරිල්ල පුරාම තැනින් තැන සිදුරු පේනවා. සිදුරු වටා ලා පාට පස් ගොඩගැහිලා තියෙන නිසා ඒවා හොඳට කැපිලා පේනවා. මේවා තමයි මාර්මොටයන් කෑම බුදින අවස්ථාවේ උන්ට අනතුරක් සිදු වෙයි කියා ඉව වැටුණොත් ආරක්ෂාව පතා සැඟවෙන ගුල්. පොළොව යට ප්‍රධාන ගුලක් තියෙනවා. ඒ ගුලට උමං දොරටු කිහිපයක් සම්බන්ධයි. එක් එක් උමං මාර්ගවල දිග අඩි 3 සිට 20 දක්වා විය හැකියි. මේ උමං අතුරින් මාර්මොටයන් තම තමන්ට අයත් මාර්ගය සොයාගන්නේ උන්ගේ හොම්බ වටා ඇති කලු රැවුල් ගස්වලින්.

අධිශීත සමයේදී 10ත් 15ත් අතර සංඛ්‍යාවකින් සමන්විත මාර්මොට් රංචු ශිශිරතරණය (අක්‍රීය තත්වයකට පත් වී ශීත ඍතුව ගත කිරීම) සඳහා ඇති කුටි තුළට යයි. ගිම්හානය ගත කරන කුටිවලින් එළියට ඇවිත් කලින් පිදුරු දමා සකසා ඇති එම විවිධ කුටි තුළට වී බාල මහලු මාර්මොටයන් ගුළි ගැසෙමින් එක පෙළකට වී දීර්ඝ නින්දකට මුලපුරන්නයි හදන්නේ. මේ කාලයේදී උන්ගේ ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 8කට වඩා අඩු වෙනවා. උන්ගේ හෘද ස්පන්දනය මිනිත්තුවට 3-5 අතර ප්‍රමාණයක් දක්වා පහත වැටෙන අතර උන් මිනිත්තුවකදී හුස්ම ගන්නේ වාර දෙවතාවක් හෝ තුන්වතාවක් පමණයි. මීට වඩා පහත ගියොත් එය උන්ගේ ජීවිතයට අනතුරුදායකයි. මෙය තමයි අන්තිම සීමාව. උන් අවදි වන්නේ මසකට වතාවක්. ඒ වැසිකිළියට ගොස් උන්ගේ ශරීරයේ තිබෙන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහායි. මේ කාර්යය සඳහා ගුල තුළ විශේෂ කුටියක් තිබෙන අතර වාතය එළියට නොඑන සේ එය හොඳින් වසා තිබෙනවා. ශිශිරතරණය සඳහා ඇති ගුල්වල විවිධ කුටි තිබෙන අතර ඒවා එකිනෙක වෙන් කර තබා තිබෙනවා. නමුත් ඒවා වැසිකිළි කුටි මෙන් තදින් වසා තබා නැහැ. මේ ආකාරයෙන් ගුල් සකස් කර තිබෙන්නේ වාතාශ්‍රය එහෙ මෙහෙ ගමන් කිරීම අවම වන අයුරින්.

ශීත කාලයේදී මාර්මොටයන් ජීවත් වන්නේ කොහොමද කියා සොයාගැනීමට විද්‍යාඥයන් බොහෝ කාලයක ඉඳලා උත්සාහ දරා තිබෙනවා. මෑතකදී සොයාගෙන තිබෙනවා ශිශිරතරණය සඳහා උන්ව සූදානම් කරවන්නේ උන්ගේ ශරීරයේ නිර්නාල ග්‍රන්ථි, විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය බවයි. ඇත්තෙන්ම එම සතුන්ට හෝමෝන ශරීරගත කළ විට උන් ශිශිරතරණය සඳහා නොයයි. නමුත් ගිම්හානයේදී උන්ව අධික ශීතට නිරාවරණය කරනු ලබන විට සාමාන්‍ය ශරීර උෂ්ණත්වය පවත්වාගැනීමට උන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය වැඩි කරගනියි. නමුත් ශිශිරතරණයට කාලය පැමිණ නැහැයි කියා ඔවුන් ඉවෙන් වගේ දැනගන්නවා.

මාර්මොටයන් ගැන කළ නිරීක්ෂණය ඇත්තෙන්ම සුන්දර අද්දැකීමක්. කාලය යනවා දැනුණෙත් නැහැ. දැන් හොඳටම දවල් වෙලා. දැන් අපි මාර්මොට්ගෙන් සමු අරගෙන මිටියාවත දිගේ පහළට ගමන් කරන්න ඕනේ. අපි ආවේ ගොම්මන් අඳුර වැටීගෙන එනකොටයි. ස්වභාවධර්මයේ බොහෝ අසිරියන් අපි විඳගත්තා. නමුත් අතිසුන්දරම අද්දැකීම තමයි මාර්මොටයන් සමීපයෙහි ගත කළ මොහොත.

[16වන පිටුවේ පින්තූරය]

මාර්මොටයන් දෙදෙනෙක් එකිනෙකාට ආචාර කරනවා

[17වන පිටුවේ පින්තූර]

ඇල්පයින් මල්

බියඩඩ් බෙල්ෆ්ලවර්

ටර්ක්ස් කැප් ලිලී

ඒඩල්වයිස්

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මාර්මොටයන්: Gerken/Naturfoto-Online.de

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මාර්මොටයන්: Gerken/Naturfoto-Online.de