Skip to content

පටුනට යන්න

මෝටර් රථ එදා සහ අද

මෝටර් රථ එදා සහ අද

මෝටර් රථ එදා සහ අද

ඉපැරණි කාලවල සිට, මිනිසා ප්‍රවාහනය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙනවා. ආදි කාලයේදී ඔහු තැනින් තැනට යෑමට සතුන්ව යොදාගත්තා. එහෙත් ප්‍රවාහන කටයුතු සඳහා මීට වඩා කාර්යක්ෂම ක්‍රම යොදාගැනීමේ අවශ්‍යතාවක් පැනනැඟුණා. මෙහිලා මූලිකම හේතු සාධකයක් වූයේ රෝදයයි. මේ නිසා අශ්ව කරත්ත සහ රථ භාවිතය ඇරඹුණා. කෙසේවෙතත්, 19 වන සියවසේ කරන ලද ඇතැම් සොයාගැනීම් නිසා ප්‍රවාහන ක්‍රමවල සිදු වූයේ කලින් සිතා නොසිටි ආකාරයේ මහා විප්ලවයක්.

එන්ජිමේ ඉදිරි ගමන

දහනවවන සියවසේ දෙවෙනි භාගයේදී, නිකොලාවුස් ඕගුස්ට් ඕටෝ, පෙට්‍රල්වලින් දුවන සිවු පහර එන්ජිමක් ක්‍රමානුකූලව නිෂ්පාදනය කළා. අන්තිමේදී මෙම එන්ජිම හුමාල සහ විදුලි එන්ජිම වෙනුවට භාවිත කරන්නට පටන්ගත්තා. කාල් බෙන්ස් සහ ගොට්ලිප් ඩේම්ලර් යන ජර්මානු ජාතිකයන් දෙදෙනා යුරෝපයේ රථ වාහන නිෂ්පාදනයේදී පුරෝගාමී වී කටයුතු කළ දෙදෙනෙක්. වර්ෂ 1885දී බෙන්ස් විසින් ත්‍රිරෝද රථයක් ධාවනය කරනු ලැබූ අතර, එම ද්විත්ව ප්‍රහාර එන්ජිමේ පරිභ්‍රමණය විනාඩියකට වාර 250ක් වුණා. මේ අතර, ඩේම්ලර් 1872 පටන් එක තැන පිහිටා ඇති පෙට්‍රල් එන්ජිම් නිෂ්පාදනය කරමින් හිටියා. දශකයකට වැඩි කාලයක් පුරා හෙතෙම විල්හෙම් මායිබාක් සමඟ එකතු වී කාබියුරේටරයක් සහිත අධිවේග අභ්‍යන්තර දහන එන්ජිමක් ක්‍රමානුකූලව නිෂ්පාදනය කළ අතර, ඒ සඳහා ඉන්ධනය හැටියට පාවිච්චි කරනු ලැබුවේ පෙට්‍රල්.

වැඩි කල් යන්නට මත්තෙන් ඩේම්ලර් සහ මයිබාක්, විනාඩියකට 900 වාරයක් පරිභ්‍රමණය වන එන්ජිමක් නිර්මාණය කළා. පසුව ඔවුන් දෙවෙනි වරටත් එන්ජිමක් නිපදවූ අතර, පළමුවතාවට 1885 නොවැම්බර් 10වනදා බයිසිකලයකට එය සවිකොට ධාවනය කරනු ලැබුවා. වර්ෂ 1926දී ඩේම්ලර් සහ බෙන්ස් සමාගම් එකට එකතු වී තමන්ගේ නිෂ්පාදන අලෙවි කළේ ම’සේඩීස්-බෙන්ස් යන නමින්. a මෙහිලා උනන්දුමත් කරුණක් වන්නේ මේ දෙදෙනා කවදාවක්වත් එකට මුණ නොගැසී තිබීමයි.

වර්ෂ 1890දී ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු වූ එමීල් ලවසෝර් සහ රෙනෙ පාන්නාහ් තම වැඩපලේදී වාහනයක් නිපදෙව්වා. රෝද හතරකින් සමන්විත මෙහි එන්ජිම සවි කර තිබුණේ චැසියේ මැදට වෙන්නටයි. ඊළඟ වසරේදී ඔවුන් මෝටර එන්ජිම රථයේ ඉදිරි කෙළවරට වෙන්නට සවි කළ අතර, ඒ නිසා ගල් හෝ තාර අතුරා නැති ගුරු පාරවල්වල ගමන් ගැනීමේදී දූවිලි සහ මඩවලින් එන්ජිම වඩාත් හොඳින් ආරක්ෂා වුණා.

