Skip to content

පටුනට යන්න

කොපි කිරීමේ ඇති වරද මොකක්ද?

කොපි කිරීමේ ඇති වරද මොකක්ද?

යෞවන අය අසති . . .

කොපි කිරීමේ ඇති වරද මොකක්ද?

“හැමෝම දන්නවා කොපි කරන එක වැරදියි කියලා. ඒත් ඒක තමයි ලෙහෙසිම දේ.”—දාහත්වන වියේ පසු වන ජිමී.

ඔබ විභාගයකට උත්තර ලියන අවස්ථාවේදී කවදා හෝ ඔබේ පංතියේ මිතුරාගේ හෝ මිතුරියගේ උත්තර පත්‍රය දිහා එබී බලන සිතුවිල්ල ඔබේ සිතටත් පහළ වී තිබෙනවාද? ඔබ සම්බන්ධයෙන් එය සැබෑවක් නම් එසේ හැඟුණ එකම එක පුද්ගලයා ඔබ පමණක් නොවෙයි. දොළොස්වන ශ්‍රේණියේ සිටින ජෙනා තම පංතියේ සිටින ළමයි හුඟදෙනෙකු කිසිම ලැජ්ජාවකින් තොරව කොපි කරන ආකාරය ගැන පවසන්නේ මෙවැන්නකි. “එයාලා ඒක කරන විදිහ ගැන මහ ඉහළින් කතා කරන්නේ. ඔබ කොපි කළේ නැත්නම් එයාලා ඔබ දිහා බලන්නේ අමුතු කෙනෙක් දිහා බලනවා වගෙයි!”

එක්සත් ජනපදයේ පවත්වන ලද එක් සමීක්ෂණයකදී පංතියේ හොඳ ලකුණු ගන්න නව යොවුන් වියේ සිටින ළමයින්ගෙන් සියයට 80දෙනෙක්ම තමන් කොපි කරන බව පිළිගත්තා. මෙම “වැඩි ලකුණු ගන්න” ළමයින්ගෙන් සියයට 95ක් පමණ කවමදාකවත් අසු වෙන්නේ නැහැ. ජොසෆ්සන් ආචාර විද්‍යා ආයතනය මගින් කණිෂ්ඨ සහ ජේෂ්ඨ පාසැල් සිසුන් 20,000ක් පමණ යොදාගෙන කළ සමීක්ෂණයකින් පසු නිගමනය කළේ මෙයයි. “අවංකකම සහ නිර්දෝෂකම වැනි ගුණාංග දවසින් දවස අභාවයට යනවා.” කොපි කිරීම මෙතරම් පුළුල් ලෙස පැතිරී තිබෙන ආකාරය ගැන විද්වතුන් විස්මයට පත් වෙනවා! පාසැල් අධ්‍යක්ෂවරයෙක් වන ගැරී ජේ. නීල්ස් මෙවන් අදහසක් පවා ඇතුළත් කරන්න පෙලඹුණා. “කොපි කරන්නේ නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්.”

බොහෝ දෙමාපියන් තම දරුවන් ඔවුන්ගේ පාසැලේ අධ්‍යාපන වැඩවලදී අවංක ලෙස කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා. ඒත් අභාග්‍යකට බොහෝ දරුවන් කොපි කිරීමේ නරක පුරුද්ද නිසා තම අවංකකම නැති කරගනියි. මේ සඳහා ඔවුන් දැන් යොදාගන්නා අලුත්ම ක්‍රම මොනවාද? ළමයි කොපි කිරීමට යොමු වන්නේ ඇයි? ඒත් එක්කම ඔබ එම ක්‍රියාව නොකළ යුත්තේ ඇයි වැනි ප්‍රශ්න අපි සලකා බලමු.

