Skip to content

පටුනට යන්න

ගැටලුව උග්‍ර වන්නේ ඇයි?

ගැටලුව උග්‍ර වන්නේ ඇයි?

ගැටලුව උග්‍ර වන්නේ ඇයි?

ලෝකයේ වාණිජ ව්‍යාපාර අතරින් තුන්වෙනි විශාලතම ව්‍යාපාරය වන්නේ මිනිසුන්ව විකිණීමේ ජාවාරම බවත් එය දෙවෙනි වන්නේ මත්ද්‍රව්‍ය හා ආයුධ වෙළඳාමට පමණක් බවත් ඔබ දැන සිටියාද? එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ සංවිධානයෙහි වාර්තාවලට අනුව ගණිකා වෘත්තියේ සියලුම පැතිවලින් ඉතා ශීඝ්‍ර වර්ධනයක් දක්නට තිබෙනවා.

එක් ලතින් අමෙරිකානු රටක කොන්ග්‍රස් විමසුම් කමිටුවක් වාර්තා කළේ එම රටේ ගණිකා වෘත්තිය නීත්‍යනුකූල නොවුවත් එහි ගණිකා වෘත්තියේ යෙදෙන බාලිකාවන් 5,00,000කට වඩා සිටින බවයි.

තවත් රටක, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරෙන වීදිවල ගණිකා වෘත්තියේ යෙදෙන ළමුන් 3,00,000ක් පමණ සිටිනවා.

ආසියානු රටවලින් වාර්තා වෙන්නේ වහල් තත්වයන් යටතේ ගණිකා වෘත්තියේ නියැලී සිටින ගැහැනු ළමුන් මිලියනයක් පමණ සිටින බවයි. ඇතැම් රටවල් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ළමා ගණිකා වෘත්තියේ සහ ලිංගික සංචාරක ව්‍යාපාරයේ තෝතැනි ලෙසටයි.

ඒඩ්ස් වැනි ලිංගිකව බෝ වෙන රෝග ගැන හැම තැනින්ම අසන්ට ලැබෙන නිසා කන්‍යාවන් ලෙසට වඩාත් ගණන් ගැනෙන ළමුන් සඳහා වැඩි මිලක් ගෙවන්නට පාරිභෝගිකයන් කැමැත්තක් දක්වන්නේ ඒ මගින් ලිංගිකව රෝග බෝ වීමේ හැකියාව අඩුයි කියා සිතන නිසයි. “ඒඩ්ස් රෝගයට ඇති භය නිසා මිනිසුන් වෙන කවරදාටත් වඩා දැන් සොයන්නේ වයසින් වඩාත් බාල පිරිමි ළමුන්ව හා ගැහැනු ළමුන්වයි. මේ නිසා මේ ගැටලුව තවත් දරුණු වෙලා” යයි බ්‍රසීලයේ අධිකරණ අමාත්‍යාංශයේ ලුවිසා නජිබ් එලුෆ් පැහැදිලි කරනවා. ඇය මෙසේ පැවසුවා. “ගැහැනු ළමුන් හා නහඹරයන්ව ලිංගිකව සූරා කෑම බ්‍රසීලයේ දිලිඳු කාන්තාවන් අතර තිබෙන වඩාත් බරපතළම සමාජීය ගැටලුවයි.”

දිලිඳුකම සහ ළමා ගණිකා වෘත්තිය

ළමා ගණිකා වෘත්තිය මැනවින් රජයන්නේ ඉතා දුක්ඛිත දිලිඳු පරිසරවලයි. එක් රටක රජයේ නිලධාරිනියක් පවසන පරිදි ඇගේ රටේ ලිංගික සූරා කෑම හා ගණිකා වෘත්තිය “පවුල් කැඩී බිඳී යෑමට පැහැදිලිවම සම්බන්ධ වී තිබෙන අතර එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ දුක්ඛිතබව සහ කුසගින්නයි.” ඇතැම් දෙමාපියන් කියා සිටින්නේ තමන් තම දරුවන්ව ගණිකා වෘත්තියට විකුණා දැමුවේ දිලිඳුකම නිසා බවයි. වීදි දරුවෝ ගණිකා වෘත්තියට හුරු වෙන්නේ බඩ වියත රැකගැනීමට තිබෙන එකම ක්‍රමය ලෙස ඔවුන් එය දකින නිසයි.