සැමට පහසු මිලකට මෝටර් රථ

පළමුවෙන් තැනුණු මෝටර් රථ ඉතා මිල අධික වූ නිසා වැඩිදෙනෙකුට මෝටර් රථයක් මිලට ගැනීමට හැකි වුණේ නැහැ. නමුත් 1908දී මේ තත්වය වෙනස් වුණා. හෙන්රි ෆෝඩ්, කොටස් එකලස් කිරීමේ පද්ධතියක් ඇසුරෙන් තැනෙන T වර්ගයේ මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළ අතර, එය හැඳින්වුණේ ටින් ලිසී යන නමින්. මෙම මෝටර් රථය රථ වාහන කර්මාන්තයේ පෙරළියක් ඇති කළා. එය මිල අධික වූයේ නැහැ. බොහෝ ප්‍රයෝජන ඉන් ගන්නට හැකි වුණා. ඒ වගේම එය නඩත්තු කිරීමත් පහසු වුණා. අඩු ආදයම් ලබන අයටද එවැනි මෝටර් රථයක් පාවිච්චි කිරීමේ හැකියාව තිබුණා. b විසිවෙනි සියවසේ උසස් මෝටර් රථ (සිංහලෙන් නැත) නම්වූ පොත පවසන අන්දමට, “අමෙරිකාවට සහ අන්තිමේදී මුළු ලෝකයටම මෝටර් රථ පරිහරණය කරන්නට මං සැලසුවේ” T වර්ගයේ මෝටර් රථයි.

එතැන් සිට අඩ සියවසක් ගෙවී ගොස් තිබෙන මෙම වර්තමානයේ මෝටර් රථයක් සුඛෝපභෝගී භාණ්ඩයකට වඩා ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා. ඇත්ත වශයෙන්ම, ලන්ඩන් නුවර ඉන්ඩිපෙන්ඩන්ට් නමැති දිනපතා පළ වන පුවත්පතේ ලිපියක සඳහන් වූ පරිදි, ඇතැම් විට ජනයා කිලෝමීටරයකටත් වඩා අඩු දුරක් ගමන් කරන්නට පවා මෝටර් රථයක් යොදාගන්නවා.

නවීන තාක්ෂණයේ දියුණුව මගින් වාහනයකට වේගයෙන් ගමන් කරන්නට පමණක් නොව වඩාත් සුරක්ෂිතව ගමන් කරන්නටත් හැකි කරවා තිබෙනවා. ඇත්ත වශයෙන්ම, මෑත වසරවලදී රටවල් ගණනාවකම සිදු වන මාරාන්තික අනතුරු ප්‍රමාණය අඩු වෙලා. සමහරුන් මෝටර් රථයක් විකුණාගැනීම සඳහා අවධාරණය කරන කරුණක් වන්නේ එහි ලස්සනට වඩා ගමන් කරන විට ලැබෙන ආරක්ෂාවයි. නිදසුනක් වශයෙන්, වාහනය අනතුරකට ලක් වෙන විට, චැසියේ සමහරක් කොටස් මගින් එම ගැටුමේ කම්පනය උරාගැනීමට හැකි වන පරිද්දෙන් සමහර මෝටර් රථ සකසා තිබෙනවා. ඒ සමඟම, රියදුරාගේ සහ මඟීන්ගේ ආසන අවට වඩාත් ශක්තිමත් ව්‍යූහයක් නිර්මාණය කර තිබීමෙන් ඔවුන්ට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම, තිරිංග අගුල් නොකරන ක්‍රමය (ABS) නිසා ලිස්සනසුලු පාරවල වාහනය පැදවීමේදී වඩාත් හොඳ පාලනයක් තබාගැනීමට හැකිකම තිබෙනවා. මඟියාගේ පපුව හා උකුල පටන් කලවා දක්වා කොටස ස්ථාන තුනකින් තද කෙරෙන ආසන පටිද, ගැටුමකදී රියදුරාගේ හිස සුක්කානමේ හෝ ඉදිරි පුවරුවේ ගැටීමෙන් වලක්වාලනු පිණිස වායු පීඩනයෙන් දිගහැරෙන එයාර් බෑගද නිපදවා තිබෙන තවත් උපක්‍රම හැටියට හඳුන්වන්නට පිළිවන්. c

ඇත්ත වශයෙන්ම, රියපැදවීමේ හොඳ පුරුදුවලට වෙනත් ආදේශයන් නැහැ. “අප රිය පදවන ක්‍රමය වැරදි නම් ආරක්ෂිත මෝටර් රථ නිපදවීමේ කිසිම තේරුමක් නැහැ. අප විසින් යම් භෞතික නීතීන් උල්ලංගනය කරනවා නම්, වඩාත් දියුණු කරන ලද තාක්ෂණය යොදාගනිමින් රථ වාහනවල ආරක්ෂිත උපක්‍රම ඇති කළත් ඉන් කිසිම පලක් නැහැ,” යනුවෙන් මෙක්සිකෝ නුවර පළ වන පුවත්පතක් වන එල් එකොනොමිස්තා ප්‍රකාශ කරනවා.

