Skip to content

පටුනට යන්න

නාට්සි යුරෝපයේ පරීක්ෂාවට ලක් වූ ඇදහිල්ලක්

නාට්සි යුරෝපයේ පරීක්ෂාවට ලක් වූ ඇදහිල්ලක්

නාට්සි යුරෝපයේ පරීක්ෂාවට ලක් වූ ඇදහිල්ලක්

ආන්ටෝන් ලෙටොන්යාගේ කතාව

එක්දහස් නවසිය තිස් අටේ මාර්තු 12වන දින හිට්ලර්ගේ හමුදා ඕස්ට්‍රියානු දේශ සීමාව පසු කර පැමිණියා. ගුවන් විදුලි යන්ත්‍රවලින් මහ හයියෙන් අසන්නට ලැබුණේ හමුදාවේ ගී හා දේශපාලනමය උද්‍යෝග පාඨයි. මගේ මව්බිම වූ ඕස්ට්‍රියාව පුරාම දේශප්‍රේමී හැඟීම් රැල්ලක් වගේ පැතිර ගියා.

ඕස්ට්‍රියාව හිට්ලර්ගේ බලයට පත් වූවායින් පස්සේ එහි සිටි සැම කෙනෙක් තුළම වාගේ ශුභවාදී හැඟීමක් ඇති වුණා. බොහෝදෙනාගේ අපේක්ෂාව වුණේ ඔහුගේ “දහස් අවුරුදු පාලනය” තුළදී දුගීකමට හා රැකියා විරහිතකමට නැවතීමේ ලකුණ වැටෙයි කියා. මුළු ජාතියම හසු වූ දේශප්‍රේමී රැල්ලට කතෝලික පූජකයන් පවා හසු වූ අතර ඔවුනුත් හිට්ලර්ගේ නිල ආචාර කිරීමේ පිළිවෙත අනුකරණය කළා.

මම එතකොට අවුරුදු 19ක ළාබාල තරුණයෙක්. ඒ වුණත් හිට්ලර්ගේ පොරොන්දු මගේ සිතුවිලිවලට බලපෑවේ නැහැ. මිනිසාගේ ප්‍රශ්න විසඳීමට කිසිම මිනිස් ආණ්ඩුවකට පුළුවන් කියා මම විශ්වාස කළේ නැහැ.

බයිබල් සත්‍යතා ඉගෙනගැනීම

මම ඉපදුණේ 1919 අප්‍රියෙල් 19වන දා ඕස්ට්‍රියාවේ ඩෝනාවිට්ස් නමැති ටවුමේ. අපේ පවුලේ තුන්වෙනියා හා බාලයා මමයි. අපේ තාත්තා ගල් අඟුරු පතල්වල ගොඩාක් මහන්සි වී වැඩ කළ පතල්කරුවෙක්. එක්දහස් නවසිය විසිතුනේදී ඔහු පවුලේ අයත් එක්ක ප්‍රංශයට ගිහිල්ලා ලියෙවෙන් නමැති පතල් වැඩ කරන ටවුමේ වැඩ කරන්න පටන්ගත්තා. දේශාපලනමය වශයෙන් ඔහු යම් මත දැරූ නිසා ඔහු ආගම දෙස බැලුවේ වපර ඇසින්. ඒ වුණත් අම්මා තද කතෝලිකයෙක්. ඇය අපිව ඇති දැඩි කළ විදිහ නිසා අපි තුළත් දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසයක් ඇති වූ අතර හැම රාත්‍රියකදීම ඇය අපිත් සමඟ යාච්ඤා කළා. කොහොම වුණත්, ආගම් කෙරෙහි තාත්තාට තිබුණු අවිශ්වාසය තව තවත් වැඩි වුණා. ඒ කොතරම්ද කියනවා නම් අම්මාට පල්ලි යන එක පවා ඔහු තහනම් කළා.

එක්දහස් නවසිය විසිගණන්වල අන්තිම හරියේ අපිට යුගෝස්ලාවියානු සම්භවයක් ඇති තරුණයෙක් වූ වින්ට්සෙන්ට්ස් ප්ලැටයිස්ව හමු වුණා. අපි එයාට කතා කළේ වින්කෝ කියලා. එයා බයිබල් ශිෂ්‍යයන්, ඒ කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කරපු කෙනෙක්. ටික කාලයකට පස්සේ බයිබල් ශිෂ්‍යයෙක් අපේ පවුලත් බැහැදකින්න පටන්ගත්තා. තාත්තා අම්මාට පල්ලියට යන්න ඉඩ දුන්නේ නැති නිසා අම්මා වින්කෝගෙන් ඇහුවා ගෙදර ඉඳන්ම දෙවිට නමස්කාර කරන්න බැරිද කියලා. එතකොට, ‘දෙවි අතින් සෑදු දේවස්ථානවල වාසය කරන්නේ නැති’ බව සඳහන් වන ක්‍රියා 17:24 [NW] පෙන්නලා දෙවිට නමස්කාර කරන්න නිවසත් සුදුසු ස්ථානයක් කියලා එයා පහදා දුන්නා. ඒ ගැන සතුටු වූ ඇය බයිබල් ශිෂ්‍යයන්ගේ ගෙවල්වල පැවැත්වූ රැස්වීම්වලට යන්න පටන්ගත්තා.

