ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතා කිරීමේ නිදහසට පක්ෂව තීන්දුවක්
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතා කිරීමේ නිදහසට පක්ෂව තීන්දුවක්
තීරණාත්මක දිනය වූයේ 2002 ජූනි 17වනදාය. ශ්‍රේෂ්ඨාධිකරණය සිය ලිඛිත තීන්දු ප්‍රකාශය පළ කළේ එම දිනයේදීය. තීන්දුව කුමක් වීද? ඒ සම්බන්ධයෙන් පුවත්පත් සිරස්තල නිහඬ නොවීය. නිව් යෝක් ටයිම්ස් කියා සිටියේ මෙසේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන බැහැදැකීම් නතර කිරීමට ගත් තැත අධිකරණය මගින් ව්‍යර්ථ කෙරේ.” ඔහයෝහි ද කොලම්බස් ඩිස්පැට්ච් ප්‍රකාශ කළේ මෙයයි. “අවසර පත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි.” ක්ලීව්ලන්ඩ් ඔහයෝහි ද ප්ලේන් ඩීලර් සරලව පැවසුවේ මෙසේය. “ආධාර ඉල්ලමින් යන අයට හෝ ප්‍රචාරක කටයුතුවල යෙදෙන අයට නගර සභාවෙන් අනුමැතිය ඕනෑ නැහැ.” “කතා කිරීමේ නිදහසට ජයක්”යන්න USA ටුඩේ පුවත්පතේ කතුවැකියට ඉදිරියෙන් තිබෙන පිටුවෙහි පළ කර තිබිණ.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව පහළ උසාවිය විසින් නිකුත් කරන ලද තීන්දුව ඡන්ද 8ට 1 අනුපාතයකින් අවලංගු කෙරිණ. පිටු 18කින් යුත් අධිකරණයේ නිල ලත් තීන්දු ප්‍රකාශය ලියන ලද්දේ විනිසුරු ජොන් පෝල් ස්ටීවන්ස් විසිනි. මෙහිදී පළ කළ තීන්දුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රසිද්ධ දේවසේවයට පළමු සංශෝධනයෙන් ලැබෙන ආරක්ෂාව තීරණාත්මකව සනාථ කළේය. අධිකරණය සිය වාර්තාවේදී පැහැදිලි කළ ආකාරයට, සාක්ෂිකරුවන් යම් අවසර පත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් නොවූයේ “දේශනා කිරීමට ඔවුන්ට තිබෙන බලතල ඔවුන් ලබාගන්නේ ශුද්ධ ලියවිල්ලෙන් බව” ඔවුන් කියා සිටින නිසාය. ඊළඟට සාක්ෂිකරුවන්ගේ නඩු ගොනුවේ සඳහන් සාක්ෂ්‍යයෙන් අධිකරණයේ විනිසුරුවෝ මෙසේ උපුටා දැක්වූහ. “යම් නගර සභාවකින් දේශනා කිරීමට අවසර පත්‍රයක් ලබාගන්නවා යන කාරණය අපට දැනෙන්නේ දෙවිට කරන නිග්‍රහයක් මෙනි.”
අධිකරණයෙහි ලිඛිත තීන්දු ප්‍රකාශයෙහි මෙසේ සැල විය. “වසර 50කට වැඩි කාලයක් පුරා ගෙයින් ගෙට ගොස් ආධාර ඉල්ලීම, ප්‍රචාරක කටයුතුවල යෙදීම හා පත්‍රිකා බෙදා දීම මත පැනවීමට තැත් කළ තහංචි අධිකරණය මගින් අවලංගු කර තිබේ. මෙම නඩුවලින් වැඩි ගණනක් පළමු සංශෝධනය හා බැඳිව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඒවා වීම හුදෙක් ඓතිහාසික සිදුවීමක් නම් නොවේ. මන්දයත් ඔවුන්ගේ ආගමට අනුව ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරත වීම අවශ්‍ය කෙරේ. මර්ඩොක්ට එදිරිව පෙන්සිල්වේනියා (1943) යන නඩුව සම්බන්ධයෙන් අප සඳහන් කළ පරිදි, . . . යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ‘ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස්’ ඉගැන්වීමේදී පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරන බව තරයේ කියා සිටිති. ක්‍රියා 20:20. “නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරපල්ලා” යන ශුද්ධ ලියවිල්ලේ ආඥාවට ඔවුන් අවනත වන්නේ වචනානුසාරයෙන්මය. මාර්ක් 16:15. එලෙස කටයුතු කිරීමෙන් ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් දේවආඥාවකට කීකරු වන බවය.”