නවීන තාක්ෂණය මගින් කොපි කිරීම

අද කාලයේ කොපි කිරීමට කැමති ළමයි ඒ සඳහා භාවිත කරන උපක්‍රම විවිධයි. අද යොදාගන්නා නවීන උපක්‍රම දිහා බැලුවාහම ගෙදරදී කරගෙන ඒමට දුන් වැඩ කොපි කිරීම හෝ උත්තර පත්‍ර ළඟ තබාගැනීම වැනි පරණ තාලේ වැඩ මොනවාද කියලා හිතෙනවා. පේජර් යන්ත්‍ර මගින් වෙනත් ස්ථානයක සිටින පුද්ගලයෙකුගෙන් ප්‍රශ්නවලට උත්තර ලබාගැනීම, කැල්කියුලේටර් තුළ කලින්ම “අමතර” දත්ත ඇතුළත් කර ළඟ තබාගැනීම, උපකාර ඉල්ලා වෙනත් ස්ථානයක සිටින පුද්ගලයෙකු වෙත ප්‍රශ්න යැවීම සඳහා කුඩා කැමරා ඇඳුම් තුළ සඟවා තබාගැනීම, ඒ වගේම උපකරණයක් යොදාගනිමින් අධෝරක්ත (infrared) කිරණ මගින් ළඟ සිටින මිතුරන්ට පණිවිඩ යැවීම සහ වෙබ් අඩවිවල පවා සෑම විෂයකම උත්තර සහිත ප්‍රශ්න පත්‍ර ඇතුළත් කර තිබීම මීට අයත් වෙනවා!

දරුණු ලෙස පැතිර යමින් තිබෙන කොපි කිරීමේ නරක පුරුද්ද නැවැත්වීමට විද්වතුන් උත්සාහ දරනවා. නමුත් එය හිතන තරම් ලෙහෙසි කාර්යයක් නම් නෙවෙයි. එසේ පවසන්නේ, කොපි කිරීම යනු කුමක්ද කියා විස්තර කර තිබෙන ආකාරය සමඟ හැම ශිෂ්‍යයෙක්ම හෝ ගුරුවරයෙක්ම එකඟ නොවීමේ කාරණය උඩයි. උදාහරණයක් පෙන්වනවා නම්, ශිෂ්‍යයන් කණ්ඩායමක් යම් ව්‍යාපෘතියක් කරමින් සිටින විට අවංකව සහයෝගය දක්වන පුද්ගලයා අතරේත් වංචාවෙන් එයට හවුල්වන්නා අතරේත් වෙනස පැහැදිලිව දැකගන්න බැහැ. කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට සමහර අය අනිත් අයටම වැඩ පවරා අත් දෙක බැඳගෙන ඉන්නවා. “සමහර ශිෂ්‍යයන් හරිම කම්මැළියි. කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි එයාලාටත් එකම ලකුණු ලැබෙනවා. මම හිතන්නේ මේකත් කොපි කිරීමක්” කියා පාසැල් යන යූජී පවසනවා.

කොපි කරන්නේ ඇයි?

බොහෝ ශිෂ්‍යයන් කොපි කිරීමට මූලික හේතුව සූදානමක් නොමැතිකමයි කියා එක් සමීක්ෂණයක් පෙන්නුම් කළා. වෙනත් අය පාසැලේ පවතින තරඟකාරී වතාවරණය හෝ ඔවුන්ගේ දෙමාපියන් මහා ඉහළින් තබාගෙන සිටින බලාපොරොත්තු හේතුවෙන් තමන්ට කිරීමට වෙන විකල්පයක් නැති නිසා එවැනි ක්‍රියාවල නිරත වෙයි. “මගේ දෙමාපියන්ට ඕනේ ලකුණු විතරයි. මගෙන් අහන්නේ, ගණන්වලට කීයද? ඉංග්‍රීසිවලට කීයද? එච්චරයි ඒ අයට ඕනේ, මට පෙන්නන්න බැරි දෙයක් ඒක.” එහෙම කියන්නේ දහතුන් හැවිරිදි සෑම්.