ඒ විකාරයත් නතර කරන්න ඕනෑ කියලා තාත්තා තදින්ම කියා සිටියා. ඉතින් බයිබල් ශිෂ්‍යයන් එක්ක තිබුණ අපේ ආශ්‍රය කඩන්න ඕනේ හින්දා ඔහු බල කර කියා සිටියේ අපි ඉරිදා පූජාවට සහභාගි වෙන්නම ඕනෑ කියලා! අම්මා මෙම ඉල්ලීමට යටත් නොවී නොසැලී හිටිය හින්දා මාව පූජාවට උදව් වන ළමයෙකු වෙන්න තාත්තා කටයුතු යෙදුවා. මේ සම්බන්ධයෙන් තාත්තාගේ කැමැත්තට ගෞරවය කළත් අම්මා දිගටම මගේ හෘදයේ හා මනසේ බයිබල් ප්‍රතිපත්ති පැලපදියම් කළා. බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට මාව ගෙනගියා.

එක්දහස් නවසිය විසි අටේදී වින්කෝයි මගේ අක්කා යොසේෆීනායි (අපි එයාට කියන්නේ පෙපි කියලා) වතුර බව්තීස්මයෙන් යෙහෝවාට තම කැපවීම සංකේත කළා. පස්සේ ඒ දෙන්නා විවාහ වුණා. ඊළඟ අවුරුද්දේ ලියෙවෙන්හිදී ඒගොල්ලන්ගේ දුව ෆිනි ඉපදුණා. අවුරුදු තුනකට පස්සේ යුගෝස්ලාවියාවේ පූර්ණ-කාලීන සේවය කරන්න ඔවුන්ට ආරාධනාවක් ලැබුණා. ඒ කාලයේ යුගෝස්ලාවියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට තහංචි දමා තිබුණා. මේ නිසා, සෑහෙන දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණත් යෙහෝවාගේ සේවය සඳහා ඔවුන් තුළ තිබුණු ජ්වලිතය හා ඉන් ලැබූ ප්‍රීතිය මැලවී ගියේ නැහැ. ඒගොල්ලන්ගේ හොඳ ආදර්ශය නිසා පූර්ණ-කාලීන දේවසේවකයෙක් වෙන්න මා තුළත් ආශාවක් ඇති වුණා.

ආත්මික වර්ධනයක්

කනගාටුවට කරුණක් නම්, අපේ දෙමාපියන් අතර පැවතුණු මතභේද කෙළවර වුණේ 1932දී ඔවුන් දික්කසාද වීමෙන්. මම අම්මත් එක්ක ආපහු ඕස්ට්‍රියාවට ගියා. ඒත් මගේ අයියා විල්හෙල්ම් (විලි) ප්‍රංශයේම සිටියා. ඉන් පස්සේ මට තාත්තා එක්ක වැඩි ගනුදෙනුවක් තිබුණේ නැහැ. ඔහුගේ මරණය දක්වාම ඔහු අපිට විරුද්ධව සිටියා.

අම්මායි මායි ඕස්ට්‍රියාවේ ගමක් වන ගාම්ලිට්ස්හි පදිංචි වුණා. ළඟපාතක සභාවන් නොතිබුණු හින්දා ඇය නිතරම මාත් එක්ක බයිබලය මත පදනම් වූ පොත් පත්වල තිබුණු කරුණු ගැන සාකච්ඡා කළා. සන්තෝෂයට කරුණක් වුණේ මාසයකට දෙවරක් අපිව ආත්මිකව දිරිගැන්වීම සඳහා ග්‍රාට්ස් නගරයේ සිට ඒඩුවාට් වෝහින්ට්ස් බයිසිකලයෙන් ආපු එක. ඔහුට එන්න විතරක් කිලෝමීටර් 100ක් විතර ගමන් කරන්න සිද්ධ වුණා!