අද දින සමහරක් රථ වාහන හරියට ජංගම නිවෙස් වගෙයි. මෙවන් වාහන ගණනාවකම සංයුක්ත තැටි වාදන යන්ත්‍රයක්, රූපවාහිනියක්, දුරකථනයක් සහ ඉදිරිපස හා පසුපස වෙන වෙනම ශබ්ද හා උෂ්ණත්ව පාලක යන්ත්‍ර සවි කර තිබෙනවා. ඒ වගේම, ඇතැම් මෝටර් රථවල චන්ද්‍රිකා ආධාරයෙන් තමන් සිටින තැන සොයාගැනීමට හැකි උපකරණද සවි කොට තිබීමත් සුවිශේෂ කාරණයක්. මෙමගින් තමන් යෑමට අදහස් කරන තැනට වඩාත් පහසුවෙන් යෑමට රියදුරන්ට හැකි වෙනවා. ඇතැම් දියුණු ක්‍රම මගින් අලුත්ම තොරතුරු සහ මාර්ගයේ ඉදිරියෙන් ඇති බාධා ගැනද රියදුරාට දැනුම් දෙන්නට පිළිවන්. තවත් කාරණයක් තමයි, අලුත්ම අලුත් උපක්‍රම හා අලුතෙන්ම නිපදවන ලද මෝටර් රථ වර්ගය තමා සතුව තිබීම බොහෝදෙනෙකුගේ සමාජීය තත්වය කියාපාන ක්‍රමයක් බවට පත්ව තිබීම. මේ හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයන් හා ප්‍රචාරකයන් හොඳ හැටි වාසි ප්‍රයෝජන ගෙන තිබෙන බව අමුතුවෙන් කිය යුතු නැහැ.

අපි දැන් දුටුවා, මීට සියවසකට පමණ ඉහතදී පළමුවෙන්ම නිපදවන ලද මෝටර් රථයේ සිට අද දක්වා මෝටර් රථය ඉතා දුර ගමනක් ඇවිත් තිබෙන බව. වගකීමෙන් හා ආරක්ෂා සහිතව පරිහරණය කරනවා නම්, ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරය කිරීම සඳහා මෝටර් රථය ඉතා ප්‍රයෝජනවත්.

[පාදසටහන්වල]

a ඩේම්ලර් සමාගමේ ප්‍රධාන ආයෝජකයෙකු වූ එමිල් යෙලීනෙක් යෝජනා කරමින් කියා සිටියේ මේ වර්ගයේ මෝටර් රථ ඔහුගේ දියණිය වූ ම’සේඩීස්ගේ නමින් නම් කළ යුතු බවයි. මන්ද, ඩේම්ලර් යන ජර්මානු නාමය නිසා එම නිෂ්පාදන ප්‍රංශයේදී අලෙවි කරගත නොහැකි වනු ඇතැයි කියා ඔහු භය වුණා.

b T වර්ගයේ මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා වැය වූ මූලික වියදම වූයේ අමෙරිකානු ඩොලර් 850ක් වැනි මුදලක්. නමුත් 1924 වන විට අලුත්ම අලුත් ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් අමෙරිකානු ඩොලර් 260ක් වැනි අඩු මුදලකට මිලදී ගන්නට හැකි වුණා. මේ අනුව T වර්ගයේ මෝටර් රථ නිෂ්පාදනය වසර 19ක් පුරා පැවති අතර, මේ කාලය අතරතුරදී නිපදවුණු මෝටර් රථ ප්‍රමාණය මිලියන 15කට වඩා වැඩි වුණා.

c එකම ආරක්ෂිත උපක්‍රමය ලෙස එයාර් බෑග් පමණක් යොදාගැනුණහොත් විශේෂයෙන්ම ළමුන් හා කුඩා ශරීරයක් ඇති වැඩිහිටියන් සඳහා එය අන්තරාදායක විය හැකියි.

