වෛරයේ යදම්වලින් නිදහස් වී
වෛරයේ යදම්වලින් නිදහස් වී
හොසෙ ගෝමෙස්ගේ ජීවිත කතාව
මම උපත ලැබුවේ 1964 සැප්තැම්බර් මාසයේ, ප්‍රංශයේ දකුණු පළාතේ පිහිටි රෝන්යක් කියන කුඩා නගරයේයි. මගේ මව්පියන් හා ඔවුන්ගේ දෙමාපියන් ඇන්ඩ්ලූසියන් අහිකුණ්ටක ගෝත්‍රයට අයත් අයයි. ඔවුන් ඉපදිලා තියෙන්නේ උතුරු අප්‍රිකාවේ පිහිටි ඇල්ජීරියාවේ හා මොරොක්කෝවෙයි. පවුලේ කිට්ටුම ඥාතීන් එකම නිවසේ ජීවත් වීම, සාමාන්‍යයෙන් අහිකුණ්ටක ගෝත්‍රවල දකින්න තියෙන දෙයක්. අපේ පවුලෙත් කිට්ටු ඥාතීන් ජීවත් වුණේ එකටයි.
මගේ තාත්තා දරුණු කෙනෙක්. පුංචි කාලේ මට මතකයි එයා මගේ අම්මාට ගහනවා. කාලයක් ගියාට පස්සේ මගේ අම්මා දික්කසාද වෙන්න තීරණය කළා. අහිකුණ්ටක පවුල්වල දික්කසාද වීම් බොහොම කලාතුරකින් සිදු වන දෙයක්. අම්මා මගේ සහෝදරයාවත් අක්කාවත් මාවත් අරගෙන බෙල්ජියමට ගියා. අපි අවුරුදු අටක් එහේ කරදරයක් නැතුව ජීවත් වුණා.
කොහොම වුණත් දේවල් වෙනස් වුණා. අපේ තාත්තාව බලන්න අපිට ඕන වුණ නිසා අම්මා අපිවත් අරගෙන ආපහු ප්‍රංශයට ආවා. ඊට පස්සේ අම්මා තීරණය කළා, තාත්තත් එක්ක නැවත එකට ජීවත් වෙන්න. ආයෙත් තාත්තත් එක්ක ජීවත් වෙන එක මට අමාරු දෙයක් වුණා. බෙල්ජියමේ ඉන්න කාලේදී අපි අම්මාත් එක්ක හැමතැනම ගියා. ඒ වුණත් මගේ තාත්තාගේ පැත්තේ අයගේ මතය වුණේ පිරිමි අය ආශ්‍රය කළ යුත්තේ පිරිමි අයත් එක්ක විතරයි කියලා. පිරිමි ආධිපත්‍යයට මුල් තැන දුන් ඔවුන් සිතුවේ සියලුම අයිතිවාසිකම් තියෙන්නේ පිරිමින්ට කියායි. ස්ත්‍රීන්ට තියෙන්නේ හැම වැඩක්ම කරගෙන ඉන්න එකයි. එක දවසක් මම රෑ කෑමෙන් පස්සේ පිඟන් කෝප්ප සෝදන්න මගේ නැන්දාට උදව් කරන්න ගිය වේලාවේදී, මම සමලිංගිකයෙක් කියලා මගේ මාමා මට චෝදනා කළා. එයාගේ පවුලේ පිඟන් කෝප්ප සෝදන එක සම්පූර්ණයෙන්ම ස්ත්‍රීන්ට අයිති වැඩක් වුණා. මේ විදිහට අසාධාරණ ලෙස දේවල් දෙස බලන්න මමත් ටිකෙන් ටික ඉගෙනගත්තා.
වැඩි කල් යන්න මත්තෙන් මගේ තාත්තා අම්මාට නැවත වතාවක් ගුටි බැට දෙන්න පටන්ගත්තා. මමයි මගේ සහෝදරයායි අම්මාව බේරාගන්න අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් තාත්තාගේ පහරවලින් බේරීම සඳහා ජනේලයෙන් පැනලා යන්න අපිට සිද්ධ වුණා. මගේ අක්කාටත් තාත්තාගේ ගුටි බැට කන්න සිද්ධ වුණා. මේ තත්වය හින්දා මම වැඩි කාලයක් ගත කළේ නිවසින් පිටයි. අවුරුදු 15ක් වෙද්දී මගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නැහැ.