හිට්ලර්ගේ භීෂණ සමයේ මුල් කාලයේ 1938දී සහෝදර වෝහින්ට්ස්ව අත්අඩංගුවට ගත්තා. ලින්ට්ස් නගරයේ තිබුණු දුක් නොවිඳ මිය යෑමට සලස්වන ආයතනයකදී ඔහුට ගෑස් දීලා මැරූ බව දැනගත්තාහම අපිට ලොකු දුකක් දැනුණා. ඒ වුණත්, ඔහුගේ කැපීපෙනෙන ඇදහිල්ල නිසා යෙහෝවාට නොකඩවාම විශ්වාසවන්තව සේවය කරන්න අපි ශක්තිමත් වුණා.

1938—අවදානම් සහිත අවුරුද්දක්

සාක්ෂිකරුවන්ගේ වැඩ ඕස්ට්‍රියාවේ තහනම් කර තිබුණේ 1935 සිටයි. ඒ හින්දා 1938දී හිට්ලර්ගේ හමුදා ඕස්ට්‍රියාවට පැමිණි විට එහි සේවය කිරීම ඉතා අවදානම් සහිත කටයුත්තක් බවට පත් වුණා. අම්මයි මායි යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියලා අපේ අසල්වාසීන් දැනගෙන හිටපු නිසා ඔවුන්ගේ අවධානයට ලක් නොවන විදිහට කටයුතු කරන්න අපි තීරණය කළා. නාට්සිවරුන්ට මාව අල්ලාගන්න බැරි වෙන්න මම රාත්‍රිය ගත කළේ ධාන්‍ය ගබඩාවේ.

එක්දහස් නවසිය තිස් අටේ මුල වෙද්දී මගේ මූලික අධ්‍යාපනය අවසන් කර තිබුණු අතර මම බේකරියක වැඩ කරන්න පටන්ගත්තා. “හයිල් හිට්ලර්” කීමත්, යොවුන් හිට්ලර් සංවිධානයේ සාමාජිකයෙකු වීමත් මම ප්‍රතික්ෂේප කළ හින්දා මගේ රැකියාවෙන් මාව අස් කළා. කොහොම වුණත්, වතුර බව්තීස්මයෙන් යෙහෝවා දෙවිට මා කළ කැපවීම සංකේතවත් කරන්න වෙන කවරදාකටවත් වඩා වැඩියෙන් මම අදිටන් කරගත්තා.

අම්මයි මායි 1938 අප්‍රියෙල් 8වන දා බව්තීස්ම වුණා. එක් රාත්‍රියක තවත් හත්දෙනෙකුත් එක්ක කැලෑවේ තිබුණු පාළු ගෙයක අපි එක්රැස් වුණා. බව්තීස්ම කතාවෙන් පස්සේ විනාඩි දහයෙන් දහයට එක් එක්කෙනා පටුමඟක් දිගේ ඇඳුම් හෝදන ස්ථානය වෙතට ගමන් කළා. අපව බව්තීස්ම කළේ කොන්ක්‍රීට්වලින් හදපු ටැංකියකයි.

එක්දහස් නවසිය තිස් අටේ අප්‍රියෙල් 10වන දා ඕස්ට්‍රියාව ජර්මනියට අයිති විය යුතුද යන්න ගැන විමසීමට වැඩකට නැති මැතිවරණයක් පැවැත්වූවා. “ඔබේ ඡන්දය හිට්ලර්ට දෙනු!” යන ඉල්ලීම රට පුරා ගසා තිබූ පෝස්ටර්වල දකින්නට තිබුණා. අම්මායි මායි ප්‍රංශයේ සෑහෙන කාලයක් හිටිය හින්දා අපව ජාතියක් නැති අය හැටියටයි ගණන් ගැනුණේ. ඒ හින්දා අපට ඡන්දය දමන්න අවශ්‍ය වුණේ නැහැ. ඇත්තටම ඒ හින්දා පස්සේ අවස්ථාවක අපේ ජීවිතයත් බේරුණා. දකුණු ඕස්ට්‍රියාවේ ක්ලාගන්ෆර්ට්වල ඉඳලා ෆ්‍රාන්ට්ස් ගාන්ස්ටර් අපිට නිතිපතා මුරටැඹ කලාපයේ පිටපත් ගෙනත් දුන්නා. ඒ හින්දා දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙරාතුව දේවවචනයෙන් ආත්මිකව ශක්තිමත් වීමට අපිට හැකියාව ලැබුණා.