වැඩි ලකුණු ගැනීමට නිරන්තරයෙන්ම ඇති වන පීඩනය සමහරෙකුට කොපි කිරීමට හේතුවක් වනවා කියායි එක්තරා ග්‍රන්ථයක (The Private Life of the American Teenager) සඳහන් වෙන්නේ. “අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අසමබර තත්වය නිසා ඇති වන පීඩනය කොයිතරම්ද කිව්වොත් වැඩි ලකුණු ගත යුතුයි යන සිතුවිල්ල, ඉගෙනගැනීමෙන් ලැබෙන තෘප්තිය යටපත් කිරීමට පවා සමත්. සමහරවිට වංචාවක් කරලා හරි ලකුණු ගැනීමට පෙලඹෙන්නෙත් එනිසයි.” බොහෝ ශිෂ්‍යයන් මෙයට එකඟයි. ඇත්තටම කවුරුවත් කැමති නැහැ විභාගයෙන් අසමත් වෙන්න. ඇරත් සම්පූර්ණ පාඨමාලාවකින්ම අසමත් වෙනවාට කවුරුත්ම කැමති නැහැ. “සමහරක් අය හරි භයයි අසමත් වෙයි කියලා. එයාලා උත්තර දන්නවා වුණත් එය තහවුරු කරගන්න කොපි කරනවා.” එසේ පැවසුවේ උසස් පාසැල් ශිෂ්‍යයෙක් වන ජිමී.

මනුෂ්‍යයන් හුඟදෙනෙක් අවංකකමේ ප්‍රමිතීන් පාවා දීමට පසුබට නොවන නිසා කොපි කිරීම එච්චර නරක දෙයක් නෙමෙයි කියා පෙනිය හැකියි. සමහර වේලාවට එය වාසිදායකයි කියාද පෙනිය හැකියි. දාහත්-හැවිරිදි ග්‍රෙග් තම අද්දැකීමක් මෙසේ පවසනවා. “ඊයේ මගේ පංතියේ ළමයෙක් විභාගය වේලාවෙදී කොපි කරනවා මම දැක්කා. අද අපිට ලකුණු දුන්නා. ඒ ළමයාට මට වැඩිය ලකුණු තියෙනවා.” තම තුල්‍යයන් අතර සුලභව දක්නට තිබෙන කොපි කිරීමේ පුරුද්ද නිසා බොහෝදෙනෙකු එය කිරීමට පෙලඹෙනවා. ඒ පිළිබඳව යූජී මෙහෙම කියනවා. “සමහර ළමයින්ට හිතෙනවා, ‘අනිත් අය කරනවා නම් ඇයි මම නොකර ඉන්නේ? මමත් කරනවා’ කියලා.” නමුත් එය හරිද?

නොමඟ යවන පුරුද්දක්

කොපි කිරීම, හොරකම් කිරීම සමඟ සන්සන්දනය කර බලන්න. මිනිසුන් හුඟදෙනෙක් හොරකම් කරන නිසා එය පිළිගත් යමක් වෙනවාද? ‘අපෝ නැහැ’ කියා ඔබ කියාවි. විශේෂයෙන් ඔබේ මුදල් සොරකම් කළා නම්! ඔබ කොහොමටවත් අනුමත කරන එකක් නැහැ ඒ දේ. කොපි කිරීම තුළින් අපි කරන්නේ අපට අයිති නැති ප්‍රශංසාවක් හෝ ගෞරවයක් ලබාගැනීමයි. සමහරවිට අවංකව කටයුතු කරන අයට හිමි විය යුතු දේ අපි පැහැරගන්නවා වෙන්නත් පුළුවන්. (එපීස 4:28) “ඒක කොහොමටවත් හොඳ දෙයක් නෙමෙයි. ‘ඔබ ඇත්තටම දන්නේ නැති දෙයකට’ දන්නවා කියලා කියනවා නම් ඒක බොරුවක්.” එහෙම කිව්වේ මෑතකදී උසස් පෙළ විභාගයෙන් සමත් වූ ටොමී. මේ සම්බන්ධයෙන් බයිබල් දෘෂ්ටිය කොලොස්සි 3:9හි පැහැදිලිව දක්වා තිබෙනවා. එහි අවවාද කරන්නේ, ‘එකිනෙකාට බොරු නොකියන’ ලෙසයි.