කාලයක් යද්දී මාව ගමේ ප්‍රසිද්ධ වුණේ ඉක්මනින් කෝපයට පත් වෙලා දබරවලට පැටලෙන කෙනෙක් හැටියටයි. චණ්ඩිකම් පෙන්වමින් අනිත් අයව භය කරගැනීමෙන් මම සතුටුක් ලැබුවා. සමහර අවස්ථාවලදී මම අනිත් අයව රණ්ඩුවලට පටලවාගත්තේ හිතාමතාමයි. ඒ වුණත් හුඟදෙනෙක් මට අභියෝග කරන්න ආවේ නැහැ. මොකද හුඟාක් වේලාවට මා ළඟ පිහියක් හරි චේන් එකක් හරි තිබුණා. වැඩි කල් යන්න මත්තෙන් මම වාහන හොරකම් කරලා විකුණන්න පටන්ගත්තා. සමහර අවස්ථාවලදී මම කළේ වාහනවලට ගිනි තියලා බලාගෙන ඉන්න එකයි. ගිනි නිවන හමුදාවෙන් ඇවිත් ගින්න නිවද්දී ඒක බලං ඉඳලා මම සතුටක් ලැබුවා. පස්සේ කාලෙක මම බලහත්කාරයෙන් කඩවල් හා ගබඩාවලට ඇතුල් වෙලා බඩු හොරකම් කරන්න පටන්ගත්තා. අවස්ථා කිහිපයකදීම මාව අත්අඩංගුවට ගත්තා. ඒ හැම අවස්ථාවකදීම මම උපකාරය ඉල්ලා දෙවිට යාච්ඤා කළා.
මොනවා වුණත් මම දෙවි කෙරෙහිත් විශ්වාස කළා. බෙල්ජියමේ ඉන්න කාලේදී මම ආගමේ ඉස්කෝලෙකටයි ගියේ. ඒ හින්දා මම දැනගෙන හිටියා, මම කරමින් හිටිය දේවල් වැරදියි කියලා. ඒ වුණත් දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය මගේ හැසිරීමට බලපෑවේ නැහැ. මට කරන්න තිබුණු එකම දෙය පව්වලට සමාව ඉල්ලන එකයි, එතකොට දෙවි මගේ පව්වලට සමාව දෙනවා කියලායි මම හිතුවේ.
වර්ෂ 1984දී හොරකම් කිරීමේ වරදට මට මාස 11ක සිර දඬුවමක් නියම කළා. මාව මර්සෙයිහි පිහිටි බොමෙට් බන්ධනාගාරයට යැව්වා. සිර ගෙදර ඉන්න කාලේදී මම ඇඟේ හැම තැනකම වගේ පච්ච කොටාගත්තා. “වෛර කරන්න, පළිගන්න” කියා එක පච්චයක කොටා තිබුණා. සිර ගෙදර ඉන්න කාලේදී මගේ නරක පුරුදු අත්හැර ගන්නවා වෙනුවට මම කළේ මගේ වෛරය තව තවත් වැඩි වෙන්න ඉඩහැරිය එකයි. නිලධාරීන් ඇතුළු මුළු සමාජය කෙරෙහිම තිබුණු මගේ වෛරය වැඩි වුණා. මාස තුනකට පස්සේ මාව සිරෙන් නිදහස් කළා. ඒ වෙද්දී වෙන කවරදාකටත් වඩා මගේ වෛරය වැඩි වෙලයි තිබුණේ. හැබැයි, සිදු වුණ කනගාටුදායක සිද්ධියක් නිසා මගේ මුළු ජීවිතයම වෙනස් මඟකට හැරුණා.
මගේ ඉලක්කය පළිගැනීමයි
මගේ පවුලේ අය තවත් අහිකුණ්ටක පවුලක් එක්ක මතභේදයක් ඇති කරගෙන තිබුණා. මගේ මාමලායි මමයි තීරණය කළා, ඒ අයව හමු වෙලා මේ මතභේදයට විසඳුමක් හොයාගන්න. දෙපිරිසගේම අතේ ආයුධ තිබුණා. බහින් බස්වීමක් ඇති වුණ වේලාවේදී පියෙර් මාමාවයි මගේ තාත්තාගේ ඥාති පුතෙකුවයි වෙඩි තියලා මරා දමනු ලැබුවා. මේ සිද්ධිය මගේ හිතට කොච්චර තදින් දැනුණාද කියනවා නම් අන්තිමේදී මම තුවක්කුවත් තියාගෙන පාරේ හිටගෙන උමතුවෙන් වගේ කෑගැහැව්වා. එහෙම ඉන්නකොට මගේ මාමා කෙනෙක් ඇවිල්ලා මගේ තුවක්කුව උදුරාගත්තා.