[22-25වන පිටුවේ වගුව⁄පින්තූර]

සඳහන් කර ඇති වර්ෂයන්ගෙන් දැක්වෙන්නේ නිපදවීම සඳහා වැය වූ කාල පරිච්ඡේදයයි

පළමු පැදවිය හැකි මෝටර් රථය වූයේ,

1885දී නිපදවූ බෙන්ස් මෝටර් රථයයි

1907-25 රෝල්ස්-රොයිස් සිල්වර් ගෝස්ට්

නමැති මෝටර් රථය වේගවත් සුවපහසු මෙන්ම අධිබලයකින් යුත් කාර්මික දෝෂවලින් තොර රථයකි

1908-27 T වර්ගයේ ෆෝඩ් රථය

විශාල වශයෙන් නිපදවනු ලැබුවා. එම වර්ගයේ මෝටර් රථ 15,000,000කට වඩා අලෙවි වුණා

පසුබිමේ: ෆෝඩ් නිෂ්පාදන පෙළ

1930-7 කැඩිලැක් V16 7.4-L රථය

ලෝකයේ මුලින්ම නිපදවන ලද සාර්ථකම 16 එන්ජිම සහිත මෝටර් රථය විය

1939 සිට අද දක්වා ෆෝක්ස්වාගන් බීට්ල් රථ

20,000,000කට වඩා නිපදවා ඇත. වර්ෂ 1998දී හඳුන්වා දෙන ලද නවීන බීට්ල් රථය (වමේ පහළ)

1941 සිට අද දක්වා ජීප් රථය,

අදදින ලෝකයේ වඩාත්ම පිළිගත් වාහනය මෙය විය හැකියි

1948-65 පෝර්ෂ 356 වර්ගයේ රථය

තනන ලද්දේ ෆෝක්ස්වාගන් බීට්ල් රථය පදනම් කරගෙනයි. පෝර්ෂහි සාර්ථකත්වයට මෙය ඉවහල් වුණා

1952-7 ම’සේඩීස් බෙන්ස් 300SL රථයට

ගල්විං යන නම යෙදුණු අතර, එය සුවිශේෂ ලෝහයකින් සැදි ශක්තිමත් සැහැල්ලු රාමුවක් සහිත ඉන්ධන විඳුම් එන්ජිමකින් සමන්විත පළමු රථය වුණා

1955-68 සිට්‍රොන් DS 19 රථයේ

සුක්කානමට, තිරිංග පද්ධතියට, වේග හතරකින් යුත් ගියර් පද්ධතියට සහ රථය ගමන් මාර්ගයට සමාන්තර කරවන (self-leveling) මාර්ග ගැටුම් උරාගැනීමේ ක්‍රමයට හයිඩ්‍රොලික් බලය තිබුණා

1959 සිට අද දක්වා මිනිරථය,

මෙම නිර්මාණත්මක ජනප්‍රිය රථද වේග හා පියවර ධාවන තරඟවලදී ඉතා සාර්ථක ලෙස යොදාගැනුණා

1962-64 ෆෙරාරි 250 GTO

අශ්වබල 300ක් වූ V-12 වර්ගයේ එන්ජිමක් ඇති රථය, මෙය ඉතා කාර්යක්ෂම ධාවන රථයක් වුණා

1970-3 ඩැට්සන් 240Z රථය

කාර්මික දෝෂ රහිත මෙන්ම මිල පහසු තරඟ ධාවන රථයක්

1970-අද දක්වා රේන්ජ් රෝවර් රථය

රළු මාර්ගවලට ඔරොත්තු දෙන දැනට ලෝකයේ තිබෙන හොඳම ජව රෝද හතරේ (4WD) බහුකාර්ය රථය ලෙස සැලකෙනවා

1984-අද දක්වා ක්‍රයිස්ලර් මිනිවෑන් රථ (Minivan),

මෙමගින් මිනිවෑන් රථ පාවිච්චි කිරීමේ උමුතුව ආරම්භ වුණා

ත්‍රස්ට් SSC රථය

වර්ෂ 1997 ඔක්තෝබර් 15දා අමෙරිකා එක්සත් ජනපදයේ, නෙවාඩාහි බ්ලැක් රොක් කාන්තාරය තරණය කිරීම. පැයට කිලෝමීටර් 1,228ක වේගයකින් ගමන් කළ බවට එය නිල වාර්තාවක් තබා තිබෙනවා

[හිමිකම් විස්තර]

Benz-Motorcar: DaimlerChrysler Classic; background: Brown Brothers; Model T: Courtesy of VIP Classics; Rolls-Royce: Photo courtesy of Rolls-Royce & Bentley Motor Cars

Jeep: Courtesy of DaimlerChrysler Corporation; black Beetle: Courtesy Vintage Motors of Sarasota; yellow Beetle: VW Volkswagen AG

Citroën: © CITROËN COMMUNICATION; Mercedes Benz: PRNewsFoto

Chrysler Minivan: Courtesy of DaimlerChrysler Corporation; Datsun: Nissan North America; Thrust SSC: AP Photo/Dusan Vranic