යම් ගැහැනු ළමයෙක් වීදි කල්ලියක් සමඟ ගැවසීම නිසා අන්තිමේදී ගණිකාවක් බවට පත් විය හැකි බව පුවත්පතක (O Estado de S. Paulo) පැහැදිලි කරනවා. කුසට අහරක් ලබාගන්නට ඇය සොරකම් කරනවා විය හැකියි. නමුත් ඉඳ හිට ඇගේ සිරුරද විකුණනවා විය හැකියි. ඊළඟ පියවර වන්නේ ඇය වෘත්තිමය වශයෙන් ගණිකාවක් වීමයි.

ඇතැම්විට, නහඹර වියේ දරුවන්ව වෙනත් රටවලට පිටත් කර හරින්නේ ගණිකාවන් ලෙස වැඩ කරන්නටයි. “ඇතැම් ආසියානු සහ අප්‍රිකානු රටවල පවතින දිලිඳුකම ගැන සලකා බලද්දී මෙසේ විදෙස් රටවල් කරා ඇදී ගිය ගණිකාවන් විසින් තමන්ගේ පවුල්වල අයට එවන මුදල් අතිවිශාල ගණනක් මෙන් පෙනේ” යනුවෙන් යුනෙස්කෝ මූලාශ්‍ර වාර්තා කරනවා. “තරුණ තරුණියන් හා ළමුන් විසින් සපයන ‘සේවාවන්වලින්’ ප්‍රයෝජන ගැනීමට ධනවත් රටවලින් සංචාරකයන් ඇදී එන නිසා මෙම රටවල ගණිකා වෘත්තියට හොඳ දිරිගැන්වීමක් ලැබෙනවා.”

එක් ලතින් අමෙරිකානු නගරයක වීදි ළමා ගණිකාවන් මුහුණ දෙන අන්තරායන් ගැන ටයිම් සඟරාව වාර්තා කරන්නේ මෙහෙමයි. “ඇතැම් ගණිකාවන් කොතරම් බාල වයස්කාරියන්ද කීවොත් ඔවුන්ගේ වයස අවුරුදු 12ක් තරම්. බොහෝවිට මොවුන් කැඩී බිඳී ගිය පවුල්වල දරුවන්. දවස පුරා අහු වුණ තැනක නිදාගන්නා ඔවුන් නැවියන් රාත්‍රියේ කරක් ගසන ඩිස්කෝ ශාලාවලට ගොස් තම ගොදුරු සොයාගන්නවා.”

මත්ද්‍රව්‍යවල බලපෑම නිසා ළමා ගණිකාවක් සාමාන්‍ය සිහියෙන් සිටින විට කිසිවිටෙකත් එකඟ නොවෙන මහත් නින්දිත ක්‍රියා කිරීමට පවා ඇය එකඟ විය හැකියි. නිදසුනක් වශයෙන්, එක්තරා වෛද්‍යවරයෙකු විසින් අඩු වයස්කාරියන් ඇතුළු කාන්තාවන් 50කට වඩා වැඩිදෙනෙකුව ඉතා ම්ලේච්ඡ ලෙස දරුණු වධ හිංසා පැමිණෙවූ අවස්ථා පටිගත කළ වීඩියෝ පට 92ක් පොලිසිය විසින් සොයාගත් බව වේජා සඟරාවේ සඳහන් වුණා.

මේ ඉතා දරුණු පිළිකුල්සහගත යථාර්ථය හමුවේ වුවද එක් තරුණ ගණිකාවක් මෙසේ කීවා. “මම වෙනත් රැකියාවක් සෙව්වත් මට දක්ෂකමක් නැති නිසා කෑමට ඇති තරම් මුදලක් සොයාගන්නට මට බැහැ. මගේ පවුලේ අය මං ගැන සේරම දන්නවා. මේ ජීවිතය අතහරින්නට මට කිසි වුවමනාවක් නැහැ. මගේ ශරීරය අයිති මට. මට පුළුවන් මගේ ශරීරය මට ඕනෑ විදිහට පාවිච්චි කරන්න.”