විලි අයියා

අම්මායි මායි ප්‍රංශය අත්හැරලා ගියා දා සිට මට වඩා අවුරුදු හතරක් වැඩිමල් වූ විලි සහ අපි අතර අවුරුදු නවයකට වැඩි කාලයක් පුරා කිසිම අදහස් හුවමාරුවක් සිදු වී තිබුණේ නැහැ. අම්මා පොඩි කාලේ ඔහුට බයිබලය ගැන අවබෝධයක් දී තිබුණත් හොඳ අනාගතයකට මඟ හිට්ලර්ගේ දේශපාලන ක්‍රියාදාමය බව විශ්වාස කිරීමට ඔහුව මුළා කර තිබුණා. එක්දහස් නවසිය හතළිහේ මැයි මාසයේදී ප්‍රංශ උසාවියක් තීන්දු කළා නාට්සි පාක්ෂිකයෙකු හැටියට කරගෙන ගිය නීති විරෝධී ක්‍රියාවලට විලි අවුරුදු දෙකකට සිර භාරයේ සිටිය යුතු බව. ඒත් ජර්මානු හමුදා ප්‍රංශය ආක්‍රමණය කළ විට ඔහුට ඉක්මනින්ම නිදහස ලැබුණා. ඒ අවස්ථාවේදී ඔහු අපට පැරිසියේ සිට කාඩ් එකක් එව්වා. ඔහු තවමත් ජීවතුන් අතර සිටින එක ගැන අප සතුටු වුණත් ඔහුගේ වෙනස ගැන අපි කම්පාවට පත් වුණා.

යුද්ධ කාලයේදී විලිට SS එක (ෂූට්ස්ස්ටාෆල්, හිට්ලර්ගේ විශේෂ ආරක්ෂක ඒකකය) සමඟ හොඳ ස්ථාවරයක් තිබුණු හින්දා අපිව නිතර බැහැදකින්න එන්න ඔහුට අවස්ථාව ලැබුණා. හිට්ලර් යුද්ධවලදී ලැබූ ජයග්‍රහණ ඔහුගේ සිතට තදින් කාවැදී තිබුණා. ඒ නිසා බයිබලය මත පදනම් අපගේ බලාපොරොත්තුව ඔහුගේ අවධානයට ලක් කරන්න දැරූ සෑම වෑයමක්ම පාහේ කෙළවර වුණේ “මොන පිස්සුද! හිට්ලර් විදුලි වේගයෙන් කරන යුද මෙහෙයුම් බලන්නකෝ. වැඩි කාලයක් යන්නේ නැහැ, ජර්මානුවන් මුළු ලෝකයේ පාලකයෝ වෙයි!” කියා ඔහු විසින් පැවසීමෙන්.

එක්දහස් නවසිය හතළිස් දෙකේ පෙබරවාරි මාසයේදී විලි නිවාඩුවට පැමිණි එක් අවස්ථාවක මම ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොතක් වන සතුරෝ (සිංහලෙන් නැත) නමැති පොත ලබා දුන්නා. මාව පුදුමයට පත් කරමින් ඔහු එය එක පිම්මට කියවා නිම කළා. හිට්ලර්ගේ පාලන සමය නියත වශයෙන්ම අසාර්ථක වන බව ඔහුට අවබෝධ වෙන්න පටන්ගත්තේ එවිටයි. ඔහු එතෙක් කර තිබුණේ අමානුෂික පාලන ක්‍රමයකට අත හිත දීමයි. එමනිසා අප්‍රමාදව ඒ වරද නිවැරදි කරගැනීමට ඔහු අදිටන් කරගත්තා.

බයිබල් සත්‍යතාව වෙනුවෙන් විලි ගත් ස්ථාවරය

ඊළඟ මාසේ අපිව බැහැදකින්න එනකොට විලි තුළ සම්පූර්ණ වෙනසක් සිදු වී තිබුණා. ඔහු මෙසේ පැවසුවා. “ආන්ටෝන් මම ගියේ වැරදි මාර්ගයකයි.”

“විලි, ඔයා ඒක තේරුම්ගත්තත් දැන් ටිකක් පරක්කු වැඩියි” කියලා මම පැවසුවා.

ඔහුගේ පිළිතුර වුණේ “නෑ! පරක්කු වැඩි නෑ!” යන්නයි. “කළ යුතු දේ ජීවත්ව සිටින කාලේදී කළ යුතුයි කියලා බයිබලය පවසනවා. දෙවිට ස්තුතිවන්ත වෙන්න මම තවමත් ජීවතුන් අතර!”—දේශනාකාරයා 9:10.

“ඉතින් දැන් ඔයා මොනවාද කරන්නේ” කියලා මම ඇසුවා.

ඔහුගේ පිළිතුර වුණේ, “මම දිගටම සොල්දාදුවෙක් හැටියට සේවය කරන්නේ නැහැ. මම නාට්සිවරුන්ගෙන් අයින් වෙනවා. බලමුකෝ මොනවා වෙයිද කියලා.”

ඉතින්, ඔහු යුගෝස්ලාවියාවේ සාග්‍රෙබ් බලා වහාම පිටත් වුණේ අපේ සහෝදරිය වූ පෙපිව තව එක වරක් බැහැදකින්නයි. එහේ ටික කලක් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑමෙන් අනතුරුව ඔහුව රහසෙන් බව්තීස්ම කළා. ඔව්, නාස්තිකාර පුත්‍රයා ආපහු ආවා!—ලූක් 15:11-24.