තාත්තා කෙනෙක් වගේ මම සලකපු මගේ පියෙර් මාමාගේ මරණය මට වාවගන්න බැරි දුකක් වුණා. අහිකුණ්ටක පවුල්වල ශෝකය පළ කිරීමේදී කරන චාරිත්‍ර මම පිළිපැද්දා. දවස් ගණනාවක් මම රැවුල කැපුවේ නැහැ. කිසිම මස් ජාතියක් කෑවේ නැහැ. ටීවී බැලුවේ නැහැ. සිංදු ඇහැව්වේ නැහැ. මගේ මාමාව මරපු අයගෙන් පළිගන්නවා පළිගන්නවාමයි කියලා මම දිවුරුවා. ඒ වුණත් තුවක්කුවක් අතට ගන්න මගේ නෑදෑයන් මට ඉඩ දුන්නේ නැහැ.
වර්ෂ 1984දී මාව හමුදා සේවයට බඳවාගත්තා. වයස අවුරුදු 20දී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට මාවත් ඇතුළත් කරගත්තා. එක්කෝ මරන්න නැත්නම් මැරෙන්න මම සූදානම් වෙලා හිටියා. ඒ කාලේදී මම සෑහෙන්න ගංජා බිව්වා. මේ මත්ද්‍රව්‍යයෙන් මට අමුතු සනීපයක් දැනුණා. ඒ විතරක් නෙමෙයි කිසිම කෙනෙකුට මට කිසිම දෙයක් කරන්න බැහැ කියලාත් ඒ මත්ද්‍රව්‍ය ගන්නකොට මට හැඟුණා.
ලෙබනනයේදී ආයුධ ලබාගන්න එක ඒ තරම් අමාරු වුණේ නැහැ. ඒ හින්දා මම තීරණය කළා මගේ මාමාගේ මිනීමරුවන්ගෙන් පළිගැනීමේ මගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙන් ආයුධ අරගෙන ප්‍රංශයට යවන්න. මම උණ්ඩ වගයක් එක්ක පිස්තෝල දෙකක් ලෙබනනයේ වැසියන්ගෙන් මිල දී ගත්තා. මම මේ ආයුධ දෙක කොටස්වලට වෙන් කරලා ගුවන් විදුලි යන්ත්‍ර දෙකක් අස්සේ සඟවලා ගෙදර යැව්වා.
මගේ හමුදා සේවය අවසන් වෙන්න සති දෙකකට කලින් මාත් එක්ක වැඩ කරපු යාළුවෝ තුන්දෙනෙකුයි මමයි අවසර ගන්නේ නැතිව නිවාඩු ගත්තා. අපි ආපහු කඳවුරට ආපු වේලාවේදී අපිව සිරගත කළා. සිර ගෙදර ඉන්න කාලේදී මට හොඳටම කේන්ති ගිහිල්ලා මුරකරුවෙකුට ගැහැව්වා. අහිකුණ්ටක ගෝත්‍රයකට අයිති නැති කෙනෙකුගෙන් මට මදිපුංචිකමක් වෙන එක මට සිතාගන්නවත් බැරි දෙයක් වුණා. පහුවෙනිදාත් මම රංඩුවකට පැටලුණා. මේ වතාවේදී නිලධාරියෙක් එක්ක. මගේ හමුදා සේවයේ ඉතිරි කාලය පුරා මාව රඳවා තැබුවේ ලියොන්හි පිහිටි මොන්ට්ලූක් බන්ධනාගාරයේයි.
සිර ගෙදර සිටියදී මම නිදහස සොයාගත්තා
මම මොන්ට්ලූක් සිරගෙදරට ගිය පළමුවන දවසේදීම ප්‍රසන්න පෙනුමක් තියෙන තරුණයෙක් උණුසුම් හැඟීමෙන් යුතුව මාව පිළිගත්තා. මට දැනගන්න ලැබුණා එයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියලා. ඔහුවත් ඔහුගේ ආගමේ සිටි අයවත් සිරගත කර තිබුණේ ඔවුන් ආයුධ අතට නොගැනීම නිසයි. මේක මට ලොකු ප්‍රහේළිකාවක් වුණ නිසා මට ඕන වුණා ඒ ගැන වැඩි විස්තර දැනගන්න.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් තියෙන බව මම තේරුම්ගත්තා. ඒ වගේම එයාලාගේ උසස් සදාචාර ප්‍රමිතිවලට මගේ සිත ඇදී ගියා. කොහොමවුණත් මට හුඟාක් ප්‍රශ්න තිබුණා. විශේෂයෙන්ම මට දැනගන්න ඕන වුණා ජීවත් වෙන අයත් එක්ක සිහිනවලින් කතා බහ කරන්න මිය ගිය අයට පුළුවන්ද කියලා. අහිකුණ්ටක පවුල්වල හිටිය හුඟදෙනෙක් විශ්වාස කළේ ඒක ඇත්තක් කියලා. ෂාන්-පෝල් කියන සාක්ෂිකරුවා මගෙන් ඇහැව්වා, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක a කියන පොතෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා.