ඉන් අනතුරුව, 1943 නඩුවෙන් කොටසක් තීන්දු ප්‍රකාශයෙහි උපුටා දක්වන ලදි. “පල්ලිවල නමස්කාරයට සහභාගි වීමටත් දේශනා කූඩුවට නැඟ දේශනයන් ඉදිරිපත් කිරීමටත් පළමු සංශෝධනය යටතේ අවසරයක් ලැබෙන්නා සේ මෙවැනි ආගමික කටයුතුවලටද එවැනිම අවසරයක් ලැබේ. එයටද වඩාත්ම සම්මත මෙන්ම සම්ප්‍රදායික ආගම්වලට ලැබෙන ආරක්ෂාවම බලාපොරොත්තු වීමට අයිතියක් ඇත.” වර්ෂ 1939දී විමසන ලද නඩුවකින් උපුටා දක්වමින් තීන්දු ප්‍රකාශයෙහි මෙම අදහස පළ විය. “බලපත්‍රයක් මාර්ගයෙන් යම් වාරණයක් පැනවීම කිසිදු බාධාවකින් තොරව නිදහසේ පත්‍රිකා බෙදාහැරීමට අකුල් හෙළීමක් වන අතර, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරනු ලබන මූලධර්මවල අත්තිවාරමට එය බලවත් පහරක් වේ.”—අකුරු ඇල කර ඇත්තේ ඔවුන්ය.
අධිකරණය ඊළඟට ඉතා වැදගත් නිරීක්ෂණයක් මෙලෙස ඉදිරිපත් කළේය. “කතා කිරීමේ නිදහස සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසිවලට විරුද්ධව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගෙන ඇති පියවර ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා පමණක් කළ සටනක් නොවූ බව මෙම නඩුවලින් සනාථ කෙරේ.” මේ අනුව තීන්දු ප්‍රකාශයෙහි පැහැදිලි කළ ආකාරයට, ස්ට්‍රැටන් “ගම්මානය පැනවූ නියෝගයට සමාන නියෝග මගින් යටපත් කරනු ලැබීමේ අවදානමට ලක් වන එකම ‘සුළුතර පිරිස’ සාක්ෂිකරුවන් පමණක් නොවේ.”
තීන්දු ප්‍රකාශයෙහි තවදුරටත් සඳහන් වූයේ මෙසේය. “තම දෛනික ජීවිතයෙහි අංගයක් ලෙස තම අසල්වාසීන් සමඟ කතා බහ කිරීමට පෙරාතුව පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් වූ තම ආශාව ආණ්ඩුවට දන්වා එසේ කිරීම සඳහා අවසර පත්‍රයක් ලබාගත යුතුය යන්න සලකා බලන කල, මෙම ආඥා පනතින් සිදු වන්නේ පළමු සංශෝධනයෙන් ආරක්ෂා වන සාරධර්මයන්ට පමණක් නොව නමුත් නිදහස් සමාජයක් පිළිබඳ සංකල්පයටද ‘නිග්‍රහයකි.’ . . . එවැනි කතා බහක නිරත වීම සඳහා අවසර පත්‍රයක් ලබාගත යුතු බව නියෝග කරන නීතියක් අපගේ ජාතික උරුමයෙන් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සම්ප්‍රදායෙන් පිට පැනීමක් ලෙස හැඳින්විය හැක.” මෙවැනි අවසර පත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාව “කොතරම් හානිකරද” යන්න තීන්දු ප්‍රකාශයෙහි තවදුරටත් සඳහන් විය.