ප්‍රංශයේ හිටපු නාට්සිවරුන්ගෙන් බේරීමට විලි හැදුවේ ප්‍රංශ දේශ සීමාවෙන් ස්විට්සර්ලන්තයට පලා යන්නයි. කොහොම වුණත්, ජර්මන් හමුදා පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තා. ඉතින් ඔහුව බර්ලින්වල යුද්ධාධිකරණය ඉදිරියට පැමිණෙවූ අතර 1942 ජූලි 27දී හමුදාවෙන් පැන ගිය නිසා ඔහුට මරණ දණ්ඩනය නියම කළා. ඔහු බර්ලින්හි ටේගල් හමුදා බන්ධනාගාරයේ සිටි විට ඔහුව බැහැදකින්න මට අවස්ථාවක් ලැබුණා. මාව කුඩා කුටියකට ගෙන ගියා. ඊට පස්සේ, දම්වැලකින් මුරකාරයෙකුට සම්බන්ධ කර සිටි විලි එම කුටියට ආවා. විලි හිටපු විදිහ දැක්ක විට, මගේ ඇස්වලට කඳුළු ආවා. එකිනෙකාව වැලඳගන්නවත් අපට ඉඩ දුන්නේ නැහැ. එකිනෙකාගෙන් සමුගන්න අපට දුන්නෙත් විනාඩි 20ක් විතරයි.

මගේ ඇස්වලින් කඳුළු එනවා දුටු විලි මෙහෙම පැවසුවා. “ආන්ටොන් මොකටද අඬන්නේ? ඔයා සන්තෝෂ වෙන්න ඕනේනේ. මට ආයෙත් සත්‍යය හොයාගන්න උපකාර කරපු හින්දා මම යෙහෝවාට කොච්චර ස්තුතිවන්ත වෙනවාද! මම හිට්ලර් වෙනුවෙන් මැරුණොත් මට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒත් යෙහෝවා වෙනුවෙන් මැරෙනවායි කියන්නේ මට නැවත නැඟිටීමක් ලැබිලා අපි ආයෙත් හම්බ වෙනවා කියන එකයි!”

අපෙන් සමුගත් ඔහුගේ අවසාන ලිපියේදී විලි මෙහෙම ලිව්වා. “මා සේවය කරන අපගේ දයාබර දෙවි මට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙනවා පමණක් නොව, විඳදරාගෙන ජය අත් කරගැනීමට උපකාර කරමින් අවසානය දක්වාම මා සමඟ සිටින බවද මට නිසැකයි. මා ගත් ස්ථාවරය ගැන මා කිසිදු ආකාරයකින් පසුතැවෙන්නේ නැති බවත්, ස්වාමීන් තුළ මා ස්ථිරව සිට ඇති බවට ඔබට නිසැකව විශ්වාස කළ හැකි බවත් මම නැවතත් සඳහන් කරන්නෙමි.”

ඊළඟ දින එනම් 1942 සැප්තැම්බර් දෙවන දින බර්ලින් ළඟ පිහිටි බ්‍රැන්ඩන්බර්ග් බන්ධනාගාරයේදී විලිව මරා දමනු ලැබුවා. එතකොට ඔහුගේ වයස 27යි. ඇත්තෙන්ම ඔහුගේ ආදර්ශයෙන් පිලිප්පි 4:13හි [NW] සඳහන් වචනවල සත්‍යතාව ඔප්පු වුණා. “මට බලය දෙන තැනැත්තා මාර්ගයෙන් සියලු දේ කරන්න මට ශක්තිය තිබේ.”

මරණය දක්වා වූ වින්කෝගේ ඇදහිලිවන්තකම

ජර්මන් හමුදාව 1941දී යුගෝස්ලාවියාව තුළට පිවිස තිබුණු නිසා පෙපි සහ ඇගේ පුරුෂයා වන වින්කෝ ඔවුන්ගේ 12 හැවිරිදි දුව වන ෆිනි සමඟ නැවතත් ඕස්ට්‍රියාව බලා ගියා. ඒ වන විටත් ඕස්ට්‍රියාවේ සාක්ෂිකරුවන් වැඩි පිරිසක් රඳවා තිබුණේ බන්ධනාගාරවල හෝ ගාල් කඳවුරුවලයි. ඔවුන්ට රටක් නොතිබුණු හින්දා ඒ කියන්නේ ඔවුන් ජර්මන් පුරවැසියන් නොවුණ හින්දා දකුණු ඕස්ට්‍රියාවේ අපේ ගේ ළඟ තිබුණු ගොවිපොළක මෙහෙකාරකමට ඔවුන්ව ගත්තා.

එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු 26වන දා ගෙස්ටාපෝ ඒකකය (නාට්සි රහස් පොලිසිය) වින්කෝව අත්අඩංගුවට ගත්තා. ෆිනි එයාගේ තාත්තාගෙන් සමුගන්න උත්සාහ කළ විට පොලිස්පති ඇයට කොච්චර හයියෙන් පහරක් ගැහුවාද කියනවා නම් ඇය කාමරේ අනික් පැත්තටම වීසි වෙලා ගියා. ගෙස්ටාපෝ ඒකකය වින්කෝගෙන් නිතරම ප්‍රශ්න කළා. නිතරම ඔහුට අමානුෂික ලෙස පහර දුන්නා. පසුව මියුනික්හි පිහිටි ෂ්ටාඩල්හයිම් බන්ධනාගාරයට ඔහුව ගෙන යනු ලැබුවා.

එක්දහස් නවසිය හතළිස් තුනේ ඔක්තෝබර් 6වන දා මගේ රැකියා ස්ථානයේදී පොලිසිය මාව අත්අඩංගුවට ගත් අතර වින්කෝ හිටපු ෂ්ටාඩල්හයිම් බන්ධනාගාරයට මාවත් යැව්වා. මට ප්‍රංශ භාෂාව හොඳින් කතා කරන්න පුළුවන් වුණ හින්දා ප්‍රංශ ජාතික යුද සිරකරුවන් වෙනුවෙන් පරිවර්තකයෙකු හැටියට මාව පාවිච්චි කළා. බන්ධනාගාර භූමියේ ඇවිදින්න දෙනකොට මට හැකියාවක් ලැබුණා වින්කෝ සමඟ අලුත්ම තොරතුරු බෙදාගන්න.

අන්තිමේදී වින්කෝට මරණ දණ්ඩනය නියම කළා. ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනා නම්, සාක්ෂිකරුවන්ට බයිබල් පොත් පත් දීම හා ගාල් කඳවුරුවල රඳවා හිටපු පුරුෂයන්ගේ සාක්ෂිකාර භාර්යාවන්ට මූල්‍යාධාර දීම. විලිව මරා දමපු බර්ලින් ළඟ පිහිටි බන්ධනාගාරයට ඔහුවද මාරු කළා. එහිදී ඔහුව 1944 ඔක්තෝබර් 9වන දා හිසගසා මරා දමනු ලැබුවා.

වින්කෝ ඔහුගේ පවුලේ අයව හමු වූ අවසාන මොහොතේ ඇති වූ ශෝකය වචනවලින් විස්තර කරන්න බැරි තරම්. ඔහු හිටියේ විලංගු දාලයි. හොඳටම තළලා. විලංගු නිසා ඔහුව වැලඳගන්න අමාරු වුණා. ෆිනි අන්තිමට ඇගේ තාත්තාව දකිනකොට ඇයට වයස අවුරුදු 14යි. තාත්තාගේ අන්තිම වචන ඇයට තවමත් මතකයි. “ෆිනි, අම්මාව හොඳින් බලාගන්න!”

තම තාත්තාගේ මරණයෙන් පස්සේ ෆිනිව ඇගේ මවගෙන් උදුරාගෙන නාට්සි පවුලක භාරය යටතේ තබනු ලැබුවා. එසේ කිරීමෙන් ඇයව “වෙනස්” කරන්න උත්සාහයක් දැරුවා. ඇයට නිතරම වගේ අමානුෂික පහර දීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. රුසියානු හමුදාව ඕස්ට්‍රියාවට ඇතුල් වූ විට බට පිරිසක් ඇයට හිරිහැර කළ ඒ ජර්මන් පවුල වෙඩි තබා ඝාතනය කළා. ඔවුන් ඒ පවුල සැලකුවේ ප්‍රධාන පෙළේ නාට්සිවාදීන් හැටියටයි.

යුද්ධයෙන් පස්සේ මගේ අක්කා දිගටම පූර්ණ-කාලීන සේවයෙහි යෙදුණා. ඇය නැවතත් විවාහ වී ඇගේ දෙවෙනි පුරුෂයා වූ හාන්ස් ෆෝස්ටර් සමඟ 1998දී ඇගේ මරණය දක්වාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්විට්සර්ලන්ත ශාඛා කාර්යාලයේ සේවය කළා. ෆිනි ඇගේ දෙමාපියන්ගේ ආදර්ශය අනුගමනය කරමින් සැබෑ දෙවි වන යෙහෝවාට ස්විට්සර්ලන්තයේ සේවය කරමින් සිටියි.

ආහ්, නිදහස!