මම එක රැයකින් මුළු පොතම කියවලා දැම්මා. කියවපු දේවල් මගේ සිත්ගත්තා. සැබෑ නිදහස මම සොයාගත්තේ සිර ගෙදරදීයි! මම සිර ගෙදරින් නිදහස් වෙලා ගෙදර යද්දී බෑග් එකක් පුරවලා අරං ගියේ බයිබල් පොත් පත්.
මගේ ගෙවල් හරියේ හිටපු සාක්ෂිකරුවන්ව හමු වෙන්න, මම මාර්ටිග්හි පිහිටි රාජ්‍ය ශාලාවට ගියා. මම දිගටම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මේ වතාවේදී මගේ බයිබල් පාඩම කළේ එරික් කියන පූර්ණ කාලීන සේවකයායි. දවස් කිහිපයක් ඇතුළත මම දුම්බීම නතර කෙරුවා. ඒ වගේම මම කලින් අපරාධවලට හවුල් වුණ අයත් එක්ක තිබුණු සම්බන්ධතාද නතර කර දැමුවා. හිතෝපදේශ 27:11හි කියන මේ දෙයට එකඟව ජීවත් වෙන්න මම අදිටන් කරගත්තා. “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තර දෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න.” මට ප්‍රේමණීය පියෙක් හම්බ වුණා. ඒ තමයි යෙහෝවා. මට ඕනේ වුණේ ඔහුව සතුටු කරන්නයි.
වෙනස්කම් කිරීමේ අභියෝගය
ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම මට ලෙහෙසි දෙයක් වුණේ නැහැ. උදාහරණයක් හැටියට, මත්ද්‍රව්‍ය ගැනීමේ ගැටලුව නැවත වතාවක් ඉස්මතු වෙන්න පටන්ගත්තා. මේක සති කිහිපයක් තිබුණා. ඒ වුණත් අමාරුම දෙය වුණේ පළිගැනීමට තිබුණු මගේ කැමැත්ත නැති කරගන්න එකයි. මම හුඟාක් අවස්ථාවලදී කොහේ හරි යද්දී තුවක්කුවක් අරං ගියා. මේ බව එරික් දැනගෙන හිටියේ නැහැ. මගේ මාමාව මරපු අයගෙන් පළිගන්න මං මාන බලමිනුයි හිටියේ. මම ඔවුන්ව අල්ලගන්න රාත්‍රීන් කිහිපයක්ම වෙහෙසුණා.
මම මේ ගැන එරික්ට කියපු වේලාවේදී එරික් මට හොඳින් පැහැදිලි කළා, මම ආයුධයක් අතේ තියාගෙන පළිගන්න මාන බලමින් සිටියොත් මට දෙවිත් එක්ක හොඳ සම්බන්ධයක් ඇති කරගන්න බැරි බව. මට තේරීමක් කරන්න සිද්ධ වුණා. රෝම 12:19 ප්‍රේරිත පාවුල් දුන්න මේ උපදේශය ගැන මම බොහෝ වේලාවක් මෙනෙහි කළා. “ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන උදහසට ඉඩහරින්න.” මේ උපදේශයත් සිතේ තබාගෙන උනන්දුවෙන් යාච්ඤා කිරීමෙන් මට පුළුවන් වුණා මගේ හැඟීම් පාලනය කරගන්න. (ගීතාවලිය 55:22) අන්තිමේදී මම තීරණය කළා මගේ ආයුධ විසි කර දමන්න. අවුරුද්දක් බයිබලය පාඩම් කළාට පස්සේ, 1986 දෙසැම්බර් 26වනදා මම යෙහෝවාට වුණ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළා.
මගේ පවුලේ අයගේ ප්‍රතිචාරය
මගේ හැසිරීම් රටාව වෙනස් වුණ නිසා මගේ දෙමාපියනුත් බයිබලය පාඩම් කරන්න පෙලඹුණා. වර්ෂ 1989 ජූලි මාසයේදී ඔවුන් නැවත විවාහ වීමත් සමඟම මගේ අම්මා බව්තීස්ම වුණා. කාලයක් යද්දී මගේ පවුලේ තවත් සමාජිකයන් කිහිපදෙනෙක් බයිබලයේ සඳහන් පණිවිඩය පිළිගෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.