අපරාධ සිදුවීමේ අවදානම
මෙසේ අවසර පත්‍රයක් ලබාගැනීම සොරුන් සහ වෙනත් අපරාධකරුවන්ගෙන් ආරක්ෂාවක් සපයන බවට වූ මතය ගැන කුමක් කිව හැකිද? අධිකරණයෙහි තර්කය වූයේ මෙයයි. “මෙම කාරණා ගැන සැලකිලිමත් වීමේ සාධාරණය පිළිගත යුතුය. එනමුත් අතීතයේ නඩුවලින් අපට ගත හැකි නිගමනයද ඉතා පැහැදිලිය. ඒ කුමක්ද කියා කියනවා නම්, ආරක්ෂාව සම්බන්ධයෙන් ඉස්මතු වන මෙම ප්‍රශ්නය හා පළමු සංශෝධනයෙන් ආරක්ෂා වන අයිතිවාසිකම්වලට මෙවැනි රෙගුලාසිවලින් ඇති වන බලපෑම අතර සමබරතාවක් තිබිය යුතුය යන්නයි.”
අධිකරණ තීන්දු ප්‍රකාශයේ තවදුරටත් මෙසේ පැවසේ. “අපරාධකරුවන්ට අවසර පත්‍රයක් නොතිබෙන අවස්ථාවලදී පවා, නිවෙස්වලට පැමිණ දොරවල්වලට තට්ටු කර, ආඥා පනතෙන් ආවරණය නොකෙරෙන සංවාදයන්වල යෙදීම වළක්වාගත හැකි බව නිගමනය කිරීම උගහටය. නිදසුනකට යම් ස්ථානයකට යන මාර්ගය විමසීමට ඔවුන්ට පුළුවන. එසේ නැතහොත් දුරකථනය භාවිත කිරීමට අවසර ඉල්ලා සිටිය හැක. . . . එසේත් නැතහොත් නීතියේ රැහැනින් බේරී ව්‍යාජ නමක් භාවිත කරමින් ලියාපදිංචි වීමට පුළුවන.”
එක්දහස් නවසිය හතළිස් ගණන්වල ගත් තීන්දුවලට යොමු දක්වමින් අධිකරණය මෙසේ ලිඛිතව සඳහන් කළේය. “දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයේදී පැමිණිලිකරුගේ [වොච් ටවර්] සෙසු සාමාජිකයන්ට එරෙහිව පැමිණෙවූ
සුළු සුළු නඩුවලින් ඔවුන්ට නැවත නැවත ජය අත් කර දුන් තීන්දු ප්‍රකාශයන්වල යොදාගැනුණු තර්කයන්ම පළමු සංශෝධනයේ සඳහන් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණය විසින් මෙම නඩුවේදී කරන ලද ඇගයීම තුළද දක්නට තිබිණ.”එසේ නම් අධිකරණයේ අවසාන නිගමනය කුමක් වීද? “ඇපැල් අධිකරණයේ තීන්දුව අවලංගු කර ඇති අතර, නඩුව මෙම තීන්දු ප්‍රකාශයට එකඟව තවදුරටත් නඩුව විභාග කිරීම සඳහා යළිත් වරක් ඇපැල් අධිකරණයට භාර දෙනු ලැබේ. අපගේ නියෝගය මෙලෙසයි.”
ෂිකාගෝ සන්-ටයිම්ස් පුවත්පත අවසාන ප්‍රතිඵලය මෙලෙස දැක්වීය. “අධිකරණයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක්.” එයද ඡන්ද 8ට 1ක වැඩි ඡන්දයක් සමඟිනි.
අනාගතය කොයිබටද?