කොපි කිරීම ගැලවීමට නොහැකි පුරුද්දක් විය හැකියි. “කොපි කරන අය හිතන්නේ විභාගේ පාස් වෙන්න පාඩම් කරන්න අවශ්‍ය නැහැයි කියලා. කොපි කිරීම තමයි ඔවුන්ට තියෙන ඒකම දේ. හැබැයි ඒ අය තනියෙම දෙයක් කරන්න ගියාම මොනවද කරන්න ඕනේ කියලා ඔවුන් දන්නේ නැහැ.” එසේ පැවසුවේ ජෙනා.

ගලාති 6:7හි සඳහන් ප්‍රතිපත්තිය පැහැදිලියි. එනම්, “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය.” පාසැලේදී කොපි කිරීම නිසා තවත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. හෘදය සාක්ෂිය වද දීම නිසා දැනෙන වේදනාව, ඔබේ මිතුරන්ට ඔබ ගැන තිබූ විශ්වාසය නැති වී යෑම සහ ඔබ ඉගෙනීමට උත්සාහ නොකරන නිසා ඔබේ ප්‍රගතිය නැති වී යෑම මේ අතර වේ. පිළිකාවක් මාරාන්තික වන්නා සේ මෙම නොමනා හැසිරීම ඔබේ ජීවිතේ වෙනත් පැතිවලටද බලපෑ හැකි අතර අගනා සබඳකම් පවා මෙමගින් විනාශ වී යා හැකියි. හැම දෙයකටම වඩා වැදගත් වන්නේ දෙවිත් සමඟ ඇති ඔබේ සබඳතාවයට එය බලපාන්නක් වන නිසයි. මන්ද ඔහු කපටිකම්වලට සතුටු නැහැ.—හිතෝපදේශ 11:1.

කොපි කරන අය රවටාගන්නේ තමන්වමයි. (හිතෝපදේශ 12:19) ඔවුන් තම ක්‍රියාකලාපයෙන් පෙන්වන්නේ දූෂණය වී සිටි පුරාණ යෙරුසලමේ පාලකයන්ගේ ස්වභාවයයි. “අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන වංචාකමෙහි සැඟවී සිටිමු.” (යෙසායා 28:15) ඒත් කොපිකරන්නෙකුට තම ක්‍රියාව දෙවිගෙන් සඟවන්න බැහැ. එයයි සැබෑව.—හෙබ්‍රෙව් 4:13.

කොපි කරන්න එපා!

බොහෝවිට යෞවනයන් කොපි කරන්න සෑහෙන වෙහෙස මහන්සියක් ගන්නවා. ඇත්තටම ඔවුන් ගන්න ඒ වෙහෙස ඉගෙනගැනීම සඳහා යෙදෙව්වොත් ඉන් වැඩි ප්‍රයෝජනයක් නෙළාගන්න පුළුවන්. දහඅට-හැවිරිදි ඇබී ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වනවා. “ඒ අය කොපි කරන්න මහන්සි වෙනවාට වඩා කඩිසර වෙලා ඉගෙනගන්නවා නම් හොඳ ලකුණු ලබාගන්න පුළුවන්.”

කොපි කිරීමට තිබෙන පෙලඹීම ඉතා බලගතුයි කියන එක පිළිගත යුතුයි. එනමුත් ඔබ එම අන්තරාදායක අසංවර හැසිරීමෙන් වළකින්න ඕනේ. (හිතෝපදේශ 2:10-15) අවංකව හැසිරීමට ඔබට හැක්කේ කොහොමද? එක් දෙයක් මතක තියාගන්න. ඒ තමයි ඔබ පාසැල් යන්නේ ඇයි කියන එක. ඉගෙනගන්න මිසක වෙන දෙයකට නොවෙයිනේ. ඔබ ඉගෙනගන්නා බොහෝ දේ ඔබ ප්‍රයෝජනයට නොගන්නවා වෙන්න පුළුවන්. එසේ වූ පමණින් එම දේවල් කොපි කරලා ඇඟ බේරාගැනීම සුදුසු නැහැ. මන්ද එයින් සිදු වන්නේ කෙනෙකු අලුත් දේවල් ඉගෙනගැනීමෙන් සහ දැනුම ප්‍රයෝගිකව යොදාගන්නා ආකාරය ඉගෙනගැනීමෙන් වැළකීමයි. වෑයමක් නොදරා හරි වැටහීමක් ලබාගන්න බැහැ. ඒ සඳහා යමක් කැප කළ යුතුයි. බයිබලයේ සඳහන් වන්නේ මෙවැන්නකි. “සත්‍යයද ප්‍රඥාවද ඉගෙනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.” (හිතෝපදේශ 23:23) පාඩම් කිරීම සහ සූදානම් වීම ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. “විභාගයට කලින් හොඳට පාඩම් කරන්න වෙනවා. එතකොට ඔබේ උත්තර ගැන විශ්වාසයක් තියේවි.” ඒ ජිමීගේ උපදෙසයි.