මම 1988 අගෝස්තු මාසයේදී තීරණය කළා, පූර්ණ කාලීන සේවය පටන්ගන්න. ඒ කාලේදී අපේ සභාවේ හිටිය කාට්යා කියන තරුණිය කෙරෙහි මට ආදරයක් ඇති වුණා. අපි දෙන්නා 1989 ජූනි 10වනදා විවාහ වුණා. අපේ විවාහ ජීවිතයේ පළමුවන අවුරුද්ද මට ලෙහෙසි වුණේ නැහැ. මොකද ඒ වන විටත් ස්ත්‍රීන් කෙරෙහි මට තිබුණු ආකල්පයෙහි යම් සකස් කිරීම් කරන්න මට සිදු වුණා. තමාගේ භාර්යාවට ගෞරව කරන්න කියා 1 පේතෘස් 3:7හි සඳහන් දෙය අදාළ කරගන්න එක මට අමාරු දෙයක් වුණා. මගේ උඩඟුකම නැති කරගන්නත් මම හිතන විදිහ වෙනස් කරගන්නත් දෙවිගෙන් ශක්තිය ඉල්ලා මම නැවත නැවත යාච්ඤා කළා. දේවල් ටිකෙන් ටික හොඳ අතට හැරුණා.
මගේ මාමාගේ මරණය තවමත් මට සෑහෙන වේදනාවක් ගෙන දෙනවා. ඔහුව මතක් වෙන සමහර අවස්ථාවලදී මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන එන එක නතර කරගන්න මට බැහැ. ඔහුගේ මරණය ගැන මගේ මතකයේ රැදුණු දේවල් නිසා ඇති වුණ දැඩි ආවේගකාරී හැඟීම් යටපත් කරගන්න මම ලොකු සටනක් කරනවා. මම බව්තීස්ම වුණාට පස්සේ පවා, අවුරුදු කිහිපයක් යන තුරු මට භයක් දැනුණා, මම පළිගන්න උත්සාහ කළ පවුලේ අයව මට අහම්බෙන් හෝ මුණගැසෙයි දෝ කියා. ඔවුන් මට ගැහැව්වොත් මම මොනවාද කරන්නේ? මගේ පරණ ගති ලක්ෂණ නැවතත් ඉස්මතු වෙයිද?
දවසක් මම ළඟපාත සභාවක ප්‍රසිද්ධ කථාවක් දෙන්න ගියා. එහේදී මම දැක්කා මගේ මාමාව මරපු මිනිසුන්ගේ නෑදෑයෙකු වූ පෙපා කියන ස්ත්‍රියව. ඇයව දැකීමෙන් මගේ සැබෑ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය දැඩි පරීක්ෂණයට ලක් වුණා කියා මම අවංකව පිළිගන්නවා. ඒ වුණත් ඒ වේලාවේ මට ආපු හැඟීම් ගැන මම හිතුවේ නැහැ. පසු කලෙක, පෙපා බව්තීස්ම වුණාම මම ඇයව වැලඳගෙන, යෙහෝවාට සේවය කරන්න ඇය ගත් තීරණයට ඇයට ශුභ පැතුවා. පහුගිය කාලේ මොනවා සිද්ධ වුණත් එතැන් පටන් මම ඇයව මගේ ආත්මික සහෝදරියක් හැටියට පිළිගත්තා.
වෛරයේ යදම්වලින් නිදහස් වෙන්න මට උපකාර කරපු එක ගැන මම හැමදාම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. යෙහෝවාගේ දයාව නොතිබෙන්න මම අද කොහේ ඉඳයිද දන්නේ නැහැ. ඔහුට ස්තුතිවන්ත වෙන්න මම අද ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති අලුත් ලෝකයක් ගැන බලාපොරොත්තුවක් මට තියෙනවා. දෙවිගේ මේ පොරොන්දුව ඉටු වෙන බවට අබමල් රේණුවක තරම්වත් සැකයක් මට නැහැ. “ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය පැවසීය.”—මීකා 4:4.
[පාදසටහන]
a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.
[19වන පිටුවේ පින්තූරය]
ලෙබනනයේ සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ, 1985දී
[20වන පිටුවේ පින්තූරය]
කාට්යා සහ මගේ දරුවන් වන ටිමෙඕ සහ පියෙර් සමඟ