ළඟපාතක පිහිටි වෙල්ස්විල් සභාවෙහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාගත් මෙම ජයග්‍රහණය දෙස බලන්නේ කෙසේද? ස්ට්‍රැටන් ගම්මානයේ වැසියන්ව ලජ්ජාවට පත් කරමින් ඒ ගැන උදුම්ඇනීමට කිසිදු හේතුවක් නැති බව පැහැදිලිය. මෙම ගම්මානයේ සිටින යහපත් මනුෂ්‍යයන් සමඟ සාක්ෂිකරුවන්ට කිසිදු අමනාපයක් නොමැත. එම සභාවේ සාක්ෂිකරුවෙකු වන ග්‍රෙගරි කූහාර් මෙසේ පැවසීය. “අපි නඩු මඟට බැස්සේ අපිට එහෙම කරන්න ආසාවක් තිබුණ නිසා නෙවෙයි. පැහැදිලිව ඒකට හේතු වුණේ ඒ ආඥා පනත වැරදි දෙයක් හැටියට අපිට පෙනුණු නිසයි. අපි ඒක කළේ අපි වෙනුවෙන් විතරක් නෙවෙයි සියලුදෙනාම වෙනුවෙන්.”
ඇත්තටම සැබෑ කාරණාවලින් පෙනී යන්නේ සාක්ෂිකරුවන් එම ගම්මානයේ ජනතාව ප්‍රකෝප නොකිරීමට සෑහෙන වෑයමක් දරා ඇති බවය. තවත් සාක්ෂිකරුවෙකු වන ජීන් කූන්ට්ස් තත්වය මෙසේ පැහැදිලි කළේය. “අපි අන්තිම වරට ස්ට්‍රැටන්වල දේශනා කළේ 1998 මාර්තු 7වනදායි. ඒ කියන්නේ දැනට අවුරුදු හතරකටත් වඩා වැඩි කාලයකට පෙරයි. එතකොට මට පුද්ගලිකව කිව්වා මාව අත්අඩංගුවට ගන්නවා කියලා. සෑහෙන කාලයක් තිස්සේ පොලිසිය කිහිප සැරයක්ම අපිට තර්ජනය කළා අත්අඩංගුවට ගන්නවා කියලා. ආඥා පනතේ මුද්‍රිත පිටපතක් බලන්න ඉල්ලුවහම අපිට ඔවුන්ගෙන් පිළිතුරක් ලැබුණේම නැහැ.”
කූන්ට්ස් මෙසේද පවසයි. “අපි කැමති වන්නේ අපේ අසල්වාසීන් එක්ක සුහද සම්බන්ධතාවයක් පවත්වාගන්නයි. ඔවුන්ව බැහැදකිනවාට කවුරු හරි කෙනෙක් අකමැති නම්, අපි ඒ තීරණයට ගරු කරනවා. හැබැයි තවත් අය සිටිනවා, ඔවුන් හරිම මිත්‍රශීලීයි, බයිබලය ගැන සාකච්ඡා කරන්නත් කැමතියි.”
ග්‍රෙගරි කූහාර් පැහැදිලි කළේ මෙසේය. “අපි නඩු මඟට බැස්සේ ස්ට්‍රැටන් ගම්මානයේ මිනිසුන්ව අවුස්සන්න නෙවෙයි. අපිට ඕනෑ වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව අපේ කතා කිරීමේ නිදහස නීත්‍යනුකූලව ස්ථාපිත කරන්න විතරයි.”
ඔහු තවදුරටත් කියා සිටියේ මෙයයි. “කවදා හරි ආයෙත් ස්ට්‍රැටන්වලට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ආයෙත් ගියහම දොරකට තට්ටු කරන පළමුවෙනියා වෙන්න වුණත් මම කැමතියි. කොච්චර බාධා තිබුණත්, ක්‍රිස්තුස් අපිට ආඥාවක් දීලා තිබෙන හින්දා අපිට ආපහු යන්නම වෙනවා.”