සමහර අවස්ථාවල ඔබ හැම පිළිතුරක්ම නොදන්නා විට අඩු ලකුණු ලැබෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුණත්, ඔබ ඔබේ ප්‍රතිපත්ති පාවා නොදීමෙන් දියුණු කරගත යුතු පැති මොනවද කියා දැකගන්නට ඔබට හැකි වේවි.—හිතෝපදේශ 21:5.

කලින් සඳහන් කළ යූජී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. පංතියේ මිතුරන් කොපි කරන්න උදව් කරන්න කියා ඔහුව පොලඹන විට ගන්නා පියවර ඔහු මෙසේ පැහැදිලි කරනවා. “ඉස්සරම මම සාක්ෂිකරුවෙක් කියා ඔවුන්ට දැනගන්න සලස්වනවා. ඒක ලොකු උපකාරයක්. මොකද එයාලා දන්නවා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අවංකයි කියලා. විභාගය ලියන වේලාවේ කවුරු හරි උත්තර ඇහුවොත් උත්තර කියලා දෙන්න බැහැ කියලා මම කියනවා. පස්සේ තේරුම් කරලා දෙනවා ඇයි මම එහෙම කළේ කියලා.”

ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ දේ සමඟ යූජී එකඟ වෙනවා. “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අපි කැමැත්තෙමු.” (හෙබ්‍රෙව් 13:18, NW) අවංකකමේ උසස් ප්‍රමිතීන් අනුව කටයුතු කරමින් සහ කොපි කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔබ ලබාගන්නා ලකුණුවලට නියම වටිනාකමක් තිබෙනවා. ඔබ පාසැලේ සිට නිවසට රැගෙන යන්නේ ඔබේ දෙමාපියන්ට දිය හැකි හොඳම තෑග්ගයි. ඒ තමයි, ක්‍රිස්තියානි අඛණ්ඩතාව පිළිබඳ සැබෑ සාක්ෂිය. (3 යොහන් 4) පිරිසිදු හෘද සාක්ෂියක් ඇතිව සිටීමට හැකිවීමයි, යෙහෝවා දෙවිගේ හදවත ප්‍රීතිමත් කරන බව දැනගැනීමෙන් ලැබෙන සතුටයි මේ හැම දෙයකටම වඩා වැදගත්.—හිතෝපදේශ 27:11.

එය කොතරම් සුලභව දක්නට ලැබුණත් කොපි කිරීමෙන් වළකින්න! එසේ කිරීමෙන් අන් අය සමඟ ඔබට තිබෙන හොඳ සබඳතාව රැකගැනීමට හැකි වන අතර වැදගත්ම දේ වන සත්‍යයේ දෙවි වන යෙහෝවා සමඟ තිබෙන සබඳතාවද රැකගැනීමට හැකි වනු ඇත.—ගීතාවලිය 11:7; 31:5.

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කොපි කරන අය තමන් කරන්නේ සොරකමක් කියා තේරුම්ගැනීමට අසමත් වෙයි

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කොපි කිරීම බොහෝවිට වඩාත් බරපතළ වංක ක්‍රියාවලට මඟ පාදයි

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කොපි කරන්නෙකුට තම ක්‍රියා දෙවිගෙන් සඟවන්න බැහැ

[17වන පිටුවේ පින්තූරය]

විභාගයට පෙර ප්‍රමාණවත් ලෙස පාඩම් කිරීමෙන් ඔබට විශ්වාසයකින් යුතුව එයට මුහුණ දිය හැකියි