එහෙත්, මේ ගැහැනු ළමුන් කිසිදාක ගණිකා වෘත්තිය තමන්ගේ රැකියාව කරගැනීමට ඉලක්ක කරගත් අය නෙවේ. එක් සමාජ සේවකයෙකු පැවසූ ලෙස තරුණ ගණිකාවන් බොහෝදෙනෙකුට “විවාහ වීමට වුවමනායි.” ඒ වගේම ඔවුන් “පෙම්වතෙකු” ගැන ලස්සන ලස්සන සිහින මවනවා. ගණිකාවක් වීමට නොයෙක් ආකාරයේ ඉතා සංකීර්ණ තත්වයන් හේතු පාදක වුවත් එක් පර්යේෂකයෙකුගේ අදහස වූයේ “මෙහි තිබෙන වඩාත් කම්පනය කරවනසුලු දෙය නම් මේ අයගෙන් බහුතරයක්ම දූෂණයට ලක් වී ඇත්තේ තමන්ගේම නිවෙස්වලදීමයි.”

ළමා ගණිකා වෘත්තියට නැවතීමේ ලකුණක්?

කෙසේවෙතත්, මෙම අභාග්‍යසම්පන්න ළමුන්ට බලාපොරොත්තුවක් තිබෙනවා. සියලු වයස් මට්ටම්වල සිටින ගණිකාවන් තමන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන. (“මිනිසුන්ට වෙනස් විය හැකියි” යන 7වන පිටුවේ කොටුව බලන්න.) ලොව වටා මිලියන ගණනකට යහපත් අසල්වැසියන් වීමටත් විශ්වාසවන්ත පවුල් සාමාජිකයන් වීමටත් දේවවචනය වන බයිබලය උපකාරවත් වෙලා. කලින් පරදාර සේවනයෙහි නියැළුණු අය, වේශ්‍යාකම් කළ අය සහ සොරුන්ව, තණ්හාධික පුද්ගලයන්ව, බේබද්දන්ව සිටි අය ගැන අපට කියවන්නට තිබෙන්නේ මෙලෙසයි. “ඔබෙන් සමහරෙක් කලින් එවැනි අය වූහ. නමුත් ඔබව සෝදා පවිත්‍ර කර ඇත. ඔබව විශුද්ධ කර ඇත. අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද අපේ දෙවිගේ ආත්මයෙන්ද ඔබව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කර ඇත.”—1 කොරින්ති 6:9-11, NW.

බයිබල් කාලවලදී මෙන් අද දිනත් තමන්ගේ ජීවන රටාවන් වඩාත් හොඳ අතට හරවාගන්නාවූ පුද්ගලයන් සිටිනවා. එහෙත්, ලිංගික සූරා කෑම නමැති රැල්ලට එරෙහිව නැඟී සිටින්නට තවත් බොහෝ දේවල් අවශ්‍යයි. ඇතැම් ආණ්ඩු සහ වෙනත් සංවිධාන ලිංගික සංචාරක ව්‍යාපාරයට සහ ළමා ගණිකා වෘත්තියට විරුද්ධව සටන් වදිමින් සිටිනවා. එහෙත්, යථාර්ථවාදීව බලන විට දුක්ඛිතභාවය සහ දිලිඳුකම මුලිනුපුටා දමන්නට එවන් මිනිසුන්ට කළ හැකි දේ අල්පයි. දුරාචාරයට මුල් වන සිතිවිලි හා ආකල්ප ඉවත් කරලීමට නීති සම්පාදකයන්ට හැකි වන්නේ නැහැ.