“වොච්ටවර්ට එදිරිව ස්ට්‍රැටන්” නඩුවේ තීන්දුව පුළුල්ව බලපා ඇති එකකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනගත් වහාම, එ.ජ. නගර සභා නිලධාරීන් කිහිපදෙනෙකු තේරුම්ගත්තේ ප්‍රාදේශීය ආඥා පනතක් භාවිත කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එවැන්ජලිස්ත සේවය සීමා කළ නොහැකි බවය. ගෙයින් ගෙට දේශනා කිරීම හා සම්බන්ධව පැනනැඟී ඇති ගැටලු එක්සත් ජනපදයේ ප්‍රජා 90ක පමණ මේ දක්වා නිරවුල් කර තිබේ.
[9වන පිටුවේ කොටුව]
“යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නැවතත් ජය අත් වේ”
පළමු සංශෝධන මධ්‍යස්ථානයේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂක හා ජ්‍යෙෂ්ඨ විශාරදයෙකු වන චාර්ල්ස් සී. හෙයින්ස් ඉහත දක්වා ඇති වදන් MSNBC වෙබ් අඩවියෙහි ලිව්වේ “ඇදහීමේ නිදහස” යන මාතෘකාව යටතේය. හෙයින්ස් තවදුරටත් පැවසුවේ මෙසේය. “පසුගිය සතියේ [සාක්ෂිකරුවෝ] ශ්‍රේෂ්ඨාධිකරණයේදී තම 48වන ජයග්‍රහණය අත් පත් කරගත්තෝය. ඇත්තටම ඒ නඩු සියල්ල දෙස බැලූ කල ඒවාට සුවිශේෂත්වයක් තිබේ. මන්දයත් සියලුම අමෙරිකානු වැසියන්ට පළමු සංශෝධනයෙන් හිමි විය යුතු ආරක්ෂාව සැලකිය යුතු ලෙස මේවායින් පුළුල් කර ඇති බැවිනි.” ඔහු මෙසේ අනතුරු ඇඟවීය. “මෙය මතක තබාගන්න: එක ආගමක නිදහස සීමා කිරීමට ආණ්ඩුවට පුළුවන් නම්, ඉන් අදහස් වන්නේ ඕනෑම ආගමක එසේ නැතහොත් සෑම ආගමකම නිදහස සීමා කිරීමට එයට බලය තිබෙන බවය. . . . සවන් නොදීමට හා තම නිවසේ දොර වැසීමට අයිතිය සෑම පුද්ගලයෙකුම සතු අයිතියක් බව නොකිවමනාය. කෙසේවෙතත්, නිවසකට ඇවිත් දොරට තට්ටු කළ යුත්තේ කවුද යන්න තීරණය කිරීමේ බලතල ආණ්ඩුවට නොතිබිය යුතුය. එමනිසා ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ අවංක ස්තුතිය පුදමු.”
හෙයින්ස් අවසන් වශයෙන් මෙසේ පවසයි. “අප සියලුදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ණයගැතියි. ඔවුන් කොතරම් නිග්‍රහයට ලක් වුවත්, කොතරම් වාර ගණනක් ගම්වලින් පන්නා දැමුවත්, ශාරීරික ප්‍රහාරවලට පවා හසු වුවත්, ඔවුන්ගේ (සහ ප්‍රතිඵලයක් වශයෙන් අපගේ) ආගමික නිදහස වෙනුවෙන් ඔවුන් කළ සටන ඔවුන් අත්හරින්නේ නැත. ඔවුන්ට ජයක් හිමි වන විට, එය අපටද හිමි වන ජයකි.”
[10, 11වන පිටුවේ කොටුව⁄පින්තූර]
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව—මාධ්‍යවේදීන් පළ කළ අදහස්
◼ “අධිකරණයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක්; ගෙයින් ගෙට සේවයේ යෑම සඳහා අවසර පත්‍රයක් අවශ්‍ය නැත
ගෙයින් ගෙයට ගොස් දොරවල්වලට තට්ටු කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන් කවදත් විශ්වාස කර ඇත්තේ ඔවුන්ට ඒ සඳහා දෙවිගේ අනුමැතිය තිබෙන බවයි. දැන් ඔවුන්ට එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියද ලැබී ඇත.”—Chicago Sun Times, 2002 ජූනි 18.