එක්දහස් නවසිය හතළිස් පහේ මුල් හරියේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ ගොඩනැඟිලි මියුනික්වල අපි හිටපු බන්ධනාගාරය අවට දකින්නට ලැබුණා. නගරය නම් හරියටම සුන්බුන් ගොඩක් වගේ. විනිසුරුවෙක් ඉදිරියෙහි මගේ නඩුව විභාග කරනු ලැබුවේ මම මාස 18ක්ම සිරභාරයේ හිටියට පසුවයි. ඒ දිනය යෙදී තිබුණේ යුද්ධය නිල වශයෙන් නතර කළ 1945 මැයි 8වන දාට සති දෙකකට කලිනුයි. නඩු විභාගයේදී මගෙන් මෙසේ ඇසුවා. “හමුදාවේ සේවය කරන්න ඔබ කැමතිද?”

මගේ පිළිතුර: “හිරකරුවෙකුට බැහැ නිල ඇඳුමක් අඳින්නවත් ‘හයිල් හිට්ලර්’ කියා ආචාර කරන්නවත්.” ජර්මන් හමුදාව වෙනුවෙන් සේවය කරන්න කැමතිද කියා මගෙන් අසනු ලැබූ විට මම මෙහෙම කිව්වා. “මාව හමුදාවට බඳවගන්න බවට දැනුම් දෙන ලියකියවිලි දුන්නොත් ඒ සම්බන්ධයෙන් වූ මගේ තීරණය මම දන්වන්නම්!”

දින කිහිපයකට පසු යුද්ධය නිම වුණා. මට කිව්වා මම දැන් නිදහස් කියලා. කෙටි කාලයකට පසු මම ග්‍රාට්ස් නගරයට ගියා. එහි සාක්ෂිකරුවන් 35දෙනෙකුගෙන් යුත් කුඩා සභාවක් තිබුණා. දැන් ග්‍රාට්ස් ප්‍රදේශයේ සභා අටක් හොඳ දියුණු තත්වයක පවතිනවා.

ප්‍රේමණීය සහකාරියක්

යුද්ධය අවසන් වෙලා වැඩි කාලයක් ගත වන්නට පෙර මට නාට්සි පක්ෂයේ සාමාජිකාවක්ව හිටපු තරුණ ගුරුවරියක් වන හේලේනා ඩූන්ස්ට්ව මුණගැහුණා. ඇය නාට්සිවාදය ගැන හොඳටම කලකිරිලයි හිටියේ. ඇය සමඟ කළ මුල්ම සංවාදයේදී ඇය මගෙන් මෙන්න මේ වගේ දෙයක් ඇහැව්වා. “අනික් අය දන්නැති වුණත් ඔයගොල්ලන් විතරක් දෙවිගේ නම යෙහෝවා කියලා දන්නේ කොහොමද?”

මගේ පිළිතුර: “වැඩිදෙනෙක් බයිබලය සෝදිසි කර බලන්නේ නැහැනේ.” ඊට පස්සේ දෙවිගේ නම මම බයිබලයෙන්ම පෙන්නලා දුන්නා.

“දෙවිගේ නම යෙහෝවා කියලා බයිබලයෙහි කියනවා නම් අපි හැමදෙනෙකුටම ඒ ගැන කියන්න ඕනේනේ!” යන්න ඇගේ උද්‍යෝගිමත් ප්‍රතිචාරය වුණා. ඉතින් හේලේනා බයිබල් සත්‍යතා ගැන දේශනා කරන්න පටන්ගත් අතර අවුරුද්දකට පස්සේ වතුර බව්තීස්මයෙන් යෙහෝවාට වූ තම කැපවීම සංකේතවත් කළා. ඊට පස්සේ, 1948 ජූනි 5වන දා අපි විවාහ වුණා.

අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයන් බවට පත් වුණේ 1953 අප්‍රියෙල් 1වන දා. යම් කාලයක් ගියායින් පස්සේ අපිට නිව් යෝක්හි දකුණු ලැන්සිං අසල පිහිටි ගිලියද් මුරටැඹ බයිබල් පාසලේ 31වන පංතියට සහභාගි වන්න ඇරයුම් ලැබුණා. එහේ ඉන්න කාලේ රටවල් 64කින් පැමිණ සිටි සෙසු ශිෂ්‍යයන් සමඟ ඇත්තටම හද උණුසුම් කරවන ඇසුරක් අපි භුක්ති වින්දා.