කෙසේවෙතත්, මිනිස් ප්‍රයත්නවලට වඩා මෙම ගැටලු විසඳන වෙනත් ක්‍රමයක් තිබෙනවා. එය දෙවිගේ රාජ්‍යයයි. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් විස්තර කෙරෙනවා ඇති.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බොහෝවිට ළමා ගණිකා වෘත්තියට හේතු පාදක වන්නේ දිලිඳුකමයි

[6වන පිටුවේ කොටුව]

දරුණු පල විපාක

ඩේසිට ඇගේ සහෝදරයෙකු විසින් ලිංගිකව අතවර කරනකොට ඇගේ වයස යන්තම් අවුරුදු හයයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇය ඇගේ අයියා කෙනෙකු සමඟ වයස අවුරුදු 14වන තෙක් නැවතී සිටි අතර ඉන්පසු ඇය රාත්‍රි සමාජ ශාලාවක වැඩ කරන්නට පටන්ගත්තා. දවස් කිහිපයකට පසුව ඩේසි අසනීප වුණා. ඇයට සනීප වූ පසු සමාජ ශාලා හිමියා ඇය තමාට ණයයයි පවසමින් ගණිකාවක් ලෙස වැඩ කරන්නට ඇයට බල කළා. වසරකට පමණ පසුවත් ඇය ඔහුට ණයව සිටියා. ඇය කවදාකවත් ණයෙන් මිදෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. කෙසේවෙතත්, එක් නැවියෙක් ඇගේ ණය මුදලේ ඉතිරිය ගෙවා දමා ඇයව වෙනත් නගරයකට රැගෙන ගොස් ඇයට සැලකුවේ වහලියක ලෙසයි. ඇය ඔහුගෙන් ඉවත්ව ගොස් තවත් මිනිසෙකු සමඟ අවුරුදු තුනක් ජීවත් වී පසුව ඔවුන් විවාහ වුණා. බරපතළ විවාහ ගැටලු නිසා ඇය තුන්වතාවක්ම සිය දිවි නසාගන්නට උත්සාහ කළා.

අන්තිමේදී, ඇයත් ඇගේ සැමියාත් බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. නමුත් යෙහෝවාගේ සාක්ෂිකාරියක වෙන්නට තමන් නොවටිනා කෙනෙකු බවයි ඩේසිට හැඟුණේ. යෙහෝවා දෙවි අවශ්‍ය වෙනස්කම් කරන අයව පිළිගන්නා බව ඇයට බයිබලයෙන් පෙන්වූවායින් පසුව ඇය ඇගේ ජීවිතය ඔහුට කැප කළා. හරි දෙය කිරීමට ඩේසි දැරුවේ ඉමහත් උත්සාහයක්. නමුත් ඇය දැරූ උත්සාහය ප්‍රමාණවත්ය කියා ඇයට හැඟුණේ නැහැ. මේ නිසා ඇයට මානසික වශයෙන් පීඩාකාරී තත්වයන් විටින් විට ඇති වුණා. එහෙත්, ලිංගික අතවරවලින් හා ළමා ගණිකාවක් ලෙස ගත කළ ඇගේ ජීවිතයේ කටුක මානසික තුවාලවලින් සුවය ලබන්නට ඇයට කළ උදව් උපකාර පිළිගත් ඇය දැන් සමබර මානසිකත්වයකින් සිටීම සතුටට කරුණක්.

[7වන පිටුවේ කොටුව]

මිනිසුන්ට වෙනස් විය හැකියි

යේසුස් ක්‍රිස්තුස් මිහිපිට සිටි කාලයේදී දුක් විඳින පව්කාර මිනිසුන් කෙරෙහි ඔහුට දැනුණේ අනුකම්පාවක්. වයස කුමක් වුවත් ගණිකාවන්ට තමන්ගේ ජීවන රටාවේ වෙනස්කම් කළ හැකි බව ඔහු තේරුම්ගත්තා. යේසුස් ආගමික නායකයන්ට මෙසේද කිව්වා. “සැබවින්ම මම ඔබට කියමි, බදු එකතුකරන්නෝද වේශ්‍යාවෝද ඔබට පෙරටුවෙන් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙති.” (මතෙව් 21:31, NW) තම ජීවන රටාව හේතුවෙන් පහත් තත්වයකට වැටී සිටියද නිසි හෘද තත්වයක් ඇති එවන් අය දෙවිගේ පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල තබා සමාව ලබාගත්තා. දෙවිගේ රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ලබාගැනීම සඳහා පසුතැවිලි වූ පව්කාරයන් ගණිකාවන් ලෙස ඔවුන් ගත කළ ජීවිත වෙනස් කරගන්නට කැමැති වුණා. ඉන්පසුව ඔවුන් ජීවත් වුණේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූලවයි. අද දිනත් සියලු ආකාරවල ජනයා දේවවචනයේ සත්‍යතාව පිළිගෙන ඇති අතර තමන්ගේ ජීවන මාර්ගයන් වෙනස් කරගෙන තිබෙනවා.