◼ “කතා කිරීමේ නිදහසට ජයග්‍රහණයක්
යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබේ දොරට තට්ටු කරන ඊළඟ අවස්ථාවේදී ඔබ කෑම කමින් සිටියත් ඔවුන්ට ඔබේ කෘතඥතාව පළ කළහොත් යහපති. [එක්සත් ජනපදයේ] මිලියනයකට ආසන්න සාමාජික පිරිසකගෙන් සමන්විත ප්‍රධාන පෙළේ ආගමක් නොවන මෙම සංවිධානය වෙනත් කිසිදු ආයතනයකට වඩා අමෙරිකානු ජනතාවගේ කතා කිරීමේ නිදහස ස්ථාපිත කිරීමට ක්‍රියා කර ඇතැයි පවසන්නට පුළුවන. ඊට හේතු වී තිබෙන්නේ ඔවුන් සිය ආගමික ප්‍රතිපත්තිවලට අධිෂ්ඨානපූර්වකව ඇලී සිටීමයි. . . .
“සාක්ෂිකරුවන්ට නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම නුහුරු නුපුරුදු දෙයක් නොවේ. පසුගිය වසර 65 තුළදී, නඩු 24කට වැඩි ප්‍රමාණයකට පෙනී සිටිමින් අනිසි ලෙස බලතල හෙබවීමට බහුතරය දක්වන ප්‍රවණතාවට එරෙහිව ඔවුන් සාර්ථක ලෙස සටන් වැද ඇත.”—USA TODAY, 2002 ජූනි 18.
◼ “ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල යෙදීමට තිබෙන අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ වූ අයිතිවාසිකමක් බවට තීන්දු කෙරේ. මෙම තීන්දුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ජයග්‍රහණයක්
මුලින්ම ප්‍රාදේශීය බලධාරීන්ගේ අවසරය ලබාගන්නේ නැතුව තම අභිප්‍රායන් ප්‍රකාශ කිරීමට ගෙයින් ගෙට යෑම සඳහා දේශපාලනඥයන්ට, ආගමික කණ්ඩායම්වලට, බාල දක්ෂිකාවන්ට හා වෙනත් අයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අයිතියක් ඇති බව එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය සඳු දින තීන්දු කළේය.”— San Fransisco Chronicle, 2002 ජූනි 18.
◼ “ශ්‍රේෂ්ඨාධිකරණය: යෙහෝවාගේ සාක්ෂිකරුවන්වත්, බාල දක්ෂිකාවන්වත් ඔබේ දොරට තට්ටු කරන එක තහනම් කරන්න බැහැ
වොෂිංටන්—මුලින්ම ප්‍රාදේශීය බලධාරීන්ගේ අවසරය නොලබා මිෂනාරිවරුන්ට, දේශපාලනඥයන්ට හා වෙනත් අයට ජනතාවගේ නිවෙස්වලට ඇවිත් දොරවල්වලට තට්ටු කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. . . .
“කතා කිරීමේ නිදහස සම්බන්ධයෙන් පළමු සංශෝධනයේ සඳහන් අයිතිවාසිකමට, කෙනෙකුගේ දොරකඩට ඇවිත් පණිවිඩයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇතුළත් බව අධිකරණය 8ට 1ක වැඩි ඡන්දයකින් තීන්දු කළා.”—Star Tribune, Minneapolis, 2002 ජූනි 18.
[9වන පිටුවේ පින්තූරය]
විනිසුරු ස්ටීවන්ස්
[හිමිකම් විස්තර]
ස්ටීවන්ස්: Collection, The Supreme Court Historical Society/Joseph Bailey