උපාධි ප්‍රදානයෙන් පසු අපිව නැවතත් යවනු ලැබුවේ ඕස්ට්‍රියාවටයි. අවුරුදු කිහිපයකට අපිට පැවරුණු සේවය වුණේ සභාවන් බැහැදැකීමට ගොස් ඔවුන්ව ආත්මික ලෙස ශක්තිමත් කිරීමයි. ඉන්පසුව, ලක්සම්බර්ග්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න අපිට ආරාධනා කළා. ඊට පස්සේ, වියෙනාවල පිහිටි ඕස්ට්‍රියාවේ ශාඛා කාර්යාලයට යන්න කියලා අපෙන් ඉල්ලා සිටියා. වර්ෂ 1972දී අපි එහේ සේවය කරද්දී වියෙනාවල සිටි බොහෝ යුගෝස්ලාවිය සංක්‍රමණික සේවකයන්ට සාක්ෂි දැරීම සඳහා අපි සර්බෝ-ක්‍රොවේෂියානු භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. දැන් යුරෝපයේ හැම කොනකින්ම පාහේ ඇවිල්ලා ඉන්න ජනයාගෙන් හැදිලා තියෙන සර්බෝ-ක්‍රොවේෂියානු භාෂාවෙන් රැස්වීම් පවත්වන සභා අටක් වියෙනාවල තිබෙනවා!

කොහොම වුණත්, 2001 අගෝස්තු 27වන දා හේලේනා තම අවසන් හුස්ම හෙළුවා. අපේ අවුරුදු 53ක ප්‍රීතිමත් යුග දිවිය පුරා ඇය ඇත්තටම හරිම විශ්වාසවන්ත, වටිනා සහකාරියක් හා මිතුරියක් වෙලා හිටියා. දැන් වෙන කිසිදාකටත් වඩා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මට ගොඩාක් වටිනවා.

දෙවිගේ ප්‍රේමය නිසා සෑහීමට පත් වී

මගේ ජීවිතයේ නොයෙකුත් ඛේදවාචකයන් අද්දකින්නට සිදු වුණත් ඕස්ට්‍රියා ශාඛා කාර්යාලයේ සේවය කරන්න ලැබීම ගැන මම සෑහීමට පත්ව සිටිනවා. ළඟදී මට ලැබුණු වරප්‍රසාදයක් තමයි “නාට්සි සමයේදී අමතක වූ අසරණයෝ” යන ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අද්දැකීම් ඉදිරිපත් කිරීමට හැකිවීම. එක්දහස් නවසිය අනූහතේ ඉඳින් මෙම ප්‍රදර්ශනය ඕස්ට්‍රියාවේ නගර හා ටවුම් 70ක් පුරා පවත්වා ඇති අතර නාට්සි සිර ගෙවල් හා ගාල් කඳවුරුවලින් බේරුණු ඇසින් දුටු සාක්කිකරුවන්ට නාට්සි පීඩා හමුවේ සැබෑ ක්‍රිස්තියානීන් ඇදහිල්ල හා එඩිතරකම දැක්වූ ආකාරය ගැන කීමට එහිදී අවස්ථාවක් ලැබුණා.

ඒ වගේ ඇදහිලිවන්තයන් කිහිපදෙනෙක්ව මම පෞද්ගලිකව දැනහඳුනා ගෙන හිටිය එක මම සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි. ඇත්තටම ඔවුන්ගේ ආදර්ශයෙන් මනාව ඔප්පු වන්නේ රෝම 8:38, 39හි [NW] මෙම වචන කොච්චර ඇත්තද කියලා. ‘මරණයටවත්, ජීවනයටවත් දේවදූතයන්ටවත්, ආණ්ඩුවලටවත්, දැන් තිබෙන දේවල්වලටවත්, පැමිණෙන්න තිබෙන දේවල්වලටවත්, බලයන්ටවත්, උසටවත්, ගැඹුරටවත්, වෙන කිසි මැවිල්ලකටවත්, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකියි.’

[19වන පිටුවේ පින්තූරය]

1930දී අපේ පවුල (වමේ සිට දකුණට): මම, පෙපි, තාත්තා, විලි, අම්මා සහ වින්කෝ

[20වන පිටුවේ පින්තූරය]

මගේ අයියා විලි, ඔහුගේ මරණයට ටික කලකට පෙරාතුව

[21වන පිටුවේ පින්තූරය]

වින්කෝයි මායි මියුනික්හි ෂ්ටාඩල්හයිම් බන්ධනාගාරයේ හිටියා

[21වන පිටුවේ පින්තූර]

වින්කෝගේ දුව ෆිනි, ඉතා අමානුෂික නාට්සි පවුලක භාරයට දෙනු ලැබුවා. අද දක්වා ඇය විශ්වාසවන්තව සිටියි

[22වන පිටුවේ පින්තූරය]

අවුරුදු 53ක අපගේ විවාහ ජීවිතය පුරා හේලේනා ඉතා වටිනා සහකාරියක් වුණා

[22වන පිටුවේ පින්තූරය]

“නාට්සි සමයේ අමතක වූ අසරණයෝ” යන ප්‍රදර්ශනයේදී කතා කරමින්