පළමු ලිපියේ සඳහන් වූ මරියා, කරිනා සහ එස්ටෙලාට සිදු වූ දේ සලකා බලන්න. ගණිකාවක් ලෙස දිගටම ජීවත් වීමට තම මවගෙන් එල්ල වූ පීඩනයට එරෙහි වෙනවාට අමතරව මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්ද නැවැත්වීමටද මරියාට බලවත් සටනක් කරන්නට සිදු වුණා. ඇය පැහැදිලි කරන්නේ මෙහෙමයි. “මම මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ ගණිකාවක් ලෙස මගේ ජීවිතයේ මට දැනුණු නොවටිනාබවේ හැඟීම යටපත් කරගන්නටයි.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව තමන්ව පිළිගත් ආකාරය ගැන මරියා පවසන්නේ මෙහෙමයි. “සභාවේ සාමාජිකයන් පෙන්නූ ප්‍රේමය මගේ හිතට තදින් කාවැදුණා. ළමුන්, වැඩිහිටියන්, සියලුදෙනාම මට සැලකුවේ ගෞරවයෙන්. විවාහක පුරුෂයන් තමන්ගේ භාර්යාවන්ට විශ්වාසවන්තව සිටි බව මම දැක්කා. ඔවුන් අතරට ඔවුන්ගේ මිතුරියක් ලෙසට මාව පිළිගැනීම ගැන මම හුඟක් සතුටු වෙනවා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරිනාව බැහැදකින්නට යන විට ඇගේ වයස අවුරුදු 17යි. බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තත් ඇය කලක් යන තුරු ගණිකාවක් ලෙස ජීවත් වුණා. ටිකෙන් ටික ඇය බයිබල් සත්‍යයන් තේරුම්ගෙන අගය කරන්නට පටන්ගත්තා. දුර ඈත නගරයක පදිංචියට යෑමට තීරණය කළ ඇය එහිදී යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වුණා.

ගණිකා වෘත්තියේ නියැලෙමින් මධුපානෝත්සවවලට යෑමට හා පමණට වඩා මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි එස්ටෙලා බයිබලය ගැන දැනගන්න උනන්දුවක් දැක්වුණා. කෙසේවෙතත්, ඇගේ නිගමනය වුණේ දෙවි තමාට කවදාවත් සමාව දෙන එකක් නැහැ කියායි. නමුත් කල් යත්ම ඇය තේරුම්ගත්තා යෙහෝවා දෙවි පසුතැවිලි වෙන අයට ඇත්තටම සමාව දෙන බව. දැන් සභාවේ සාමාජිකාවක්ව සිටින හා විවාහ වී දරුවන් තිදෙනෙකුගේ මවක් වී සිටින එස්ටෙලා පවසන්නේ මෙසේයි. “යෙහෝවා මං සිටි මඩ ගොහොරුවෙන් මාව ඉවතට ගෙන ඔහුගේ පිරිසිදු සංවිධානයට භාරගෙන තිබෙන නිසා මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඒ ගැන ගොඩාක් සන්තෝෂ වෙනවා.”

දේවකැමැත්ත නම් “සියලු ආකාර මිනිසුන් [ස්ත්‍රීන්] ගලවනු ලැබ, (ඔවුන්) සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමය” යන බයිබල් ප්‍රකාශය මෙම වාර්තා මගින් සත්‍යයක් වී තිබෙනවා.—1 තිමෝති 2:4, NW.

[7වන පිටුවේ පින්තූරය]

ගණිකා වෘත්තියේ නියැලෙන ළමුන් බොහෝවිට මත්ද්‍රව්‍යවලට සම්බන්ධයි

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Jan Banning/Panos Pictures, 1997